Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කවීහු බොහෝ විට පූර්වජයින් විසින් සාදා නිම කළ මාවත් මත ගමන් කරති. එය හොඳ හෝ නරක විය හැකිය. හරි හෝ වැරදි විය හැකිය. කෙසේ වුව කලින් ගොස් නිම කළ, නැතිනම් තම ගමන අතරතුර ඇඟිලි දිගුකර මග දෙපස පෙන්වා ගිය දසුන් ඡායාපිටපත් කොට යළි සහෘදයාට පෙන්වීම ඒකාකාරිත්වය සහ නීරස දනවනු ඇත. නමුදු කාලාන්තරයක් නෙත දකින දෑ වුව නිර්මාණය තුළ දියකොට 'අපූර්වත්වය' බිහි කළ හැකි නම් කදිමය. මෙය "කවිය මෙසේ විය යුතු" යැයි නිර්වචන සෙවීමේ උත්සාහයකින් සටහන් කරනවා නොවේ. සැකෙවින්ම කියනවා නම් මේ වන විට අප තොග ගණනින් දකින ගොවි පියවරුන්ගේ දුෂ්කර පිරිපත, සපතේරුවන්, වීදි වෙළඳුන් , ගුරුවරුන්, යාචක දරුවන් ආදීන්ගේ දුක්බර දිවිසැරිය වැනි සුලබ තේමා මත කවිය ගොඩනගන විට, කවියා තමාගෙන් පිටත සමාජය වෙත හෙලන බැල්ම ආයාසකර වේ නම්, එය ඇඟිල්ල දිගු කර පෙන්වීමකට එහා නොයයි. ඊට විසඳුම් දිය හැක්කේ 'දකින දෙය' හා 'තමා තුළ සිටින මිනිසා' අතර වන සංවාදයට අවංක වුව හොත් පමණි. එසේ නොවන තාක් කවියා පිටස්තර කථකයෙක් පමණක් වෙයි. අනෙක් අතට මෙකී සංවාදය දෘඩ යාන්ත්‍රික එකක් වීමද කිසියම් පරිපාකයකට ගමන් කළ හැකි කවියක උපතට ඉඩ නොදෙයි. චරිත් සේනාධීරගේ 'විකිණීමට තිබේ'- FOR SALE කාව්‍ය සංග්‍රහය මා මේ පසුබිමේ තබා විමසන්නේ ඒ තුළ 'විෂයය' තමා දෙසට පරාවර්තනය කොට ගෙන අන්තර්වර්තී ස්වභාවයකින් සංකල්ප ගොඩ නැගි අයුරක් එහි ඇතැයි හැඟී ගියෙනි. මෙම යහ ගුණය කවියා තුළ උත්පාදනය වන හුදු මනස් සිතිවිල්ලක ප්‍රකාශනයක් නොවී සමාජීය හා දේශපාලන මානයන් කරා විකාශය වන අයුරු ඇගැයිය යුතුය. එසේ මුත් FOR SALE යනු පරිසමාප්ත අයුරින් "මාර කවි පොතකැයි" මින් අදහස් නොවේ.







නූතන තුරුණු කවීන්ගේ රචනා තුළ පවතින සමාජය කෙරෙහි වන කාංසාව නිරීක්ෂණය කළ හැකි අවස්ථා සුලබය. එය අනෙකාගේ දුක පිළිබඳ රූපකයෙන් නොනැවතී සහෘදයා වෙත සිය භාවයන් ඔස්සේ පුළුල් වපසරියක කියවීමකට දොරටු විවර කරන්නක් විය යුතුය. කාව්‍ය විජිතයේ පූර්ව පියවරුන්ගේ මග අනුකරණය නොව හැදෑරීම අවශ්‍යය. හැරවුම් ලක්ෂ්‍යය ඇත්තේ එතැනයි. ඒ අනුව බොහෝ නව කවීන්ගේ පීතෘවරයා රත්න ශ්‍රී නම් චරිත්ගේ කාව්‍ය ශරීරයෙන් අර්ධයක් ඇවිද යන්නේ ඒ මාවතේ නොව අජිත් තිලකසේන විසින් එළිපෙහෙලි කරන ලද මගෙහිය. අනෙක් අර්ධයෙන් වැඩි ප්‍රමාණයක් නිම වී ඇත්තේ කෙටි කවිය තුළය. කෙසේ වුව රත්න ශ්‍රී හා තිලකසේන නම් මාවත් ද්වයම කාව්‍යාලංකාරයෙන් අනූනය. සර්ව කවියේ තිබිය යුතු යැයි සැලකෙන සුලක්ෂණ ද, තම සමාජ වටපිටාව පිළිබඳ සංවේදී ඥාණ කම්පනය ද එකිනෙකට වෙනස් හැඩයන්ගෙන් සුනිශ්‍රිතව ඒ දෙමගෙහිම අපට හමුවේ. නමුත් රත්න ශ්‍රී ගේ කවියෙන් ඥාණාලෝකය ලබන බුහුටි, හොඳ මට්ටමේ කවි ලියන නූතන කවියෝ බොහොමයක් අතර ප්‍රවේණිදාස මට්ටමේ අනුකාරක කවියෝද සුලබය. එතරම්ම තිලකසේනගේ දෘශ්‍යරූපික කවි සංඛ්‍යාත්මකව අනුකරණයට හසුවී ඇතැයි නොපෙනේ. මෙතැනදී චරිත්, රත්න ශ්‍රී ගෙන් ඈත්ව තිලකසේනගේ ආභාසය ලබා ඇතැයි පෙනෙතත් ඔහු වෙනස් වෙයි. ඊට හේතු වන්නේ සමකාලීන තරුණයාගේ ජීවිතයට සමීප සංකාකුල ස්වභාවය කෙරෙහි ඇති වැඩි නැඹුරුතාවයයි. තිලකසේන පැසුණු, පරිණත ස්වභාවයෙන් ජීවිතය දකින විට චරිත් නිමග්න වන්නේ තුරුණු මනෝභාවය තුළ පසුවෙමින්ම, පවතින සමාජයේ අධිකාරිවාදී ස්වභාවයට පිටස්තරයෙකු වෙමින් ප්‍රතිවිරෝධය ගොඩනැගීමටය. එතැනදී ජාතිවාදය, යුද්ධය වැනි කරුණු කෙරෙහි වාචික මානව දයාව නොවගුරුවන චරිත්, නිදහස්කාමී ලෙස රූපිකව එය ප්‍රකාශ කරන්නට සමත් වන්නේ ජාතික කොඩියේ කඩුව අමෝරාගත් සිංහයා හිංසනයේ හැඟවුම්කාරකයක් බවට හැරවීමෙනි (පිටුව-90). එහෙත් ඔහු සිංහයාගේ රුවට පිටතින් යොදන "යුද්ධයේ බිජුවට යළි නො වපුරන්නට" යන්න නම් අතිශෝක්තිගතය. මන්ද එය යම් තරමකට රූපමය සංඥාව කෙලෙසා ගැනීමකි. නමුදු චරිත් ලියා ඇති කෙටි කවි අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් පාඨකයාට දිගු දුරක් ගමන් කළ හැකි ගුණයෙන් යුතුය.

අමාවක ගෙවී
නව සඳ
පායන්න
ලෑස්තියි

ඒත්
කෝ
අහස... ?

(පිටුව-83)


මේ කුඩා කවිය වටා බලාපොරොත්තු කඩ වීමේ පෞද්ගලික මානයක සිට, ආදර්ශමත් විය යුතු සමාජ ව්‍යූහයන් විපරීත, අවලස්සන හා නරුම වූ සමකාලීන ගතික පිළිබඳ වියමනක් ගොණු කළ හැකිය. මින් දාර්ශනික හා දේශපාලනික එළඹුමකට යොමු විය හැකි වන්නේ සෞන්දර්යයෙන් නොතොරව වීම වැදගත්ය. මෙසේ 'FOR SALE (විකිණීමට තිබේ) ' ලෙසින් අරුත් ගැන්වෙන මේ කාව්‍ය සංග්‍රහය ලිබරල් වාදී ආර්ථීක මොඩලයකට ගෝත්‍ර වාදී ආත්මයක් මුසු කරගත් සමාජයක පුද්ගල ජීවිතයන්හි හිස් බව, හඹායන්නට හඹායන්නට හමුනොවන දෙය (අඩුව, හිස් තැන) හා පෙළ ගැසී තිබේ.

ඇවිද ගියෙමි
විඩාපත් වී
හති වැටෙන තුරු
ඈතට . . .
ඈතට . . .
ළඟට . . .
ළඟට . . .
නොනැවතී
සයුරු තෙර අස
පිහිනුවෙමි.
ඈතට . . .
ඈතට . . .
ළඟට . . .
ළඟට . . .
ඔබ නොසැලී
එතැනම
සිතිජ රේඛාව
මත
(පිටුව-47)


ලාංකේය නූතන කවියෙහි සාර්ථක භාවය බොහෝ විට මැනෙන්නේ පුරාණෝක්ති, ජනශ්‍රෑති ආදී ප්‍රපංච සමග සමෝධානයෙන් ගොඩනගන නව සිදුවීම් ඔස්සේ එළි දක්වන නිර්මාණ වලට වැඩි අගයක් දෙමිනි. (එකී භාවිතය තුළින් සාර්ථක ඵල අප වෙත රැගෙන විත් ඇති කවියෝ රැසකි). ඉන් පරිබාහිරව සීමිත වදන් සහිත කවියක දාර්ශනිකත්වයක් තිබිය නොහැකිද? චරිත් පමණක් නොව ඉන්දික ගුණවර්ධන වැනි කවියෙකු ද තමන්ට සම්මුඛ වන කතිකාව අබියස ඇගැයුම් ලබනුයේ මේ වෙනස් භාවිතාව තුළිනි. සැබැවින්ම ඔවුන් ගේ කවි වල සමෝධානය හට ගැනෙන්නේ ඉහත ආකාරයට නොවේ. 'සීමිත වදන් සහිත' යන්නෙන් මෙහිදී අදහස් කළේ කෙටි කවි යන්න ට වඩා ඉහත කී පුරාණෝක්ති හා නිමවන ආකෘතිය නොගැනීම යන අරුතය. කිසියම් රොමෑන්තික බවක් මෙන්ම ශෘංගාර කලාපයක් ස්පර්ශ කරන මේ කව බලන්න.

මගේ
ඇස් තුළ
ගිනි පුළිඟු දැල්වෙද්දි
ඇය කොහොමද
ඉන්නෙ
හිම කැටයක් වගේ.
(පිටුව-14)


චරිත් ගේ කවියෙහි පෙනෙන තවත් සුවිශේෂතාවක් නම් ග්‍රාමීය නොස්ටැල්ජියාවක නොගිලීමය. එය ග්‍රාමීය ද නොව, නාගරික ද නොවන අතරමංවීමක ප්‍රකාශනයකි. නොඑසේ නම් ලාංකේයව අතිශය අවුල් බෙදීමක් වන ගම සහ නගරය අතර නොවෙනස් තෘප්ත නොවූ තරුණ ලාලසාවන් මේ කවි තුළ අඩු වැඩි වශයෙන් ගැවසෙයි. එය වැව, කෙත, අප්පච්චී වැනි රූපකයන්ගෙන් මානසිකව ගැමි සංහිඳියාවක් පතන, නාම මාත්‍රික නගරයට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ රැකියාව සඳහා සංක්‍රමණය වූ තරුණයාගේ සිතිවිල්ලෙන් නිර්මිත කවියට වඩා වෙනස් ස්වරූපයකි.

අගුලු දැමූ
දොරටුවේ
යතුරු හිලෙන්
ස්වර්ගය..... ?
(පිටුව-50)


මේ අන් කිසිවක් නොව සමකාලීන ලාංකේය ජීවන යථාර්ථය යි. එසේම එය ගළපා ගත හැකි සීමා රහිතය. තමා කැමති ජීවිතයට වඩා හෙජමොනිය විසින් යෝජනා කරනු ලබන ජීවිතය පිළිගැනීමේ අනිවාර්යය සේම එහි තවත් ප්‍රකාරයක්වන සිංහල බෞද්ධ බලහත්කාරය මගින් පටවනු ලබන ප්‍රමෝදයේ සීමා වගන්ති අතර සිරවූ ජීවිතය තුළ පැසවන යමක් කවියෙහි දැකිය හැකිය. අනෙක් අතට හෙජමොනිය අප මත හෙලන මුලාව ද ප්‍රකාශිතය. නමුත් බොහෝ විට 'විකිණීමට තිබේ' තුළ එන නිර්මාණ අතර යම් පමණකට දියාරු වන්නේ තිලකසේන මොඩලයට නෑකම් කියන්නට වෙහෙසෙන ඇතැම් රූපික කවි ය. එසේ වන්නේ දෘශ්‍යමානයෙන් ඔබ්බෙහි පරිපාකයට ළං වන අයුරු පිළිබඳ ඇතැම් විටෙක සරල මතික නිගමනයකින් යුතුව ඒ පන්නයේ නිර්මාණ සුලබ කිරීමට යාමෙනි. 'ඉඩෝරය ' නමැති කවියේ ඕලාරික බව ඊට එක් උදාහරණයක්ව පවතී. සැබවින් මේ මගෙහි ඉදිරියට යන්නට සිත ඇති නම්, කවියා තව දුරටත් අධ්‍යයනය කළ යුතු සෙයක් හැඟෙයි. එය අධිපති කාව්‍ය ශානරයන් විසින් නගන්නට ඉඩ ඇති "මේවා කවි ද?" යන පැනයෙහි අරුත් සුන් කළ හැකි ශක්‍යතාවක් අත්කර දෙන්නක් වනු ඇත්තේය. FOR SALE සුලබ ඒකාකාරී කවියෙන් වියුක්ත හැඩයෙන් යුතු බවක් පෙනීම මෙසේ ලියන්නට හේතු විණි.



විකුම් ජිතේන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails