Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අපගේ ජීවිත සීසීකඩ කර ඇත. එය එකම අවුල් ජාලයකි. උපතෙදී අපට උරුමකර ඇති සියලූම ප්‍රශ්න මැරෙනකොට ද අපි අරගෙන යන්නෙමු. කිසිවෙකුට කිසිවෙක් ගැන සොයා බැලීමට වේලාවක් නැත. එතරම් වේගයෙන් තම තමන්ගේ පණ බේරාගෙන හිත් ලූ ලූ අත දුවන පිස්සන් රැලක් බවට අපව පත් කර ඇත. ඒ දුවන අතරෙත් මුන්ට මස් කඩ වලට හා ගබ්සා ගුල් වලට පනින්ඩ වෙලාව ඇති සැටි පුදුමය. ෆේස් බුක් නැත්නම් දැන් කවුරු කාට පෑගී මිය යනවාද යන්නවත් සොයාගත නොහැකිය. ජීවිතය හැර අන් සියල්ල මිල අධික දේශයේ මරණය අති සුලබව කැමති තැනකින් දැන් ඔබට ලබාගැනීමට ඇත. ඒ අතරේ භානු ප්‍රසන්න යන අප සගයා මියගොස් ඇත. අපිට ඊට වටිනාකමක් දිමට අවශ්‍යය. එය කරන්නේ කෙසේද? කිසිවෙක් නොදනී. අවම වශයෙන් අර දුවන අතරේ අපි ඔහුට තව එකම එක හාදුවක් දී යමු. ඒ භානු කිසිවක් නොබලා අප සමග මෙතෙක් දුර දිව ආ බැවිනි. අනිත් බොහෝ දේ සේම යලි කිසි දිනක භානු ද අපට මතක් නොවෙනු ඇත. මේ කුරිරු දුෂ්ඨ අර්ථ ශුන්‍ය දේශයේ යලි කිසි දිනක භානු ද අපට වැඩක් නොවනු ඇත! අපිට වැඩක් ඇත්තේ මොනවාද? පියාගෙන්ම ඇසිය යුතුය.

ක්ෂේත්‍රයේ මට හමු වූ පළමු මිතුරා ඔහුය, මගේ සෑම නාට්‍යයකම සිටි එකම ශිල්පියා ඔහුය, මම පිටපතක් ලියූ පසු වැඩ පටන් ගන්න මුලින්ම හමුවන්නේ ඔහුය, මගේ නාට්‍ය වල රචනය සහ අධ්‍යක්ෂණය හැර අන් සියල්ලම කර ඇති එකම ශිල්පියා ඔහුය, මිය යන විටත් ඔහු මගේ ඊලඟ වැඩේ සැලකිය යුතු බරක් අදිමින් සිටියේය. මගේ කුඩා කලා ජීවිතයේ සුන්දරම අවස්ථා සහ වැඩිපුරම හිනා යන අවස්ථා මතක් වෙන්නේ භානුත් සමඟය. භානු සමඟ මට ඇති සම්බන්ධය ගැන ඒ කෙටි සටහන තැබුයේ ඔහු ගැන ඕන දෙයක් ලිවීමට ඔබෙන් කුඩා අවසරයක් ලබා ගැනිමටයි. එහෙත් භානු ගැන මගේ අත්දැකිම ඇසුරෙන් කිසියම් පොදු යථාර්තයක් සොයා යන්නට උත්සාහ කරමි.

අනූව දශකයේ ආරම්භයේ වැඩමුලූ හා නාට්‍ය උලෙළවල් හරහා විවිධාකාර අරමුණුවලින් නාට්‍ය කරන්න පැමිණියවුන් අතර භානු මට හමුවන්නේ හුදු විනෝදශ්වාදය පිණිසම නාට්‍ය කරන්න පැමිණිය එකකු ලෙසිනි. වැඩිකල් යන්නට පෙර පන්නිපිටියේ භානුගේ නිවස අපි වල බහින තැන බවට පත්විය. අම්මාද නැති තාත්තාද පාඩුවේ පැත්තකට වී සිටි ඒ නිවස කැමති කෙනෙකුට කැමති දෙයක් කරගන්නට ඉඩ හැර තිබුණි. අප පිරිසේ කාගේ හෝ නාට්‍යයක දර්ශනයෙන් පසු එක දිගට බොමින් තවත් ඒවා මේවා උරමින් මද්දල් නන්දෙගේ ඩෝලයට එලිවෙනකං ගී කියා එතනම වැටී නිදාගත්තෙමු. එවකට භානු බ්රේක් ඩාන්ස් වලට වහ වැටි සිටි අතර මමද එසේම ඇලූම් කල බැවින් අපි කොළඹ පුරා ඇති බ්රේක් ඩාන්ස් සංදර්ශන බලන්න රෑ තිස්සේ ගියෙමු. පසුව භානු එවකට ඔහු රඟපෑ සොක්‍රටීස් නාට්‍යයටද බ්රේක් ඩාන්ස් යොදාගත්තේය. කෙසේ හෝ භානුට තිබුණේත් මට මෙන්ම අපිළිවෙලක් ඇති ජීවිතයක් බැවින් අපි හොඳට සෙට් උනෙමු.

බොහෝ විට භානු නාට්‍යයකට පැමිණියේ මේකප් කර යන්නට පමණක් නොව එහි ඇති සියල්ල කර යන්නටය. ඇටුත් කරලා, බසුත් බුක් කරලා මුකුත් නැතිව ගෙදර යනවා කියන අප අතර තිබ්බ ජනප්‍රිය විහිලූ කියමනට, ඇයි මේකපුත් දාලා නේදැයි කියමින් අපි භානුට විහිලූ කෙරුවෙමු. එවකට යෞවන සම්මාන මුල්වටයේ පෙන්වන නාට්‍ය වලට භානු මේකප් ඇතුළු අනිකුත් අංගවලින් උදවු කරන්නට යනවා මට මතකතය. ඒ බොහෝ තරුණ නාට්‍යකරුවන්ට ශ්‍රමටය සරිලන මුදලක් ගෙවීමට හැකියාව තිබුනා කියා මට හිතෙන්නේ නැත. බොහෝවිට ඒවා අතින් කයිට් වැඩ විය. භානුව හරියට හඳුනන්නේත් නැති නමුත් පහසුවෙන් ලබාගත හැකි බැවින් බොහෝ දෙනා කතා කරන්නේ භානුටය. මිතුරෙකු මට වරක් කී පරිදි සමහර තරුණයින් සිතා ඇත්තේ භානුව තරුණ සේවා සභාවෙන් නාට්‍ය වල උදව්වට යොදා ඇත කියාය.

භානුව මම දකින්නේ එච්. ආර්. ජෝතිපාල, විමල් කුමාර ද කොස්තා, සයිමන් නවගත්තේගම ආදී අනාගත සැලසුම් සහ පවුල් සංවර්ධනයට වඩා බීම, මිත්‍ර සමාගම සහ නිර්මාණයේ ආශ්වාදය වින්දනය කල අයකු ලෙසිනි. කොස්තා වැන්නන් පසුකාලීනව මේ තත්වය තුල විශාල ජීවන අර්බුද වලට පවා මුහුණ දුනි. භානු මුදල් සහ ජනප්‍රියත්වය ලැබෙනවිට පිළිවෙලක් වෙන්න කලබල නොවුන වර්ගයේ එකෙකි.

නූතන සිංහල නාට්‍ය කලා සංස්කෘතියේ භානු නියම බොහිමියානු(Bohemian) චරිතයකි. ලෝකයේ බහෝ රටවල භානුලා වැනි බොහිමියානුවෝ නගරාශ්‍රිතව ජීවත් වෙති. වැඩි මුදලක් අතේ නැත. ඕනෑම තැනක ඕනෑම විදියකට සෙට් වෙලා ඉන්න ලෑස්තිය. ජීවත් වෙන්නේ එදිනෙදා සතුට වෙනුවෙන්ය. බීම, ගංජා, මිතුරන්, කලා රසය සහ සෙක්ස් ආදියට වඩා යමක් සොයා යන්න උත්සහ නොකරයි. බේද නැත. තැනකට එන්නට අදහසක් නැත. හැබැයි සියලූ දුප්පතුන් බොහිමියානුවෝ නොවෙති. බොහිමියානු යනු දැනුවත්ව හෝ නොදැනුවත්ව ජිවත් වන විදියක් මිස පොහොසත් වෙනකං බලා සිටිනා දුප්පතෙක් නොවේ. එය පිට සිට බලනා විට එක්තරා ජීවන දර්ශණයකි. සියලූම බොහිමියානුවෝ එක වගේ නොවන අතර සෑම බොහිමියානුවෙක්ම හොඳ මිනිහෙක් යන්නද ඉන් නොකියවේ. ඒත් භානු හොඳ එකෙකි.

භානු වැනි සංස්කෘතිකව වඩා විමුක්තිකාමීව ජීවත් වන්න උත්සාහ කල අවංක උන් අපේ නාට්‍ය කලාව තුළ තවත් මට හමුවී ඇත. ඒත් ඒ බොහෝ දෙනෙකු විවිධ හේතු මත නැති වී හෝ වෙනස් වී ගියහ. මට හමු වූ අයගෙන් බොහෝ දෙනෙකු නැති වී ගියේ මැද පන්තික ගැහැණු කසාද බැඳ කුටුම්බ වලට ඇදගෙන යාමෙන්ය, ඒ ගියා ගියාමය, තාමත් උන්ට වෙච්ච දෙයක් නැත. ඒ ගෑණුන්ට එකල තරුණ වියේ සිටි ඔවුන්ව හොඳ රස්සාවක් සමඟ දිනපතා එකම තැනකින් සෙක්ස් දීමේ පොරොන්දුව මත වෙනස් කල හැකි විය. මේ වන විට මැදිවිය ඉක්මවා යමින් සිටින ඔවුන් මෙතනින් එහාට යාමට නව දර්ශනයක් සොයමින් හොඳට ස්වයං වින්දනයේ යෙදෙනවා ඇතැයි සිතමි.

සමස්තයක් වශයෙන් ගත්විට අපගේ සිංහල නාට්‍ය සංස්කෘතිය නිර්මාණය වී ඇත්තේ භානුලා වැනි සංස්කෘතිකව වඩා විමුක්තිකාමීව ඉන්නට හදන චරිත වලින් නොව එහි අනිත්පැත්ත වන කලාව හරහා වැදගත් මහත්මයෙක් වන්නට හදන කුහක චරිත වලින්ය. බොහෝ අය තුළ ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ කිසියම් විවෘත භාවයක් තිබුණද, තමන්ගේ වැඩ ක්‍රමයෙන් මතුවන විට, කලාකරුවකු ලෙසට ලැබෙන පිලි ගැනීමත් සමඟ තමා තත්වයක් ඇතිව ඉන්නා වැදගත් වගකිවයුතු සීරියස් කෙනෙක් බව පෙන්නන්ට හදයි. ඔවුන් කලාව කිරීමේ අරමුණ වන්නේ සමාජමය වශයෙන් තම පෞර්ෂය සහ බලය හදා ගැනීමය. තවදුරටත් ඉන් පැහැදිලි වන්නේ අප නිර්මාණ වලින් ප්‍රාර්ථනය කරනා සංස්කෘතික(ලිංගික) විමුක්තිය, අගතියෙන් තොර සමාජය, උසස් මිනිස් සම්බන්ධතා හා ආධ්‍යාත්මික විමුක්තිය සොයා යාම ඒ කී කලාකරුවාගේ අරගලය නොවන බවයි. ඒ කී සමාජය වෙනස් කිරීමට භානුලා වෙනම දේශපාලනයක් කළේ නැත. එහෙත් ඔවුන් ඒ විමුක්තියට යන මාවතේම නොවේ නම් අඩුම ගානේ ඒ ප්‍රධාන මාවතට ආසන්නම අතුරු මාවතක ඇත්තටම ජීවත් විය.

අද වන විට බටහිර යුරෝපීය ප්‍රධාන ධාරාවේ දැවැන්ත වෘත්තීය නාට්‍ය කලාවට දරුණු චෝදනාවක් ඇත. එනම් කෘති වශයෙන් ඒවා කෙතරම් පරිසමාප්ත වුවද නාට්‍ය කිරීමේ සමාජ උවමනාව වන සාමූහිකත්වය සහ මිනිස් සම්බන්ධතා වල බැඳීම ඒවා කරන සහ පෙන්වන වෘත්තිමය ආකෘතියෙන් අත්පත් කර ගැනීමට බැරිවීමය. ශිල්පීන් එකිනෙකා තම තමන්ගේ කොටස කර යන අතර නැරඹීම නම් කොටස ප්‍රේක්ෂකයින් කර යයි. එය ධනපති ක්‍රමය තුළම අපව පුහුණු කරන තම තමන්ගේ වැඩක් කරගෙන කීයක් හරි හොයාගෙන පැත්තකට වී ඉඳීමම වේ. මීට එරෙහිව විවිධ විකල්ප යෝජනා තිබෙන අතර භානුත් සමඟ අප කල නාට්‍ය කලාව මතක් වන විට මට කිව හැක්කේ එදා අප නොදැනුවත්වම අපගේ නාට්‍ය තුළ මේ ප්‍රශ්නය අපට ආවේනික බොහිමියානු ක්‍රමයකට විසඳාගත් බවයි. අප එකිනෙකා බැඳී තිබුනේ වෘත්තිමය තත්වයන් තුළින් නොව මිත්‍රත්වයේ කොන්දේසි වලින්ය. එය කළ හැක්කේ භානුලා වැනි කොන්දේසි රහිතව වැඩේට බැස්ස උන් සිටිනා තෙක් පමණි.

නිෂ්පාදනයේ සිට නාට්‍ය නැරඹීම දක්වා නාට්‍ය නම් වූ මේ අසිරිමත් කලාවේ ඇති විශේෂ ලක්ෂණය නම් එය සාමූහිකත්වය සහ සහජීවනය නම් මූලික මානුෂික උවමනාවක් වටා අති සුන්දර ලෙස බැඳී තිබීමයි. කිසිවෙක් විසින් අතට ඇති තරම් මුදල් සොයාගෙන අවසන්වී, කන්ඩ ඇති සියල්ලද කා අවසන් වී, මට මොකක්ද අඩුවක් දැනෙනවා, මොකක් ද හිස් බවක් දැනෙනවා යයි කිවහොත් ඔහුට හෝ ඇයට කියන්නට ඇත්තේ එන්න අපි නාට්‍යයක් කරමු කියාය. නමුත් හැමෝම කරන අරමුණින් නොව වෙනස් නාට්‍යයක් කිරීමේ අරමුණිනි. අපි දැන් නියම තැනට ඇවිත් තියනවා. අපේ අරමුණ අධ්‍යාත්මික හිස් බව පුරවාලීමය. එය ලබාගත හැක්කේ සාමූහික ආශ්වාදය තුළිනි. එය නාට්‍ය නැරඹීමට පෙර නාට්‍ය හැදීමේදීම ආරම්භ වේ. හොඳයි එවැනි නාට්‍යයකට ගන්නේ මොනවගේ කාස්ට් එකක්ද? ඒ භානුලා වගේ උන්වය.

(-රාවය. 2013.06.30)

ධනංජය කරුණාරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails