Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පාත්‍ර වර්ගයා- නිවේදක, සුගුණක, ඖදාර්යා, ආචාර්ය ඉන්ද්‍රජාත, ආචාර්ය මනුම්‍යය, මහාචාර්ය වානේගොඩ, වෛද්‍ය සූක්ෂම, පාරිශුද්ධි අම්මාන්, ආචාර්ය අදින්නපුබ්බක, ආචාර්ය වැලිතලාව, ආචාර්ය සත්වපාල හිමි, ආචාර්ය දීගායු, ආචාර්ය පරමාජීව, ආචාර්ය ශිලාදාස, මුදලාලි, මුදලාලි නෝනා, නර්ස්

(සියුම් සංගීතයක් මතුවේ)

නිවේදක- මෙන්න විශේෂ නිවේදනයක්. බුද්ධ වර්ෂ දෙදහස් හයසියවන බුද්ධ ජයන්ති මහෝත්සවය සැමරීම අරමුණු කොටගෙන, උත්තරීතර සිංහල බෞද්ධ ජනතාව සඳහා, ගෞරව උපාධි නාම ප්‍රදානය කිරීමේ පනත, අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. මේ අනුව, වයස අවුරුදු විසි පහට වැඩි සියලුම සිංහල බෞද්ධයින්, ආචාර්ය හෙවත් ඩොක්ටර් ලෙසත්, වයස අවුරුදු පනස් පහට වැඩි සියලුම සිංහල බෞද්ධයින්, මහාචාර්ය හෙවත් ප්‍රොපෙසර් ලෙසත් භාවිත කළ යුතු බව රජය දන්වා සිටී. ගෞතම බුදුරජාණන් වහන්සේ මෙරටට තෙවරක් වැඩම කර තිබීමත්, මිහිඳු මහරහතන් වහන්සේ විසින් ගෙන ආ බුද්ධාගම සුරක්ෂිතව පැවතීමේ කේන්ද්‍රස්ථානය මෙම රට වීමත්, උතුම් වූ බොදු සංස්කෘතිය, සභ්‍යත්වය, සාරධර්ම හා පිළිවෙත් සිංහල බෞද්ධ ජනතාව පිළිබිඹු කිරීම හේතුකොටගෙන, අංක එක දරන බුද්ධ ජයන්ති විශේෂ පනතට අනුකූලව ගරු උපාධි නාම භාවිතය අනිවාර්ය කර පවතී. වයස අවුරුදු විසි පහට වැඩි හා පනස් පහට වැඩි සියලුම සිංහල බෞද්ධ පුරවැසියන්, තම නමට ඉදිරියෙන් තමාට හිමි ආචාර්ය හෝ මහාචාර්ය හෙවත් ඩොක්ටර් හෝ ප්‍රොපෙසර් යන නාමය හා, තමන්ගේ නාමය සහිත කහ පැහැති බැජ්, ඇඳුමේ උරහිසට පහළ වම් කෙළවර පැළඳීම අනිවාර්ය නීතියක් වේ. අදාළ සියලුම බැජ් පුවරු, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ, කඩිනම් තාක්ෂණික ව්‍යාපෘතිය යටතේ ජංගම රථවලින් බෙදා හැරීමට සියලු කටයුතු සලසා ඇත. මෙන්න එම නිවේදනය නැවතත්.

(හඬ මැකී යයි, හේවිසි දවුල් ගැටබෙර නාදය ඇසේ...)

සුගුණක- ඇත්තටම මේක නම්, ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන මසුරන් වටින කෙරුවාවක්. ශත වර්ෂ ගණනාවකට පෙරාතුරව ගත යුතුව තිබුණු පියවරක්, අද වැනි කාලෙක ක්‍රියා පටිපාටියට නැගීම ගැන, වර්තමාන ආණ්ඩුවට බුහුමන් දක්වන්න ඕන. සුද්දෝ කැලේ ඉන්න කාලේ අපේ මුතුන් මිත්තෝ විශ්ව කර්ම වැඩනෙ බොල කළේ. අපට ඉතිරිවෙලා තියෙන නටබුන් යාය ඒකට මනාව සාක්ෂි සපයනවා.

ඖදාර්යා- අපේ රාවණා රජ්ජුරුවෝ දඬුමොණරෙන් නැගලා, ගුවන්ගත වෙච්ච කතන්දරේම ඇති අපට ජාතියක් විධියට ආඩම්බර වෙන්න. ඔය වාරියපොළ කියලා කියන්නෙ, වාතයෙන් ගමන් කරන රියවල් නවත්තපු පොළ නොවැ.

සුගුණක- කළුගල් මොළොක් කරපු මහා ශිෂ්ටාචාරයක් අපට තියෙනවා. ඒවයින් මහා ප්‍රතිමා, කැටයම්, ගොඩනැගිලි, දාගැබ් අහස උසට තනලා තියෙනවා. මේ තරම් ප්‍රාතිහාර්යක් පාන්න, ලෝකයේ කිසිම ජාතියකට පුළුවන් වෙලා තියෙනවද බොල.

ඖදාර්යා- ගෞතම බුදුන් තුන් වතාවක් පාද ස්පර්ශය ලබා දීපු භූමියක් මේක. ඒ උත්තමයාණන් වහන්සේගේ දන්ත ධාතුව, කේශ ධාතුව, දකුණු අකු ධාතුව සුරක්ෂිතව පවතින්නේ මේ උතුම් වූ දේශයේ. ඒවා මෙතුවක් කල්, කිසිදු ආපදාවකින් තොරව ආරක්ෂා කළේ අපි. ඒ උතුම් කාරියට සංග්‍රහ කරන්න අරගෙන ආපු උතුම් කටයුත්තක් මේක. හ්ම්, සාධුකාරයක් දෙමු.

සුගුණක/ඖදාර්යා- සාධු සාධු සාධු...

සුගුණක- ඔන්න අද ඉඳන් අපි ආචාර්යවරු, මහාචාර්යවරු. ඒ කියන්නේ ඩොක්ටර්ස්ලා ප්‍රොපෙසර්ලා.

ඖදාර්යා- එහෙමයි, එහෙමයි මහාචාර්ය සුගුණක උපාසක මහත්මයා.

සුගුණක- හරියට හරි. අන්න එහෙම තමයි අපි ඉස්සරහට එකිනෙකා ආමන්ත්‍රණය කරගන්න ඕන. ආචාර්ය ඖදාර්යා උපාසිකාව.

(සංගීතය මතුවී නැවත මැකී යයි.)

ඉන්ද්‍රජාත- මං කියන්නේ, අපි කලබල වෙන්න හොඳ නෑ. ශාස්ත්‍රීය බුද්ධිමතුන් විධියට අපි මුලින්ම නිරීක්ෂණය කරමු. ඊට පස්සෙ විශ්ලේෂණය කරමු. ඉන් අනතුරුව ක්‍රියාවට නගමු.

මනුම්‍යය- න්‍යාය කියන එක, හැම දේටම එක විධියට භාවිත කරන්න බෑ. ගත යුතු ක්‍රියා මාර්ග ඒ ඒ ප්‍රස්තුතයට අනුව වෙනස් කරන්න වෙනවා. අපි මේ තත්වයේදි, වහාම ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක තමයි, මේ මොහොතේ කරන්න තියෙන හොඳම විකල්ප ක්‍රියාවලිය, ඉන්ද්‍රජාත.

ඉන්ද්‍රජාත- ඒත්, අපි මතක තියාගන්න ඕන, ආචාර්ය මනුම්‍යය, රජයත් එක්ක හැප්පෙන එක ලෙහෙසි නෑ. මේ පනත සම්මත වෙලා තියෙන්නෙ පාර්ලිමේන්තුවෙන්. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ කියන ත්‍රිත්ව ආයතනවල සහය මේකට තියෙනවා.

මනුම්‍යය- මොන ක්‍රමයට අනුමත වුණත්, මේක සමස්ත ශාස්ත්‍රඥයින්ටම කරපු මහා අපහාසයක්. මං මොන තරම් මහන්සියක් වෙලාද, මගේ මේ ආචාර්ය උපාධිය ලබා ගත්තෙ. මම අවුරුදු හතරක් කොළඹ සරසවියෙ ප්‍රථම උපාධිය කළා. ඊට පස්සේ ජවහල්ලාල් නේරු සරසවියෙ ශාස්ත්‍රපති උපාධිය කළා. ඊටත් පස්සේ ඇම්ස්ටර්ඩෑම් සරසවියෙ අවුරුදු පහක, ආචාර්ය උපාධි පර්යේෂණාත්මක නිබන්ධනයක් කරලයි මේ ආචාර්ය පට්ටම ලබා ගත්තෙ. හරියට දුෂ්කර ක්‍රියා කරලා බුදු බව ලබා ගත්තා වගේ, මගේ ජීවිතේ හොඳම කාලේ කැප වුණේ අධ්‍යාපනයට. ඒත්, මේ ගෞරව උපාධි නීතිය නිසා අපිව හෑල්ලුවට ලක් වෙනවා.

ඉන්ද්‍රජාත- හරි, දැන් උඹ මොකද මේකට කරන්න යන්නෙ?

මනුම්‍යය- අපි මේකට විරුද්ධව පෙළ ගැහෙන්න ඕන. ඔව්, ඒකරාශී වෙන්න ඕන. කොහොම හරි, මේ ව්‍යාපෘතිය පරාජයට පත් කරන්න ඕන.

ඉන්ද්‍රජාත- මේක ගරු නාමයක්. ගෞරවාන්විත නාමකරණයක්. මේ වගේ ගරු නාම, උපාධි, අපේ ඈත ඉතිහාසයේ ඉඳලම බුහුමන් වශයෙන් ලබාදීලා, පාවිච්චි කරලා තියෙනවා. කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත, ෂඩ්භාෂා පරමේෂ්වර, ත්‍රි සිංහලාධීෂ්වර. මම අහන්නෙ, ඇයි, අපි කලබල වෙන්නෙ? මේ උපාධි නාම නිසා බී.ඒ, එම්.ඒ, පී.එච්.ඩී කියන උඹගෙ අකුරුවලට කිසිම බලපෑමක් නෑ. අනෙක, උඹ හිතන තරම් ලෙහෙසි කාරියක් නෙමෙයි මේකට විරුද්ධ වෙන එක. මේක මහා දැවැන්ත ව්‍යාපෘතියක්. මං යෝජනා කරන්නේ අපි අපේ පාඩුවෙ අපේ කාර්යය කරගෙන ඉමු.

මනුම්‍යය- උඹ අපේ කාර්යය කියලා අදහස් කරන්නෙ...

ඉන්ද්‍රජාත- (බාධා) අපි වගේ ශාස්ත්‍රීය බුද්ධිමතුන්ට නියම වෙලා තියෙන, ඒ අයගෙන් ඉටුවිය යුතු කාර්ය.

මනුම්‍යය- ඒ කියන්නෙ...

ඉන්ද්‍රජාත- (බාධා) මං කියන්නෙ, අපි මාතෘකාවකට අදාළ දේශනයක්, එහෙමත් නැතිනම් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක්, එහෙමත් බැරි නම්, මොනවා හරි ගැන පොතක් පළ කරගෙන, නැත්නම් රූපවාහිනියෙ, ගුවන් විදුලියෙ සජීවී සාකච්ඡාවකට සහභාගි වෙලා, අපේ වෘත්තිය
කරගෙන ඉමු.

මනුම්‍යය- පවතින අසම්මත, අසාධාරණ තත්වයන් ඉස්සරහ ඇස් වසා ගැනීම කියන්නෙ මනුෂ්‍යත්වයට නොගැළපෙන ක්‍රියාවක්. මං සූදානම් නෑ ඒකට. මං නායකත්වය දෙනවා මේ සඳහා විරුද්ධව පෙළ ගැහෙන්න. උඹ කැමති මාත් එක්ක එකතු වෙන්නද, නැතිනම් වෙන් වෙන්නද?

ඉන්ද්‍රජාත- මට රකින්න පවුලක් ඉන්නවා, මම...

මනුම්‍යය- (බාධා) මටත් එහෙමයි. ඒත්, එහෙමයි කියලා, මේ අයුක්තිදායක තත්වය අත් හරින්න පුළුවන් එකක් නෙවි. මේක සුබ සහ යස වගේම සූක්ෂම උපක්‍රමයක්. මට විශ්වාසයි නුදුරෙම අපේ අයිතිවාසිකම් සියල්ලත් අහිමි වෙනවා. බලනවා, දැන් පාර්ලිමේන්තුවෙ හැම ඇමතිවරයෙක්ම ආචාර්යවරු, නැත්තම් මහාචාර්යවරු. ඒ වගේම, උන්ගේ ආරක්ෂක භටයින්, හමුදාව, පොලීසිය, ව්‍යාපාරිකයො, නළු නිළියො, මෙකී නොකී හැම වැඩිහිටි සිංහල බෞද්ධයෙක්ම, ආචාර්ය මහාචාර්යවරුවෙලා. මට නම් මේක බලා ඉන්න බෑ. අපි මේකට විරුද්ධව සංවිධානය වීම අනිවාර්යයයි.

ඉන්ද්‍රජාත- (තමාට) මේ වැඩේ මගේ සැබෑ අගමුල තොරතුරු ලෝකයටම අනාවරණය කර ගන්න පොටක්. ඒත්, හැම පැත්තම සමබරව තියා ගන්න ඕන. ඒක තමයි පවතින්න පුළුවන් නියම ක්‍රමය. (හඬින්) හොඳයි, මං උඹට සහය දක්වනවා. ඔව්, උඹ වැඩේ ආරම්භ කරපන්. නායකත්වය දීපන්.

(සංගීතය මතුවී නැවත මැකී යයි.)

මනුම්‍යය- ඔව් අපි ඉක්මණට මේ විරෝධතාවය සන්නද්ධ තලයකට අරගෙන යන්න ඕන. අපට වෛද්‍යවරු, ඒ වගේම සුළු ජාතිකයින් සහාය දක්වන බවට දැනටමත් පොරොන්දු වුණා. අපි මේ සඳහා අනෙකුත් සියලු බලවේග ඒකරාශී කර ගන්න ඕන.

ඉන්ද්‍රජාත- ඒත්, උඔට විශ්වාසයිද මේ අය උඹත් එක්කලා එකට එකතුවෙයි කියලා, ඇත්තටම?

මනුම්‍යය- සියලුම වෛද්‍යවරු ව්‍යාපෘතියට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මොකද, අද අවුරුදු විසිපහට වැඩි සමහර සිංහල බෞද්ධයො, ඩොක්ටර් කියලා නාම පුවරු ගහගෙන වෛද්‍ය ප්‍රතිකාර කරන තත්වයක් උද්ගත වෙලා. ඒ වගේම, රෝගියත් ඩොක්ටර් නිසා, ලෙඩයි
වෛද්‍යවරයයි අඳුරගන්න බැරි තත්වයක් තියෙන්නෙ රෝහල්වල. ඒ වගේම රෝහල්වල නර්ස්ලා, ඇටැන්ඩන්ලා, ඖෂධ සංයෝජකයො, ඩොක්ටර්ස්ලා විධියට ප්‍රතිකාර කරන්න පෙළඹිලා, පුද්ගලික චැනල් සේවා පවා පටන් අරගෙන.

ඉන්ද්‍රජාත- ප්‍රතිකාර කරන පිළිවෙළ දන්නවානම්, ලෙඩකට දුකකට බෙහෙතක් ලබා දුන්නට මොකක්ද තියෙන ප්‍රශ්නෙ? සෑහෙන කාලෙක ඉඳලා, රෑට අමාරු වෙච්ච ලෙඩ්ඩු අපේ ගෙදරටත් එනවා. මොකද මම ඩොක්ටර් ඉන්ද්‍රජාත සෙනෙවිරත්න කියලා නාම පුවරුවක්, ගේ ඉස්සරහ ගහගෙන ඉන්නෙ, ඒ කාලෙ ඉඳන්මයි. ඉතින්, ලෙඩෙක් ආවම මං කරන්නෙ මොනවාහරි තෙල් ටිකක්, නැතිනම් පැනඩෝල් පෙත්තක් දෙනවා. හරිම පුදුමෙ කියන්න ලෙඩ්ඩු සනීප වෙනවනෙ. හැබැයි රෝගය අන්තිම අසාධ්‍යයි කියලා දැනුණොත් මං ඉස්පිරිතාලෙට අරගෙන යන්න කියලා තුණ්ඩුවක් ලියලා ඇඟ බේර ගන්නවා. මෙහෙම රෝගියෙක් දෙන්නෙක් ගෙදරට එන නිසා තමයි, මේ විධියට මං ඔළුව උස්සලා ඉන්නෙ.

මනුම්‍යය- උඹ කොහොමද, සුදුසුකම් නැතුව ලෙඩවලට බෙහෙත් නියම කරන්නෙ.

ඉන්ද්‍රජාත- ලෙඩ හොඳ වෙන්නෙ සුදුසුකම් හින්දා නෙමෙයි, බෙහෙත හින්දා. අනික මට සුදුසුකම් නැත්තෙ මොකද? අපේ මුත්තා පාරම්පරික වෙදෙක්. ඒ පැරණි පුස්කොළ පොත්වල කෑලි, තාමත් ගෙයි අහුමුළුවල තියෙනවා.

මනුම්‍යය- මතක තියාගනින්, උඹට ඩොක්ටර් කියලා කියන්නෙ ආචාර්ය කියන අදහසින්. ඒ කියන්නෙ ශාස්ත්‍රඥයා කියන තේරුමින්.

ඉන්ද්‍රජාත- ඔය සංකීර්ණ උභතෝකෝටික ගැටලුවට, මිනිස්සු එක්ක හැප්පෙන්න මට බෑ. වාසි අතට හෝයියා. ඒක තමයි හොඳම පිළිවෙළ. ආහ්, මේ බලපන්, අද මේ පත්තරේ හෙඩිම. මේ සමස්ත සරසවි ශිෂ්‍යයොම විභාග වර්ජනය කරන්න යනවා.

මනුම්‍යය- මොකක්?

ඉන්ද්‍රජාත- බලපන්කො මේක කියවලා."සරසවි සිසුන් විභාග වර්ජනයේ..."
(පත්තර පෙරළෙන හඬ)

මනුම්‍යය- නව ගෞරව උපාධි නාම පනතට අනුකූලව, අවුරුදු විසිපහට වැඩි සියලුම සිංහල බෞද්ධ පුරවැසියන් සඳහා ආචාර්ය උපාධි පිරිනැමෙන හෙයින්, තව දුරටත් සරසවි පද්ධතිය තුළ, විභාග පැවැත්වීම අනවශ්‍ය කාර්යයක් බවට, සමස්ත ලංකා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ සංගමය දන්වා සිටී. විභාග සඳහා වැය කරන මුදල්, ප්‍රතිපාදන සිය ශිෂ්‍යාධාර වාරිකයට එකතු කරන ලෙස සමස්ත සරසවි සිසුහු විරෝධතා දක්වති. මෙම විරෝධය සඳහා පාසල් සිසුන් ද සහයෝගය දක්වන අතර, ඔවුන්ද සිය විභාගයන් අත්හිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

ඉන්ද්‍රජාත- අද අපේ දරුවො තරග විභාගවලටම හුරුවෙලා. මේ විභාග අභාග තරගය නැති කරන එක නම් ඔවුන්ට කරන සෙතක්.

මනුම්‍යය- කොහොමද එහෙම වෙන්නෙ? විභාගයක්, පරීක්ෂණයක් නොපවත්වා කොහොමද දැනුම සුදුසුකම් මනින්නේ?

ඉන්ද්‍රජාත- හැමෝටම සමාන සුදුසුකම් තියෙනවා නම් මැනලා බලන්නෙ මොකටද?

මනුම්‍යය- ඒ කියන්නෙ උඹ එකඟයි, මේ විභාග පැවැත්වීම අහෝසි කරනවට?

ඉන්ද්‍රජාත- ඔව්, මට නම් එපා වෙලා තියෙන්නෙ, මේ ශිෂ්‍යයින්ගෙ ප්‍රශ්න පත්තර බැලිල්ල. කොහොමත් එදා ඉඳලම මං ප්‍රශ්න පත්තර කියවන්නෙ නෑ.

මනුම්‍යය- එතකොට, උඹ ශිෂ්‍යයින්ට ලකුණු දෙන්නෙ කොහොමද?

ඉන්ද්‍රජාත- මට අකුරු දැක්කම කියන්න පුළුවන්, උත්තරේකට ලකුණු දෙන්න ඕන ගාණ. අකුරුවල හැඩ රුව කියන්නේ, පුද්ගලයෙකුගේ තත්ත්වය මනින්න පුළුවන් එකක් කියලා ජ්‍යොතිෂ්‍යයෙ විග්‍රහ වෙනවා.

මනුම්‍යය- ඒ කියන්නෙ උඹ ජ්‍යොතිෂ්‍යයත් දන්නවා.

ඉන්ද්‍රජාත- ඔව්, මං කේන්දර හදනවා. නම් තියනවා. මං ඉස්සරහට උප්පැන්නත් හදන්නයි ඉන්නෙ. නැතුව අද කොහොමද ඔලුව උස්සලා ඉන්නෙ?

මනුම්‍යය- මොනවා?

ඉන්ද්‍රජාත- මේ ගෞරව උපාධි නීතිය නිසා විශාල ඉල්ලුමක් තියෙන්නෙ වයස, ජාතිය, ආගම වෙනස් කර ගන්න. අවුරුදු විසිපහට අඩු අය විසිපහට වඩා වැඩි කර ගන්නවා, ආචාර්ය වෙන්න. පනස් පහට අඩු අය පනස් පහට වඩා වැඩි කර ගන්නවා, මහාචාර්ය වෙන්න. ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ආගමිකයො, බෞද්ධ වෙන්න උත්සහ කරනවා. ආගමක් දහමක්, ජාතියක්, ජම්මයක් නැති අය පවා සිංහල බෞද්ධයො වෙලා උප්පැන්න හදා ගන්නවා.

මනුම්‍යය- මට නම් හොඳටම විශ්වාසයි, උඹ ඉක්මනටම හිරේ විලංගුවෙ වැටෙනවා.

ඉන්ද්‍රජාත- ඒ මොකද? මං මේවා බොහෝම රහසිගතවයි කරන්න ඉන්නෙ.

මනුම්‍යය- එහෙනම්, මං උඹව හිරේ ඇරලයි පස්ස බලන්නෙ.

ඉන්ද්‍රජාත- මොකක්?

(සංගීතය මතුවී නැවත මැකී යයි.)

නිවේදක- මේ වන විට, රජය මගින් ක්‍රියාත්මක කර ඇති ගෞරව උපාධි නාම ව්‍යාපෘතිය අඩාළ කිරීම සඳහා කඩාකප්පල්කාරී උද්ඝෝෂණ රැසක්, කැරලිකරුවන් විසින් ක්‍රියාත්මක කරගෙන යන අයුරු පෙනී යනවා. නමුත් රජය අවශ්‍ය සෑම ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ම අරගෙනයි තිබෙන්නේ. හමුදාවේ ආචාර්යවරු හා පොලීසියේ ආචාර්යවරු මෙම තත්වය මැඩ පැවැත්වීම සඳහා විශාල වෙහෙසක් දරනවා. මෙම ගරු උපාධි නාම හිමි නොවූ, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, කොචින්, චෙට්ටි ආදී ජන කොටස්, තමන්ටද එම වරප්‍රසාදය ලබා දෙන ලෙස ඉල්ලා, රටපුරා කඩාකප්පල්කාරී ක්‍රියාවල නියුතුව සිටිනවා. නමුත් අපි දන්නවා, බුද්ධිමත් ජනතාවට තේරුම් ගන්න පුළුවන්, සැමටම එක ලෙස ලබා දිය හැකි ගරු නාමයක් නොවෙයි මේක. සිංහල ජාතිය යනු ලෝකයේ එම බස කථා කරන එකම ජාතියයි. බුදුන් විසින් දෙසා වදාළ ථේරවාදී බුදු දහම අඛණ්ඩව ආරක්ෂා කරන ජාතියයි. මුතුන් මිත්තන් ගොඩනැගූ ඒ ශිෂ්ටාචාරය අඛණ්ඩව ඉදිරියට පවත්වා ගෙන යන ජාතියයි. එවන් ජාතියකට මෙවන් ගෞරවයක් ලබාදීම, සිංහල බෞද්ධ ඔබට පමණක් නොව, ඔබේ මුතුන් මිත්තන්ටද කරන ලද අභිමානවත් ගෞරවයක්. ලේ වැගිරීමකින් තොරව සිදු කළ වෙනසක් ලෝක ඉතිහාසය තුළ සොයා ගැනීමට නොහැකියි. මෙවැනි ව්‍යාපෘතියකදීද එවැනිම අභියෝගවලට මුහුණදීමට සිදුවීම අනිවාර්යයි. එහෙත් රජය නොබියව මෙම කඩාකප්පල්කාරීන් මර්දනය කරනවා. ඔව්, අපි මේ මොහොතේ සජීවීව සම්බන්ධ වෙමු පොලිස්පති මහාචාර්ය වානේගොඩ මහතා සමග වැඩි විස්තර දැනගැනීම සඳහා, ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධව.

මහාචාර්ය වානේගොඩ- මේ වන විට, අප පනස් දහසකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා, විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවල නියුතුවූවන්. ඔවුන්ට දණ්ඩ නීති සංග්‍රහය යටතේ, දැඩි ලෙස ක්‍රියාකිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි තවත් දස දහසකට ආසන්න ප්‍රමාණයක්, අත්අඩංගුවට අරගෙන තිබෙනවා, තමන්ගේ ජාතිය, ආගම, වයස වෙනස් කරගන්න උත්සහ දරපු අය. මොවුන් ව්‍යාජ උප්පැන්න සහතික හදාගෙන, ආචාර්ය හා මහාචාර්ය පට්ටම් ලබා ගැනීමටයි උත්සහ කර තිබෙන්නෙ. මේ අතර නළු නිළියො, අධ්‍යක්ෂකවරු, ගායකයො, නිවේදකයො, ග්‍රන්ථ කර්තෘවරු, ඡායාරූප ශිල්පියො, ටියුෂන් ගුරුවරු, මුදලාලිලා ආදී, නමගිය පුද්ගලයින් රැසක් සිටිනවා. ඒ වගේම සමස්ත ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය, සමස්ත ලංකා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ආදී කණ්ඩායම් රැසක්, රජයට විරුද්ධව විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක නායකත්වය දී තිබෙනවා. අපි ඔවුන්ටත් නීතිය මගින් නිසි පාඩම් උගන්වන්න අපේක්ෂා කරනවා.

නිවේදක- ඔව්, ඒ පොලිස්පති මහාචාර්ය වානේගොඩ මහතා. ඔව්, අපි මේ අවස්ථාවේදී ඔබ සම්බන්ධ කරනවා සජීවීව, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ උද්ඝෝෂණ අවස්ථාව වෙත.

පිරිස-
හකුල ගනිව් පර උපාධි
සුදුසුකමක් නැති තරාදි
අසමමිතිය දෙන ව්‍යාධි
භේද කරන පටු ගරාදි

මනුම්‍යය- අපි ඉල්ලා සිටිනවා ඉතාම කඩිනමින්, අප වැනි ශාස්ත්‍රඥයින්ට, ඔවුන්ගේ වෘත්තියට නිගා කරන, මේ පර උපාධි ලබාදීමේ ව්‍යාපෘතිය, රජයට අකුලා ගන්න කියලා. මේ හාස්‍යජනක අත්තනෝමතිකකම්වලට එරෙහිව, ඔබ පෙළ ගැසී සිටීම සංතෝෂයට කරුණක්. ඔව් දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, කොචින්, චෙට්ටි සහෝදරවරුනි, මේ සටන ජයග්‍රහණයෙන් තමයි කෙළවර කරන්නේ. ඔව් ජයග්‍රහණයෙන්.

නිවේදක- රජය නීතිය කඩකරන්නන්ට විරුද්ධව, දැඩි ක්‍රියාමාර්ග ගැනීමට, සියලුම විධි විධාන සැකසෙනවා. අපගේ ජාතියට ද්‍රෝහිකම් කරන, ජාතිය පාවා දෙන, දේවදත්තලා වර්තමානය තුළද සිටීම අරුමයක් රහසක් නොවෙයි. අපගේ මෙම ව්‍යායාමය, රජ සැප තනිව විඳීමට නොව, එම අභීත වූ රාජ ගෞරවය ඔබටද ලබාදීමටයි. නමුත් මිත්‍රවරුනි සියලුම වෛද්‍යවරුන්ද මෙයට සහයෝගය දක්වා රජය අඩපණ කිරීමට උත්සහ ගත්තත්, වෙදකම නැති වුණාට හෙදකම අප සතුව තිබෙනවා. ඔව්, අද නර්ස්වරුන් ඩොක්ටර්ස්ලා ලෙස එම කාර්යභාරය රෝහල් තුළ කරගෙන යනවා. ඔවුන්ට ඩොක්ටර් රෝගීන්ගෙන්ද විශාල සහයක් ලැබෙනවා. මේ නිසා සමස්ත රෝහල් පද්ධතිය සුපුරුදු ලෙස සක්‍රියයි. ඔව්, මේ අවස්ථාවේදී අප ඔබ එම වෛද්‍යවරුන්ගේ විරෝධය වෙත යොමු කරනවා.

පිරිස-
හොර දොස්තරවරු හදවන
හොර දොස්තර රට පතුරන
කොන්දොස්තර දොස්තර වන
දොස්තරකම අහෝසිවන

වෛද්‍ය සූක්ෂම- මිත්‍රවරුනි, අද දොස්තරවරු වන අපට, කොන්දොස්තරටත් ඩොක්ටර් කියා අමතන්න සිද්ධ වෙලා. ඒ වගේම, ලෙඩ්ඩුන්ටත් ඩොක්ටර් කියා අමතන්න සිද්ධ වෙලා. අද කොන්දොස්තරවරයෙකු විසින් අප ඩොක්ටර් කෙනෙකුට පහරදී තිබෙනවා, ඔහුට ඩොක්ටර් කියා නොඇමතීම හේතුවෙන්. එමෙන්ම ලෙඩ්ඩුන්ගෙන් පරුෂ වචන ප්‍රහාර නොකඩවා එල්ල වෙනවා, ඔවුන්ටද ඩොක්ටර් කියා නොඇමතීමෙන්. ඒ වාගේම, රටේ හැම තැනම අද හොර ඩොක්ටර්ලා බිහිවෙලා. ඔවුන්ව ආරක්ෂා කරනවා මේ ව්‍යාපෘතිය. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ, අපට වෛද්‍ය වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කර දෙන්න කියලා. එහෙම නොවුණොත් අපි මාරාන්තික අරගලයකට යන්න සූදානම්.

නිවේදක- මේ අතර සමස්ත සුළු ජාතීන් එක් රොක් වී, විශාල උද්ඝෝෂණයක් ක්‍රියාත්මක වෙනවා. දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, චෙට්ටි, කොචින් ආදී විශාල ජනකායක් අපට දැකගන්න පුළුවන්, ආවේගශීලීව හැසිරෙන ආකාරය. ඔව්, මේ අවස්ථාවේදී එහි සංවිධායක පාරිශුද්ධි අම්මාන් මහතා, එම පිරිස අමතා කථා කරන අයුරු අපට පෙනී යනවා. ඔව්, ඔබ අප ඒ හා සජීවී අයුරින් සම්බන්ධ කරනවා.

පාරිශුද්ධි අම්මාන්- අපි අතීතයේ ඉඳලා අද දක්වා, මේ රටේ එකට සහයෝගයෙන් ජීවත් වෙච්ච මිනිස්සු. මේ රට ගොඩනැගුවෙ අපි සැමගෙම සහයෙන්. ඇයි, අපට පමණක් මේ අඩු තක්සේරුවක්. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් බලයේ සිටින්නා වූ රජයන් උල්ලංඝණය කරන්නෙ, කොයි තරම් වර්ෂ ගණනාවක සිටද කියලා ඔබට අමුතුවෙන් මතක් කරන්න ඕන නෑ. ඉතිහාසයේ සිට මේ දක්වා, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් බැහැර කිරීමේ උච්ඡතම අවස්ථාව, නැතිනම් ඉහළම මුදුන්පෙත්ත විධියට මෙම ගෞරව උපාධි පනත අපි අර්ථ දක්වනවා. අපි ඉල්ලා සිට්න්නේ රජයෙන් සියලුම ජාතීන්ට සමානව සලකන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියලා. එහෙම නොවුණහොත්, ලේ හෙළවෙන මහා සටනකින් හෝ අපි අපේ අයිතිවාසිකම් දිනා ගන්න සූදානම්.

පිරිස-
මොනවද මේ කරමින්නේ
මොනවද මේ ලැබ දෙන්නේ
සුදුසුකමට පටහැනි මේ
කෙරුවාවල් නවතව්නේ

නිවේදක- ඔව්, රජයේ නාවුක, ගුවන් හා පාබල හමුදාවේ ආචාර්යවරු, නූතන අවිවලින් සන්නද්ධ පිරිසක්. රජය කිසිසේත් ම සූදානම් නෑ පසුබසින්න. එදා දුටුගැමුණු රජතුමා එළාර පරාජය කළා. වීරපුරන් අප්පුලා, ගොන්ගාලේගොඩ බණ්ඩලා, කැප්පෙටිපොලලා ඉංග්‍රීසීන්ට ප්‍රහාර එල්ල කළා. ඔව්, මේ උත්තරීතර ව්‍යායාමයට අභියෝග වන ඕනෑම තත්ත්වයක් මර්දනය කිරීමට රජය සූදානම්. ඔව් අප ඔබ මේ අවස්ථාවේ සම්බන්ධ කරන්නේ, ජාතික කුල උරුමය පක්ෂයද රජයට විරුද්ධව ඒකරාශී වී ඇති බව පෙන්වාලීමටයි. ඔවුන් මෙම උත්තරීතර කර්තව්‍යය සමස්ත සිංහල ජාතියට කරන ලද නිග්‍රහයක් ලෙසින් දක්වමින් විරෝධතා ව්‍යාපාරයක් අරගෙන යන අයුරු අපට ඇසෙනවා. මේ එහි නායක ආචාර්ය අදින්නපුබ්බක මහතා.

ආචාර්ය අදින්නපුබ්බක- මේ රට පාලනය කරපු සුද්දන් උත්සහ කළේ, ලංකාවේ කුල ක්‍රමය අහෝසි කරලා අතු ගා දාන්න. උන්ට එක්දාස් අටසිය තිස්තුනේ කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණයෙන් කරන්න බැරිවුණු හරිය, අද අපේ වර්තමාන නායකත්වයන් ලෙහෙසි පහසුව ඉටු කරදීම කනගාටුවට කාරණයක්. මේක මහා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව, අපි අනාවරණය කර ගත්තා. අප ඉල්ලා සිටිනවා බුද්ධිමත් ඔබෙන්, මේකට එරෙහිව පෙළ ගැසිය යුතුයි කියලා. අපේ රටේ කුල ක්‍රමයේ ඉහළම ස්ථරය වන්නේ රදළ ගොවිගම කුලය. මේ ආචාර්ය කියන්නේ කම්මල් වැඩ කරන "ගල්ලදු" එහෙමත් නැත්තම් "නවන්දන්න" කුලයේ උන්ට. යමෙකු බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙන්. මේ ගෞරව උපාධි පනත රජය මනාව ඔප්පු කර තිබෙනවා රජයේ වසල ක්‍රියාපටිපාටිය. අද මේ රටේ සෑම කුලයක්ම වයස අවුරුදු විසිපහට වැඩි අය ආචාර්ය, ඒ කියන්නෙ ලෝකුරුවො, නවන්දන්නයො කියලා නම් කිරීමෙන් සෙසු කුලවල ගරුත්වයට විශාල ප්‍රශ්නයක් ඇති කරනවා. මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.

පිරිස-
රදළ කුලය ඉහළ කුලය
රොඩී කුලය පහළ කුලය
සමානකර සෑම කුලය
විනාශ කර නොදව් හෙළය

නිවේදක- ඔබ දන්නවා, මේ වන විට රටපුරා බස්රථ වර්ජනයක් ඇතිව පවතිනවා. එම නිසා ආචාර්ය මහාචාර්ය ඩොක්ටර්, ප්‍රොපෙසර් මගී ජනතාව ඉතාම අසීරුතාවයකට පත්ව සිටිනවා. තමන්ට ආචාර්ය හෙවත් ඩොක්ටර් ලෙස ආමන්ත්‍රණය නොකළේයැයි දක්වන, ආචාර්ය කොන්දොස්තර මහතෙකු හා ආචාර්ය පොලිස් භටයෙකු අතර ඇතිවූ ගැටුමක්, මෙයට හේතුව පවතිනවා. මහාචාර්ය රියදුරා නීතිය කඩ කිරීම සම්බන්ධයෙන්, ආචාර්ය පොලිස් නිලධාරියා දඩ පැනවීමට ගිය අවස්ථාවකයි මෙය සිදුව පවතින්නේ. මේ නිසා ඔවුන් බස් රථ, මාර්ග පුරා හරස් කොට විශාල උද්ඝෝෂණයක් පවත්වනවා. මේ සමස්ත ලංකා ප්‍රවාහන සංගමයේ කැඳවුම්කරු ආචාර්ය වැලිතලාව වෙතටයි අපි යොමු වන්නේ.

ආචාර්ය වැලිතලාව- මේ රටේ උගත් රියදුරාගේ සහ උගත් කොන්දොස්තර මහතාගේ තත්වය ආරක්ෂා කිරීමට, මේ රජය ක්‍රියාත්මක වන මොහොතක, ඊට විරුද්ධ වන සෑම අයෙකුටම අපි අපේ නිසි බලය පෙන්වීමටයි මේ උද්ඝෝෂණය ක්‍රියාත්මක කළේ. අපිත් දැන් ආචාර්යවරු මහාචාර්යවරු. ඒ කියන්නෙ ඩොක්ටර්ස්ලා ප්‍රොපෙසර්ලා. කරුණාකරලා අපි කියන්නේ, අන්න ඒ ගරුත්වයෙන් අපට බුහුමන් කරන ලෙසයි. එහෙම එකඟතාවයකට එනතුරු, අපි මේ සමස්ත බස් රථ ප්‍රවාහන වර්ජනය අරගෙන යනවා.

පිරිස-
බස් රිය තුළ අප කොන්වූ
කාලය දැන් අවසන්වූ
පිදුමන් සරු බුහුමන්වූ
වහා දක්වව් ගරු නම්බූ

නිවේදක- ඒ වගේම ජාතික සත්ව සේනා සංවිධානය තම විරෝධය ප්‍රකාශකරමින් මාරාන්තික උද්ඝෝෂණයකට සූදානම්ව සිටිනවා. සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් තමන්ගේ දිවි පූජා කිරීමට වුවත් පසුබට නොවන බවට එහි සභාපති ආචාර්ය සත්වපාල හිමි ප්‍රකාශ කරනවා.

ආචාර්ය සත්වපාල හිමි- සිංහල බෞද්ධ ප්‍රජාව අතර සතුන් සමග පවතින්නෙ අනාදිමත් කාලයක් පුරා පවතින සම්බන්ධයක්. ගවයා, මීහරකා, එළහරකා, බල්ලා, පූසා, කුකුලා, තාරාවා, ඌරා,අලියා, වගේ සත්තු වගේම තවත් සුරතල් සතුන් රැසක් හඳුනගන්න පුළුවන්. ඒ සියළුම සිංහල බෞද්ධ සතුන්ගෙ නාමාවලි ලේඛනයක් අපසතුව පවතිනවා. මේ සත්තු අහාරපාන, පොහොර, ආරක්ෂාව, සුන්දරත්වය වගේම නොයෙක් වැඩකටයුතුවලදි සහය සිංහල බෞද්ධ ජනතාවට ලබාදුන්නා. සතුන් සහ මිනිසුන් අතර පවතුනේ ඤාතීන්, මිතුරන් වගේ සම්බන්ධයක්. සියළු සත්වයෝ නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලයි ධර්මයෙ තියෙන්නෙ. අපිට මේ සතුන්ගේ අයිවාසිකම් අමතක කරන්න බෑ පින්වතුනි. අපි මේ රජයට අවවාද කරනවා සතුන්ගේ සුදුසුකම්වලට උන්ටත් හිමිවියයුතු ගෞරවය ලබාදෙන්න කියලා. වහාම සියළුම සිංහල බෞද්ධ සතුන් තාවකාලික කතිකාචාර්ය, ආරධිත කතිකාචාර්ය හෝ සරසවි අනද්‍යයන සේවක ගරුත්වයට පත්කරන්න කියලා. අපි දිවිපරදුවට තියලා මේ සටන ජයගන්නවා.

පිරිස-
සත්තු සැවොම නිසි රකින්න
කෙළෙහිගුණය නොම පුදන්න
උතුම් ධර්මේ පිළිපදින්න
නිසිගරුනම්බුවම දෙන්න

නිවේදක- හිතවතුනි, මේ අතර රජයට තවත් බලපෑමක් එල්ල වී තිබෙනවා, දේශීය ළමා හා වැඩිහිටි ආධාර සමිතිය හරහා. මේ එහි ලේකම් ආචාර්ය දීගායු.

ආචාර්ය දීගායු- අපි ඇත්ත වශයෙන්ම අකමැතියි, මේ උත්තරීතර රජය අපහසුතාවයට පත්කරන්න. නමුත් අපට මහමගට බැසීමට සිද්ධවුණා, අපගේ යෝජනා හා අදහස්වලට රජය කිසිදු සාවධානයක් නොදක්වන නිසා. ලෝකයේ උතුම්ම දේශයේ අපි, ළමා හා වැඩිහිටියන්ට ඉතා උසස් අන්දමින් සලකන, ඔවුන්ට ගරු කරන කොට්ඨාසයක්. නමුත් කනගාටුවකට, සිංහල බෞද්ධ ළමුන් හා වැඩිහිටියන් මේ ගරු උපාධි නාමකරණය යටතේ නොසලකා හැරීමක් දක්නට පුළුවන්. අපි රජයෙන් ඉතාම සුහදශීලීව ඉල්ලා සිටින්නේ, අවුරුදු දහඅටට අඩු සියලුම ළමුන් සඳහා 'සහාය කථීකාචාර්ය' උපාධි නාමයත්, අවුරුදු විසිපහට අඩු තරුණයින් සඳහා 'කථීකාචාර්ය' උපාධි නාමයත්, අවුරුදු හැත්තෑපහට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 'ජ්‍යෙෂ්ඨ මහාචාර්ය' උපාධි නාමයත් ලබාදීමට කටයුතු කරන ලෙසයි. රජය අපගේ මෙම ඉල්ලීම ඉටු කරන බවට ඉතා හොඳ විශ්වාසයක් අපට පවතිනවා.

පිරිස-
ළමා සැමට ගරු කරන්න
වැඩිහිටියන් නිසි පුදන්න
මේ සැම මග නොම හරින්න
නිසි උපාධියෙම තබන්න

නිවේදක- මේ අතර ජාතික මියගියවුන්ගේ අයිතිවාසිකම් සුරකීමේ පක්ෂය මියගිය සියළු සිංහල බෞද්ධ පුරවැසියන් සඳහාද නිසි ගෞරව උපාධි ලබාදිය යුතුබව දක්වනවා. මේ එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය පරමාජීව.

ආචාර්ය පරමාජීව- ඔබ දන්නවා සිංහල බෞද්ධ පුරවැසියන් වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකළ විශාල පිරිසක් අද ජීවතුන් අතර නෑ. මළවුන් පිදීම ජීවමාන අප ඉටුකළයුතු පරම කාර්ය භාරයක්. බුදුන් බුද්ධත්වයෙන් පසු පළමුව කළේ සිය මාතෘ දිව්‍යරාජයාට නිසි ගෞරවය පුදන්න තවුතිසා දෙව්ලොවට වැඩම කිරීම. අන්න ඒ මග අනුගමනය කරමින් අප අතරින් සමුගත් ආගමික, සංසකෘතික, කලාත්මක, ආර්ථීක, දේශපාලනික, විද්‍යාත්මක ආදී සියළුම ක්ෂේත්‍රවල මියගිය සිංහල බෞද්ධ පුරවැසියන් සඳහා සම්මාන ආචාර්ය හා සම්මාන මහාචාර්ය උපාධි ලබාදී සාධාරණය ඉටුකරන ලෙස රජයට බලපෑම් කරනවා.

පිරිස-
මළගිය ඇත්තෝ
ගරුකළ යුත්තෝ
නිසි නම් තත්වෝ
හිමිකළ යුත්තෝ

නිවේදක- ඔව්, මෙම ගෞරව උපාධි ලබාදීමේ වැඩපිළිවෙළ තුළින් සිංහල බෞද්ධ ඔබ සැම ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් වෙනවා. මෙවන් උත්තරීතර ව්‍යාපෘතියක්, රටට සෞභාග්‍යය උදාකරන්නාවු ව්‍යාපෘතියක් සඳහා, එරෙහිව ජනතාව පෙළගැසීම දුක්මුසු තත්වයක්. නමුත් මේ අවස්ථාවේ සියලු හමුදාවල ආචාර්යවරු, තත්වය සමථයකට පත් කිරීමට උත්සාහ ගන්නවා. ඔව්, මුළු පළාතම වැසී යන අයුරින් කඳුළු ගෑස් ප්‍රහාරයක් (විශාල පිපිරීමක හඬ) ඔව්, ඒ අතරින් බලාපොරොත්තු නොවූ දරුණු පිපිරීමක්. ඔව්, එය කුමක්ද කියා තවම අපට අනාවරණය වුණේ නෑ. ඔව්, රැඳී සිටින්න අප සමග, කිසිදු වාරණයකින් තොරව සියලු විස්තර ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.

(සංගීතය මතුවී නැවත මැකී යයි.)

ඉන්ද්‍රජාත- ආචාර්ය මනුම්‍යයගේ තත්වය ඉතාම අසාධ්‍යයි. කොයි මොහොතක අප අතරින් සමුගනියිද කියලා කියන්න බෑ.

ශිලාදාස- අපි එහෙනම් මොනවා හරි අරගෙන යන්න වෙනවා. මොනවද අපි අරගන්නෙ ආචාර්ය ඉන්ද්‍රජාත?

ඉන්ද්‍රජාත- උඹ කැමති දෙයක් තමයි. මං අතේ නම් සතයක්වත් නෑ ආචාර්ය ශිලාදාස.

ශිලාදාස- හරි, අපි එහෙනම් ඇපල් ගෙඩි දහයක් ගමු. හ්ම්, අර තියෙන්නෙ ඉස්පිරිතාලෙට හැරෙන තැනම කඩ පේළියක්.

ඉන්ද්‍රජාත- මුදලාලිලා ගරු උපාධි නාම එක්ක ලොකුවට බැජ් ගහගෙන.

ශිලාදාස- අර මහාචාර්ය කළුසේන මුදලාලිගෙන් ගමු.

ඉන්ද්‍රජාත- මහාචාර්යතුමා අපට දෙන්න ඇපල් ගෙඩි දහයක්.

මුදලාලි- මේවා කෙළින්ම ඇපල් වත්තෙන් ආපුවා.

ශිලාදාස- කීයද ඇපල් ගෙඩියක්?

මුදලාලි- ගෙඩියක් දෙදාහයි.

ඉන්ද්‍රජාත- ශතද? රුපියල්ද? ඩොලර්ද?

මුදලාලි- රුපියල්, රුපියල්.

ශිලාදාස- ඇපල් ගෙඩියක් රුපියල් දෙදාහක්?

මුදලාලි- අද ඇපල් හිඟයක් තියෙන්නෙ, ඉස්පිරිතාලවල ලෙඩ්ඩුන්ටම අරගෙන ගිහිල්ලා. මේ මහා කලබලේ හින්දා හැම බඩුවක්ම ගණන්.

ශිලාදාස- ඇපල් ගෙඩි දහයක් ගන්න රුපියල් විසිදාහක් ගෙවන්න වෙනවා. ඒ කියන්නෙ මගෙ මාසෙ පඩියෙන් භාගයක්.

ඉන්ද්‍රජාත- මං කියන්නම්, උඹට මොනවා හරි අරගෙන යන්න ඕනම නම්, කෙසෙල් ගෙඩි ගමු. අර අතන කෙසෙල් කඩේට යමු. (අඩි හඬ)

ශිලාදාස- ආචාර්ය සුන්දරිකා මුදලාලි නෝනා, කීයද මේ කෙසෙල්?

මුදලාලි නෝනා- කිලෝ එක තුන්දාහයි. මේවා හොඳම කෝළිකුට්ටු, කෙහෙල් ගහෙන්ම ආපුවා.

ඉන්ද්‍රජාත- පුදුම මිල ඉහළ යාමක්නෙ.

මුදලාලි නෝනා- ඔව්, ඉල්ලුම වැඩි නිසා මිල වැඩියි.

ඉන්ද්‍රජාත- මං කියන එක අහලා, අපි ඉස්සෙල්ලම ලෙඩා බලන්න යමු. අවශ්‍ය දෙයක් තියෙනවා නම්, අපි බලලා එහෙදි අරගෙන දෙමු.

ශිලාදාස- එහෙනම් උඹ කියන දේකට මම එකඟ වෙන්නම්කො.

ඉන්ද්‍රජාත- එහෙනම් ඉක්මන් කරමු. ඔය තියෙන්නෙ එන්ට්‍රන්ස් එක. හ්ම්, අපි යමු ඉස්පිරිතාලෙ ඇතුළට. හ්ම් ඔහොම යමු. (අඩි හඬ)

ශිලාදාස- මොකක්ද ලෙඩාගෙ වාට්ටුව?

ඉන්ද්‍රජාත- අසාධ්‍ය රෝගීන් ඉන්න වාට්ටුව.

ශිලාදාස- මෙතන බහුතරයක් රෝගීන් අසාධ්‍යයි. එහෙම කියලා කොහොමද ලෙඩා හොයා ගන්නෙ?

ඉන්ද්‍රජාත- මට වාට්ටුවෙ නොම්මරය අහගන්න බැරිවුණා. හරි, අර ඩොක්ටර් නර්ස්ගෙන් අහමු. මේ ඩොක්ටර් පහත්ගම නර්ස්තුමිය. අර පෙළපාලියෙදි අසාධ්‍යවෙලා, ඇතුළු කරපු රෝගී ඩොක්ටර් ඉන්නෙ මොන වාට්ටුවෙද?

නර්ස්- ඔය ඩොක්ටර්ස්ලා අහන්නෙ, හමුදාවෙ ඩොක්ටර්ස්ලා ගැනද, යුනිවර්සිටි ඩොක්ටර්ස්ලා ගැනද, ජනතා ඩොක්ටර්ස්ලා ගැනද? මොකද, දැන් ඉස්පිරිතාලෙම පිරිලා ඉන්නෙ ඩොක්ටර්ස්ලා ප්‍රොපෙසර්ලාගෙන්.

ශිලාදාස- අපි හොයන්නෙ, සරසවි ආචාර්ය උද්ඝෝෂණය මෙහෙයවපු ආචාර්ය මනුම්‍යයව.

නර්ස්- ම්, අර කැරලි නායක ඩොක්ටර්? ඒ ඩොක්ටර් ඉන්නෙ අනූනවය වාට්ටුවෙ. ඔහොම කෙළින්ම ඉස්සරහට යන්න. (අඩි හඬ)

ඉන්ද්‍රජාත- ම්, අර ඉන්නෙ කට්ටිය වටවෙලා. කැම්පස් එකේ බර පිරිසක් එතන. තෑගිබෝග ගොඩගහලා. (තමාට) මේ තෑගි කන්දරාව දැක්කම මටත් හිතෙනවා, ටික දවසකට හොස්පිටල් ඇඩ්මිට් වෙන්න. ම්, හැමෝම අත් පිටුපසට කරගෙන බලන් ඉන්නවා. මේ, ආචාර්ය මනුම්‍යයගෙ ගෙදර උදවියත් ඉන්නෙ. ඒත් කවුරුත් කිසිම කථාබහක් නැහැ. ම්, මොනවා, (තරමක හඬින්) අපි හෙමිහිට කට්ටිය අස්සට රිංගමු. එතකොට තෑගි අරගෙන ආවෙ කවුද, අරගෙන නාවෙ කවුද කියලා කාටවත් තේරෙන්නෙ නෑ.

ශිලාදාස- ම්, කොහොමද ලෙඩාගෙ තත්වය?

ඉන්ද්‍රජාත- තත්වය පේනවනෙ. අහන්න දෙයක් නෑ. අතක් සම්පූර්ණයෙන්ම අයින් කරලා.

ශිලාදාස- ඕ, මම දැනුයි දැක්කෙ.

ඉන්ද්‍රජාත- තාම සිහිය නෑ. සිහිය එයිද කියලා කියන්න අමාරුයි.

ශිලාදාස- අපිට දැන් මොනවද, කරන්න පුළුවන්?

ඉන්ද්‍රජාත- (තරමක් හඬින්) අතිජාත මිත්‍රයෙක් විධියට මං මුල ඉඳලම කිව්වා විරෝධතා පවත්වලා සෙල්ලම් කරන්න යන්න එපා කියලා. මං කිසිම සහයක් දුන්නෑ. මං සම්පූර්ණයෙන් විරෝධය ප්‍රකාශ කළා, මේ වැඩේ දියත් කරනකොටම. අපිට අපේ මාසික වැටුප ලැබෙනවා නම්, අනෙක් වරප්‍රසාද ලැබෙනවා නම් වෙන මොනවද අපි බලාපොරොත්තු වෙන්න ඕන.

ශිලාදාස- හිමින්, හෙමින්. හිමිහිට කතා කරපන්.

මනුම්‍යය- ම්, උඔලා ආවද මාව බලන්න.

ඉන්ද්‍රජාත- (තමාට) මොනවා? මිනිහා ඇස් ඇරියා.

මනුම්‍යය- ම්.., මට හරිම සංතෝෂයි. මට හොඳට ඇහෙනවා උඹලගෙ මනස. මාව බලන්න පැමිණීම සම්බන්ධයෙන් බොහෝම ස්තූතියි. ඉතින් කොහොමද ආචාර්ය ඉන්ද්‍රජාත සෙනෙවිරත්න. මට හරිම සන්තෝෂයි කාලෙකට පස්සෙ හැමෝම එකම තැනකදි මුණගැහෙන්න ලැබිච්ච එක. ඔව්, ඊළඟට මගේ හිස අහිමි වුණත්, මං මගේ සටන අත හරින්නෙ නැහැ. මොකද හැමෝම නිහඬ. මට ඇහෙන්නෙ සේලයින් බිංදු වැටෙන හඬ විතරයි. ම්..., මොකද මේ, මං දිහා ගල් පිළිම වගේ බලාගෙන ඉන්නෙ. දැන්වත් මට සහයෝගය දීපල්ලා. දැන්වත් මට සහයෝගය දීපල්ලා.

(සංගීතය මතුවී නැවත මැකී යයි.)

නිවේදක- මෙන්න විශේෂ නිවේදනයක්. වහාම ක්‍රියාත්මක වන පරිදි, දින නියමයක් නොමැතිව රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා. රට පුරා ඇතිව තිබෙන අනපේක්ෂිත කලබලකාරිත්වය හා ගැටුම්කාරීත්වය හේතුකොටගෙන මෙම තීරණය ගත් බව රජය දන්වා සිටී. රටේ ප්‍රධාන නගර කිහිපයකටම කැරලිකරුවන් විසින් බෝම්බ හෙළමින් සිදු කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයන් රජය බලවත් ලෙස හෙළා දකින අතර, ඉන් පහළොස් දහසකට අධික ආචාර්ය හා මහාචාර්ය ජනතාව මරුමුවට පත්ව හා හැට දහසකට අධික ප්‍රමාණයක් තුවාල ලබා තිබේ. එමෙන්ම රුපියල් බිලියන ගණනක දේපළ හා සම්පත් හානිද ඇතිව තිබීම කනගාටුවක්. ඇතිව තිබෙන බිහිසුණු තත්වයන් පාලනය කිරීම සඳහා, ජාත්‍යන්තර සහාය මේ වන විටත් ලැබී පවතී. මෙන්න මේ දැන් මැදිරියට ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. රටේ උද්ගතව ඇති තත්වය මර්දනය සඳහා විශේෂ නීතියක් ජාත්‍යන්තර උපදේශය මත මේ දැන් පාර්ලිමේන්තුවේ සම්මත විය. මේ අනුව රටේ සියලුම පුද්ගලයින්ගේ, ආචාර්ය හා මහාචාර්ය ගෞරව උපාධි නාම අහෝසි කළ බව රජය දන්වා සිටී. මේ අනුව සියලුම පුරවැසියන් සඳහා ආචාර්ය හෙවත් ඩොක්ටර් හා මහාචාර්ය හෙවත් ප්‍රොපෙසර් යන නාම භාවිතා කිරීම, නව නීතිය යටතේ සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. මෙම නීතිය කඩකරන්නන් අත්අඩංගුවට ගැනේ. මෙන්න එම නිවේදනය නැවතත්. (හඬ මැකී යයි.)

(සංගීතය මතුවී නැවත මැකී යයි.)

ඉන්ද්‍රජාත- ඒ පාර මොකක්ද මේ වෙච්ච සංහතිය?

ශිලාදාස- මටත් හිතා ගන්න අමාරුයි.

ඉන්ද්‍රජාත- මේක මාර විසඳුමක්නෙ. මේකෙන් අපේ ආචාර්ය, මහාචාර්යකම් සියල්ලමත් අහෝසි වෙනවා. අපිත් සාමාන්‍ය මට්ටමට වැටෙනවා.

මනුම්‍යය- (සිනාසේ) රටේ සාමාන්‍ය ජනතාව හා ප්‍රභූන් අතර විෂමතාව අහෝසි වෙනවා. (සිනාසේ)

ඉන්ද්‍රජාත- ඇයි, හිනාවෙන්නෙ? ඇයි, උඹ හිනාවෙන්නෙ? මේක හිනාවෙන්න ඕන තත්වයක්ද? අපිවත් සාමාන්‍ය මිනිස්සු ගාණට පත් කරලා. ඒකට ඉඩ දෙන්න බෑ. අපි ශාස්ත්‍රීය බුද්ධිමත්තු. අපි තමයි මේ රටේ දැනුමේ හා බුද්ධියේ ඉහළම ස්ථරය. ආචාර්ය උපාධි නැතුව කොහොමද, අපි අපේ වෘත්තිය කරගෙන යන්නෙ. අපිට හිමි ගරු නාම, අපට අනිවාර්යයෙන්ම හිමි වෙන්න ඕන. ඒක කිසිම නීතියකට යට කරන්න බෑ.

ශිලාදාස- සහතික ඇත්ත. සහතික ඇත්ත.

ඉන්ද්‍රජාත- අපි මේ තත්ත්වයට වහාම විරුද්ධ වෙන්න ඕන. අපේ අයිතිවාසිකම් මේකෙන් උල්ලංඝණය වෙනවා සීයට සීයක්ම.

මනුම්‍යය- බොහෝම හොඳයි. ප්‍රතිවිරෝධය කියන්නේ ප්‍රගතිශීලී දෙයක්. ප්‍රතිවිරෝධයන්ගේ ගැටුම තුළින් තමයි නව මානයන් උපදින්නෙ. මං උඹට සුබ පතනවා.

ඉන්ද්‍රජාත- ඒ කියන්නෙ, උඹ මේ සටනට නායකත්වය ලබා දෙන්නෙ නෑ.

මනුම්‍යය- මේ වාරය ඔබේ. ඔබ නායකත්වය ගන්න. ක්‍රියාත්මක වෙන්න.

(සංගීතය මතුවී නැවත මැකී යයි.)

නිවේදක- මෙන්න විශේෂ නිවේදනයක්. බුද්ධ ජයන්ති අංක දෙක දරන විශේෂ පනත යටතේ, අහිමි වන ලද ශාස්ත්‍රීය බුද්ධිමතුන්ගේ ආචාර්ය හා මහාචාර්ය උපාධි නාම නැවත ලබාදීම සඳහා විශේෂ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව, ජාත්‍යන්තර උපදේශක මණ්ඩලය රජයට දැනුම් දී තිබේ. එම පරීක්ෂණය ලොව ජාත්‍යන්තර සරසවි දහයක ශාස්ත්‍රීය බුද්ධිමතුන්, දස දෙනෙකුගේ අධීක්ෂණය යටතේ, විශේෂ ලිඛිත, වාචික හා ප්‍රායෝගික පරීක්ෂණයකින් සමන්විත වේ. මෙම පරීක්ෂණයෙන් සමත් වන අයට පමණක්, ආචාර්ය හෙවත් ඩොක්ටර් හා මහාචාර්ය හෙවත් ප්‍රොපෙසර් යන උපාධි නාම, නැවත හිමිකර ගැනීමේ අවස්ථාව ඇති බව රජය නිවේදනය කර සිටින අතර, සුදුසුකම් සපුරන සියලු අපේක්ෂකයන් පරීක්ෂණය සඳහා අයදුම් කරන ලෙස රජය ඉල්ලා සිටී. එමෙන්ම මෙහිදී යම් හෙයකින් අයදුම්කරුවෙකු පරීක්ෂණය අසමත් වුවහොත් ඔහුගේ හෝ ඇයගේ හිස බූ ගා, හිසට ලාඩමක් ගසා, අසමත් බව සංකේත කරන බවට රජය තව දුරටත් පවසයි. මෙන්න එම නිවේදනය නැවතත්.

(සංගීතය මතුවී නැවත මැකී යයි. ඒ අතරින් පිරිසක් වේදනාවෙන් කෑගසන පිරිසකගේ හඬ ඇසේ.)

ඉන්ද්‍රජාත- (තමාට) විශාල පිරිසක් වාචික පරීක්ෂණය සඳහා පෝලිමේ. ම්..., සරසවි පද්ධතියෙම ඉන්න හැම කථීකාචාර්යවරයෙක්ම මෙතන වගේ. ජීවිතේටම නොදැකපු මුහුණු ගොඩක්. ඒත්, ප්‍රශ්නෙ යන යන පුද්ගලයා පරීක්ෂණය අසමත් වෙලා, ලාඩම් ගසාගෙන එන එකනෙ. ම්..., දැන් මං මොකද කරන්නෙ?

මනුම්‍යය- ඉන්ද්‍රජාත, මොකද මේ අන්දමන්ද වෙලා? ඊළඟ වාරය උඹගෙ.

ඉන්ද්‍රජාත- මං මේ කල්පනා කළේ, මට තියෙන අසනීප තත්වෙ එක්ක පරීක්ෂණය කල් දානවා කියලා. මට පාඩම් කරන්නත් කාලයක් තිබුණෙ නෑ. පිරුණු කළේ දිය නොසැලේ කියලා කියමනක් තියෙනවනේ. මට ඔක්කොටම වඩා ජීවිතය වටිනවා.

මනුම්‍යය- ඒ කියන්නෙ, උඹ පරීක්ෂණයට පෙනී සිටින්නෙ නෑ.

ඉන්ද්‍රජාත- නෑ, නෑ. පරීක්ෂණය කල් දානවා, පසුවට.

මනුම්‍යය- (සිනාසේ) ඒත්, මම නම් බය නෑ. මං දන්නවා මගේ ධාරිතාව. මං නොබියව මුහුණ දෙනවා, ඕනෑම පරීක්ෂණයකට. ඇතැඹුලක් වගේ, මට හොඳටම විශ්වාසයි, ආචාර්ය උපාධියක් දරන්න සියලු සුදුසුකම් මට තියෙනවා කියලා. ඔව්...

(අවසන් සංගීතය)

-[නිහොන් සැප ලැබේවා (රේඩියෝ නාට්‍ය- 2012) කෘතියෙනි.]

මාලක දේවප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails