Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



1990 දී සිර ගෙයින් නිදහස් වූ විගස නෙල්සන් මැන්ඩෙලා මුලින්ම කළ දෙයක් වූයේ, කියුබාවේ සංචාරය කොට, ෆිදෙල් කස්ත්‍රෝ හවුවී තම ප්‍රසාදය ද ගෞරවාදරය ද පිළිගැන්වීමයි.

"අපේ මිනිසුන් පුහුණු කළේ කවුද, අපට සම්පත් දුන්නේ කවුද, අපේ සොල්දාදුවන්ට- වෛද්‍යවරුන්ට සහය දුන්නේ කවුද?" හවානාවේ මහජන රැස්වීමකදී මැන්ඩෙලා ෆිදෙල්ගෙන් ඇසුවේය. "ඔබ අපේ රටට ආවේ නැහැ. කවදාද ඔබ එන්නේ?"

ෆිදෙල් දුන් පිළිතුර වූයේ; "මම දකුණු අප්‍රිකාවට පැමිණ නැහැ තමයි. නමුත්, මම ඊට මගේ මවුබිමට මෙන්ම ආදරෙයි."

අප්‍රිකානු නායකයින් සහ ලතින් අමරිකාව සමග වූ සම්බන්ධතා ගැන විමසීමේදී, කස්ත්‍රෝ සහ මැන්ඩෙලා අතර වූ මිතුදම අමතක කළ නොහැකි අපූර්වත්වයෙන් යුතු වූ එකක්. 1959 කියුබානු විප්ලවයේ විජයග්‍රහණයෙන් තරුණ මැන්ඩෙලා ඉමහත් උත්තේජනයක් ලැබීය. පසුව, 1975දී ලබා දුන් කියුබානු හමුදා සහයෝගය මෙන්ම අසූව දශකයේදී අප්‍රිකානු ජාතික කොංග්‍රසය නීතිගත කරගැනීමෙහි ලා දකුණු අප්‍රිකානු ආණ්ඩුවට බලපෑම් කිරීම සඳහා කියුබාව ඉටු කළ කාර්යභාරය ද මැන්ඩෙලා මහත් සේ අගය කළේය. 1975දී කියුබාව දකුණු අප්‍රිකානු නිදහස් අරගලයට සහාය පළ කරමින් සෙබළුන් ලක්ෂ තුනක් ඇංගෝලාවට එවූ බව කියුබානු ග්‍රැන්මා පුවත් පත සඳහන් කොට තිබිණ.


මැන්ඩෙලා- 1918 ජූලි 18 වන දින උපන් මැන්ඩෙලා දකුණු අප්‍රිකානුවන් විසින් බොහෝ විට හඳුන්වනු ලබන්නේ ඔහුගේ වංශ නාමය වන මැඩිබා (Madiba) යන නමින්. ඡායාරූපයේ දැක්වෙන්නේ මැන්ඩෙලා 1945-1960 කාලයෙදී සිය පෙළපතට අයත් තෙම්බු (Thembu) ගෝත්‍රික සම්ප්‍රදායික ඇඳුමින් සැරසී ඉන්නා අන්දමයි.
(API/Gamma-Rapho via Getty Images)


1991 කියුබානු සංචාරයෙදී, මැන්ඩෙලා පිළිගැනීම සඳහා කියුබානු ජනතාව වීදිවල රොක් වූ අතර, ශ්‍රෙෂ්ඨ අප්‍රිකානු නායකයා වෙත ඔවුන්ගේ අසීමිත ගෞරවය පුද කළහ. "ඕනෑම කියුබානුවෙකුගෙන් මැන්ඩෙලා ගැන ඇසුවහොත්, ඔවුන් මැන්ඩෙලා එදා මෙදා තුර ලොව විසූ ශ්‍රේෂ්ඨම මිනිසුන් අතරෙහි තබනු නිසැකය." හවානාවේ මාධ්‍යවේදී එලේනා කැල්ඩෙරින් පවසයි. 1991 කියුබානු සංචාරයෙන් පසුව මැන්ඩෙලා ආජන්ටිනාව සහ බ්‍රසීලය යන රටවලද සංචාරය කළේය.


1964 ජුනි 16, මැන්ඩෙලා සිර ගත කළ දිනය. මැන්ඩෙලා සහ තවත් සිරකරුවන් හත්දෙනෙකු රැගත් බන්ධනාගාර වාහනය. ඔවුහු වාහනයේ ජනෙල් කූරු අතරින් එළියට දමා පෙන්වන අරගලයේ සංකේතය- මිට මෙළවූ අත්!
(OFF/AFP/Getty Images)


මැන්ඩෙලා 1962 දී අත්අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වා සිර ගත කරන ලද අතර පුරා වසර 27ක් කුඩා සිර මැදිරියක් තුළ ජීවත් වූයේය. 1994 දී මැන්ඩෙලා නිදහස් අප්‍රිකාවේ පළමු කළු ජනපති වූ අතර එකී පදවිප්‍රාප්ති උළලේ ගෞරවනීය අමුත්තා වූයේ කස්ත්‍රෝ ය. "ෆිදෙල් අප වෙනුවෙන් ඉටු කොට ඇති දෑ වචනයෙන් පැවසිය නොහැකි තරම්..." මැන්ඩෙලා පැවසීය. "මුලින්ම, ඔහු, වර්ණභේදවාදයට එරෙහි අපේ අරගලය වෙනුවෙන් සිය සහාය පළකිරීමට නොපැකිළ ඉදිරිපත් වූ අතර දැන් අප නිදහස භුක්ති විඳින මේ මොහොතේ කියුබානු වෛද්‍යවරු රාශියක් අප වෙනුවෙන් මෙහි පැමිණ වැඩ කරමින් සිටිති."


1993 දෙසැම්බරයේදී නෙල්සන් මැන්ඩෙලා සහ එවකට ද. අප්‍රිකානු ජනපති එෆ්.ඩබ්. ක්ලාක් යන දෙදෙනාට නොබෙල් සාම ත්‍යාගය පුදනු ලැබීය. වර්ණභේද පිළිවෙත් නිමා කොට බහුජාතීය රාජ්‍යයක් ඇතිකරගැනීම උදෙසා කළ කැපකිරීම් උදෙසා මේ ත්‍යාගය පිරිනැමිනි.
(Photo Credit: Corbis)


1994 මැයි 11 දින පටන් දකුණු අප්‍රිකාව සහ කියුබාව අතර නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹුණු අතර, ජූලි 18 වන දිනට යෙදෙන අන්තර්ජාතික මැන්ඩෙලා දිනය ද කියුබාව තුළ ඉහළින් සැමරෙයි.

මැන්ඩෙලාගේ අනූවන උපන්දිනය වෙනුවෙන්, කස්ත්‍රෝ එවූ සුභ පැතුම් පණිවුඩයයි මේ;

"වසර විසි පහක් සිර ගතව හිඳිමින් මානව ගරුත්වය රැකගත් නෙල්සන් ඔබට ප්‍රශංසා වේවා...! අපවාද සහ වෛරයට ඔබේ වානේ බඳු ඉවසීමේ ගුණය හමුවේ කළ හැකි කිසිවක් නොවීය. සිදු වූයේ ඔබ උත්තම මිනිස් බවේ සංකේතයක් වීමයි. අනාගත පරපුරේ මතකය තුළ ඔබ ජීවමාන වනු ඇත."








නෙල්සන් මැන්ඩෙලා, ෆිදෙල් කස්ත්‍රෝ: අන්‍යෝන්‍ය අගය කිරීම මත තැනුණු අපූරු මිතුදම

(huffingtonpost.com ඇසුරිනි.)
පරිවර්තනය - මේනක බණ්ඩාර සමන්කුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails