Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



(පළාත් සභා ක්‍රමය මෙරටට හදුන්වාදී වසර දෙකක් ගත වූ මොහොතේ මානව හිතවාදී භික්ෂු පෙරමුණ විසින් ප්‍රකාශයට පත් කල " විනිවිද" සඟරාව වෙනුවෙන් 1989 ජුලි කලාපය වෙනුවෙන් එහි සම සංස්කාරකවරයෙකු වූ කොන්ගස්දෙනියේ ආනන්ද හිමියන් විසින් තබනු ලැබූ සංස්කාරක සටහනකි.)

උතුරු - නැගෙනහිර ප්‍රශ්නය ක්‍රමයෙන් ඉස්මුරුච්චාවට පැමිණෙමින් ඇත. එය එසේ නොවේවා යනු අපේ පැතුමයි. මේ සියල්ලටම මුල ඉන්දු - ශ්‍රීලංකා ගිවිසුමෙන් කල මහා පාවාදීම බව තවමත් පාලකයන්ගේ ශ්‍රී මුඛ යෙන් අවංකවම ප්‍රකාශ කරන්නට බැරි ඇයි? සැබැවින්ම හිටපු ජනාධිපතිතුමා මුලික වශයෙන් පළාත් සභා උරුම කරදීමට සිතා සිටියේ උතුරු - නැගෙනහිර දෙකටය. ඒ කරුමය කල් තියා පඩිසන් දුන්නේ සෙසු ප්‍රදේශවලටය . රටේ ජනතාවගේ අවාසනාවේ මහත. ‘ පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නාසේ ‘ කීවාක් මෙන් ලෙඩේ තිබුනේ උතුරේ, බේත් දකුණට, දැන් උතුරේ මෙන්ම දකුණේ ද බරවාය. බෙරවායා සියල්ලම දමා යන්නට ගොස්ය. පරළු වූ යක්ෂ - භූත - ප්‍රේත - පිශාච කුම්භාණ්ඩ ආදී හු තවමත් පැනගිය බෙරවායාගේ පදයටම නටති. ඉන්න යකදුරෝ අදක්ෂයහ. ආවේශ වුවෝ අහුවෙන අහුවෙන දේ වනසමින් නටති . සියල්ලම අහවර වනවිට රටම යකුන් කෙලි පිටියකි.

ලොව සිටින මිනිස් වර්ගයන් හමුවේ ශ්‍රීලංකාවේ වාසය කරන්නේ පුදුමෙනුත් පුදුම විය යුතු මිනිස් වර්ගයක් යැයි හැඟෙන්නේ මේවා ගැන සිතන විටයි . අනගාරික ධර්මපාලතුමාගේ ඇතැම් ප්‍රකාශ අපට අදට අදාල වන්නේත් මේ ලක්ෂණ නිසාම නොවේදැයි සිතේ. එතුමා සිය අවසන් මොහොත දඹදිව ගත කරමින් තම මිනියවත් ලංකාවට ගෙනයන්න එපා කීවේ අපේ වර්ගයා තුළ (විශේෂයෙන් සිංහල බෞද්ධයා තුළ) එතුමා දුටුව අරුම පුදුම අමනුස්ස ගති නිසාය. එතුමා හිරබාරයේ සිටියදී තම සේවක ලුවිස් මහතාට ලිය තිබුනේ මම බුද්ධ ශාසනය බේරාගැනීමට ගොස් හිරබාරයේ දුක්විදිනවා මා බේරා ගැනීමට කතා කරන්න ලංකාවෙන් කවුරුත් ඉදිරිපත් වන්නේ නැත්තේ ඇයි කියා වේදනාවක් දැනෙනවා යන්නයි. අපට විජාතික පුහු ඇබ්බැහි වීම් පමණක් නොව අපේ ලේවලට පවා ඇතුල් වී යැයි හැඟෙන විජාතික අවගති නිසා අප එකිනෙකා කා කොටා ගන්නා තත්වයකට පත්ව ඇතැයි සිතේ. අප මෙහිදී විජාතිකයන් යැයි කියන ඒ මිනිස් වර්ගයාගේ උදාර ගති ගුණ වලට කිසිදු ආකාරයක අවමානයක් නොකරන බවද අවධාරණය කරමු. ශතවර්ෂ ගණනාවක් යටත් විජිතයක්ව පැවති අප රට පමණක් නොව අප්‍රිකානු රටවලද නිදහස් සටන් වලදී මේ මානුෂික දුර්වල ලක්ෂණ බලපා තිබේ. මෙයට කදිම උදාහරණය එදා කොංගෝවයි. එදා ජනාදරය දිනා රටේ උදාර නිදහස තහවුරු කිරීමට අගමැති තනතුර බාරගත් අගමැති පැට්ට්‍රික් ලුමුම්බා මරා දැමීමේ ඛේදජනක කතා පුවත ලෝකයම කම්පා කිරීමට සමත්විය. අධිරාජ්‍යවාදීන් ඔහුව මරා දැමීමට මාන බලනවිට ඒ සදහා සියලු පාවාදීම් කළෝ ස්වදේශික අධිරාජ්‍යවාදී ගෝත්‍ර නායකයෝය. එදා සිට අද වන තුරුම ඒ රටේ දේශපාලන ව්‍යාකූලතාව සමහන් වී නැත. එකී නෙකා කා කොටා ගැනීමට ජාත්‍යන්තර වශයෙන් ඇටවූ උගුල්වල තවමත් ඔව්හු අසුවී සිටිති. ලෝකයේ කොතැනක හෝ යහපත් පාලකයන් බිහිවී සාමකාමී රාජ්‍යයක් ඇතිවෙනවාට විරුද්ධ වන අධිරාජ්‍යවාදී, ධනවාදී, නව යටත් විජිතවාදී ද්‍රෝහීන් තවමත් සිටින බවත් ඒ බලපෑම් වලට අපද දැන් දැන් දරුණු ලෙස ගොදුරුවෙමින් සිටින බවත් තේරුම් ගැනීමට අපේ පාලකයනට බැරි ඇයි? අප අපම මරාගෙන මැරෙන්නට අටවන උගුල් හුදු පෞද්ගලික වාසිතකාම ආත්මාර්ථකාමී බව නිසාම තේරුම් නොගන්නාතුරු විවිධාකාර අමානුෂික ඝාතනතුලින් අප වඳවී යාවි. දැනටමත් විවිධ වර්ගවලට අයත් - දේශකයන් , ලේඛකයන්, කලාකරුවන් , ගුරුවරුන් , භික්ෂුන් සිසුන් විශාල වශයෙන් අපිට අහිමි වී ඇත. ඉදිරි කාලය තුළද එවැනි ජිවිත අහිමි කිරීම් සිදුකෙරේ නම් රට වැටෙන ප්‍රපාතයේ ප්‍රමාණයවත් දැකිය හැකිද? මේවා ලියන කියන අයව මරන්නට මාන බැලීම නොව කළ යුත්තේ මේවායෙහි සත්‍යාසත්‍යතාවය කොතරම් දැයි බුද්ධිමත්ව - මැදහත්ව තෝරා බේරා ගැනීමයි.

මේ පළාත් සභා ක්‍රමය පිළිබද යෝජනාව පැමිණි මුල් වකවානුවේම මහානාහිමිවරු ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා අති විශාල වශයෙන් සිය සමගියේ බලය පෙන්වමින් පළමුව මහනුවරටද ඉන් පසු සෙසු ප්‍රාදේශීය නගරවලටද ඒකරාශී වී බුද්ධිමත් විවරණ සපයමින් ජනතාවට ඉතා නිරවුල් අවබෝධයක් ලබා දීමට වෑයම් කළහ. එහෙත් ඒ වෑයම රජයේ අය පමණක් නොව වෙනත් වාමාංශික නායකයන් ද එකතුව හෙලාදුටුහ. එපමණක් නොව තර්ජනය කර භික්ෂුන් බියවැද්දුහ. අද තත්වය කුමක්ද ? ඒ අය පවා දැන් හැංගි හැංගි කියන්නේ පළාත් සභාවල අසාර්ථක භාවයයි. නිකං පඩිගන්නා බවයි. උතුරු - නැගෙනහිර වර්ධරාජා මහ ඇමති කළ ප්‍රකාශන වල අර්ථයද එයම වෙයි. පළාත් සභාවලට බලතල දීමට කඩිමුඩි වන්නේද ඒ නිසායි. එහෙත් ප්‍රේමදාස ජනාධිපතිතුමා මෑතක ළදරු පාසලක උත්සවයේදී ප්‍රකාශ කළේ කුමක්ද "බෙදා වෙන්කොට පාලනය කරමු යන ආකල්පය උඩයි වසර 400 ක් ජීවත්වීමට අපට පුරුදු කළේ " (දිනමිණ - මැයි 30 ) එසේ නම් පළාත් සභා ක්‍රමය කුමටදැයි ජනතාව ප්‍රශ්න කිරීම අසාධාරණද?

පළාත් සභා ක්‍රමය අසාර්ථක වන්නේ ඇයි ? එළ හරකයි , මි හරකයි එකට ඇදීම විහිළුවක් බව අපේ ගැමියන් දන්නේ ඈත අතීතයේ සිටය . එහෙත් පාලක පක්‍ෂය දැන සිටියේ එංගලන්තයේ සත්තු ගැනයි. තවත් විස්තර කළහොත් මේ පළාත් සභා ක්‍රමය යනු දකුණෙන් පැදවීමට හැදු වාහනය වමෙන් පැදවීමට කරන නිෂ්ඵල ප්‍රයත්නයකි.


-කොන්ගස්දෙනියේ ආනන්ද හිමි

කෝ. ආනන්ද හිමි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails