Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



'මුළු ලෝකයම එකම රඟ මඬලකි. මිනිස්සු හා ගැහැණු එහි නළුවෝය: නිළියෝය.'යැයි කීවේ ශේක්ස්පියර්ය. එහෙත් ශ්‍රී ලංකාව අරභයා මෙය වෙනස් වේ. මුළු ශ්‍රී ලංකාවම එකම රංග ශාලාවකි. ටික දෙනෙක් රඟපාති. බහුතරයක් බලා සිටිති.

ශ්‍රී ලංකාව නැමති මේ රංග ශාලාවේ ඇති අමර වේදිකාවේ කලින් කලට විවිධ නාට්‍ය රඟ දැක්වේ. අග විනිසුරු හා දෝෂාභියෝගය, හලාල් නාටකය, විදුලි බිල යන මෑත කාලීන සුප්‍රසිද්ධ නාට්‍යාවලිය අතරට එකතු වූ අලුත්ම නාට්‍යය නම් බෝවත්තේ හාමුදුරුවන් සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසා ගැනීම දැක්වෙන "ජාතික ගින්න" නම් නාටකයයි.

උන්වහන්සේ කවුද?

ජාතික හෙළ උරුමය දැන් දැන් උන්වහන්සේ ජාතියත් ආගමත් උදෙසා ජීවිතය පූජා කළ තමන්ගේ උද්යෝගිමත් සාමාජිකයකු බව පෙන්නුම් කරන්නට උත්සාහ කරද්දී තවත් මාධ්‍ය පෙන්නුම් කරන්නේ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසුනකට ජාතික හෙළ උරුමයෙන් පත් වූ උන් වහන්සේ බරපතල මූල්‍ය වංචා පිළිබඳ චෝදනා ලැබූවකු බවත්, ඒ තත්වය තුළ දිගින් දිගටම ප්‍රාදේශීය සභාව නියෝජනය කිරීමෙන් වැළකුණු බවත්, සියදිවි හානි කර ගැනීමට සති කීපයකට පෙර එම හාමුදුරුවන්ගේ මන්ත්‍රී ධුරය පමණක් නොව පක්ෂ සාමාජිකත්වයද හෙළ උරුමය විසින් ඉවත් කළ බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි.

තවද තමන් වාසය කළ කහවත්ත මීනවත්තේ සුගත විහාරයෙන් පවා පළා ගොස් වීරකැටියේ වාසය කරමින් ක්‍රියාත්මක වූ බවද දඹුල්ලේ මුස්ලිම් පල්ලියට එරෙහි විරෝධය ඇතුළු විවිධ මුස්ලිම් හා අන්‍යාගමික වන්දනා ස්ථාන හා ආයතනවලට එරෙහිව ප්‍රචණ්ඩ හැසිරීම් රටාවක් දක්වන්නට පසුබට නොවූ භික්ෂුවක ලෙස ප්‍රකට බවද එම වාර්තා සඳහන් කරයි. එසේ නම් නිකම්ම අවනම්බු සහගත නමක් සහිතව මිය යනවාට වඩා ආරෝපිත වීරත්වයකින් මිය යෑමට වුවමනාවක් උන්වහන්සේට තිබුණා විය හැකි බව ද අදාළ වාර්තා සඳහන් කරයි. තවත් වාර්තාවක් පෙන්නුම් කරන්නේ මෙය සැලසුම් කළ ආකාරය අනුව මේ සිදුවීම ඔන්න මෙන්න තිබියදී උන්වහන්සේව ඉන් වැළැක්වීම හෝ සුළු පිළිස්සුම් තුවාල සහිතව බේරා ගැනීම හෝ අපේක්ෂා කරන්නට ඇති බවත්ය. එහෙත් සිදු වූයේ උන්වහන්සේ මිය යෑමයි.

මාධ්‍යය හා මාධ්‍යය ඉදිරියේ සදාචාරය

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ඇතැම් මාධ්‍ය ආයතනයකට මෙම සැලසුම වේලාසනම දැනුම් දී තිබිණි. එහෙත් එම පුවත වාර්තාකරණයේ ප්‍රථමයා හා ප්‍රමුඛයා වීමේ තණ්හාව නිසා හෝ වෙනත් බලපෑමක් නිසා අදාළ භික්ෂුව මරණයෙන් බේරා නොගැනීමට තරම් එම මාධ්‍යය අමානුෂීකරණය වී තිබිණි. දැන් ප්‍රාදේශීය වාර්තාකරු බිල්ලට දී අදාළ මාධ්‍යය ආයතනය අත සෝදා ගන්නා පිලාත්ගේ තත්වයට පත් වෙමින් සිටින බවක් පෙනේ.

තවද උන්වහන්සේගේ මරණයෙන් (අපවත් වීමෙන්?) පසු උන්වහන්සේගේ (ශ්‍රී?) දේහය පැය 2 ක් කොළඹ තබා ගන්නට 'සිංහල රාවය' තැත් කළද එම තැත ව්‍යර්ථ වීමෙන් කෝපයට පත් භික්ෂුන් වහන්සේලාගෙන් ඇතැමෙක් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් පෙට්‍රල් හලාගෙන ගිනි තියා ගන්නට තැත් කරන ආකාරයත් ඔවුන් ඉන් වළකා ගනු පිණිස ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන් උත්සාහ කරන ආකාරයත් දක්නට ලැබිණි. සියලු ආකාර සංවේගාත්මක හා ආවේගාත්මක හා හාස්‍යජනක සමාජ සිදුවීම් මධ්‍යයේ අකම්පිතව මහමෙර සේ නිශ්චල වූ ගුණ ඇති බව ධර්ම පුස්තකයන්හි දැක්වෙන අමා මෑණියන් වූ බුදු රදුන්ගේ සදහම අනුයන්නට බැඳී ඇති මේ ඇතැම් බුද්ධ පුත්‍රයෝ තමන් නිශ්චල වූ ගුණය සහිත වූවන් බව දැක්වෙන රංගනයේ යෙදෙනුයේ පොහෝ දිනයන්හි ධර්ම ශ්‍රාවකයන් ඉදිරිපිට හා රූපවාහිනී ප්‍රේක්ෂකයන් ඉදිරිපිටදී පමණක්මදැයි සැක සිතීම සාධාරණය.

ඉල්ලීම් මොනවාද?

සිරුරට ගිනි තබා ගැනීමට හේතු කාරක වූ ඉල්ලීම් වූයේ මොනවාද?

ගව ඝාතනය නතර කිරීම,
ත්‍රස්තවාදය තුරන් කිරීම,
ආගම්වලට හරවා ගැනීම වළක්වන පණත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම,
බහු ජාතික බහු ආගමික සර්ව ආගමික බුදු දහම විනාශ කරන පූට්ටු නැති වීම ,
බෞද්ධ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම


උන් වහන්සේ මේවා කාටද කියන්නේ? ජනාධිපතිටය. ඇයි කියන්නේ? පිළිතුර පැහැදිලිය. උන් වහන්සේද උන් වහන්සේ නියෝජනය කරන ප්‍රවාහයද මේ කියන්නේ සිය ආගමික වුවමනාවන් හා මතවාදය රාජ්‍ය නීතිය බවට පත් කරන ලෙසය. අපේ ප්‍රශ්නය ඇත්තේ එතැනය.

ආගම හා රාජ්‍යය

ක්‍රිස්තියානිය යුරෝපයේ රාජ්‍යාගම බවට පත් වීමෙන් පසු යුරෝපයට පමණක් නොව ලතින් ඇමරිකාව හා ආසියාවටද වූ හානිය සුළුපටු නැත. යුරෝපයේ දියුණුව වළක්වන්නට ආගමික නීතිය විසින් කරන ලද බලපෑම සුවිශාලය. මාටින් ලූතර්ගේ ප්‍රතිසංස්කරණයට පින් සිදු වන්නට කතෝලික සභා ආධිපත්‍යයෙන් යුරෝපීය රාජ්‍යයන් නිදහස් වී අනාගමික ජාතික රාජ්‍යයන් බිහි වීමේ ප්‍රවණතාවය ඇති නොවන්නට ලෝකය තවමත් පැතලි යැයි ජනතාව විශ්වාස කරනු ඇත.

ආගම හා රාජ්‍යයේ බද්ධ වීමෙන් ආගමටවත් රාජ්‍යයටවත් විමුක්තිය සදා ගැනීම කළ නොහැක. ආගම රාජ්‍යය සුරැකීම සඳහා ද රාජ්‍යය ආගම සුරැකීම සඳහාද ධර්මය විනාශ කරයි. අවසානයේදී ආගමේ නාමයෙන් ද රාජ්‍යයයේ නාමයෙන් ද උතුම් වූ මිනිස් සම්පත ඇතුළු උතුම් ගුණ දහම් සියල්ල සිඳ බිද දමන්නට මේ ද්විපාර්ශවයෝ සාමූහිකව ක්‍රියා කරති. 6 වන ඇලෙක්සැන්ඩර් පාප්තුමා, පඩ්‍රොආඩෝ ගිවිසුම යටතේ පෙරදිග ආක්‍රමණයට පෘතුගීසින්ටද ලතින් ඇමරිකානු රටවල් ඇතුළු බටහිර රටවල් ආක්‍රමණයට ස්පාඤ්ඤයටද බලය පවරා දීම තුළ සිදු වූ යටත් විජිතකරණය හා බැඟණු සියළු විනාශකාරී සිදුවීම්ද ලංකාවේ දුටුගැමුණු විජිතපුරය ආක්‍රමණය කිරීම හා දමිළ අරගලයට එරෙහි යුද්ධය හා බැඳුණු සියලු විනාශකාරී සිදුවීම් ද සාක්ෂි දරනුයේ මේ සත්‍යතාවයටය. ආගමේ නාමයෙන් ආගම සුරකිනු පිණිස කරන ලද සියලු යුද්ධ හා සටන්වලදී විනාශ වූයේ ධර්මයය.



බුදුන්ගේ බුද්ධාගම ද...? දුටුගැමුණු බුද්ධාගම ද....?

බුද්ධ ධර්මය මනුෂ්‍ය ජීවිතයේ උතුම් බව කියයි. මිනිස් බවයක් ලැබීම දුර්ලභ බවද එය කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා සේ කලාතුරකින් උදාවන අවස්ථාවක් බවද බුදු දහම කියයි. එම නිසා එම ජීවිතය ආරක්ෂා කිරීම විනා එය විනාශ කරන යුද කෝලාහල බුදු දහමට එකඟ නැත. යුද්ධ කෝලහාල නවත්වන්නට යුද බිමට උන්වහන්සේ වැඩම කළ අවස්ථා ගැන බෞද්ධ සාහිත්‍යය දෙස් දේ.

රෝහිණී නදියේ ජලය පිළිබඳ ආරවුලක් නිසා ශාක්‍ය-කෝලිය දෙපක්ෂය අතර පැන නැගුණ යුද්ධය වළක්වන්නට බුදුන් වහන්සේ යුද බිමට වැඩම කළ සේක. එහෙත් මාවිල්ආරු ජලය පිළිබඳ ප්‍රශ්නයේදී අපේ හාමුදුරුවරු යුද බිමට වැඩියේ යුද්ධය අවුළුවන්නටය. බුදුන් වහන්සේගේ වචනය පිළි අරගෙන වජ්ජි රටට පහර දීමෙන් වැළකී සිටින්නට වරක් අජාසත් රජුට සිදු විය. එහෙත් ජන ඝාතක යුද්ධයක් ඇති වීම වළක්වන්නටත් ජාති කුල ආගම් භේදයෙන් තොරව මිනිස් බවේ උතුම්කම ආරක්ෂා කරන්නට පෙරට එන්නටත් ලංකාවේ බුද්ධාගම ඇතුළු කිසිම ආගමකට නොහැකි විය.

බෝවත්තේ හිමිනම විසූ කහවත්තේ පමණක් සිදු වූ මිනිස් ඝාතන වැල දෙස බලා මේ දෙස බලන විට මිනිසාට වඩා ගවයා උතුම් බව කෙනෙකුට හැඟෙන්නේ නම් අපි පුදුම නොවෙමු.

ධාර්මිකව අප හඳුනන බුදුන් වහන්සේ ගුරුවරයාගේ වරදින් අංගුලිමාල නම් ජනඝාතකයා බවට පත්වූ අහිංසකව විනාශ කරනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැතැයි කීවේ නැත. තමන්ව විනාශ කරන්නට තැත් කරමින් සිටින්නා වූ දෙවිදත් මරා දමනවා හැර වෙනත් විකල්පයක් නැතැයි කීවේ නැත. එහෙත් ලංකාවේ බුද්ධාගමට වෙනත් විකල්ප තිබුණේම නැත. ලංකාවේ ඇත්තේ බුදුන්ගේ බුද්ධාගම නොවේය. මහානාම හිමියන් දේශනා කළ දුටු ගැමුණු බුද්ධාගමය.

ඒ බුද්ධාගම, රාජ්‍යයද යස ඉසුරුද පමණක් නොව භාර්යාව හා දරුවාද හැර දමා අභිනිෂ්ක්‍රමණය කළ ගෞතම බුදුන් වහන්සේට ලංකා රාජ්‍යය පූජා කර ඇත. සියල්ලේ අනිත්‍යය බව පසක් කළ උන් වහන්සේගේ ධර්මය සදාතනිකව නිත්‍ය ලෙස ලංකා රාජ්‍යයේ පවතිනු පිණිස යැයි කියමින් උන් වහන්සේගේ ධර්මයම විනාශ කරමින් සිටින ආකාරය සංවේගජනකය. ඛේදනීයය. බුදුන්වහන්සේගේ පුත්‍ර වූ සංඝ රත්නය සඳහා බුදුන් නියම කළ සංවරශීලී බව ඇතුළු විනය නීති තුට්ටුවකටවත් මායිම් නොකර බුදුන් වහන්සේගේ නොව දුටු ගැමුණුගේ සිංහල බුද්ධාගම විසින් ප්‍රවර්ධනය කර ඇති ප්‍රචණ්ඩාවේශය ප්‍රදර්ශනය කෙරෙති. මේ සියල්ලම මෙසේ වෙන අතරතුර අවබෝධයක් ඇති සැබෑ බුද්ධ පුත්‍රයන්ගේ හා බෞද්ධ පින්වත් පින්වතියන්ගේ නිහැඬියාව අපට සිහිපත් කරන්නේ ඇමරිකාවේ කළු ජාතිකයන්ගේ නිදහස් සටන මෙහෙයවූ මාටින් ලූතර් කිංග් කියූ පරිදි මේ යුගයේ ද ඛේදවාචකය හොඳ මිනිසුන්ගේ නිහැඬියාව බවයි.

ධර්මය රැකිය යුත්තේ කෙසේද?

ආගම හා ධර්මය අතර ඇති පැහැදිලි වෙනස ඊ.ඩබ්. අදිකාරම්තුමා සිය ලියැවිලි මඟින් පෙන්නුම් කර ඇත. ආගම රැකිය යුත්තේ ධර්මය වුවත් බොහෝ විට ආගම විසින් රකිනු ලබන්නේ රාජ්‍යයයි. වහල් යුගයේදී වහල් ක්‍රමයත් වැඩවසම් යුගයේදී වැඩවසම් ක්‍රමයත් ප්‍රාග් ධනේශ්වර ක්‍රමයේදී ප්‍රාග් ධනේශ්වර ක්‍රමය හා නූතන යුගයේදී ගෝලීය ප්‍රාග් ධනේශ්වර ක්‍රමයත් ආගම විසින් රකිනු ලබන අතර ක්‍රමය විසින් පෙරළා ආගම ද රැක දෙනු ලැබේ. මේ දෙකොටසටම තම ආයතනික පැවැත්ම හැර ධර්මය සුරැකී තිබීම අත්‍යාවශ්‍ය නැත. ධර්මය පරදුවට තබා හෝ එය ගණිකා වෘත්තියේ යොදවා හෝ ආයතනික අනන්‍යතාවය රැක ගැනීම ආගමටත් පවතින රාජ්‍යය ක්‍රමයටත් අවශ්‍ය වේ.

ධර්මය සුරැකෙන්නේ මිනිස් හදවතේය. එබැවින් ධර්මය රැඳවිය යුත්තේද මිනිස් හදවතේය. ධර්මය පිළි ගන්නෝ ධර්මයෙහි පවතින්නෝය. ධර්මයෙහි පවතින්නෝ සිය ජීවිත පැවැත්ම තුළ ධර්මය සුරකින්නෝය. අනතුරුව ධර්මය විසින් පෙරළා ඔවුන් රකිනු ලබන්නෝය. නීති මඟින් හෝ බලහත්කාරයෙන් හෝ ප්‍රචණ්ඩකාරී ප්‍රහාරයන් හෝ වෙනත් ආගමික ස්ථාන ගිනිබත් කිරීම් මඟින් හෝ ධර්මය රැකිය නොහැක්කේය.

සියලුම ආගමික ශාස්තෘවරුන් දෙසූ ධර්මයන් ප්‍රචාරය වූයේද වැඩි දියුණු වූයේද එම ධර්මයන්හි පිහිටා පැවති මිනිසුන් සහ ගැහැණුන්ගෙන් විනා නීති මඟින් නොවේය. එබැවින් රාජ්‍ය්‍යට මුක්කු ගසාගෙන රාජ්‍යය නීති මඟින් ධර්මය සුරකින්නට යන්නේ ධර්මයන්හි නොපිහිටන නොපවතින අයය. ඔවුන්ට ඇත්තේ ආගමික ෆෝබියාවකි. එනම් භීතිකාවකි. ඔවුන් අනෙක් ආගම්වලට හා එම ආගමික පැවතුම්වලට බයය. බියසුල්ලා තම ආරක්ෂාව පිණිස හාත්පස ගිනි තබයි. ඔහු සිතන්නේ ඔහු සතුරා යැයි සිතන කිසිදු අයෙකුට ඒ මැදින් ඔහු වෙත ආ නොහැකි බවය. කිසිවකු එන්නේද නැත. එහෙත් ඔහු තැබූ ගින්නෙන් ඔහුම දැවෙන බවට බෝවත්තේ හිමියන්ගේ සිදුවීම සජීවී සංකේතයක් බැව් නොවළහා පැවසිය යුතුය. අපේ දේශය බියසුල්ලන්ගේ දේශයකි.



ඡායාරූප උපුටනය- Dailymirror.lk

අජිත් හැඩ්ලි පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails