Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පාත්‍ර වර්ගයා- සවිඥාන, අව්‍යාජා, කාන්තාව 1, කාන්තාව 2, කාන්තාව 3, මිතුරා

(සංගීත හඬ අතරින් සවිඥාන හා අව්‍යාජා කථාකරයි.)

සවිඥාන- ඔයා ඔය තරම් කලබල වෙන්න ඕන නෑ. මේක ඔයාට විතරක් මුහුණ පාන්න වෙන තත්වයක් නෙවෙයි.

අව්‍යාජා- ඒ කියන්නෙ ඔයා කැමැතියි, පක්ෂපාතයි, මේ අලුත් නීතියට. මේ වල්බූරු ජාතික ව්‍යාපෘතියට. ලංකාවේ සියලුම කාන්තාවන් හා පුරුෂයින් තම උඩුකය නිරුවත්ව සිටිය යුතුයි ලෙස ක්‍රියාත්මක කරන්න යන නීතියට.

සවිඥාන- මං මධ්‍යස්ත තැනක ඉඳන් මේ දිහා බලන්නෙ. සමාජ විද්‍යාත්මක දෘෂ්ටියකින් බලන්නෙ.

අව්‍යාජා- මොකක්ද ඔයාගේ ඔය වල්බූරු මධ්‍යස්ත සමාජ දෘෂ්ටිය?

සවිඥාන- අපි හිතලා බැලුවොත්, බ්‍රිතාන්‍යයින් මෙරට අල්ලගන්න ඉස්සරවෙලා අපේ රටේ ගැහැනු හිටියෙ උඩුකය නිරුවත්ව.

අව්‍යාජා- ඒ හැමෝම නෙවෙයි, හීන කුලවල ගැහැනු මිනිස්සු.

සවිඥාන- බහුතරයක් මේ රටේ හිටියේ හීන කුලවල ගැහැනු මිනිස්සු.

අව්‍යාජා- ඔයා කොහොමද කියන්නෙ, මොනවද ඔයාට තියෙන සාක්ෂි?

සවිඥාන- අරගෙන බලන්න පුරාවිද්‍යාත්මක ලේඛන, විදේශීය සංචාරකයින්ගේ සටහන්, ඡායාරූප. මේ බොහොමයක ස්ත්‍රීන් ඉන්නෙ උඩුකය නිරුවත්ව. වැඩිය අවශ්‍ය නෑ බලන්න, සීගිරිය වගේ පැරණි චිත්‍ර දිහා. ඒ වගේම බලන්න අවලෝකිතේෂ්වර වගේ මාතෘ පිළිම. ඒවා නෙළා තියෙන්නෙ කාන්තාවන්ගේ උඩුකය සම්පූර්ණයෙන්ම නිරුවත්ව. ඒ කිසිම දෙයක් තුළ අසභ්‍යත්වයක්, අසංස්කෘතියක් නැතිනම් අශිෂ්ඨත්වයක් නෑ. ශිෂ්ටත්වය, අශිෂ්ටත්වයක් තියෙයන්නෙ අපේ මනසේ. යුරෝපීය රටවල සමර් එකට, බොහෝ කාන්තාවන් ගමන් කරන්නෙ යට ඇඳුම් නැතුව. එහෙම ගියා කියලා ඔවුන් දිහා කාමුක ලීලාවෙන් කවුරුවත් බලන්නෙ නෑ. ඒ වගේම ලෝකයේ නිරුවත් වෙරළ තීර තියෙනවා. ඒවයේ මිනිසුන් සැරිසැරිය යුත්තේ නිරුවත්ව. මේ වගේ අසභ්‍යත්වයක් තියෙනවා කියලද ඔයා කියන්නෙ? රජය මේ නව නීතිය හරහා මතුකරන්න උත්සාහ කරන්නෙ අපට අහිමි වූ සත්‍යය වූ පෞරාණික උරුමය, සංස්කෘතිය, සභ්‍යත්වය.

අව්‍යාජා- ඒ කියන්නේ කාන්තාවක් තමන්ගේ උඩුකය නිරුවතින් ගමන් කිරීම වර්තමානයේ කිසිම ප්‍රශ්නයක් නෑ කියලයි, ඔයා කියන්නෙ?

සවිඥානික- මේක කාන්තාවන්ට පමණක් වලංගු නීතියක් නෙවෙයි, පුරුෂයින්ටත් සමානයි. එහෙම නම් පුරුෂයින් උඩුකය නිරුවත්ව ගමන් කිරීමත් අසභ්‍ය වෙන්න ඕන. ඔයා එළියට බැහැලා බලන්න ගම්වල මිනිස්සු වැඩි පිරිසක් ඉන්නෙ උඩුකය නිරුවත්ව. ඔයාට කුඹුරෙ බැහැලා වැඩකරන ගොවියා අසභ්‍ය විධියට පේනවද? දිය රෙද්ද ඇඳගෙන නාන තරුණියව අසභ්‍ය විධියට පේනවද? දරුවන්ට කිරි දෙන අම්මලා දැක්කම අසභ්‍යත්වයක් මැවෙනවද? පිහිනුම් ඇඳුම් ඇඳගෙන පීනන ගැහැනු මිනිස්සු දැක්කම අසභ්‍ය කමක් දැනෙනව ද?

අව්‍යාජා- ආණ්ඩුවේ මේ වල්බූරු නීතිය සාධාරණීකරණය කරන්න තර්ක අරගෙන එන්න එපා. ගැහැනියෙකුට සෙනග පිරිලා තෙරපිලා යන බස් එකක, දුම්රියක, උඩුකය නිරුවත් ගියෑකිද? අද මුළු ඇඟම වානේ ආවරණවලින් වහගෙන ගියත් ජීවත්වෙන්න බැරි සමාජයක් තියෙන්නෙ.

සවිඥානික- සමාජය තුළ මේ විධියට කාමුකත්වය, අශ්ශිලත්වය ඇතිවෙලා තියෙන්නෙ ඕවා වහගෙන ඉන්න නිසා. දැනටමත් මේ රටේ බහුතර ගැහැනු ගමන් කරන්නෙ පෙනෙන නොපෙනෙන ගානට දුහුල් රෙදිවලින් මහපු ඇඳුම් ඇඳගෙන. නැත්නම් අර්ධ විධියට උඩු, යටි කයවල් පේන්න. හොඳට බැලුවොත් ඒවා නිරාවරණය කරගෙන යනවා හා සමානයි. ඔයා ඔය කියන ප්‍රශ්නය තියෙනවා නම් රටේ ගැහැනු මේ විධියට යන්නෙ එන්නෙ, ජීවත් වෙන්නෙ කොහොමද?

අව්‍යාජා- ඕහෝ, ඒ කියන්නෙ ඔයා හොඳ නිරීක්ෂණයකින් ඉන්නෙ එහෙනම් ගැහැනුන්ගෙ උඩුකයවල් ගැන.

සවිඥානික- ඉතිං ඒකේ තියෙන වැරැද්ද මොකක්ද?

අව්‍යාජා- ඒ කියන්නෙ ඔයාට උවමනා කරලා තියෙන්නෙ පැහැදිලිවම අනෙක් ගැහැනුන්ගේ උඩුකයවල් හොඳින් නරඹන්න.

සවිඥානික- කෙහොමත් ගැහැනු පිරිමි දිහා බලනවා. පිරිමි ගැහැනු දිහා බලනවා. ඒක තමයි සොබාදහම. උඩුකය නිරුවත්ව යන ගැහැණියක් හෝ පිරිමියෙක් නිසා යම් අයෙකුට රාගය උපදිනවා නම් ඒක ඔහුගේ හෝ ඇයගේ ප්‍රශ්නයක්.

අව්‍යාජා- අන්න ඒක තමයි මං මෙච්චර වෙලා කියන්නෙ.

සවිඥානික- ඉතිං ඒකට කළ යුත්තේ, මිනිසුන් තුළ රාගය, කාමය වැනි සංකල්ප ඇතිවීම පාලනය කල හැකි තත්වයක් සඳහා වැඩපිළිවෙලක් නිර්මානය කිරීම. ශිෂ්ටත්වයෙන් මිනිසුන්ට ජීවත්විය හැකි තත්වයක් ගොඩනැගීමට වඩවඩාත් විනයක් ඇති කිරීම.

අව්‍යාජා- ඔයාගේ මනස වැඩකරන්නෙ මීට සියවස් ගණනකට එහා. හරි, හෙළුවෙන් ඉන්න ගැහැනියක් දැක්කොත් ඔයාට මොනවද ඇතිවෙන්නෙ?

සවිඥානික- හෙළුවෙන් ඉන්න පිරිමියෙක් දැක්කොත් ඔයාට මොනවද ඇතිවෙන්නේ?

අව්‍යාජා- මටනම් ලැජ්ජාවක් ඇතිවෙනවා.

සවිඥානික- මට නම් ඇතිවෙන්නෙ සෞන්දර්යයක්.

අව්‍යාජා- ඒ කියන්නෙ ඔයාට නිරුවත් ගැහැනියක් දැක්කම රාගය ඇති වෙන්නේ නෑ.

සවිඥානික- එතකොට ඔයාට? (සිනාසේ) මිනිස්සු තමන්ගේ ඇත්තම ඇත්ත, වචනවලින් කියන්න පැකිලෙනවා. මං විශ්වාස කරන්නේ නෑ ඔයාට නිරුවත් පිරිමියෙක් දැක්කම රාගය ඇතිවෙන්නෙ නෑ කියලා. මට නිරුවත් ගැහැනියක් දක්කම සිද්ධ වෙන්නෙත් ඒක. ඒත්, මං ඒක ප්‍රකාශ කරන්නෙ නෑ. ඒක තමයි පාලනය කියන්නෙ. යමෙක් ශිෂ්ඨ වෙන්නෙ ගොඩාක් දේවල් පාලනය කරගෙන. මේ පාලනය අවශ්‍යයි ශිෂ්ඨ ලෝකයකට. ඒක මිනිසුන් ගොඩනඟා ගතයුතු තත්වයක්.

අව්‍යාජා- මට හරියටම පැහැදිලි නෑ මේ තර්කවලින් මේ වල්බූරු නීතිය සාධාරණීකරණය කරන්නෙ කොහොමද කියලා. මොනවා වුණත්, මං ජීවිත පරදුවටම තියලා මේ නීතියට එරෙහිව නැගී සිටීමේ ව්‍යාපාරයට එකතු වෙනවා. ලාංකීය ඉතිහාසයේ පළමුවරට ඔයාට දැකගන්න පුළුවන් වෙයි මේ රටේ කාන්තාවන් කොයිතරම් ශක්තිමත්ද කියලා. මේ වල්බූරු මෝඩ නායකයින්ව සමූල ඝාතනය කරලා හරි, මේ තකතීරු නීතිය අපි පරාජය කරනවා. මට දැන් හොඳටම තේරෙනවා මං මෙච්චර වෙලා දවසක් ජීවත්වෙලා තියෙන්නේ අතාර්කික මනසක් තියෙන ගෝත්‍රික යුගයේ ජීවත්වෙන මිනිහෙක් එක්ක කියලා. පිරිමියා කොයිතරම් පටු තැන්වලින්ද ලෝකය දිහා බලන්නෙ?

සවිඥානික- හරි, දැන් ඔයා මොකද කරන්න යන්නෙ?

අව්‍යාජා- මං සූදානම් නෑ ඒක ඔයාට හෙළි කරන්න. ඒ වගේම මතක තියා ගන්න, අපි අතරේ පවුල් කෑමත් මින් මතුවට අවසන් වෙනවා.

සවිඥානික- මොකක්?

(සංගීතය)

අව්‍යාජා- උඩුකය වැසීමේ ජාතික ව්‍යාපාරයේ නායිකාව විධියට මං කැමතියි ආරම්භයෙදි කාන්තාවන් බ්‍රෙෂියර් අඳින්න පටන්ගත්ත ඉතිහාසය සිහිකරන්න. ඒ ක්‍රිස්තුපූර්ව දාහතරවන නැතහොත් ලෝකඩ හෙවත් මනයන් ශිෂ්ටාචාර යුගයෙ ඉඳන්. දාසයවන සියවස වෙනකොට කාන්තාවො ඇන්ද බොස්තොරොක්ක නිසා පියයුරු ආරක්ෂා වුණා. දහනව වන සියවස වෙනකොට විවිධ මේඛලා වර්ග අඳින්න ගත්තා. විසිවන සියවසේදි ඒක බ්‍රෙෂියර් කර්මාන්තයක් දක්වා පෙරළුනා. සහෝදරියනි එක්දහස් නවසිය දහසයේ තමයි මුල්ම කප් බ්‍රෙෂියර් එක භාවිතයට ආවෙ. එක්දහස් නවසිය තිස්දෙකේ එස් එම් කෑම්ප් සහ සමාගම අපේ පියයුරු ඉංග්‍රීසි හෝඩියේ ඒ ඉඳන් ඩී දක්වා ප්‍රමණය අනුව වර්ගීකරණය කළා. ඔට්ටෝ ටිට්සලින්ග් හා පිලිප් ඩී බ්‍රෙෂියර් තමයි අද අපි අඳින බ්‍රෙෂියර් හඳුන්වා දුන්නෙ. මේ සියළු ඓතිහාසික දැනුමින් පන්නරය ලබා මීට වඩා හිතට ශක්තියක් අපි ගන්න ඕන. මට තේරෙන්නෙ නෑ, ඇයි ඔයාලා මේ ඉදිරියට එන්න පසුබට වෙන්නෙ කියලා?

කාන්තාව 1- අපිට මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ අක්කේ. සමහර විට අපිව පැහැරගෙන යන්න බැරි නෑ. සමහරවිට අපිට වෙන වෙන කරදර ඇතිවෙන්න පුළුවන්. ඔයාට තේරෙනවනෙ මේක පුරුෂ මූලික ලෝකයක්.

අව්‍යාජා- ඒ කියන්නෙ ඔයාලා කැමතියි, මේ නීතිය පිළිපදින්න. උඩුකය නිරුවත්ව ජීවත්වෙන්න.

කාන්තාව 2- එක විධියකට ඒක පහසුවක් ඇඟට. පපුව තදවෙන්න යට ඇඳුම් තනපට අඳිනවට වඩා කොටින්ම රිලැක්ස් කියලා හිතෙනවා. මං කොයිවෙලේද කියලා හිත හිතයි ඉන්නේ වැඩට ගියාම ගෙදර ගිහිල්ලා යට ඇඳුම් ගලවලා දාන්නෙ.

අව්‍යාජා- මේ විධියට බොහෝම සරල ආකාරයෙන් ප්‍රශ්න දිහා බලන නිසා තමයි අපිට වැරදුනේ නංගි.

කාන්තාව 3- ඉතිං අපි විතරක් නෙමෙයිනෙ, පිරිමිනුත් යන්නෙ උඩුකය නිරුවත්වනෙ.

අව්‍යාජා- ඒ අයට එළියට එල්ලෙන පියයුරු කියලා දෙයක් තියෙනවද මෝඩියේ.

කාන්තාව 2- මගේ පඩියෙන් බාගයක් වියදම් වෙන්නේ යට ඇඳුම් වලට. ඒක නිසා...

අව්‍යාජා- (බාධා) එහෙනම් වියදම තවත් අඩු කරන්න හොඳම විධියක් මං කියන්නද?

කාන්තාව 2- ඒ මොකක්ද?

අව්‍යාජා- යට ඇඳුම් නැතුව හෙළුවෙන්ම පලයල්ලා. මට දැන් තමයි හිතෙන්නේ, කවියෝ, ලේඛකයෝ උඹලා ගැන කියලා තියෙන ''හැඳිමිටේ නුවන වගේ'' උපමා ඇත්ත කියලා.

කාන්තාව 1- හරි, දැන් අපි මොකද කරන්න යන්නෙ?

අව්‍යාජා- ගෑනු උඹලා හිතට ගන්න ඕන, මේක උඹලා අපිව හෑල්ලුවට ලක් කරන්න කරපු මහා ව්‍යාපෘතියක්. පුරුෂ මූලික ව්‍යාපෘතියක්. මේක දේශපාලනික මානසික රෝගීන් පිරිසකගේ තීන්දුවක්. උන් දවසින් වැඩි කාලයක් ගෙවන්නේ ගැහැනුන්ගේ ඇඟවල් දිහා බලන්න. ඒවා අතපත ගාන්න. අන්න ඒ ආශාවන් තවත් හොඳින් ඉෂ්ඨ කරගන්න කරපු ව්‍යාපෘතියක් මේක. ගැහැනු අපි පියයුරු එළියෙ දාගෙන උඩුකය නිරුවතින් යනකොට, උන්ට ඕන ගෑනුන්ව පහසුවෙන් ගොදුරු කරගන්න පුළුවන්. ඉස්සරහට මුං නීත්‍යානුකූල විධියට අන්තඃපුර පවත්වන්නත් නීති අරගෙන එන බවට සැකයක් නෑ. නංගියේ, අක්කේ, අද අපිට අත්වෙලා තියෙන්නෙ ඉතාම අනාරක්ෂිත තත්වයක්. උඹලා අපිව මගතොටේදි කවුරුහරි බදාගෙන පෙරලගන්න පුළුවන් අවකාශයක් මේකෙන් උදා වෙනවා. ඒ වෙගේම අපේ උඩුකයවල් බල බලා ඉන්දැද්දි වැහැරිලා යන්න පුළුවන්, කිසිම ආවරණයක් නැති නිසා. එතකොට මොකද වෙන්නෙ? කියපල්ලා එතකොට මොකද වෙන්නේ?

කාන්තාව 3- ඇත්තටම මගේ පියයුරු දෙක මේ වෙනකොට හොඳටම වැහැරිලා. මෙච්චර හැඩයක් අරගෙන තියෙන්නේ අඳින පුෂප්බ්‍රා යට ඇඳුම්වලින්. මං නම් මේ නීතියෙන් පස්සේ එළියටවත් බහින්නෙ නෑ කියලා තීරණයක් අරගෙන ඉන්නෙ.

අව්‍යාජා- තමතමන් තමතමන් ගැන පෞද්ගලිකව හිතන්න එපා. තීරණ ගන්න එපා. අන්න එතන තමයි අපිට වැරදුණේ. අපි සාමුහිකව එකතු වෙමු. මේ වල් බූරු නීතිය පරාජය කරන්න පුළුවන් හැමදෙයක්ම කරමු. අපි මහා උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරලා පාර්ලිමේන්තුව වටලමු. පාර්ලිමේන්තුව පෙරලමු. බලෙන් පාලනය අතට ගමු.

කාන්තාව 2- මට නම් ස්වාමියෙක් ඉන්නවා, දරුවො තුන් දෙනෙක් ඉන්නවා. අනේ එයානම් ඔහොම කරන්න ඉඩ දෙන එකක් නෑ.

අව්‍යාජා- ඔය මෝඩ ස්වාමියාව අතහැර දාපන්.

කාන්තාව 2- අනේ එක නම් කරන්න බෑ. මං කොහොමද මගේ දරුවන්ට පිටුපාන්නෙ. මං අම්මා කෙනෙක්.

අව්‍යාජා- ඇස්දෙකට පෙනි පෙනී තියෙන මේ අසාධාරණයට විරුද්ධ වෙන්න කොන්දක් නැත්නම් මුං අපේ කොන්දවල් උඩ හිට ගනීවි. මේකට විරුද්ධ නොවුනොත් උඹල අපි හැමෝටම වෙන්නේ ඔක්කොම එළියෙ දාගෙන ඉන්න. ඉස්සරහට මුන් අපිට යට ඇඳුනුත් නැතිව ඉන්න කියලා නීතියකුත් පාස්කරාවි. උඹලට තේරෙන්නෙ නැද්ද?

කාන්තාව 3- මම නම් පෞද්ගලිකව මේකට විරුද්ධයි. ඒත්, ඉතිං ගෑනු අපි මොනවා කරන්නද?

අව්‍යාජා- මෝඩියනි, මට මෙච්චරවෙලා කට කැඩෙනකල් කිව්වේ කරන්න පුළුවන් දේ තමයි. අපි එකතු වුණොත් මහා බලවේගයක් ගොඩනඟා ගන්න පුළුවන්. කාන්තා අපේ සියලු අයිතිවාසිකම් දිනාගන්න පුළුවන්. අනාගතේ ඉපදෙන්න ඉන්න දරුවන් ගැන හිතලා අපි මේ සටන දියත් කරමු. උඹලගෙ ස්වාමියෝ, දරුවො හැමෝම මේ සටන වටා පෙළ ගස්වමු. අපි පාලන බලය අතට ගමු. හුරේ, අපේ සටනට ජයවේවා. අපේ සටනට ජය වේවා.

කාන්තාව 1, කාන්තාව 2, කාන්තාව 3- අපේ සටනට ජයවේවා.

(සංගීත හඬ සමඟ ගෝෂාව එකතුවේ.)

මිතුරා- මට නම් පේන්නේ, මේක අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්කරන මහා ව්‍යහසනික සැලසුමක්. කුමන්ත්‍රණයක්.

සවිඥානික- හැම දෙයකටම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්, නැත්නම් එන්ජීඕ ප්‍රොජෙක්ට් එකක්, එහෙමත් නැත්නම් අදිසි හස්තයක්, කොටි ඩයසපෝරාවෙ ප්‍රොජෙක්ට් එකක් කියන රෙකොර්ඩ්එක මට නම් අහලා ඇතිවෙලා.

මිතුරා- උඹ මොකක්ද මේකට කියන්නෙ?

සවිඥානික- රජය කරන හැමදේකටම හරහට හිටීම සුදුසු ප්‍රතිපත්තිය නෙවි. අද අපි ළඟ තියෙන ඊනියා ශිෂ්ඨත්වය බටහිරින් මෙරට බලෙන් ස්ථාපිත කරපු එකක්. අපේ අතීත දේශීය සංස්කෘතියෙ, විවාහ ලියාපදිංචිය පැවතුණේ නෑ. ඒකේ බහුවිවාහ පැවතුණා. බහුලිංගික සබඳතා පැවතුණා. අද අපි ඇඳගන ඉන්න ඇඳුමේ සිට, කරන ක්‍රියා, සිතන සිතිවිලි, හැම එකක්ම බටහිරින් මෙරට ස්ථාපිත කළ දේවල්.

මිතුරා- මොනවා වුණත්, කොහොමද බං තමන්ගේ ගෑනියෙක්ව, එහෙමත් නැත්නම් වැඩිමහල් වෙච්ච ගෑනු දරුවෙක්ව පියයුරු එළියේ දාගෙන පාරට බස්සන්න පුළුවන්?

සවිඥානික- මං නම් කැමතියි මිනිස්සුන්ට විවෘත වෙන්න පුළුවන් නම්. පිරිමින්ට ගැහැනු ශරීරයේ සුන්දරත්වය විඳින්න පුළුවන්. ගැහැනුන්ට පිරිමි ශරීරයේ සුන්දරත්වය විඳින්න පුළුවන්. හරියට සැළලිහිනියේ තියෙන කවියක් වගේ. ''සිසිවන වුවන ඉඟසුඟ ගත හැකි මිටින, නිසි පුළුලුකුළු රියසකයුරු තිසර තන.'' සුන්දර කාන්තාවො විවිධ හැඩතලවල පියයුරු රිද්මයකට නටවා නටවා යනකොට මේ සමාජය කොයිතරම් සුන්දර වෙයිද? අපි උත්සහ කරමු ඒ සුන්දරත්වය විඳින්න.

මිතුරා- ඒ කියන්නෙ උඹේ ගෑනිත් ඔය විධියට අනික් අයට පේන්න යනවට උඹ කැමතියි.

සවිඥානික- ඇත්තම කියනවා නම් මගේ ගෑනි හැර, අනික් ගෑනු යනවානම් තමයි මං වඩාත්ම කැමැති. ඒත්, ඒක එහෙම කරන්න බෑනේ. ප්‍රජාතන්ත්‍රවාදී නෑනේ. ඒ නිසා ඔන්න ඔහේ මගේ ගෑනිටත් යන්න ඉඩ දෙනවා.

මිතුරා- මං අවවාද කරනවා උඹට, මේ විකාර අදහස් ප්‍රසිද්ධියෙ නම් කියන්න එපා කියලා.

සවිඥානික- ඒ මොකද?

මිතුරා- මිනිහෝ රට පුරාම මහා විරෝධතා ව්‍යාපාරයක් ගොඩනැගෙමින් පවතින්නේ. ආණ්ඩුව පෙරළෙන්නත් පුළුවන්. හරියටම එක්දහස් නවසිය හැත්ත එක, අසූ තුන, අසූනමයට නොදෙවෙනි සංහාරයක් ඇතිවීමේ ලකුණු තියෙනවා.

සවිඥානික- උඹ කොහොමද දන්නේ?

මිතුරා- හැම තැනම ගැහැනු මේකට විරුද්ධව පෙළ ගැහෙනවා. ඒ වගේම උන්ගේ මිනිස්සුත් සහය දක්වනවා.

සවිඥානික- ඒත් පත්තරවල, රූපවාහිනියේ, රේඩියෝ එකේ අඩුම තරමෙ ෆේස්බුක්වලවත් ඒ ගැන කිසිම නිවුස් එකක් නෑනේ.

මිතුරා- ඔව්. මේ පාර ඔක්කොම ජනමාධ්‍යය ආණ්ඩුව පෙරලන්න සහය දක්වනවා. සියල්ල රහසිගතවයි සිද්ධ වෙන්නේ. ඉතාම සැලසුම් සහගතවයි ගැහැනු මිනිස්සු වැඩ කරන්නේ. කකුළුවා නටන්නේ වතුර ටික රත් වෙනකල් කියනවනේ. හැමදාම රජකම් බොරු. දැන් ඉතිං මේ අමන ප්‍රතිපත්තිවලට එරෙහි වෙන්න කාලේ හරි. මිනිසුන්ගේ හිත්වලට දැනිලයි තියෙන්නේ පීඩනය. ලොකු පීඩනයක් ඇතිවෙච්ච මෙහොතක තමයි විප්ලවයක් ඇතිවෙන්නේ. එහෙම තමයි ලෝකයේ හැම විප්ලවයක්ම වෙලා තියෙන්නේ. මමත් සහයෝගය ලබාදෙනවා මේ පාර විරෝධතාවට.

සවිඥානික- මොනවා, උඹත් ආණ්ඩුව පෙරලන්න සහයෝගය දෙනවා?

මිතුරා- ඔව්, ඇත්තටම.

සවිඥානික- ඉතිං උඹලනේ මේ ආණ්ඩුව පත්කළේ.

මිතුරා- කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොට කියනවානේ. දැන් මට හොඳටම පැහැදිලි වෙලයි තියෙන්නේ මුන්ගේ කෙරුවාව. මේකට විශාල සහයෝගයක් වගේම ප්‍රචාරණයක් ලැබෙනවා, යට ඇඳුම් ඇඟලුම් කර්මාන්ත හිමියන්ගෙ සංගමයෙන්. මේ අලුත් නීතිය නිසා උන්ට හොඳටම කේන්ති ගිහිල්ලයි ඉන්නේ. බෙෂියර්, බ්ලවුස්, වෙස්ට්, බැනියම්, ෂර්ට්, ටී ෂර්ට් බිස්නස්එක සම්පූර්ණයෙන්ම මේකෙන් බිඳ වැටෙනවා. රටේ ගාර්මන්ට් ඉන්ඩස්ට්‍රිඑක මුළුමනින්ම කඩා වැටෙනවා. ඒ වගේම මේ විරෝධතාවයට සෑම ආගමකම නායකයෝ ආගම් බේදයකින් තොරව සහය දක්වනවා. ආගම්වල සහය නැතුව රටක් කරනවා කියන එක බොරු. භික්ෂුනීන්ට, ක්‍රිස්තියානි කන්‍යා සොහොයුරියන්ට, මුස්ලිම් කාන්තාවන්ට පවා උඩුකය නිරුවත්ව සිටීමට වීම ආගම් සමස්තයටම කරන මහා අපහාසයක්.

සවිඥානික- කැමති අයට උඩුකය නිරාවරණය කරගැනීමටත්, අකමැති අයට ආවරණය කරගැනීමටත් විධියට මේ නීතිය සංශෝදනය කළොත් උඹ හිතන්නේ වැඩි පිරිසක් කොහොම වෙයිද?

මිතුරා- අබමල් රේණුවක මොළයක් තියෙන කිසිම කෙනෙක් කැමැති නෑ මේ නීතියට.

සවිඥානික- උඹ කොහොමද කියන්නේ?

මිතුරා- හරි, උඹ කොහොමද කියන්නේ?

සවිඥානික- එහෙනම් උඹ මෙච්චර කල් අප අවට ගැහැනු මිනිස්සු සැරිසරන්නේ කොහොමද කියලා ඇස් වහගෙනයි ඉඳලා තියෙන්නේ. සුපිරි හෝටල්වලට ගියාම, ෂොපින් කම්ප්ලෙක්ස්වලට ගියාම, සන්දර්ශනවලට ගියාම, රූප සුන්දරී තරගවලට ගියාම බලන්නකෝ කීයෙන් කී දෙනෙක්...

මිතුරා- (බාධා) උඹලා වගේ මෝඩ උගතුන් තමයි ලෝකයට විනාශය කියන එක කැන්දන් එන්නේ. උඹලව තමයි පරාජය කරන්න ඕන.

සවිඥානික- මං කියන්නේ උඹලව කියලා. මෙච්චරතාක් කල් මේ ආණ්ඩු ආරක්ෂා කරපු උඹලව කියලා. උඹලා අශිලයත්වයෙන්, රාගයෙන්, කාමයෙන් දැවෙනවා කියලා. උඹලට උඹලව පාලනය කරගන්න බෑ. උඹලව තමයි පරාජය කරන්න ඕන.

(සංගීතය)

අව්‍යාජා- මෙහෙමයි සැලසුම, උඩුකය වැසීමේ ජාතික ව්‍යාපාරයේ අපි නොනවත්වා පෙළ ගැහිලා ඉස්සරහට යනවා. ගිහිල්ලා පාර්ලිමේන්තුව වටකරනවා. අවශ්‍ය කරන සියලුම ආයුධ අපිට ලැබිලයි තියෙන්නෙ.

කාන්තාව- ඒ මොනවද?

අව්‍යාජා- තුවක්කු, අත්බෝම්බ, මිසයිල.

කාන්තාව 2- මේවා කොහොමද අපි පාවිච්චි කරන්නෙ? අපිට පුහුණුවක් නෑනේ.

අව්‍යාජා- හිතට දිරිය ගනිල්ලා. බැහැයි කියලා දෙයක් නෑ. කුස්සියෙ මාළු කූරි කපන්නෙ. පොල්ගෙඩිය බිඳින්නෙ. අන්න ඒ වගේ පහර දීපල්ලා, මේ අවි පාවිච්චි කරලා.

කාන්තාව 3- සත්වයින්ට පහර දීම මහා පවක් කියලයි දහම් පාසලේදී මං ඉගෙනගෙන තියෙන්නේ.

අව්‍යාජා- ඒ කියන්නෙ උඹව බල්ලෙක් හපාකන්න ආවොත් උඹ බල්ලට හපාකන්න කියලා ඔහේ බලාගෙන ඉන්නවා. මෝඩ විධියට හිතන එක දැන්වත් නවත්තපල්ලා. අපි බය නැතුව මේ සටන මෙහෙයවන්න ඕන. මේ රටේ පාලන බලය අතට අරගන්න ඕන. ඊට පස්සෙ කාන්තාවන්ට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් ජීවත්වෙන්න පුළුවන්, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න පුළුවන් පාලනයක් ගොඩනඟමු. අපි ඉස්සෙල්ලාම කරන්නෙ මේ නීතිය අහෝසි කිරීම.

කාන්තාව 1- මේක ලෝකයේ මුල්ම අගමැතිනිය, ඒ වගේම ලෝකයේ ප්‍රථම විධායක ජනාධිපතිනිය බිහිවෙච්ච රටක්. ඔවුන් යටතේ කාන්තා අපිට කියලා සිද්ධ වුණේ මොනවද?

අව්‍යාජා- අතීතය උදාහරණෙට අරගෙන සහෝදරී, කිසිම ප්‍රශ්නයක් ජයග්‍රහණය කරන්න බෑ. උඹලා මාව විශ්වාස කරපන්. මෙදා පාර අපි බිහිකරමු මාතෘමූලික සමාජයක්. පිරිමි එකෙක්ටවත් මම ඉඩදෙන්නෙ නෑ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර දරන්න ලබා දෙන්නෙ කාන්තාවන්ට පමණයි.

කාන්තාව 2- ඕක යථාර්ථයක් කරගන්න පුළුවන් වෙයිද?

අව්‍යාජා- ඉර හඳ වගේ මේක අනිවාර්යයයි. දරුවෝ බිහි කරන්නෙ අපි, උන්ට කවලා පොලා, කිරිදීලා ඇතිදැඩි කරලා නඩත්තු කරන්නෙ අපි. ''තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි'' කියන කියමන මේ පාර හැබෑවක් වෙනවා වෙනවාමයි.

කාන්තාව 3- අපිට ජාත්‍යන්තර බලපෑම් ආවොත්? සම්බාධක එල්ල කළොත්?

අව්‍යාජා- ඔය මොන ජාත්‍යන්තරයත් මේ කාන්තා ශරීරයට යටයි.

කාන්තාව 2- මේ රටේ ඉන්න හමුදාව අපිට ප්‍රහාර එල්ල කළොත්?

අව්‍යාජා- අනිවාර්යයෙන්ම එල්ල කරනවා.

කාන්තාව 1- මොකකක්? හම්මෝ මට නම් බයයි. ලිපේ ගිනි අඟුරක් පිපිරෙන සද්දෙටත් මං ගැස්සෙනවා.

අව්‍යාජා- ගැහැනුන්නේ හිතට දිරිය ගනිල්ලා. අපි තුවක්කු අවිවලින් සන්නද්ධ වෙලා පහර දෙන්න ඕන. මේ වෙනකොටත් ඉතාම රහසිගත විධියට, නූතන අවි රැසක් රැගත් නෞකා සියයක් මෙහාට ළඟාවෙමින් තියෙන්නෙ. මේ සඳහා සියලු කටයුතු සම්පාදනය කරන්නේ ඉන්ටර් නැෂනල් බ්‍රෙෂියර් ඇසෝසියේෂන් එකේ සහය මත. මෙහාට මල්ටිකප්, මිනිමිස්ටර්, ස්ටෑප්ලස්, ප්ලන්ගර්, ස්පොර්ට්ස්, හාල්ෆ්කප්, නර්සින්, බුලට්, ෂෙල්ෆ්, ඩෙමි, පුෂප් බ්‍රෙෂියර් ගේන විධියට සබ්මැෂින්, වෝල්ගන් වගේ මිලටරිගනුත්, ගාට්ලින්, මැෂින් පිස්ටල් ආදී මැෂින් ගනුත්, රිවෝල්වර්, හැන්ඩි පිස්ටල් වර්ගයෙ හෙඩ් ගනුත්, ඒ වගේම ඔටෝ කැනන්ගන්, ආටිලරිගන්, ටෑන්ක්ගන්, හන්ටින්ගන්, ආදී සෑම නවීන ආයුධයක්ම යට ඇඳුම් අරගෙන එන විධියට රහසිගතව අරන් එනවා.

කාන්තාව 3- මොනවා? මේක රජයට හෙළි වුණොත්?

අව්‍යාජා- මේක දන්නේ උඹලා අපි විතරයි. ඒ කියන්නේ උඩුකය වැසීමේ ජාතික ව්‍යාපාරයේ විධායක මණ්ඩලයේ කිහිපදෙනෙක් විතරයි. උඹලගෙ ගැමි ගැහැනුගති අයින්කරපල්ලා. ගැහැනුන්ට රහස් රකින්න බෑ කියන කථාව පරාජය කරලා මේ රහස අනිවාරයයෙන්ම රකින්න වෙනවා. කිසිම කෙනෙකුට මේක හෙලි කරන්න බෑ. එහෙම වුණොත්, අපිට කලින් රජය මේකට විරුද්ධව ක්‍රියාමාර්ග ගනීවි. අපේ සටන පරාජය වේවි. අපිට උඩුකය විතරක් නෙවි යටිකයත් නිරුවත් කරගන්න වේවි ඒ එක්කම.

කාන්තාව 2- උඩුකය වැසීමේ ජාතික ව්‍යාපාරයේ අපි කිසිම කෙනෙක්, මේ රහස හෙළි නොකරන බවට දිවුරා පොරොන්දු වෙනවා.

අව්‍යාජා- මට හරිම සංතෝෂයි. එකතු වුණොත් කළ නොහැක්කක් නැත සහෝදරියනි. ඔව්, අපි අපේ සටන අනිවාරයයෙන්ම ජයග්‍රහණය කරනවා. අපේ සටනට ජය වේවා.

කාන්තාව 1 කාන්තාව 2 කාන්තාව 3- අපේ සටනට ජය වේවා.

(සංගීතය)

සවිඥානික- මට හරිම සන්තෝෂයි මගේ ගෑනිට මේ වගේ දිරියක් ශක්තියක් ආපු එකට. මගේ ගෑනි මේ රටේ නායකයා වුනාම මම තමයි ඇගේ අග රජු. මට මං ගැනම ආඩම්බරයක් ආරූඩ වෙනවා.

මිතුරා- තමන්ගේ ස්වාමියන්ට පවා අභියෝග කරමින් ගැහැනු සංවිධානය වෙන්නෙ ඉතිහාසයේ කවුරුත් නොසිතූ විධියට. මට නම් හිතාගන්න බෑ මේ තරම් ශක්තියක් ගෙයි මුල්ලෙ හිටිය ගැහැනුන්ට කොහොමද ලැබුණෙ කියලා.

සවිඥානික- ගැහැනිය ජීවවිද්‍යාත්මකව පිරිමියාට වඩා ශක්තිමත්. ගැහැනිය සෞම්‍යයයි. ගැහැනිය මෘදුයි කියලා කියන්නෙ පිරිමි අපිම හදපු කථාවක්. උදේ හවා පිරිමින්ගේ ලිංගික අශාවන් ඉෂ්ඨකරගන්න කොට පිරිමියාව දරාගන්න ඈට පුළුවන්. එතකොට දරුගැබක් මාස දහයක් දරාගන්නවා කියන එක සුළු පටු දෙයක්ද? ඒ වගේම දරු පැටියෙක් බිහිකිරීම කියන්නෙම මහා දරාගැනීමක්. දරුවන්ගෙන්, ස්වාමියාගෙන්, සමාජයෙන් දෛනිකව ඇයට එන පීඩනය දරා ගන්න ඈ හැමවෙලේම ශක්තිමත්.

මිතුරා- මං කසාද බැඳලා තිබුණා නම් මගේ ගෑනිව උඹේ ගෑනි එක්කලා හවුල්කරලා මටත් තිබුණා උඹ වගේම මාර තැනකට එන්න.

සවිඥානික- මට ආවා මරු අදහසක්.

මිතුරා- මොකක්ද?

සවිඥානික- ගෑනි බලයට පත් වුණාට පස්සෙ, මං ගෑනිගෙන් ඉල්ල ගන්නවා රටේ නායකකම.

මිතුරා- ගෑනි දෙයිද?

සවිඥානික- මුලින්ම බෑ කියාවි. මං දන්නවනේ මගේ ගෑනි ගැන. ටික දවසක් යනකොට ගෑනිට එපා වෙනවා. ගෑනි කැමැත්තෙන්ම දේවි.

මිතුරා- බලය ලැබුනම ගැහැනු මිනිස්සු වෙනස් වෙන්නෙ හිතාගන්න බැරි විධියට. බැරි වෙලාවත් එහෙම නුදුන්නොත්?

සවිඥානික- බලෙන් ගන්නවා. එහෙම නොකළොත් මගේ පිරිමිකම මොකක්ද?

මිතුරා- බැරිවෙලාවත් බලයට ආවම ගෑනි උඹව දික්කසාද කළොත්? අමතක කරන්න එපා මේ රටේ තියෙන්නෙ විධායක ජනාධිපති ක්‍රමයක්. ඒකට කරන්න බැරිදෙයක් නෑ. උඹව බලහත්කාරෙන් ආණ්ඩුවට ද්‍රෝහිකම් කළා කියන චෝදනාව යටතේ හිරේ දාන්න බැරි නෑ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තාමත් රටේ බලපවතිනවා. මොකද උඹ උඹේ ගෑනිටවත්, මේ සටනටවත් උදව් කරන්නෙ නෑනේ.

සවිඥානික- ඒක තමයි මාත් හිතුවෙ. මේ ගෑනුටික උන්ගෙ උඩුකය නිරාවරණය කිරීමේ නීතිය උන්ට විතරක් අයින් කරලා, පිරිමින්ගේ නීතිය දිගටම ක්‍රියාත්මක කළොත්? එතකොට අපිට වෙන්නෙ මේ කටු බොඩි ගෑනුන්ට පෙන්න පෙන්න යන්න.

මිතුරා- මට විශ්වාසනීය රහසිගත ආරංචියක් ආවා. ගෑනු බලය අතට ගත්තට පස්සෙ මූණේ ඉඳන් යටිපතුල් දක්වා වසාගෙන යන විධියට නීතියක් ගේන්න යනවා කියලා.
සවිඥානික මොනවා? එතකොට මේ පේන ටිකවත් අපිට මගතොටේදි බලාගන්න බැරි වෙනවනෙ. මං උඹට මගේ හිතේ තියෙන රහසක් කියන්නද?

මිතුරා- මොකක්ද?

සවිඥානික- මගේ ගෑනි මේ රටේ නායකයා වුණාම, මං බලය අතට අරගෙන ඔය නීතියම ආපහු ගේන්න විධිවිධාන සකසනවා. කොහොම හරි ආපහු ගේනවා.

මිතුරා- ආපහු ගේනවා?

සවිඥානික- ඔව්.

මිතුරා- ඉතිං අපරාදෙනෙ උඹේ ගෑනි මේ විධියට මහන්සි වෙන්නේ. ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසෙන්නේ?

සවිඥානික- එහෙම හිතන්න එපා. මේක තමයි අවස්ථාව ආණ්ඩුව පෙරලලා දාන්න, බලය අතට ගන්න.

මිතුරා- එතකොට බලය අතට අරගෙන උඹ කරන්න යන්නේ ආපහු මේ නීතිය ගේන්න?

සවිඥානික- ඔව්, මට හිතෙනවා මේකට තව සංශෝදනයකුත් එක්කම අරගෙන එන්න.

මිතුරා- ඒ මොකක්ද?

සවිඥානික- ඒක තවම මනසෙ කැකෑරෙන කෙටුම්පතක් විතරයි.

මිතුරා- ඉතිං මොකක්ද?

සවිඥානික- මට හිතෙනවා ගැහැනු මිනිස්සු ඔක්කොම යටිකයත් නිරුවත්ව සිටිය යුතුයි කියලා නීතියක් අරගෙන එන්න.

මිතුරා- මොකක් ?

(සංගීතය )

අව්‍යාජා- ලෝක ඉතිහාසයේ පළමු වතාවට මට මේ වගේ සටනකට නායකත්වය දෙන්න ලැබිච්ච එක ගැන මගේ හිත සංතෝෂයෙන් ඉපිලිලා යනවා. ලක්ෂ ගාණක් ගැහැනු එකතුවෙලා ඔවුන්ගේ ශක්තියෙන් පාර්ලිමේන්තුව වට කරලා, ඒකට රිංගලා රාජ්‍ය බලය ලබා ගන්නවා. අපේ විප්ලවය ලෝක ඉතිහාසයේ රන් අකුරින් සටහන් වන බව නොඅනුමානයි. ලොකයේ පළමු කාන්තා විප්ලවය. ඒ වගේම දෙහස් හයසීයක ලංකා ඉතිහාසයේ පළමු කාන්තා විප්ලවය. ඔව්, දැන් තියෙන්නේ සටන මෙහෙයවන්න. ම්, මොනවා, කොහෙද, මං වටේ උන්නු විධායක මණ්ඩලයේ සහෝදරියො? ඒයි, සහෝදරියනේ, සහෝදරියනේ. මොනවා, අහල පහළක කවුරුවත් පේන්න නෑනේ. එක දිගටම වැඩකරපු නිසා මට මඳක් ඇහැ පියවුණා. මුළු පළාතම පාළුයි. එක තරුවක් වත් අහසේ පායලා නෑ. මගේ සොහොයුරියන්ට මොකද වුණේ. මේක හීනයක්ද? ම්, සහෝදරියනේ. සහෝදරියනේ. උඹලා මාව අතහැරලා ගියාද? උඹලට මොකද වුණේ. හ්ම්, පරිසරයම නිශ්ශබ්දයි. ඔව්, ඒත්, මං මේ කිසිම දෙයකින් පසුබට වෙන්නෙ නෑ. ඔව්, මං තනියම හරි මේ විප්ලවය ජයගන්නවා. මේ රටේ පාලන බලය අතට ගන්නවා. මේ නීතිය මුළුමනින්ම උදුරා දමනවා.

(සංගීතය)

සවිඥානික- මොකද ඔයා ආපිට ගෙදර අවේ?

අව්‍යාජා- ගෑනු ඔක්කොම සටන මග හැරියා. උන් ඔක්කොම විවිධ හේතු දක්වනවා. සමහරෙක්ට ස්වාමියො එන්න දෙන්නෙ නෑ. තව අය දරුවො නිසා බෑ කියනවා. අසනීපයි කියලා බෑ කියනවා. තව අයට මාස් ශුද්ධිය. තව අය ලැජ්ජයි බයයි කියනවා. විවිධ හේතු.

සවිඥානික- මං ඇහුවේ ඇයි ඔයා ගෙදර ආවේ කියලා?

අව්‍යාජා- මටත් මහන්සියි. මට තනියම කරන්න පුළුවන් සටනක් නෙවි මේක. ඇඳුම් ඇඳගන්න විප්ලවයක් කරනවට වඩා, මේ ඇඳුම් ඔක්කොම ගලවලා දාන එක ලෙහෙසියි, සරලයි. මං මේ කල්පනා කළේ, අපේ රට සමක කාලාපීය නිවර්තන රටක්. ඉතිං අවුරුද්ද පුරාම උණුසුම. ආණ්ඩුව මේ වගේ තීරණයක් අරගන්න ඇත්තේ ගැහැනු මිනිස්සුන්ගෙ පහසුව ගැන හිතලා වෙන්න ඕන. අනික ඇඳුම්වලට අවුරුද්දකට කොයිතරම් මුදලක් අපි යට කරනවද? නානප්‍රකාර පැෂන්වල උඩ ඇඳුම්, යට ඇඳුම්වලටම පඩිය ඉවරයි. මිනිස්සුන්ගේ ජීවන බර අඩුකරන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය තමයි වස්ත්‍රාභරණවලට යන වියදම කපා හැරීම. නොකා නොබී මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. ඒත්, ඇඳුම් නැතුව ජීවත් වෙන්න පුළුවන්. මං ආණ්ඩුවට යෝජනා කරනවා කිසිම ඇඳුමක් නැතුව නිරුවතින් ජීවත් වන ලෙස, මේ නීතිය සංශෝධනය කරලා මහජනතාවට තව තවත් සෙත සලස්සවන්න කියලා. ආර්ථීක සහනය ලබා දෙන්න කියලා.

සවිඥානික- ඔන්න දැන් තමයි ඔයාගේ මොළේ පෑදිලා තියෙන්නෙ. මට හරිම ආඩම්බරයි මගේ ගෑනිට තියෙන නූතනවාදී චින්තනය ගැන. ඇත්තටම අපි මේ සමාජය, දේශපාලනය දිහා බලන්න ඕන වඩාත් නූතනවාදී දෘෂ්ටියකින්. එතකොට තමයි වඩවඩාත් අපිට ඒවා අවබෝධ කර ගන්න පුළුවන් වෙන්නෙ.

(අවසන් සංගීතය)

[ෆන්සල (රේඩියෝ නාට්‍ය ) කෘතියෙනි.]

මාලක දේවප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails