Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කියවන අතර රඟපාන්න. රඟපාන අතර පරිකල්පනය කරගන්න. ඔබම වේ නළුවා ද නිළිය ද. ඔබ අබියස ඇත ඔබේ කැඩපත. ඇති තරම් ඉඩ ඇති ඔබේ සයිබර් වේදිකාවට.

පසුතලය-
නාට්‍යයට පසුබිම් වන කාලය හා අවකාශය වන්නේ අනාගතයේ වසර පහළොවත් විස්සත් අතර එහාට ගිය පරිකල්පනීය කාලයකි. මිනිසුන් ක්‍රමයෙන් තමන්ගෙන් ද අනෙකාගෙන් ද වියෝ වූ කාලයකි. අර්ථයක් නැතිව හිනාවෙති. හැඟීමක් නැතිව බලා සිටිති. විශ්වාසය තුරන් වූ සිත් හිස් බවකින් පිරී ඇත. බලාපොරොත්තු කියා දෙයක් ඇත්තේ බලාපොරොත්තු ලෙසටමය. මේ ස්වරූපය ගත් මිනිසුන් ගැහැණුන් වේදිකාවේ විවිධ ඉරියව්වලින් යුතුව ස්ථානගත වී ඇත. ඊට සරිලන ආලෝකය ද, සංගීතය ද පසුබිම ද සැකසීමෙන් නාට්‍ය ආරම්භ වේ.

ගැහැණිය 1- (මුලින් තනිවම හිනා වේ. පසුව තව කෙනෙකු වෙත ගොස් හිනා වේ.)

මිනිහා 1- (ඔහු ද හිනාවේ. ඉන්පසු ඔවුන් දෙදෙනා එකට සිනා සෙති. එම සිනා සීමෙහි අර්ථය තමාටම මිසක අන් අයට නොවැටහේ. ඔවුන් දෙදෙනා තවත් දෙදෙනෙක් කරා ගොස් සිනාසෙති. එක්වරම සිනහව නතර වෙයි. ඉන් පසු මහා නිහැඬියාවකි. ඔවුන් දෙදෙනා ඔහේ බලා සිටිති. තවත් කිහිප දෙනෙක් ද එවැනිම වූ ශූන්‍යත්වයක ගිලී ඇත. එය නාට්‍ය මූලධර්ම පවා උල්ලංඝණය වන්නා වූ නිහැඬියාවකි. කාලය ඇද දැමීමකි. එය බිඳ දැමිම පිණිස ටික වෙලාවකින් පුද්ගලයෙක් වේදිකාවට පැමිණෙයි. ඔහු නාට්‍යයේ මැදිහත්කරු වේ.)

මැදිහත්කරු- (චරිතයට අදාල සංකේතීය ඇඳුමක් ඇඳ ඇත.) මේ අප ඉන්නේ අනාගතයේ වසර විස්සක පමණ කාලයක් ඉදිරියෙනුයි. ඒ කාලයේ නියම තත්ත්වය මෙන්න මේක තමයි. ඒත් ඔබ ඉන්නේ වසර විස්සක් මෙහා නිසා මට මේ කතාවේ නිර්මාණකරුවා කිව්වා ඔබට ඒ ගැන පැහැදිලි කරලා දෙන්න කියලා. ඇත්තටම මට තේරෙන්නෙත් නැහැ. ඒත් මම මේ ගැන ටිකක් පුහුණු වෙලා ආපු නිසා මට පුළුවන් ඔබට උදව් වෙන්න. ඉතින් මම පටන් ගන්නම් මේ කතාවෙන් කියන්න හදන, නෑ.. නෑ.. පෙන්නන හදන අදහස මොකක් ද කියන එක.... ඊට කලින් මට උපදෙස් ලැබුණා අපේ නිර්මාණකරුවාගෙන්, ඔබත් එක්ක ටිකක් සංවාද ගතවෙන්න කියලා. අපි අවුරුදු විස්සක් අනාගතයට යන්න බැරි වෙන්න පුළුවන්, ඒත් මම හිතන්නේ අපිට බැරි වෙන්න විදිහක් නෑ අවුරුදු විස්සක් අතීතයට යන්න. මම ඔබ හැමගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර හැකි ඉක්මනට අවුරුදු විස්සක් අතීතයට යන්න කියලා. එහෙම නැති උනොත් අපිට අපේ නාට්‍ය පටන් ගන්න පරක්කු වෙන්න පුළුවන්. (හිනහ වී) තරුණවියට යන නිසා අනාගතයට වඩා අතීතයට යන්න ආසා ඇති කියා මම හිතනවා. එම නිසා මම දෙනවා සුළු වෙලාවක් ඔබට හැකි ඉක්මනට අතීතයට යන්නට.

සංගීතය හා පසුබිම් ගීතය-
බාල්දියක් ගැටගහලා ලණුවෙන්
බොලොක් එකෙන් අත බුරුලෙන්
හිත ඇදුනා තුඹසට යන වේගෙන්
හිත ඇදුනා තුඹසට යන වේගෙන්

විසි වසරක ගැඹුරු ලිඳේ පතුලේ
හිත වැදුනා මරු පහරකි පතුලේ
අඳුර එළිය දැවී නිවෙන මොහොතේ
සොයමි බලමි මම කිමිදෙමි සිතු සේ

මැදිහත්කරු- ඔව් ඔබ දැන් ඉන්නේ මීට වසර විස්සකට පෙර ඔබට උරුම වු අතීතයක. මම අහන්න යන්නෑ ඔබට දැනෙන හැඟීම ගැන. මොකද ඒක සතුටක් මෙන්ම දුකක් ඇතිවෙන්නත් පුළුවන්. අපේක්ෂාභංගත්වයක් මෙන්ම සඵල වීමක් වෙන්නත් පුළුවන්. එත් මොන තත්වයක් උනත්, එයින් යම් සිත් තැවුලක් උනානම් සමාව ඉල්ලන්න කියලත් අපගේ අධ්‍යක්ෂවරයා කිව්වා. ඒ වගේම අතීතයට ගිය අය අතීතයේ ඉන්න නොදී නැවත මේ මොහොතට කැන්දා ගන්න එක මගේ දක්ෂකමක් කියලයි මගේ අධ්‍යක්ෂවරයා මට කියන්නේ. මම හිතනවා මම දක්ෂයි කියලා. ඒත් මට සැකහැර දැන ගන්න විදිහක් නැති නිසා, මට අවශ්‍යයි ඔබගේ අවධානය තදින්ම තියා ගන්න. ඒ හින්දා මම කියන්න යන්නේ රහසක්. මේ නාට්‍යයේ නිර්මාණකරුවා මට කිව්වේ මේක කොහොමටවත් කියන්න එපා කියලා. ඒත් මම තීරණය කෙරුවා ඒක ඔබට කියන්න. ඒක නිසා ඔබ සැම දෙනාවම මම විශ්වාස කරන අතර මාවත් විශ්චාස කරන ලෙස ඉල්ලා සිටිනවා. ඉතින් සියලුම දෙනාට අතීතයේ සිට මේ මොහොතට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා.

සංගීතය හා පසුබිම් ගායනය-
සසරක කතරක පැටලුණු
අතීත රස දිව ගා බලණු
කාලය කෙටිකර පබඳිනු
පියවර මැන යළි නැගඑනු

ගිය විගසම අසුරු සැනින්
අතීතයෙන් කර පියමන්
ජෙට් යානය සතු වේගෙන්
බල සකි රඟහල එලියෙන්

ඔව් මම හිතනවා දැන් ඔක්කෝම මේ මොහොතට පැමිණ මගේ රහස ශ්‍රවණය කිරීමේ තදාත්මක විඝටනයේ නිමග්නව සිටින බව. ඒත් මේ රහස මම ඔබට කියන්නේ කාරණා දෙකක් නිසයි. එක මම මේ රහස කිව්වට පස්සේ කිසිම මොහොතකවත් මාව පාවා නොදෙයි කියා විශ්වාස කරනවා. දෙක අවසානය වෙන තෙක් රහසක් ලෙස තියා ගන්න කියා මට උපදෙස් දුන්න මේ නාට්‍යයේ නිර්මාණකරුවාගේ අභිප්‍රාය ඇත්ත වශයෙන්ම භයානකයි. නමුත් ආදරණීයයි. ඔබට මේ දෙකම හෝ එකක් තෝරා ගන්න වෙනවා. එත් ඔහුට නම් අවශ්‍ය එක දෙයක්. ඒ තමයි මහා ජනනැගිටීමක්. ඒකයි ඔහු කිව්වේ කිසි විදිහකින් වත් ඒ ගැන අවසානය වන තෙක් කියන්න එපා කියලා. අපේ නිර්මාණකරුවාට අවශ්‍ය හරියට ජාතිවාදියෙක් අවුස්සනවා වගේ අන්තිම මොහොතෙ දි සියලු දෙනාම නැගී සිටුවන්න. මේ නව ඒකාධිපති ක්‍රමයට එරෙහිව සකල විධ ජනතාව පෙලගස්වන්න. ඒකට ඔහු භාවිත කරන උපක්‍රමය තමයි වර්තමාන ජනයාට උරුම වන අනාගතය පෙන්වන එක. මට කියන්න ඕන මෙච්චරයි පරිස්සමෙන් නාට්‍යය නරඹන්න. මොකද මේක අපේ කතාව උනාට රඟහල අනුන්ගේ. හැඟීම් පාලනය කර ගන්න. බුද්ධිමත්ව හිතන්න. අපේ අධ්‍යක්ෂවරයා නම් කිව්වේ හැකි තරම් ස්වභාවිකව කරන්න කියලා. ඒත් මම හිතුවා වර්තමාන මේ මොහොතට අනුව තදාත්මක විඝඨනය යොදාගෙන සත්‍ය හා මායාව අතර ඇති බැමි බිඳ දමන්න. ඔබට සැක හිතෙන හැම මොහොතකම මම මැදිහත් වෙන්නම්. ඒත් ඒක රහසක් ලෙසම තියාගන්න කියා ඉල්ලා සිටිනවා. හොඳයි දැන් එහෙම නම් අපි නැවත නාට්‍ය වෙත යමු.

දැන් ඔබ මේ මොහොත තුල ජිවත්ව ඉන්න බව මට විශ්වාසයි. එනම් අතීතයේ සිට වසර විස්සක් පසු කොට පැමිණ ඇති කාල අවකාශය. ඒත් අනාගතයේ වසර විස්සක දි ඔබ මේ අද සිටින තත්තවයට වඩා හාත්පසින්ම වෙනස් සත්වයෙක් බව ඔබවත් කිසිකෙනෙකුට හිතා ගත නොහැකි බව තමයි දැක ගන්නට ලැබෙන්නේ. මම පැමිණෙන්නට මෙහොතකට පෙර ඔබ දකින්නැති- ඒ තමයි වසර විස්සකින් ඔබට හමු වන මිනිසා. ලෝකය තමා තුල නිර්මාණය කරගත් මිනිසා. ඔබ හිතන්න එපා මේක උමතුවක් කියා. මොකද මේ කාලෙත් පිස්සන් කොටු තියෙනවා. එහි ඉන්න පිස්සෝ කොහොමද කියලා දැන ගන්න පුළුවන් නාට්‍ය අතර තුර.

ඉතින් මීට ටික වෙලාවකට පෙර ඔබ දකින්න ඇති නාට්‍ය ආරම්භය. ඒ ඔබ දුටුවේ සාමාන්‍ය ජනයා උනත් මේ නාට්‍යයේ ප්‍රධාන භූමිකාවන් නිරූපණය කරන ඉතිරි චරිත බලාගෙන ඉන්නවා තමන් කවුද කියලා කියනකං.

වැඩි වෙලා ගන්න අවශ්‍ය නැහැ මම මුලින්ම හඳුන්වා දෙන්නම්, ආනන්තර්ය පාපකර්මයට තවත් එක් පාපයක් එකතු කළ නූතන පව්කාරයා නොහොත් ජනමාධ්‍යවේදියෙකු විමේ පාපකර්මය නියෝජනය කරන අනාගතයට වේශ නිරූපනය වන ජන හතුරා නොහොත් රජ මිතුරා.

(සංගීත ඛණ්ඩයක් සමඟ ඔහු පැමිණේ.)
ඇතුලත සිට කොණ්ඩය හා රැවුල වවා ගත් පුද්ගලයෙතු පැමිණ වේදිකාවට අචාර කරයි.

මැදිහත්කරු- දැක්කා නේද? හරිම ආචාරශිලියි. ඒත් සත පහකට විශ්වාස කරන්න එපා. හැබැයි මෙයා නම් ප්‍රගතිශීලි මාධ්‍යවේදියෙක් කියලයි කියන්නේ. මම වැඩිපුර කියන්න යන්නෑ බලමු එයා මොකක් ද කරන්නේ කියලා.

මාධ්‍යවේදියා- මම ගැන දැන්ම හඳුන්වා දෙන්න ද?

මැදිහත්කරු- ඔව් ඔබගේ පාඨක ශ්‍රාවක ප්‍රේක්ෂක සියලු දෙනා බලා සිටී. ඔබ කවුදැයි බලා ගැනිමට.

මාධ්‍යවේදියා- (ඔහු ගරු සම්පන්නව) ඇත්ත වශයෙන්ම මම ස්වාධීන නිදහස් මාධ්‍යවේදියෙක්.

මැදිහත්කරු- මැදට පැන්නට සමා වෙන්න. ස්වාධීන නිදහස් මාධ්‍යවේදියෙක් කිවුවට එහෙමම ම නැහැනෙ නේද? මම හිතන්නේ මම නිවැරදියි.

මාධ්‍යවේදියා- ඇයි නැත්තේ?

මැදිහත්කරු- හැබැයි මෙතන රඟපාන්න තියෙන්නේ දහඅට සන්නියක්.

මාධ්‍යවේදියා- ඔව් මම දන්නවා ඒත් මම ගැන කියන්න එපැයි. නැත්තම් මේ හැමෝම වගේ කියලා මා ගැනත් හිතයි.

මැදිහත්කරු- හරි හරි. මේ නාට්‍යයේ කොටසක් නෙවෙයි ද එහෙනම්. එහෙම කියන්න එපැයි.

මාධ්‍යවේදියා- මම ඉල්ලා සිටිනවා මේකත් නාට්‍යෙය් කොටසක් කර ගන්න කියලා.

මැදිහත්කරු- එහෙම කරන්න ගියොත් ජනතාවට අලකලංචියක් වෙයිද?

මාධ්‍යවේදියා- නෑ අපේ අධ්‍යක්ෂකතුමාම තමයි මට කිව්වේ පුළුවන් තරම් නිදහසේ රඟපාන්න කියලා

මැදිහත්කරු- (ඔහුට නොඇසෙන්නට එහෙත් ප්‍රෙක්ෂකයාට)එයා දන්නෙ නෑ මට දීලා තියෙන උපදෙස් මොනවද කියලා. මොනව උනත් ඕගොල්ලෝ ඇහැ ගහගෙන ඉන්න මොනවද වෙන්නේ කියල.

මාධ්‍යවේදියා- ඔයා මොනවද කුටු කුටු ගාන්නේ.

මැදිහත්කරු- අපේ අධ්‍යක්ෂවරයට නම් ප්‍රේක්ෂකයා ගැන කිසිම විශ්වාසයක් නෑ. මොන මොන සූත්‍ර දේශනා කළත් අන්තිමේදි අහුවෙන්නෙම බ්‍රහ්ම සූත්‍රයකටමයි.

මාධ්‍යකරුවා- එහෙම කියන්න එපා. ජනතාව ඔය කියන තරම් මෝඩ නැහැ. වැරුද්ද තියෙන්නේ අනිත් පැත්තේ.

මැදිහත්කරු- ඔය කියන්නේ. ඔය කියන්නේ. ආයෙත් හදන්නේ මිනිසුන්ව අන්දන්න. ජංගියක්ම අන්දන්න. මේක නාට්‍යයේ මතය නොවන බවත් ඔහුගේ පුද්ගලික අදහස බවත් සපුරා ප්‍රකාශ කරමි. ඒත් සමගම නාට්‍යකරුවාගේ අදහසට යම් සමාන කමක් ඇති පුංචි කතාවක් කියන්න අවසර දෙන්න. මේකත් නාට්‍යයට අදාල එකක් නෙවෙයි. ඒත් මේක පහුගිය කාලයේ සත්‍ය අත්දැකීමක්. මේක මගේ අතුරුකතාවක්. මම හිතනවා ඔබට බෝරින් නොවෙයි කියල. මේ සිද්ධිය උනේ මිට වසර ගණනාවකට ඉහත එනම් දාහත් අවුරුදු ශාපය කියලා හඳුන්වන කාලයට පස්සේ පැවැතුණු ඡන්ද කාලයේ දී. විප්ලවයේ බලාපොරොත්තු තියාගෙන හිටපු අපේ මාක්ස්වාදී සහෝදරවරු මර්දනයෙන් නැවත මතු වුණු පක්ෂයට එකතු කිරීමේ තරඟයක ඉන්නකොට, එක යාලුවෙකුට හමුවුණා වයසක ආත්කම්මා කෙනෙක්. මිනිහා ඇයට තෙල දුන්නා නියමෙට. ආත්තම්මා සෙට්වුණා පක්ෂෙට. හොඳටම සංතෝෂයි. මොකද වැඩිහිටි පරම්පරාවත් දැන් ඊලඟ විප්ලවයත් එක්ක. අපේ සහෝදරයා ඔක්කොම ප්ලෑන් කරලා ඡන්දේ දවසේ ආත්තම්මව නග්ගාගෙන මෝටර් සයිකලේ එක්කගෙන ගියා ඡන්ද පොළට. සහෝදරයා එළියට වෙලා බාලාගෙන හිටියා එක ඡන්දයක් වැඩිවෙන දිහා. අත්තම්මා එලියට ආවා.කොහොමද අත්තම්මේ වැඩේ හරි නේද?

ඔව් මගෙ පුතේ ඡන්දෙ දැම්මා සෑහෙන කාලෙකින්...
හරියටම ගැහුවද?
ඔව් මයෙ පුතේ...
මම කියපු විදිහට අපේ ලකුණට ගැහුවනේ...
අනේ මගෙ පුතේ. ඡන්ද කොලේ බලාගෙන යන කොට අර තිරිසනා හොඬේ පහත් කරගෙන ඉන්නවා දැක්කා. මට ඔක්කොම අමතක වුණා පුතේ...
ඈ... එතකොට කාටද ගැහුවේ?
වෙන එකක් වෙන්න කියලා තිරිසනාටම ගැහුවා මගෙ පුතේ

සහෝදරයට මල පැන්නා අත්තම්මව ඡන්ද පොලේ දාලා යන්න ගියා සහෝදරයා...

මාධ්‍යවේදියා- (හිනාවෙමින්) සහෝදරය තාමත් යනවා ඇති...

මැදිහත්කරුවා- නෑ සහෝදරයත් ඉන්නේ දැන් ආණ්ඩුවේ. මේ තමයි අපේ රටේ ජනතාව. ඒකයි මට කියන්න ඕන වුනේ.
(වේදිකාව පිටුපස සිට තවත් චරිතයක් දුවගෙන එයි. ඔහු රැඩිකල් සෝමේය.)

මැදිහත්කරු- මේ යකා මොකද මේ වෙලාවේ කඩා පැන්නේ. ඒයි රුඩිකල් සෝමේ ඔයාගෙ කොටස තවම ආවෙ නෑනේ.

සෝමේ- නෑ. මම බලාගෙන හිටියා හිටියා. මේක ඉවර වෙන්නෑ. මම හිතුවා වැඩේ වැරදිලා කියලා. ඒකයි මම අවේ. එහෙනම්, මම ආයෙ එන්නම්. (ඔහු ආපහු යන්න යයි)

මැදිහත්කරුවා- දැන් ගියත් වැඩක් නෑ හිටියත් වැඩක් නෑ.

මාධ්‍යකාරයා- මගේ කතාවෙන් පස්සේ නේද රැඩිකල් සෝමේ?

මැදිහත්කරු- ඔව් ඒත් දැන්කරන්න දෙයක් නෑ. මම ප්‍රේක්ෂාගාරයෙන් සමාව ඉල්ලන ගමන් නාට්‍යය පොඩි වෙනසක් කරනවා.

මාධ්‍යවේදියා- ඒ මොකක්ද ඒ ගමන?

සෝමේ- ඒ වෙනසට මම කැමැතියි.

මැදිහත්කරු- (සෝමෙට ඔච්චම්කර) ඔව් ඔව් හැමදාම වෙනස කියලා කෙරුවේ... (වෙනස් ස්වරයකින්) ඔව් ආදරණීය ජනතාවනි, ඒ වෙනෙස ඊලඟ අංකයෙන් ඔබට ගෙන එන තෙක් රැඳි ඉන්න. අපිට විරාමයක්...

උදය ආර්. තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails