Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



'ඉගිල්ලෙන මාළුවෝ' නොබලපු ගොඩක් අය දැං ඒ ගැන ලියන්නයි, කියන්නයි පටන් අරං... රාජ්‍ය මාධ්‍ය ලොක්කෝ, කළු ජූලියට උඩගෙඩි දුන්න ජාතිවාදී භික්ෂුවක්, රියර් අද්මිරාල් කෙනෙක් ආදී මෙකී නොකී අයට අමතරව තවත් මැට්ටෝ ගණනාවක්. මේ අයගෙ දැක්මට අනුව අපි නොදන්න හරි අපූරු කාරණා මේ වෙනකොට එළියට ඇවිත් තියෙනවා... මේ ඒවායින් ටිකක් විතරයි.

1. හමුදා සෙබලුන් නිවාස ඇතුළත මිස එළිමහනේ සංසර්ගයේ යෙදෙන්නේ නැත.
2. ඔවුන් රමණයේදී අස්වාභාවික ඉරියව් පාවිච්චිකරන්නේ නැත. ඒ සියල්ල කරනුයේ සිංහල සංස්කෘතියේ ආදර්ශමත් විධි ක්‍රම අනුවය.
3. හමුදාව ඉතා ශාන්තය. ඔවුන් දෛනිකව පංච ශීලය සමාදන්වන අතර තම බිරින්දෑවරුන් දෙස මිස වෙනත් කිසිදු ගැහැනියක දෙස රාගාන්විතව බලන්නේ හෝ අඩුතරමේ එවැනි සිතුවිල්ලක් හෝ ඇතිකරගන්නේ නැත.
4. හමුදාව කිසිදා පරුෂ වචන නොකියයි. සතුරාට පවා ප්‍රිය වචනයෙන්ම කතා කරයි.
5. චිත්‍රපට නිර්මාණයේදී 'මහින්ද චින්තනය'ට අනුකූලව තිරනාටකය ලිවිය යුතුය. ලොකුම දහම ඒකය.
6. 'ඉගිල්ලෙන මාළුවෝ' වැනි චිත්‍රපට නිපදවන්නේ එතෙරින් ලැබෙන ඩොලර් මලු වෙනුවෙනි.

චිත්‍රපටිය ගැන කතාකරන්න කලින් (මම ඒක බැලුවා), හමුදාව ගැන මට මෙහෙදි (දකුණේ සබරගමුවෙදි) තියෙන අත්දැකීමක් කියන්න හිතෙනවා. ඒ, ළමයි කීපදෙනෙකුත්, ආයුධ සන්නද්ධ සෙබළු කීපදෙනෙකුත් අතර වුණ සිදුවීමක්. මේක කවුරුවත් මට කියපු එකක් නෙවෙයි. පැත්තක ඉඳං දැකපු එකකුත් නෙවෙයි. මමයි තව යාළුවො දෙන්නෙකුයි මුහුණ දුන්න සිදුවීමක්. මතක හැටියට ඒ 1988 අවුරුද්ද අග්ගිස්ස... දවස හරියටම මතක නෑ... ඒත් සිද්ධිය මතකයි. ඒ වයස අවුරුදු දාහතරක් වුණ ළමයෙක් විදියට තමංගෙ මරණයේ භීතිය තුවක්කුවක් ළඟ දැනුණ මොහොතක් හැටියට.


සංජීව පුෂ්පකුමාරගේ 'ඉගිල්ලෙන මාළුවෝ' | sanjeewafilm.com

ඒ වෙනකොට ජවිපෙ දෙවෙනි කැරැල්ලේ කලබල කාලෙ. ජේවීපී කියන්නෙ මොකක්ද? ඒ ගොල්ලො හරිද? වැරුදිද? ඒ මොකවත් අපි දන්නෙ නෑ. අපි ඒ දවස්වල ඉස්කොලෙ නවය වසරෙ හිටිය, කොට කලිසම් අඳින කොලුකුරුට්ටෝ. රටේ කලබල සිද්ධවෙන කාලයක්, පාරතොටේ මිනී මැරුණ කාලයක් කියල විතරයි අපි දන්නේ. සෙනසුරාදාවක උදේ මගෙ යාළුවෙක් පාන්ගෙඩියක් ගෙනියන්න ළඟ කඩේට බයිසිකලේ ආපු ගමන් අපේ ගේ ඉස්සරහදි බෙල් එක ගැහුවා. මං එළියට ආවා. ඒ එක්කම අපේ පන්තියේ තවත් කොල්ලෙක් එතෙන්ට ආවා. ඒත් කඩේ ආ ගමන්. ඉතිං අපි තුන්දෙනා පාර අයිනෙ කතා කර කර ඉන්නකොට එකපාරටම පොඩි 'ලොරිබාගයක්' බ්රේක් ගැහුවා. තත්පරයකින් එළියට බැස්සෙ (නෑ... පැන්නේ) ආමිකාරයො රොත්තක්.

"...රි බල්ලෝ... තොපි මොකද යකෝ මෙතන කරන්නේ....."

ඒ අය අපිට තුවක්කු මානාගෙන බෙරිහන් දුන්නා. අපි තුන්දෙනාට තප්පර කීපයක් ගියා මේ වෙන්නෙ මොකක්ද කියල හිතා ගන්න. ඊට පස්සෙ තුන්දෙනාගෙන් වෙන වෙනම ආයෙමත් ඒකම ඇහුවා. (තිත්ත කුණුහරුප සහ තුවක්කු එල්ලය තවමත් අපි දිහාට)

"පාං ගන්න කඩේ ආවා....." යාළුවො කිව්වෙ තුෂ්නිම්භූතව.
"එතකොට තෝ.....?"
"අපේ ගේ මෙතන"
"දුවපියව් ...ගෙ පුතාලා වෙඩි කන්නැතුව... අපි ආපහු තොපි මෙතන හිටියොත් තියන්නෑ එකෙක්වත්..."

තවත් කුණුහරප වැලක් කියලා අපි තුන් පැත්තට එළවලා සෙබළු ටික යන්න ගියා.

ඊට පස්සෙ දවසක කර්නල් කෙනෙක් ආවා අපේ ඉස්කෝලෙට... ජවිපෙ කට්ටිය ඇවිත් පාසල් ශිෂ්‍යයො ගොනාට අන්දලා පෙළපාලිවලට අරන් යන කාලෙ. මේ කාලෙ වෙඩිපාරවල් වලින් මැරුණු පාසල් ශිෂ්‍යයො සමරන්න එක එක දේවල් කරන රැල්ලකුත් තිබුණා. කර්නල් ඇවිත් තිබුණෙ ඒ ගැන ළමයින්ට අමතන්න. ප්‍රින්සිපල් විශේෂ එසෙම්බ්ලියක් කැඳවලා ළමයින්ව ගෙන්නල දුන්නා.

"මේ ඉස්කොලෙ කිසිම ළමෙක් මැරිච්ච ළමෙක් සමරන්ඩ පාරට බැස්සොත් මම අනිවාර්යෙන්ම ඒ ළමයගෙ නමත් සැමරෙන අයගෙ ලයිස්තුවට ඇතුළත් කරල දෙනවා...."

කර්නල් තමංගෙ ගාම්භීර හඬින් කියපු ඒ වචනවල තිබ්බ ව්‍යංගය අපට එදා තේරුම් ගන්න බැරි වුණේ නෑ. ඒක තමයි 'ආමිඑක' ගැන මට තියෙන මුල්ම මතකය.


චිත්‍රපටයට එරෙහි උද්ඝෝෂණ- THEY CAN TRY, BUT FISH CAN'T FLY (Dailynews)


චිත්‍රපටයට එරෙහි උද්ඝෝෂණ- (thelocal.fr)

ඇත්තටම හමුදාවක් කියන්නෙ මොකක්ද? ඒක දේශපාලනිකව තේරුම් ගත හැකි මාක්ස්වාදී න්‍යායක් තිබිය යුතු වූ ජවිපෙත්, සංහිඳියාව වෙනුවට දෙමළා නම් සතුරාට එරෙහි වෛරයෙන් පාර්ලිමේන්තු ආසන තුළ වාඩිවුණ හෙළ උරුමයත් යුද මානසිකත්වයට පෝර දැම්මා... ඒගොල්ලෝ යුද්දෙ දවස්වල විශ්වවිද්‍යාල වගේ තැන් වල පවා රණවිරු බෝධි පූජා තිබ්බා. රාජ්‍ය විසින් නිර්මාණය කරපු මේ රණවිරු වන්දනාව තමයි පසුකාලීනව ලංකාවේ 'ප්‍රකාශනයේ නිදහස'ට එරෙහිව එසවුණ අවි වලට මුවහත දුන්නෙත්. 'ඉගිල්ලෙන මාළුවෝ' හදපු සංජීව පුෂ්පකුමාරට විතරක් නෙවෙයි, ඊට කළින් ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, සුදත් මහදිවුල්වැව වගේ අයගෙ නිර්මාණ වලට එරෙහි වුණෙත්. ආණ්ඩුව කරන්නෙ 'හමුදාවට අපහාස කිරීම' කියන ලේබල්එක ගහල තමන්ගෙ නිරුවත එළියට එන නිර්මාණ, ජනතාවගෙත් ලෝකයේත් ඇස්මානයෙන් තුරන් කිරීමයි. ඒ වෙනුවෙන් තමයි අන්තේවාසිකයින් හදන 'සිරිපැරකුම්' වගේ චිත්‍රපටි වලට වරප්‍රසාද දෙන්නේ.

කොහොම වෙතත්... හමුදා නිළ ඇඳුම් තුළ ඉන්නේ අප වැනිම ලෙයින් මසින් සැදි මිනිස්සු. හැබැයි වෙනසකට තියෙන්නෙ, රාජකාරිමය ලෙස ඔවුන් දිවි හිමියෙන් බැඳී ඉන්නෙ පවතින පාලකයා රකින්න. යුදකාමී පරිසරයක් තුළ ඔවුන් සැම විටම ඉන්නෙ නිර්භීතව නෙවෙයි. සැකයෙන් හා බියෙන්. ඒ නිසයි රටේ තීරණාත්මක මොහොතකදි පාරෙ හම්බවෙන කොල්ලෙකුට වුණත් තුවක්කුව මානන්නෙ. රෑ කැලේ ගහකින් කොලයක් වැටෙනකොටත් ඔවුන්ට මරණ භය දැනෙනවා විය හැකියි. ඒ විතරක් නෙවෙයි... පාලකයාට නැතිනම් රාජ්‍යයට අවශ්‍යය විදියට කරන මොළ සේදීමකට පසුවයි සෙබළෙක් රාජකාරියට ගන්නේ. 'රණ විරුවා' කියන්නෙ මේ ආකාරයේ 'මිනිස් බිළි' සිවිල් සමාජයට පත්තියං කිරීමේ භාෂාත්මක ගොඩනැංවීමක්. තමංගෙ පුතා, සැමියා, සහෝදරයා, පියා වෙඩි උණ්ඩෙකින් පපුව හිල් වෙලා, නැත්නම් බෝම්බෙකින් හත් අට කඩකට කැඩිලා මැරිලා ගියාම මව්පියන්, බිරින්දෑවරුන්, සොයුරු සොයුරියන්, දු දරුවන් සනසන්න අටවන ලද නාමකරණයක්. 'වීර මාතා' වැනි සම්මාන එහි භෞතික ප්‍රකාශනයක්. සතුරු පාර්ශවයේ සටන් කළ කේඩරයෙකුගේ ඉරණම වුණත් ඒකම තමයි. වෙනස නම් ගම් විතරයි.

දැන් යුද්දෙ ඉවරයි. ඒකෙ ඊළඟ අදියර වුණේ දෙමළ ජනයාගේ සිවිල් අයිතිවාසිකම් සුරැකෙන දේශපාලන විසඳුමක් නෙවෙයි. එයට විරුද්ධ වන සිංහල ජාතිවාදි මතය අනියමින් පෝෂණය කරමින් සහ ජීවිත දහස් ගණනක් බිළි ගත් යුද්ධය උත්කර්ශවත් මතකයක් බවට නිරතුරු සිහි කැඳවමින් වර්ගවාදි ජාන උත්තේජකයක් ලෙස එය පවත්වාගෙන යෑමයි. ආරක්ෂක අමාත්‍යාංශයට චිත්‍රපටයක් වහකදුරු වන්නේ මෙවන් පසුබිමක් තුළයි. කලක් 'එසැණ යුධ පුවත්' තලු මරමින් ලේ රහට හුරු කළ ජනතාවකට එක් අතෙකින් කලාත්මක යමක් ගැඹුරින් සංජානනය වේ යැයි හිතන එකත් මෝඩකමක්. මේ චිත්‍රපටයේ තියෙන්නෙ එක්තරා මායිම් ගමක යුද්ධය අතරවාරයේ මුහුණ දෙන පීඩාව. යුද්ධය ඔස්සේ එම ජීවිත චලනය වෙන හැටි. නමුත් මේ ලියන්නො කියන්නෙ එහෙම දේ වෙලා නැහැ කියලයි. උදාහරණයකට තමා ගැබිණියක කර පළාගිය හමුදා පෙම්වතාගේ රහසඟ එයාගේ පෙම්වතිය චරස්ගාල පිහියකින් කපනවා. එක ලියන්නෙක් පත්තරේකට මේ ගැන ලියල තිබුණෙ "ලංකාවේ කවදාවත් මෙහෙම දෙයක් වෙලා නැහැ. වුණා නම් පත්තරවල මුල් පිටුවෙම වැටෙනවා. බොරුවක් මේ සිනමාකාරයා පෙන්නල කියෙන්නෙ" කියලා. සිනමාව ඇතැම් දේ සංකේතීයව ප්‍රකාශ කරන මාධ්‍යයක් බව මොවුන් දන්නෙ නෑ. එක්කෝ දැනගෙන නොදන්නවා වගේ ඉන්නවා. සිදු වූ යථාර්ථයක් වුවත් සිනමා මාධ්‍යයෙදි ප්‍රතිනිර්මාණය වෙනකොට තථ්‍ය කාලය හා අවකාශය රූප මාධ්‍යයෙන් නිරූපනය කරන්නෙ වෙනත් ආකෘතිමය ස්වරූප වලින් කියන දේ නොදැනීම හෝ නොතැකීම ගැන අනුකම්පා කළ හැකියි කියමුකො. ඒත් ප්‍රශ්නෙ සමහරුන්ට චිත්‍රපටය නොදැක, නොබලා ඒ ගැන ගොබ්බ කතා කියන්න තරම් ලැජ්ජාවක් නැතිකම. එක අතකට ඒකත් ඉතිං මාර ලාංකේය ගතියක්.

"චිත්‍රපටය නැරැඹුවෙ නෑ. දැනුම්වත් වීම් හරහා තමයි කරුණු සොයා බැලුවේ."
"අපේ හමුදා සෙබළුන් විසින් උතුරේ තරුණියන් දූෂණය කරන දර්ශන මෙහි ඇතුළත්"


පහුගිය ඉරිදා සිළුමිණට මෙහෙම කියල තිබුණෙ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලයි. අනේ පව්. එහෙම දර්ශනයක් මේකෙ නැහැ. කව්රුහරි එතුමාව ගොනාට අන්දලා. සමහර විට සුදර්මන් ද දන්නෑ.. හැබැයි... කැමැත්තෙන් සෙබළෙක් එක්ක තරුණියක් ලිංගිකව හැසිරෙන දර්ශන මේකෙ තියෙනවා.


සංජීව පුෂ්පකුමාරගේ 'ඉගිල්ලෙන මාළුවෝ' | sanjeewafilm.com

ගමක මිලිටරි කණ්ඩායමක් ස්ථාන ගත කළාම ඉන් සිවිල් සමාජීය ජීවිතවලට වලට වෙන බලපෑමක් ඒ හරහා මතු වෙනවා. නමුත් දැන් එළඹෙන්න නියමිත සිනමා විචාරය හරහා චිත්‍රපටයක් කියවීමේ හෝ කතිකාවක් ගොඩනැගීමේ අවස්ථාව නෙවෙයි. අදාළ සාකච්ඡාව කළ මාධ්‍යකරුවා 'සුළඟ එනු පිණිස' ගැනත් මතක් කරල පාස් කරල තියෙන බෝලෙට දෙන ඩෑෂ් ප්‍රහාරයක් විදියට හුළුගල්ල නමැති නිළධාරියා දීල තියෙන පිළිතුරෙන් එළියට එන්නෙ ඒ දේ.

"'සුළඟ එනු පිණිස' ප්‍රදර්ශනය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ලේකම් වීමට පෙරයි. එතුමා පත්වුණාට පස්සෙ එහෙම දේවල් සිදුවෙන්න ඉඩ දෙන්නෙ නෑ."

මේ ප්‍රකාශනයේ අදහස "මහින්ද චින්තනය අනුව චිත්‍රපටි හදපල්ලා", එහෙම නොවෙන හැම එකක්ම පෙනන්න දෙන්නෙ නෑ කියන එක නෙවෙයි ද? 'ඉගිල්ලෙන මාළුවෝ' නොබලා ඒ ගැන අදහස් දක්වන දිගාමඩුලු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර කියන දෙයිනුත් ඒක තහවුරු වෙනවා. ඔහුගේ අදහස දේශයට හිතකරව ප්‍රශ්න දෙස බලා නිර්මාණ කළ යුතු බවයි. මෙතනදි "දේශයට හිතකරව" කියන්නෙ මහින්ද චින්තනයට අනුව කියලා කියවා ගන්න "හඳගමලා, විමුක්තිලා එල්ලා මැරිය යුතුයි" කී වීරසේකර ගැන දන්නා අයට අරුමයක් නෙවෙයි.

'ඉගිල්ලෙන මාළුවෝ' හරි නැත්නම් මොන චිත්‍රපටය ගැන හරි දේශපාලනික හෝ වෙනත් මතවාදීමය තලයක හෝ කරුණු මතු කර ගත යුත්තේ කෘතිය සේවනය කිරීමෙන් පසු විචාරයට යටත් කිරීමෙන්. නමුත් මේ මොහොතේ රෙජීමය විසින් මෙසේ තම අම්බැට්ටයන් ලවා මතු කරන විසංවාදයන් මගින් නිර්මාණ ප්‍රේක්ෂක හා විචාරක ඇස නොගැටෙන සේ සැඟවීම ගොබෙල්ස් පන්නයේ පැසිස්ට්වාදී ක්‍රියාවක්.

'ඉගිල්ලෙන මාළුවෝ' අති විශිෂ්ට චිත්‍රපටයක්ද? එසේ නොවන්නක්ද? කීම නෙවෙයි මේ සටහනට අරමුණු වුණේ. එය තිරගත කිරීමේ නිදහස එහි නිර්මාණකරුවන්ටත්, එය නැරඹීමේ පුරවැසි අයිතිය ප්‍රේක්ෂකයාටත් ලැබිය යුතුයි කියන කාරණයයි.

එහෙම නොවුණොත් හෙට දවසේ ඉතිරි වෙන්නෙ මහින්ද චින්තනයෙන් හුරතල් වෙන 'බබා උක්කුං' වර්ගයේ සිනමාවක් විතරක් වෙන්න පුළුවන්. මොකද අද 'ඉගිල්ලෙන මාළුවන්ට' දාපු දැළ හෙට කිසියම් දැක්මක් සහිත තවත් නිර්මාණයක් දඩයම් කරන්න මේ ගොල්ලො දාන්න නියමිතයි.

විකුම් ජිතේන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails