Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ප්‍රඥා ප්‍රසාද නමැති මේ අභිනව නවකතාව මහාචාර්යවරයකු හා ලේඛකයකු ද වන ප්‍රබල බුද්ධිමතකු ගේ මනෝව්‍යාධිගත ජීවිතය නිරූපණය කරයි. තරුණ නිර්මාණකරුවකු ගේ නිර්භය ප්‍රයත්නයක් වන මෙහි වස්තු විෂය මේ තාක් පැවැති සිංහල නවකතාවේ තේමාත්මක මානය පුළුල් කරන්නකැයි සිතමි. දිගින් දිගට ගොඩනැඟෙන ලාභ රුචියට අනුබල දෙන කතාවස්තුවක් මෙහි නො වේ. සීමාන්තික ජාතිකවාදියකු වූ බුද්ධිමතකු ගේ ඛේදාන්තය ම මෙහි වෘත්තාන්තයක් බවට පත් වෙයි. සංස්කෘතික ජාතිකවාදයෙන් ව්‍යාධිගත බුද්ධිමතකු ගේ ඛේදවාචකය නිරූපණය කිරිම මඟින් රචකයා ඉඟි කරනුයේ මෙබඳු ප්‍රඥාවන්තයන් හේතු කොට ගෙන සිදු වූ හා සිදු වන විනාශයේ සැබෑ තතුව යි. මේ වනාහි ජාතික වෙස් ගත් එක් උගතකු ගේ මතු නො ව පොදුවේ එබඳු උගතුන් විසින් සෙවුනා ලද සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වයේ අගතිය විදාරණය කරන නවකතාවකි.

එක් අතකට විය හැක්කක් ද නො විය හැක්කක් ද වන මෙහි අමරබන්දු ගේ මනෝව්‍යාධිය කතුවරයා තමා අපේක්ෂිත සමාජ දේශපාලන සංකථනයක ප්‍රබල උපක්‍රමයක් ලෙස භාවිත කරයි. තමා තෝරාගත් අත්‍යවශ්‍ය සිද්ධි සමූහයක් රචකයා තමාට රුචිකර දෘෂ්ටියක් මතු වන පරිදි සංඝටනය කරයි. ඔහු ප්‍රයත්න දරන්නේ යථාර්ථවත් මායාවක් නිපදවා එය මායාවක් නොවන තැනකට ගෙන ඒම පිණිස යි.

අමරබන්දු ගේ නිර්මාණාත්මක ශක්‍යතා ඔහු ගේ ජාතික චින්තනවාදී ඍජු දෘෂ්ටිවාදී පක්ෂපාතකම් නිසා පිරිහී ගිය සැටි ද මෙමඟින් නිරූපණය වේ. තව ද අමරබන්දු ගේ දෘෂ්ටිවාදය කූට දේශපාලනඥයා විසින් උපයෝගී කොටගනු ලබන ආකාරයත් එය එක් අතකින් රාජ්‍ය අනුග්‍රහය හා බලය සමඟ හිතවාදී වන අයුරුත් පළ කරන මේ ප්‍රඥා ප්‍රාසාද එක්තරා විවේචනාත්මක උත්ප්‍රාසයකින් යුක්ත නවකතාවකැ යි හැඟේ.

මුළු ප්‍රබන්ධය ම මහාචාර්ය අමරබන්දු වටා ගොනු වන ප්‍රථම පුරුෂ ආඛ්‍යානයකින් යුක්ත යි. අභිනව ශෛලියක් නිපදවීමට වඩා ප්‍රධාන චරිතය නිරූපණය සඳහා අවශ්‍ය ක්‍රමෝපායයන් භාවිත වෙයි. ඇතැම් විට චරිත නිරූපණයට නැතහොත් රූපණයට වඩා කතුවරයා ගේ මැදිහත් වීමෙන් කැරෙන ආඛ්‍යාන විලාස ප්‍රමුඛ වෙයි. සමාජීය මුළාවට කැස කවන ආධානග්‍රාහී උගතුන් ගේ නිෂ්ඵල ක්‍රියා පිළිවෙළ ප්‍රතීයමාන කිරීමට සුදුසු ආඛ්‍යාන ක්‍රමය රචකයා සොයමින් සිටින බව ද මෙමඟින් හෙළි වෙයි. අප ගේ ගමන් මඟ සකස් කිරීමට පෙරමුණ ගතයුත්තවුන් ගේ ම උන්මත්තක භාවය වූ කලි අද අප සියල්ලන් මුහුණ දෙන අනාථ භාවය පිළිබඳ සංඥාකාරකයකි.

මේ වූ කලි ප්‍රඥා ප්‍රාසාද නො ව දෘෂ්ටිවාදාත්මක සිර ගෙවල් ය. ඒ සිර ගෙවල්වලින් ලබා ගන්නා දැනුම ද අගතියට කරුණු වේ. ස්වාධීන ඥාන ගවේෂක පරපුරක් තව දුරටත් මෙබඳු ප්‍රඥා ප්‍රාසාද සරණ යා යුතු ද යන්න කෘතිය පුරා නැඟෙන එක් අන්‍යාලාපයකැ යි සිතේ.

අමරබන්දු වැනි පුද්ගලයකු මඟින් ශෂී ප්‍රභාත් ඉඟි කරන්නේ වඩාත් මානව කේන්ද්‍රීය සංවර්ධන ක්‍රියාවලියක කාර්යය භාරයන් ඉටු කිරීමේ ශක්‍යතා සහිත බුද්ධිමතුන් ගේ ආවශ්‍යකත්වය ද? එහෙත් කතුවරයා මෙබඳු අරමුණු සාක්ෂාත් කරනු පිණිස තම සිද්ධි සමූහය පෙළගස්වා ඇති බව දැනෙන්ට නො හැරීමට දක්වා ඇති තැත පැසසුම් කටයුතු ය. අමරබන්දු ගේ මනෝව්‍යාධිය මායාවකැයි සැලැකූව ද එය අභව්‍යයක් නො වන තැනකට පත් කිරීමට ලේඛකයා දරා ඇති පරිශ්‍රමය එහි ආකෘතික සංගත භාවයෙහි ම ඵලයකි. අමරබන්දු හා තදාත්ම්‍ය වන සියල්ල තත්කාලීන සමාජ, සංස්කෘතික, දේශපාලන කාල අවකාශගත යථාර්ථයක් බවට පත් වේ. අනෙක් අතට සමාජ සංශෝධකයකු ගේ අඩංගුවක් ද අමරබන්දු තුළ වේ. ඔහු ගේ සංශෝධක විඥානය අවුල් වියවුල් රැසකට හේතු වන විෂම වක්‍රයක පැවැත්මට කරුණු වෙයි. සැබැවින් ම මෙවැන්නෝ අන්තරායයෝ වෙති. මන්ද යත් ඔවුන් පරමාදර්ශයන් යෝජනා කරන්නන් වන බැවිනි.

ප්‍රමුඛ පෙළේ සමාජ චින්තකයකු හා විශිෂ්ට තායි බුද්ධිමතකු වන සුලක් සිවරක් ගේ 'විස්ඩම් ඔෆ් සස්ටේනබිලිටි' (wisdom of sustainability) කෘතියෙහි දක්නට ලැබෙන අදහසක් කෙරෙහි මෙහි දී අවධානය යොමු කරනු මැනවැ යි සිතමි.

"අපේ සම්ප්‍රදාය පමණක් විශිෂ්ට යැයි නොසිතිය යුතු ය. අප සියලු සම්ප්‍රදායයන්ට හා භාවිතයන්ට ගරු කිරීමට උගත යුතු ය. විවෘත මනසකින් යුතු ව බොහෝ ගුරුකුලයන් ගෙන් අපට උගත හැකි ය. විවිධ සම්ප්‍රදායයන්ට හා ආගම්වලට අයත් මිතුරන් සමඟ පමණක් නොව අඥේයවාදීන් සහ අදේවවාදීන් සමඟ පවා සහයෝගී විය හැකි ය. සියලු මනුෂ්‍යයෝ ආධ්‍යාත්මික සත්ත්වයෝ ය."

ප්‍රඥා ප්‍රාසාද යැ යි අප සලකන තැන්වල තත්ත්වය කෙබඳු ද? එබඳු ස්ථාන අප ප්‍රමාදයට මිස අප්‍රමාදයට පත් කිරීමට කටයුතු කොට නැත. අමරබන්දු ප්‍රමාද වූවෙකි. අවුල් වූවෙකි. අප්‍රමාද වූවෙක් නො වේ. ඔහුට ශෝක විරහිත ව ශෝකී ජනයා දෙස බැලිය නොහැකිය.

ධම්මපදයේ, අප්පමාද වග්ගයට අයත් ගාථා ධර්මයක් නවකතාවේ නාමයට හා තේමාවට බද්ධ කිරීමෙන් රචකයා සිය කෘතියට නව ආලෝක ධාරාවක් ලබා ගනී. මෙකල මුද්‍රණයෙන් නිකුත් වන ඇතැම් නිෂ්ඵල නවකතා කෘති කතා කලාවට, ප්‍රබන්ධ ආඛ්‍යාන ස්වරූපයට, බසට අල්ප මාත්‍ර මෙහෙයක් නො කරයි. අලුත් අභිප්‍රායයන්, නව තේමා සෙවීම්, ඒවායේ නො පෙනෙයි. එබඳු මොහොතක ශෂි ප්‍රභාත් රණසිංහ ගේ මේ ප්‍රයත්නය වඩාත් අර්ථ සම්පන්න යැයි සලකනු කවර වරද ද?

නන්දන වීරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails