Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රටක චිත‍්‍රපට හෝ වේදිකා නාට්‍ය කලාව යනු එම රටේ තත්කාලීන සමාජ වපසරිය මනා ග‍්‍රහණයකින් හසු කරගන්නා වූත්, එකී සමාජ ක‍්‍රමය පිළිබඳ නිශ්චිත ඉඟි සපයන්නා වූත් සාපේක්ෂව ගතික ස්වභාවයක් උසුලන මහජන ප‍්‍රකාශන සමූහයකි. එකී ප‍්‍රකාශන සමූහය මඟින් කාලාන්තරයකින් පසුව වුව එකල එරට සමාජ සංස්කෘතික දේශපාලන වාතාවරණය හඳුනා ගත හැකිය. ආදී ගී‍්‍රක හා රෝම වැනි සමාජ ක‍්‍රමයන් පිළිබඳ නිශ්චිත නිගමන වලට එළැඹීමට නූතන විචාර ඉතිහාසඥයින් පවා ‘නාට්‍ය කලාව’ මූලික සාධකයක් කොට ගනී. එය ජපානය, චීනය, ඉන්දියාව වැනි ආසියාතික රටවලට පවා පොදු වූවකි. ඒ අතරිනුත් එරට තරුණ නිර්මාණකරුවන්ගේ නාට්‍ය මගින් පිළිඹිබු වන්නේ සමකාලීන ජනයා මුහුණ දෙන වඩා වැදගත් තත්කාලීන අපේක්ෂාභංගත්වයන්, පාලන තන්ත‍්‍රයේ අඬුලුහුඬුකම්, එදිනෙදා ජීවිතයේදි මුහුණ පාන්නා වූ සමාජ අසාධාරණතා, ආගමික සංස්කෘතික පටු සීමාවන්, තරුණ විප්ලවකාරී මනසට දැනෙන ප‍්‍රතිවිරෝධතා මෙන්ම එම පරපුරෙහි බුද්ධිමය ස්ථාවරතාවය ආදියයි. එය නූතන ලෝකය පුරාම එනම් විශේෂයෙන් ඉරානය, ඉරාකය, රුසියාව, බ‍්‍රසීලය, ඉන්දියාව වැනි රටවල් වල දැනට පවතින චූල නාට්‍ය සාම්ප‍්‍රදායන් දෙස බැලීමේදී පැහැදිලිවම පෙනී යන ධර්මතාවයකි.

එවැනි නාට්‍යයන් නිෂ්පාදනය වීම අතින් දැනට ශ‍්‍රී ලංකාව නාට්‍යකරුවන් අතර පමණක් හෝ පවතින (අවාසනාවකට) දියුණු නාට්‍ය සම්ප‍්‍රදායකට හිමිකම් කියමින් සිටින අතර එයට මූලික වශයෙන් ම බලපෑම් කලේ 1959 වසරේදී ආරම්භ වූ ප‍්‍රථම සිංහල නාට්‍ය උත්සවයයි. රාජ්‍ය අනුග‍්‍රහය ලබමින් ස්වතතන්ත‍්‍ර, පරිවර්තන, අනුවර්තන, පර්යේෂණාත්මක ආදී නාට්‍ය මගින් වංශවත් නාට්‍ය කලාවක් බිහි වීමට මෙම "නාට්‍ය උළෙල" යන සංකල්පය මූලික වශයෙන් හේතු යුක්ති වී ඇත. ලෝක නාට්‍ය කලාවේ ආරම්භයේ සිටම නාට්‍ය නිෂ්පාදනය වූයේත් නාට්‍ය කලාව මිනිසාගේ නිශ්චිත මානවීය පිළිඹිබුවක් වූයේත් "නාට්‍ය උළෙල" යන සංකල්පය ඇසුරෙනි.

නූතන ශ‍්‍රී ලංකාව තුළ තරුණ නාට්‍යකරුවන්ගේ ක‍්‍රියාකාරී භූමිකාවන් යම් හෙයකින් ශේෂව පවතින්නේ යම් සේද මූලික වශයෙන්ම "යෞවන නාට්‍ය උළෙල" එයට පදනම් වන්නේය. මෙය එක්තරා අතකට භාග්‍යයක් සේම තවත් අතකට අභාග්‍ය සම්පන්න කරුණකි. එය ආභාග්‍යයක් වීමට හේතු වන්නේ නූතනනයේදී විවිධ නාට්‍යයන් විවිධාකාර අකෘතීන් යටතේ එකිනෙකට වෙනස් සම්ප‍්‍රදායන් ඇසුරින් නිර්මිත, ගතික නාටකමය අත්දැකීම් එකම මිනුම්දඬු කිහිපයක් ඔස්සේ විනිශ්චයට භාජනය වීමයි. බොහෝ තරුණ නාට්‍යකරුවන් "සම්මාන උළෙල වලට නාට්‍ය කරල වැඩක් නෑ" යනුවෙනුත්, "අපි සම්මාන බලාගෙන වැඩ කරන්නෙ නෑ" යනුවෙනුත්, පැවසීමට හේතු වන්නේ මෙම කාරණයයි. විශේෂයෙන්ම තමාගේ පිටපත නිෂ්පාදන කාර්යයකට පෙරළා ගැනීමේදී ඇති වන මූල්‍යමය ගැටළුව මෙන් ම, පේ‍්‍රක්ෂක සමූහයක් තම නාට්‍ය වෙනුවෙන් රඟහලට ගෙන්වා ගැනිමේ අර්බුදයට ද පිළියමක් ලෙස ද යෞවන නාට්‍යකරුවන් සිතේ චකිතයකින් යුතුව වුවත් තම නාට්‍ය නිශ්පාදනය යෞවන නාට්‍ය උළෙලට භාර කරයි. මුලින් "අපි සම්මාන බලාගෙන වැඩ කරන්නෙ නෑ" යැයි පැවසූ නාට්‍යකරුවාම සම්මාන ලබා දෙන දිනයේදී හොඳින් හැදපැළඳ බලාපොරොත්තු සහගත නෙත් දල්වා බලා සිටිනු අප කොතෙකුත් දැක ඇත්තෙමු. එවිට එහි සිටින්නේ විප්ලවකාරී අදහස් තම නිර්මාණ තුළින් ගෙන ආ නාට්‍යකරුවා නොව අපේක්ෂා සහගත පෘථග්ජන මිනිසෙකි. මෙකී කරුණු මෙසේ තිබියදී එකී 'විප්ලවකාරී පෘථග්ජන තරුණ නාට්‍ය මිනිසුන්' ගේ නිර්මාණයන් විනිශ්චයට ලක් කරන ඇගයීම්කරුවන්ගේ තීරණයන් මෙවර 33 වෙනි යෞවන නාට්‍යය සම්මාන ප‍්‍රදානය ඇසුරෙන් අප විමසා බලමු.


අමතක වෙන්න කලින්

මූලික වශයෙන් ම නාට්‍ය උළෙලකදී පැන නඟින ගැටළුව වන්නේ ‘නාට්‍යය යනු මොනවාද’ යන්නයි. වරක් රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලකදී බොහෝ අංගයන් වලට සම්මාන හිමි වූ නාට්‍යයක් උළෙලේ හොඳම නාට්‍ය ලෙස තේරී පත් වූයේ නැත. (සින්දු පහයි කෝල්ස් පහයි) එයට හේතු වශයෙන් විනිශ්චයකරුවන් පැවසුවේ එය නාට්‍යයක් නොවන බවත් එකී නිර්මාණය තුළ නාටකමය මූලික ගුණයන් රැකගෙන නොතිබූ බවත්ය. එසේ නම් නාට්‍යයක් යනු කුමක්ද? නාට්‍යය පිළිබඳ ප‍්‍රසිද්ධ සාම්ප‍්‍රදායික මතයන් පසෙක ලා නූතන අදහස් කිහිපයක් විමසා බැලීම වටින්නේ අප කතාබහ කරන්නේ නූතන නාට්‍යය පිළිබඳව වන බැවිනි.

හැරල්ඞ් හොබ්සන් (Harold Hobson) කරුණු තුනක් දක්වමින් උසස් නාට්‍යය යනු කුමක්දැයි පවසයි. එනම්, "යහපත් මනසක් තුළ ඇතිකරන්නා වූ තීව‍්‍ර ඇත්දැකීමක් මහත් ප‍්‍රමෝදයක් බවට පත් කරන්නා වූද රංගානුකූල කාර්ය සාධනයක් ඇති කෙරෙන නාට්‍යය, උසස් නාට්‍යයකි."

මාර්ටින් එස්ලින් (Martin Gulius Esslin)- "සංවාද හා කි‍්‍රයාව මඟින් කතාවක් කියැවෙන පරිදි ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් රචනා කළ අංග චලන, රංග වස්ත‍්‍ර පසුතල දර්ශන සහිතව සැබෑ ජීවිතය නිරූපණය වන පරිදි වේදිකාවක් මත රඟ දැක්විය හැකි ආකාරයට සකසා ගත්තකි."

"මිනිසාගේ භාවයන් හා බුද්ධිය ප‍්‍රතිපෝෂණය කිරීම මූලිකම පරමාර්ථය කොට ගෙන නිවැරදිම නාටකමය අවස්ථා මඟින් සිදුවීම් බාහුල්‍යයක් උචිත භාෂා ව්‍යවහාරයකින් නළුනිළි අනු ශිල්පීන්ගේ අඩුවැඩි දායකත්වයෙන් එකම කරළියක රඟ දැක්විය හැකි ආකාරයට ගොඩ නැගූ ඕනෑම කතා පුවතක් නාට්‍යයකි."

උක්ත නිර්වචන කිහිපය මඟින් වුව කලාංගයක් වන නාට්‍ය කලාවේ ගතික ස්වරූපය හඳුනා ගත හැක. සමාජීය විද්‍යාවක් වශයෙන් අනිවාර්ය සාපේක්ෂතාවක් දක්වන ප‍්‍රපංචයකි නාට්‍යය (සමස්ත කලාවම). විශේෂයෙන්ම තරුණ නාට්‍ය උළෙලකදී නාට්‍යය යනු කුමක්දැයි හඳුනා ගැනිමට මග බලා සිටින්නේ හිරිමල් වියේ නාට්‍යකරුවාත් පාසල මූලික කොට ගෙන නාට්‍යය හදාරන සිසුවාත් යන දෙදෙනාය. මෙම දෙදෙනා නාට්‍ය කිහිපයක් නැරඹූ පසු තනි රේල් පීල්ලක් මත සිට වූ තනි කකුලේ කොකුන් මෙන් ඔවුන් නැරඹූ නාට්‍ය දෙසට බර වෙමින් සිටිති. ඉන් පසුව එළඹෙන නාට්‍ය විනිශ්චය අවස්ථාවේදී ඔවුන් දෙදෙනා නාට්‍ය යැයි හඳුනා ගන්නේ සම්මාන ලැබූ නාට්‍ය කිහිපයයි. මෙය සම්මාන උළෙල සඳහාම නාට්‍ය කරන්නා වූ රටක මූලිකම ඛේදවාචකයයි. මෙසේ සම්මාන නිසා නාට්‍ය ඉතා අගනේ යැයි සම්මත ඇගයීමකට ලක් කිරීම නොදැනුවත් ‘තනි කකුලේ කොක්කු’ මත පමණක් පැනගින්නක් පමණක් නොව, නාට්‍යකරුවා මඟින්ම, එනම් නාට්‍යකරුවන් අතරින්ම සම්මාන දිනූ නාට්‍යයන් සඳහා නිරායාස වැදගත්කමක් හිමිකර දීමේ ගැටළුවකි. එකී කරුණට හේතු වන්නේ කලින් සඳහන් කළ පෘථග්ජන ආශාවමය. එනම් පත පොත පරිශීලනය කරන විටදී නාට්‍යකරුවන්ට පෙනෙන්නෙත්, ඒවායේ සඳහන්ව ඇත්තෙත්, සම්මාන දිනූ නාට්‍ය හා එම නිර්මාණයට දායක වූ නිර්මාණකරුවන්ගේ නම් ගම් ය. (‘මගේ නමත් නාට්‍ය වංශයට එකතු වුණොත්’) ඉන්පසු සිත තුළ හටගන්නා කුඩා කුටුම්භී ආශාව මහත් වී මහා සමාජය දක්වා එය වැඞී එයි. නිර්මාණයක් කර එයට සම්මානයක් නොලැබුණු කල විනිශ්චයකරුවන්ට බැන වැදීම මින්පසු ඇරඹේ. ඕනෑම රටක විනිශ්චයකරුවන්ට බැනවැදීමේ විවිධ සම්ප‍්‍රදායන් පවතී. ශී‍්‍ර ලංකාව තුළ ඉන් එක් සම්ප‍්‍රදායක් පවත්වාගෙන යන්නේ අති පණ්ඩිත කට හැකර චූල නාට්‍යකරුවායි. මොවූහු නාට්‍ය විෂයේදී පැන නඟින සීමා හා මිණුම්දඬු ගැන කිසියම් ම හෝ අවබෝධයක් නැතිව කටමත තැන තැන දොඩවති. (නාට්‍ය කලාවේ සජීවී පැවැත්මට එය අවශ්‍ය වුවත්, එකී විවේචන දිගු සංවාද දක්වා ගෙන යාමටත්, ප‍්‍රසිද්ධ සමාජයක් ඉදිරියේ කරුණු දැක්වීමටත් මොවූහු මැළිවෙති.) විනිශ්චයකරුවන්ට බැන වැදීමේ මීළඟ සම්ප‍්‍රදාය පවත්වා ගෙන යන්නේ විද්වත් නමක් දැරූ යමක් දන්නා උගත් පරපුරයි. මොවුන් තම ආත්ම අභිලාශ තකා ද, තම සගයින් උලුප්පා දැක්වීම සඳහාද, තම නාමය ක්ෂේත‍්‍රයේ රඳවා තබා ගැනීම සඳහාද, ගිලීහී යන අවධානය නැවත තමා වෙත ලබා ගැනීම සඳහාද, තවත් සමහරක් ඉතා සුචරිතවාදී අදහසින් ද, නාට්‍ය කලාව වෙනුවෙන් ඇති (අප වැනි රටක) උදාරම් පපු කැක්කුම නිසාවෙන්ද, සෙසු සහෘදයන්හට නිවැරදිම අවබෝධය ලබා දීම උදෙසාද නාට්‍ය විනිශ්චයන් විවේචනය කරති. මේ හේතු කොට ගෙන නාට්‍ය විනිශ්චයකරුවන් යම් නාට්‍ය තරගයක් ඇගයීමට ලක් කිරීමේදී මුහුණ පාන සිදුවීම් සමූදාය විමසීම වටී. වෙසෙසින්ම රටක තරුණ පරපුර නියෝජනය කරන නාට්‍ය උළෙලක් විනිශ්චය කිරීම අඬු කැඩුණු පුටුවක පරිස්සමට හිඳ ගැනීමක් වැනිය.

මේ අනුව තරුණ නාට්‍යයන්හි විනිශ්චයකරුවන් බැද තබන අංග කිහිපයක් වේ.

1 සංවිධායකවරු.
2 නාට්‍යකරුවන් හා නිර්මාණකරුවන්.
3 විචාරක හා විවේචන මත.
4 විද්වත් පරපුර.
5 තරුණ හා ළමා පේ‍්‍රක්ෂකයන්.
6 සහෘදයා.


නූතන ලාංකික දේශපාලන වාතාවරණය තුළ මෙම ලැයිස්තුවට 'පාලක පැලැන්තිය' යන්නද එකතු නොකර බැරිය. එසේම යෞවන නාට්‍ය උළෙලකදි විනිශ්චයකරුවා අවධානය යොමු කරන කරුණු කිහිපයක් ද වෙයි.

1 නාට්‍ය අතුරින් යෞවන නාට්‍ය යනු කුමක්ද? (What the youth theater is?)
2 එම නාට්‍ය රටේ කුමන ප‍්‍රදේශ නියෝජනය කරයිද?
3 ඒවා රටේ සමාජයට බලපෑම් කරන්නේ කෙසේ ද?
4 එමඟින්, එවක සමාජයේ මානුෂික සමාජ පිළිඹිබුව කොපමණද?
5 එමඟින්, පවතින දේශපාලනයට කරනු ලබන බලපෑම කොපමණද?
6 එමඟින්, ඉදිරි පරපුරට කරනු ලබන බලපෑම කොපමණ ද?
7 නිර්මාණයන්හි සෞන්දර්ය රැක ගැනීම හා අපූර්වත්වය.
8 එමඟින් සිදුවන සහෘදයා පිනවීම හා භාව විශෝධන කාර්ය.
9 නිර්මාණ වලට එල්ල වූ විවේචන හා විචාර.


ඉහත කරුණු මෙන්ම විචාරකයින් නිතර සඳහන් කරන නාට්‍ය විනිශ්චය ගැටළු ද, නාට්‍ය ප‍්‍රමිතීන්, නාට්‍ය මිනුම්දඬු, නාට්‍ය ප‍්‍රභේද, කී‍්‍රඩා විනිශ්චය හා නාට්‍ය විනිශ්චය අතර ඇති වෙනස, නාට්‍ය ප‍්‍රමිති, තමාගේ සුදුසුකම් (මේවා පිළිබඳ බොහෝ විද්වත් මත පළ වී ඇති හෙයින් ඒ පිළිබඳ මෙහිදී අවධානය යොමු නොකරමු.) ආදිය ද සැළකිල්ලට ගනිමින් නාට්‍ය විනිශ්චයන් සිදු කළ යුතුය. සාමාන්‍ය පේ‍්‍රක්ෂකයා හා නොදැනුවත් නාට්‍යකරුවන් මෙන්ම විද්වත් පරපුර වුවද නාට්‍ය විනිශ්චයකරුවන්ගේ විනිශ්චයන් ප‍්‍රබල ලෙස විවේචනයට ලක් කිරීම කණගාටුවට කරුණකි. ඉහත සඳහන් කරුණු සියල්ල කෙරෙහිම අවධානය යොමු කරමින් තම රසඥතාවද උපයෝගී කරගනිමින් නාට්‍ය විනිශ්චය කරන්නේ පෘථග්ජන මිනිසෙකු බව අප අමතක නොකල යුතුය. (මෙය නාට්‍ය විනිශ්චයකරුවන් සාධාරණය කිරීමක් නොව, නාට්‍ය විනිශ්චයට බැන වදින බුද්ධිහීනයන්ගේ දැනුවත්භාවය සඳහායි.) ‘කරළිය’ ලිපි සංග‍්‍රහයකට ලිපියක් සපයමින් හිටපු නාට්‍ය විනිශ්චයකරුවෙකු වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතා නාට්‍ය නිර්මාණ ඇගයීමේදී නිතර පැන නඟින ගැටළු කීපයක් සඳහන් කරයි.

එනම්,
1. නාට්‍ය මනින මිම්ම කුමක්ද?
2. නාට්‍ය විනිශ්චය කරන අයගේ සුදුසුකම් මොනවාද?
3. පක්ෂග‍්‍රාහීව කටයුතු කිරීම, හිතවත්කමකට, යාළු මිත‍්‍රකමට සම්මාන බෙදා දීම.
4. නාට්‍ය විනිශ්චයට ප‍්‍රමාද වී පැමිණීම.
5. නාට්‍ය නරඹන අතර විනිශ්චයකරු නිදා ගැනීම.
6. විනිශ්චය කටයුතු කරමින් සිටින අතරතුර ජූරි සභිකයන් විසින් සමහර නාට්‍ය හෙළා දකිමින් අදහස් කීම.


මෙකී සියලු ගැටළු මතු වන්නේත්, මෙවැනි ලිපි සපයන්නට හේතු භූත වන්නේත් උත්සව සඳහා නාට්‍ය කරන සම්ප‍්‍රදායක් අප සතු වීමය. සම්මාන උළෙල සඳහා නාට්‍ය කිරීම, නාට්‍ය ජීවිතයට ද, නිර්මාණකරුවන්ගේ කලාත්මක ප‍්‍රකාශනයට ද එල්ල කරන්නා වූ ප‍්‍රබල අතුල් පහරකි. එසේම එකම මිනුම් දඬු ඔස්සේ විවිධ සාම්ප‍්‍රදායන්ගේ නාට්‍ය විනිශ්චයට බඳුන් කිරීම අපත් එම නිර්මාණත් ලබන අභාග්‍ය සම්පන්න නිග‍්‍රහයයි.

දැන් අප එකිනෙක අදහස් උදහස් වලට සාපේක්ෂ විය හැකි සම්මාන විග‍්‍රහය වෙත යොමු වෙමු. එය සම්මාන දිනාගත් නාට්‍ය සඳහා වන විග‍්‍රහයන් වන අතර, සම්මාන නොලැබූ නාට්‍ය යළි මතක් කර ඒවාට ලබා දිය හැකිව තිබූ ඇගැයීම ගැනද කරන්නා වූ කෙටි සඳහනකි.


රාවණ

පළමුව, දිගු නාට්‍ය අංශය වෙත යොමු වන්නේ කෙටි නාට්‍ය සම්මාන ප‍්‍රධාන වලට වඩා එම සම්මාන ලබා දීම තනිකරම ගුප්ත ස්වරූපයක් ගත් නිසාවෙනි. මක් නිසාද යත් දිගු නාට්‍ය නාට්‍ය අංශයේ හොඳම නිශ්පාදනය ලෙස තේරි පත් වුණු 'පෝරිසාදයා' ඇන්ටන් චෙකෝෆ් විසින් 1888 දී ලියන ලද (The bear-වලහා) කෙටි නාට්‍යයක් නිසාවෙනි. එම නිර්මාණය චෙකෝෆ් විසින් ලියන ලද්දේ ඔහුගේ නිර්මාණකරණය ඇණ හිට අලසව සිටි අවදියක ඉන් මිදී ගොඩ ඒම සඳහායි. එය චෙකෝෆ්ගේ නාට්‍ය වලින් ලියෝ ටෝල්ස්ටෝයි අගය කල එකම නාට්‍ය විය. වෙසෙසින්ම තම මිතුරෙක් වූ සුවෝරින් නැමැත්තෙකුට ලිපියක් ලියමින් චෙකෝෆ් සඳහන් කරන්නේ හුදෙක්ම කවටකමට ඇති හැකියාව නිසා කෙටි නාට්‍ය වස්තු බීජ ගලා එන බවයි. ඒ අනුව ‘වලහා’ නොහොත් ‘පෝරිසාදයා’ යනු කෙටි නාට්‍ය වස්තු බීජයක් ඇතුළත් හුදෙක්ම පුද්ගලික මනෝභාවයන් කි‍්‍රයා කරන ආකාරය හා හාස්‍ය මතු කිරීම මුඛ්‍ය කොට ගත් නාට්‍යයකි.

‘පෝරිසාදයා’ නිෂ්පාදනයේදී ද අපට මෙය පැහැදිලිවම දැකිය හැකිය වූයේ එම කෙටි නාට්‍ය දිගු නාට්‍යයක් කර ගැනීම සඳහා බොහෝ විරාම ඇතුළත් කොට ගනිමින් පේ‍්‍රක්ෂකයා අලස බවකට පත් කල නිසාවෙනි. දිගු නාට්‍යකට අවශ්‍ය අවම කාල පරාසයවත් (යෞවන නාට්‍ය උළෙලේ නිර්මිත* සපුරා නොතිබූ පිටපතක් දිගු නාට්‍ය ලෙස නිෂ්පාදනය කිරීමත්, විශේෂයෙන් අධ්‍යක්ෂ කාර්යයේදී උපයෝගී කොටගත යුතු නැවුම් නාට්‍යමය එක් කිරීම් කිසිවක් නොමැතිව හුදෙක් පිටපතම වේදිකාව මත ගෙන හැර පා තිබුණි. ඒ අතින් ‘හොරුත් එක්ක බොරු’ (අතුල ජයසිංහ), ‘රාවණ’ (අකිල සපුමල්) ආදි නාට්‍ය යම් අධ්‍යක්ෂණ කාර්යයක් මනාව සපුරා තිබෙනු දැකිය හැකි විය.

එසේ තිබියදී තරුණ බුද්ධිමත් නාට්‍යකරුවා පුදුමයට පත් කරමින් සම්මානය ‘පෝරිසාදයා’ නාට්‍යයට හිමි විය. එහි නිෂ්පාදනයක් ලෙස සකසුරුවම් බවක් දක්නට තිබුණු බව සත්‍යය. එහෙත් නාට්‍ය යනු සකසුරුවම් බවද? එසේම චෙකෝෆ්ගේ නාට්‍යයක් නැවත නිශ්පාදනය කිරීමේදී, එසේම දිගු නාට්‍යකට පෙරළා ගැනිමේදි කල හැකිව තිබූ නව අධ්‍යක්ෂණ අපූර්වත්වයක් හෝ පිටපතකට එක් කළ හැකිව තිබූ, නව අර්ථකථන හා දෙබස් එහි නොතිබීම ඛේදයකි. එසේම එයට හිමි වූ හොඳම නළුවා, හොඳම නිළිය හා හොඳම රංගාලෝකය යන ඒවාද උභතෝකෝටිකයන්ය. මක් නිසාද යත් ඒවා පදනම් වුණේ අනෙක් පස තිබූ ‘හොඳම නාට්‍යය’ යන කිරුළ මත වීමය. එනම් හොඳම නාට්‍යය ලෙස තේරී පත් වූ නාට්‍යයෙහි හොඳම නළුවන්, හොඳම අනුශාංගික අංග තිබිය යුතු බව සිතූ නිසා විය හැක. හොඳම නළුවා ලෙස ‘‘හොරුත් එක්ක බොරු’’ නාට්‍යයෙහි ස්ටෙෆාන් තිරිමාන්න හෝ ‘‘රාවණ’’ නාට්‍යයෙහි සමන් මලලසේකර හෝ තෝරා ගත්තේ නම් මැනවි යැයි හැඟේ. මක් නිසාද යත් ඔවුන් දැක් වූ රංගනයේ බුහුටි බව හා කාය රංගයන් වෙසෙසින්ම කැපී පෙනුණි. නලින් ලූසේනා ගැන සඳහන් නොකරන්නේ ලූසේනාගේ රංගනය තුළ තවමත් ‘‘වාදකයා වහලෙ උඩ’’ නාට්‍යයෙහි (විජිත බණ්ඩාර අධ්‍යක්ෂණය කළ) පියා පෙනෙන්නට තිබීම ගැටළුවක් වූ හෙයිනි. හොඳම නිළිය සම්මානය හිමි විය යුතුව තිබුණේ අනිවාර්යයෙන්ම ‘‘හොරුත් එක්ක බොරු’’ නාට්‍යයෙහි ප‍්‍රධාන නිළියන් දෙදෙනාටය. ඒ ඔවුන් දිගු නාට්‍යයකදී විටින් විට බිඳි නැවත බිහි වන දර්ශනවාරයන්හිදී රැකගත්තා වූ රංගනයේ ඒකාග‍්‍රතාවය හේතු කොට ගෙනය. රංගාලෝකය? අහෝ! මෙවන් රංගාලෝකයකට හොඳම රංගාලෝකයක් හිමි විය හැකිද? සරලවම ‘තබා ගන්නම් වාලේ තැබූ’ රංගාලෝකයකට රංගාලෝක සම්මානය හිමි වීම සෙසු රංගාලෝක ශිල්පීන් මෙන්ම එම රංගාලෝක ශිල්පියාද, සෙසු චූල රංගාලෝක ශිල්පීන්ද ලද අභාග්‍යයකි. මක් නිසාද යත් රංගාලෝකය යැයි ඔවුන් හඳුනා ගන්නේ එයයි.

අතුල ජයසිංහගේ ‘‘හොරුත් එක්ක බොරු’’ නිශ්පාදනය දෙවන ස්ථානය හිමි කරගත් නාට්‍යයයි. ඇත්තෙන්ම එයට ප‍්‍රථම ස්ථානය ලබා දිය හැකිව තිබුණි. ඉතාලියානු නාට්‍යකරු දාරියෝ ෆෝගේ (විජිත ගුණරත්න පරිවර්තනය ) නාට්‍යයෙහි අනවශ්‍ය තැන් ඉතාම අරපරිස්සමට කපා හැර ලාංකේය වේදිකාවට අවශ්‍ය හා ගැලපෙන ආකාරයට සිදුවීම් තෝරා ගෙන පිටපතකින් ගොඩ යාමට වඩා අධ්‍යක්ෂවරයෙකුගේ කාර්ය මනා ලෙස ඉටු කොට තිබෙනු දැකිය හැකි විය. එහි නළුවන් හසුරුවා තිබුණු ආකාරය ඉතා උසස් මට්ටමක පැවතුණ අතර එයට හේතු වන්නට ඇත්තේ අත්දැකීම් බහුල නළුවන් ඒ සඳහා යොදා ගැනීමයි. ඇත්තෙන්ම හොඳම රංගාලෝකය හිමි විය යුතුව තිබුණු නාට්‍යය මෙයයි. එයට හිමි වූ හොඳම පසුතල නිර්මාණය හා වේදිකා පරිපාලනය එයට හිමි විය යුතුව තිබූ සම්මානයය.

හොඳම නිෂ්පාදනය තෙවන ලෙස සම්මාන දිනා ගත් "යෙර්මා" නාට්‍යය අහෝ! මෙවන් නාට්‍ය සඳහාත් සම්මාන හිමිවේද යන ගැටළුව අපට මතු කරන්නකි. ඒ ගැන සඳහන් කිරීම මෙම සටහන හුදෙක් දීර්ඝ කර ගැනීමකි. එහි කුමන අංශ සලකා බලා කුමන හේතු නිසා තුන්වන ස්ථානය ලබා දුන්නේ දැයි කීම උගහට වන්නේ එහිද තෝරා ගෙන තිබූ ගාර්ෂියා ලෝකාගේ පිටපත වෙනුවෙන් එහි නවමු රංග කාර්යයක් හෝ අධ්‍යක්ෂණ කාර්යයක් නොතිබූ නිසාවෙනි. එයට හිමි වූ හොඳම ඇඳුම් නිර්මාණය යන සම්මානය හිමි වීම එම ශිල්පිණිය ලද (හර්ෂණී නිරෝෂිකා) අභාග්‍යයකි. නාට්‍යක හොඳම ඇඳුම් නිර්මාණය යනු (විශේෂයෙන් පරිවර්තනයක ) එම පිටපතේ කාලය යුගය හා දේශය පිළිබද පිළිඹිබු කිරීමක් නොව ශිල්පියා විසින් ඉහත සඳහන් දෑද සැළකිල්ලට ගෙන තමාගේ පරිකල්පන ශක්තිය මෙහෙයවා යම් නිර්මාණාත්මක යමක් එයට එක් කිරීමයි. ඒ අනුව බලන කල ‘රාවණ’ හි ඇඳුම් නිර්මාණය ඒ ඒ යුගවලට අවශ්‍ය කාලය දේශය මෙන්ම නව නිර්මාණාත්මක හැකියාව යන සාධකයද සපුරා තිබෙනු පෙනුණි.

උළෙලේ හොඳම ඇගයීම් කිහිපයකටම ලක් විය යුතුව තිබූ අකිල සපුමල් අධ්‍යක්ෂණය කල ‘රාවණ’ නාට්‍යයට හිමි වූයේ පටු කුහක විනිශ්චයක් බව ඉඳුරාම කිව යුතුය. විනිශ්චය මණ්ඩලයෙහි සිටින්නේ බොහෝ දුරට ස්වතන්ත‍්‍ර නාට්‍ය නිර්මාණකරුවන්ය (කේ. බී හේරත්, රාජිත දිසානායක, පියල් කාරියවසම්). මොවුන්ගේ නාට්‍ය නිර්මාණ සඳහාද හිටපු විනිශ්චයකරුවන් මේ ආකාරයේ පටු විනිශ්චයන් ලබා දුන්නේ නම් අද ඔවුන් නාට්‍යකරුවන් ලෙස පීදී එන්නේ නැත. අප මෙසේ සඳහන් කිරීමට ප‍්‍රධාන කරුණු කිහිපයක් පවතී. එනම් උළෙලේ හොඳම පිටපත/හොඳම සංගීතය හා හොඳම රංග වින්‍යාසය යන අංශ සඳහා සම්මාන ලබා දීම පසෙක ලා තිබුණි. රාවණ හොඳම නාට්‍යය ලෙස පුද දීමට යැයි අප මෙහිදී නොකියමු. නමුත් මෙම අංශ සඳහා සම්මාන ලබා දෙන්නේ නම් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුව තිබුණේ රාවණ නාට්‍යයට ය. මක් නිසාද යත්, නාට්‍ය වලින් රංග වින්‍යාසයන් පැහැදිලි ලෙස අඩංගුව තිබුණේ රාවණ නාට්‍යයෙහි පමණය. එය සුසාධිත යමක් නොවූවත් විනිශ්චයකරුවන් සැළකිලිමත් විය යුත්තේ ලෝකයේ පවතින ප‍්‍රබල ගණයේ නාට්‍යයන්හි රංග වින්‍යාසයන් හා රාවණ නාට්‍යයෙහි රංග වින්‍යාසයන් සැසදීම නොව, උළෙලට සාපේක්ෂව එය සලකා බැලීමය. හොඳම සංගීතයට සම්මාන තෝරා ගැනීමේදීත් සිදු වූයේ මෙම ඛේදවාචකයමය. කුසලතා සහතිකයක් රාවණ සඳහා නිර්මිත යැයි පවසා තිබුණත් එය ප‍්‍රසිද්ධ වේදිකාවේදී ලබා නොදී, එය වෙනම තරුණ සේවා සභාවට පැමිණ ලබා ගන්නයැයි කීම අතිශයින් ම කුහක නිර්දේශයකි. හොඳම පිටපතට අනිවාර්යයෙන්ම සම්මාන ලබා දෙන්නේ නම් ලබා දිය යුත්තේ මෙම රාවණ නාට්‍යයටය. මක් නිසාද යත්, සෙසු සියල්ලම පාහේ පරිවර්තන නාට්‍ය වූ නිසාවෙනි. මෙය කියවන පාඨක ඔබ මඳකට සිතා බලන්න, රටක අනාගත නාට්‍ය වංශය යම් ස්ථීරසාර පදනමකින් ගොඩ නැඟෙන්නේ පරිවර්තන මතද, ස්වතන්ත‍්‍ර මතද යන්න. එම නාට්‍යයෙහි තිබූ ප‍්‍රධානම අඩුපාඩුව ලෙස විනිශ්චයකරුවන් සඳහන් කරන ලද විසිරීම හෙවත් ඒකග‍්‍රතාවයක් නොමැති වීම පිළිගත හැක්කකි. නමුත් එය නිෂ්පාදනයේ දුර්වලකමක් විනා පිටපතෙහි දුර්වලකමක් නොවේ. එවැනි පිටපතක් රචනා කිරීම උදෙසා රචකයා සතු පරිකල්පන ශක්තිය කොපමණ වෙහෙසිය යුතුද යන්න තීරණය කිරීම පේ‍්‍රක්ෂක, පාඨක හා විනිශ්චයකරුවන් වන ඔබට බාරය.

අවධානය මින් පසු කෙටි නාට්‍ය කරා යොමු කරමු. විශේෂයෙන් මෙවර නාට්‍ය උළෙලේ දැකිය හැකි වූයේ යථාර්ථවාදී තාත්වික නාට්‍ය නොව හුදෙක්ම තරුණයන් ලෙස තමාට හැඟෙන , දැනෙන දෙය ප‍්‍රකාශ කළ ප‍්‍රකාශනවාදී නාට්‍යයය. (මේ පිළිබඳ ලිපියක් ද මීට පෙර පළ කළෙමු- බලන්න : ප‍්‍රකාශනවාදී නාට්‍ය කලාව හා තිස් තුන්වැනි යෞවන නාට්‍ය උළෙල) හොඳම නිෂ්පාදනය ලෙස සම්මාන හිමි කරගත් කෝරලගේ සමන් අධ්‍යක්ෂණය කළ ‘‘අජරාමර’’ නාට්‍යය දෙසට යොමු වෙමු. එයට හොඳම වේදිකා පරිපාලන, හොඳම නළුවා, හොඳම සංගීතය, හොඳම පිටපත යන සම්මාන හිමි විය. හොඳම නාට්‍යය ලෙස සම්මාන හිමි වීම මඳක් මතවාදයට තුඩු දෙන්නක් වුවද එහි තිබූ නිෂ්පාදන කාර්යය සකසුරුවම් බව, එකවර ආලෝකයක් විහිදුවා ප‍්‍රඥාවක් ලබා දීම හා පේ‍්‍රක්ෂකයාට ලබා දුන් අපූර්වත්වය යන සාධක මත එය උළෙලේ අනෙක් නාට්‍ය හා සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතුණි. නමුත් නාට්‍යය යනුවෙන් අදහස් කරනුයේ මෙම අපූර්වත්වය පමණද? එසේම එය යථාර්ථවාදී සීමාවෙන් ඔබ්බට ගොස් තිබෙනු දැකිය හැකි වූවාක් මෙන්ම නාට්‍ය අවසානය අප නිතර දැක හුරුපුරුදු අවසානයකි. ඒ අතින් ගත් කල ප‍්‍රාථමික ලක්ෂණ ගැබ්ව තිබුණද නිවැරදි ලෙස මානුෂ්‍ය ජීවිතය යථාර්ථවාදී ලෙස මනාව අල්ලා ගෙන නාට්‍යකරුගේ ප‍්‍රකාශනයද සාධනීය ලෙස සමබර කිරීමක් කළ, ‘‘මං බහින්නෙ නෑ’’ නාට්‍යයට කිසිවක් හිමි නොවීම ඇත්තේන්ම කණගාටුවකි. මෙම නාට්‍යයට හොඳම නළුවාට ලබා දීම අවිවාදිතය. මා හට මෙම උළෙල නිමා වී දින කිහිපයකට පසුව කැලණිය කොටුව දුම්රියෙදි පවා තුසිතගේ රංගනය මැවී පෙනෙණු මතකය. එසේම ඔහුට ඒ සඳහා පිටපතෙන් ලැබුණු චරිතය මනා පිටිවහලක් වී තිබුණි. හොඳම සංගීතය නම් හිමි විය යුත්තේ ශබ්ද බාහුල්‍යයක් යොදාගත් ‘‘අමතක වෙන්න කලින්’’ නාට්‍යයටය. මක් නිසාදයත් ‘‘අජරාමර’’ට වඩා අවශ්‍ය තැන් හි නාට්‍යයට අවශ්‍ය හැඟීම පේ‍්‍රක්ෂක මනසට, මසැසට ලං කිරීම අතින් ‘‘අමතක වෙන්න කලින්’’ යොදා තිබූ ශබ්ද උපක‍්‍රම ඉතා උසස් තලයක තිබුණි. හොඳම වේදිකා පරිපාලනයද හිමි විය යුත්තේ ‘‘අජරාමර’’ට නොව ‘‘අමතක වෙන්න කලින්’’(ඉහලින් පොත් වට්ටා මැජික් දැමූ නිසා නොව අවශ්‍ය තැන් හි දුමාරය, නළුවන් හැසිරවීම, වේදිකා උපකරණ භාවිතය ආදිය නිසාවෙන්) ‘‘මේ කොටුවට එන්න’’ (බොහෝ වේදිකා උපකරණ නිසි ලෙස භාවිතා කිරීම, නළුවන් හැසිරවීම) හොටෙල් නම්බර් 13 (නිසි ශබ්ද නිසි තන්හි යෙදීම, නළුවන් හැසිරවීම, වේදිකාවේ නොවූ යමක් වේදිකාවේ තිබෙන්නේ යැයි කීපවරක් පේ‍්‍රක්ෂකයාට දැනවීම.) ‘‘මං බහින්නෙ නෑ’’ (වේදිකා පසුතල භාවිතය, නළුවන් හැසිරවීම) ආදී නාට්‍ය මීට වඩා සළකා බැලිය යුතුව තිබුණි.

සම්මාන ප‍්‍රදානයේදී මතවාදයට මුඛ්‍ය ලෙසම තුඩු දුන්නේ පිටපත් සඳහා ලබා දුන් සම්මාන ප‍්‍රදානයයි. ‘අජරාමර’ නාට්‍යයට හොඳම පිටපත සම්මානය හිමි වීම විහිළුවක් මෙනි. එහි තුසිත වැනි නළුවෙකුගෙන් පිටපත ගොඩ යනු අප හොඳින් දුටුවෙමු. වෙනත් ප‍්‍රාථමික නළුවෙකු මෙම චරිතය රඟපෑවේ නම් එම පිටපතට හිමිවන තැන සිතා ගැනීමට නොහැක. ඇත්තෙන්ම එහි තිබුණේ රෝම හාස්‍යජනක නාට්‍යකරුවෙකුගේ මෙන් අගයෙන් ඉතා අඩු පිටපතකි. හොඳ පිටපතක් යනු නළුවන් කෙසේ රඟපෑව ද පිටපතේ ඇති නොමැරෙන, නොමැකිය හැකි ජීව ගුණය නිසා අදාළ නිෂ්පාදනය උසස් බවට පත් වීමේ ගුණයකි. ටෙනිසි විලියම්ස් (Tennessee Williams), ගාර්ෂියා ලෝර්කාගේ (Fedrico Garcia Lorca) වැනි නාට්‍යකරුවන්ගේ පිටපත් කුමන ලෙස රඟපෑව ද, කුමන අධ්‍යක්ෂකවරයෙකු නිෂ්පාදනය කළ ද, උසස් තලයකට පත්වන්නේ එහෙයිනි. මෙකී ගුණ සපුරාගත් හොඳම පිටපතට හිමි සම්මානය දිනාගත හැකිව තිබූ නාට්‍යය ලෙස ‘‘මං බහින්නේ නෑ’’ (මනා ලෙස යථාර්තයත් නාට්‍යකරුගේ ප‍්‍රකාශනයත් සමබර කිරීම නිසා), ‘‘අපේ කථාව’’ ( අදාල සමාජ වපසරිය අභ්‍යන්තරයට ගොස් සොයා බැලීම නිසාත් සාමාන්‍ය ජීවිතය මනා ලෙස වේදිකා පිටපතක් බවට පත් කිරීම නිසාත්), ‘‘මම, අපි සහ කළුරිය’’ (චරිත අභ්‍යන්තරයත්, නැවුම් ආරක සමාජීය කියවීමත් නිසා) ආදී නාට්‍ය සලකා බැලූවේ නම් සාධාරණයක් ඉටු වන්නේ පිටපත් රචකයාටය. 2013 වැනි කලියුගයක හරිහැටි පිටපතක් ලියා ගත හැකි තරුණ නාට්‍යකරුවන් රැක ගැනීම නාට්‍ය ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨන්ගේ වගකීමකි (දිගු නාට්‍ය අංශයට මෙය ඍජුවම අදාලය).


අජරාමර

හොඳම නිෂ්පාදනයට දෙවන ස්ථානය හිමි වූයේ තුසිත ලක්නාත් අධ්‍යක්ෂණය කල ‘‘අමතක වෙන්න කලින්’’ නාට්‍යයයි. එයට හිමි වූ මෙම සම්මානය සාධනීය වූවක් නොවේ. මක් නිසාද යත් මෙවන් නාට්‍ය නරඹන තනි කකුලේ කොකුන් (පෙර සදහන් කළ පරිදි) සිතන්නේ නාට්‍යය යනු මෙන්න මේවායැයි කියාය. මෙම නාට්‍යය හුදෙක්ම ප‍්‍රකාශනවාදී ගුණයෙහි ලා සැළකිය හැක්කකි. එහි අඩංගු වන්නේ සිදු විය හැක්කක් නොව නාට්‍යකරු විසින් සිදුවිය හැකියැයි සිතන දෙයක්වීම මීට ප‍්‍රධාන හේතු සාධකයයි. මෙවැනි නාට්‍ය පිටපත් සහ රචනය හා නිෂ්පාදනය යථාවාදී නාට්‍යයන්ට සාපේක්ෂව පහසුය. මෙම සම්මානය සඳහා පෙර සළහන් කළ (‘අපේ කතාව’, ‘මම, අපි සහ කළුරිය’, ‘මං බහින්නෙ නෑ’) නාට්‍ය සලකා බැලුවේ නම් සඳහා යම් වටිනාකමක් හිමි වීමට ඉඩ තිබුණි. මෙම නාට්‍යයෙහි සම්මාන ලැබිය යුතුව තිබූ (සංගීතය, වේදිකා පරිපාලනය, ශබ්ද පරිපාලනය) අංශ පාදක කොට ගනිමින් හොඳම නිෂ්පාදනය දෙවන ස්ථානය හිමි කර දුන්නේ යැයි විටෙක සිතේ.

හොඳම නිෂ්පාදනය තෙවන ස්ථානය හිමි වූයේ ‘‘නොට් අවුට්’’ නම් නාට්‍යයයි. දිගු නාට්‍ය තෙවන ස්ථානය මෙන් මෙහිදී ද සඳහන් කළ යුතුවන්නේ හුදෙක් මෙවන් නාට්‍ය සදහාද සම්මාන ලැබේද යන්නයි. මක් නිසාද යත්, මෙම නාට්‍ය උළෙලේදී විනිශ්චයකරුවන් බොහෝ විට සැළකිල්ලක් දැක් වූ ඒකාග‍්‍රතාව යන සාධකය මෙම නාට්‍යයෙහි කිසිසේත් නොතිබුණි. තැන තැන විසිර තිබූ විශාල චරිත ගොන්නක් එකම වේදිකාවක හැසිරවීමට ගොස් නාට්‍යය අතරමං වනු දැකිය හැකි විය. පේ‍්‍රක්ෂකයාට හාස්‍ය මැවීම අතින්ද යම් දේශපාලන සත්‍යයක් ගෙන හැර පෑම අතින්ද යම් සාධනීය බවක් මෙම නාට්‍ය හිමි කරගත්ත ද මෙයට තෙවන ස්ථානය ලබා දෙන්නේ නම් ‘අපේ කතාව’, ‘මම, අපි සහ කළුරිය’, ‘හොටෙල් නම්බර් 13,’ ‘තව දුවන්නද’, ‘මං බහින්නෙ නෑ’ ආදී නිර්මාණ සඳහා සම්මාන ලබා නොදෙන්නේ කුමක් නිසාද යන ගැටළුව මතු වෙයි.

සමස්තයක් ලෙස මෙම උළෙලේ දැකිය හැකි වූ සාධනීය ලක්ෂණ වූයේ කෙසේ හෝ තරුණ නාට්‍යකරුවන් වෙනුවෙන් උළෙලක් හා සම්මාන ප‍්‍රධානයක් පැවැත්වීම, ලයනල් වෙන්ටඞ් රඟහලට පසු තිබෙන යම් ප‍්‍රමාණයක ගුණාත්මක රංග ශාලාවක් ලබා දීම, අවශ්‍ය පේ‍්‍රක්ෂක පිරිසක් මඟින් පේ‍්‍රක්ෂකාගාරය පිරවීම (නාට්‍ය රසයක් නොදත් වුන්ගෙන් හෝ), ප‍්‍රාදේශීය වශයෙන් හා විවිධ රංග සම්ප‍්‍රදායන්ගේ නාට්‍ය තෝරා ගැනීම, දේශපාලන වශයෙන් කරුණු දැක් වූ නාට්‍ය වුවද තෝරා ගෙන සම්මාන ප‍්‍රදානය කිරීම, තරුණ නාට්‍යකරුවන් ගැන අවබෝධයකින් නාට්‍ය තෝරා ගැනීම හා සම්මාන ප‍්‍රදානය යනාදියයි. දුර්වලතා ලෙස නාට්‍ය නැරඹූ පේ‍්‍රක්ෂකයා පවා අමතක වන තරම් කාලයකට පසු සම්මාන ප‍්‍රදානෝත්සවය පැවැත්වීම, නිසි ඇගයීම් වලින් තොරව යෞවන නාට්‍ය උළෙලට තිබූ ගෞරවය පවා ගිලිහෙන තරම් යම් යම් පටු සාධක මත සම්මාන ලබා දීම (රාජ්‍ය නාට්‍ය උළෙලේදී මෙන්), සම්මාන සඳහා පෞද්ගලිකත්වය සාධකයක් කොට ගැනීම, ස්වතන්ත‍්‍ර නිර්මාණ වලට හිමි විය යුතු සම්මාන ගැන සඳහනක්වත් නොකිරීම ආදිය දැක්විය හැකිය.

අවසාන වශයෙන් සඳහන් කළ යුතුව ඇත්තේ සම්මාන ලබාගත් ශිල්පීන් උඩ යාමක් නොකර තමාට ලැබුණු සම්මානය ලැබුණේ කුමක් නිසාද, එය තමාට ලැබීම සාධාරණද, වෙනයම් අයෙකුට එම සම්මානය හිමි විය යුතුද, එසේ නම් ඒ ඇයි යන කාරණා කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමත්, අනෙක් පරම්පරාවට මෙම සම්මාන හිමි වූ නාට්‍ය, නාට්‍ය ලෙස පිළිගත හැකිද? එසේ නම් ඒ මන්ද, නොඑසේ නම් ඒ මන්ද? සම්මාන උළෙල සඳහා නාට්‍ය නිෂ්පාදනය කිරීම මත පමණක් තම නිර්මාණ සදාකාලික වේද? උළෙලක් පැවැත්වීමට වඩා සංවාදශීලී කතිකාවතක් සහිතව අපට යෞවන නාට්‍ය උළෙල ඉදිරියට පවත්වා ගෙන යා හැකිද? යන කරුණු ගැන අවධානය යොමු කිරීම තරුණ නාට්‍යකරුවන් ලෙස අප සතු වගකීමකි.

ප‍්‍රනීත් චානක මුරමුදලිගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails