Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විවිධාකරයේ පුවත් නන් දෙසින් අසන්නට ලැබේ. පසුගිය දිනක ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් නව සංවාදයක් ඇති කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය දින 99 ක් ගතවූ තැන තාවකාලිකව අවසන් විය. උසස් පෙළ ප්‍රශ්න පත්‍ර කලින් පිට වූවා යැයි ද උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ දී පැරණි හා නව යනුවෙන් විශය නිර්දේශ දෙකක් යටතේ ඉසෙඩි ළකුණු ගණනය කරන්නට යාමේ දී සිදුවූ වරද පිළිබඳවත් ඒ හේතුවෙන් අසාධාරණයට ලක්වූ අතිරේක සිසුන් ප්‍රමාණයක් සරසවි සඳහා බඳවා ගන්නා ලෙසත් රටෙහි උපරිමාධිකරණය විසින් බලධාරීන් හට නියෝග නිකුත් කරන්නට ද වූහ. එතෙකින් නොනැවතී 5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිට වීමක් සම්බන්ධවත් කරුණු වාර්තා වූ අතරම එම සිදුවීම් බොහොමයක් අවසානයේ නතර වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි දීය. ඉතාම මෑතක දී සිදුවූ සිදුවීම් දෙකක් වූයේ 2012 අපොස සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්නපත්‍රයේ පැවති ප්‍රශ්න කිහිපයක්ම ඒ ආකාරයෙන්ම සුප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් ඊට පෙර ලබා දී තිබූ අනුමාන ප්‍රශ්න පත්‍රයෙහි සඳහන්ව තිබීම හා කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදී ගණිතය හා විද්‍යාව ප්‍රශ්න පත්‍රය රුපියල් 8000 බැගින් පෙර දින රාත්‍රියේ ගෙන් ගෙට ගොස් අලෙවි කිරීමයි. උක්ත කාරණාවන්ට අමතරව පෙළ පොත් හි පැවති වැරදි හා වාර විභාගයන්හි වැරදි ද බොහෝ ස්ථාන වලින් වාර්තා විය. මෙම නියැදිය වනාහී ලාංකීය අධ්‍යාපන අර්බුදය නැමැති සාගරයෙන් ලබා ගත් බිඳක් පමණි. මේවාට අමතරව තවත් ගැටලු රැසකි. ඒවාට විසඳුම් ද පවතින අතර පාලකයන්ගේ හා අදාල බලධාරීන්ගේ කඩිනම් අවධානය ඒ වෙත යොමු කරවීම හැකි ඉක්මනින් සිදු විය යුතුය.

අධ්‍යාපනය යන්න පිලිබඳව විවිධාකාරයේ නිර්වචන රැසෙකි. අප්‍රිකානු මාසායි මාරා ගෝත්‍රික කියමනක් මෙහිදී සඳහන් කිරීම වටී. එනම්,
''ඔබ සැළසුම් කරන්නේ වසරකට නම්- ධ්‍යානය වපුරන්න.
ඔබ සැළසුම් කරන්නේ දශකයකට නම්- ගස් සිටුවන්න.
ඔබ සැළසුම් කරන්නේ ජීවිත කාලයටම නම්- ජනතාවට අධ්‍යාපනය දෙන්න.''


සොබා දහම හෙවත් ප්‍රකෘතිය ඉදිරියේ අසරණ නොවී ජීවත් වීම සඳහා සකලවිධ මිනිස් වර්ගයා විසින් එදා මෙදා තුර සොයා ගන්නා ලද දැනුම, ආකල්ප හා කුසලතාවන්ගේ සමස්ත එකතුව අධ්‍යාපනය නමින් හැඟවිය හැකිය. එනම් මුල් යුගයේ මිනිසා සොබා දහමේ අකුණු හඬට බිය වී දිව ගොස් සැඟවුනේත්, බියට පත්ව සුවිසල් පර්වත හා වෘක්ෂ සරණ ගියේත් සොබා දහම පිළිබඳව වටහා ගැනීමේ ඥානය ඔහුට නොතිබූ හෙයිනි.

නමුත් කාලයත් සමඟින් අකුණු ඇති වන්නේ ධන හා ඍණ ආරෝපිත වලාකුලු පදනම් කරගනිමින් සිදුවන ක්‍රියාවලියක් හේතුවෙන් බවත් එය දෙවියන් ගේ හෝ වෙනත් අදෘෂ්‍යමාන බාහිර බලවේගයක් හේතුවෙන් ඇතිවන්නක් නොවන බවත් මිනිසා විසින් ම සොයා ගන්නා ලදි. බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් විසින් අකුණු සන්නායකය නිපදවීමෙන් අනතුරුව අකුණු වැදීමෙන් ආරක්ෂා වීමට ද මිනිසාට හැකියාව ලැබිණ. ගස් ගල් හා පර්වත හෝ මළවුන් ඇදහූ මිනිසුන් අදවන විට ඒවායින් බොහෝ දුරට මිදී ජීවත්වනු පෙනේ. ඒ අනුව ප්‍රකෘතිය හෙවත් සොබාදහමේ සංසිද්ධීන් ඉදිරියේ අසරණ නොවී ජීවත් වීමට අදාල දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් ලෙස සේම අවිධිමත් ලෙසත් සිදුවේ. ඒවා විධිමත් අධ්‍යාපනය හා අවිධිමත් අධ්‍යාපනය යනුවෙන් හැඟන්වේ.

මෙහිදී 'දැනුම' යනු කුමක්දැයි නිර්වචනය කර ගැනීමද ඉතාමත් වැදගත් වේ. මන්ද යත් , මානව වර්ගයා විසින් සොයා ගනු ලැබූ දැනුම නම් වූ ප්‍රපංචය ලොව සියලුම මානව මානවිකාවන් හට එකසේ අයිති බව අවබෝධකර ගත යුතු බැවිණි. අධ්‍යාපනයේ සම අයිතිය උදෙසා වන හඬ නහරගත වනුනේ එතැන් පටන් වන බැවිණි. දැනුම යනු ප්‍රකෘතිය පිළිබඳව ශාරීරිකව හා මානසිකව සිදුවන සංවේදනයන් දැනී යාම හා හැඟී යාමයි. එය කරුණු වශයෙන් හෝ සිදුවීම් වශයෙන් මනසේ රැඳී පැවතිය හැක. එසේම නිවැරදි ලෙස උක්ත අන්දමින් දැනීගියා වූ දැනුම නිවැරදි දැනුම ලෙසත් නිවැරදි නොවන අන්දමින් ඥාණනය වූ දෑ නිවැරදි නොවන දැනුම ලෙසත් හැඳන්විය හැකිය. මිනිසා ජීවත්ව සිටින්නාවූ සමස්ත කාලය තුළම සිදු කරනුයේ ඉහතින් දක්වන ලද 'නිවැරදි දැනුම' සොයා යාමත් 'වැරදි දැනුම' හෙවත් කරුණූ කාරණා හරි හැටි නොදැනීම නම් වූ තත්ත්වයෙන් ක්‍රමිකව ඈත් වීමත් ය. විද්‍යාඥයා යනු එවැන්නෙකි. අයිසෙක් නිවුටන් විසින් ගුරුත්වාකර්ෂණය පිළිබඳව න්‍යායන් ඉදිරිපත් කළේත් ක්‍රියාවකට ඒ හා සමාන වූද ප්‍රතිවිරුද්ද වූද ප්‍රතික්‍රියාවක් ඇතැයි පැවසුවේ ද සොබා දහම හෙවත් ප්‍රකෘතිය දෙස නිරීක්ෂණය කොට විමර්ෂණශීලී අයුරින් සිතීමෙ ප්‍රතිඵලයක් වශයෙනි.

එසේ නොමැති නම් තල් අත්ත මතට බෙලි ගෙඩිය වැටීම හේතුවෙන් කලබල වී මහත් විනාශයක් ඇති කරන ලද හාවා මෙන් නිවුටන් ද තමා අසල ඇපල් ගසෙන් වැටුණු ඇපල් ගෙඩිය ආහාරයට ගෙන නිකන් හිටයේ නම් ලෝකයට දැවැන්ත විද්‍යාත්මක ප්‍රබෝධයට ඉවහල් වූ විද්‍යාත්මක නියමයන් බිහි නොවනු ඇත. එමෙන්ම ආකිමිඩීස් විසින් සිය නාන බේසමෙහි තමාගේ ශරීරය එහි ගිල්වද්දී එයින් පිටතට වතුර උතුරා යෑම පිළිබඳව විමර්ෂණශීලීව නොසිටියේ නම් ඔහු විද්‍යාඥයෙකු සේ ලෝක ඉතිහාසයට එක් නොවන්නට ඉඩ තිබුණි. අධ්‍යාපනයේ දී ප්‍රකෘතිය දෙස විමර්ෂණාක්ෂියෙන් බැලීමේ වැදගත්කම වනුයේ එයයි. ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි අර්බුදයක් පවතින බවත් එයට විසඳුම් මොනවාද යන්නත් පළිබඳව සාකච්ඡා කිරීමේදී ඉහත ආකාරයේ පුලුල් පැහැදිලිකරගැනීමක් වෙත යොමු වීම ඉතා වැදගත්ය. එසේ නොමැතිව දේශපාලන වහන්තරාවනට මුවා වී සිදුකරන්නා වූ විග්‍රහ කිරීම් තුළින් සමාජය වෙත ප්‍රක්ෂේපණය වන්නේ නිවැරදි දැනුම් කාරණාවෝ නොවෙති.

අධ්‍යාපනය යන්න සේම 'ඉගෙනුම' යන්නද මෙහිදී සාකච්ඡා කළ යුතුමය. විවිධාකාර නිර්වචන රැසකින් මෙය ද හඳුන්වා ඇති නමුත් සාමාන්‍යයෙන් 'පුහුණුවේ හෝ අත්දැකීමේ ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගල චර්යාවේ ඇතිවන සාපේක්ෂවූත් ස්ථාවර වූත් දීර්ඝකාලීන වෙනස' ඉගෙනුම යනුවෙන් හැඟන්විය හැකිය. මේවා බොහොමයක් අධ්‍යාපනවේදීන් විසින් සලකා බලනු ලබන කාරණාවෝ වෙති. පුද්ගලයකු අත්දැකීම් මඟින් දැනුම ලබාගන්නා ආකාර දෙකක් පවතී. එනම්, තමා විසින්ම අත්දැක ඉන් ලබන්නා වූ දැනුම එහි පළමුවැන්න යි. දෙවැනි ආකාරය වනුයේ අන්‍යයන් දෙස බලා හෝ ඔවුනට ඇහුම්කන් දී ඔවුන්ගේ අත්දැකීම් තමාගේ අත්දැකීම් ගොන්නෙහි ලා ගැනීම හරහා දැනුම ලැබීමයි. ඇතැම් කාරණා අප ඉගෙනගනු ලබන්නේ පුහුණුවේ ප්‍රතිඵලයක් වශයෙනි. නිදසුනක් ලෙස පරිගණක භාවිතව දැක්විය හැක. පිහිනීම වැනි ක්‍රීඩා ඉගෙනගනු ලබන්නේ පුහුණුවේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙසේ ඉගෙනීම තුළින් සිදුවනුයේ පුද්ගලයකුගේ චර්යාව වෙනස් කිරීමය. එය වෙනත් අයෙකුහට සාපේක්ෂව සිදු වීම අපේක්ෂිතය. එසේම එම වෙනස්වීම ස්ථාවර හා දීර්ඝකාලීන වෙනසක් විය යුතුව ඇත.

එනම් අධ්‍යාපනය හරහා ඇති කරනු ලබන චර්යාත්මක වෙනස මිනිසාගේ මරණය දක්වාම ස්ථාවර ලෙස බලපැවැත්විම අපේක්ෂිතය. අද ඉගෙනගන්නා දේ හෙට හෝ අනිද්දා දිනයේ දී වෙනස් නොවිම මෙහි සරළම අදහසයි. එසේම ශිෂ්‍යයාගේ චර්යාව වෙනස්වීම ද දීර්ඝකාලීනව සිදුවන්නකි. එය එක් රැයකින් හෝ දෙකකින් සිදුවී හමාර වන්නක් නොවේ. මෙ හේතුවෙන් රටක ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස්කිරීමේදී බලධාරීන් විසින් මේ පිළිබඳව සිහියෙන් යුතුව විමසා බැලීම ඉතාම වැදගත් ය.

'ගුරුවරයා' යන සංකල්පයද අවසාන වශයෙන් කෙටියෙන් හෝ පැහැදිලි කරගත යුතුය. වචනාර්ථය ගත් කල 'ගුරු' යන්නෙහි අරුත 'ආලෝකය'යි. එසේම 'බ්‍රහස්පතී තාරුකාව' යන අර්ථයද මින් විෂද කෙරේ. 'වර' යන්නෙන් 'උතුමි' යන තේරුම ලබා දේ. එසේ නම් 'උතුම් වූ බ්‍රහස්පතී තාරුකාව' යන අදහස මින් පැවසෙන බව පෙනේ. බ්‍රහස්පතී යනු සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයාය. එය අනෙකුත් ග්‍රහයින් හට ගුරු වන හෙයින් ගුරු නමින්ද හැඳින්වේ. ශිෂ්‍යයාගේ ජීවිතයට අවශ්‍යය ආලෝකය හා මඟපෙන්වීම සිදුකිරීම ගුරුත්වයේ ගරුත්වයට නිතැතින්ම ඉවහල් වන බව නොකිවමනාය.

ඉහත කරුණු පිළිබඳව දළ වශයෙන් පැහැදිලි කර ගැනීමක් සිදු නොකොට ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුදයක් ඇති බව හෝ ඒවා කවරේදැයි හඳුනා ගැනීම හෝ ඒවාට විසඳුම යෝජනා කිරීම හෝ සිදු කිරිම අපහසු වන්නේය. රටක සාමාන්‍යයෙන් මුළු රටටම බලපාන්නා වූ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජාතික ප්‍රතිපත්ති යනුවෙන් ප්‍රමිතීන්ගෙන් සුසැදි ප්‍රතිපත්ති මාළාවක් පවතී. සෞඛ්‍ය, නිවාස හා පොදු පහසුකම්, ජාතික ආරක්ෂාව, විදේශීය සබඳතා යනාදී විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් පැවතීම අපේක්ෂිතය. අධ්‍යාපනය යන්න මෙහිදී තීරණාත්මකය.

මක්නිසාද යත් රටක අනාගත පරපුරෙහි බුද්ධියේ නිම් වළලු ප්‍රසාරණය නොකෙරුණහොත් අදාල රටෙහි සංවර්ධනයක් සිදු නොවන බැවිණි. එවන් රටවල් දිළිඳු භාවයේ පතුළේ හෝ සදාකාලිකවම සංවර්ධනය වෙමින් පවතින ලේඛනයෙහි පැවතීම සනාථන සත්‍යයකි. එහෙයින් අධ්‍යාපනය සමිබන්ධව පුළුල් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වේ. ඒ හරහා දුප්පතාට වෙනමත් පොහොසතාට වෙනමත් වශයෙන් ජාතික ප්‍රතිපත්තියක් වෙනස් විය නොහැක. එය සියලුදෙනා හටම එක හැන්දෙන් බෙදන්නා වූ සමානාත්මතා මූලධර්මය පදනම කර ගනිමින් නිර්මාණය විය යුතු ය. ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ අර්බුද දෙස විමර්ෂණාක්ෂියෙන් යුතුව බැලීමේදී පැහැදිලි වනුයේ මෙරට එවන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් පවතීද යන ගැටලුවයි.

විෂයභාර අමාත්‍යවරුන් , නියෝජ්‍ය අමාත්‍යවරුන් හා අධීක්ෂණ මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින්ට අමතරව අමාත්‍යංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන් හා නිලධාරීන් හා ආයතනික ප්‍රධානීන් ඇතුළු විවිධ මටිටම් වල නිලධාරීන් රැසකින් සංයුක්ත වන මානව සම්පත සේම තාක්ෂණික සම්පත්හි සහය ද මෙරට අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම උදෙසා ලැබෙනු පෙනේ. ඒවායෙහි භාවිතයට අවශ්‍යය ප්‍රාග්ධනය අය වැය මඟින් සේම විටින් විට පාර්ලිමේන්තුව හරහාද ලබා ගැනීම සිදුකෙරේ.

නමුදු ගැටලුව වනුයේ මෙම ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමය. බුරුතු පිටින් සිටිනා නිළධාරීන්ගේ සේවය නිසි පරිදි නෙළා ගැනීමට පැවති හා පවත්නා රජයයන් උත්සුක වන බවක් පෙනෙන්නට ද නැත. මානව සම්පත වෙත සිය සේවය නිසි පරිදි කර ගෙන යාමට නම් ඒ උදෙසා මානසික ප්‍රීතියක් ඇති විය යුතුය. ඒ සඳහා නිසි කලට නිසි පරිදි වැටුප් හා අමතර දීමනාවන් සේම නිවාඩු ආදිය හිමිවිය යුතුය. ලංකාවේ මධ්‍යම රජයට අමතරව පලාත් සභා මඟින් පාලනය වන අධ්‍යාපන ආයතන බොහෝමයකි. ඒවායේ නිලධාරින් බොහෝ දුරට සිය රාජකාරියෙහි මන්දගාමව නියලෙන අන්දම් දැකගත හැකිය. සියල්ලෝම එසේ නොවන නමුත් බහුතරය එසේ ය. වැටුප් විෂමතා සම්බන්ධ උද්ඝෝෂණ කිරීම් ද ප්‍රධාන වශයෙන් ආයතනික මට්ටමෙන් දැකගැනීමට පුලුවන. සේවක සංගම්, ගුරුසංගම්, විදුහල්පති වරුන්ගේ වෘත්තීය සංගම් හා ආචාර්ය සංගම් ආදී ලෙසින් මහමඟට බැස උද්ඝෝෂණය සිදු කරන්නේ සිය වෘත්තීය තත්ත්වයට ගැලපෙන්නාවූ වැටුප් ඉල්ලා ය.

සියලුම උද්ඝෝෂණ සාධාරණීකරනය කිරීමක් මෙහිදී කිසිසේත්ම සිදු නොකෙරෙන අතර අප මෙහිදී මතුකර ගත යුත්තේ වෘත්තිකයන්ගෙන් හෝ සේවකකාරකාදීන්ගෙන් නිසි පරිදි සේවය ලබා ගැනීමට නම් ඔවුනට තෘප්තිමත් විය හැකි වැටුපක් හිමිවීමය. මෙසේ තෘප්තිමත් නොවී සේවය කරන්නන් විසින් සිය ආයතනයේ හෝ ශිෂ්‍යයන්ගේ සුබ සිද්ධිය තකා තමන්ගෙන් ඉටුවිය යුතු මෙහෙය ඉටුවන්නේ අලස අන්දමිනි. කොතෙක් කැප වී වැඩ කළ ද අපට හිමි වන්නේ මෙපමණ අඩු මුදලක් නම් අප තවත් මහන්සි වී කුමකට දැයි ඔවුන්ගේ යටි සිත විසින්ම ඔවුන් අලසකරණයකට පත් කෙරේ. ඉන් නොනැතී වංචාවන් සිදු කරන්නා වූ තත්ත්වයට ද ඔවුන් පොළඹවයි.



නිදසුනක් ලෙස පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේදී බොහෝ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විසින් දෙමාපියන් වෙතින් අල්ලස් ලබා ගැනීම සම්බන්ධ සිදුවීම් පෙන්වා දිය හැකිය. ඉන් නිරතුරුව ආයතනයන් වෙතින් අපේක්ෂිත ප්‍රතිඵල අත් නොවන තත්ත්වයක් උදා වන අතර, ඍජුවම හෝ වක්‍රව එය රටෙහි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියෙහි ගරා වැටීමට ද ඉවහල් වේ. අධ්‍යාපන ආයතන තුළ නිලධාරීවාදය ප්‍රබල ලෙසින් දැකගත හැකිය. ආයතන දේශපාලනීකරණය වීම හා පත්වීම් බොහොමයක් දේශපාලකයන් පසුපස ගොස් ඔවුනට බැගෑපත් වීමෙන් ලබාගන්නා ලද ඒවා වීමත් හේතුවෙන් අධ්‍යාපන ආයතනයන්හි අත්‍යවශ්‍යයෙන්ම පැවතිය යුතු ආයතනික නිදහස දේශපාලකයාගේ යකඩ සපත්තුවට පෑගී මිරිකී යාම ස්වභාවිකවම සිදු වන්නකි. පාසලක සේවය කිරීමට අවශ්‍ය ගුරු පත්වීමක් ලබා ගැනීමට නම් උපාධිය හෝ විද්‍යාපීඨ සුදුසුකම් පමණක් නොව දේශපාලකයින්ගේ පෝස්ටර අලවා, ඡන්දයට වැඩ කිරීමත් අත්‍යවශ්‍යය වේ. එය වත්මන් ප්‍රවනතාවයෙහි අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති බව අපි දකිමු. කෙතරම් දුරකට මෙය සාමාන්‍යකරණ වී ඇත්දැයි කියනවා නම් ජනතාව මෙය ප්‍රශ්න නොකොට පිලිගන්නා තත්ත්වයකට පත්ව තිබෙනු දැකගැනීමට පුලුවන.

ඇමතිවරුන්ගේ ලේඛනයන්හි නම් නොපවතීනම් අධ්‍යාපන සුදුසුකම් කෙතරම් තිබුනද පළක් නොවන වග විශ්වවිද්‍යාල සිසුවා සේම දැනුම් තේරුම් ඇත්තා වූ පාසැල් සිසුවා ද දනී. මෙහි පවත්නා ඛේදවාචකය වනුයේ මෙසේ පත්වීම් ලැබ ගැනීමෙන් අනතුරුව ද සිය ආයතනය තුළ නිදහසේ සේවය කිරීම සඳහා අවස්ථාව අදාල පුද්ගලයන් හට අහිමිව යාමයි. මන්ද යත් තමාට පත්වීම ලබා දුන් දේශපාලන හස්තය සතුටු නොකළ හොත් සේවය ස්ථීර කර ගැනීමට නොහැකි වන බව සේම දුර පලාතකට මාරු වීමක් ලැබෙන බවද ඔවුන් දන්නා බැවිනි. ඒ හේතුවෙන් මැතිවරණ කාලයන්හි දී වේදිකාවන්හි කතා පැවැත්වීමටත්, අහවල් පක්ෂයට හෝ පුද්ගලයාට ඡන්දය ලබා දෙන්න යැයි ද ඉල්ලම්න් අත්සන් ලේඛනයන්හි අත්සන් යෙදීමටත් සිදුවේ. මෙය අප අත්දකින්නා වූ සත්‍යයකි. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල මට්ටමේ දී මෙසේ අත්සන් ලේඛනයන්හි අත්සන යොදා අහවලා ජනපති කරමු යැයි ද, අහවල් පක්ෂය දිනවමු යැයි ද ආචාර්යවරුන් විසින් ඉල්ලා සිටි අන්දම අප දැක ඇත්තෙමු. සමාජ දේහය තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරයාට හිමිවී ඇති ගෞරවය නැමැති ඉඩ පරිමාව හේතුවෙන් ඔවුන්ගේ ඉල්ලීමට අවනතවන ජන කොට්ඨාසයක් ද සිටින බවත් එම ජනයා තමා වටා ගොනු කර ගැනීමට ඉහත අන්දමේ අත්සන් ලේඛනයක් තුළින් හැකි වන බවත් දේශපාලකයා දනී.

ඉහත හේතුව නිසාවෙන් ස්වාධීනව සිටීමට උත්සාහ දරන්නාවූ හෝ වෙනත් දේශපාලන මතයක් දරන්නා වූ හෝ ඇදුරන් හට ඇති පැවැත්ම ක්‍රම ක්‍රමයෙන් අහෝසි වී යයි. බලයට පත් වන්නාවූ දේශපාලකයා විසින් තමාට විවෘතවත් කොන්දේසි විරහතවත් දායක වූ පිරිස් වෙත සුව පහසු ලෙසින් වෘත්තීය ජීවිතයේ ඉදරියට යාමේ අවස්ථාව විවරකර දේ. විදේශ ශිෂ්‍යත්ව , පර්යේෂණ පහසුකම්, තනතුරු හා වරප්‍රසාද හා තවත් බොහෝ දෑ ඔවුනට හිමි වීම නිතැතින්ම සිදුවේ.

නමුත් එසේ දේශපාලනීකරණය නොවූ ආචාර්යවරුනට බොහෝ දුරට උක්ත පහසුකම් නොලැබී යාම සිදුවේ. මෙය ආයතන අභ්‍යන්තරයෙහි සමානාත්මතා තුලනය බිඳවැටීමට ඉවහල් වන්නකි. එවිට ඔවුන්ගේ බුද්ධියෙන් නිසි ඵල නෙළා ගැනීමට නොහැකි වේ. කැපිලි කෙටිලි දරාගැනීමට නොහැකිවන්නාවූ සීමාවේදී ස්වාධීන හා වෙනත් දේශපාලන මතධාරී ඇදුරන් රට හැර යාම සිදු වන්නේය. මෙය ලංකාවේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමට බලපාන්නා වූ ප්‍රමුඛ ගණයේ හේතුවක් ලෙසින් හඳුනා ගැනීමට පුලුවන.

අධ්‍යාපන ආයතන දේශපාලනීකරණය වීම පිළිබඳව ලද හැකි සමීපතම නිදසුන නම් විශ්වවිද්‍යාලයන්හි උපකුලපතිවරුන් පත්කිරීමේ දී සිදුවන ක්‍රියාවලියයි. මේ පිළිබඳ විවිධ මත පැවතියද වඩාත් සුදුසු වනුයේ අදාල විශ්විවිද්‍යාලය තුළින්ම තේරී පත්වන්නා වූ ස්වාධීන හා වියත්, පරිණත මණ්ඩලයක් විසින් මෙය සිදු කිරීමයි. එසේ නොමැතිව ජනාධිපතිවරයා විසින් උපකුලපතිවරුන් පත් කිරීම හේතුවෙන් ආයතනය පැහැදිලි ලෙසින්ම දේශපාලනීකරණය වන්නේය. ඔහු හෝ ඇය සිය සුව පහසු පැවැත්ම හා බලය නැවත වරක් ලබා ගැනීමේ අදහසින් යුතුව තමාගේ දේශපාලන ස්වාමියාගේ අණට කීකරු වී සේවය කරනු මිස අවංක චේතනාවෙන් යුතුව අපක්ෂපාතීව හා සාධාරණව මැදහත් තීරණ ලබා ගැනීමක් වෙත යොමු වීම සිදු නොකෙරේ.

මේ තත්ත්වය වත්මන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැකගත හැකි බව වෙසෙසින් කිව යුතු නැත. එසේම විශ්වවිද්‍යාලයන්හි පාලක සභා වෙත කෙරෙන පත්වීම් අතුරුන් බහුතරයක් ද සිදු කෙරෙනයේ විෂයභාර අමාත්‍යවරයාගේ, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ හෝ වෙනත් දේශපාලන බළධාරියකු ගේ සමීප හිතවතුන්ය. එම පාලක සභාවනි සඳහා පරිණත, උගත්, විවිධ ක්ෂේත්‍රයන් පලිබඳව මනා අවබෝධයක් ඇත්තාවූ, අදාල විශ්වවිද්‍යාලයෙහිම සේවය කොට විශ්‍රාම ගියා වූ ආචාර්ය මහචාර්ය වරුන් සම්බන්ධ කර ගැනීම සුදුසු වුවද එවැන්නක් සිදු නොවේ. මක්නිසාද යත් එසේ වුව හොත් අනු නීති වෙනස් කර ගනිමින් සරසවි සිය දැඩි පාලනයට නතු කර ගැනීමට පාලකයන්හට නොහැකි වෙතැයි හැඟී යන බැවිනි. එහෙයින් පාලක සභා තුළට සිය හිතවතුන් ඇතුළත් කිරීම සිදුවේ.

සම්මානනීය ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වුව ද සිය වෘත්තීය ජීවිතයෙහි දී තමා වෙත එල්ල වන්නාවු විනය චෝදනාවක දී සුදුසුකම් හා දැනුමින් සේම පලපුරුද්දෙන් ද තමා වෙත ළංවීමට පවා නොහැකි පහළ තත්ත්වයේ සිටිනා පාලක සභාවේ නිලධාරින් ඉදිරියේ පෙනී සිටිය යුතුය. මෙය එක් අතකින් ගත් කල නොගැලපෙන්නාවූ ක්‍රමවේදයක් ලෙසින් හඳුනා ගැනීමට පුලුවන. මෙවන් සිදුරු පිළිබඳව පවා නොසලකා හැර ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියේ දුර්වලතාවෝ පිළිබඳව සංවාදය සිදු කළ නොහැක. අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම සිදුවන ආයතනයන්හි තත්ත්වය මෙයට වඩා විධිමත් හා ක්‍රමාණුකූල විය යුතුය. විනිවිද බවින් යුක්ත විය යුත්තාහ.

රටෙහි අධ්‍යාපනය සඳහා මුදල් වෙන් වීමේදී අධ්‍යාපනය සඳහා වෙන් කෙරෙන්නා වූ ප්‍රමාණය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව මැදහත් සිතින් නිරීක්ෂණය කරන ඕනෑම අයෙකු හට පෙනී යනු ඇත. දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වත් අවම වශයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම ජාත්‍යන්තරව (යුනෙස්කෝව දක්වන) පිළිගත් සම්මතයයි. ජනගහන වර්ධනයට සාපේක්ෂ වශයෙන් අධ්‍යාපන වියදම් ඉහළ යාම සාමාන්‍ය ලක්ෂණයකි. එහෙත් ලංකාවේ දී එම ක්‍රමවේදයේ ප්‍රතිවිරෝධතාවක් දක්නට ලැබේ. එලෙස වෙන් කෙරෙන මුදලින් 80% පමණ වැටුප් සඳහා යෙදවෙන අතර අනෙකත් කටයුතු සඳහා ආයෝජනය වන්නේ 0.4% ක් පමණ ප්‍රමාණයකි.

දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ගතහොත් පසු ගිය වසර කිහිපයක් තුළ අධ්‍යාපනය සඳහා සිදු කෙරුණු ආයෝජනය මෙපරිද්දෙන් දැක්විය හැකිය.

1960- 4.8%
1970- 4.6%
1980 - 3.0%
1990- 3.2%
2000- 2.6%
2006- 2.8%
2012- 1.8%


2013 වර්ෂය සඳහා වෙන් වන්නේ 1.5 % ක් වැනි අඩු ප්‍රතිශතයක් බව අය වැය කතාව තුළදී හඳුනා ගැනීමට හැකි විය. මෙහි හඳුනා ගැනීමට හැකි රටාවක් පවතී. එනම් දිගින් දිගටම සිදුව පවත්නා ප්‍රතිපාදන කප්පාදු කිරීමයි. යුද්ධයෙන් අනතුරුව මේ වන විට සිව් වසරකට ආසන්න කාලයක් ගතව ඇතත් අධ්‍යාපනය සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදනයනට වඩා බොහෝ ගුණයකින් රාජ්‍ය ආරක්ෂාව සඳහා මුදල් වෙන් කෙරෙනු දැකිය හැක. මේ හේතුවෙන් ගැටලු රැසක් පැන නඟී. ඒවා අතර ගුණාත්මක භෞතික සම්පත් හිඟයකට මුහුණපෑමට සිසුන්ට සේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු සියල්ලන්ට සිදුවන්නේ ය. එවිට සිසුන් හට නිසි අධ්‍යාපනයක් නොලැබී යන අතර මිළ මුදල් ඇති පිරිස් විසින් සිය දූ දරුවන් පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙත මුදල් ගෙවා යොමු කරවීම සිදුකළ ද දුප්පත් මිනිසුන් හට එසේ කිරීමට හැකියාවක් නොමැති හෙයින් පවත්නා තත්ත්වයනට අකමැත්තෙන් වුවද මුහුණ දී ඉවසා වදාරන්නට සිදුවන්නේ ය. ඒ හේතුවෙන් බොහෝ දරුවන් අධ්‍යාපනයෙන් පිටමං වීම සිදුවන්නේය. දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන ජීවිතය අකල් මරණයකට ලක්වීම සිදුවන්නේය.

'හොඳම දේ දරුවන්ට ය' යනුවෙන් පැවසූයේ 1917 දී සාර් රජුගේ පාලනය පෙරළා දමා සමාජවාදී සෝවියට් දේශය නිර්මාණය කිරීමේ පුරෝගාමියා වූ විලැඩිමීර් ඉලිච් ලෙනින් ය. බොහෝ රටවල් විසින් ඔහුගේ කියමන යථාර්ථයක් බව පසක් කොට ගැනීමෙන් අනතුරුව ප්‍රතිපත්ති සම්පාදනයේ දී උපයුක්තකර ගන්නා ලදි . මෙරට දේශපාලන වේදිකාවන්හි දී දේශපාලකයින් විසින් ගොබෙල්ස් න්‍යායට අනුව දරුවන් සුරතල් කරමින් කැමරා කාච ඉදිරියේ ජාතියේ පීතෘවරුන් වීමට උත්සහ දරනවා මිස සැබෑ ජාතික වුවමනාවකින් යුතුව අවංක හැඟීම් පෙරදැරිකර ගනිමින් හොඳම දේ දරුවන්ට ලබා දීමට උත්සාහ දරනු පෙනෙන්නට නොමැත.

හොඳම දේ තමාටත් තමාගේ බේබි ලා හටත් පමණක් උරුමකර දීම වෙනුවෙන් සදාකාලිකව බලයේ රැඳී සිටීම අති බහුතර දේශපාලකයන්ගේ ස්වභාවය බව ඔවුන්ගේ චර්යාව නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි.

මෙරට මහා මාර්ග හා යටතල පහසුකම් සංවර්ධනය උදෙසා සේම ජාතික ආරක්ෂාව උදෙසා අති දැවැන්ත මුදල් ප්‍රතිශතයක් අය-වැය තුළින් වාර්ෂිකව වෙන් කෙරෙන අන්දම අපි දකින්නෙමු. මෙය අයහපත් තත්ත්වයක් නොවන නමුත් අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් ප්‍රතිශතය කපා හැර උක්ත ක්ෂේත්‍ර වෙත මුදල් අති විශාල අන්දමින් යෙදවීම එතරම් සුදුසු තත්ත්වයක් නොවේ. ලෝකයේ සංවර්ධනය අතින් ඉදිරියෙන් සිටින්නාවූ බොහෝ රටවල් එකී සංවර්ධන ඉලක්ක වෙත ළඟාවී ඇත්තේ රටෙහි මතු පරපුරෙහි අධ්‍යාපනය පිළිබඳව ප්‍රමුඛතාව ලබා දීමෙන් සිදු කරන ලද කර්තව්‍යයෝ හේතුවෙනි. අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කිරීම යනු අපතේ යැවීමක් නොවන වග ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් දැන් හෝ තේරුම්ගත යුතුව ඇත.
අධ්‍යාපනයෙහි ආයෝජනය යනු අනාගත ප්‍රතිලාභ රැසක් අත් විඳීමට හේතු වන්නා වූ යහපත් කටයුත්තකි. ලෝක මට්ටමෙන් ගත හැකි උදාහරණ රැසක් මේ සම්බන්ධව පවතී. ඒ අතර ජපානය වෙත පරමාණු බෝම්බ හෙළා හිරෝෂීමා හා නාගසාකී නගර සමඟින් ජපානය බිමට සමතලා වෙද්දී හැඬූ ජපන් පාලකයින් පසුව රටෙහි වත්මන් දියුණුව උදා කර ගනු ලැබූයේ අන් කිසිවකින් නොව දුර දිග බලා සිදුකරන ලද සැලසුම් හේතුවෙනි. එම සැලසුම් අතර මතු පරපුරෙහි අධ්‍යාපනය දියුණු කිරීම උදෙසා රජය විසින් මුදල් ආයෝජනය කිරීම පුළුල් කිරීම විශේෂයෙන් දැකගත හැකි විය. අද වන විට ඔවුන් එහි ප්‍රතිලාභ අත් විඳී. කියුබාවේ සේම වෙනිසියුලාවෙහි ද එමෙන්ම පැවති සෝවියට් දේශය තුළ ද මෙම තත්ත්වය මැනැවින් දැකගත හැකි විය. නමුදු ලංකාවේ විටින් විට පත්වන පාලකයින් ගේ අභිමතාර්ථය වී ඇත්තේ රට සංවර්ධනය කිරීම හෝ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය නඩත්තුකොට ගුණාත්මක අයුරින් පවත්වාගෙන යාම හෝ නොව ඉදිරි මැතිවරණය ජයගන්නේ කෙසේදැයි තුන් කල්හිම කල්පනා කරමන් ඒ උදෙසා කටයුතු කිරීමය. සියල්ල සිදුකෙරෙනුයේ බලය වෙනුවෙනි.

ලංකාව පසුගාමී ධනේෂ්වර රටක්වන අතර මෙරට තුළ ධනවාදය රෝපණයවූයේ උත්තරාරෝපිත අන්දමිනි. එසේ නොමැතිව පැවති ආසියාතික සමාජ ආර්ථීක ක්‍රමයෙහි ක්‍රමික විකාශනයෙහි ප්‍රතිඵලයක් ලෙස නොවේ. මෙය වෙනමම සාකච්ඡා කළ යුතු කරුණක් වන නමුත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් නිසි පරිදි සකස්නොවීම කෙරෙහි මෙය ද ඉවහල් වී ඇති බව පෙනේ. අනුකාරක ධනවාදී පාලක පැලැන්තීන් විටින් විට මෙරට පාලන බලය එකිනෙකා අත හුවමාරු කර ගනිමින් පවත්වාගෙන ගියා මිසක ගැඹුරු දේශපාලනමය විඥ්ඥාණයකින් යුතුව ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳව සිතා කටයුතු නොකරන ලද බවට වැඩි සම්භාවිතාවක් පවතී. මෙරට අධ්‍යාපන ක්‍රමය විකාශනය වූයේ බෞද්ධ විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමිනි. එය යම් ප්‍රමාණයකින් විධිමත් බවක් පෙන්නුම් කර තිබෙන බවට ඉතිහාසය සාක්ෂි සපයයි.

නිදහස් අධ්‍යාපන පනත ව්‍යවස්ථාදායකව තුළ සම්මත වීමට ප්‍රථම අධ්‍යාපන අයිතිය හිමිව පැවතුනේ ප්‍රභූ පැලැන්තිය වෙත පමණි. අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව එම ප්‍රභූ ඉඩම් හිමි රදළ ස්වාමීවරුන්ගේ බූදලයක් බවට පත්ව තිබුණි. නමුත් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර ශ්‍රීමතාණන් ගේ මැදිහත් වීමෙන් සම්මතකෙරුණු නිදහස් අධ්‍යාපනය පිළිබඳ පනත හේතුවෙන් ඈත පිටිසර පොල් අතු පැල්පත්හි සිටිනා දුප්පත් දරුවන්හටද අධ්‍යාපනය සඳහා භාග්‍ය උදාවිය. වනයේ පිපී වනයේම පරවී යෑමට නියමිතව සිටි දූ පුතුන් රැසකට මිනිසුන් අතර විකසිතව සුවඳ දසත විහිදුවාලන්නට අවස්ථාව ඉන් උදා විය.

දේශපාලකයින් එම පනත සම්මත කරන ලද්දේ කැමැත්තකින් නොවේ. ප්‍රගතිශීලී බලවේග ඒ උදෙසා කරන ලද අරගල විශාල ප්‍රමාණයක ප්‍රතිඵල හේතුවෙන් නොකර පැහැර හැරිය හොත් සිය දේශපලන මූලයන් සිඳී බිඳී ගොස් පැවැත්ම අහිමිවේ යැයි වූ බියෙනි. ව්‍යවස්ථාදායකය වටකොට ජනතා පවුරක් එක් රොක්වූ බවත් පනත සම්මත වීමට අදාලව තත්ත්වයන් පාර්ලිමේන්තුව අසළ සිට සජීවීව ජනතාව අතරට වාර්තාකිරීම ද මාධ්‍යවේදීන් හා අතරමැදියන් පොරකෑ බවත් ඉතිහාසය පිරික්සීමේදී පැහැදිලි වේ. මෙසේ අකමැත්තෙන් ලබා දීමට සිදුවූ නිදහස් අධ්‍යාපන අයිතිය යලි උදුරා ගැනීමට එකවර නොහැකි නිසාවෙන් හා එසේ කළ හොත් දැවැන්ත ජනතා විරෝධයක් මතුව එනු ඇතැයි පාලකයින් අපේක්ෂා කළ නිසාවෙන් හෙමින් සීරුවේ කාලයත් සමඟින් එදා ලබාදුන් එකී අයිතිය, ක්‍රමයෙන් අද වන විට අහෝසි කර දමමින් සීඝ්‍ර පොද්ගලීකරණයක් වෙත පිය මනිමින් සිටී. එය නව ලිබරල් ධනවාදයේ දෙවන ඉනිමෙහි නෛසර්ගික ලක්ෂණයක් ලෙසින් හඳුනා ගැනීම වැරදි නොවේ. ඒ හේතුවෙන් ප්‍රතිපාදන කප්පාදුවේ හා පාඨමාලා නවීකරණය නොකොට අන්තවාදී ලෙසින් පෞද්ගලීකරණය කිරීම දක්වාත් ඉන් නොනැවතී වැටුප් නොගෙවීම හා වැටුප් වර්ධක ලබා නොදීමත් විෂමතා ඉවත් නොකිරීමත් දක්වාත් විවිධ පරාසයන් තුළ ව්‍යාප්තව පවතිනු දැක ගැනීමට පුළුවන.

මේ හේතුවෙන් පත්වන කිසිඳු පාලකයකු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් උදෙසා පෙනී සිටීම වුවමනාවෙන්ම මඟහැර සිටීමට ක්‍රියා කරන්නට විය. මෙරට මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාල හා වෙනත් විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපන ආයතන අති විශාල සංඛ්‍යාවක් පවතී. ඒවා සඳහා අනුමැතිය ලබා දීමත් විනිවිද භාවයකින් තොරව සිදුවනු දැකිය හැක. සති අන්ත පුවත්පතක් ගෙන නිරීක්ෂණය කර බැලුව හොත් මෙම තත්ත්වය පැහැදිලිව දැක ගැනීමට පුලුවන. එහි දී විවිධාකාර මිල ගණන් යටතේ සිල්ලරට බඩු විකුණන්නාක් මෙන් උපාධි, ඩිප්ලෝමා හා වෙනත් සහතික පත්‍ර පාඨමාලාවෝ පිළිබඳව විස්තර වෙති. පෞද්ගලීකරණය පිළිබඳව වෙනමම සාකච්ඡා කෙරෙන බැවින් ඒ පිළිබඳව මෙහිදී ගැඹුරින් විමසා බැලීමක් සිදු නොකෙරේ. නමුත් අප පසක් කර ගත යුතු වනුයේ අන් යමක් නොව මෙසේ සිල්ලරට බඩු විකුණන්නා සේ උපාධිය විකිණීම තුළ මෙරට අධ්‍යාපන ප්‍රතිපත්තියේ ඇති වන දැවැන්ත රික්තකමය ස්වභාවයයි.

මෙම සිදුර තුළින් කාන්දුවී අපතේ යන්නේ මෙරට අනාගත පරපුර උදෙසා සි. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මහතාගේ හා ප්‍රගතිශීලීන්ගේ මැදිහත් වීමෙන් සම්මත කෙරුණු නිදහස් අධ්‍යාපනය පිළිපඳ සුපහන් අපේක්ෂාවෝ වෙති. ජනතාව මේ පිළිබඳ සත්‍ය තේරුම් ගත යුතු අතර එකී ජනතා අවබෝධය ඇති කිරීම උදෙසා ප්‍රගතිශීලී සමාජ කණ්ඩායම් නොපැකිලව පෙරට පැමිණිය යුතුව ඇත.

මෙරට අධ්‍යාපන ක්‍රමවේදය තුළ ළදරු පාසැල් අධ්‍යාපනය සුවිශේෂී සංධිස්ථානයක් ගනී. ඒ හේතුවෙන් මුල් ළමා විය සංවර්ධනය කිරීමේ දී ළදරු පාසැල් ගුරුවරුන් වෙත ප්‍රබල වගකීමක් පැවරේ. අනාගත ජීවිතය ගොඩනගා ගැනීම සඳහා වන උත්තේජන ලබා දීමේ භාරධූර වගකීම පැවරෙනුයේ ළදරු පාසල් ගුරු භවතුන් හටය. නමුදු මේ වන විටත් එම වැදගත් අංශය පිළිබඳව දක්වා ඇති සැලකිල්ල පිළිබඳව සතුටට පත්වීමට නොහැක. නිසි පරිදි විධිමත් විෂය නිර්දේශයක් දරුවාට හුරුකිරීමට මේතාක් බළධාරීන් විසින් කටයුතු නොකිරීම කණගාටුවට කරුණකි. පසුගිය දිනක පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව කියවීමේදි එක් මන්ත්‍රීවරයකු විසින් රජයෙන් විධිමත් විෂය නිර්දේශයක් පෙර පාසල් වෙනුවෙන් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා තිබෙණු දැක ගැනීමට හැකි විය. එය යම් මට්ටමක යහපත් මුල පිරීමකි. එසේ නොමැති නම් රට පුරා පෙර පාසල් දරුවන් විවිධාකාරයේ නිර්දේශයන් මත අසමානාත්මතාවය මත සංවර්ධනය වීම සිදුවේ.
විධිමත් විෂය නිර්දේශයක් හඳුන්වා නොදීම සේම පෙර පාසැල් ගුරුවරුන් ලෙස කටයුතු කරන්නවුන් උදෙසා සුදුසුකම් රාමුවක් හඳුන්වා නොදීම ද මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි පවත්නා අර්බුදයේම එක්තරා පිළිබිඹුවකි. මේ වන විටත් දිවයින පුරා විවිධ අධ්‍යාපන මට්ටම් වලින් යුත් පිරිස් විසින් ළදරු පාසල් හි ඉගැන්වීම් කටයුතු සිදුකරගෙන යනු ලැබේ. කුඩා දරුවන් හට නිවැරදි දෑ නිවැරදි ලෙසින් ලබා දීමට මොවුන් සෑම විටම ක්‍රියා කරනවාදැයි සැක සහිතය. ඔවුන් විසින් සිදු කරනු ලබන සේවය ඉතා අගනා වුව ද සුදුසුකම් රාමුවක් ඔවුන් වෙනුවෙන් නිර්දේශ කිරීම බලධාරීන් සතු වගකීමකි.

විභාගයන්හි පවත්නා රහස්‍යභාවය හා විශ්වසනීයත්වය ආරක්ෂාකිරීම ද අත්‍යවශ්‍යය. නමුදු වර්තමානය වන විට ලංකාවෙහි උසස් විභාගයන්හි පවා විශ්වසනීයත්වය ක්‍රමයෙන් බිඳවැටීමට ලක්වෙමින් පවතී. ප්‍රශ්න පත්‍ර පිටවීම සුලබව සිදුවන වග මාධ්‍ය මගින් වාර්තා කරන අන්දම පසුගිය වකවානුව තුළ නිතර නිතර දැක ගැනීමට හැකි විය. මෙය විපක්ෂයට අනුව රජයේ වරද හෝ නොසැලකිල්ල බව කියැවුණි. ආණ්ඩුවට අනුව මෙය විපක්ෂයේ කඩාකප්පල්කාරීන් ගේ ක්‍රියාවක් හෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසින් සිදුවන දෙයකි. කරුණු කාරණා එසේ පෙළ ගැසෙද්දී, මැදහත් කෝණයකින් මෙම ප්‍රශ්න දෙස බැලීමේ අවශ්‍යයතාව අන් කවරදාකටත් වඩා අද වන විට දැනෙමින් තිබේ.

බලධාරීන්ගේ නොසැලකිල්ල මේ සඳහා ඉවහල්වන බව වෙසෙසින් දැක්විය යුත්තක් නොවේ. ඉළ ඇදෙනා තුරු සිනහ වීමට තරමේ සිනහා උපදවන දේශපාලකයන් ගේ කතාවන් මත පදනම්ව නිගමනයනට බැස පළක් නොමත. විපක්ෂයක කාර්යභාරය වනුයේ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් සෑම විටම අවධානයෙන් සිටීමත්, අවශ්‍ය අවස්ථාවේදී සුදුසු පරිදි විවේචනය කිරීමත්, බලයේ සිටිනා ආණ්ඩුවෙහි අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රජාව දැනම්වත් කිරීමත් ය. නමුත් පසුගිය කාලයෙහි සිදුවූ ප්‍රශ්න පත්‍ර කලින් නිකුත්වීමට අදාල ගැටලුවෙහි දී මෙරට විපක්ෂ ක්‍රියාකාරීන් කටයුතු කරන ලද්දේ ඉන් දේශපාලන වාසි ලබා ගැනීම විනා යලි එවන් තත්ත්වයකට මෙරට විභාගයන් පත් නොවීමට අවශ්‍යය යෝජනා හා ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් බලයේ සිටින්නන් පෙළඹවීම උදෙසා නොවේ.

කෙසේ වෙතත් විභාග යනු රහස්‍යය භාවය මත පදනම් විය යුත්තකි. එය ආරක්ෂා කිරීම බලධාරීන් සතු වගකීමකි. ශිෂ්‍යත්ව විභාගය වැනි විභාගයන් තුළින් යම් සහනයක් දුප්පත් දරුවන්ට ද හිමිවේ. එය සමත්වීමෙන් දුෂ්කර පාසලක සිට දියණු පහසුකම් සපිරි පාසලක් වෙත ඇතුළුවීමට එම දරුවනට ද අවස්ථාව උදාවේ. නමුදු දක්ෂයන් පසෙක සිටියදී අදක්ෂයින් විභාග සමත්වීම ජාතියේ අනාගතය වෙත කෙරෙන දැවැන්ත විනාශයකි. දෙයක් වේ නම් එය සුදුස්සාටම අයිතිවිය යුතු බව පිළිගත් සත්‍යය වේ. මෙවන් වංචනිකයනට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම ද අත්‍යවශ්‍යය. එවිට යලි යලිත් මෙවන් වංචා සිදුවීම් අවම වනු ඇත. එසේ නොමැතිව වරද පෙන්වාදීමට හෝ වරද පිළිබඳව කරුනු මාධ්‍යයට හෙළි කිරීමට ඉදිරිපත් වන්නාවූ ප්‍රගතිශීලීන් මර්ධනය කිරීම බලධාරීන්ගේ යුතුකම නොවේ.



පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයම එක්තරා ආකාරයක අර්බුදයකි. මේ වන විට මෙරට දරුවන් හට නිදහස් හා සොඳුරු ළමා වියක් හිමිවන්නේදැයි සැක සහිතය. දරුවා යනු සොබාදහම හා මුහුවී නිර්මාණය විය යුත්තෙකි. මෙයට දශකයකට පමණ පෙර දී තිබූ තත්ත්වය ද අද වන විට සහමුලින්ම වෙනස්ව ගොස් අතිධාවනකාරී වූ විභාග සමත් කිරීමේ අධ්‍යාපන තරඟයක් වෙත දරුවන් බලහත්කාරයෙන් ඇද දැමීමට මව්පියන් ක්‍රියා කරන අන්දම දැක ගැනීමට හැකිය. ශිෂ්‍යත්ව විභාගය වෙත 'මව්වරුන්ගේ විභාගය' යන නාමකරණය ලැබී ඇත්තේ එබැවින් විය හැකිය.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය වෙනුවෙන් පළමුවසරේ සිටමු කුඩා දරුවන් පෞද්ගලික උපකාරක පන්ති වෙත යොමු කරවීම ද දැක ගැනීමට පුලුවන. බොහෝ දරුවන් මේ සඳහා යොමු වන්නේ මව්වරුන්ගේ හෝ වැඩිහිටියන්ගේ බලපෑමට යටත්වය. එසේ පාසල් වේලාවෙන් අනතුරුව හිමිවන විවේකය පවා ශිෂ්‍යත්ව විභාග තරඟය හේතුවෙන් මෙරට දරුවනට අහිමි වේ. මෙහි ප්‍රතිඵලයෝ භයානක අතුරුඵල ලෙසින් අනාගතයේදී මතු පිටට පැමිණෙනු ඇත.

මානසික ආතතියෙන් යුතු වැඩිහිටියන් නිර්මාණය වනුයේ ළමා මනසේ නිදහස අහිමිකොට තරඟකාරීත්වය වෙත ඔවුන් ඇද දැමීමේ ප්‍රතිවිපාකයක් වශයෙනි. එසේම මව් පියන් හා වැඩිහිටියනට ගරු නොකරන්නාවූ මානව දයාව වියැකී ගියාවූ පරම්පරාවක් නිර්මාණය වීම උදෙසා මෙම අසීමාන්තික තරඟය ඉවහල් වේ. ඒ බව සියල්ලෝ විසින් කඩිනමින් වටහා ගත යුතුව ඇත. සොබාදහමේ මල්, සමනලයන්, කුරුල්ලන්, දිය දහරාවෝ, ගස්-වැල් හා නිදහස් මනසින් යුතුව මුහු වීමට දරුවාට විවේකය ලැබීම අත්‍යවශ්‍යය. ආච්චී, සීයා වැනි වැඩිහිටියන් හා ගැවසීමටත් ඔවුන් සතු අත්දැකීම් දරුවා වෙත සම්ප්‍රේෂණය වීමටත් වේලාව වෙන් විය යුතුය. දරුවා සමාජ හර පද්ධතීන් ග්‍රහණය කර ගැනීම සඳහා ආගමික උතුමන් හා ගැවසීමට නිදහස් මනසින් යුක්ත විය යුතු ය. මිතුරන් හා ක්‍රීඩා කොට අත්දැකීම් ලැබිය යුතුය.

එසේ නොමැතිව පරිපූර්න වැඩිහිටියකු බිහි නොවන්නේය. එසේ නොමැතිව ලබන්නාවූ උගත්කමෙහි වටිනාකම අල්පය. දරුවා වනාහී කුඩා වැඩිහිටියකු නොවන්නේය යන වග පසක්කර ගැනීම සැවොම සතු යුතුකමකි. බොහෝ මව්පියන් හට අසල්වැසියා සමඟ ඇත්තේ තරඟයකි. එකී තරඟය වෙනුවෙන් සිය දරුවන් තරඟ බිමට යෙදවීම නුසුදුසු ක්‍රියාවකි. පහ ශ්‍රේණයේ ශිෂ්‍යත්ව විභාගය ඒ සඳහා හොඳ තරඟ බිමක් බවට පත්කර ගැනීමට බොහෝ වැඩිහිටියෝ ක්‍රියා කරති. මේ වියවුල විසඳා නොගන්නේ නම් පරිපූර්ණ වඩිහිටියකු නිර්මාණය වීම වෙනුවට විභාග සියල්ල සමත් රෝගී මිනිසකු නිර්මාණය වීම සිදුවනු නොඅනුමානය. මෙවන් තත්ත්වයක් මත ඉදිරියටත් මෙම තරඟය පැවැත්වීම පිලිබඳව බලධාරීන් දෙතුන් වරක් යළි යළිත් සිතා බැලිය යුතුව ඇත. එසේම ශිෂ්‍යත්ව විභාගය වෙනුවට විකල්ප ක්‍රියා මාර්ගයක් වෙත අධ්‍යාපනඥයින් විසින් යොමුවීම අත්‍යවශ්‍යය. ඒ සඳහා අවශ්‍යය කටයුතු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියත් ඔස්සේ ක්‍රියත්මක විය යුතුය.

සෑම වසරකදීම පාසල් අධ්‍යාපන පද්ධතියට පළමු වසර සඳහා සිසු දරු දැරියන් ලක්ෂ 3-4 ක් පමණ ඇතුළත් වේ. එහෙත් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන්නේ එම මුලු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 0.034% ක් පමණි. අතිශය තරඟකාරී විභායක් වන උසස් පෙළ විභාගට මුහුණදෙන සිසුන් අතරින් සරසවි වරම් ලැබීමට අවස්ථාව හිමි වනුයේ විභාගයට පෙනී සිටි පිරිසෙන් 2% ක් තරම් සුලු පිරිසකට පමණි. ඉතිරි 98% ක ප්‍රමාණයම එම තරඟයෙන් ඉවතට විසිවේ. මොවුන් සම්බන්ධව විධිමත් වැඩපිලිවෙලක් නෙමැති වීම මේ දක්වාම දැකගත හැකි වන සත්‍යයකි.

පළමුකොටම සරසවි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේදී එම සංඛ්‍යාව මෙයට වඩා පුළුල් විය යුතුය. ඒ සඳහා සරසවි තුළ පවත්නා පහසුකම් ප්‍රමාණවත් පරිද්දෙන් පුළුල් කිරීම සිදු කළ යුතුව ඇත. නමුත් කණගාටුවට කරුණක් වනුයේ වර්තමානය වන විටත් මෙයට දශක ගණනාවකට පෙර තැනූ නේවාසිකාගාර හා දේශන ශාලා හැරෙන්නට විධිමත් භෞතික සංවර්ධනයක් හෝ බොහෝ සරසවි තුළ දැකගත නොහැකි වීමයි. සරසවි තුළ සමාසික ක්‍රමය හා පැමිණීමේ 80% අනිවාර්ය කිරීම වැනි දැඩි පිළිවෙත් ඉවත්විය යුතු අතර සරසවි සිසුවාගේ විෂය බාහිර ක්‍රියාකාරකම්, පර්යේෂණ නිදහස, පෞද්ගලික නිදහස හා විශේෂයෙන්ම දේශපාලන නිදහස සීමා කිරීමේ යටි අරමුණින් ගෙන ඇති එවන් ප්‍රතිපාදන ඉවත් කිරීම කඩිනමින් සිදු විය යුත්තකි.

වැඩි සිසු සිසුවියන් පිරිසක් වෙත සරසවි වරම් ලබා දීමට කටයුතු සැලැස්වීම ද සිදුවිය යුත්තකි. යමෙකු එවිට ප්‍රශ්නයක් විමසුනු නියතය. එනම් එසේ බිහිවන උපාධිධාරින් හට අවශ්‍ය රැකියා සම්පාදනය කරනුයේ කෙසේද යනුවෙනි. මෙහිදී අවට ලෝකය දෙස අවධානය යොමුකොට බැලීමෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමට හැකි වේ. එය තරමක් සංකීර්ණව විග්‍රහ කරගත යුතුය. එනම්, සරසවි තුළට ඒ ඒ පාඨමාළාවන් සඳහා සිසුන් බඳවා ගැනීම නැමැති ක්‍රියාවලිය රටේ සංවර්ධන ක්‍රියාවලිය හා සාපේක්ෂව ගමන් කළ යුතුව ඇත. රජය විසින් සියල්ල සැළසුමක් මත සිදුකළ යුතුය.

නිදසුනක් ලෙස උපාධිධාරී ගුරුවරුන් සම්බන්ධව විමසා බලමු. උපාධිධාරී ගුරුවරයෙකු බිහි කිරීමට සිව් වසරක කාලයක් ගතවේ යැයි සිතන්න. ඒ අනුව නවක සිසුන්බඳවා ගැනීමට පෙර සිටම රජයේ සැළසුම විය යුත්තේ අදාළ සිව් වසර හමාර වී මොවුන් ගුරු උපාධිධාරීන් ලෙසින් සරසවියෙන් පිට වන විට ඒ අදාල වසර වන විට කොපමණ පාසැල් ගුරුවරුන් සංඛ්‍යාවක් විශ්‍රාම යන්නේ ද, රට තුළ ඉදිකෙරී ඇති නව පාසැල් සඳහා අලුතෙන් ගුරුවරුන් කොපමණ අවශ්‍යය ද, දැනට පවත්නා පාසැල් හි පවත්නා පුරප්පාඩු කොපමණද, යනාදී වශයෙන් නිසි පරිදි ගණන් බැලීමකට ලක් කිරීමෙන් අනතුරුව එම ශිෂ්‍ය කණ්ඩායම සරසවිය තුළට බඳවා ගත්තා නම් ඔවුන් ඉන් සුදුසුකම් ලබා පිටත්වන විටම රැකියා විරහිත පෝලිමේ නොසිට සංතෘෂ්ටියෙන් යුතුව රැකියාව සිදු කරගෙන යාමට හැකියාව ලබනු ඇත. නිදසුන් ලෙස ලංකාවේ පාසැල් නවදහස් හාරසියයක් පමණ පවතින අතර මේවායේ කොපමණ ගුරු පුරප්පාඩු පවතින නමුත් ඒවා ලබා දීමට පාලකයින් කටයුතු නොකරනුයේ හේතු කිහිපයක් නිසාවෙනි. එකක් නම් එම පුරප්පාඩු වලට තමාගේ හෙංචයියන් පත්කර ගැනීමට නම් ඒවා හිස්ව තිබිය යුතු බැවිණි. අනෙක් කරුණ වනුයේ මැතිවරණ කාලය ළංවන විට පත්වීම් ලබා දී ජනතා ප්‍රසාදය දිනා ගැනීම සඳහා ඒවා හිස්ව තිබෙන තරමට ඔවුන් කැමති ය.

සාමාන්‍යයෙන් දියුණු රටවල සරසවි සිසුන් ලෙසින් බඳවා ගන්නා සැවොම වෙත රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා හිමිවේ. එසේම ඇතැම් පෞද්ගලික ආයතන වෙත පුහුණු උපාධිධාරීන් ලබා දීමට රජය එම ආයතන හා ගිවිසුම්ගතව සිටී. ඒ පුහුණු උපාධිධාරීන් නිර්මාණය කිරීමට වැයවූ මුදල වෙනුවෙන් කොටස් වශයෙන් රජය වෙත මුදල් ගෙවීම් සිදු කිරීමට ද එම පෞද්ගලික ආයතන ක්‍රියා කරනු ලබයි. තවත් නිදසුනකින් පැහැදිලි කරන්නේ නම් රජය තවත් වසර හතරකින් තමාගේ සැලැස්මේ පරිදි දේශීය කාර්මික ඉංජිනේරුවන් යොදා ගනිමින් යුද ටැංකි නිපදවීමට අදහස් කරන්නේ නම් මෙතෙක් කල් සරසවි තුළ නොපැවතියා වූ අදාල ක්ෂේත්‍රය පිළිබඳ ඥානය ලබා ගැනම සඳහා දේශීය ආචාර්යවරුන් විදෙස් ශිෂ්‍යත්ව ලබා දී හෝ ඒ ක්ෂේත්‍රය පිළිබඳ තාක්ෂණය දන්නා ප්‍රවීණයන් වෙත යොමු කිරීම පළමුව කළ යුතුය.

අනතුරුව අදල පුහුණුව නිමවා මෙරටට පැමිනෙන ඔවුන් යොදා ගණිමින් නව විෂය සඳහා දෙපාර්තමේන්තුවක් විශ්වවිද්‍යාල මට්ටමින් ආරම්භ කළ යුතුය. ඒ සඳහා සියලු ප්‍රතිපාදන හා පහසුකම් බලධාරීන් විසින් සැපයිය යුතුය. අනතුරුව අදාල පීඨයට වෙනදා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මෙම නව පාඨමාළාව හේතුවෙන් බඳවා ගැනීමට ද හැකි වනු ඇත. එසේ ගන්නා සිසුන් හට පෙර දැක්වූ ආකාරයට විදෙස් ගතව පුහුණු වී පැමිණි ආචාර්යවරුන් විසින් දැනුම ලබා දීම සිදුවිය යුතුය. අනතුරුව වසර හතරක උපාධිය හමාර කොට ඔවුන් සරසවියෙන් පිටත්වන මොහොත වන විට ඊට සාපේක්ෂව යුද ටැංකි නිපදවීමට අවශ්‍ය කම්හල් හා නිෂ්පාදනාගාර රජය විසින් ගොඩනගා පැවතිය යුතුය. එවිට ඒ පිළිබඳව නිපුණත්වයට පත්ව ඇති අදාල උපාධිධාරීන් හට තෘප්තිමත් වෘත්තීය ජීවිතයක් ගෙවිය හැකිවාක් මෙන්ම නැවුම් නිර්මාණ මව් බ්ම තුළම බිහිකර ගැනීමටත් ඉන් ව්දෙස් රටවල් වෙත ණය වීමටත් නොවී විදේශ විනිමය ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ සමඟින්ම රටෙහි සංවර්ධනයෙහි ද දැවැන්ත පියවර රැසක් ඉදිරියට තැබෙනු ඇත. මෙසේ සැළසුම් සහගතව පාලකයන් වැඩ කළ යුතු වුවද ඔවුන් එසේ කටයුතු කිරීම ඉතාම විරළ සිදුවීමකි. මන්ද යත්, ඔවුනට බලය ලැබෙනුයේ වසර හයෙන් හය වන බැවින් ඔවුන් බොහෝ දුරට කෙටි කාලීන සැලසුම් වෙත විනා උක්ත ආකාරයේ දීර්ඝ කාලීන සැලසුම් වෙත යාමට නොසිතයි. එසේ කළ හොත් මීළඟට බලයට එන පක්ෂය එහි වාසිය හා කීර්ති නාමය හිමිකර ගනිතැයි නිරන්තරයෙන්ම බලයේ සිටින්නා වූ පාලකයෝ බිය වෙති.

විශ්වවිද්‍යාල තුළින් වැඩි වැඩියෙන් උපාධිධාරීන් බිහිකිරීම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක අරමුණු අතර ඉහළින්ම පැවතිය යුත්තකි. මෙරට තුළ සාධනීය මට්ටමකින් එවන් තත්ත්වයක් දැක ගැනීමට නොමැතිවීම අවාසනාවට කරුණකි. නමුත් වාර්ෂිකව සුලු ප්‍රමාණයක් හෝ වැඩිපුර බඳවා ගැනීමට ක්‍රියා කිරීම යහපත්ය. බඳවා ගන්නා සියල්ලන් හට රජයේ රැකියා ලබාදීම අත්‍යවශ්‍ය නොවේ. ඒ සඳහා පෞද්ගලික අංශයේද සහයෝගය ලබා ගැනීමට රජයට හැකි විය යුතුය. ඒ අයුරින් විරැකියාව දුරු කිරීමට අවශ්‍යය ක්‍රමෝපායන් රටක ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක අන්තර්ගත විය යුතුය. නව රැකියා අවස්ථා බිහිකිරීම හා ඒවාට අවශ්‍යය පුහුණු උපාධිධාරීන් බිහි කිරීම නැමැති කරුණු එකට සමාන්තරව ගමන් කළ යුතුව ඇත.

උසස් පෙළින් මඟහැරෙන්නාවූ දරුවන් හට සුදුසු වෘත්තීව පුහුණුවක් හෝ යලි යලිත් ඉගෙනීමට අවස්ථාව හෝ වෙනත් රැකියා මාර්ගයක් හෝ උදාකිරීමට හෝ සම්බන්ධයෙන් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළින් අවස්ථාව උදාකර දිය යුතුය. දුෂ්කර දරුවන් හට අධ්‍යාපනය ලැබීම සඳහා ණය ආධාර ලබා ගැනීමට අවස්ථාව උදාකර දිය යුතුය. එම ණය මුදල් අදාල සිසුවා යම් දිනක ස්වයං උපයන්නකු බවට පත්වූ පසුව යලි කොටස් වශයෙන් අයකර ගත හැකි වන පරිදි විධිමත් ලෙසින් කටයුතු යෙදීම ද හරහා හැකියාවන් සහිත දිළිඳු දරුවන් අධ්‍යාපනයෙන් පිටමංවීම වලක්වා ඔවුන්ගේ බුද්ධිය රට දැය උදෙසා යොදා ගැනීමටද විධි විධාන සැලැස්විය හැකිය.

ඉකුත් කාලය තුළ උතුරේ මෙන්ම දකුණේ තරුණ අරගල දෙකක අමිහිරි අත්දැකීම් ද මෙරට ජනයා තුළ පවතී. 1971 අප්‍රේල් මස 05 වැනි දින රාජ්‍යයට රරෙහිය ප්‍රථම වරට දකුණේ තරුණයා සන්නද්ධ අරගලයකට ප්‍රවේශ වීමෙන් තරුණ ජීවිත 12,000 ක් විනාශ වූ අතර සිරගත වූ තරුණ තරුණියන් සංඛ්‍යාව 18,000 ක් පමණ විය. නමුත් එම තරුණයින් ප්‍රභූ දේශපාලනයට හා සමාජ අසාධාරණයට එරෙහිව නැගූ හඬ හඳුනා ගැනීමට පාලකයින් අසමත් වූහ. ඒ හේතුවෙන් දෙවන වරට 1989-90 වකවානුවේ දී ව්‍යාජ දේශප්‍රේමයක් මතු කරගනිමින් කොළඹට කිරි අපිට කැකිරි යනුවෙන් පවසමින් රාජ්‍යයේ සුජාතභාවය අභියෝගයට ලක් කළෝය. මෙහිදී තරුණ ජීවිත 70,000 ක් පමණ විනාශ වූ බව කියැවේ.

උතුරේ ද්‍රවිඩයා නොසලකා හැරීමට හා රාජ්‍ය මර්ධනයට එරෙහිව දලු ලා වැඩී ගිය ක්‍රෝධය 1975 ජූලි මස 27 වැනි දින යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කරමන් උතුරේ තාරුණ්‍යයේ අසහනය කරළියට පැමිණයේය. මෙම සටන 2009 මැයි මස වෙල්ලමුල්ලිවයික්කාල් හි නන්දිකඩාල් කලපුවෙන් වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනයත් සමඟින් එහි යුදමය ස්වභාවය අවසන් වුවද ඒ වන විටත් ලක්ෂ ගණනකගේ ජීවිත අහිමිව අවසානය. බුද්ධිමතුන් , දේශපාලන නායකයින් ඇතුළු ප්‍රමුඛ සමාජ නියාමකයින් මරාගෙන මැරෙනා බෝම්බයන්හි ගොදුරු බවට පත්ව ජීවිතයෙන් සමුගෙන හමාරය. ඉතිහාසයෙහි සිදුවූ වැරදි හේතුවෙන් ඇතිවූ වාර්ගික පීඩනය මත ත්‍රස්තවාදය උද්දීපනය වූ වග හඳුනා ගැනීමට පුලුවන.

මෙරට භාෂා ප්‍රතිපත්තිය හා භාෂාව ඉගැන්වූ ආකාරය හා අධ්‍යාපන ක්‍රමවේදයේ දෝෂ මෙහිදී මූලික සාධක වූ බව පෙනේ. ඒ හේතුවෙන් අධ්‍යාපනය හරහා උක්ත තත්ත්වය වැනි තත්ත්වයන් යළි යළිත් ඇති නොවීමට අවශ්‍ය වන්නා වූ විසඳුම් යෝජනා කළ යුතුව ඇත. ඒ සඳහා දෙමළ භාෂාව පිළිබඳ මනා නිපුණතාවක් සිංහල දරුවන් තුළත්, සිංහල භාෂාව පිළිබඳ මනා පුහුණුවක් දෙමළ හා මුස්ලිම් දරුවන් තුළ ද ඇති වන අන්දමින් පාසල් අධ්‍යාපනය සකස්විය යුතු ය. එය දැඩි අවධානයකින් යුතුව ක්‍රියාවට නැංවීමත් ඒ පිළිබඳව විධිමත් අධීක්ෂණයක් පවත්වාගෙන යාමත් අත්‍යවශ්‍ය වන්නේය. එසේම ආගමික හා සංස්කෘතික විෂමතාවන් දෙස මානව දයාවෙන් බැලීමට හැකි වන පරිදි මතු පරපුර හැඩගැස්වීම වෙනුවෙන් පේවිය හැකි අන්දමින් අධ්‍යාපන ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය විය යුතුව ඇත.

තවද එකී ප්‍රතිපත්තිය තුළින් සැමට අධ්‍යාපනය ලැබීමේ සම අයිතිය තහවුරු කිරීමට ක්‍රියා කළ යුතුය. මන්දයත් එසේ නොවුනහොත් වේලුපිල්ලේ ප්‍රභාකරන් ලා දහස් ගණනින් මෙරට යළි බිහි වීමට ඉඩ ඇති හෙයිනි. යුද්ධයෙන් අනතුරුව ජාතීන් අතර සංහිඳියාවක් ඇති කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති මොහොතක අධ්‍යාපනය තුළින් ඉතා බරපතල වූ සේවාවක් ඉටුකර ගැනීමට හැකි වන්නේ ය. ඒ සඳහා අධ්‍යාපනය මෙරට ජාතික ප්‍රතිපත්තියක් සේ පණ ගැන්විය යුතුය. සිය යටත් විජිත පාලනය කිරීමේ දී ඒවායේ ජනතාව වෙන් වෙන් කොට පාලනය කිරීම බටහිර ජාතීන්ගේ අපේක්ෂාව විය. ඒ සඳහා වාර්ගික ඝට්ඨන නිර්මාණය කළෝය. සියුම් අන්දමින් බේද ඇති වන ලෙස කටයුතු යෙදීය. එසේ හේතු නිර්මාණය කිරීමෙන් අනතුරුව එම ගැටුම් විසඳුමේ සාම දූතයන් ලෙසද දෙබිඩි රංගනයක ඔවුන් නිරත විය.

මෙම බෙදා වෙන් කොට පාලනය කිරීමේ ප්‍රතිපත්තිය හරහා ඔවුන් අපේක්ෂා කරන ලද්දේ තමුන් හට එරෙහිව කොයිම හෝ මොහොතක ගොඩනැගීමට නියමිත වන්නා වූ ජනතා පිබිදීම් දළරු අවස්ථාවේදීම මර්දනය කර දැමීමට ය. මේ සඳහා 'අධ්‍යාපනය' ආයුධයක් මෙන් ඔවුන් භාවිත කළාක් මෙන්ම වත්මන් ධනේෂ්වර පාලකයින් ද එහි කාබන් කොපිය අනුව යමින් එම පිළිවෙත මතම යැපෙමින් සිය පැවැත්ම ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරනු පෙනේ. මෙය ලෝක ධනේෂ්වරයේ අර්බුදයට එහි ස්වාමීවරුන් විසින් යෝජිත විසඳුම් මාලාවෙහි අන්තර්ගතවන කූඨ උපක්‍රමයකි. එසේ හෙයින් මෙරට තුළ ද එම උපක්‍රමශීලීත්වය යම් ප්‍රමාණයකින් හෝ භාවිත වන බව පසක් කර ගැනීමට අප සබුද්ධිමත් විය යුතු ය. පාලකයින් විසින් සිය පටු පැවැත්ම පිළිබඳව නොසිතා විධිමත් ජාතික සංහිඳියාවක් ඇති කිරීමට නම් අධ්‍යාපනය තුළින් බෙදා වෙන් කිරීමේ ක්‍රමය දුරු කිරීමට අවංක උත්සාහයක් දැරිය යුතුය. ඒ වෙනුවෙන් නව ප්‍රතිපත්ති සම්පාදනය විය යුතුව ඇත.

මේ වන විටත් ලංකාව ආසියාවේ ආශ්චර්යය බවටත්, ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම සිය අරමුණ බැව් වත්මන් ආණ්ඩුව තුළින් ප්‍රකාශ වේ. එසේ නම් ඒ සඳහා අධ්‍යාපනයෙහි ගුණාත්මක භාවය සම්බන්ධයෙන් මෙයට වඩා බොහෝ සැළකිලිමත් විය යුතුව ඇත. මෙරට බොහොමයක් පාසැල් අතුරුන් එක් ගුරුවරයකු පමණක් සිටිනා පාසැල් ද පවතී. එසේම නගරයේ පාසැල් වෙත හා ජනප්‍රිය පාසැල් වෙත දිනෙන් දින සම්පත් හා ආකර්ෂණය වැඩිවෙමින් පැවතීමත්, එයට සාපේක්ෂව ග්‍රාමීය දිළිඳු පාසැල් වැසී යන තත්ත්වයට පත්වීමත් අභාග්‍යයට කරුණකි. කලින් කලට විවිධ නාමකරණයන් යටතේත් විවිධ ආණ්ඩු යටතේ පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන් යනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සමාරම්භක වැඩසටහන් පැවැත්වෙන නමුත් එක් ආණ්ඩුවක් යටතේ ගෙන එන සැලසුම් අනෙක් ආණ්ඩුව යටතේ දී අමතක කර දමා වෙනමම නමකින් වෙනත් වැඩ සටහනක් සේ ක්‍රියාත්මක කිරීමට යත්න දරයි. 'නවෝද්‍යා පාසැල් ', 'සපිරි පාසැල් ' යනාදී විවිධ නම් වලින් මෙම වැඩසටහන් හැඳින්වෙනු අසන්නට ලැබෙන්නේ එබැවිනි. මුඛ්‍ය ගැටලුව වනුයේ උතුම් අරමුණින් යුතුව සැබෑ සංවර්ධනයක් පාසැල් පද්ධතිය තුළ ඉටුකිරීමට වඩා පාලකයින් අදාල වැඩසටහනෙහි කීර්තිනාමය තමා සහ තම ආණ්ඩුව සතුකර ගැනීමට පාලකයින් උත්සාහ දැරීම වෙනුවෙන් ප්‍රමුඛතාවය දීමයි.

මෙරට අධ්‍යාපනයෙහි පවත්නා තවත් ඇර්බුදයක් වනුයේ ජනප්‍රිය අධ්‍යාපනයෙහි පවත්නා ගැටලුවයි. ජනප්‍රිය අධ්‍යාපනය යනු දැනුම කටපාඩම් කිරීමේ ක්‍රියාවලිය යි. මෙහිදී දැනුම, ආකල්ප හෝ කුසලතා දරුවාගේ භාවිත ජීවිතයට කොතෙකුත් දුරට බද්ධවේ දැයි සැලකිල්ලට නොගැනෙයි. අධ්‍යාපනය තුළින් සමාජ යථාර්ථය දරුවා වෙත ඥාණනය කිරීම උදෙසා උත්සාහ දැරීම ප්‍රතිපත්ති සම්පාදකයින් ගේ අරමුණු අතර විය යුතුය. නිදසුනක් වශයන් සිය පැවැත්ම වෙත තර්ජනයක් වෙතැයි බියෙන් කලක් 'සමාජවාදය' නැමැති තේමාව හා දේශපාලන න්‍යාය දේශපාලන විද්‍යාව තුළින් ඉවත් කර තිබුණි. සංවාද අධ්‍යාපනය මෙහිදී වැදගත් වේ. එනම් පීඩිතයාට පීඩනය පිළිබඳව සවිඥානක අවබෝධයක් ලබාදීමේ ශික්ෂණ විද්‍යාව වනුයේ එයයි.

ජනයා පවත්නා යථාර්ථයේ බැමි වලින් මිදී නැවුම් දෘෂ්ටියකින් ලෝකය දෙස බැළීමට අලස වී ඇත. නැතිනම් පවත්නා අධ්‍යාපන ක්‍රමවේදය තුළින් ඔවුන්ගේ නිදහස් දෑස ආවරණය කර දමා ඇති වග හඳුනා ගැනීමට පුලුවන. එබැවින් මිනිසා ස්වාධීනත්වයට බිය වෙති. නිරන්තරයෙන්ම අනෙකකු හෝ නායකයකු පසුපස යාම හෝ කිසිවකුගේ ආවරණයකට යටපත්වීමෙන් හෝ ස්වාධීනත්වය තවෙකෙකු හට පාවා දීම සිදු කර ගනු ලබයි. තමා උදෙසා තීරණ ගැනීමේ නිදහස වෙනත් අයකු වෙත පවරා දේ. එවන් මිනිසා පරිපූර්ණ මිනිසකු නොවේ. හෙතෙම සෑම විටම වෙනත් අයෙකුගේ මතවාදයකින් ලෝකය තේරුම් ගැනීමටත්, වෙනත් අයෙකුගේ දෑසින් ලෝකය දැකීමටත්, වෙනත් අයෙකුගේ පිය සටහන් මතින් ඇවිද යාමටත් උත්සාහ දරයි. ඔහු වටා භ්‍රමණය වන්නා වූ මිත්‍යාවේ යථාර්ථය ඇතැම් විට වටහා ගත්ත ද එයින් මිදී විමුක්තිය සොයා යෑමට අවශ්‍යය උත්තේජනය හෝ දැක්ම ජනප්‍රිය අධ්‍යාපනය තුළින් ලබා නොදෙයි. මන්ද යත් , එම අධ්‍යාපන ක්‍රමවේදය තුළ ඔහුගේම මනස ප්‍රසාරණය වී ජීවිතය පුපුරුවා හැර නව මිනිසකු බිහිකර ගැනීමට සමත් ඥානය මෝරා යෑමක් සිදු නොවන බැවිණි.

ගුණාත්මක අධ්‍යාපන ප්‍රතිපත්තියක් තුළින් බිහිවන මිනිසා ස්වාධීන අයෙකි. ඔහු ජනතාව සමඟ සංවාදශීලී වීමට බිය නොවෙයි. හෙතෙම සත්‍ය අනාවරණය කර ගනුයේ සංවාදයෙනි. ලෝකය තමාහට වුවමනා අයුරින් නම් කිරීමට, නිර්වචනය කිරීමට තමන්ගේම වචන තෝරා ගැනීමට ඇති අයිතිය මිනිසා විසින් නැවත දිනා ගනු ලැබීම සංවාද අධ්‍යාපනය නම් වන්නේය. එවන් වූ සංවාද අධ්‍යාපයක් සඳහා වූ පෙළඹවීම නොමැතිකමද මෙරට අධ්‍යාපන ප්‍රතිපත්තියෙහි හැඩැස් අතර පවතින්නකි. නිදහස් චින්තනයක් වෙත ස්වාධීනව යොමු වීමට නම් සමබර දේශපාලන, ආර්ථීක, සමාජීය හා සංස්කෘතික අධ්‍යාපනයක් ශිෂ්‍යයාට හිමිවිය යුතුමය. එසේ නොමැතිව පක්ෂග්‍රාහී දැනුමක ශිෂ්‍ය මනස සිරකර ගැනීමට හැකි වන අයුරින් විෂය නිර්දේශ සකස්කර ඉගැන්වීම නොකළ යුතුය.

දැනුම් විධායකයක් වෙත ගමන්ගන්නා වත්මන් ගෝලීය සමාජය තුළ පරිපූර්ණ ඉගැන්වීමකින් ශිෂ්‍ය මනස පිරවීම උදෙසා අවශ්‍ය අන්දමින් විෂය නිර්දේශ යලි සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය වේ. අධ්‍යාපනය තුළින් කුළ පීඩනයට හා පංති විෂමතාවයට ද එරෙහිව පිලිතුරු සෙවිය යුතුය. එසේ නොමැතිව සමාජ සංහිඟයාවක් ඇතිවීම හෝ ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානයක් මෙරට බිහිකිරීම ගඟට ඉණි කැපීමක් හෝ කටින් බතල කොල සිටුවීමක් පමණක් වනු ඇත.

දිනෙන් දින මෙරට පාසැල් සංවර්ධනය පිලිබඳව සාකච්ඡා කෙරෙද්දී ඒ අතරම පාසැල් වැසී යාමේ තර්ජනය ද බරපතල අන්දමින් ඉස්මතුවෙමින් පවතී. මෙසේ පාසැල් වැසී යාම කෙරෙහි බලපානු ලබන්නා වූ හේතූන් දළ වශයෙන් පහත පරිදි පෙළ ගැස්වීමට පුලුවන.

1. රාජ්‍ය ප්‍රතිපත්තීන්හි දුර්වලතා.
2. ජනප්‍රිය පාසැල් වෙත දෙමාපියන් දැඩි ආකර්ෂණයෙන් යුතුව ඇදී යාම.
3. ග්‍රාමීය දරිද්‍රතාවය.
4. ගුරු හිඟය.
5. පරිපාලන හා කළමනාකරන ගැටලු.
6. පාසැල් සංරක්ෂණය සම්බන්ධයෙන් අමාත්‍යංශයට නිසි වැඩපිළිවෙලක් නොමැති වීම.
7. සම්පත් හිඟ වීම.
8. සමාජය සංවිධානය නොවී විසිරී යාමෙන් සමාජයේ පොදු මැදිහත්වීම හා වගකීම නොමැතිකම.
9. ආයතන දේශපාලනීකරණය.
10. අධ්‍යාපන අමාත්‍යාංශය තුළ අසීමාන්තිකව ඇති නිලධාරීවාදය.
11. කාලානුරූපීව හා සමාජ ප්‍රගමණයට දායක වීමට හැකි අයුරින් විෂය මාලා සංවර්ධනය නොවීම.
12. කිසිදු විමර්ශණයකින් හා සමාජය සමඟ සංවාදයකින් තොරව අධිපතිවාදීව අනාගත ඉලක්කයකින් තොරව පුරවර කේන්ද්‍රීය දේශපාලනය හා එයට පක්ෂපාතී නිලදරුවන් විසින් සමස්ත අධ්‍යාපනය හසුරවනු ලැබීම.
13. අනාගත පැවැත්ම උදෙසා අධ්‍යාපනයෙන් වෘත්තීමය දැනුමක් නොලැබීම.
14. බහු වාර්ගික හා සංස්කෘතික වෙනස්කම් නොසලකා හැරීම.

"පාසලක් ආරම්භ කිරීම යනු සිර ගෙවල් සියයක් වැසීම වැනි"යැ යි කියමනක් සමාජගතව පවතී. නමුත් පාසල් වැසී යාමේ වේගය අනුව සමාජ අපරාධ වර්ධනය වීම පුදුමයට කරුණක් නොවේ. සමාජය වෙත මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, මංකොල්ලකරුවන් ආදී විවිධ මට්ටම්හි අපරාධකරුවන් බෝ වනුයේ මෙසේ පාසැල් වැසී යාමෙන් නිසි අධ්‍යාපනයක් හෝ ඉන් ලැබිය යුතු වූ අත්‍යවශ්‍යය හික්මීම හෝ නොමැතිව සමාජගතවන්නා වූ පුද්ගලයින් හේතුවෙනි.

ඕනෑම ඵලයකට හේතුවක් ද හේතුවකට ඵලයක් ද ඇති බව සනාථන සත්‍යයකි. මෑතක දී වැඩි වූ අපරාධ රැල්ල දෙස බැලීමේදී පෙනී යනුයේ මෙරට ප්‍රජා ශික්ෂණ ක්‍රමවේදයෙහි පවත්නා සිදුරෙහි තරමය. අධ්‍යාපනය තුළින් ලබා දෙන්නා වූ දැනුම, ආකල්ප හා කුසලතා සංවර්ධනය නිසි පරිදි ලබා නොදීමේ අනිවාර්ය ප්‍රතිඵලයක් වශයෙන් බිහිවන අපරාධකරුවන්ගෙන් සිර මැදිරි පිරවීම හෝ අමානුෂික අයුරින් ඔවුන් ඝාතනය කිරීම හෝ පිළියමක් නොවන්නේය. අවශ්‍ය වනුයේ එවන් අපරාධ කරුවන් බිහිවීමට පසුබිම සපයන්නා වූ හේතූන් හෙවත් සිදුරු වසා දැමීමයි. ඒ වෙනුවෙන් නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් මත සමානාත්මතා පදනමින් අධ්‍යාපනයේ අරමුණු නහරගත කිරීමය.

සාමාන්‍යයෙන් ධනේෂ්වර පාලකයෝ සිය යැපුම් මාර්ග අතුරින් ප්‍රධාන ක්‍රමවේදයක් ලෙසින් භුක්ති විඳිනුයේ අපරාධකරුවන් වෙතින් ලබා ගන්නා දඩ මුදල් ය. සමාජය තුළ අපරාධ කරුවන් බිහිවීමට පාලකයෝ නිතැතින්ම කැමති වෙති. මන්ද යත් එවිට සිය පැවැත්ම තහවුරු වන බැවිණි. සමාජය තුළ අපරාධ සිදුවන විට සාමාන්‍ය ජනතාව වෙත පාලකයාගේ හා නීතියේ අවශ්‍යතාවය තදින් දැනේ. එය පාලනයේ දී පහසුවකි. පාලකයාගේ පැවැත්ම සඳහා හේතුවකි. ජනතාව අධ්‍යාපනයෙන් පිටමං කිරීම හේතුවෙන් බිහිවන අපරාධ කරුවන් සිය දේශපාලන හා පෞද්ගලික බල වුවමනාවන් වෙනුවෙන් යොදා ගැනීමට ද ඔවුනට එවිට අවස්ථාව උදාවන්නේය. තමුන්ට එරෙහිව බුද්ධිමත් අයුරින් ඒකරාශී වී පුළුල් අරගලයක් වෙත ගොනු වීමට ද නූගත් ජනතාවකට නොහැකි වේ. මෙසේ හෙයින් ජනතාව අධ්‍යාපනයෙන් පිටමං කිරීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීම පාලකයන් ගේ සිරිතය. නමුත් ඉතා කැමැත්තෙන් යුතුව සිදු කරනා බව හඟවන්නා වූ ඇතැම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෝ සිදු කරනුයේ ද උගුරට හොරා බෙහෙත් බොන්නාක් මෙන් දැඩි අකමැත්තකින් යුතුව බව පෙනෙනුයේ එම ප්‍රතිසංස්කරණ ආරම්භයේ දී පවතින්නා වූ උනන්දුව ටික කලකින් අමතක කර දමා වෙනතක් බලා ගැනීමට ඔවුන් ක්‍රියා කරන බැවිණි.

අධ්‍යාපනය පිළිබඳව ගැඹුරු කියවීමක් සිදුකර ගැනීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව ඇති බව පෙනේ. එසේම අධ්‍යාපනය හුදෙකලා සංසිද්ධියක් ද නොවන්නේය. එය රටෙහි ආර්ථීකය, දේශපාලනය හා සංස්කෘතිය සමඟ සමීපව ඇති අතර ඒවා සමඟ අන්තර් ක්‍රියා සිදුකරයි. මාක්ස්වාදීන්ට අනුව සමාජයෙහි ආර්ථීක පදනම විසින් උත්තර් නිර්මිතය බිහිකරන නිසාවෙන් ආර්ථීකය සංවර්ධනය නොකොට මානව ජීවිතයේ සෙසු අංග සංවර්ධනයකිරීම සඳහා අවශ්‍ය සම්පත් සපයාගත නොහැකිය. මෙරට පාසැල් අධ්‍යාපනය තුළින් රටේ ආර්ථීක ප්‍රගමනයට හිතකර පුහුණුවක් හෝ ඉගෙනීමක් ලබා නොදෙන බව විද්‍යමාන යථාර්ථය යි. තමනට ඉසිලිය හැකි ජීවන රටාවක් අනුගමනය කරමින් සංවර්ධන ව්‍යාපෘතීන්ට ආයෝජනය කරනු පිණිස දේශීය ඉතුරුම් ඉහළ නැංවීමට දේශීයව නිපදවන්නා වූ භාණ්ඩ හා සේවා භාවිත කිරීමෙන් එම ආර්ථීක ක්‍රියාකාරකම්වල ප්‍රසාරණයට අවස්ථාව සළසා දීමට මෙරට ජනතාව සූදානම් කිරීමක් වත්මන් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළින් සිදු නොවන බව ද පෙන්.

විභාග ක්‍රමය පිළිබඳව ද මෙහි දී යමක් සඳහන් කළ යුතුව ඇත. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ වර්ෂ 1981 දී නිකුත් වු එක්තරා වාර්තාවක මෙසේ සටහන්ව තිබෙනු දක්නට ලැබුණි.

''ඵල දැරිය යුතු වෘක්ෂයක වෙළා ගත් යෝධ පිළිලයක් මෙන් විභාග ක්‍රමය සමස්ත අධ්‍යාපන ක්‍රමයම විනාශ මුඛයට ගොදුරුකරන තත්ත්වයට වර්ධනය වී ඇත. විභාග කෙරෙහි අවධානය අතිශයින්ම වැඩි වීමේ හේතුවෙන් ළමයින් විසින් උගතමනා දේ නිසරු වී ගොස් තිබේ. මුදුනට නගින්නට දඟළන ටික දෙනෙකු ගේ අවකාශය පමණක් ගැන සෙවීම නිසා නැගිය නොහැකි බහුතර සංඛ්‍යාවකගේ අවකාශය ඇත්තෙන්ම නොසලකා හැර ඇත.....''

මේ වන විට මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය අච්චාරුවක් මෙන් අවුල් වියවුල් රැසකින් වෙලී පවතී. සැබෑ ලෙසින්ම මෙරට මෙරට අධ්‍යාපන ප්‍රතිපත්තියක් පවතී. නමුදු එහි පවතින දුර්වලතා බොහෝ වෙති. එහි අරමුණුවල පවත්නා සාම්ප්‍රදායික යල්පිනූ ස්වභාවය මත එම ප්‍රතිපත්තිය මරණාසන්න තත්ත්වයකට විතැන් කොට ඇත. සත්‍ය වශයෙන්ම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය මිය ගොස් වැනිය. එය වත්මන් මහින්ද රාජපක්ෂ රජයේ කර මත පමණක් දමා කිසිවකු හට අත් පිස දමාගනිමින් පසෙකට වී සිටිය නොහැක. ඒ සඳහා එදා මෙදා තුර බලයේ හා විපක්ෂයේ සිටි සියල්ලන් සේම නිහඬව සිටි සමාජ බලවේගයෝ ද වගකිව යුත්තාහ.

''යුගයේ දැවැන්තම ඛේදවාචකය වනුයේ නපුරු මිනිසුන්ගේ නපුරු වැඩ නොව හොඳ මිනිසුන්ගේ නිහැඬියාවයි'' යනුවෙන් වරක් මාටින් ලූතර් කිං විසින් ප්‍රකාශ කරන ලද්දේ ද මෙවන් තත්ත්වයන් ඉදිරියේ ගොලුවත් රකින්නන් ස්වකීය හෘද සාක්ෂිය තුළම වැරදි කරුවන් වන බව දැක්වීමට ය. ලංකිවෙහි ද අධ්‍යාපනය හෝ වේවා වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක වේවා දුර්වලතාවන් ඉදිරියේ පාලකයින් හට පමණක් බැණ නිහඬ වීම සාමාන්‍යයයෙන් සිදු වුව ද එය යහපත් නොවේ. සිදු විය යුත්තේ පාලකයින් නිසි මඟට පැමිණවීමට අදාලව නිවැරදි ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමය. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇතිවී ඇති තත්වයන් හට එකම විසඳුම ලෙසින් දේශපාලකයින් ඉවත් කිරීම පිළියමක් වශයෙන් අප හඳුනා නොගන්නේ එය හිසේ රුදාවට කොට්ටය මාරු කළාක් මෙන් නුසුදුසු ආකාරයේ පිළියමක් වන බැවනි. කොට්ටය මාරු කර වෙනත් කොට්ටයක් තැබුවද හිසේ රුදාව දිගටම පවතින්නාක් මෙන් දේශපාලකයින් ඉවත් කළ ද අර්බුදය එසේම පවතින්නේය. පැලැස්තර විසඳුම් වලින් විනිර්මුක්තව මේ සඳහා අවශ්‍ය වන්නේ කුමක්දැයි පසක්කර ගත යුතුය. සත්‍ය වශයෙන්ම මේ සඳහා අවශ්‍ය වනුයේ සමාජ ක්‍රමයේම පුළුල් වෙනසකි. ඒ සදහා වන උසස් ගනයේ සමාජ කියවීමක් බවත් එකී වෙනස උදෙසා කඩිසරව, එක් සිත්ව හා එක්සත්ව ක්‍රියාකොට කඩිනමින් උදාරගත යුතු වගත් අවසාන වශයෙන් සිහිතබා ගත යුතුව ඇත

-එම්.ජී නුවන් සමීර
හිටපු සභාපති- ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය
සිව්වන වසර
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පේරාදෙණිය.



එම්.ජී. නුවන් සමීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails