Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කුමාර හෙට්ටිආරච්චි ගේ අලුත්ම කාව්‍ය කෘතිය කියවා අවසන් කළ මම, බලවත් විමතියකට පත් වුණෙමි. මේ කවි සහෘදයාට - පාඨකයාට - හඳුන්වා දෙන්නේ කෙසේද? ඔහුගේ කවි විවරණය කරන්ට වුවහොත්, කාව්‍ය රචනා එකසිය කකින් පරිමිතව, ඩිමයි අටෙන් එකේ පිටු දෙසියයක් පුරා දිවෙන ඔහුගේ පොත වැනි දෙගුණයක නිබන්ධයක් කරන්ට සිදු වෙයි.

මෙම කවි සහෘදයා කැළඹීමටත් කම්පනයටත් පත් කරන රචනාය. අපගේ ජීවිතයත් අපගේ සමාජයත් අපගේ රටත් ලෝකයත් ගැන, අප දැන සිටින්නේ කොතරම් නම්, අල්ප මාත‍්‍ර වූ දෙයක්ද? සැබැවින්ම ඒ පිළිබඳව බැලිය යුතු වන දෘෂ්ටි කෝණයන්ගෙන්, අප එදෙස බලන්නේද? උඩින් උඩින් අඩි ඔබමින් හදිසියෙන් එගොඩ වනු මිස, ගැඹුරින් අප එය ප‍්‍රත්‍යක්ෂ කරන්නේද? අපගේම ජීවිතයටත් සමාජයටත් ලෝකයටත්, අප සෝදිසියෙන් කන් යොමාගෙන සිටින්නේද?

කුමාර හෙට්ටිආරච්චිගේ කවි කියවා අවසන් කරන විට, ඒ සියලු ප‍්‍රශ්නත් තවත් බොහෝ ප‍්‍රශ්නත් ඉස්මතු වනු වැළැක්විය නොහෙයි. මන්ද යත්, කවියකු යැයි හඳුන්වාගන්නා මෙම "ප‍්‍රහාරකයා" අප ඉදිරියෙහි කරන අභියෝගය, ඒ තරම්ම බරපතළද බලවත්ද වන හෙයිනි.

අපේ ජීවිතයත් අපේ ලෝකයත් මේ තරම් සැහැසි ලෙස නිරුවත් කළ අනෙක් කවියෙකුට මම සවන් දී නැත්තෙමි. ඒ තරමටම, සමාජය පිළිබඳව දිරවාගන්ට අමාරු ඇත්ත, අපගේ උගුරෙන් පහළට තල්ලු කරන කවි ලියන මෙවන් "මැරයකු" කිසිදා මම දැක නැත්තෙමි.

මේ කවි විවරණය කිරීමට අසීරු වන එක විශේෂ හේතුවක් ඇත. ඒ, මේ කවි ගලවාගන්ට බැරි තරමට, ජීවිතයත් සමාජයත් හා ඇලී බැඳී තිබෙන බැවිනි. අපට අභියෝග කරන කවියා, දත් විලිස්සාගෙන නගන සිනාහඬ මෙහි ලියවුණු හැම කවියකින්ම වාගේ ඇසෙයි. ඇත්තටම, විචාර සිද්ධාන්ත මත පිහිටා, විචාර යෙදුම්වල පිහිටෙන්, ජනප‍්‍රිය විචාර පද භාවිතයෙන්, මේ කවි විවරණය කරනු බැරිය. ඒවා විවරණය කළ යුත්තේ, ජීවිතයත් සමාජයත් නමැති මෙවලමෙන් පමණි. එබැවින් කුමාර හෙට්ටිආරච්චිගේ කවි සියල්ල සැලකිය යුත්තේ, අප වටා ඇති කටුක යථාර්ථය පිළිබඳ අර්ථකථනයක් හැටියටම පමණි.

එහෙත් මෙම අර්ථකථනය කරන්නේ සමාජ විද්‍යාඥයෙක් හෝ දාර්ශනිකයෙකු හෝ නොවෙයි. ඒ විවරණය, කවියෙකුගේමැයි. එහෙයින් අර සියලූ තන්හි නැඟී සිටින කවියා අමතක කරනු බැරිය.

මෙතැනද, කවියාගේ අමුත්තක් ඇත. කුමාර හෙට්ටිආරච්චි සිතන්නේත් මතන්නේත් පතන්නේත් ලෝකය දකින්නේත්, කවියෙන්ම පමණි. එසේ හෙයින් ඔහුගේ කවියම එකම අර්ථකථනයකි. තෝරාගත් එවන් කවි කිහිපයක් ගැන පමණක් පාඨක අවධානය යොමු කරන්ට මා අදහස් කරන්නේ, එකී ආස්ථානයෙහි පිහිටාය.

මෙම කාව්‍ය සංග‍්‍රහයේ මුල්ම විශේෂත්වය වනුයේ, කවියා අපගේ ජීවිතයත් සමාජයත් දකින ප‍්‍රමාණයයි. ඔහු නොදකින දෙයක් නැති තරම්ය. සමාජයේ හැම අඳුරු මුල්ලකටම ඔහු සිය තියුණු නෙත යොමු කරයි. හැම අගාධයකම පවත්නා මනුෂ්‍ය ජීවිතය, ඔහු විනිවිද දකියි. එහි බියකරුබව, ගෙන හැර පායි. ඒ අතරම, එතුළ සැඟවී ඇති මනුෂ්‍යත්වයද මේ බලවයි අප ඉදිරියේ දක්වයි.

කුමාර හෙට්ටිආරච්චි කවියා තමාගේ කවි නිමිති හැටියට තෝරාගන්නා මියගිය සහ ජීවත් වන සියලු චරිත, සමාජයේ උපරිස්තලයෙන් නොව, අන්ධකාර පත්ලෙන්ම තෝරාගන්නා ලදවුන්ය. ඔවුන් අතරින් මුලින්ම හමු වන්නේ බෝර සයිමන්ය. "බෝර ගහන සයිමන්, ගම වෙඩිමුරය" පමණක්ම නොවෙයි. ඔහු විවිධ කුසලතා ඇති, ගමේ ජීවිතය එළිය කරන හිත හොඳ අපූරු මිනිහෙකි. ගමට රුදුරු නියඟ ආ කලෙක පිං ළිඳ පතුල හාරන විට "කාගෙත් පිපාසය හැපුණේ ගලකය." "බඹ හත අටක් ගැඹුරේ ළිං පතුළ බලා" ගොස්, සේව නූලට ගිනි තැබූ සයිමන්, ගොඩගන්නට හැඩි දැඩි පිරිස කඹ පට උඩට අදින විට සිදු වූ විපත කවියා චිත‍්‍රණය කරන්නේ මෙසේය.

හෙනහුරු කළු ගලේ හැංගී විහිළු කළා
කඹ පට කැඩෙනු දුටු බෝරය අවදි වෙලා


බෝර සයිමන්ගේ චරිතයෙහි සැඟව තිබුණු මිනිසත් ගුණය, සහෘද සන්තානය මත කවියා ඇඳ දක්වන්නේ, මෙම පද චිත‍්‍රයෙනි.

ඉර හඳ බැල්ම පිං ළිඳ පතුලට වැටෙනා
දිය කැටපතේ මිනිසත් හසරැලි බිඳෙනා
හඳ ඇති රෑ ට ඉඳහිට කටහඬ ඇහෙනා
ඉර හඳ ඇති තුරා ළිඳ කඳුළින් පිරෙනා

බෝර සයිමන් පමණක් නොවෙයි, ගමේ නාඩගම්පොළේදී අලව් යකාගේ චරිතය පණ පොවන කරුණෙ, අසූවේ වැඩ වර්ජනයට පැනගෙන ගොස් හැත්තෑඅට වැනි වියෙහි පසු වන කුලතුංග, හලාවත ධීවර උද්ඝෝෂණයේදී වෙඩි කා ඔත්පලව පසුව මුහුදු රස්සාව කරගත නොහී ගෙල වැල ලාගත් ධීවරයා, සයිවර් කඩේ කොත්තු ගහන ජයපාලන්, කුඹුරක මායිමේ කෝන්තරයක් පිරිමහගන්ට ලොකු මස්සිනා කිතුලේ හැලියට දැමූ වස සහිත රා බී මියැදෙන "කිතුලේ නගින කප්පිත්තා ජිනදාස," කුණු ටැක්ටරේ ඩැයිවර සෝමසිරි, ලෑලිගෙයි වෙසෙන කාස ස්ත‍්‍රීලිංග හොටු සෙබඩ, ගමට වළං හදන සෝමේ සහ ඔහුගේ බිරිඳ සුසිලා සමඟ පැන යන සුනිමල්, දරිද්‍රතාවෙන් අසරණව කිරිකැටි දියණියට විස පොවා තමාද විස බී මියැදෙන අසරණ මව - යන මේ හැමදෙනාම, කුමාර හෙට්ටිආරච්චි කවියාගේ වීර පුරුෂයෝත් වීර කාන්තාවෝත් වෙති. කවියා මනුෂ්‍යත්වයේ සුන්දරත්වය දකින්නේත් පසක් කරන්නේත් ඔවුන් ඇසුරෙහිය.

වස බඳුනෙහි රස බලන අම්මා, දුව අමතන්නේ මෙවදන් වලිනි.

මගෙ රත්තරං දෝණි ඇකයෙම රැඳුන
සාගින්දරෙන් පිච්චී හසරැළි සිඳුන
ඇහුනද දුවේ, අම්මාගේ මේ වදන
මව්කිරිවලට වැඩියෙන් රස, වස බඳුන


ජීවත් වීමට තමන්ට ඇති අයිතිය උදුරාගන්නා නරුම සමාජයට වියරු විලාසයෙන් හිනාවෙන මේ අසරණ ගැහැනිය, තමන්ගේ කරුමය එසේ බාරගත්තද, එමගින් ඇය සකල මනුෂ්‍ය වර්ගයා වෙතම දික් කරන අධිචෝදනා පත‍්‍රයේ ඇති චෝදනා ඉතා බරපතළය.
කවියාගේ මේ වදන් තුළ සැඟව ඇත්තේ පරාජිත හඬක් නොව, අභියෝගයේ දෝංකාරයයි.

බඹරු වෙලා උපදිමු කටු කැළෑවක
දෙබරු වෙලා උපදිමු ගල් තලාවක
මොනරු වෙලා නයි බිජු කමු වෙලාවක
කබරු වෙලා අපි සැනසෙමු අපායක


කුමාර හෙට්ටිආරච්චිගේ වීර චාරිකාව එතැනින් නිමා නොවෙයි. දැන් වෑරී හුළං ගිය බැලූමක් බවට පත්ව සිටින බැලූන් මාමා, තලා හප කොට මරා කිරුළපන කුණු ඇළට වීසි කරන ලද සය හැවිරිදි කි‍්‍රෂ්ණ කුමාර් දුෂන්තනී, තී‍්‍රවිලරයේ තරබාරු බත් අම්මා, කරවල විකුණන නන්දෙ, ඇඟ මස විකුණා වැහැරුණු ගංජා බොන සැමියා රකින බ්ලූමැන්ඩල් කුණු කන්දේ නාරිලතා, වැල්වැටිතුරේ කන්තෝරුවේ සී සී ගුරුනාදන්, භීෂණ සමයේදී වෙඩි කා මියගිය පාලිත නමැති "රූමා" - යන මේ හැමදෙනමත්, ඔහුගේ වීරයෝ වෙති.

ජීවිත සටනින් දිනන පරදින මේ ගැහැනු මිනිසුන් අතර අපූරු චරිත දෙකක් පාඨකයාට මුණ ගැසෙති. ඒ දෙදෙනා නම්, තමාගේ අක්මාව හෙවත් කැවුත්තත්, තම ගර්භාෂයත්, උකස් කරන්නට පැමිණෙන සැමියෙක් සහ බිරිඳකි. ඒ සැමියාගේ බසින් රචනය අවසන් කරන කවියාගේ උත්ප‍්‍රාසාත්මක වදන්වලට සවන් දෙන්න.

ටිකක් සිරෝසිස් හින්දා
මගේ සොඳුරු අක්මාවේ ඩැමේජ් තියෙන්නත් පුළුවං
ඒ වුණාට ඉතිං සර්
මගේ රත්තරං ගෑනිගෙ ගර්භාෂේ
පෙරාපු රත්තරං වගෙයි අම්මපල්ල
බේර ගන්න බැරිව ගිහින්
සින්න වුණත් මොකද සර් අක්මාව
ඒ වුණාට මගෙ රත්තරං ගෑනිගෙ ගර්භාෂය
සින්න වෙන්න දෙනවද මං කීයටවත්
දරු පැටියෙක් හදා ගන්න අපි දෙන්නට
නැද්ද සර් මං අහන්නෙ.......


ඒ වදන් පිටුපස සිට දත් විලිස්සාගෙන සිනාසෙන කවියාගේ වියරු හඬද, පාඨකයාගේ ඇසෙන මානයෙහිමය.

ඊළඟට හමු වන්නේ "නම්බුකාර සංවාසයක යෙදෙන දෙමස් ගැබිනියකි."

මහත්තුරුනි මම වෙමි පැයකට බාරී
දෙමස් බබා කුස දඟලන හැඩකාරී


ඒය, අපගේ සමාජය පිළිබඳ බියකරු - දුෂ්ට - තිත්ත ඇත්ත නම්. ඒ සමාජයේ අඳුරු මුළුවලින් ඇත්ත ගෙන හැර දැක්විය හැක්කේ, තියුණු කවි නෙතින් බැලිය හැකි - ඒ අඳුරු මුළුවල සැඟවී තිබෙන මනුෂ්‍යත්වයත්, ඒ මනුෂ්‍යත්වයේ අප‍්‍රමාණ සෞන්දර්යයත් ස්වකීය ප‍්‍රතිභා නැණින් ස්පර්ශ කළ හැකි - කවියෙකුට පමණි. කවියා රචනය අවසන් කරන්නේ, උත්ප‍්‍රාස බහුල මෙවදන්වලිනි.

මහත්තුරුන් දෙන මුදලින් පාන් කමී
පාන් පිටිවලින් රුධිරය පෙරා ගමී
පෙකණිවැලෙන් ඒ රුධිරය දරුට දෙමී
ලොවින් උතුම් රටටම දරුවා වදමී


ඒ වනාහී, අලංකාරයේ සළුපිළි දවටා හීන් හ ඬින් හීන් සරින් රහසින් මෙන් කිව හැකි ඇත්තක් නොවෙයි. ඒ වනාහී, බඩේ බැඳගත් බෝම්බයක් මෙන් සමාජය ඉදිරියෙහි පුපුරුවා හළ යුතු ඇත්තකි.

ගල්ඔය මිටියාවතේ ගමක දහවැනි පන්තියේ ඉගෙනගන්නා සිරිමල්ගේ උප්පැන්නයේ පියාගේ නමක් නැත. එහෙත් සිරිමල්ගේ මව බලා සිටින්නේ, මේ පුතු ඇතුන් රෑනක් මැද, රජ වේය කියාය. පුතු ගිහිගෙය අතැර වනගත සෙනසුනකට ගොසිනි.

ඉනික්බිතිව සිදු වූයේ කිමෙක්ද?
පුතු මිස කිසිත් නැත මා දිවියෙන් පැතුවේ
පුතු වෙනුවෙන්ම මා ඇඟ මස දිය කෙරුවේ
පුතු නැති කලට මට කිසිවක් නැත මෙලොවේ
ඈ පැද්දුණා ගෙල වට හිර වූ ලණුවේ

(පපුව පැ ලුනා පුතේ ළසෝ ගිනි වියවුලේ)

දැන් මියැදී සිටින නොංචි කෝලම නැටූ සේදරන් සහ සොබනා, දිවි ගැට ගසාගන්ට බැරිව සිය දියණිය සල්ලාලයින්ට විකුණූ මව හා එසේ විකුණුනු දුව, පිං ගොනෙකුගේ අං පහරින් ඉල ඇට බිදී ඔත්පලව සිට පසුව දුවනගිරියක් කළ පද්මෙ, ගල්ඔය කොළනියේ පාසලෙන් හමුදාවට ගිය සත්මිණ, රඹුටන් ගෙඩියක් නිසා සිය මිතුරාගේ පො ලු පහරින් මිය ගිය හිච්චා නමැති දුප්පත් කම්කරුවා සහ තවත් බොහෝදෙනෙක්, කුමාර හෙට්ටිආරච්චිගේ කවි නිමිති වෙති.

එකම කාව්‍ය කෘතියකින් මේ තරම් බරපතළ ලෙස සමාජ පත්ල ස්වකීය නිර්මාණයේ විෂය භූමිය බවට පත් කළ අනෙක් වර්තමාන කවියෙකු ගැන සිතාගත නොහෙන තරම්ය.

කවියා මේ ගැහැනු මිනිසුන්ගේ චරිත සිත්තම් අඳින්නේ, ඔවුන් කෙරේ සඟවාගත් ඉමහත් කරුණාධ්‍යාශයෙනි; මානව භක්තියටත් වැඩි මානව ගෞරවයකිනි. එහෙත් ඔහු සමාජයටද අධිපති පන්තියටද රාෂ්ට‍්‍ර පාලනයටද එළිපිටම කරන චෝදනාව අතිශයින්ම ප‍්‍රකාශිතය. කුමාර හෙට්ටිආරච්චිගේ කවි, මේ තරම් බරට දැනෙන්නේ ඒ නිසාය.

කිසියම් සාහිත්‍ය නිර්මාණයක් ආත්ම කොටගන්නා මානව භක්තිය, හුදු මනෝමූලික වූ සත්තාවක් නොවිය යුතුය. ඒ වනාහී, කවියා තෝරාගන්නා කව්‍යානුභූතීන් තුළින් ඉස්මතු කෙරෙන සත්‍යයම විෂයය කොටගන්නා විෂයමූල සත්තාවක් විය යුතුය. කුමාර හෙට්ටිආරච්චි කවියාගේ බොහෝ රචනා, එකී කාරණයට උචිතතම නිදර්ශන සපයන්නේ වෙයි.

‘බ්ලූමැන්ඩල් කුණු කන්දේ පංචකාම මකරන්දේ" යන හිසින් එන රචනයේ එන "නාරිලතාව" යෙදෙන්නී, ගණිකා වෘත්තියෙහිය. ඒ, ගංජා බොමින් දිරාපත්ව සිටින සිය සැමියාද රකිනු උදෙසාය. ඒ සැමියා, "රොටියක් කද්දී ඈ ගැනද සිතා රොටියෙන් බාගයක් සරමෙ ඔතා" තියාගනියි.

සය හැවිරිදි ක‍්‍රිෂ්ණ කුමාර් දුෂන්තනී පිළිබ ඳ සිද්ධිය විෂය කරගෙන ලියන කවිය, නම් කර තිබුණේ "මහපොළොව පළි ගහන කිරුළපන ඇළේ වස් කවිය" කියාය.

තලා හපකොට රත්තරං දුව
මරාගෙන කා ඔබා වතුරට
දරාගනු හැකි වේද මෙවිපත
හිතක් පපුවක් තියෙන ඇලකට

එසේ ප‍්‍රශ්න කරන කවියා, "හොරට නිදනා සියලූ සාධු ජනයින්ට" පළි ගහන්නේ, කවියේ ඊනියා ධ්වනිතාර්ථ මත පිහිටා නොවේ.

සාධු ජනයිනි වරෙව් හනිකට
කාර කාරා කෙල ගහන්නට
උනා සිල්රෙදි වරෙව් හෙළුවෙන්
ඇලට සුළුදිය පහ කරන්නට


විශේෂ කොට ඇද දැක්විය යුතු එවන් රචනා රැසක් අතරින්, ඒ රචනා දෙක විශේෂයෙන් ගෙනහැර දැක්වූයේ, මෙම රචනාවන්හි උත්ප‍්‍රාස බාහුල්‍යයෙන් යුතුව ප‍්‍රකාශිත මානව භක්තිය විෂයමූල වූ සත්තාවක් බව හෙළි කරනු පිණිසය.

කවියා ඇතැම් සමකාලීන සිද්ධීන් උණු උණුවේම සිය නිර්මාණවලට නිමිති කරගනියි. උචිතම නිදසුන "පෙරේත තටුවේ නර බිලි කන්‍යා මස් පුළුටු කුයිල" නමැති හතළිස් තුන්වැනි රචනයයි.

සීයක් දැරිවියන් දූෂණයේ සතුට
සීයක් දැරිවියන්ගේ රුහිරය යකුට
සීයක් දැරිවියන් නර බිල්ලට විකුට
බල්ලෝ හංදි ගානේ නටවති නකුට
පාරිලෙයිය වනයේ මරු වැල් අදිමූ
පැටලෙන සතුන් මරලා දඩමස් ගෙනෙමූ
මිගදායේ මුවන්ගේ පීකුදු ගනිමූ
කන්‍යා පූජාව සමරා අපි නටමූ

කවියා සිය රචනයේ සිරස්තලයකට උපශිර්ෂයක් දක්වන්නේ මෙපරිදිය.

"කන්‍යාවියන් දූෂණය කළ පාපතරයෝ ඒ පාපය සමරා ප‍්‍රීති සාද පවත්වති."

කවියා සිය රචනයේ උත්ප‍්‍රාසය උපරිමයට ගෙන එන්නේ, "කිරි කළ හතක් නාලා පේවී හිඳිමූ - පැණි කළ හතක් කාලා ජවුසං නටමූ - රා කළ හතක් බීලා සව්දිය පුරමූ - ලේ කළ හතක් බීලා තෙරුවන් වඳිමූ" යන අවඥ්‍යාසහගත වදන්වලිනි.

මෙවන් අසංවිධානාත්මක විචාරයකින් කුමාර හෙට්ටිආරච්චිගේ මෙකී කාව්‍ය සංග‍්‍රහය ගැන පූර්ණ හැ ඳින්වීමක් කරනු අපහසුය. එහෙත් එක් විශේෂ රචනාවක් කෙරෙහි පාඨක අවධානය යොමු කරවන්ට කැමැත්තෙමි. "ෂෝක්නෙ රෙජීමය මාව හුරතල් කරන " යන හිසින් එන 37වැනි රචනයෙහිලා කුමාර හෙට්ටිආරච්චි බොරු ව්‍යංග නැතිව, ආලවට්ටම්ද නැතිව, කෙළින්ම කතා කරන්නේ, "රෙජීමය" ගැනය. රෙජීමය තමාට කරන්නේ කුමක්දැයි අපට පහදා දෙන ඔහු, අන්තිමට මෙසේද කියයි.

රෙජීමය
එරමිණිය ගොතාගෙන
මා උකුලෙ තියාගෙන
වඳින කොට
අපට ටීවී සාදු බණ කියයි
ෂෝට් කට් නිවන් මග කියා දෙයි
රෙජීමය
ඔන්න මා උඩ දමයි
කරකවා අතහරියි
දෙකම්මුල් රතු වෙන්ට
උම්ම දී
බුරිය ළඟ තිකි කවයි
මට හරිම සනීපයි


අප ජීවත් වන මෙම අවධිය බරපතළ වූ දේශපාලන, ආර්ථික, සමාජ සහ සදාචාරාත්මක වියවුලකින් පීඩනය වන, ඉතිහාසයේ තීරණාත්මක මංසන්ධියකි. එවන් පසුබිමෙක, අවංක සාහිත්‍යකරුවකුගේ කාර්යභාරය කිමෙක්දැයි මෙම කවියා සපුරා ප‍්‍රත්‍යක්ෂ කරගෙන සිටිනු දැකිය හැකිය. වර්තමානයේ මුළු මහත් සමාජ අර්බුදයම නියෝජනය කෙරෙන විවිධ කාව්‍ය නිමිති විෂය කරගෙන, කවියා කරන මෙම නිර්භය විවරණය, විමංසනශීලීව තමාගේ ලෝකය හ ඳුනාගන්ට පාඨකයාට කරන ආරාධනයකි. මේ කවි ගැන පාඨක විචාරක දෙපසම සාවධාන විය යුත්තේ එහෙයිනැයි කියන්ට මම නොපැකිළෙමි.

මෙම සටහන් කිහිපය අවසන් කරන්ට මත්තෙන් ස ඳහන් කළ යුතු විශේෂ කාරණයකි.

රචනා සමුච්චයෙහි එන පද්‍ය පන්ති රැසකම එන කාව්‍ය ආකෘතින් විමසා බැලිමේදී පෙනී යන කරුණක් වනුයේ, කවියා සවිඥානකව හෝ අවිඥානකව හෝ විමලරත්න කුමාරගමගෙන් ලබන ලද ආභාසයයි. කොළඹ කවි යුගයේ පරිණත අවධිය නිසැක ලෙසම නියෝජනය කළ කවීන් තිදෙනෙක් වෙති. ඒ, සාගර පළන්සූරිය, අල්විස් පෙරේරා සහ විමලරත්න කුමාරගමය. ඔවුන් තිදෙනා අතරිනුදු, වඩාත් ප‍්‍රමුඛ වන්නේ විමලරත්න කුමාරගමය.

බෝර සයිමන්, ආලවක දමනය, නොමියෙන මෙහෙවරක හැන්දෑවෙ අරුණැල්ල, වෙඩි සැර කාගෙන බෙල්ලට මරුවැල, අප‍්‍රමාණ දුක් දොම්නස් සංකාවේ ජීවිතය සොඳුරුතම උල්පතකි, කොත්තු ගිනි රස්නයක සංතාප සංධ්වනිය, අඳ ගොවි ගීතය නොහොත් මඩ කා වහ නොබොන පපුකැවුතු, කිතුලේ පැණිකඳ දෙදරා තිත්ත ගුඩුස්, ප‍්‍රමෝෂන් බලියකට කොටළු දුක් තොරොම්බල්, සරාගී මැටි කකා මළඉලව් හඳපානෙ, නෂ්ඨාවශේෂ මැද අකම්පිත පුන්කලස, දුවේ නුඹටයි නුඹේ මවටයි රස බලන්නට වස තිබේ, බැලුම් මාමා නොහොත් හුළං ගිය ජීවිතේ ප‍්‍රහර්ෂය, විප්පයෝගී අසනි වැස්සක අජීරණ මහ ගෙදර, පෙරේත තටුවේ නරබිලි කන්‍යා මස් පුළුටු කුයිල, යක්කු එක්ක වළ පල්ලෙම අලකලංචි, ත‍්‍රීවිලරේ හඳ පානට දහිරි ගඟේ, නිකන්වත් කිව්වෙ නෑ ඉක්මනින් යන බවක්, බ්ලූමැන්ඩල් කුණු කන්දේ පංචකාම මකරන්දේ, යාල්පානම් අව්වේ ප‍්‍රාණ වායුව බිබී, මචං උඹ තාම මගෙ රූමාය, දෙමස් ගැබිනි නම්බුකාර සංවාසේ, පපුව පැලුණා පුතේ ළසෝ ගිනි වියවුලේ, හැඩිවන අඳුරක කළු කිළුට, මෙහෙවරක දුක් හබල, හීන පිච්චෙන දුවනගිරියට පොළං දත් විළිස්සා, කොළනි ගම්දොර තවන කිරි පුසුඹ, ඔන්න ඔහෙ යං මචං හීනෙන්ම, බොක්ක ගිනිගත්තාම මාරයගෙ උකුල - යන මේ රචනා සියල්ලම විමලරත්න කුමාරගමගෙන් ලබන ලද ඉෂ්ටදායක ආභාසය නොමඳව පළ කරනු වැන්න.

ප‍්‍රහේළිකාවලද, ඊනියා සිංහල හයිකුවලද හුදු දෘශ්‍යගෝචර මෝස්තරවලද කොටු වී සිටින අද්‍යතන සිංහල කවියට, මෙම කවි මගෙහි තවත් බොහෝ දුර ගමන් කළ හැකි නොවේදැයි කවියා අපෙන් විමසා සිටිනු වැන්න. ඉහත ස ඳහන් කළ රචනාවන්හිදී, කවියා කුමාරගමගේ කවි රීතිය කිසියම් පමණකට ජනකවි රීතිය හා සංයෝග කරනුද දැකිය හැකිය. එමගින් ජන විඥානයට ආමන්ත‍්‍රණය කළ හැකි පුළුල් ප‍්‍රබල කාව්‍ය මාර්ගයකට ඉඩකඩ විවෘත වනුද, මෙම කාව්‍ය සංග‍්‍රහය තුළින් දැකගන්ට ලැබෙයි.

කුමාර හෙට්ටිආරච්චිගේ මෙම ප‍්‍රයත්නය කෙටි මං සොයන අද්‍යතන සිංහල කවි මග ගැන නැවත සිතන්ට අප පොළඹවන නිර්මාණ සමුච්චයක් බැව්ද අවසාන වශයෙන් කියනු කැමැත්තෙමි.

ඩබ්ලියු. ඒ. අබේසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails