Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



(2013 කාන්ස් චිත්‍රපට උළෙලේ සම්මානය දිනූ Blue Is the Warmest Colour චිත්‍රපටය පිළිබඳව එහි නිමැවුම්කරු Abdellatif Kechiche සමග theupcoming.co.uk වෙබ් අඩවිය කළ කතාබහක පරිවර්තනයකි.)

ඔබ ඔබේ පස්වැනි චිත්‍රපටය සඳහා Julie Marohගේ ග්‍රාපික නවකථාවක් වන Le Bleu Est une Couleur Chaude (Blue Angel) කෘතිය යොදා ගත්තේ ඇයි?

මේ චිත්‍රපටය සඳහා එකී කෘතිය යොදා ගත්තේ ඉතා ලිහිල් අනුවර්තනයක් ලෙසයි. එය, ග්‍රාපික නවකථාවක් සිනමාත්මකව කියවීම සඳහා දිගු කලක පටන් මා තුළ වූ අපේක්ෂාවක ප්‍රතිඵලයක්. නෘත්‍යකලාවට කැමති ප්‍රංශ ගුරුවරියක් පිළිබඳ තිරරචනයක් කිරීමේ උවමනාවක්, 2003 දී Games of Love and Chance කළ කාලයේ පටන්ම මා තුළ තිබුණා. වෘත්තීමය ජීවිතය පිළිබඳ උනන්දු ගැහැණු චරිතයක්...! ඒ චරිතයට තමන්ගේ පුද්ගලික ජීවිතය මගින් ඇති කළ ප්‍රතිවිපාක, ඇගේ රැකියාව- ආදරය- වියෝ වීම් සහ ඇගේ බිඳ වැටීම් වලට බලපාන අන්දම සාකච්ඡා කරන්නටත් මට අවශ්‍ය වුණා. Games of Love and Chance වෙනුවෙන් වෙහෙසුණු කාලයේදී මට එබඳු බොහෝ ගුරුවරු, මිනිස්සු සහ ගැහැණු හමු වුණා. එබඳු මිනිසුන්, ඔවුන්ගේ වෘත්තීය ජීවිත ගෙවූ අන්දම ගැන මා හිතුවා. ඔවුන්, ඇත්ත කලාකරුවෝ... ඔවුන් කියවීම, චිත්‍ර ඇඳීම, ලිවීම... මේවා ගැන දැඩි හැඟීමෙන් කටයුතු කළා. අපි හැමකෙනෙකුටම මතකයි අපේ පාසල් ජීවිත වෙනස් කළ එබඳු අවස්ථා.... ඇතැම් ගුරුවරු අර චිත්‍රපටය බලන්න... මේ පොත කියවන්න... කියා අප දිරි ගැන්වූ හැටි... ඇතැම් විට අනාගත වෘත්තිය පිළිබඳ මුල් බිජුවට අප තුළ රෝපණය වුණේ ඔවුන් නිසා... නමුත් අන්තිමේදී මගේ තිර රචනය හොඳ අවසානයක් නැතිව ඇණ හිටියා. Julie Maroh ගේ නවකථාව මට හමුවූ විට මගේ කතාවත් නවකථාවේ එන කතාවත් එකට අමුණන්නට මට අදහසක් ආවා... ගැහැණු දෙදෙනෙකු අතර පරම ආදරයක්... පාසල් ගුරුවරියක් බවට පත්වන තරුණ ගැහැණියක්....!


Abdellatif Kechiche

ඔබේ ප්‍රධාන චරිත දෙකම සම්බන්ධයෙන් "වෘත්තිය" අතිශයින්ම ප්‍රබල තේමාත්මක වැදගත්කමක් දරනවා. එක්කෙනෙක් චිත්‍ර ශිල්පිනියක්. අනෙක් චරිතය ගුරුවරියක්.

මට හිතෙන්නේ, මේ වෘත්තිය පිළිබඳ සංකල්පනය මුළුමනින්ම තාර්කිකයි. මොකද මේ වෘත්තීන් දෙකම ස්වාර්ථය ගැන නොසලකන පන්නයේ ඒවා. ඒවා කාගෙන් හෝ පිළිගැනීමක් බලාපොරොත්තුවෙන් කරන රැකියා නොවෙයි. තම සිසුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවන මේ ගුරුවරුන් මා නිරන්තරයෙන් අගය කරනවා. ඒ කැපකිරීම් ඔවුන්ගේ ජීවිතයේම කොටසක්; ඔවුන් තෘප්තිමත් වන්නේ එයින්...

ඔබේ චිත්‍රපටය ප්‍රමුඛ ලෙසම කාන්තාවන් දෙදෙනෙකු අතර ආදරයක් ගැන කියවෙන්නක්.

ගැහැණු දෙදෙනෙකුගේ ආදර කතාවක් යනු, ඒ චරිත රඟන නිළියන් දෙනෙකු සමග උපරිමයෙන් වැඩ කරන්නට වීමයි. මෙවැනි කාර්යයක් මා බොහෝ උද්යෝගිමත් ලෙස කළා. එය මගෙ සිනමා ගමනේ ඉතාම වැදගත් අවස්ථාවක්. මම මගෙන්ම ඇහුවා, මේ ග්‍රාපික නවකථාවේ එන ඉතාම ආවේශක මොහොත කුමක්ද කියා? අප දල්වාලන පුළිඟුව කුමක්ද කියා? එහි ඇඳ තිබූ නිරුවත් සිරුරුද? එය විය හැකියි. එහෙත්, අන්තිමේදි නියත ලෙසම මා අභිප්‍රේරණය කළේ කුමක්දැයි මා දැන සිටියේ නැහැ.



ඔබ ඔබේ රංගන ශිල්පිනියන් දෙදෙනා (Léa Seydoux සහ Adèle Exarchopoulos) තෝරා ගත්තේ කෙසේද?

මුලින්ම මම හමුවුණේ Léa Seydouxව, Emmaගේ චරිතය සඳහා. ඇය ඇගේ රූසපුව, හඬ, බුද්ධිමත්බව සහ නිදහස්කාමීබව චරිතයට එක් කළා. එහෙත්, අප හමු වූ අවස්ථාවේදී වඩා තීරණාත්මක වුණේ, ඇය සමාජ දැක්මයි. ඇය තමා අවට වන දෑ ගැන නිරීක්ෂණශීලී වූවා. සමාජය දෙස අවදිමත්ව බැලුවා. ඇයත් මා මෙන්ම, ලෝකය සමග ඇත්ත ගනුදෙනුවක හිටියා. එමෙන්ම, මට සිතුණා, Léa ළඟ මොකද්දෝ "අරාබි ගතියක්" තියනවා කියලා. පස්සෙ ඇය කිවුවා ඇයට අරාබියානු සහෝදරවරු (පියාගේ වෙනත් විවාහ වලින් ලැබුණු) ඉන්නා බව. ඈ තුළ තිබුණා ජීවිතයේ වෙමින් තිබෙන දේ ගැන අවබෝධයක්. එමෙන්ම, ජීවිතයේ ඇති වන විචලනයන් භාර ගන්නා ස්වභාවයක්. ඒක ටිකක් එඬේරියානු ස්වරූපයේ රස්තියාදුකාර ස්වභාවයක්. ඈ තුළ මේ කොයි දේත් මිශ්‍රව තිබුණා.

අනෙක් ශිල්පිනිය- Adèle Exarchopoulos?

අපි දැවැන්ත නළු වරණයක් පැවැත්වූවා. දුටු මුල්ම මිනිත්තුවේදී මම ඈ තෝරාගත්තා. මම ඈ රැගෙන ගියා දිවා භෝජනයකට. ඇය ඇණවුම් කළා අතුරුපසක්. ඇය එය කෑමට ගන්නා හැටි දුටු විට මම හිතුවා... "ඔව් ඈ තමයි...!" ඇය මුව සෙලවූ හැටි... ආහාර හැපූ හැටි... චිත්‍රපටයේදී ඇගේ මුව බොහෝ වැදගත් මූලාවයවයක්... ඇත්තෙන්ම දෙන්නා සම්බන්ධයෙන්ම...

එක් චරිතයක Clémentine ලෙස තිබූ නම ඔබ පසුව Adèle ලෙස වෙනස් කරන්නට හිතුවේ ඇයි?

එය සිද්ධ වුණේ, මට මගේ රංගන ශිල්පිනියගේ ඇත්ත නමම චරිතය සඳහාත් යොදන්නට උවමනා වූ නිසයි. එය ඇයට පහසුවක් වුනා විතරක් නොවෙයි ඈගේ චරිතය වර්ධනය කරගන්නටත් උදවුවක් වුණා. ඒ වගේම, එය නම් ශබ්ද කිරීමේදීත් වැදගත් වූවා. Adèle, Emma, Léa මේ සියල්ල සැහැල්ලු නම්...



"සමාජ සාධාරණත්වය" ඔබේ චිත්‍රපට සම්බන්ධයෙන් ඉතා වැදගත් යෙදුමක්... මෙහිදී එය මතු වන්නේ චරිත අයත් වන විෂම සමාජ පන්තීන්ගේ නිරූපණය මගින්ද?

ඇත්ත... එය මගෙ චිත්‍රපට වල පුනරාවර්තීව යෙදෙන තේමාවක් තමයි. එය එක්තරා විදිහක ග්‍රස්තියක් බවට පත් වෙමින් තිබෙනවා. සමාජ විෂමතාව තිබෙන්නේ කොහේද? ඇතැම් විට ඒ මා අයත්- චිත්‍රපටයේ එන Adèle ද අයත්, කම්කරු පන්තිය පිළිබඳව විය හැකියි. Emma අයත් වන්නේ බොහොම බුද්ධිමත්... සෞන්දර්යය ප්‍රිය කරන... ප්‍රභූ පැළැන්තියට… ඔවුන්ට අවසානයේදී ඔවුන්ගේ සබඳතාව බිඳ දමන සාධකය වන්නේ, ඔවුන්ගේ විෂම පංති මූලයන් හරහා පැන නගින පුද්ගලාභිලාෂයන්ගේ වෙනස මිසෙක ලෝකය විසින් නුරුස්සනු ලබන ඔවුන්ගේ සමකාමීත්වය නොවෙයි. චිත්‍රපටය කියන්නේ ඒ ගැනයි.

ඇයි ඔබ සමකාමීත්වය, වෙනත් ඕනෑම 'ආදරයක්' තරමටම සාමාන්‍ය කොට සලකන්නේ? එය ඇතැම් විට සමාජය විසින් නොඉවසන බව දැන දැනත්....?

සමකාමීබව සම්බන්ධයෙන් මට කිසිදු ගැටුමක් නැහැ. මම එය අර්ථ දක්වන්න යන්නෙ නෑ... චිත්‍රපටය හදමින් ඉන්නා කිසිදු වෙලාවක මේ ඉන්නේ ගැහැණු දෙදෙනෙක් කියලා මට අමුතුවෙන් හිතුණේ නෑ. මට දැනුණේ යුවළකගේ කතන්දරයක් මම කියමින් ඉන්නා බව අපමණයි. මා විශේෂයෙන් සමකාමීබව ගැන කතා කළ යුතු ඇයිදැයි මා දන්නේ නෑ. චිත්‍රපටයට නම් එය වෙනත් ඕනෑම ආදර කතාවක් තරමටම සාමාන්‍යයි. ආදර කතාවලට ආවේණික සියළු සුන්දරත්වයනුත් සමගින්ම....



නමුත්, සමකාමීත්වය නො ඉවසන- අරාබියානු සම්භවයක් සහිත ප්‍රංශ පුරවැසියෙකු වන ඔබ එබඳු කතාවක් තෝරා ගැනීම මගින් බලවත් සංඝට්ටනයක් ඇති වෙනවා නේද?

චිත්‍රපටය හමාර වූ පසු මට හිතුණේ, "මෙයින් ටියුනීසියානු තාරුණ්‍යයටත් කිසියම් හොඳක් වෙයි..." කියලා... විප්ලවය සම්පූර්ණවන්නේ නෑනෙ ලිංගිකත්වය පිළිබඳ අදහස් වෙනසකට ලක් නොවෙනවා නම්.

ඔබේ කතා නායිකාවන් අතර ඇති බලගතු ආදරය විවරණය කරන්නට ලිංගික දර්ශන අත්‍යාවශ්‍යයි. ඔබ ඊට ප්‍රවේශ වූයේ කෙසේද?

අප මේ දර්ශන කැමරාගත කළේ චිත්‍ර හෝ මූර්ති ලෙස සලකා. ඔවුන් ඉතා සුන්දර ආකාරයෙන් දිස් වෙනතුරුම ආලෝකය සකසමින් අප කල් ගත කළා. අවසානයේදී, ආදරයෙන් බැඳුණු ඒ සිරුරු සතු සහජ නර්තන වින්‍යාසය, අප වෙනුවෙන් ඉතාම අව්‍යාජ ලෙස ඒ ඉතිරි සියල්ල ඉටු කර දුන්නා. ඔවුන්ට සිදු වුණා, ලිංගික මානයන් පවත්වා ගනිමින්ම අතිශයින්ම සෞන්දර්යාත්මක ව සුන්දරව හිඳින්නටත්. අප බොහෝ දේ කිරීමට වෑයම් කළා. බොහෝ මහන්සි වුනා. බොහෝ කතා කළා. නමුත් ඒ කතා වලින් පලක් වුණේ නෑ. දර්ශන තලයේදී අපට ඕනෑ තරම් දේ කියන්නට පුළුවන් වුණත්, අන්තිමේදී අපට අවබෝධ වන්නේ යථාර්ථය ඊට වඩා ප්‍රතිභානයෙන් යුතු බවයි.

ආදරය නම් තේමාව පසුපසින් එන්නේ රෝමාන්තික හුදකලාවේ තේමාව නේද?

තවදුරටත් ඔබට ආදරය නොලැබෙද්දී, වියෝගය, හිස්බව, හුදකලාව ඔබ අත්දැකීමෙන් දැනගන්නවා. එය හැමකෙනෙකුම දන්න දෙයක්. හැම කෙනෙකුටම හැඟෙන දෙයක්. එයින් ඇති කරන වේදනාව කිසිවෙකුට විස්තර කළ නොහැකියි. එහෙත්, මෙහි ඇති වඩාත්ම සිත් ඇදගන්නා සුළු දෙය නම් මේ සියලු විඳවීම් මැද, ඉටු කොට ගත යුතු දේ ඉටු කර ගනිමින් ම, ජීවිතය ඉදිරියටම ගලා යාමයි.





හදවත් බිඳීමෙන් ඇතිවන හුදකලාව ම ධෛර්යය මොළවාලනවා. එයත් ඔබ මේ චිත්‍රපටයෙහි ලා ඉදිරිපත්කරන තේමාවක් නේද?

නිදහස් කාන්තාවක් වූ ධෛර්යසම්පන්න, ශක්තිමත් Adèleගේ චරිතය මා බෙහෙවින් අගය කරනවා. ඇය ඇගේ දුක් තැවුල් වලින් දැඩි ලෙස පීඩාවට පත් වෙනවා. එහෙත් ඇය ගුරුවරියක ලෙස වැඩ කරන විට, එකී පීඩාවට යටත් නොවී, තැවීම් මැඩපවත්වා ගන්නවා. එබඳු ධෛර්යමත්භාවයක් දුටු විට එය මට වද දෙන්නට ගන්නවා. පුද්ගලිකව මා ධෛර්යසම්පන්න නොවුනත්, මම යම් අදහසක එල්ලී ගෙන සිටිනවා. බොහෝවිට මේ ස්වභාවය මම දකිනවා තරුණ ගැහැණුන්ගෙන්. ශක්තිමත්බව සහ ආත්ම විශ්වාසය...!

ඔබේ සිනමා ශෛලියේ ඇති අනෙක් සැලකිය යුතු දෙය නම් ඔබ රංගනය හැකි තරම් ස්වාභාවික සහ අව්‍යාජ ලෙස ඉදිරිපත් කිරීමට දරන වෑයමයි. ඔබ එය සාක්ෂාත් කර ගන්නේ කෙසේද?

රූපරාමු මගින් කියන්නට හදන දේ අව්‍යාජ වීම වැදගත්. ප්‍රබන්ධිත- ව්‍යාජයන් තිබේ නම් ඒවා හැකි තරම් සුළු ප්‍රමාණයෙන් සංයෝග කිරීම වැදගත්. එය, යම් චරිතයක "සත්‍යය" සොයා ඔබට කෙතරම් සමීපයට යා හැකිදැයි බැලීමේ ක්‍රියාවලියක්.

සමූහ දර්ශන වලදී චරිත අතර හුවමාරු වන දෙබස් එවේලේ ම නිපදවූ ඒවා බව පෙනෙනවා. යම් විදිහකින් එසැණ නිර්මාණයන් කළා ද?

තිර පිටපතේ මේ දර්ශන නිවැරදිව ලියා තිබුණා. එහෙත් අවශ්‍ය රිද්මය කලින් තීරණය කළ නොහැකියි. රූ ගත කිරීම් අතරයි මම රිද්මය සොයා ගන්න උත්සාහ ගන්නේ. තිරපිටපතට අවනත විය යුතුයි කියන රීතිය, දර්ශන තලයේදී බිඳවැටෙනවා. පිටපතේ ලියා ඇති වචනවල හිර වීමට මට අවශ්‍ය නැහැ. ඔබ කී අන්දමේ දර්ශනවලට පැමිණි විට, සියල්ල විවෘත වෙනවා. පිටපතේ වචන පේළි අතුරුදහන් වෙනවා. රූ ගත කිරීම් අතර ලිවීම සිදු වෙනවා. ඒ විදිහ මට හරිම පහසුයි. නළු නිළියන්ට එකිනෙකා කෙරෙහි වඩා හොඳින් ප්‍රතික්‍රියා කළ හැකි වෙන පරිදි, පිටපත නැවත නැවත නිර්මාණය වෙනවා.

චිත්‍රපටය ඔබට ලබා දුන්නේ මොනවාද?

එය මට කිසිදු පිළිතුරක් ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට, එය ස්ත්‍රීත්වය, ජීවිතය, බලාපොරොත්තු ගැන මා තුළ වූ ප්‍රශ්ණ කිරීම් වැඩි වර්ධනය කළා. මම හිතනවා දවසක මට පිළිතුරු සොයා ගන්නට පුළුවන්ය කියා.






පරිවර්තනය - මේනක බණ්ඩාර සමන්කුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails