Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නැන්සි හෑන්ක්ස්, ලින්කන්ගේ මව විය. ඇගේ මව වූයේ දිළිඳු නූගත් පවුලකින් පැවත ආ ලුසී හෑන්ක්ස්ය. වර්ජිනියා ප්‍රාන්තයේ ධනවත්, උගත්, රදළ තරුණයකුගේ හිතුවක්කාර තීරණයක් නිසා ලුසීට නැන්සි ලැබෙන විට නැන්සි අවජාතක දැරියක් වූවාය. නැන්සිව හදාවඩා ගත්තේ ඇගේ නැන්දා කෙනෙකු විසිනි. නැන්සි ද කිසි දිනක පාසැල් නොගියාය. කෙන්ටකී ප්‍රාන්තයේ අඳුරු වනාන්තර ප්‍රදේශයක ඇය දිවි ගෙවුවාය. අවුරුදු 22 දී මුළු කෙන්ටකියෙන්ම සොයා ගත හැකි මලානික, අඥාණ, නූගත් කම්කරුවෙක් වන තෝමස් ලින්කන් සමඟ ඇය විවාහ වූවාය. තෝමස් ලින්කන්ට ස්ථීර රැකියාවක් නොවීය. කලෙක ඔහු මසුන් මරන යාත්‍රාවක හබල් කරුවෙකි. තවත් කලෙක පාරවල්වල වැඩ කළේය. බුරුසු සෑදුවේය. වලසුන්ට උගුල් ඇටවුවේය. හිටි හැටියේම වල් බිහි වූ භූමිය පවිත්‍ර කොට ඉරිඟු වැපිරුවේය. කුමක් කළත් හෙතෙම ශත පහකවත් උරුමයක් නොලද දුප්පතෙකුම විය. මෙම කුමන රැකියාව කළත් ඔහු රැකියා සොයා ගියේ කුසගින්න දරා ගැනීමට බැරිවන විටදී පමණි.

මෙම තත්වය තව තවත් දුක්ඛිත වන විට, තමා පැමිණි ඉන්දියානාවේ වනාන්තරයටම තම බිරිඳ සමඟ යෑමට ඔහු තීරණය කළේය. මෙම වනාන්තරය කෙන්ටකීයට අයත් විය. එම වනාන්තරයේ පිහිටි දඩයක්කරුවකු අතහැර ගිය කුඩා පැළක් විය. ජන ශුන්‍ය හුදකලා මුඩු බිම කෙළවර පිහිටි මෙම පැළේදී 1809 වසරේ ඉරිදා දිනයක, හිම කුණාටු පතිත වන ශීතලක, නැන්සි පුතකු බිහි කළාය. දරුවා තැබීමට යෝග්‍ය තොටිල්ලක් එහි නොවිණි. ඉරිඟු පොතු එකතු කර සැකසූ අතුරුණුවක් මත ඇය දරුවා තැබුවාය. වැටෙන හිට කැටිති වලින් හා එහි ශීතලෙන් දරුවා රැක ගැනීමට ඇයට තිබුණේ තම සැමියා දඩයම් කළ වලසකුගේ හමක් පමණි. එම වලස් හමෙන් ඇය දරුවා එතුවාය. ඒබ්‍රහම් ලෙස ඔවුන් දරුවාට නම් තැබූහ.

ජීවත් වීම උදෙසා තෝමස් ලින්කන් කළේ තව තවත් හුදකලා, අඳුරු, ශෝකබරිත ඉන්දියානු වනාන්තරය තුලටම වීමයි. තෝමස් ශීත සෘතුවේ හිම වැස්සෙන් බේරීම සඳහා මඩුවක් සෑදුවේය. ඒ තුල සකසන ලද බිමක් නොවීය. දොර ජනෙල් නොවීය. එහි පැති 3 ක් ආවරණය වූයේ කැළෑ අතු වලිනි. එක් පැත්තක් මුළුමනින්ම විවෘතව තිබිණි. ඇත්තෙන්ම ඉන්දියානාවේ ගොවියකු තම ගවයන් හෝ ඌරන් වුවත් මෙවැනි අසම්පූර්ණ රළු මඩුවක දමන්නේ නැත. ඒ තරම් දරුණු හා බිහිසුණු ශීත කාලය පවා තෝමස් ලින්කන් සිතුවේ මෙම මඩුව ඉතා සුදුසුම වාසස්ථානය බවයි. එම ශීත කාලයේදී නැන්සි හැන්ක් සහ ඇගේ දරුවන් නිදා ගත්තේ අපිරිසිදු පොලවක ඇතිරූ වලස් හමක් හා කොළ අතු මත, බල්ලන් මෙන් වකුටු වීය.

ඒබ්‍රහම් ලින්කන්ට අවුරුදු 9 ක්ව තිබියදී එක් රෝගයක් හේතුවෙන් නැන්සි හැන්ක්ස් මිය ගියාය. ඒ 1818 ඔක්තෝබර් 5 දාය. මේ ගැහැණිය කිසි විට සතුටක් භුක්ති නොවින්දාය. තම මව මිය ගිය පසු ඒබ්‍රහම් තම නැගණිය සාරා සමඟ ගෙදර කටයුතු බලා ගත්හ. සාරා ඇයට හැකි අයුරින් කෑම පිසුවාය. ඒබ්‍රහම් දර හා වතුර ගෙන ඒමට බොහෝ දුර ඇවිද ගියේය. වතුර සොයා ගෙන ඒම තරමක් දුෂ්කර විය. තම මවු විසින්ම සකසා ගත් සබන් වර්ගයත් ටිකෙන් ටික අවසන් විය. ඒ නිසා ඔවුන්ට රෙදි සෝදා ගත නොහැකි විය. දිළිඳු, අපවිත්‍ර ජීවිතයකින් ඔවුන් වෙළි සිටියාහ. ගෙපැළ තුලින් නිබඳව දුඟඳ හැමීය. මැස්සන් බහුල විය. ගෙබිම නළියන පණුවන් ද අඩු නොවීය.

මෙවන් දුක්ඛිත ජීවිතයක සිටි මෙම දරු දෙදෙනා පාසැල් යැවිය යුතුය, අධ්‍යාපනය දිය යුතුය යන උවමනාව පිළිබඳව කිසිදු අරුතක් තෝමස් ලින්කන් නොදුටුවේය. ඒබ්‍රහම් ඉංග්‍රීසි හෝඩිය උගෙන ගත්තේ ඔහුට අවුරුදු 15 ක් පමණ වන විටය. එම අකුරු අසීරුවෙන් ලිවීමේ හැකියාවද ප්‍රගුණ කර ගත්තේ වනගත ප්‍රදේශයට පැමිණි තැනින් තැන යන ගුරුවරයකු මඟිනි. ඒබ්‍රහම් තම නැගණිය සමඟ වනාන්තරය මැද්දෙන් සැතපුම් හතරක් පමණ දුර ගෙවා එම ගුරුවරයා වෙතට ගියේය. ඔහුට ඇඳුමක් ලෙස තිබුණේ මුව සමකින් මසන ලද කලිසම පමණි. ඔහුගේ පාවහන්වල කෙළවර වැසීමටවත් මෙම කලිසම ප්‍රමාණවත් නොවීය. එම ගුරුවරයාගෙන් උගත් අකුරු ගෙදර විත් නැවත ලිවීමට ඔහුට කඩදාසි නොවීය. ඒවා ඉතා මිල අධික විය. එහෙයින් ඔහු කළේ ලෑලි කැබැල්ලක් සොයා ගෙන, ලිපේ අඟුරු කැබලි රැගෙන එයින් අකුරු ලිවීය. එම ලෑලි කැබැල්ල කළු පැහැ වූ විට කුඩා පිහියකින් එම ලෑල්ල සූරා දමා නැවත ලිවීමට සකස් කර ගත්තේය. එක් මොහොතක ගණිත පොතක් මිලදී ගැනීමට හැකියාව නැති තැන, ඒබ්‍රහම් ගණිත පොතක් ණයට ඉල්ලාගෙන, එහි තිබූ පාඩම් පත්තර කඩදාසිවල පිටපත් කර ගත්තේය. ඉන් පසු එම කොළ කැබලි එකට එකතු කර නූලකින් ගැට ගසා ඔහුගේ ප්‍රථම ගණිත පාඩම් පොත සකස් කර ගත්තේය.

ඒ අතරේ විවිධ ලිපි ලිවීම ආරම්භ කළ ඒබ්‍රහම් මුලින් ලියූ රචනාව වූයේ සතුන්ට දයානුකම්පාව දක්වන ලෙස කළ ආයාචනයකි. ඔහුගේ සම්පූර්ණ පාසැල් සමය මාස 12 කට පමණක් සීමා විය. නමුත් සරසවි අධ්‍යාපනයකින් වත් ලැබීමට නොහැකි තරම් වටිනා වත්කම් ඔහු සතු විය. එනම් දැනුමට ඇති ආදරයත්, ඉගෙනීමට ඇති පිපාසයත්ය. ඔහුගේ ජීවිතයේ දැනුමේ මූලාශ්‍රය වූයේ කියවීමය. කියවීමට ඔහු අභිරුචියක් දැක්වීය. ඒ සඳහා ඔහුට සහය වූ පොත වූයේ බයිබලයයි. අනෙකුත් බොහෝ පොත් ඔහු කියවූයේ ණයට ඉල්ලාගෙනය. ඉරිඟු හේන තුලදී, අසුන් බලන විටදී, එම තණ බිමේ කෑම කන ස්ථාන පවා ඔහුගේ කියවීමේ අවස්ථා ලෙස ඔහු යොදා ගත්තේය.



ජීවත්වීම සඳහා මිනිසකුට කළ හැකි උපරිම දේ තරුණ ඒබ්‍රහම් සිදු කළේය. දැවවලින් ගෙවල් සෑදීය. ගවයින්ට අවශ්‍ය තණ බිම් වලින් තණ පියලි කපා, එම බිම් වල ඉරිගු වැවීය. අසල්වාසීන්ට කුලී වැඩ කළේය. ගොවීන් සඳහා අත් උදවු දුන්නේය. සී සෑවේය. පිදුරු ගොනු කළේය. දර පැළුවේය. ඌරන් මස්කර දුන්නේය. ගොවිපලවල් වල වැඩ කළේය. ඔරු පාරුවල වැඩ කළේය. නමුත් මේ සෑම වැඩක් හරහාම ඔහුගේ ජීවිත ගමන නොනැවතී ඉදිරියට ගියේය. පසු කාලයේදී ඉලිනොයිස් ප්‍රාන්තයට පැමිණ නිව් සේලම් හි බඩු ගබඩාවක ලිපිකරුවකු ලෙස ඔහු සේවය කළේය. අශ්ව රේස්වල විනිසුරුවා ලෙස සේවය කළේය. ප්‍රාන්ත ඡන්දයක උණුසුම පැතිරුණේ මේ සමයේය. ඔහුගේ කථීක හැකියාවන් උපයෝගී කරගෙන ඔහු ද අපේක්ෂකයකු ලෙස කටයුතු කළේය. නමුත් පරාජය විය.

මේ සමයේ නිවුසේලම් හි තානායම් හිමිකරුවකුගේ දියණිය වූ ඈන් රට්ලජ් සමඟ ඔහු පෙමින් වෙළුණද, ඇයට වැළඳුණ ටයිපොයිඩ් උණ රෝගය හේතුවෙන් ඇය මිය ගියාය. වසර දෙකක් යන තුරුත් ලින්කන්ට ඈ අහිමි වීමේ වේදනාවෙන් මිදෙන්නට නොහැකි විය. දිනක් හැර දිනක් ඔහු ඇගේ සොහොන ළඟට ගියේය. පැය ගණන් එහි රැඳී සිටි එම දුක තුනී වීමට සෑහෙන කාලයක් ගත විය. පසුව නිව්සේලම් වලින් පිටවූ ලින්කන් 1837 දී ස්ප්‍රින්ෆීල්ඩ් බලා ගමන් ඇරඹුවේ නීතීඥයකු වීම සඳහා වන පර්යේෂණ හා හැදෑරීම්වලටය. ඔහුගේ මිතුරන්ගේ උදවු උපකාරයෙන් නීතිය හැදෑරීම ඉදිරියටම ගෙන ගිය ඔහු නීතීඥයකු විය.

නීතීඥ සංගමයේ අනෙකුත් නීතීඥයින්ගේ දෝෂාරෝපණයට ලක් වීමට ලින්කන්ට සිදු විය. මන්ද යත් ඔහු දුගී දුප්පතුන්ගේ නඩු කථා කළේ මුදල් නොමැතිවය. සමහර විට ඉතා සොච්චම් ගාස්තුවකටය. එලෙස කථා කල අසරණයින්ගේ නඩු අප්‍රමාණය. පසුව විවාහ වූ මාරි ටොඩ් ද ලින්කන්ගේ මෙම ගාස්තු අය කළ ආකාරයට දැඩි දෝෂාරෝපණ ගෙනාවාය. ඇය පුරුද්දක් ලෙසම ලින්කන්ට දැඩි පීඩාවක් එල්ල කළ බිරිඳක් වූවාය. ඇගේ එකම ආශාව වූයේ ලින්කන් ධවල මන්දිරයට තේරී පත්වීමයි. මේ හේතූන් නිසා ලින්කන්ගේ ගෘහ ජීවිතය ඉතාමත් අසතුටින් පිරි එකක් විය. තම බිරිඳ මාරි ටොඩ් ගේ කෲර කම් ඔහු ඉවසා සිටියේ පුදුම සහගත ලෙසය. බොහෝ වේලාවල් වලදී ඔහුව ඇය නිවසින් එළියට පන්නා දැමුවාය. එවිට ඔහු කළේ තම කාර්යාලයට වී හැකි තරම් කාලය ගත කර රාත්‍රියේදී නිවසට යෑමයි. කිසිසේත්ම ඔහුගේ ඉවසීමට සීමාවක් නොවීය.

ඒබ්‍රහම් ලින්කන් තම දේශපාලනයේදී ගෙනා ප්‍රධාන සටන් පාඨය වූයේ වහල් වෙළඳාමට එරෙහි වීමයි. මූලධාර්මික දේශපාලනයක නියැළුණු ලින්කන් කොන්දේසි විරහිතව පෙනී සිටියේද යුක්තිය, සාධාරණත්වය, සමානාත්මතාවය, සාමය හා මනුෂයවාදී මූලධාර්මික පදනම් මතය. එය බොහෝ විට ඔහුට අවාසි සහගත වුවද ඔහු එය වෙනුවෙන් පෙනී සිටියේය.

ඔහු නීග්‍රෝ ජාතික වහළුන් පිළිබඳව සිය දේශපාලන රැස්වීම්වලදී මතු කළ අදහස් ඉතා පෙරටුගාමී විය. 'නිදහස් ජීවිතයක් අත්පත් කරගැනීම ඔහුගේ අයිතියකි. ඔහුගේ දෑතින් උපයා ගත් පාන් කැබැල්ල ඔහුගේ මුවට දමා ගැනීම ඔහුගේ අයිතියකි. ඔහු මට සමානය. සෑම ජීවත්වන මිනිසකුටම සමානය. ' වහළුන් පිළිබඳ ඔහු එලෙස ප්‍රකාශ කළේය. 1861 පෙබරවාරි 23 වන දින ජනාධිපති ලෙස තේරීපත් වූ පසුව, උතුරේ ප්‍රාන්තවලින් පැන නැගුණ සිවිල් යුද්ධ තත්වයට ප්‍රධාන හේතුව වූයේ මෙම වහළුන් පිළිබඳ දැරූ ස්ථාවරයයි. 1862 දී ලින්කන් කැබිනට් මණ්ඩලයට සිය විමුක්ති ප්‍රකාශනය ඉදිරිපත් කළ අතර, 1863 නව අවුරුදු දා ඔහු එයට අත්සන් කරමින් වහළුන් ලක්ෂ හතළිස් පහකට නිදහස ලබා දුන්නේය.

එහි ප්‍රතිඵලය වූයේ රට තුළ මහත් කැළඹිලි සහගත තත්වයක් ඇති වීමයි. ජාතිය තැතිගත් අතර, ජනතාවගේ බලාපොරොත්තු සුන් විය. සෑම තැනකම ජනාධිපතිවරයා හෙලා දකින ලදි. ජනාධිපති ලින්කන්ට ඉල්ලා අස්වීමට බල කෙරිණි.

එමෙන්ම 1863 දී වර්ජිනියාවේ වහළුන් හිමි වංශාධිපතියන් විසින් ලින්කන් ඝාතනය කිරීම සඳහා රහසිගත කුමන්ත්‍රණයක් නිර්මාණය කළහ. නමුත් ජෝන් විල්කිස් බූත් නැමැති නළුවා 1865 අප්‍රේල් 15 දා නාට්‍යයක් නරඹමින් සිටි ලින්කන්ගේ හිසටම වෙඩි තබා ඝාතනය කරන ලදි.

ජීවිත වටිනාකම් වෙනුවෙන් ඔහු කළ කැපකිරීම් අපමණය. මේ දක්වා ඇමරිකානු ජනාධිපතිවරුන් 42 කගේ ඉතිහාසයේ 16 වන ජනාධිපතිවරයා ලෙස ඔහු තරම් කතා බහට ලක්වූ ජනාධිපතිවරයකු නැති තරම්ය. ඔහු කටයුතු කළේ ඔහුගේ හද පතුලෙන්ම නැගී ආ අධ්‍යාත්මික සාරාර්ථයන්ගේ පදනම මතය. එය කොතරම් දුෂ්කර වුවද සිය අවංකභාවයට පටහැණිව තම ඇතුලාන්තයෙන්ම එන හෘදය සාක්ෂියේ හඬට එරෙහි නොවූයේය. ඔහුගේ දේශපාලනික උපාය මාර්ගයක් වී නම් එය එම හෘදය සාක්ෂියම විය. ඒ සඳහා ඔහු විඳි දුක් වේදනාවන් මෙතෙකැයි කිව නොහැක. එහෙයින්ම ඔහු ජනතාවගේ ගෞරවයට පාත්‍ර විය. කපටි, කෛරාටික, අගතිගාමී, බලලෝභි, දේශපාලන ලෝකයට ඔහු සපයන ආදර්ශයේ ආලෝකය ලබනට අද කිසිවකු සුදුසුකම් සපුරා නැත.

ජූඩ් ප්‍රේමන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails