Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හිඟන්නා අත රුපියල් දස දහසකි. නමුත් හෙට දින එකදු සාප්පුවක් හෝ විවෘත නොවෙන බව හිඟන්නා හොඳාකාරවම දනියි. අලුතෙන්ම තෑගි ලැබුණ සරම සහ බැනියම පසෙක තිබියදී හිඟන්නා පරණ හඩු සරම ම පොරවා ගත්තේ ය. ඔහු අද සවස් වරුවේ නොදන්නා තරුණියක හා නිදි වැදි මොහොත මෙනෙහි කරන්නට විය. හිඟන්නා දෑස පියා ගත්තේ ය. නිදා සිටි සර්පයන් දෑස විවර කරන්නට විය. නැවත නැවතත් ගුහාවෙන් හිස ඔබා යලි ගුහාවටම වන්නට විය. එක් මොහොතක හිඟන්නාගේ ඇස් පියන් එකිනෙක තද විණි. යලි මොහොතකින් ඇස් හැරි ඔහු හිස් අහස දෙස බැලුවේ ය. අලුත් අවුරුදු දිනය නොවන්නට, රුපියල් දස දහසක් අතැති හිඟන්නාට හෙට දිනය සුභ දිනයක් වන්නට තිබුණි. හිඟන්නා තමා පසෙක සිටි බැල්ලගේ හිස අත ගෑවේ ය.

"ඉක්මනට නඟින්න"

එක්වරම හිඟන්නා අසල නැවතූ ත්‍රීරෝද රථය තුල සිටි තරුණිය හිඟන්නාට කතා කළාය. ත්‍රීරෝද රථයේ රියදුරු මහත් විමතියෙන් හිඟන්නා දෙසත් තරුණිය දෙසත් දෙතුන් වරක් බැලීය. ඇය, විමලා සමඟ සිටි තරුණියන් අතරින් තරුණියක බව හිඟන්නා හැඳින ගත්තේ ය.

"විමලා ද කිව්වේ?"

හිඟන්නා ඇසුවේ කම්මැලි ස්වරයකිනි.

"ඔව්.. එනවා ඉන්මනට. වැඩි වෙලා කියවන්න බෑ මිනිස්සුන්ට පේනවා"

තරුණිය නොඉවසිල්ලෙන් වටපිට බලන්නට විය. හිඟන්නා කිසිත් නොදොඩා ත්‍රීරෝද රථයට ගොඩ විය. හිඟන්නා අසල වැතිර සිටි බැල්ල හිස ඔසවා හිඟන්නා දෙස බැලුවා ය.

ත්‍රීරෝද රථය අතුරු පාරවල් දිගේ ඇදී යන්නට විය. හිඟන්නා කිසිත් නොදෙඩුවේ ය. තරුණිය ද කිසිත් නොදෙඩුවා ය. ත්‍රීරෝද රථයේ රියදුරු වරෙන් වර පැති කණ්නාඩියෙහ් හිඟන්නා දෙස බලනු හිඟන්නා දුටුවේ ය. ත්‍රීරෝද රථය කුඩා ප්‍රමාණයේ හෝටලයක් තුලට හැරවීය. "සුරම්‍ය හෝටලය" එය හිඟන්නා නොදන්නා හෝටලයක් නොවීය.

"මේ හෝටලේට තමයි ඒ මහත්තයා මාව එක්කගෙන එන්නේ." විමලා තරමක නිවසක් වෙත අත දික්කළාය.

"සු... ර... ම හෝ... ටලය" හිඟන්නා ගේට්ටුව උඩින් රතුපාට අකුරු එකිනෙක හෙමින් ගලපන්නට විය.

"සුරම්‍ය හෝටලය!" විමලා නැවත නම නිවැරදිව කියවීය.

"මං දන්නෑ බං අර ඇදවෙලා ගිය අන්තිම අකුර"

"ඒ මහත්තයා කිව්වා මට එයා එක්ක එන්නැයි කියලා."

"උඹ මොකද කිව්වේ?"

"මං මුකුත් කිව්වේ නෑ"

"ඉතිං උඹ කැමතිද ඌත් එක්ක යන්න?"

"මං දන්නෑ"


සංවාදයෙන් දින කිහිපයකට පසුව විමලා අතුරුදන් විය. හිඟන්නා හැඬුවේ නැත. එක්කෝ හිඟන්නා හඬන්නට දැන සිටියේ නැත. හිඟන්නා නිදි වර්ජිත රාත්‍රී ගණනාවක් පසු කළේය.

"සල්ලි මැඩම් දෙයි" තරුණිය ත්‍රීරෝද රථයේ රියදුරුට කීවා ය.

තරුණියත් හිඟන්නාත් හෝටලයට ඇතුළු විය. ඇතුල්වන විටම ඇති සැප පුටුවක තරුණයන් දෙදෙනෙක් දුම් වැටියක් උරමින් සිටියේ ය. ඔවුන් හිඟන්නා දෙස නොරිස්සුම් බැලුම් හෙලන්නට විය.

"මේ මොකෙක්ද ඕයි මේ? තමුසෙටත් දැන් ඉන්නේ මාර කස්ටමර්ස්ලනේ" එක් තරුණයෙක්, තරුණියට අවඥාවෙන් පැවසීය.

"මැඩම්ගේ ඕඩරයක් බං. මොන කාමරේද හිස්?" තරුණිය ඒ තරුණයන්ව හොඳින්ම හඳුනතැයි හිඟන්නාට පැහැදිලි විය.

"දකුණු පැත්තේ දෙවෙනි එක. ඔය මේස උඩ ඇති යතුර"

හිඟන්නාත් තරුණියත් තරප්පු පෙළ නඟින්නට විය. ඉහල මහලේ වූයේ පටු කොරිඩෝවකි. දෙපසම කාමර වල දොරවල් පෙනුනි. තරුණිය එක කාමරයක දොර විවෘත කළාය. හිඟන්නාත් තරුණියත් කාමරයේ තනි විය. තරුණිය දොරේ අගුල කරකැවීය.

හිඟන්නාට කිසිඳු හැඟීමක් ඇති වූයේ නැත. ඔහු ට භීතියක්, කුතුහලයක්, ආශාවක් හෝ වෙනයම් කිසිඳු හැඟීමක් හෝ දැනුනේ නැත. හිඟන්නාගේ මනසේ ඇත්තේ එක් පැණයකි.

"කෝ විමලා?"

"මැඩම් මට බාර දුන්නු වැඩෙයි මම කරන්නේ. ඕන්නැති ප්‍රශ්න වැඩක් නෑ. අතන නාන කාමරේ. මෙන්න තුවාය ගිහින් නාගෙන එනවා. ඔහේ ගාව මහ බලු ගඳයි. නාලා මේ අලුත් ඇඳුම් ඇඳගන්නවා" තරුණිය හිඟන්නා අත අලුත් සරමක් සහ බැනියමක් තැබුවා ය.

හිඟන්නා නාන කාමරයට වැදී දොර බාගෙට වසාගත්තේය. හිසට වැටෙන වතුර පාර සහ මතක පොදිය ඔහුව බිම වාඩි කරවීය.

පදික වේදිකාවේ හිඳගෙන, හැඟිම් විරහිත දෙනෙතින්, සුවිසල් නිමි ඇඳුම් සාප්පුව දෙසට නෙත් යොමා සිටින්නේ හිඟන්නා ය. පෝලිමේ හිඳ තෙරපෙමින්, දහඩිය මුගුරු වපුරමින්, පොර කමින්, හොර කමින් සාප්පුව තුලට රිංගා ගත් බොහෝ දෙනෙකු ආපසු සාප්පුවෙන් පිටව යන්නේ ද හිඟන්නාව පසුකරගෙන ය. හෙට අලුත් අවුරුදු දිනයයි. හිඟන්නාගේ අත මිටද යම් තරමකට සරු ය.

විමලා ගිඟන්නාව හැර ගොස් දැනට අවුරුදු හතකට වැඩි විය හැකිය. විමලා හිඟන්නාට වඩා බොහෝ සෙයින් ලාබාල විය යුතුයැයි හිඟන්නාත් විමලාත් දිනක් කතා වූ සැටි හිඟන්නාට මතකය. ඔවුන් දෙදෙනාටම උපන්දින තිබිණි. එහෙත් දෙදෙනාටම එය අමතකව ගොස් තිබිණි. එසේත් නැත්තම් ඔවුන් උපන්දිනය දැන සිටියේම නැත.

වීදියේ ඉපදී වීදියේම හැදී වැඩුනු හිඟන්නා නිදි වැදූ එකම ගැහැණිය විමලා නොවේ. නමුත් හිඟන්නා නැවත නැතවත් නිදි වැදීමට කැමති වූ එකම ගැහැණිය විමලා ය. හිඟන්නා සමඟ නැවත නැවත නිදි වදින්නට කැමති වූ එකම ගැහැණිය ද විමලා විය හැකිය. සමහරක් විට ඈ ඕනෑම පිරිමියෙක් සමඟ නැවත නැවත නිදි වදින්නට කැමති වූවා විය හැකිය.

විමලා හිඟන්නා සමඟ සිටි කාලය හිඟන්නාට සරු කාලයක් විය. කොටින්ම එය හිඟන්නා ශක්තිමත්ව සිටියදී නාට්ටාමි කම් කළ කාලයටත් වඩා සරු කාලයකි.

නාට්ටාමි කම් කළ කාලයේ කරුමක්කාර පපුවේ අමාරුව නොසෑදෙන්නට, ගිඟන්නා මේ වන විට හිඟන්නෙක් නොවන්නට ද තිබූ බව ගිඟන්නා දැඩිව විශ්වාස කරයි. එකල ගිඟන්නාට රෑට නිදන්නට කුලියට ගත් ලැයිම් කාරමයක් පවා විය. නිතර කසිප්පු බොන හිඟන්නාට ඉඳ හිට අරක්කු බොන්නට ද එකල හැකි විය. එකල මැදිවිය පාමුල සිටි හිඟන්නාගේ සිහින සියල්ල සුන්නත් දූලි කර දැමූයේ පපුවේ අමාරුවයි. සති කීපයක් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ගෙවා දැමූ හිඟන්නාට බර වැඩ නොකරන්නට අණ දුන්නේ දොස්තර මහතෙකි. දොස්තර මහත්තයාට බම්බු ගසා ගන්නට යැයි කියා ගිඟන්නා සති කීපයකට පසු සුපුරුදු රස්සාවට ගියත් ඔහුට පෙර පරිදි වැඩ කළ නොහැකි විය. කිලෝ විස්සක් ඔසවාගෙන අඩි දෙකක් යන විට අධික මහන්සියක් දැනෙන්නට විය. හිඟන්නාට නැවත සතියක් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලඟින්නට ද සිදුවිය. හිඟන්නා යලිත් හිඟන්නෙක් විය. එතැන් සිට හිඟන්නා හිඟමනෙන් පමණක්ම දිවි ගැටගසා ගත්තේ ය.

මීට අවුරුදු ගණනකට පෙර දිනෙක රාත්‍රියේ හිඟන්නා පාළු පාරකින් ගමන් කරමින් සිටියේ ය. මැලවුණු වීදි පහන් එළිය මැදින් සෙමින් සෙමින් ගමන් කරමින් සිටියේ ය. පාර අයිනෙන් ඇසුනු සිහින් කෙඳිරිලි හඩක් හිඟන්නාගේ ගමන නවතා දැමීය. පාර අයියේ කළු පැහැති සෙලවෙන විශාල පොදියක් අසලට හිඟන්නා සෙමෙන් සෙමෙන් ලං විය. ඒ වැරහැලි වූ ඇඳුම් ලා ගත්, පිස්සියක මෙන් හිස කෙස් අවුල් වූ තරුණියකි. හිඟන්නා ඉක්මනින් තම මල්ලෙන් තැලී පොඩි වූ ප්ලාස්ටික් වතුර බෝතලය ගෙන තරුණියගේ මුහුණ තෙත් කළේ ය. ඇගේ අත් සහ කලවා සීරී තිබෙනු හිඟන්නා යන්තම් දුටුවේ ය. හිඟන්නා ඈ වත්තම් කරගෙන කඩපිලක් අයිනට පැමිණියේ ය.

"ගෑණියෙක් එක්ක බුදියන්න දන්නෙ නැති වනචර හැත්ත"

තරුණියව වත්තම් කරගෙන යන අතරතුර හිඟන්නා මිමිණුවේ ය.

ඈ යාන්තමට ඇස් හැර හිඟන්නා දෙස බැලුවා ය. ඈ වචනයකුදු නොදෙඩුවා ය. හිඟන්නා ද වචනයකුදු නොදෙඩුවේ ය. ඔවුන් කඩපිල අයිනේම නිදන්නට විය. හිඟන්නා මල්ලෙන් කිළිටි රෙදි කැබැල්ලක් ගෙන තරුණියට පෙරෙව්වේ ය.

අළුයම හිඟන්නා අවදිවන විට ඈ ද අවදි වී සිටියා ය. බිත්තියට හේත්තු වී ඈ බලාගත්වනම බලාගෙන සිටියා ය.

"මොකක්ද උඹේ නම?"

"විමලා!"

"උඹ වරෙන් මාත් එක්ක"


කිසිත් නොකියාම විමලා හිඟන්නා පසුපස පැමිණියා ය. එදා සිට හිඟන්නා සමඟින්ම උන්නා ය. හිඟන්නාගේ සියළුම ඕනෑ එපා කම් ඈ පිරිමැසුවා ය. පෙර දා ඈ පාර අයිනේ සිටියදී හිඟන්නා කළ උදව්වට කළ හැකි හොඳම ප්‍රතිඋපකාරය එය යැයි ඇය සිතුවා ය.

හෙට එළඹෙන අලුත් අවුරුදු දින වාගේම දිනෙක හිඟන්නා ඇයට බෝරිච්චි අත් දැමූ මල් ගවුමක් තෑගි දුන්නේ ය. එදා එසේ නොකළානම් හොඳ යැයි හිඟන්නාට පසුව අනේක වාරය සිතී ඇත. එදා ඇය ඒ ලා නිල් රෙද්දේ සුදු මල් වැටුනු ගවුම හැඳ, තනි කරලට කොණ්ඩය ගොතා හිඟන්නා ඉදිරියට ආ හැටි හිඟන්නාට තාම මතකය. ඇගේ රූ සපුව හිඟන්නාගේ හද මොහොතකට නතර කරවීය. ඇය එතරම් හැඩැති එකියකැයි හිඟන්නාට ඉන් පෙර කිසිම විටෙක සිතී නැත.

මල් ගවුම සියල්ල වෙනස් කරවීය. විමලා මල් ගවුම හැඳගෙන පාරේ ගිය විටෙක කාර් එකක පැමිණි මහත්තයෙක් විමලාව රැගෙන ගොස් තිබුණේ ය. විමලාද කැමැත්තෙන්ම මහත්තයා සමඟ ගොස් නිදි වැද තිබිණි. එදා විමලා නැවත පැමිණ තිබුණේ රුපියල් දහසක්ද අතැතිවය. විමලා විස්තරය හිඟන්නාට නොවලහා පැවසීය. හිඟන්නා හැඟීම් විරහිතව සියල්ල අසාගෙන සිටියේ ය. විමලා රුපියල් දහස හිඟන්නාට දෙන්නට තැත් කළාය.

"උඹ හම්බකරගත්ත එක උඹ තියාගනින්. මට ඕන උනොත් මම උඹෙන් ඉල්ලන්නම්"

කල් යත්ම විමලා තව බොහෝ මහත්වරුන් සමඟ නිදි වැදුනා ය. ඒ අතරින් සමහර මහත්වරුන් විමලාව සොයාගෙන නැවත නැවත පැමිණුනේ ය. එසේම කල් යත්ම හිඟන්නා විමලාගෙන් මුදල් ඉල්ලා ගැනීමටද පුරුදු වූවේය.

අලුත් ඇඳුම් රැගෙන එන තරුණියන් හිඟන්නාට විමලාව සහ ඉහත සිද්ධී දාමය නැවත නැවත සිහිපත් කරයි.

හිඟන්නා අලුත් ඇඳුම් හැඳගෙන කාමරයට පැමිණියේ ය. තරුණිය යට ඇඳුමින් පමණක් විළි වසාගෙන ඇද මත හිඳගෙන උන්නා ය.

"කෝ විමලා" හිඟන්නා ඇසුවේ නෝක්කාඩු ස්වරයෙනි.

"මැඩම් කිව්ව නිසා තමයි මං ආවේ. නැතුව තමුසෙත් එක්ක බුදියෙන්න මට පිස්සු කියලා හිතුවද?"

හිඟන්නා කිසිත් නොදොඩා තරුණිය දෙස එක එල්ලේ මොහොතක් බලාගෙන සිට ක්ෂණිකව යක්ෂයෙක් ආවේශ වූ ආතුරයෙකු පරිද්දෙන් තරුණිය වෙත පැන්නේ ය. තරුණිය විළි වසාගෙන සිටි යට ඇඳුම් ඇඳ පුරා සී සී කඩ විසිරුනේ ය. උස් වෙමින්, පහත් වෙමින්, ඉස්සෙමින්, පෙරළෙමින්, විවිධ ඉරියව් වලින්, විවිධ හඬවල් වලින්, බොහෝ කාලයක් හිඟන්නා තුල නිධන්ගතව තිබූ රාග විෂ නහර හරහා වේගයෙන් ඇදී එන්නට විය. හිඟන්නාගේ ඇස් පියන් එකිනෙක තද විය.

"කෝ යකෝ විමලා... ! කෝ ඒකි?"

හිඟන්නා ඇඳ මත වැතිරුනා නොව ඇඳ මතට ඇද වැටුණි. තරුණියත් පසෙක ඇඳ මත වැතිර සිටියා ය.

"මං දන්නෑ තමුසේ මැඩම්ගේ කවුද කියලා. මැඩම් මට කිව්ව වැඩේ මම කළා. මං දන්නෙ නෑ එතනින් එහාට දෙයක්" තරුණිය පහත් ස්වරයකින් කීවාය.

හිඟන්නා දහඩියෙන් තෙත් වී සිටියේ ය. ඔහුට නැවත නාගන්නට උවමනා විය. හිඟන්නා කිසිත් නොදොඩා යළිත් නාන කාමරයට ඇතුල් විය. දොර නොවසාම කරාමය හැර ගත්තේ ය.

යළි කාමරයට එන විය තරුණිය මුලින් දුටු අයුරින්ම සැරසී සිටියා ය. ඇය ලස්සන කෙල්ලකැයි හිඟන්නාට සිතුනි. නමුත් ඇගේ අඟ පසඟ විමලාට සමාන නැතැයි ද හිඟන්නාට සිතුනි.

"යමු ත්‍රීවීල් එක ඇවිත්"
තරුණිය හිසකෙස් සකසමින් කීවාය.

"එතකොට විමලා එන්නෙ නෑ?" හිඟන්නා බලාපොරොත්තු සුන් වූ හඩකින් ඇසුවේය.

"මැඩම් එහෙම දෙයක් මට කිව්වේ නෑ. මං දැන් කී පාරක් කිව්වද"

හිඟන්නා කරබාගත්තේ ය. පෙර ත්‍රීරෝද රථය ම නැවත පැමිණ තිබුණේ ය. තරුණියත් හිඟන්නාත් කිසිත් නොදොඩාම හිඟන්නා කලින් සිටි තැනටම ත්‍රී රෝද රථයෙන් පැමිණියේ ය.

"ආ මේක මැඩම් දෙන්න කිව්වා" තරුණිය ලියුම් කවරයක් හිඟන්නා අත තබා ක්ෂණිකව ත්‍රීරෝද රථයේ නැඟී නික්ම ගියා ය.

ලියුම් කවරයේ මුදල් හැර වෙන කිසිවක් නොවීය.

හෙට උත්සව දිනයට ලහි ලහියේ එහෙ මෙහෙ දුවන බොහෝ මිනිස්සු හිඟන්නා ඉදිරියෙන් තබා ඇති කාඩ් බෝඩ් කැබැල්ලට කාසියක් දෙකක් දමා යයි. සෑම උත්සව කාලයකටම හිඟන්නාට මෙය හුරු දෙයකි. හිඟන්නා ඉදිරියේ තබා ඇති කාඩ්බෝඩ් කැබැල්ලට රුපියක් සියයේ නෝට්ටුවක් වැටුනි. හිඟන්නා ස්තූතිය පල කිරීමට හිස ඔසවා මුදල් දැමූ තැනැත්තා දෙස බැලුවේ ය. හිඟන්නා මොහොතකට ගල් ගැසුනි. මුදල් දැමූ නැනැත්තා ද මොහොතකට ගල් ගැසුනි.

"විමලා! ! !" හිඟන්නාගෙන් පිට වූ එකම වචනය එය විය.

ගැහැණිය ක්ෂණිකව හැරී කඩිමුඩියෙන් ආපසු යන්නට විය. හිඟන්නාට සිහි එලවා ගැන්මට මොහොතක් ගත විය. ඔහු එක්වරම නැඟී සිට ගැහැණිය පසුපස යන්නට පටන් ගත්තේය. ගැහැණිය තරමක් ඉදිරියෙන් වෑන් රථයක් අසල සිටි තරුණියන් කීප දෙනෙක් ළඟ නැවතුනා ය.

"නංගිලා නැගපල්ලා බං ඉක්මනට. පරක්කු වෙනවා යන්න"
ගැහැණිය වෑන් රථයේ ඉදිරිපසට ගොඩ වූ අතර තරුණියන් පසුපසට ගොඩ විය.

හිඟන්නා ලං වන්නට ප්‍රථම වෑන් රථය පිටත් විය. ඔහු තවත් මොහොතක් ඈත යන වෑන්‍ රථය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ ය.

"ඒකි මහත් වෙලා" හිඟන්නා තමාටම මුමුණා ගත්තේ ය.

මීට අවුරුදු දෙකකට පමණ පෙර දිනෙක රාත්‍රියේ හිඟන්නා පාළු පාරකින් ගමන් කරමින් සිටියේ ය. මැලවුණු වීදි පහන් එළිය මැදින් සෙමින් සෙමින් ගමන් කරමින් සිටියේ ය. පාර අයිනෙන් ඇසුනු සිහින් කෙඳිරිලි හඩක් හිඟන්නාගේ ගමන නවතා දැමීය. හිඟන්නාට මින් පෙරත් දිනෙක එවන් වූ කෙඳිරියක් ඇසුනු බැව් සිහි විය. හිඟන්නාට කෙඳිරිය නොඇසුනු ලෙස ඉවත්ව යන්නට ද සිත් විය. නමුත් ඔහුගේ දෙපා, සිතට එකඟ නොවිනි. එයද පෙර දිනෙක පරිදිම නමුත් කුඩා කළු පෑ පොදියක් මෙන් දිස් විය. එයින් නැඟුනේ මනුෂ්‍ය කෙඳිරිල්ලක් නොවන බැව් හිඟන්නාට ඉක්මනින්ම අවබෝධ විය. එතැන සිටියේ කළු පෑ බලු පැටවෙක්ය. හිඟන්නා තම මල්ලට අත දමා වංගුවේ කඩයෙන් දුන් පාන් කාලෙන් කැබැල්ලක් ඌට දී ආපසු හැරුනේ ය. බලු පැටවා පාන් කැබැල්ල මුව රඳවාගෙනම, අවසරයකින් තොරවම හිඟන්නා පසු පස එන්නට විය. එදා සිට ඒ බැල්ල හිඟන්නා ළඟ නතර වූ වාය. ඈ හමුවීම හිඟන්නාට සිහිපත් කළේ එකම එක හමුවීමකි. එකම එක නමකි. හිඟන්නා බැල්ලට ඒ නම තැබුවේ ය.

ආදරේ කරන්නට, කෝලම් කරන්නට, හුරතල් කරන්නට, තමාගේ දුක් ගැනවිලි පවසන්නට, විහිළුවක් කර හිනැහෙන්නට, තමන්ට සිටින හොඳම මිතුරිය, එකම මිතුරිය, හිඟන්නා පසෙකින් බිම දිගා වී සිටින්නී ය. දුකේ දී ත් සැපේ දී ත් හිඟන්නා අතැර නොයන්නී, ඉඳ හිට කෝලම් කර හිඟන්නාගේ මුහුණ ලෙවන්නී, හිස අතගාද්දී වල්ගය වනන්නී, විමලා ය.

පූසා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails