Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සීත කාල දෙකකුත්, රස්නේ කාල දෙකකුත් මම හැමදාම මේ ගහ පහුකරගෙන මෙතනින් ගියා. හරියටම කියනවනම් මේ ගහ විතරක් නෙමෙයි. මේ උයන පහු කරගෙන. මේ උයනේ ගස් වැල් පිරිලා. දෙකතුනක විතරයි මම නම් දන්නේ. මේපල් ගස් දන්නවා. කාලෙකට ගින්දර වගේ රතු පාට වෙන නිසා. පොප්ලර් දන්නවා. සොල්දාදුවෝ වගේ හරි සීරුවෙන් ඉන්න නිසා. ඒත් මල් වරන්නේ නැති මේ දම් පාට මල් ගහේ නම නම් දන්නෙම නැහැ. වෙන කොහේවත් දැකලාත් නැහැ. උයන පහු කරද්දී අනිත් හැම ගහකටම වැඩිය මට මේ දම් පාට මල් ගහ විතරයි පේන්නේ. උයන කිට්ටු වෙද්දී අඩිය ඉක්මන් වෙන්නේ මේ ගහ ලස්සනම හින්දත් නෙමෙයි. ලොකු විශේෂයකුත් නැහැ ඇත්තම කියනවනම්. සාමාන්‍ය තරමේ හෙවනක් දෙන සාමාන්‍ය තරමේ ගහක්. ඒත් හැම කොලයක් කොලයක් ගානේ පුංචි දම් පාට මල් පිරිලා. අමුතු ප්‍රබෝධයක් නලියනවා ගහ වටේටම- මායා බලයක් වගේ දෙයක්. සාමාන්‍ය උයනක විශේෂ ගහක්!

සීත කාලෙට උදේ වෙන්නේ හෙමින්. ඒත් හවස් වෙනවා ඉක්මනට. ඉර නිකම් මූන පෙන්නලා යනවා විතරයි ටික වෙලාවකට. මලානික එළියක් තිබුනට උණුහුමක් නැහැ. උදේට තුහින කැට වැටිලා උයනේ හැමතැනම තණකොළ දිලිහෙනවා. සීතල දරාගන්න හිත හදාගන්න වගේ හැමතැනම ගස් කොළන් කොළ හලලා ඉපල් වෙනවා. එතකොට මුළු උයනම අළු පාටයි- පාලුයි. ඒත් සීත කාලෙටත් දම් පාට මල් ගහ එහෙමම මල් පුරවාගෙන. බිම දිලිසෙන තුහින කැට එක්ක මල්පෙති කලවම් වෙලා. හරියට මේ ගහට හීතල දැනෙන්නේ නැහැ වගේ. සෘතු වල වගක් නැහැ වගේ. රස්නේ කාලෙට ගහ කොලටත් රස්නේ උහුලන්න බැහැ. ඉරේ තේජස දරා ගන්න බැරිව ඔක්කොම ගස් ඒකාලෙට හේබානවා. මහා ලොකු අතුපතර විහිදුන ගස් පවා. ඒත් දම් පාට මල් ගහ එහෙමමයි. මල් පුරවාගෙන හිනාවෙනවා. වැඩිය හයියෙන්මත් නෙමෙයි. ඒත් හෙමින්මත් නෙමෙයි. ගානකට. මම මෙතන ඉන්නවා කියන්න වගේ. මම කාටවත් බය නැහැ කියන්න වගේ.

දම් පාට මල් ගහ යට පුංචි ලී බංකුවක් තිබුණා. ඒකෙත් විශේෂයක් නැහැ. මේ උයනේ හෙවනක් තිබුණු හැම ගහකම වගේ යට බංකුවක් තිබුණා. අනිත් බංකු බදු ගත්තු නා නා ප්‍රකාර සාමාජිකයෝ හිටියා. වැඩියත්ම හොඳට ඉර එළිය පායපු සෘතු අතර මැද දවස් වල, පොත් කියවන අය.. පෙම් කරන අය කවුරුම හරි අනිත් බංකු වල හිටියා. ඒත් දම් පාට මල් ගහ කොයිතරම් ලස්සන වුනත්, ඒ බංකුවේ නම් කවදාවත් කවුරුවත් හිටියේ නැහැ. දම් පාට මල් පෙති වැටිලා බංකුවත් හැඩිවෙලා තිබුණේ.

ඒත් දවසක් උදේක එතන ගෑනු ළමයෙක් හිටියා. වැඩිය උසකුත් නැහැ. එතරම්ම මිටිත් නැහැ. පිට මැද හරියට ඉහිරිලා තිබුණු කොණ්ඩේ දම් පාට මල් දැවටිලා තියෙනවා මම ඈතටත් දැක්කා. මට ඈව හුරුයි වගේ දැනුනා. ඈ තනියම, කිසිදෙයක් නොකර බංකුව උඩ වාඩි වෙලා හිටියා. ඒක අමුතු දෙයක් වුනත් මට ඒකෙ අමුත්තක් දැනුනේ නැහැ. ඈත තියාම ඒ ගෑනු ළමයා හිතන දේවල් මට ඇහුනා. ඇගේ දිග සාය තණකොළවල දැවටෙන සර සර සද්දේ මට දැනුනා. පාර දිගේ අඩිය ඉක්මන් කරලා ගියාට දම් පාට මල් වියන යට වාඩිවෙලා ඉන්නේ මමමද කියලත් මට හිතුනා. ඈ මගේ දිහා නොබලාම හැමදාම එතනම හිටියා

දම් පාට මල් ගහ සුපුරුදු විදිහට මල් පිබිදෙව්වා. හුළඟ සුපුරුදු විදිහට මල් පෙති විසිරෙව්වා. මම හැමදාම නවතින්නේ නැතිව උයන අද්දර පාර දිගේ ගියා. පොප්ලර් ගස් වල කොළ කහ පාට ගැහෙද්දි රස්නේම ගිම්හානයක් ඉවර උනා. වටපිට ගස් වල කොළ කහ ගැහිලා, තැඹිලි- රතු වෙලා හැලිලා ගියා. උයන්පල්ලෝ ඒ කොළ, ගොඩවල් වලට එකතු කළා. පුංචි ළමයි ඒ වේලුනු කොළ ගොඩවල් මැද නටමින් සෙල්ලම් කළා. ඇඟට දැනෙන, ඇඟේ වෙලෙන හීතලක් හැමතැනම පැතිරුනා. හුළඟ වේලුනු කොළයි දම් පාට මල් පෙතියි හැමතැනම විසිරුවමින් දඟ කළා. ඒ හේමන්තයේදී දම් පාට මල් ගහ යට වෙනසක් වෙලා තිබුණා. දවසක් ඈ ළඟම, ඇගේ දෑත දෑතට තුරුළු කරගත් තව කෙනෙක් උන්නා. ඔහුගේ හිනාවෙන් පිරුණු දඩබ්බර ඇස් මට ඈතටම පෙනුනා. ඔහුගේ අකීකරු කෙහෙ රැළි අතරේ රැඳුණු දම් පාට මල් පෙති ඈ සිනාසෙමින් ඉවත් කළා. ඈ අලුත්ම හිනාවක ගිලිලා උන්නා. කවදාවත් නොකී තරමට ඔහුට කතා කියමින් උන්නා. ඔහුත් හිස ඇල කරගෙන ඇගේ කතා අහමින් උන්නා. මේ ආදරය අනුමත කරන්න වගේ දම් පාට මල් ගහ තවතවත් මල් පෙති හුළඟට එකතු කරලා එව්වා. ඒත් උනුන්ගේ දෑස්වල කිමිදිලා හිටිය දෙන්නාට ඒ ගැන වගක්වත් තිබුනේ නැහැ.

**

ඔහොමම සෘතු දෙක තුනක් ගෙවිලා ගියා. හැමදාම මම උයන අද්දරින් ඇවිදගෙන ගියා. දම් පාට මල් ගහ යට උන්නු දෙන්නා හැමදාම එහෙමම හිටියා. ඒ දෙන්නටත් මල් ගහට වගේ සීතල ගැන රස්නේ ගැන වගක් තිබුනේ නැහැ. සීතලට හිරිවැටෙන දවස්වලට ඈත තියාම ඒ දෙන්නාගෙන් උණුහුමක් පැතිරුණා. රස්නෙට ගිනිගන්න දවස් වලට ඒ දෙන්න ලඟින් සිසිලසක් නික්මුණා. එකම විදිහට හිතන්න පටන්ගෙන තිබුණ නිසා දෙදෙනාම නිතරම එකම දේ එකම වර කිව්වා. ඒ වෙලාවට ඒකට තමන්ම පමුණුවා ගත්තු දඬුවම, හාදුවක්. ඒ දෙන්නගේ කතාවල් මට නෑහුනත් ඒ කතාවල දැවටිලා තිබුණ පුංචි හිනා, තේරවිලි, තුන්තේරවිලි මට දැනුනා. සමහර කතා වලට වචන තිබුනෙත් නැහැ. සමහර වචන වලින් කතා මැවුනේ නැහැ. පුංචි හිත් රිදීම් මල් පෙති වලින් වැහිලා ගියා. සිප ගැනීම් ළඟ හුළඟත් නතර වුණා. හිතාගන්න බැරි තරම් ආදරයකට හැමදාම දම් පාට මල් ගහ සාක්කි දැරුවා.

**

ඒත් එක ගිම්හාන දවසක උයනට ඈත තියාම මට ලොකුම හිස් බවක් දැනුනා. දම් පාට මල් ගහ යට බංකුවේ තනි කෙනෙක් පෙනුනා. මූණ බිමට හරවාගෙන දෙපා ළඟ වැතිරුණ දම් පාට මල් පෙති දිහා ඇස් යොමාගෙන ඈ නිසොල්මන්ව උන්නා. ඇගේ දුක හුස්ම හිරවෙන තරමටම මට ඈතට දැනුනා. දම් පාට මල් ගහ මල් එක එක හලලා ඈව සනසන්න උත්සාහ කරනවා මට බලාගෙන ඉන්න බැරි තරම් වුණා. ඊටපස්සේත් හැමදාම ඈ තනියම මල් ගහ යට උන්නා. ඒත් ඈ හිතාගන්නවත් බැරි විදිහට මැකෙන්න පටන් ගත්තා. මුලින්ම ඇස් දෙකේ දිස්නෙ මැකුනා.. ඊළඟට හිනාව මැකිලා ගියා. අන්තිමට ඇගේ දුක විතරක් ඉතිරි කරලා ඈ මැකිලාම ගියා. දම් පාට මල් ගහ යට බංකුව පාලු වුණා. ඒ දුක දැනිලා වගේ දම් පාට මල් ගහ මල් එකින් එක, එකින් එක හලා දාන්න වුණා.

දැන් දම් පාට මල් ගහේ මල් පිපෙන්නේ නැහැ. තිබුණ අන්තිම මලත් හුළඟේ පා කරලා යවලා හුඟ දවසක ඉඳන් ගහ අහක බලාගෙන ඉන්නවා. මම තාම උයන අද්දරින් හැමදාම යනවා. ඒත් මම දැන් දම් පාට මල් ගහ දිහා බලන්නේත් නැහැ. ඒ ගහ මලින් පිරිලා තියෙනවා මම හිතෙන් මවාගත්තද කියලත් වෙලාවකට මට හිතෙනවා. ඒ ගහ යට ඇස් වලින් ඇස් වලට උතුරපු ආදරේ තිබුණා වෙන්න බැහැ කියලත් මට හිතෙනවා. ඒත් සමහර දාට මට හීනෙන් මල් පිරුණු දම් පාට මල් ගහ පේනවා. සීතල මැද්දේ රස්නේ මැද්දේ හැම සෘතුවේම මල් පිරිලා තිබුණ හැටි මතක් වෙනවා. දුකක් ඉතිරි කරලා මැකිලා ගිය හිනාවල් මතක් වෙනවා. ඒත් එක්කම මට හිතෙනවා එක කාලයක් මල් පිරිලා තිබුණු නිසා ආයෙත් දම් පාට මල් ගහේ මල් නොපිපුනත් කමක් නැහැ කියලාත්.

මලිති විජේසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails