Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


TIME සඟරාවේ 2013 ජූලි 01 කවරයේ කතාවේ (The Face of Buddhist Terror) සම්පූර්ණ සිංහල පරිවර්තනය. සඟරාවේ මෙම කලාපය ලංකාව තුළ ද තහනම් කොට තිබේ.

එය සාමය සහ ඉවසීම නිසාවෙන් ම ප්‍රකට වූ ආගමකි. එහෙත්, බෞද්ධ බහුතරයක් වසන ආසියානු රටවල් කිහිපයකම, භික්ෂූහු ප්‍රචණ්ඩත්වය සහ ආධානග්‍රාහීත්වය අවුළුවමින් හිඳිති. ඒ වැඩි වශයෙන්ම මුස්ලිම්වරුන්ට එරෙහිවයි.

ඔහුගේ මුහුණ තවමත් නිසලය. ශාන්තය. "බුරුම බින් ලාඩන්" යන විරුදාවලී ලත් බෞද්ධ භික්ෂුව සිය අනුශාසනය අරඹයි. දෝත් එක්කරගත් සිය ගණනක් උපාසක උපාසිකාවෝ, තෙත් වූ සිරුරු මතින් ගලායන දහදියද නොතකා,ඔහු අබිමුව වාඩි වී සිටිති. එවිටම වාගේ, ඔවුහු සිවුරු දරන්නා සමග ගාථා සජ්ඣායනය කරන්නට පටන් ගනිති. රැන්ගූන් වලට පසු බුරුමයේ විශාලතම නගරය වන Mandalayහී පන්සල් බිමෙන් නැගෙන ගාථා හඬ පාවී ගොස් ග්‍රීෂ්ම සුළඟට මුසු වෙයි. එය බැලූබැල්මට මහත් සාමකාමී දසුනකි, එහෙත්, විරාතු හිමියන්ගේ පණිවිඩය වෛරයෙන් පුපුරු ගසමින් නැගෙයි. "දැන් ඉතින්, සන්සුන්ව හිටි කාලය ඇති!", භික්ෂුව හඬ නගා කියයි. තමන් විසින්, බෞද්ධ බහුතරයක් සිටින මේ බිමෙහි වසනා සුළුතර මුස්ලිම්වරුන්ව අතිශයින් පිළිකුල් කරනු ලැබීමට හේතු පහදමින් ඔහු විනාඩි අනූවක් පමණ අනුශාසනා කරයි. "ඉතින් මේ එළඹ ඇත්තේ ලේ කෝප කරගෙන නැගී සිටිය යුතු කාලයයි!"

මියැන්මාරයේ, නොඑසේනම්, බුරුමයේ බෞද්ධයන්ගේ ලේ කැකෑරෙමින් තිබේ, මුස්ලිම්වරුන්ගේ රුධිරය වැගිරෙමින් තිබේ. ගෙවුණු වසර මුළුල්ලේම, බෞද්ධ කලහකාරී පිරිස්, සුළුතරය ඉලක්ක කොට ගෙන ඇති අතර විරාතු (ඔහු හැඳින්වෙන්නේ එම තනි නමිනි!) හිමියන්ගේ ප්‍රදාහක වාගලංකාරයෙන් ද අනෙකුත් දැඩි මතධාරී භික්ෂූන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ද ආගමික අන්තවාදයේ ගින්න මෙලවෙමින් තිබේ. රජයේ සංඛ්‍යා ලේඛන වලට අනුව විශාල ගණනක් මරා දමනු ලැබ ඇති නමුදු, ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරින්ට අනුව නම් එය සිය ගණනකි. බුරුමයේ බටහිරට වන්නට ජීවත් වන, පුරවැසිභාවය නොමැති රොහිංයා මුස්ලිම් කණ්ඩායම් වෙත වැඩිම ප්‍රචණ්ඩත්වයක් එල්ල වී ඇත. එක්සත් ජාතින්ගේ සංවිධානය එකී ජන කණ්ඩායම හඳුනාගන්නේ ලෝකයේ වැඩියෙන්ම හිංසනයට පත් වන ජන කොට්ඨාශය ලෙසයි. උද්වේගකර දේශනා පවත්වන, 46 හැවිරිදි විරාතු හිමි ජීවත් වන බුරුමයේ මධ්‍යම පළාතටත් වර්ගවාදී ලේ වැගිරීම පැතිරී ඇත. මේ අන්තගාමී භික්ෂූව, හැට මිලියනයක් වූ සමස්ත බුරුම ජනගහණයෙන් 5%ක් වූ මුස්ලිම්වරුන් ගේ පැවැත්ම දකින්නේ රටට සහ එහි සංස්කෘතියට එල්ල වූ තර්ජනයක් ලෙසිනි. "මුස්ලිම්වරුන් වේගයෙන් බෝ කරමින් යනවා. අපේ ගැහැණුන් හොරකම් කරගන්නවා. දූෂණය කරනවා." ඔහු මට කියයි. "ඔවුන්ට ඕනෑ අපේ රට අයිති කරගන්නයි. මම ඒකට ඉඩ තියන්නේ නෑ. මියැන්මාරය බෞද්ධ දේශයක් ලෙස තබාගත යුතුයි."



මේ වෛරී කථනයෙන් තර්ජනයට ලක් වන්නේ, ඉතාම මෑතක දී අඩ සියවසක පමණ හමුදා පාලනයේ විලංගු ගැලවූ, ජනවාර්ගික කණ්ඩායම් 135කින් සැදුම්ලත් රටක, තවමත් නොමේරූ දේශපාලන වාතාවරණයයි. දැනටමත් ඇතැම් රාජ්‍ය නිලධරයින් මිලිටරි පාලන කාලයේදීත් ඉතා විරල ලෙස බලාත්මක කළ, රොහිංයා කාන්තාවකට තැනිය හැකි දරුවන් ගණන දෙදෙනෙකුට සීමා කිරීමේ නීතිය බලගැන්වීම පිළිබඳව කතා කරන්නට පටන් ගෙන තිබේ. රටේ උතුරේ වසන ක්‍රිස්තියානි භක්තිකයන් පවසන්නේ, මෑතකදී බුරුම හමුදා සහ කචින් කැරලිකරුවන් (ඔවුන්ගෙන් බහුතරය ක්‍රිස්තියානි භක්තිකයන්ය) අතර ඇති වුණු ගැටුම් අවුලුවාලූයේ ද වැඩි වෙමින් තිබෙන ආගමික පරතරය මගින් බවයි.

අන්තවාදී බෞද්ධ ප්‍රවණතාව ආසියාවේ සෙසු කොටස් වල ද වැඩෙමින් පවතී. උසස් රාජ්‍ය නිලධාරීන් සමග සම්බන්ධකම් ඇති, භික්ෂූන් ගේ අනුබලය ඇතිව මුස්ලිම් සහ ක්‍රිස්තියානි දේපළ වලට හානි කිරීම් සංවිධානය කළ, ජාතිවාදී බෞද්ධ කණ්ඩායම්, මේ වසරේ දී, ශ්‍රී ලංකාවේ පෙරමුණට පැමිණියේය. 2004දී පටන් ජීවිත පන්දාහක් පමණ බිලිගත් මුස්ලිම් කැරැල්ලක් පවතින තායිලන්තයේ දකුණු පෙදෙසේ, තායි යුධ හමුදාව සිවිල් ප්‍රහාරක කණ්ඩායම් පුහුණු කරන අතර පන්සලෙන් පිටත දී බෞද්ධ භික්ෂූන් හට හමුදා ආරක්ෂාව සැපයීම සාමාන්‍ය කරුණක් වී තිබේ. සෙබළුන් සහ (ඇතැම් විට සන්නද්ධ වුණු ) භික්ෂූන්ගේ මේ කලවම, තායිලන්ත සුළුතර මුස්ලිම්වරුන් අත් දකින්නා වූ දූරස්ථ භාවය තීව්‍ර කරවයි.

එක් එක් රටවල දේශසීමා තුල මේ පෙරලිකාර බෞද්ධත්වයේ ගමන්මග ඒ ඒ රටවල ඉතිහාසය විසින් නිර්ණය කරනු ලැබුව ද, අන්තර්ජාල ප්‍රවේශන හැකියාවන් ගේ වර්ධනයේ ඵලය අවිචාරක මත සහ කටකථා ෆේස්බුක් සටහන් හා ට්වීටර් නිවේදන හරහා ප්‍රකෝපකාරී පණිවිඩ බවට පත්වීමයි. ප්‍රචණ්ඩත්වය පහසුවෙන්ම දේශසීමා හරහා පැතිරී යයි. සිය දහස් ගණනක් බුරුම සංක්‍රමණිකයින් රැකියා කරන මැලේසියාවේදී බුරුම බෞද්ධයන් කිහිප දෙනෙකු ජූනි මාසයෙ දී ඝාතනය විය. මැලේසියානු බලධරයන් පවසන අන්දමට එය සිදුව ඇත්තේ, බුරුමය තුළ සිදු කරන ලද මුස්ලිම් ඝාතන වලට එකට එක කිරීමක් වශයෙනි.

ආගමික අන්තවාදයන් සැලකීමේ දී (-හින්දු ජාතිවාදීන්, මුස්ලිම් යුධකාමීන්, මූලධර්මවාදී ක්‍රිස්තියානීන්, සීමාන්තික මතධාරී යුදෙවුවන්-) බුදුදහම හැමවිටම වාගේ පරිබාහිර වෙයි. ලෝකයේ බොහෝ දෙනෙකුට බුදුදහම, සිදුහත් ගෞතම බුද්ධ විසින් වසර 2500කට පෙර පතළ කළ අවිහිංසාවාදය සහ දයාබරිත කරුණාවන්තභාවය සංකේතවත් කරයි. එහෙත්, අන් සියළු ආගම් අදහන්නන් හා සමානවම, බෞද්ධයන් සහ ඔවුන්ගේ පුජ්‍ය පක්ෂය ද දේශපාලනයෙන් හා අවස්ථාව එළැඹුනු කල, අසීමාන්තික ජාතිවාදයෙන් ද විනිර්මුක්ත නොවෙති. ආසියානු රටවල් අධිරාජ්‍යවාදයට සහ පීඩනයට එරෙහිව නැගී සිටි අවස්ථාවල, බොදු භික්ෂූහු සිය සදාචාරාත්මක බලපැවැත්වීම් සහ සංඛ්‍යාත්මක බලයෙන්, යටත්විජිතවාදයට එරෙහි ව්‍යාපාර මෙහෙයවූහ. ඇතැම්හු සිය අරමුණු වෙනුවෙන් උපවාස කළ අතර, ඔවුන්ගේ ගිලුණු සම් මස් ද ඉලිප්පුණු ඉළඇට පේළි ද, ඔවුන් තුළ වූ කැපවීම ගිහියන්ට ඒත්තු ගැන්වීය. පණස් වසකට එපිට, දකුණු වියට්නාමයේ මර්දනකාරී රජයට එරෙහිව විරෝධය පලකරමින් සයිගොන්හිදී සිය සිරුරට ගිනි තබාගත්, අග්නිජාලාවක වෙලී පද්මාසන ලීලාවෙන් හිඳ සිටින Thich Quang Duc හිමියන්ගේ රුව මේ සියල්ලම අතරින් වඩාත්ම ප්‍රබල මතක සටහන විය හැක. 2007දී, බුරුම භික්ෂූහු, අසාර්ථක වූ, ප්‍රජාතන්ත්‍රවාදී නැගී සිටීමක් මෙහෙයවූහ. ඔවුන් ඝාතනය කල හමුදා සෙබළුන්ගෙන් කෙසේ වෙතත්, දාන පාත්‍ර අත දරා සන්සුන්ව පෙළ ගැසී සාමකාමී පා ගමනකින් සිය විරෝධය පලකල භික්ෂූ සමූහයාගේ ඡායාරූප, ලෝකය පුරා ජනතාවගේ අනුකම්පාව අවුස්සා ලීය. එහෙත්, දේශපාලනික ක්‍රියාකාරීත්වය සහ සටන්කාමිත්වය ඇරඹුනේ කවර තැනක සිටද? ඕනෑම ආගමක් එහි පදනමට එදිරිව විෂ වද්දවන ලද ලද අදහස් මගින් විනාශකාරී බලවේගයක් බවට වෙස් පෙරළිය හැකිය. දැන් එළැඹී ඇත්තේ බුද්ධාගමේ වාරයයි...!

වෛරයේ මන්ත්‍රය

Mandalayහී New Masoeyein සංඝාවාසයේ, තමන්ගේම ජීවමාන ප්‍රමාණයේ පින්තූ‍ර වලින් සැරසුණු බිත්තියක් අසල, වේදිකාවක් මත, දෙපා බැඳ වැඩහිඳිමින්, 'බුරුම බින් ලාඩන්' සිය ලෝකය පිළිබඳ දැක්ම විවරණය කරයි; එක්සත් ජනපද ජනපති ඔබාමා “කළු මුස්ලිම් රුධිරයෙන් දූෂිත වූවෙක්”. අරාබීන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කොල්ල කා ඇතැයි විශ්වාස කළත් තම නම අරාබි ත්‍රස්තවාදියෙකුගේ නාමයට යා කිරීම පිළිබඳ උත්ප්‍රාසය ඔහුට වැටහෙන්නේ නැත. බුරුම මුස්ලිම්වරුන්ගෙන් සීයට අනූවක්ම “අන්තගාමී දුෂ්ට මිනිසුන්”යැයි, 2003දී මුස්ලිමුන්ට එරෙහි කලබල ඇවිලවීම සම්බන්ධයෙන් වසර හතක් සිරගතව සිටි විරාතු හිමි පවසයි. ඔහු දැන් 969 නම් ව්‍යාපාරයකට (969 ඉලක්කම බුදු ගුණ නියෝජනය කරයි ) නායකත්වය දෙයි. 969 බෞද්ධයින්ට උගන්වන්නේ තම තමන් අතර පමණක් සමාජ සබඳතා පවත්වන ලෙසයි; අනෙක් ආගමිකයන් මඟහරින ලෙසයි. "අපේ ආගම සහ ජාතිය රැක බලා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වැදගත්." විරාතු හිමි කියයි.

පැහැදිලි න්‍යායාත්මක පදනමක් රහිත ඔහුගේ ආධානග්‍රාහීත්වය සලකා පරිබාහිර සාධකයක් ලෙස විරාතු හිමියන්ව ඉවතලීම පහසුය. එහෙත් ඔහු, නින්නාද දෙන පණිවිඩයක් ගෙනෙන ජනකාන්ත බලවත් චරිතයකි. බුරුමයේ බහුතරය, බමාර් වාර්ගික කණ්ඩායම අතර මෙන්ම අනෙකුත් ආසියානු බෞද්ධ ජනතාව අතරත්, මුස්ලිම් ආගම විසින් ඔවුන්ගේ ආගම් ආක්‍රමණය කරනු ලැබ ඇතැයි ද සියවස් ගණනාවකට පෙර ඉන්දුනීසියාව, මැලේසියාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය මුස්ලිම් ආධිපත්‍යයට යටත් කරගත්තාක් මෙන් වත්මනෙහි ද ඔවුන් නව බිම් සොයමින් පසුවන බවට වූ කිසියම් නොපැහැදිලි හැඟීමක් තිබේ. සාක්ෂි රහිතව වුවද, බෞද්ධ ජාතිකවාදීහු තම රටවල් තුළ මුස්ලිම් ජනගහණය, තම ජාතීන් අබිබවමින්, සීඝ්‍ර ලෙස ඉහළ යන බවට වූ බියක් පතුරවති. නව මුස්ලිම් පල්ලි තැනීම සඳහා මැද පෙරදිග මුදල් තම රටවලට ගලා එතැයි වද වෙති.

2011 දී බුරුම මිලිටරි ජුන්ටාව අර්ධ-පුරවැසි රජයකට ඉඩදෙමින් දී ආරම්භ කල ප්‍රජාතන්ත්‍රීකරණ ක්‍රියාවලිය ද අන්තගාමී කොටස් වල හඬ වර්ධනය වීමට අවකාශ සලසා තිබේ. පසුගිය වසරේ බටහිර සීමාවල පිහි මන්නා රැගත් බෞද්ධ කලහකාරීන් රොහිංයා ගම්මාන ආක්‍රමණය කිරීමෙන් මේ කලබලය ඇරඹිණි. Human Rights Watch සටහන් වලට අනුව දවස මුළුල්ලේ කෙරුණු පහර දීමකින් එක ගමක මුස්ලිමුන් 70 දෙනෙකු මරා දැමිණි. රජය මේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් මැඩීමට සැලකිය යුතු උත්සාහයක් නොගත් අතර, මේ වනවිට එය රටේ අනෙකුත් පෙදෙස් කරාද පැතිර ගියේය. මාර්තු මස අග, මධ්‍යම නගරයක් වූ Meikhtila හි දී මුස්ලිමුන් බෞද්ධ භික්ෂුවක් මරා දැමීමෙන් පසු, බෞද්ධ සාහසිකයින් මුස්ලිම් ප්‍රදේශ සියල්ල පොළවට සමතලා කල අතර, නගරය දින ගණනාවක් ගින්නෙන් දැවිණි (නිල මරණ සංඛ්‍යාව: බෞද්ධයින් දෙදෙනෙක් හා අඩුම ගණනේ මුස්ලිම් හතළිහකි.) දහස් ගණනක් මුස්ලිම් ජනයා, මාධ්‍ය‍යන්ට ඇතුළුවීම තහනම් කල අනාථ කඳවුරු වල තවමත් ගාල් වී සිටිති. ගින්නෙන් දා ගිය මුස්ලිම් පල්ලියක සෙවණැල්ල යට මට, ඉස්ලාම් පාසැලක දී මරා දමන ලද විස්සක් පමණ වූ සිසුන් ගෙන් කෙනෙකු වූ අබ්දුල් රශාක් ෂාබන් ගේ පවුලේ අය මුණගැසෙන්නට හැකිවිය. “මගේ පුතා මරා දැම්මේ ඔහු මුස්ලිම් වූ නිසායි... වෙන කිසිම හේතුවකට නොවෙයි...”, රශාක් ගේ මව රහම්බි මට කීවාය..



පන්සල සහ රාජ්‍යය

බුරුමයේ දකුණු සීමාවේ, තායිලන්තයේ, තමන් සිය ඇදහිල්ල නිසා ඉලක්කයන් වී ඇතැයි චෝදනා කරන්නේ බෞද්ධයෝයි. පහුගිය සියවස මුල දී ප්‍රබල බෞද්ධ රාජ්‍යයක් වූ තායිලන්තය ඇඳා ගන්නට පෙර මැලේ සුල්තාන් රාජ්‍යයක් වූ ‍රටේ මේ කොටසේ ජනගහණයෙන් 80% පමණ මුස්ලිම් වෙයි. 2004 දී තීව්‍ර වූ බෙදුම්වාදී නැගී සිටීමකින් පසු, ගුරුවරුන්, හමුදා සෙබළුන් හා රාජ්‍ය සේවකයින් වැනි රැකියා කළ බොහෝ බෞද්ධයෝ තායි රජයට කෙලින්ම සබැඳි සිය රැකියා හේතුවෙන් බෙදුම්වාදීන් ගේ ඉලක්ක බවට පත්වූහ. බෞද්ධ භික්ෂුන් ද ආක්‍රමණ වලට ගොදුරු වූහ. අද වනවිට බෞද්ධ පිරිස් සන්නද්ධතාවය අතින් බලගතුය. තායි යුධ හමුදාව හා අනෙක් ආරක්ෂක හමුදා ‘වැට්’ නමින් හැඳින්වෙන තායි බෞද්ධ පන්සල් අරා සිටිති.

පන්සල් වල හමුදා සෙබළුන් රැඳී සිටීම බෞද්ධයින්හට වැඩි ආරක්ෂාවක් දනවන්නේ නම්, එය ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ සංඥාවක් මුස්ලිම් ජනතාව දකිති. “රජය ආගම හමුදාවත් සමග බද්ධ කරලා”, ඔහයෝ හි යන්ග්ස් ටවුන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ආගමික අධ්‍යයන පිළිබඳ මහාචාර්යවරයෙක් වූත් දක්ෂිණ-තායිලන්තයේ ගැටළුවේ බෞද්ධ ක්‍රියාකාරිත්වය පිළිබඳව ‍ලියැවුන පොතක කතුවරයා වූත් මයිකල් ජෙරිසන් පවසයි. මුස්ලිම්හු භීතියට පත්ව සිටිති. ප්‍රචණ්ඩත්වය නිසා මියගිය මුස්ලිම් සංඛ්‍යාව බෞද්ධයින් ට වඩා වැඩිය. (එසේ වුවත්, ජනගහණ අනුපාතය සැලකුවොත් බෞද්ධ මරණ සංඛ්‍යාව වැ‍ඩිවෙයි.) එසේ වුවද වැඩිපුර රාජ්‍ය ආරක්ෂාව ලැබී ඇත්තේ බෞද්ධයින්ට වන අතර, භික්ෂුවක් භික්ෂුවක් පාසා, මුස්ලිමුන් පල්ලිවල ආයුධ ගබඩා කර ඇතැයි හෝ සෑම ඉමාම් වරයෙක්ම තුවක්කුවක් දරන්නේ යැයිද වශයෙන් භේදයේ ආතතිය තීව්‍ර කරමින් කථා කරනු මම අසා සිටියෙමි. “ඉස්ලාම් යනු ප්‍රචණ්ඩත්වයේ ධර්මයක්”, නාවුක හමුදා භටයකුව සිට පැවදි වූ Pattani නගරයේ ප්රාතොන්ග් ජිරාතමෝ කියයි. “මේක හැමදෙනාම දන්නවා...”

මේ 'බුරුම බින් ලාඩන්' විසින් අනුදැන වදාරන මතයකි. සිය ඇදහිල්ලේ සාමයික සූත්‍ර, බමාර්-බහුතරය වූ මව්බිම සිසාරා පැතිරෙන මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය සමග සම්පාත වන්නේ කෙසේ දැයි මම විරාතු ගෙන් අසමි. “බෞද්ධ ධර්මයට අනුව ආක්‍රමණිකයන් වීමට අපට අවසරයක් නැහැ” බිළි‍ඳෙකුට උගන්වන්නාක් සේ ඔහු මට කියා දෙයි. “නමුත් අපට සියළුම අයිතීන් තිබෙනවා අපේ ජාතිය ආරක්ෂා කිරීමට හා රැකබලා ගැනීමට.” පසුව, ඔහු සිය සන්ධ්‍යා දේශනාවේදී, සිනාමුසු ගෘහණියන්, ශිෂ්‍යයින්, ගුරුවරුන්, ආච්චි අම්මලා ඇතුළු පිරිසක් “මම බමාර් ජාතිය උදෙසා මගේ ජීවිතය පූජා කරමි” යි තමන් සමගම පුනරුච්චාරණයට පොළඹවනු මම අසා සිටිමි. මේ බුදුන් වහන්සේ විසින් අනුමත කරනු ලබන්නක් යැයි සිතීම මට නම් දුෂ්කරය.

-The Face of Buddhist Terror By Hannah Beech / Meikhtila, Burma, And Pattani, Thailand

හැනා බීච්
පරිවර්තනය - බූන්දි වැ.දෙ.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails