Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"මොකද්ද අයිසෙ ඒ සද්දෙ? කොල්ලො ටික කෙළගන්නවද?"

අඩියට දෙකට කැෂියර් කූඩුවෙන් එළියට පැනගත් ජයසේන මුදලාලි, අසල මිදුලේ සිටි කාගෙන්දෝ ඇසුවේ, කකුලේ හැපී බිම පෙරලී ගිය බුලත් කෙළ පිරි පඩික්කම ගැනද නොතකමිනි. පහළ පිට්ටනිය දෙසින් ඇසුණු ගෝසාව කුමක් වුවත්, කවුරුන් හෝ නොසෑහෙන්න ගුටි කමින් සිටින බව කඩය තුළ සිටි අපටද සැනෙකින් වටහුනෙන් වහ වහා අපිද මිදුලට බැස්සෙමු. කඩයේ මිදුලට පිට්ටනිය පැහැදිලිව නොපෙනෙන නමුත් ගෝසාව එන්න එන්නම වැඩි වෙයි.

"කෑම්ප් එකේ කොල්ලො ලැන්ටි පිස්සට ගහනව"

පිට්ටනිය දෙසින් කවුදෝ කෑගසන හඬ යන්තමින් ඇසුනි. මුදලාලි ආවේස විය!

"ඒයි වරෙල්ල, අඩෝ, ඔය මනුස්සය අතෑරපල්ල, කාටවත් කරදරයක් නැති පිස්ස ඌ! ඒයි නවත්තපියව් ඕක!"
කෑගසමින් වහා පිටිය දෙසට දිවගිය මුදලාලි පසුපසින් අපිද දිවගියෙමු.

කළු ගැහුණු වැරහැලි ඇඳගෙන සිටි මැදිවියේ මිනිසෙක් දූවිලි ගොඩේ බිම පෙරලී සිටියි. කොට කලිසමක් පමණක් හැඳ සිටි කොල්ලෙක් දණ නවාගෙන ඔහු නොසෙල්වෙන සේ බෙල්ලෙන් අල්ලාගෙනය. තවත් එකෙක් අතින් පයින් මිනිසාගේ මුහුණට හා උදර පෙදෙසට පහර දෙයි.

"කියපන් බල්ලා.... තෝ මොකද යුනිෆෝම් ටිකට කරේ?"

බෙල්ලෙන් අල්ලාගෙන සිටි කොල්ලා වරින් වර අසයි. එහෙත් මිනිසාට හුස්ම ගැනීමටවත් ඉඩක් නැත.

ක්ෂණයකින් මුදලාලි ඇතුළු පිරිස ඒ මැදට කඩාවැදුනි. ගුටි බැට දෙමින් සිටි වුන් නැවත්වීමට සෑහෙන අසීරු වූ නමුත් ඒවනවිටත් ඇති වෙන්න අතේ පයේ හිරි ඇරගෙන සිටි නිසාදෝ කොල්ලෝ වැඩේ නවත්වූහ.

"ජයසේන අයියා, අපි තමුසෙ නිසා මේකට යන්න දෙනව" එකෙක් කීය.

"මේ දෙවෙනි වතාව, ආයෙ එහෙම තෝ අපේ යුනිෆෝම් වලට අත තියල තිබුනොත් ඉවරයි කියල හිතාගනින්"

අවසාන වතාවටත් නැගිටින්න තතනන මිනිසාගේ කම්මුල් දෙකෙන් අල්ලා මිරිකූ තවත් එකෙක් අප දෙසද තර්ජනාත්මකව බලා කෑගැසුවේය.

"වරෙල්ල බන් යන්න, කොහෙද යන බල්ලෙක් නිසා දැන් ඉතින් අපිට බයිට් වෙන්න වෙන්නෙ" නැවත කී ඔහු අවට විසිරී තිබූ බඩු බාහිරාදිය එකතු කරන ඔවුන්ගේ පිරිසට එකතුවිය. තවත් ටික වේලාවක් එහි එකතුවී සිටි මිනිසුන් සහ ගැහැණුන් සමඟ වචන කිහිපයක් හුවමාරු කරගත් ඔවුහු හමුදා කඳවුර තිබූ දෙසට ඇවිද යන්නට වූහ.

"මොකද මල්ලි වුනේ?" මම අසල සිටි කොල්ලෙකුගෙන් ඇසුවෙමි.

"ලැන්ටි පිස්ස ආයෙ පාරක් ආමි යුනිෆෝම් උස්සල!"

"කලින් සැරේ වගේම කොහෙට හරි ගෙනිහින් පුච්චන්න ඇති."

"අද කොල්ලො ටික වොලිබෝල් ගහනකොට පිට්ටනියෙ ඇවිද ඇවිද හිටපු ඒකව දැකල අල්ලගෙන හොඳට නෙළුව"

ඌ කියාගෙන ගියේය. අවට එකතුවී සිටි පිරිස විසිර යන්නට පටන්ගෙන තිබුණි.

මේ අතර පිස්සා නැගිටගෙනය! පිපිරුණු තොල්පටින් ගලාගිය ලේ බිඳු, ඔහුගේ පපුව තෙක් වැඩී තිබුණු රැවුල තෙත් කර තිබුණි. ඉරීගිය ඇඳුම් ගැන වගක්වත් නැතිව අවට විසිරී තිබුණු ස්වකීය බදු බාහිරාදිය ගැන පමණි ඔහුගේ අවධානය යොමුව තුබුණේ. එහෙත් වරින් වර හිස ඔසවා දුර ඈත යන කොල්ලන් දෙස බලන ඔහු, සුරත මිටිකර ඔසවා නොතේරෙන බාසාවකින් මොන මොනවාදෝ කියයි. අපි බලා සිටියෙමු. අවසානයේ විසිර තිබූ සියල්ල දුර්වර්ණ වූ ප්ලාස්ටික් මලු කීපයකට ඔබාගත් ඔහු බලාසිටි අප ගැන කිසිම තැකීමක් නොකර පාර දෙසට ඇවිද යන්නට පටන් ගත්තේය.

"ඕයි ලැන්ටි, තමුසෙට අමාරු නැද්ද ගුටිකාල? බඩගිනි නං කඩේ පැත්තේ එනව" ජයසේන මුදලාලි කෑගැසීය.

එහෙත් ඔහු නොනැවතී ඇවිද යයි. මදක් බලාසිටි අපිද ආපසු හැරුනෙමු.

"බලනවා අයිසෙ, ගහපු උනුත් නෑ, ගුටි කාපු එකාට ගානකුත් නෑ, අපිට තමා අමාරුව තිබිල තියෙන්නෙ!" කී මුදලාලි සිනාසෙමින් නැවත කැෂියර් කූඩුවට ගොඩවිය.

"ජයසේන අයියෙ, කව්ද ඒ මනුස්සය?" මම ඇසුවෙමි. නොසෑහෙන්න ගුටිකා තිබුණු ඔහුගේ අසරණ මුහුණ මට තවමත් මැවී පෙනේ. ආණ්ඩුවේ රැකියාව ලැබී මා එහි පැමිණ දැන් මාස ගණනක් ගෙවී තිබුණත් මේ පිස්සා මා කලින් දැක නැත.

"ඔය මනුස්සයගෙ නම ලැන්ටන්, ජයසිරි ලැන්ටන්... කොල්ලො, මෙන්න මේ පඩික්කම හැලුණු තැන හෝදල දාපන්"
ඔහු දිග කතාවකට සරසෙන්නා සේය.

" ගොඩක් උන් දන්නෙ නැති වුනාට මිනිහ ඉස්සර ඉඳන් ඉඳල තියෙන්නෙ මේ ගමේ."

"දැන් ඉතිං වැඩි හරියක් ඉන්නෙ පිටගංකාරයොනෙ. මං වුනත් මාතර." ඔහු කියවගෙන යයි.

"ඔන්න අර වංගුවේ ගෙදර ජයවතී නෝනගෙන් ඇහුවොත් විස්තර කියයි කිසි ඇදක් නැතුව. ඒගොල්ලො මෙහේ ඉස්සර ඉඳන් ඉන්න අය"

ජයසේන මුදලාලි වටින් ගොඩින් කතාවකට කෑලි අමුණමින් සිටී . ඔහු කවදත් එහෙමය. අසා ඉන්නාවුන් අඩුම ගනනේ ප්ලේන්ටි දෙකක් හෝ ගෝල්ලිෆ් දෙකක්වත් ගන්නාතුරු ඔහු ඕනෑම කතාවක් දිග්ගස්සයි.

"තමුසෙ දන්න ටික කියනවකො." මම නොරිස්සුමින් කීවෙමි. කථාව ඇසිය යුතුය. ඇරත් දැන්ම බෝඩිමට ගියා කියා කරන්නට දෙයක් නැත.

"මිනිහ හොඳට ඉගෙනගත්ත එකෙක්, කැම්පසුත් ගිහිං තියෙනව කියලයි ජයවතී නෝන කියන්නෙ. ඒ විතරක් නෙවෙයි, මිනිහ හැත්තෑ එකේ විප්ලවේ දවස්වල මේ පැත්ත ලීඩ් කරපු සහෝදරයෙක්!"

"නෑ? , ඒ කියන්නෙ ඒ දවස්වල පිස්සු තිබිල නෑ?" මට කියවුනි.

"නෑ නෑ, එතකොට හොඳට ඉඳල තියෙනව. පිස්සු හැදිල තියෙන්නෙ පස්සෙ. ඒ දවස්වල මේ පැත්තෙ ව්‍යාපාරෙ තදින්ම තිබිල තියෙනව. මේ පැත්තෙ ඉස්සර හිටි මිනිස්සු ගොඩ දෙනෙක් දැන් නැත්තෙත් එකයි!. ඔය ..... ඇමති ඉන්නවා නේද? මිනිහත් මේ පැත්තෙනෙ. කළබල දවස්වල යන්තන් බේරිලා ගිහින්, පස්සෙ තමයි පක්ෂෙ මාරුකරල පාර්ලිමේන්තු ගිහිං තියෙන්නෙ. අහල ඇතිනෙ? ඔය ජයවතී නෝන කියන විදියට ඒ දවස්වල මිනිහ අපේ ලැන්ටන් එක්ක එකටම වැඩ කරල තියෙනව, දෙන්න එකට පන්තිත් කරල තියෙනවලු."

"ඉතිං පිස්සු හැදිල තියෙන්නෙ කොහොමද?" මටත් ඉවසිල්ලක් නැත.

"ඉතිං ඔය කළබල දවස්වල කට්ටිය එකතුවෙලා පොලිසි වලට ගැහුවනෙ. මිනිස්සු කියන විදියට මෙහේ පොලිසියට ගහද්දි ලැන්ටන් පොලිස්කරයෙක්ට වැඩේ දීල. කොහොමහරි පොලිසියත් අල්ලගෙන.

ඒත් පස්සෙ, අනිත් පැතිවල විප්ලවේ අසාර්තක වුණා කියල දැනගත්තම, එක කොල්ලෙක්වත් අහුනොවෙන විදියට මිනිහ ඔක්කොමත් එක්ක කැලේ පැනල තියෙනව. හැබැයි අර පොලිස්කාරය මැරුණු එක මිනිහගේ අවාසියට හිටල. කවුරුහරි එකෙක් ඔත්තුව දෙන්න ඇති."

"ඒයි අම්මට කියපන් ගිය මාසෙ පොත බේරන්න කියල හරිද?" වහා කතාව නැවතූ ඔහු බඩු ගනිමින් සිටි පොඩිඑකා දෙස බලා කීවේය. ඌ කිසි හැඟීමක් නැතිව ඔලුව වනයි.

පිස්සෙකු හා පොලිස්කාරයෙකු පිලිබඳ ගෙතුනු මෙවැනිම කතාවක් කොහේ හෝ මීට කලින් අසා ඇති බව මට යන්තමින් මෙන් මතකයට නැගෙයි.

"ඉතුරු ටිකත් කියනවකො මුදලාලි." මම පැවසීමි. ඔහු නැවත පටන්ගත්තේය.

"ඔය මැරිච්ච පොලිස්කාරයාගෙ අයිය කෙනෙක් ඉඳල තියෙනව ආමි එකේ ලොක්කෙක්. ලැන්ටන් අතින් සාජන් මැරුණ කියල ආරංචි වුනාම, පහුවදාම, ආමිකාරයෝ සීයක් විතර එක්ක මෙහේ ඇවිත් තියෙනව ලැන්ටව අල්ලන්න. හැබැයි හොයාගන්න බැරි වෙලා තියෙනව. ඉතිං මුකුත් කරගන්න බැරිවෙච්චි තැන උන් ලැන්ටගෙ ගෙදර ගිනිතියල ගිහින්. උගෙ අම්මයි තාත්තයි යන්තං හැංගිලා පණ බේරගෙන තියෙන්නෙ. දැන් නං ඒ මිනිස්සු මැරිලත් ඇති."

"ඊට පස්සෙද පිස්සු හැදිල තියෙන්නෙ?" අසළ සිටි කෙනෙක් ඇසීය. කඩය තුළ සිටි සියල්ලෝම මුදලාලිගේ කතාවට වශී වී ඇත.

"නෑ. නරකම හරිය එන්නෙ ඊට පස්සෙ!

ලැන්ටන් යාළුවෙලා ඉඳල තියෙනව ගමේ කෙල්ලෙක් එක්ක. ඕක කොහොම හරි ඒක පොලිස්කාරයගෙ අයියට ආරංචි වෙලා තියෙනව. ගමේ කවුරු හරි එකෙක් තමයි කියන්න ඇත්තෙ. සමහරවිට තාම ඒ කියපු එකා යහතින් කොහේ හරි ජීවත් වෙනවා ඇති.

හිතාගන්න පුලුවන්නෙ ඊළගට වෙච්චි දේ?

ගෙවල් පුච්චපු දවසට පස්වෙනිද රෑ කීපදෙනෙක් එක්ක ආපු පොලිස්කාරයගෙ අයිය, කෙල්ලගෙ ගෙදර මිනිස්සුන්ට ගහල කෙල්ලව අරන් ගිහින් තියෙනව. ඔය කන්ද උඩහ තිබිල තියෙනව ලී මඩුවක්. එතන ඕක වුණා කියලයි ඉස්සර මිනිස්සු කිව්වෙ. කොහොමහරි ඒ දැරිවිට දෙන්න පුළුවන් හැම වදයක්ම දීල තිරිහංම විදියට මරල තියෙන්නෙ. ඒ මදිවට මිනියෙ ඉතුරු මොනවහරි තිබුනනං, එකත් ලැන්ටගේ ගෙදර මිදුලට ගෙනිහිං දාල තිබුනලු.

කොල්ලො මේ මිදුලට වතුර එකක් ගහපං, දූවිලි ඇවිස්සෙනව!

ඊට පස්සෙ කාලයක් යනකල් ලැන්ටව කවුරුවත් දැකල නෑ. මිනිස්සු කිව්වෙ, කෙල්ලගෙ මිනිය දක්කගමන් මිනිහට පිස්සු හැදිල ඔලුව හැරුණු අතේ යන්න ඇති කියල. ඒත් පස්සෙ ආරංචි වෙලා තියෙනව අනුරාධපුරේ පැත්තෙදි මිනිහ පොලිසියට අහුවුනා කියල. අර පොලිස්කාරයගෙ අයියත් පදිංචි වෙලා ඉඳල තියෙන්නෙ අනුරාධපුරේ. අහුවුනාට පස්සෙ ඉතින් ඔය මොකක් හරි කෑම්ප් එකක ගුටි කකා ඉන්න ඇති. කොහොමහරි අන්තිමට නඩුවකුත් තිබිල තියෙනව පොලිස්කාරය මැරුව එකට. ඒත් ඒ වෙද්දි මිනිස්සුන්ට තේරිලා පිස්සු කියල. නඩුකාරය ලැන්ටව කෙලින්ම අංගොඩට යවල තියෙන්නෙ. එතන සෑහෙන කාලයක් ඉඳල තියෙනව, මම හිතන්නෙ අවුරුදු දහයක් විතර.

කවුරුහරි ඔය කාලෙදි මිනිහ ගැන හොයල බලන්න ඇති. කොහොමහරි අන්තිමට, ලැන්ට ගැන ආරංචි වෙලා අර මම ඉස්සෙල්ල කියපු ඇමතිය, එකාලෙදී නං මන්ත්‍රී වෙන්න ඇති! මිනිහ ලැන්ටව බලන්න ගිහිං තියෙනව.


ඒ වෙද්දි ලැන්ට අන්තිම අසරණ විදියට ඉඳල තියෙන්නෙ , මිනිහට ලැන්ටගේ තත්වෙ දැකල දුක හිතිල තියෙනව. අන්තිමට පොලිසියටයි ඉස්පිරිතාලෙටයි කතාකරල ලැන්ටව එළියට අරං තියෙන්නෙ පොරම තමයි."
බඩු ගැනීමට කවුදෝ ආ නිසා මුදලාලි කතාව නැවැත්වීය

ජයසේන මුදලාලිගේ කතාව අසමින් මම මෙතෙක් වේලා කල්පනා කරේ, මෙවන්ම වූ කතාවක් මා මීට පෙර ඇසුවේ කොහිදීද යන්නයි. අවසානයේ එය සිහියට නගාගැනීමට මට හැකි විය.

"මුදලාලි, තමුසෙ නං ලෝක බොරුකාරයෙක්!" මම ගත් කටටම කීවෙමි. අවට අසා සිටිවුන්ගේ කටවල් ඇරුණි!.

"තමුසෙ දැන් ඔය රස කර කර කියපු කතාව මම කියවල තියෙනව පොතක. කෙටි කතා පොතක්, මට මතක නෑ කවුද ලියල තිබුනෙ කියල. ෂුවර් එකට තමුසෙත් ඒ පොත කියවන්න ඇති. දැන් මෙතන පච කෙළිනව. දන්නෙ නැති උං අහන් ඉන්නවනෙ." මම කියවගෙන ගියෙමි.

ඒ වනවිට මම ගෝල්ලිෆ් දෙකක් දල්වා තිබුණි.

ජයසේන මුදලාලි මදක් වේලා නිහඬව සිටියේය. කඩේ සිටි අනිත් පිරිසද ඔහු දෙස සමච්චල් සහගතව බලයි.

"මලය පොත කියවල තියෙනව එහෙනං?" අවසානයේ ඔහු ඇසීය.

"අපි ආට් කාරයොනෙ මුදලාලි" මම වහා පැවසීමි. එය මම ආට් කල බව ආඩම්බරෙන් පැවසූ පළමු අවස්ථාව විය යුතුය.

"එහෙනං ඉතුරු ටිකත් අහගන්නවකො, කරුණාකරල" මදක් කෝපයෙන් පවසූ ඔහු අතේ තිබූ තේ ගොට්ට ශබ්දයක් නැගෙන සේ බෙලෙක් කෝප්පය තුලට දමා මා දෙසට හැරුණි.

"ලැන්ටන්ට නෑදෑ වෙන අක්ක කෙනෙක් හිටිය රූප කියල. ගෙවල් තිබුනෙ අර පේන කන්ද පාමුළ. දැන් නං ඒ මිනිස්සු මෙහෙ නෑ." ඔහු අත දිගුකර රූපලාගේ නිවස තිබූ ඉසව්ව පෙන්වීය.

"කටිංකට ගිහිං තිබුණු ලැන්ටගෙ කතාව ආරංචි වෙලා, ඔය පොත ලිව්ව කියන කතාකාරය ඇවිත් තියෙනව හරියටම විස්තරේ දැනගන්න. ගමට ඇවිත් හම්බෙලා තියෙන්නෙ රූපව. ඒ අනූ ගණන්වල මම හිතන්නෙ. රූප මිනිහට ඔක්කොම විස්තරේ කියල තියෙනව, අන්තිමට මිනිහ රූපලට සල්ලිත් දුන්න කියල ඒ දවස්වල මිනිස්සු කතාවුනා."

"කොහොම කොහොම හරි ලැන්ටගෙ කතාව පොතකටත් ගියා. මල්ලි පොත කියෙව්වනන් මතක ඇතිනෙ? තමුන්ගෙ කතාවක් වගේ ඒ යකා පොත ලියල තිබුනෙ!."

"මාර වැඩක්නෙ" මට කියැවුනි.

"හ්ම්ම්... දැංවත් පිළිගන්නවල කතාව ලැන්ටගේ කතාව ඇත්ත කියල. ඔහු මා දෙස බලා පැවසීය."

"හරි හරි ඉතිං ඉතුරු ටිකත් කියනවකො මම කියපු එව්ව ගණන්ගන්නෙ නැතුව." මම නැවත පැවසීමි

"ඉතින් ඔය පොත ගමටත් ආව. දන්න මිනිස්සු අනේ අපොයි කිය කිය කියවන්න ඇති. හැබැයි ගොඩක් උං දැනගෙන හිටියේ නෑ ඒක ලැන්ටගෙ කතාව කියල. අනූ ගණන් වලනෙ, සිද්දියට අවුරුදු විස්සකටත් පස්සෙ!"

"ජයවතී නෝන කියන්නෙ, ඔය පොත ලැන්ටත් බැලුව කියල. එදා ඉඳන් මනුස්සය කිසි කෙනෙක් එක්ක කතාකරේ නැහැලු. දැන් වුනත් බඩගිනි උනහම කඩේ ළඟ කැරකි කැරකි ඉන්නවා මිසක් කතාකරන්නේ නෑ."

"අර ඇමති කෙනෙක් ගැන කිව්වා නේ? ඒ මනුස්සය හොයල බැලුවෙ නැද්ද? " මම ඇසුවෙමි.

"ඉන්නවකෝ කියනකන්" ඔහු තවමත් කෝපයෙනි.

"ඊට පස්සෙ ටිකෙන් ටික ඔය කතාව අමතක වුනා. ලැන්ට වුනත් වැඩියෙ මිනිස්සු ඉන්න තැන්වල ඉන්නෙ නැහැනෙ. සමහර කාලවලට පේන්නම නෑ. කොහේ යනවද කියල කවුරුවත් දන්නෙත් නෑ. ඔහොම ඔහොම ඔය කතාව යට ගියා. මේ හරියෙ ගම් උදාවක් තිබුනනෙ! , පරණ මිනිස්සු වෙනුවට අලුත් අය ගමේ පදිංචි වුනා. දැන් ඉන්න ගොඩක් උන් ලැන්ට ගැන දන්නෙ නැත්තෙ ඒකයි. අන්තිමට ඌ නිකම්ම නිකං පිස්සෙක් වුනා. ඒ මදිවට ලැන්ටන් ලැන්ටි වුණා, දැන් ඉන්න පොඩිඋං කියන්නෙ ලැන්ටි පිස්සා කියල"

"මිනිහ ආමි සූට් ගිනි තියන්නෙ අර පොලිස්කාරයගෙ අයිය මතක්වෙන හින්ද වෙන්න ඇති." මම කීවෙමි.

"හ්ම්ම්... වෙන්න ඇති, මම දන්න විදියට ඔය දෙවෙනි පාර" ඔහු කීය.

"පොත ලියපු මිනිහට මොකද වුනේ? මිනිහ ඊට පස්සේ මේ පැත්තෙ ඇවිත් නැද්ද?" කවුදෝ ඇසීය.

"මේ පැත්තෙන් ඇවිත් නෑ, හැබැයි මිනිහට ලොකු සම්මානයක් හම්බුනා ඔය පොතට. පත්තරෙත් දාල තිබුන ෆොටෝ එහෙම එක්ක, මම ඒ දවස්වල අරන් තියලත් තිබ්බ ඒ පත්තරේ. දැන්නම් නැතුව ඇති."

"ශහ්, තිබුණනං තමුසෙලටත් පෙන්නන්න තිබුණ සම්මානෙ දුන්නෙ කවුද කියල." ඔහු කට කොනට සිනාවක් නගාගනිමින් පැවසීය.

"කවුද?" අපි එකවර ඇසීමු

"අර ඇමතිය!"

භාතිෂ අකලංක සිල්වා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails