Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිය දේශය වසා පැතිර ගත් අවිචාරවත් ගනාන්ධකාරයට හා සදාකාලික වහල්භාවයට එරෙහි ව ස්වකීය ජනතාව මෙහෙය වීමේ ඓතිහාසික අභියෝගය හමුවේ නො සැලූණු සැබෑ මාධ්‍යවේදීන් රාජ්‍ය මර්දනකාරිත්වයේ සහ ධනපති පත්තර කොම්පැනිකරුවන්ගේ ගොදුරු බවට පත්වීම තුන්වන ලෝකයේ පත්තරකාරයින්ට නම් කිසිසේත් ම අරුමයක් නොවේ. නමුත් එවන් වූ සැබෑ මාධ්‍යවේදීන් අතලොස්සකට පමණක් හිමිකම් කියන්නා වූ මෙරට මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ, දයාසේන ගුණසිංහයන් විසින් සලකුණු කොට ඇති ස්වකීය අනන්‍යතාව මෙරට ජනතාවාදී පත්තර කලාවේදීන්ගේ වෘත්තීය ඉතිහාසය පිළිබඳ හරස්කඩක් බඳු ය.

ස්වකීය හෘද සාක්ෂිය පමණක් ම මිට මොළවාගෙන ලාංකීය පත‍්‍රකලාවේ මහගෙදර වූ බේරේ ගෙදර හිණිපෙළ බැස අවුත් දිවයින ඉරිදා සංග‍්‍රහයේ අසුන් ගත් ගුණසිංහයන්, තුන්වන ලෝකයේ සැබෑ මාධ්‍යයකරුවන්ගේ සදාකාලික ඉරණමට අනුව ම යමින්, නිල නොවන වාරණ දඬුකඳට හසු ව ගෙවූ සිව් වසක නිහැඬියාවකින් ඉක්බිති ව අද, 'සිව්දෙස' විශේෂාංග පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කරයි. අපි, ‘ලක්දිව’ වෙනුවෙන් දයාසේන ගුණසිංහයන් හා සංවාදයේ යෙදුණේ, ජනතාවාදී මාධ්‍යවේදීන් පිළිබඳ ඓතිහාසික පරිච්ඡේදයක ඔහුගේ භූමිකාව, නිවැරදි වටිනාකම් මත තක්සේරු කළ යුතු ව ඇති නිසා ම යි.

ලක්දිව- කලෙක දී ස්වකීය පන්හිඳ පවතින අවිචාරවත් සමාජ, ආර්ථික සහ දේශපාලන ප‍්‍රවණතාවන්ට එරෙහි ව ප‍්‍රබල ව මෙහෙය වු ඔබ, වර්තමානයේ දී එක්තරා ආකාරයක නිහැඬියාවක නිමග්න ව ඇතැයි නැගෙන චෝදනාව සම්බන්ධයෙන් ඔබ දරන ආකල්පය කුමක් ද?

දයාසේන ගුණසිංහ- පළමුවැනි ම එක, මම පුවත්පත් කලාවේ යෙදී සිටියේ පවතින ජනමාධ්‍යය රටාව තුළ වීම යි. මෙතැනදි අවංක ව හා ජනතාවාදී ව ක‍්‍රියාකරන පුවත්පත් කලාවේදීන්ට වුනත් සේවය කිරීමට සිදු වී ඇත්තේ, එම ගුණාංගයන්ගෙන් තොර වූ ආයතනයන්වල යි. එතකොට දිගින් දිගට ම තමන්ගේ ඒ ප‍්‍රතිපත්ති මත පිහිටා යන පුවත්පත් කලාවේදීන් අසරණ වීමේ ප‍්‍රවණතාවක් අද දක්නට ලැබෙනවා. ඇත්තට ම මට අත්වුන ඉරණම තවත් ජනමාධ්‍යවේදීන් ගණනාවකට ම අත්වෙලා තියෙනවා. මන්ද, ඒ පුද්ගලයින් ඒ ඒ තැන්වලින් ඉවත් කරන්නට ඕනැම වෙලාවක පුළුවන්. ඊළඟට ඒ ජනමාධ්‍යවේදීන්ට හඬ නගන්න තියෙන මාධ්‍යය මොකක් ද? දැන් මා ගැන ම කතා කරනවනම්, මම හුදෙක් පුවත්පත් කලාව පමණක් නොවෙයි, සාහිත්‍යය පැත්තෙනුත් යම් යම් කටයුතුවල යෙදෙන කෙනෙක්. එතකොට, පුවත්පත්කලාවේදියෙකු විදියට මගේ අදහස් ප‍්‍රකාශනයට මට සීමා පැනවෙන කොට මට තව පැත්තක් තියනවා. ඉතින් මං දැනට ඒ ආකාරයේ ලේඛන කටයුතුවල නිරත වෙනවා. මේ තත්ත්වය තුළ මේ යුගයේ පවත්නා වාතාවරණයට සාපේක්ෂ ව තමයි ජනමාධ්‍යවේදියකුගේ ක‍්‍රියාකලාපය ගැන විනිශ්චය කරන්න ඕන. අනිත් එක, ඇත්තටම ඇයි ජනමාධ්‍යවේදීන්ගෙන් පමණක් මේ ශක්තිය බලාපොරොත්තු වෙන්නෙ? ජනමාධ්‍යවේදියාත් මේ සමාජයට ම අයත් පුද්ගලයෙක්. මම චෝදනාවක් එල්ල කරනවා පෙරළා මේ සමාජයට. මේ සමාජය සෑහෙන පමණකට බියසුලූ නිවට සමාජයක්. ඒ වගේ සමාජයක් තුළ, ඒ සමාජයට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක් ද 'මේ මිනිස්සු නිහඬයි' කියල මොකක් ද ජනමාධ්‍යවේදීන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ? 'ඇයි හඬ නො නඟන්නෙ' කියල චෝදනා ගේන්න තියන අයිතිය මොකක් ද?

ලක්දිව- වර්තමානයේ මෙ රට ක‍්‍රියාත්මක සමාජ, ආර්ථික හා දේශපාලනික තත්ත්වයන් ඉතිහාසයට සාපේක්ෂ ව පැහැදිලිව ම සුවිශේෂ ස්වරූපයක් ගන්නවා. නිල හා නොනිල වාරණය තුළ මෙරට ජනමාධ්‍යකරුවා විසින් සම්පූර්ණ කළ යුතු මෙහෙවර ඉතිහාසය තුළ පෙර නොවු මුහුණුවරක් ගෙන ඇතැයි ඔබ සිතනවා ද? එසේ නම් එය කවරාකාර ද?

දයාසේන ගුණසිංහ- අද මේ රටේ ජනතාව මේ තරම් ප‍්‍රපාතයකට ඇදවැටී සිටින්නේ පැහැදිලි ව ම ජනතාවට අවශ්‍ය සාමූහික ප‍්‍රඥාව නැතිකම නිසා ම යි. ජනතාවට තියෙන එක ම ශක්තිය සාමූහික ශක්තිය යි. ඒත් සාමූහික ශක්තිය ගොඩනැගීමට තියෙන විශාලතම බාධාව ජනතාව තුළ දැනුවත් බවක් වගේ ම, ඒ තුළින් ඇතිවන සාමූහික ප‍්‍රඥාවක් නැතිකම. මේ තත්ත්වය අපිට මේ හදිස්සියේ ඇතිවූවක් හෝ කෙටිකාලීන සාධක නිසා ඇතිවූවක් නොවෙයි. මේ තත්ත්වය දීර්ඝකාලීන පරිහානියක කූඨප‍්‍රාප්තිය යි. ඒ තත්ත්වය තුළ මෙය නැවත ගොඩනගන්නට හැකිවෙන්නේත් ඒ හා සමාන ම කාලයක් ඔස්සේ දරන ප‍්‍රයත්නයකින් ම යි. මෙතැන දී මං හිතන්නෙ මූලික ව ම ජනතාව දැනුවත් කළ යුතුයි. නමුත් මෙහි දී ජනතාවගේ දැනුවත් බව කියන්නෙ හුදෙක් දේශපාලනය ම නෙවෙයි. ඇත්තෙන් ම ජනතාව පැතිරී ගිය බුද්ධියකින් යුතු බොහෝ සේ ඇසූ පිරූ තැන් ඇති ජනතාවක් බවට පත්කළොත්, අවශ්‍ය තැනදි නිවැරදි තීරණවලට එළැඹීමට හැකියාව ඒ ජනතාවට ලැබෙනවා. එවැනි ජනතාවක් රවට්ටන්නට බැහැ. නමුත් අද ජනතාව පොදුවේ ගත්තහම පසුවන්නෙ ඉතා ම අඳබාල තත්ත්වයක. මේ ජනතාව ඉතාම පහසුවෙන් රවට්ටන්න පුළුවන්. වරක් රැවටිලා, දෙවන වතාවටත් රැවටිලා, තුන්වෙනි වතාවටත් රැවටෙන අවස්ථා අපේ මේ මෑත ඉතිහාසයේ එමට දක්නට ලැබුණා. ඇයි මෙහෙම මිනිසුන් රැවටෙන්නෙ? ඒකට හේතුව මිනිසුන්ගේ දැනුවත් බව නැතිකම. මා හිතන්නේ වර්තමානයේ ජනමාධ්‍යවේදීන් පමණක් නොවෙයි, සාහිත්‍යකරුවන්, කලාකරුවන් සෑම දෙනෙක් ම සතු සුවිශේෂ වූ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීමේ කටයුතුවල යෙදීම යි.

ලක්දිව- උතුරේ මෙන් ම දකුණේ සන්නද්ධ අරගලවලදීත්, මෙ රට සාම්ප‍්‍රදායික ජාතික පුවත්පත් විසින් අනුගමනය කළ ප‍්‍රතිපත්තිය නග්න ජාතිවාදී හා අවස්ථාවාදී පිළවෙතකැයි අපි විශ්වාස කරනවා. එම චෝදනාව හා ඔබ එකඟ වෙනවා ද?

දයාසේන ගුණසිංහ- ජනමාධ්‍යවේදියෙකු සන්නිවේදනයේ යෙදෙන්නට නම්, ඒ පුද්ගලයා පළමුවෙන් ම සිදුවෙන දේ ගැන දැනගත යුතුයි. නමුත් අද ජනමාධ්‍යවේදීන්ට ලංකාව පිළිබඳ තමාගේ දැනුම ලබාගන්නට විදේශීය සඟරා, විදේශ ප‍්‍රවෘත්ති සේවා වගේ ම විදේශ ගුවන්විදුලි සේවා උපයෝගී කරගන්නට සිදුවෙලා තියෙනවා. මෙතනදි ඔවුනට බලපාන බාධා රාශියක් තිබෙනවා. මේ පුද්ගලයින් උතුරු නැගෙනහිරට යන්නේ කොහොම ද? මේ පුද්ගලයන්ට යන්න තරම් එඩිතර බවක් තිබුණත්, සැබෑ තත්ත්වය ලියල පළ කරන්නෙ කොහේ ද? මේ රටේ ජනමාධ්‍ය තියෙන්නේ එක්කො රජය අතේ නැත්නම් වෙළෙඳ සමාගම් අතේ. මේ එකකින්වත් සැබෑ තත්ත්වය හෙළි කිරීමේ පුළුවන්කමක් තියෙනව ද? සමහර වෙලාවට බී.බී.සී. නැත්නම් ඉන්දියානු ප‍්‍රවෘත්ති සේවාවල අයට උතුරු නැගෙනහිර ඕනැම තැනෙකට යන්න පුළුවන්. අපේ පුවත්පත් කලාවේදීන්ට තියන අවසරය මොකක්ද එහාට යන්න. තියන එකම ක‍්‍රමය රජයේ හමුදාවත් එක්ක යන එකයි. හමුදාව එක්ක ගියාම බලන්න පුළුවන් එක පැත්තක් විතරයි. ඒ පැත්ත බලල කරන විග‍්‍රහ නිතැතින් ම පක්‍ෂග‍්‍රාහි වෙනවා.



මෙතැනදි මූලික ම අභියෝගය කරුණු ලබාගැනීමේ අසීරුකම. දෙවැන්න ලබාගත් සත්‍යය පළ කිරීමේ අසීරුකම. නමුත් පහුගිය කාලවල සමහර අවස්ථාවල සමහර පුවත්පත් තමන්ගේ වාසිය සඳහා ද්‍රවිඩ විරෝධී ආකල්පයන් යොදා ගත්තා. නමුත් දකුණේ අරගලවලදි මුල් අවස්ථාවේ, පුවත්පත් ඉතා විවෘත ව හා මධ්‍යස්ථ ව එම අරගලයන් පිළිබඳ ව විග‍්‍රහයන් සිදුකළත්, පසුව ක‍්‍රමයෙන් රජයට පක්‍ෂපාතී ප‍්‍රතිපත්තියකට අවතීර්ණ වුණා. මෙතැන දී නැවත ජනමාධ්‍යවල ගෙල සිරවීමේ පිළිවෙත වෙතට අපිට එන්න සිදුවෙනවා. එක් අවස්ථාවක මේ රටේ රාජ්‍ය ආරක්‍ෂක ඇමතිවරයා, හුදෙක් ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී ප‍්‍රශ්නයක් ඇසීම නිසා, පත‍්‍ර කලාවේදියෙකුට "ඔය සෙල්ලමට ආවොත් මම ඔබ ව අත්අඩංගුවට ගන්නවා" යි කියා තර්ජනය කළා. ඒ හා සමාන දැඩි පීඩනයකටත් මෙ රට පුවත්පත් කලාවේදීන් ලක් වුණා. හැබැයි හුදෙක් වාරණයට මුවාවෙන් කරන්න පුළුවන් හරියවත් නො කර සිටීමේ ප‍්‍රවණතාවක් මෙ රට නිදහස් ය කියන ජනමාධ්‍ය විසින් අනුගමනය කරනවා.

ලක්දිව- ඔබ පැවසූ අයුරින් ම වර්තමානයේ දී රාජ්‍ය මැදිහත්වීම්වලින් සිදුවන ඍජු හෝ වක‍්‍ර වාරණයට පරිබාහිර ව පුවත්පත් කලාවේදීන් ස්වයං ව ගොඩනගාගත් වාරණයක ආවරණයෙන් තම වගකීම් පැහැර හැරීම පිළිබඳ ව තව දුරටත් විග‍්‍රහ කළ හැකි ද?

දයාසේන ගුණසිංහ- ඇත්තට ම ස්වයං වාරණය හුදෙක් භිතිය නිසා ම ඇතිවන දෙයක් නොවෙයි. ඒ කියන්නේ, පුවත්පත් කලාවේදීන් පොදුවේ ගත්තොත් විශාල පිරිසක් ඉන්නවා රජයෙන් වරප‍්‍රසාද බලාපොරොත්තු වන සහ නොයෙකුත් වරප‍්‍රසාද ලබාගත් අය. ඒගොල්ලන් ඉබේ ම සියතින් මුකවාඩම් බැඳගනු ලබනවා. නිදහස් ය කියන පුවත්පත්වල පවා ඔය ආකාරයෙන්, පාලකයන් හා බැඳුණු පුවත්පත් කලාවේදීන් සිටිනවා. ඒ වගේ ම තවත් පිරිසක් ඉන්නවා කෙලින් ම රාජ්‍ය මර්දනයට ඉලක්ක වුණු. ඒ අය තමන්ගේ ජීවිතාරක්‍ෂාව සඳහා නිහඬ ව ඉන්නවා. මේ ආකාරයට වාරණය වගේ ම ස්වයං වාරණයත් විවිධ ප‍්‍රබේද තියෙනවා. මෑතක සිට රාජ්‍ය මර්දනය කෙලින්ම පුද්ගලයන්ට එල්ලවීමේ ප‍්‍රවණතාවක් තියෙනවා. ඉන් ඉලක්කය වඩාත් කේන්‍ද්‍රගත වෙනවා. එවිට ඒ හා සමාන ව ම පීඩාවකුත් ඇතිවෙනවා. මෙතැන දී ඒ පීඩාව ඉදිරියේ පුවත්පත් ආයතන හීන්සීරුවේ අදාළ පුද්ගලයා ව පාවා දීල තමුන්ගෙ ඇඟ බේරගන්න තත්ත්වයකුත් මෑත සිට පුවත්පත් ක්‍ෂේත‍්‍රයේ දක්නට ලැබෙනවා. එවැනි තත්ත්වයක් තුළ මාධ්‍යවේදියා අසීරුවට පත්වන බවත්, එය මේ ස්වයං වාරණයට හේතු වන බව සඳහන් කළ යුතු යි.

ලක්දිව- ඉහත තත්ත්වයන් තුළ තුන්වන ලෝකයේ අවශේෂ රටවල් වෙත අදාළ කර සලකන විට ඒ රටවල ක‍්‍රියාත්මක නිල හා නොනිල මර්දනකාරි වාතාවරණය තුළ එම රටවල පුවත්පත්වල ක‍්‍රියාකාරීත්වයට සාපේක්‍ෂ ව මෙරට මාධ්‍යයන්ගේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේ ද?

දයාසේන ගුණසිංහ- මෑත යුගය තුළ අපේ පුවත්පත් ගැන කිසිසේත් ම සෑහිමකට පත්වෙන්න බැහැ. නිදහස් කියන පුවත්පත් පවා අළෙවිය වැඩි කර ගැනීමට මූලික ව ම ජනප‍්‍රිය රැල්ලක් මත යෑමේ වුවමනාව ප‍්‍රකට කරනවා. ඒ නිසා ම ඒ ඒ මොහොතට පුද්ගල අවධානය ඇදගත හැකි ප‍්‍රවෘත්තිවලට පමණක් මෙ රට පුවත්පත්වල සන්නිවේදනය සීමා වීම දැකිය හැකියි. මේ පසුබිම මත ජනතාව සෑම අතකින් ම දැනුවත් කිරීමේ වුවමනාව ලංකාවේ එක ම ජනමාධ්‍යකටවත් ඇතැයි කියන්නට බැහැ. මෙහි දී සැබෑ මාධ්‍යවේදීන් විකල්ප මාධ්‍ය සොයාගත යුතුයි. ඊළඟට මතුවන ගැටලූව විවෘත ව තියෙන විකල්ප මාධ්‍ය මොනවාද කියන එකයි. අද මුද්‍රණ ව්‍යාපාරය මුළුමනින් ම රජයේ ග‍්‍රහණයට හසුවූවක්. රජය අකමැති ආයතනයකට කඩදාසි නිකුත් නොකිරීම රජයට කළ හැකි යි. මෙතැන දී විවෘත වෙළෙඳපොළෙන් කඩදාසි අරගෙන ප‍්‍රකාශනයක් වැඩි කලක් කරන්න බැහැ. එහි දී නිතැතින් ම රජයේ අනුග‍්‍රහය යටතේ මේ සෑම පුවත්පතකට ම රඳාපවතින්න සිදුවෙලා තියෙනවා. මේ තත්ත්වය මෙ රටට විතරක් පොදු වූවක් නොවෙයි. මෑතක් වන තුරු ම සිංගප්පූරුව වැනි රටක රජය පිළිබඳ කිසිම විචාරාත්මක විග‍්‍රහයක් පළ කරන්න බැරි මර්දනකාරීත්වයක් තිබුණා. පිලිපිනයේ මාකෝස් යටතේ එරට ජනමාධ්‍ය හා පුවත්පත් අන්තිම අසරණ ව තිබුණා. මූලික ම දේ රටක පළ වන පුවත්පතක ප‍්‍රකාශනය විවිධහේතු යටතේ රජයට අවලංගු කරන්න පුළුවන්. පුවත්පතක් පළ කිරීමේ බලපත‍්‍රය අහෝසි කිරීමේ සිට කඩදාසි නිකුත් කිරීමට සීමා පැනවීම දක්වා විවිධ ක‍්‍රියාමාර්ග රජයට අනුගමනය කරන්න පුළුවන්. නමුත් අපිට සාපේක්‍ෂ ව බලන කොට ඉන්දියාව ඒ අතින් සෑහෙන්න ප‍්‍රබල යි. මන් ද යත්, ඉන්දියාවේ ජනමාධ්‍යයන්ට එල්ල වුන පීඩනය වෙනත් ආසියාතික රටවලට සාපේක්‍ෂ ව අඩුයි. රජිව් ගාන්ධි පාලන සමයේ බෝෆෝස් සිද්ධියේ දී ඉන්දියානු පුවත්පත් බොහෝ විවෘත ව කිවයුතු දේ කිව්වා. එතනදි "ඉන්දියන් එක්ස්ප‍්‍රස්" පුවත්පතට විරුද්ධ ව රජිව් ගාන්ධි වක‍්‍ර ව හා ඍජුව දැඩි ක‍්‍රියාමාර්ගයක් ගත්තා. "ඉන්දියන් එක්ස්ප‍්‍රස්" පුවත්පත් මූලස්ථානය පිහිටි භූමිය 99 අවුරුදු බද්දකට යටත් ව ගත් ඉඩමක්. එය රජයෙන් අවලංගු කළා. "ඉන්දියන් එක්ස්ප‍්‍රස්" පුවත්පත් ආයතනය තුළ රජයට පක්‍ෂ වෘත්තීය සමිතියක් අරඹා එමගින් වර්ජන ඇති කළා. නමුත් ඒ ආකාරයේ වක‍්‍ර බලපැම්වලට පුවත්පත යටත් වුනේ නැහැ. ඒත් අන්තිමේ දී මේ සියලූ ම සටන් මෙහෙය වූ කර්තෘවරයා ව පුවත්පත් ආයතනය විසින් කර්තෘ පදවියෙන් ඉවත් කළා. මේ තත්ත්වය තුන්වන ලෝකයේ රටවලට පොදුයි. නමුත් එම බොහෝ රටවල විකල්ප වශයෙන් නොයෙක් ප‍්‍රකාශන හා රහසේ පළ වන පුවත්පත් බිහිවීම සිදු වුණා. මෙම විකල්ප ක‍්‍රියාමාර්ගයන් හමුවේ නම් ලංකාව පසුවන්නේ දුබල තත්ත්වයක යි.

ලක්දිව- "ධනේශ්වර පුවත්පත් කලාවේ නිදහස කඹය දිග ඇති තෙක් පමණයි" යන ප‍්‍රකාශය ඔබ විසින් ම කළ ප‍්‍රකාශයක්. නමුත් අද ඔබේ කර්තෘත්වයෙන් එළිදකින "සිව්දෙස" විශේෂාංග පුවත්පතින් "කඹය දිග ඇති තරමේ නිදහස" හෝ භුක්ති නොවිඳින බවට නැගෙන චෝදනාව පිළිබඳ ඔබේ ආකල්පය කුමක් ද?

දයාසේන ගුණසිංහ- සත්තකින් ම "සිව්දෙස" ආරම්භක කතුවැකියෙන් මම එහි ප‍්‍රතිපත්ති පැහැදිලි කළා. කතුවැකියෙන් දැක් වූ ආකාරයට ම "සිව්දෙස" බලාපොරොත්තු වෙන්නේ දේශපාලනය හා සමාන ව ම වැදගත් වූ අංශ ගැන කතා කිරීම යි. මන් ද දේශපාලනය ගැන සාකච්ඡා කරන ප‍්‍රකාශන රාශියක් තිබෙනවා. "සිව්දෙස" අරමුණ බොහෝ දුරට අපි තහවුරු කරගෙන තිබුණත් ප‍්‍රබුද්ධ මට්ටමේ අය පවා ඒ ගැන දක්වා තිබෙන ප‍්‍රතිචාරය ගැන සතුටු වෙන්න බැහැ. මතුපිටින් ආවේගවාදි නොවී සෑහෙන පමණක ගැඹුරකින් හැම ක්‍ෂේත‍්‍රයක් පිළිබඳ ව ම ජනතාව දැනුවත් කිරිම "සිව්දෙස" අරමුණ යි. මට හිතන්න බැහැ මේක ධනපති පත්තර කලා රටාවේ ම යන එකක්යැයි චෝදනා කිරීම කොයිතරම් යුක්ති සහගත ද කියලා.

-ලක්දිව. 1994.01.26

[උපුටාගත්තේ LankaNewsWeb වෙතිනි.]

රෝහිත භාෂණ අබේවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails