Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ෆෙඩි‍්‍රක් ජෙම්සන් ඔහුගේ නවතම කෘතිය වන 'මාක්ස්ගේ ප‍්‍රාග්ධනය නැවත කියවීම' තුළ ලෝක වෙළඳපොළෙහි නෛසර්ගික ප‍්‍රතිවිරෝධතාවය හඳුනා ගනී. එනම් ධනවාදයේ උපරිම සාර්ථකත්වය (මූලික වශයෙන් ඉහළ නිෂ්පාදනයක්) විසින් විරැකියාව බිහි කරන අතර (ශ‍්‍රමිකයින් ක‍්‍රම ක‍්‍රමයෙන් වටිනාකමක් නැති තත්වයට පත් වේ.) එම ආශිර්වාදය; ශ‍්‍රම අවශ්‍යතාවය අඩුවීම, අනෙක් අතට ශාපයක් බවට පත් වේ.

ජෙම්සන් මතු කරන පරිදි එබැවින් ලෝක වෙළඳපළ යනු "සෑම දෙනාම නිෂ්පාදන කම්කරුවකු වන අවකාශයක් වන අතර සමාජ පද්ධතිය පුරාවටම ශ‍්‍රමය එමඟින් වටිනාකමක් අත් කර ගනී." එම නිසා ප‍්‍රාග්ධන ගෝලීය ක‍්‍රියාවලිය තුළ ‘රැකියා වියුක්ති කුලකය’ එයට උරුම ‘අතිරික්ත ශ‍්‍රම බලකාය’ නමැති සාම්ප‍්‍රදායික නාමකරණයෙන් ඔබ්බට ගිය නව මානයක් අත් කරගනී. එය පහත පරිදි සංශෝධනය විය යුතුය. එනම් "ලෝකය පුරා සිටින එවැනි අති විශාල ජනගහණයක්; ‘ඉතිහාසය විසින් අත්හැර දමන ලද ජන කොටස්’, පළමු ලෝකයේ ධනේෂ්වර ක‍්‍රමයේ නූතනත්ව ව්‍යාපෘති හරහා සචේතනිකවම බැහැර කර ඇති අතර ඔවුන් බලාපොරොත්තු විරහිත හෝ ආන්තිකකරණය වූ කොටස් ලෙස ලියැවී ඇත."

එබැවින් රැකියා වියුක්තිකයන් අතරට ‘අසමත් රාජ්‍යයන්’ වල (කොංගෝ සහ සෝමාලියාව වැනි) ජනතාව, ආහර හිඟවීම හෝ පාරිසරික විනාශයන්ගෙන් විපතට පත් වූවන්, ව්‍යාජ- ඓතිහාසික වාර්ගික අන්තවාදයන්ගේ පැටළුණු පුද්ගලයන්, සහන සේවාවල හෝ යුද බියට ගොදුරු වූවන් ද අප අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතුව ඇත.

ඉහත කරුණු සලකා බැලීමේදී තාවකාලිකව රැකියා වියුක්ත පුද්ගලයින්ගේ සිට තවදුරටත් රැකියාවල නියුතු නැති පිරිස් ද ස්ථීරවම රැකියා වියුක්ත පුද්ගලයන් මෙන්ම මුඩුක්කු සහ අනෙකුත් ආකාරයේ ස්ථානවල ජීවත් වන්නවුන් ද (-ලූම්පන් නිර්ධනපාන්තිකයන් ලෙස හඳුනා ගැනීම නිසා මාක්ස්ට ද මේ සියළු දෙනාම මග හැරුණි-) අවසාන වශයෙන් ඓතිහාසික සිතියම්වල හිස් අවකාශ මෙන් ගෝලීය ධනේෂ්වර ක‍්‍රියාවලිය මගින් බහිෂ්කරණය කරන ලද ප‍්‍රදේශ, ජනගහනයන් හෝ රාජ්‍යයන් ද ඇතුළත් කර ගන්නා වූ පුළුල් පරාසයක් දක්වා රැකියා වියුක්ත කුලකය ප‍්‍රසාරණය කළ යුතු වේ. ඉතිහාසයේ නිෂ්ක‍්‍රීය පසුබිමක ස්ථානගත වී ඇති මෙම ‘රැකියා වියුක්ත’ කවය පුළුල් කිරීම, විමුක්තිකාමී අරගලයේ විභවයක් සහිත ඒජන්තයෙකු බිහි කිරීමේ ක‍්‍රියාවලියක් විය නොහැකිද? මාක්ස්ගේ දහ අටවන බෲමරයෙහි(Eighteenth Brumaire) ප‍්‍රංශ ගොවි කම්කරුවන් පිළිබඳව ඔහුගේ නොසකලා හරින සුළු විදහා දැක්වීම් මදක් සිහිපත් කරමු.

"ප‍්‍රංශ ජාතියේ ශ්‍රේෂ්ඨ හරය ගොඩ නැගී ඇත්තේ සමජාතීය හරයන්ගේ සරල එකතුවෙනි. ඒ කෙසේදයත් ගෝනියක ඇති අල වලින් අල ගෝනියක් නිර්මාණය වනවා සේ මෙම දුප්පත් ගොවි කම්කරුවන් අතර හුදෙක් දේශීය අන්තර් සබඳතාවක් ඇති අතර ඔවුන්ගේ ආශාවන්ගේ අනන්‍යතාවය මගින් ප‍්‍රජාවක් හෝ දේශපාලන සංවිධානයක් හෝ ගොඩනැගී නොමැති නිසා ඔවුනට පන්ති නිර්මිතයක් නොමැත. එම නිසා පාර්ලිමේන්තුවක් හෝ සම්මුතියක් හෝ හරහා ඔවුන්ගේම නමින් ඔවුන්ගේ පන්තිමය ආශාවන් අත්කර ගැනීමට අපොහොසත් වේ. ඔවුනට ඔවුන් විසින්ම නියෝජනය විය නොහැකි අතර ඔවුන්ව නියෝජනය කළ යුතු වේ."

විසිවන ශතවර්ෂයේ ගොවි කම්කරුවන්ගේ (චීනයේ සිට බොලීවියාව දක්වා) ශ්‍රේෂ්ඨ විප්ලවකාරී නැගිටීම් මගින් මෙම ‘අල ගෝනි’ ඓතිහාසික ක‍්‍රියාවලියෙන් බැහැර කරන ලද අතර ඔවුන් විසින් තමන්වම සක‍්‍රීයව නියෝජනය කර ගැනීමට පටන් ගැනුණි. නමුත් ජෙම්සන් විසින් ඉතා වැදගත් නිරීක්‍ෂණයක් ගෙන හැර දක්වයි. එනම් මෙම ‘රැකියා වියුක්ත’ නව කුලකය ධනේෂ්වර සූරාකෑමේ එක් ආකාරයක් වන අතර මෙහිදී සූරා කෑමට ලක්වන්නන් ප‍්‍රාග්ධනයට අවශ්‍ය පරිදි අතිරික්ත වටානකම නිෂ්පාදනය කරන කම්කරුවා පමණක් නොව සූරාකනු ලැබූ වැටුප් ශ‍්‍රමයේ ප‍්‍රාග්ධන දියසුළියට හසුවීමෙන් වැළකුණු අය ද අයත් වේ.

මෙය සූරාකෑම නමැති සංකල්පය පිළිබඳව නැවත සිතා බැලීමට අපව පොළඹවනු ලබයි. වර්තමානයේදී සූරා කෑමට ලක්වන්නේ භාණ්ඩ නිෂ්පාදකයා හෝ ‘නිර්මාණකරුවා’පමණක් නොවේ. යමක් නිෂ්පාදනය නොකරන්නන් ලෙස හෙළා දකිනු ලබන්නන් ද සූරා කෑමට ලක් වේ. සියල්ල රඳා පවතින්නේ, ධනේෂ්වර යාන්ත‍්‍රණයට අවශ්‍ය වන්නේ ශ‍්‍රමිකයන් පමණක් නොව රැකියාවක් සොයාගත නොහැකි ‘අතිරික්ත බලකායක්’ ද බිහිකිරීම යන කරුණ මතය. පසුව සඳහන් කළ කණ්ඩායම ප‍්‍රාග්ධන ක‍්‍රියාවලියෙන් පරිබාහිර පිරිසක් නොව ‘වැඩ නොකිරීම’ හරහා එයට සක‍්‍රීයව සම්බන්ධ වන පිරිසකි.

සූරාකෑම පිළිබඳ අවධාරණයේ මෙම වෙනසෙහි ඇති වැදගත්කම මනාව පැහැදලි වන්නේ "බලයෙහි ක්‍ෂුද්‍ර දේශපාලනයන්" පිළිබඳ පශ්චාත් නූතනවාදී විවිධ මානයන් අතරින් ආකර්ෂණීය ස්වරූප වන ‘අධිපතීත්වය’ට අප එරෙහි වූ විටය. ඉතා සරළව පැහැදිලි කළහොත් ඒ සඳහා මිචෙල් ෆුකෝගේ සහ ජෝර්ජියෝ අගම්බෙන්ගේ (Georio Aagamben) බලපෑම්සහගත න්‍යායන් ප‍්‍රමාණවත් නොවේ. අධිපතීත්වයේ බල යාන්ත‍්‍රණයන් පිළිබඳව ඔවුන්ගේ විස්තරාත්මක පැහැදිලි කිරීම්, හිස් ජීවිත (Bare Life) සහ හෝමෝ සැකර් (Homo Sacer) පිළිබඳව ඔවුන්ගේ සංකල්පයන් සහ අනෙකුත් පැහැදිලි කිරීමේ සූරාකෑමෙහි කේනද්‍රයෙහි ස්ථානගත කළ යුතුය. ආර්ථිකයට සම්බන්ධ නොවී පවතින අධිපතීත්වයට එරෙහි අරගලය පිළිබඳව ජෙම්සන් නිවැරදිව දක්වා සිටින්නේ; "එය නිෂ්පාදන මාදිළියේ පරිවර්තනයකට වඩා කැරළි හෝ ප‍්‍රතිවිරෝධී ක‍්‍රියා මෙහෙයවන සදාචාරාත්මක හෝ චාරිත‍්‍රමය ක‍්‍රියාවන්ට ඉලක්ක ගත වනු ඇත."



වෙනත් ආකරයකට පවසනවානම් සූරාකෑම පිළිබඳ අවධාරණයේ අවසන් ප‍්‍රතිඵලය කොමියුනිස්ට්වාදී වැඩපිළිවෙලක් වන විට අධිපතීත්වය පිළිබඳ අවධාරණයේ අවසන් ප‍්‍රතිඵලය ප‍්‍රජාතාන්ත‍්‍රික වැඩ පිළිවෙලකි. අධිපතීත්වය් ප‍්‍රතිඵලයක් ලෙස තුන්වෙනි ලෝකයේ ඇති වී ඇති භයානක තත්ත්වයන් විස්තර කිරීමේ සීමාව මත ඉහත කී තත්ත්වය රඳා පවතී. අධිපතීත්වය පිළිබඳ මෙම අදහස තහවුරු කිරීමට අසමත් වන කාරණය වන්නේ ආර්ථිකයේ ක‍්‍රියාරීත්වයට අදාලව ධනවාදයේ දී පමණක් සූරාකෑම ස්වාභාවිකකරණය වී ඇති බවයි. අධිපතීත්වය, අතිරේක ආර්ථික පීඩනයේ සහ ප‍්‍රචණ්ඩත්වයේ ප‍්‍රතිඵලයක් නොවේ. එනම්, ධනවාදයේ පුද්ගල නිදහස සහ සමානාත්මතාවය අවට පවතී. එහිදී ඍජු සමාජ අධිපතීත්වයක අවශ්‍යතාවක් නොමැත. මන්ද නිෂ්පාදන ක‍්‍රියාවලියේ ව්‍යුහය තුළම අධිපතීත්වය අන්තර්ගත වන බැවිනි. අතිරේක වටිනාම පිළිබඳ සංකල්පය වැදගත් වන්නේ ද මේ නිසාය. ආර්ථික හුවමාරු භාණ්ඩයක් ලෙස තම ශ‍්‍රම බලයට හිමි සම්පූර්ණ වටිනාකම හිමි වීමේ අර්ථයෙන් (නීතියක් ලෙස); මාක්ස් හැමවිටම අවධාරණය කළ පරිදි, කම්කරුවා සහ ප‍්‍රාග්ධන හිමිකරුවා අතර ඇති හුවමාරුව ‘සාධාරණය’. මෙහි ඍජු සූරාකෑමක් නොමැති අතර එය, තමන් විසින් ප‍්‍රාග්ධන හිමිකරුවාට විකුණනු ලබන භාණ්ඩයට හිමි සම්පූර්ණ වටිනාකම ශ‍්‍රමිකයාට නොගෙවීම පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. එබැවින් වෙළඳපළ ආර්ථිකය තුළ මම සැබැවින්ම යැපෙන්නෙකු වන නමුත් එය ‘ශිෂ්ඨසම්පන්නය’. එනම් එය භෞතික බලහත්කාරය හෝ ඍජු දාසභාවයේ ස්වරූපයක් වෙනුවට මම සහ අනෙක් පුද්ගලයන් අතර ඇති ‘නිදහස්’ වෙළඳ හුවමාරුවක ස්වරූපයක් වේ.

අයන් රැන්ඩ්(Ayn Rand)ව හාස්‍යයට ළක් කිරීම පහසු නමුත් ඇයගේ ප‍්‍රධානතම කෘතිය වන Atlas Shrugged හි අන්තර්ගත වන සුප‍්‍රසිද්ධ "ධනය සඳහා ගීතිකා" (Hymn to Money) හි සත්‍යයේ බීජයන් අඩංගු වේ.

"සියළු යහපත් දෙයෙහි මූලය ධනය බව ඔබ අවබෝධ කර ගන්නා තුරු සහ ඔබ විසින් එය අවබෝධ කර නොගතහොත් ඔබ විසින්ම ඔබේ විනාශය කැඳවා ගනී. පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවන ගණුදෙනුව නැවැත්වීමේ මාධ්‍ය බවට මුදල් පත්වුවහොත් මිනිසා අනෙක් මිනිසාගේ උපකරණයක් බවට පත් වේ. එය රුධිරය, කසයන්, තුවක්කු හෝ ඩොලර් විය හැකිය. ඔබගේ තෝරා ගැනීම සිදු කරන්න."

හුවමාරු භාණ්ඩය නමැති විශ්වය තුළ ‘මිනිසුන් අතර සබඳතා, භාණ්ඩ අතර සබඳතා ස්වරූපයෙන් නිර්ණය වේ‘ යන මාක්ස්ගේ ප‍්‍රසිද්ධ කියමන තුළ මෙයට සමාන අදහසක් ප‍්‍රකාශ නොවේද? වෙළඳපල ආර්ථිකය තුළ පුද්ගලයන් අතර සම්බන්ධතා, අන්‍යෝන්‍ය වශයෙන් හඳුනාගත් නිදහසේ සහ සමානත්වයේ සම්බන්ධතා ලෙස දෘෂ්‍යමාන විය හැකිය. කෙසේ උවත් අධිපතීත්වය තවදුරටත් ඍජුව ක‍්‍රියාත්මක වීම හෝ දෘෂ්‍යමාන වීම සිදු නොවේ.

අධිපතීත්වය සඳහා ලිබරල් පිළිතුර නම් ‘පිළිගැනීමයි’ (Recognition). මේ නිසා ජෙම්සන්ට අනුව ‘පිළිගැනීම’ යනු "සාමකාමීව සහ ඡන්ද පදනම මත බෙදුණු විවිධ කණ්ඩායම් වලින් සැදුම්ලත් බහු සංස්කෘතික ස්ථාපිතයන්ට පදනමකි." මෙම පිළිගැනීමෙහි විෂයයන් යනු පන්තීන් නොවේ. (සාමූහික විෂයයක් ලෙස නිර්ධනයින්ගේ පිළිගැනීම ඉල්ලා සිටීම අර්ථ විරහත වේ. ඒකාධිපතීත්වය තුළ මෙම පන්තීන්ගේ අන්‍යෝන්‍ය පිළිගැනීම ඉල්ලා සිටිනු දැකිය හැකිය) ජාතිය, ස්ත‍්‍රී- පුරුෂ සාමජභාවය වැනි කරුණු මගින් පිළිගැනීමෙහි විෂයයන් අර්ථ ගැන්වී ඇත. බුර්ෂුවා සිවිල් සමාජ රාමුවට සීමා වී ඇති මෙම පිළිගැනීමෙහි දේශපාලනය තවමත් පන්ති දේශපාලනික ස්වරූපයක් ගෙන නොමැත.

සමකාලීන වමෙන් නැවත නැවතත් සිදුවෙමින් පවතින කාරණය නම් "නව ලෝකයක්" පිළිබඳ බලාපොරොත්තුව දෙමින්, විශ්වීය උද්ඝෝෂණ පෙරදැරිව බලයට පත්වන නායකයෙකු හෝ පක්‍ෂයක් (උදාහරණයක් ලෙස දකුණු අප‍්‍රිකාවේ මැන්ඩෙලා හෝ බ‍්‍රසීලයේ ලූලා ද සිල්වා) ඉක්මනින්ම හෝ පසුව මූලික දෙගිඩියාවකට අභිමුඛ වීමයි. එනම් ධනේෂ්වර යාන්ත‍්‍රණය අවුල් කිරීමට අවශ්‍ය ධෛර්ය තිබේද? නැතිනම් එලෙසින්ම පවතින සෙල්ලම කරගෙන යනවාද යන්නයි. යමෙක් එම යාන්ත‍්‍රණයට බාධා කළහොත් වෙළඳපළ අර්බුදයන්, ආර්ථික ව්‍යාකූලත්වයන් සහ අනෙකුත් ක‍්‍රියාවලීන් මගින් ක්‍ෂණිකව ඔවුන්ට දඬුවම් කෙරේ.

එබැවින් ධනවාදයට විරුද්ධ වීම දේශපාලන ක‍්‍රියාවක ඍජු ඉලක්කය නොවන බව සත්‍යය වන නමුත් දේශපාලනයේදී යමෙක් හඳුනා නොගත් ‘සමාජ ක‍්‍රමයකට’ නොව සංයුක්ත දේශපාලන ඒජන්තයින්ට සහ ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් වලට එරෙහි විය යුතු වේ. මෙහිදී අප අරමුණ සහ ඉලක්කය අතර වෙනස පිළිබඳ ලැකානියානු විශ්ලේෂණය යොදා ගැනීම වැදගත් වේ. එනම් ධනේෂ්වර විරෝධය විමුක්තිකාමී දේශපාලනයේ ආසන්නතම අරමුණ නොවේනම් එය සියලූ ක‍්‍රියාකාරීත්වයන්ගේ සිතිජය, එසේත් නැතිම් අවසන් ඉලක්කය විය යුතුයි.

මාක්ස්ගේ ‘දේශපාලන ආර්ථිකයට විවේචනයක්’ හි අදහස මෙය නොවේද? ආර්ථික අවකාශයන් ‘අදේශපාලනික’ ස්වභාවයක් පෙන්නුම් කළ ද, දේශපාලන අරගලයන්ගේ පරිශීලනාත්මක සහ ව්‍යුහාත්මක මූලධර්මයන්ගේ සැඟවුණු ලක්‍ෂ්‍යය එයයි.

නැවත රැන්ඩ් වෙත යොමු වුවහොත් ගැටළුව වන්නේ ඇයගේ තර්කයෙහි යටි පෙළයි. එනම්, අධිපතීත්වයේ සහ සූරාකෑමේ ඍජු සහ වක‍්‍ර සබඳතා සමග අනෙකුත් ඕනෑම විකල්පයක් යුතෝපියාවක් ලෙස බැහැර කළ හැකි බවයි. කෙසේ වෙතත් මා මුලින් සඳහන් කළ පරිදි රෑන්ඩ්ගේ ප‍්‍රකාශය තුළ සත්‍යයේ මොහොත අප හඳුනාගත යුතුය. එසේ නොමැතිනම් එය අතාර්කික විඥානවාදී එළඹුමක් වේ. එනම්, රාජ්‍ය සමාජවාදයේ මහඟු පාඩම වූයේ නිෂ්පාදන ක‍්‍රියාවලියෙහි ස්ථාවර සමාජයීය විදීන්ගෙන් වියුක්ත වූ පුද්ගලික දේපල අහෝසි කිරීම සහ පාලිත වෙළඳපල හුවමාරුවක් ඇති කිරීම යනු අත්‍යවශ්‍යයෙන්ම වහල්භාවයේ හා අධිපතීත්වයේ ඍජු සබඳතාවයන් නැවත ක‍්‍රියාත්මක කිරීමකි.

උද්ඝෝෂණවල ශක්තිය ‘නිශ්චිත’ ප‍්‍රායෝගික ඉල්ලීම්වලට ක්‍ෂණිකව පරිවර්තනය වීමේ ක‍්‍රියාවලියට එරෙහිව මෙම අවධියේදී ප‍්‍රතිරෝධය දැක්විය යුතුය. උද්ඝෝෂණ මගින් හෙජමොනික දෘෂ්ටිවාදී ක්‍ෂේත‍්‍රයේ රික්තයක් නිර්මාණය කරන අතර එය සැබැවින්ම නව යමක් වෙනුවෙන් විවෘත වන ගැබ්බර රික්තයක් වන බැවින් එය නිසියාකාරයෙන් පිරවීමට කාලයක් ගතවේ.



සෑම විටම සිහියේ තබා ගත යුතු දේ නම් මෙහි පවතින ඕනෑම වාදයක් මෙන්ම අත්‍යවශ්‍යයෙන්ම සතුරාගේ භූමියේ ද පවතින වාදයක් තුළින් ගොඩනැගෙන නව තත්ත්වය කාර්යක්‍ෂමව ප‍්‍රයෝජනයට ගැනීමට කාලය අවශ්‍ය වන බවයි. අපගේ නිශ්ශබ්දතාවය හැර අප සඳහන් කළ සියල්ල කුඩා අවකාශයකට ගොනු කරවා ගැනීම, නැවත ගලවා ගැනීම සහ ප‍්‍රතිචක‍්‍රීකරණය කර ගත හැක. මෙම නිශ්ශබ්දතාවය, සංවාදය ප‍්‍රතික්‍ෂේප කිරීම සහ සියළු ආකරයේ දැඩි ලෙස ග‍්‍රහණය කර ගැනීම් යනු විය යුතු පරිද්දෙන්ම අනතුරු හැඟවීම් සහ තර්ජනයන් ගෙන දෙන අපගේ ‘භීතිය’ යි.

හර්මන් මෙල්විල්ගේ සංඥාර්ථමය චරිතය වන Baryleby සිහි කැඳවමින් ලෝකයේ සියලූම විදීන් අල්ලා ගනු (Occupy Wall Street) ව්‍යාපාරයේ උද්ඝෝෂකයන් කියා සිටියේ ධනවාදයේ සහ අනෙකුත් ක‍්‍රියාකාරීත්වයන් සමග සහ සම්බන්ධ වීමට ඔවුන් තුළ ඇති අකමැත්ත පමණක් නොව මනාපය පල කිරීමේ තීරණාත්මක ක‍්‍රියාව (‘අපේ’ අපේක්‍ෂකයින්ට) හෝ ඕනෑම අකාරයක ප‍්‍රතිසංස්කරණවාදී සංවාද සමග සම්බන්ධවීමට ද ඔවුන් ‘අකැමති’ බවය. මෙය අලූත් යමක් වෙනුවෙන් අවකාශ විවෘත කරන, සියළුම ගුණාත්මක වෙනස්කම්, ශුද්ධ වූ විධිමත් අවම වෙනසක් දක්වා ඌණනය වීමට ඉඟියක් වේ.

තාර්කික වැඩපිළිවෙලක් නොමැතිව ජාත්‍යන්තර විරෝධතා ව්‍යාපාරයන් ඉස්මතු වීම අහම්බයක් නොවේ. පැහැදිලි විසඳුමක් නොමැති ගැඹුරු අර්බුදයක් ඉන් පෙන්නුම් කෙරේ. එය කෙසේද යත්, මනෝවිශ්ලේෂණයේදී රෝගියා ප‍්‍රතිඵලය දන්නා නමුත් (ඔහුගේ රෝග ලක්‍ෂණ ප‍්‍රතිඵලයන් වේ) ප‍්‍රශ්නය නොදන්නවා වගෙයි. නිවැරදි ප‍්‍රශ්නය මතු වන්නේ ඉක්මන් නොවූ, විශ්ලේෂණාත්මක ක‍්‍රියාවන් හරහා පමණි.

අභාවයට ගිය ජර්මන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයේ පැරණි විහිළුවක් මෙහිදි සඳහන් කළ යුතුය. ජර්මන් කම්කරුවෙකුට සයිබීරියාවේදී රැකියාවක් ලැබුණි. ඔහුට අදාල ලියුම පාලකයින් විසින් විවෘත කර කියවන බව දන්නා බැවින් ඔහුගේ මිතුරන්ට ඔහු මෙසේ පැවසුවේය. "අපි සංකේතයක් යොදා ගමු; සාමාන්‍ය නිල් පාටින් ලියපු ලියුමක් මගෙන් ලැබුනොත් ඒකේ ලියලා තියෙන දේවල් ඇත්ත. රතු පාටින් ලියලා තිබුණොත් ඒ කියන්නේ බොරු."

මාසයකට පසුව ඔහුගේ මිතුරන්ට නිල් පාටින් ලියැවුණ පළමු ලියුම ලැබුණා.

"මෙහෙ සියල්ල පුදුමාකාරයි. ගබඩා පිරිලා, ආහාර සුලබයි, නවාතැන් විශාලයි වගේම මනාව උණුසුම්, චිත‍්‍රපට ශාලාවල බටහිර චිත‍්‍රපට ප‍්‍රදර්ශනය වෙනවා, ආදර සම්බන්ධතා ඇති කරගැනීමට ආශාවෙන් ඉන්න ගැහැණු ළමුන් බොහෝය. නැති එකම දෙය රතු තීන්ත පමණි."

මෙය අපගේ තත්ත්වය වටහා නොදෙන්නේද? බටහිර, අපට අවශ්‍ය සෑම නිදහසක්ම ඇත, නමුත් අපට අහිමි ‘රතු තීන්ත’ පමණි. වෙනත් ආකාරයකට පවසන්නේ නම්, අපට නිදහස දැනෙනවා. මන්ද අපට අහිමි නිදහස ප‍්‍රකාශ කිරීමට භාෂාවක් හෝ ක‍්‍රමවේදයක් නොමැති නිසා. බුද්ධිමතුන්ගේ කාර්යභාරය විය යුත්තේ උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම්වලට කන් දී ඒවාට පැහැදිලි පිළිතුරු දීම නොවේ. මන්ද ඒවාට පිළිතුර වන්නේ උද්ඝෝෂකයින්ම ය. ඒ වෙනුවට ඔවුන් කළ යුත්තේ නිවැරදි ප‍්‍රශ්ණ වර නැගීමයි. වෙනත් වචනවලින් පවසන්නේ නම් උද්ඝෝෂකයින්ට ‘රතු තීන්ත’ ලබා දීමයි.

[ස්ලේවෝයී ශීෂෙක්, ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව සඳහා වූ බර්බෙක් ආයතනයේ ජාත්‍යන්තර අධක්‍ෂකවරයා වන අතර ලෝකයේ වඩාත්ම බලපෑම් සහගත මහජන බුද්ධිමතෙකි. ඔහුගේ නවතම කෘතිය ‘කිසිවක්ම නැතුවාට වඩා යමක් : හේගල් සහ දයලෙක්තික භෞතිකවාදයේ ඡායාව’යි. (Less than Nothing : Hegel and the shadow of Dialectical Materialism)]

{Capitalism Can No Longer Afford Freedom ලිපියේ සිංහල පරිවර්තනය– උපුල් වික‍්‍රමසිංහ (Praxis සාමූහිකය) | සහය: ගීතිකා ධර්මසිංහ සහ විදර්ශන කන්නන්ගර}

ස්ලෙවෝ ජිජැක්
පරිවර්තනය - උපුල් වික්‍රමසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails