Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජනතා විරෝධයට ලක්ව, හමුදාව විසින් බලයෙන් පහ කරන ලද ජනපති මොහමඩ් මුර්ශිට සහාය පළ කරමින්, කයිරෝවේ කඳවුරු ලා සිටි ආධාරකරුවන් ඉවත් කිරීමේ හමුදා මෙහෙයුම සිදු කෙරුණේ ඉකුත් අගෝස්තු 14 වන දිනය. ඔවුන් ඒ වන විටත් සති හයක් පුරා එකී විරෝධතාවයේ නියැලී සිටි අතර, නගරයේ ස්ථාන දෙකක් අත් පත් කොට ගෙන Occupy පන්නයේ උද්ඝෝෂණවල නියැලෙමින් සිටියහ. විරෝධතාකරුවන්ට එල්ල කළ හමුදා ප්‍රහාරයෙන්, (නිල සංඛ්‍යා ලේඛන වලට අනුව) මිනිසුන් 638ක් ඝාතනය වී ඇත. ඉන් 595 දෙනෙකු සිවිල් පුරවැසියෝ වන අතර 43ක් පොලිස් නිලධාරීහු වෙති. අවම වශයෙන් 4000කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.

ඉන් දින දෙකකට පසු එළඹුණු සිකුරාදාව (අගෝස්තු 16) "කෝපය පළ කිරීමේ දවස" ලෙස ප්‍රකාශ කරනු ලද අතර, එදින දහවල යාඥා වලින් අනතුරුව, මුස්ලිම් සහෝදරත්වයට පක්ෂ ආධාරකරුවන්ගෙන් සහ බදාදා ජන සංහාරයට එරෙහි ජනතාවගෙන්, කයිරෝවේ වීදි පිරී ඉතිරී යන්නට විය. ඒ වන විට ද ඇඳිරි නීතිය පනවා තිබූ අතර, එය කඩකරන ඕනෑම කෙනෙකුට එරෙහිව තද බල ලෙස ක්‍රියාකරන බවට ආණ්ඩුව අවවාද නිකුත් කර තිබිණ. ඇඳිරි නීතිය කඩ කරමින් වීදි බට උද්ඝෝෂකයින්, කයිරෝවේ රැම්සේස් චතුරශ්‍රසයට රැස් වූහ. බදාදා නාටකය නැවත රඟ දෑක් වුණු අතර, හමුදාව විසින් තවත් 95 දෙනෙකු පමණ ඝාතනය කරන ලදී. මීට සමාන්තරව රට පුරා විවිධ ස්ථානවල උණුසුම් වාතාවරණයන් උද්ගත වූ අතර ජීවිත හානි පිළිබඳව ද වාර්තා විය.

හෙලිකොප්ටර්වලින් පැමිණ ජනතාවට ස්නයිපර් පහර දීම් කළ බව විරෝධතාකරුවෝ අල්ජසීරාවට පැවසූහ. "හෙලිකොප්ටරවලින් පැමිණ අපට පහර දුන්නා. බෝමබ නොවෙයි- උණ්ඩ. මගේ මිතුරෙකුට ගෙලට වෙඩි වැදී මිය ගියා. මේ පළවෙනි වතාවට තමා අපි දැක්කේ හෙලිකොප්ටර්වලින් ඇවිත් වෙඩි තියනවා. ගොඩනැගිලිවල ජනෙල් අතරින් වෙඩි තියනවා අපි දැක්කා." සී.එන්.එන්. මාධ්‍යවේදියෙක් වෙත අදහස් දැක්වමින් එක් උද්ඝෝෂකයෙකු ආවේගශීලීව පවසා සිටියේ අපේ හමුදාව අපට පහර දෙතැයි ඔවුන් කිසිවිටෙක බලාපොරොත්තු නොවූ බවය.

ඊජිප්තු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් අල්ජසීරාවට ප්‍රකාශයක් ලබා දෙමින්, හමුදා ආණ්ඩුවේ පහර දීම සාධාරණීකරණය කෙළේ මෙලෙසින්. "ඔවුන් (උද්ඝෝෂකයින්) සිවිල්වැසියන්ට මැෂින් තුවක්කුවලින් වෙඩි තබනවා. ඔවුන් කයිරෝවේ අල්-ඛයිඩා කොඩි ඔසවනවා. මේවා කිසිසේත්ම සාමකාමී උද්ඝෝෂණ නොවේ."

අන්තර්වාර කැබිනට් මණ්ඩලය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, රජය, පොලීසිය සහ "ශ්‍රේෂ්ඨ ඊජිප්තු හමුදාව", මුස්ලිම් සහෝදරත්වයේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී කුමන්ත්‍රණයට එරෙහිව එකමුතුව නැගී සිටින බවයි.


රැම්සේස් චතුරශ්‍රසය- උද්ඝෝෂණ (සිකුරාදා)


උද්ඝෝෂකයින් තුවාල ලැබූවෙකු ඔසවා ගෙන යමින්- රැම්සේස් චතුරශ්‍රසය


තුවාල ලැබූ උද්ඝෝෂකයෙක්- රැම්සේස් චතුරශ්‍රසය- Al-Fath පල්ලිය අසල.

බදාදා සහ සිකුරාදා සමූල ඝාතනයේ ගොදුරු බවට පත් වූවන්ගේ සිරුරු මෝචරි සහ පල්ලි තුළ කඳු ගැසී තිබෙනු දක්නට ලැබුණු අතර මිය ගිය අයගේ සමීපතමයන්ගේ කෝපය පොලිසිය සහ හමුදාවට එල්ල වී තිබිණ. සිකුරාදා සිදුවීම්වලින් අනතුරුව චතුරශ්‍රය ආශ්‍රිත පල්ලියක උද්ඝෝෂකයන් සිය ගණනක් සිර වී සිටි අතර, හමුදා විසින් පල්ලිය වටලා තිබිණ. පල්ලිය තුළ වූ අයට හානියකින් තොරව ඉවත්ව යා හැකි මාර්ගයක් විවෘතව ඇති බව රාජ්‍ය මාධ්‍ය මගින් නිවේදනය කළ මුත් හමුදා සමග මැර කණ්ඩායම් සිටින බවට බිය පළ කළ ඔවුන් ඉවත්ව නොගොස් එහිම රැඳී සිටි බව වාර්තා විය. සෙනසුරාදා පහන් වන තුරුම පල්ලිය තුළ සිරව සිටි කණ්ඩායමේ ඇතැම් අය තමන් පත්ව සිටින බියකරු තත්ත්වය මාධ්‍යවලට සජීවී ලෙස වාර්තා කළහ. අල්ජසීරාවට පල්ලිය තුළ සිට දුරකථනයෙන් ඇමතූ එක් අයෙක් කියා සිටියේ හත්සියයක පිරිසක් සිරව සිටින බවත් ආරක්ෂක හමුදා මැරයන් සමග රැකවල්ලා සිටින බවත්ය. කෙසේවුවද මේ සටහන ලියන මොහොත වන විට, බොහොමයක් පිරිස් පල්ලියෙන් ඉවත්ව ගොස් ඇතැයි වාර්තා විය.

එක්සත් ජනපද ජනපති ඔබාමා ප්‍රහාරය හෙළා දැක ඇති අතර, එක්සත් ජනපද සහ ඊජිප්තු හමුදා එක්ව කිරීමට සැලසුම් කළ යුධ අභ්‍යාස වහාම නවතා දමන බව නිවේදනය කළේය. බොහොමයක් බටහිර රටවල් හමුදා සංහාරය හෙළා දැක නිවේදන නිකුත් කොට ඇති අතර, සෞදි අරාබිය, මුස්ලිම් සහෝදරත්වයට රට අස්ථාවර කරන බවට චෝදනා එල්ල කොට තිබේ.

"එක් සිදුවීමකින් සිය ගණනක් ඝාතනය කරනු ලැබ තිබියදීත්, මීළඟ වාරය තමා විය හැකි බව දැන දැනම ඊජිප්තු උද්ඝෝෂකයන් වීදි වලට එන හැටි බලන්න. ඔවුන් හැමකෙකුම ප්‍රචණ්ඩ අන්තගාමීන් ද? නැත." D. Parvaz, අල්ජසීරා වෙබ් අඩවියට ලියයි.

සිකුරාදා වීදි බට උද්ඝෝෂකයන්ගෙන් ඇතමෙක් පවසා ඇත්තේ ඔවුන් උද්ඝෝෂණ සඳහා පැමිණි මුල්ම වතාව එය බවයි. "එදා බදාදා ඔවුන් පළමු සිවිල් වැසියාට වෙඩි තැබූවා කියන්නේ ඔවුන් මුළු මහත් ඊජිප්තු ජනතාවටම වෙඩි තිබ්බා කියන එකයි. මම ආවේ ඒකයි. උන් අපි සේරමල්ලාව මරලා ඉවරයි.. !" Dina Badry එසේ පැවසීය.

"මම කිසිම දේශපාලන කණ්ඩායමකට අයත් නැහැ. ඒත් මම ආවේ යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මිලිටරි පාලනයට එරෙහිව සටන් වැදීමටයි." 33 හැවිරිදි Ahmed Awad පැවසීය. ඔහු මූර්ෂි සහායකයෙකු නොවන උද්ඝෝෂකයෙකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, බදාදා ප්‍රහාරය විවරණය කරමින්, සිය මැදපෙරදිග විදේශ ප්‍රතිපත්තිය මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූවක් බවට පාරම්බාන එක්සත් ජනපදයේ කුහක මුහුණුවර, එක්සත් ජනපද ආධාර ලබන ඊජිප්තු මිලිටරි ජුන්ටාව විසින් ම කුඩුපට්ටම් කර දමන ලද බව පවසයි. මුස්ලිම් සහෝදරත්වය සහ හමුදාව අතර එකඟතාවක් ඇති වනු දැකීමට වොෂිංටනය කැමත්තෙන් සිටි නමුදු, ජූලි මාසය වන විට පැන නැගුණු ජනතා නැගිටීම් හමුවේ එක්සත් ජනපදය, හමුදා කුමන්ත්‍රණයකට ආශිර්වාද කරන ස්ථාවරයකට මාරු වූ බව ද එමගින් අළුත් වටයකින් පැන නැගුණු ජනතා නැගිටීම් වලක්වාලීම ඔවුන්ගේ ප්‍රාර්ථනය වූ බව ද එම වෙබ් අඩවිය දක්වයි.


තුවාල ලද උද්ඝෝෂකයන්- තදබද වූ රෝහල් භූමියක් තුළ






රැම්සේස් චතුරශ්‍රසය අසල පල්ලියක තබා ඇති මළ සිරුරු

පුවත් ඇසුර- අල්ජසීරා, CNN, WSWS, BBC, Wikipedia
ඡායාරූප- අල්ජසීරා

මේනක බණ්ඩාර සමන්කුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails