Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මානව ජීවිතය පිළිබඳ අභියෝගය වෙනදාට වැඩියෙන් ජීවිතයට බලපාන බව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් නිරන්තරයෙන් අපට පසක් කර දෙයි. සාමාන්‍ය අයුරින් දෛනික ජිවිතය තුළ වු අභියෝග තරණය කිරිමට අසමත්ව දිනෙන් දින ඇද වැටෙන සාමාන්‍ය මිනිසුන් ඉදිරියේ ජීවිතය පිළිබඳ අභියෝගය විශේෂ අවශ්‍යතා සහිත පිරිසක් ලෙස ජයග්‍රහණය කර ඇති ආකාරය සහ ඒ සඳහා දරන උත්සාහය අපගේ ජීවිත පිළිබඳ යළි සලකා බැලිමේ අවශ්‍යතාව ද අපට ඒත්තු ගන්වයි.

මෙහිදි මූලික වශයෙන්ම සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන්නේ මෙම විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සිය අධ්‍යයන කටයුතු අතර සෞන්දර්ය කලා විෂයයන් සමඟ ස්වකීය අධ්‍යයන කටයුතු ගළපා ගනු ලබන්නේ කුමන අයුරින්ද එසේම සෞන්දර්ය කලා විෂයන් ඔස්සේ ස්වකීය ජීවිත පරිඥාණය වර්ධනය කරගැනිම සඳහා එය ඉවහල් කර ගනු ලබන්නේ කුමන ආකරයෙන්ද යන්න පිළිබඳවයි.

දෘශ්‍යාබාධිතබව සහ සංගීතය

ලෝකය පිළිබඳ රූපය මගින් ලබන දැනුම සහ අත්දැකීම්වලින් වියුක්තව ලෝකය පිළිබඳ දැනුම සොයා යන ගමනේ එක් අවස්ථාවක් ලෙස සෞන්දර්ය විෂයයන් ජිවිතය වෙත ළඟා කරගන්නා පිරිසක් ලෙස දෘශ්‍යාබාධිත වුවන් හඳුනා ගත හැක. දෘශ්‍යාබාධිත දරුවන් මූලික වශයෙන්ම සිය සෞන්දර්ය විෂය ලෙස සංගීතයට මූලිකත්වය ලබා දෙයි. වැදගත් කාරණය වන්නේ කිසිම ආකාරයක ස්වභාවික අනන්‍ය වු සංගීතමය හැකියාවක් ඔවුන් සතුව නොපැවතීමයි. ඔවුහු ස්ව-උත්සාහය හා කැපකිරීම හරහා සිය සංගීත කුසලතාවය වර්ධනය කරගනිති.

කලාව සහ ආබාධිතබව පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ කොට ඇති සංවර්ධිත රටවල් දක්වනු ලබන සැලකිල්ල අගය කල යුතුය. එම රටවල් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ජන ජීවිතයෙන් ඈත් නොකිරීම සඳහා මූලික වශයෙන්ම කලාව උපයෝගි කර ගනියි. ලලිත කලා විෂයයන් එහිදි සුවිශේෂී සේවාවක් සිදු කරයි. නමුත් ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිළිබඳ දක්වනු ලබන සැලකිල්ල පිළිබඳ යළි සලකා බැලිය යුතුය. එවැනි සමාජ සන්දර්භයක වුවද පාසල් තුළ සිටින දෘශ්‍යාබාධිත දරුවන් තම අභියෝගයන් ජයග්‍රහණය කිරිම සඳහා සංගීතය ඇසුරු කිරීම තුළ කලාව සහ අබාධිතබව අතර පවතින සම්බන්ධය සහ එහි උපයෝගීතාව කෙබඳුද යන්න මනාව පසක් කර දෙයි.

සෞන්දර්ය සංකල්පය පිළිබඳ විද්වතුන් අතර පැහැදිලි පොදු එක් නිර්වචනයක් නොමැත. නමුත් මුලික වශයෙන්ම මෙම නිර්වචනය කොටස් දෙකකට බෙදේ. එනම්, පෙරදිග හා අපරදිග වශයෙනි. පෙරදිග විචාරකයින් සෞන්දර්ය ඔස්සේ රස සංකල්පය සාකච්ඡාවට බඳුන් කරන අතර, අපරදිග විචාර සිද්ධාන්ත ඔස්සේ සෞන්දර්ය ප්‍රජානන විධියක් ලෙස සාකච්ඡාවට බඳුන්වේ. කෙසේ වෙතත් සෞන්දර්ය ඔස්සේ ඉහත සිද්ධාන්ත ද්විත්වයම අන්තර්ගත වන බව පැවසීම යුක්ති යුක්තය. ඒ අනුව සෞන්දර්ය හරහා දෘශ්‍යාබාධිත ළමුන් එක්තරා වින්දනයක් ලබන අතරේ එක්තරා දැනුමක් ද ලබයි.

පෙනෙන්නට ඇති ලෝකය සමඟ දැවටෙමින් ජීවිතය පිළිබඳ දැනුම සොයා යන මිනිසුන් ස්වකීය දෛනික කාල රාමුවෙන් මඳකට හෝ වෙන්ව සෞන්දර්ය ඔස්සේ ලබන වින්දනය කෙතරම්ද? එසේ නම්, නොපෙනෙන ලෝකය සමඟ ශබ්දයේ සහ ස්පර්ශයේ ආධාරයෙන් දෛනික ජිවිතය ගෙවන පුද්ගලයෙකුට සෞන්දර්ය කලාව මගින් ලබා දෙන වින්දනය කෙතරම්ද යන්න කියනුම කවරේද?



සංගීතය සහ ගීතය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ගීතය මගින් නිරන්තරයෙන් දෘශ්‍යාබාධිත ළමුන්ට වින්දනයක් මෙන්ම දැනුමක් ද ලැබෙයි. ගීත යනු නිරන්තරයෙන්ම එකිනෙකට වෙනස් වස්තු විෂයයන් පිළිබඳ සපයනු ලබන දැනුමකි. ආදරය, ප්‍රේමය, පරිසරය, සමාජ සම්බන්ධතා ආදිකොට ඇති සකලවිධ සමාජ සංස්පර්ශයන් ඇසුරු කර ගනිමින් රචනා වී ඇති ගීත ඔස්සේ මොවුන් ජීවිතය පිළිබඳ උගනිති.

සංගීතය කියන්නේ ගීතයම නොවේ. ශබ්දය පිළිබඳ ඉතිහාසය භාෂාවේ ආධිපත්‍යයත් සමඟ දෙවෙනි තැනට පත් වුවත් සංගීතය තුළ වු අසහාය බව භාෂාවේ ආධිපත්‍යයෙන් මොහොතකට හෝ වියුක්ත වූ අවස්ථා සංගීතය තුළ නිරන්තරයෙන් පවතියි. ශබ්දය ඔස්සේ ගොඩනගන රිද්මය මගින් එක්තරා ආකාරයක ස්වභාවික දැනුමක් ස්වභාවික ආස්වාදයක් ලැබිය හැක. එමගින් සපයන දැනුම සහ ආස්වාදය දෘශ්‍යාබාධිත පුද්ගලයන් තුළැති ජිවිතය පිළිබඳ හුදකලාව දුරු කර ගැනීමට ඉවහල් වෙනු ඇත. දෘශ්‍යාබාධිත ළමුන් සිය පාසල් අධ්‍යාපනයෙදී ලබන විෂයානුබද්ධ දැනුම සමඟ එක්තරා වෙහෙසකට පත්විම ස්වභාවිකය. එසේම ඔවුන්ගේ මනෝභාවයන් සාමාන්‍ය ළමයෙකුගේ මනෝභාවයන්ගෙන් වෙනස් වන බව අපි දන්නෙමු. ඒ අනුව සංගීතය වැනි විෂයයන් ඇසුරු කිරිම ඔවුන්ගේ වෙහෙස නිවා ගැනීමට ද ඉවහල් වනු ඇත.

වඩාත් යහපත් ඉගෙනුම් ක්‍රියාවලියක් පවත්වාගෙන යාමට නම් ශාරිරික හා මානසික යන අංශ දෙකෙහිම සමබරතාවය ඉතා වැදගත්වේ. එහිදී, සංගීතය යනු මනස සුවපත් කරන දිව ඔසුවකි.

ශ්‍රවණාබාධිතබව සහ චිත්‍ර කලාව

සෞන්දර්ය විෂයය භාෂාවේ ආධිපත්‍යයෙන් මුදවා ගනු ලැබු සෞන්දර්ය කලා අතර චිත්‍ර කලාව ප්‍රමුඛත්වයක් ගනී. මූලික වශයෙන්ම චිත්‍ර කලාව ඔස්සේ තර්කයේ සීමාවට හසුව ඇති සමාජ යථාර්ථයේ විවිධ අවස්ථා යළි සලකා බැලිමේ අවකාශය මානවයාට ලැබුණි. මෙහිදී ශ්‍රවණාබාධිත දරුවන්ගේ ප්‍රමුඛ ආරම්මණය බවට චිත්‍ර කලාව පත්විම යුක්ති යුක්තය. මන්ද ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා වපසරිය තුළ සංගීතය වැනි මාධ්‍යයක් හැදෑරීම ස්වභාවික අභියෝගයක් වන නිසාය. අනෙක් අතට ලලිත කලා විෂයයන් අතර ශ්‍රවණාබාධිත දරුවන්ට සිය අදහස් ප්‍රකාශ කිරිමට චිත්‍ර කලාව වඩාත් උචිත වන බව හඳුනා ගත හැක.

විශේෂ අවශ්‍යතා සහිත පිරිසක් ලෙස හඳුනා ගනු ලබන ශ්‍රවණාබාධිත දරුවන්ගේ ජීවිතය වඩාත් යහපත් කිරිම සඳහා කලාව ඉවහල් කරගන්නේ කෙසේද යන්න පිළිබඳ සාකාච්ඡා කිරිමේදී මූලික වශයෙන් ඔවුන් සමාජයේ අනෙක් පුද්ගලයන්ගෙන් වෙනස්වීම කෙරෙහි බලපා ඇති කාරණා පිළිබඳ සාකච්ඡා කිරිම වැදගත්ය. ශ්‍රවණේන්ද්‍රිය ආශ්‍රිත ආබාධ හේතුකොටගෙන මොවුන්ට ඇසීමේ සහ බොහෝදුරට කථා කිරිමේ හැකියාව ද අහිමිව ගොස් තිබේ. එවන් පසුබිමක කලාව හරහා මූලික වශයෙන්ම ඔවුන්ගේ දෛනික ජිවන පැවත්ම සුන්දර කොට, ජීවිතයට අපුර්වත්වයක් එක් කර දීමට අපේක්ෂිතය. තමන් පිළිබඳ අතහරින ලද විශ්වාසය ඒ හරහා පුර්ණ විශ්වාසයක් බවට පත් කර ගනිමින් කටයුතු කරන තත්වයට ඔවුන් පත් කළ යුතුව ඇත ඇත. චිත්‍ර කලාව ඒ සුදහා වඩාත් ප්‍රායෝගික යෙදවුමක් වෙයි.

පාසල් අධ්‍යාපනය ලබන ශ්‍රවණාබාධිත දරුවන් විසින් සිතුවමට නගන ලද බොහෝමයක් සිතුවම් සියුම් පරික්ෂාවකට ලක් කිරිමෙන් ඔවුන් ඇසුරු කරගෙන ඇති බොහෝ තේමාවන් අප විසින් ප්‍රශ්ණ නොකරන ලද සමාජ සංසිද්ධීන් බව පෙනී යයි. ඒ අනුව එම දරුවන් චිත්‍ර කලාව සමඟ සම්බන්ධ කිරිමේදී කිසියම් අදහසක් තවදුරටත් අදහසක් බවට පත්නොකර පරිකල්පනය ඔස්සේ නිර්මාණයක් බවට පත්කිරිමට ඉඩ හැරීම වැදගත්ය. ඒ හරහා දරුවා ලබන දැනුම ඉතා වැදගත්ය.

ප්‍රජානන ආබාධ සහ කලාව

ප්‍රජානන ආබාධ සහිත දරුවන් තමන්ගේ ලෝකය ලෙස තේරුම් ගනු ලබන්නේ ඉතාම කුඩා වපසරියක තමන්ගේ දෛනික සිදුවීම වලට අදාළ දේවල් අතළොස්සක් පමණි. ප්‍රජානන ආබාධ සහිත දරුවන් විවිධ රෝගී ලක්ෂණ වලින් යුක්ත විය හැකි අතර එම රෝග ලක්ෂණ නිසි ලෙස හඳුනාගැනීම ඉතාම වැදගත්ය. කලාව මගින් මොවුන්ගේ සිරවී ඇති අදහස් මුදා හැරිමට විශාල පිටුබලයක් සපයයි. එහිදි නාට්‍ය කලාව, චිත්‍ර කලාව, සංගීතය, නර්තනය යන විෂයයන් වැදගත් ස්ථානයක් ගනී.



නාට්‍ය කලාව පිළිබඳ සාකච්ඡා කිරිමෙදී වැදගත්ම කාරණය වන්නේ මිනිස් හැඟීම් ගැඹුරින් ඉස්මතු කිරිමට ඊට ඇති හැකියාවයි. කණ්ඩායම් හැඟීම පිළිබඳ අදහස වර්ධනය කිරිමට නාට්‍ය කලාව හරහා වැඩි අවකාශයක් ලැබේ. මෙම දරුවන් නාට්‍ය කලාවෙන් ලබන ආශ්වාදය කෙතරම්ද යන්න ඔවුන් ඊට දක්වන කැමත්ත හරහා හඳුනාගත හැක. නාට්‍ය වැනි කලාවක් ඔවුන්ගේ සිතිවිලි ධනාත්මක පරිවර්තනයකට ලක් කරයි. එමගින් ඔවුහු කාලය, අනෙක් පුද්ගලයන්, ප්‍රතිචාර යන කරණා පිළිබඳ ස්වයං දැනුමක් ලබා ගනිති.

ප්‍රජානන ආබාධ සහිත දරුවෝ සංගීතයට විශේෂ ප්‍රියතාවයක් දක්වති. එපමණක් නොව සංගීත භාණ්ඩ වාදනය කිරිමට ද ඇතැම්හු සමත්කම් දක්වති. ප්‍රජානන ආබාධ සහිත දරුවන් නර්තනය වෙත යොමු කිරීම හරහා ඔවුන් අත්විඳින චලනයන් ඔවුන්ගේ ජිවිත සෞන්දර්යාත්මක වශයෙන් ඔසවා තැබීමට විශාල පිටුබලයක් සපයයි.

චිත්‍ර කලාව මගින්ද ප්‍රජානන ආබාධ සහිත දරුවන් තුළ පවතින විවිධ චරිත ස්වභාවයන් සහ මනෝභාවයන් හඳුනාගත හැක. චිත්‍ර කලාව හරහා දරුවා තමන් මතක තබා ගත් දේ සිතුවමට නගයි. ඒ අනුව දරුවා විවිධත්වය, වර්ණ, හැඩතල පිළිබඳ පුහුණුවක් ලබයි. එසේම පරිසරය පිළිබඳ විමසිලිමත් වීමට ද එය උපකාරිවේ. දරුවාට ලබා දිය යුතු ප්‍රතිකාර පිළිබඳ අවබෝධය ලබා ගැනිමටද චිත්‍ර කලාව උපයෝගි කර ගත හැක. විශේෂයෙන්ම ඔවුන් භාවිතා කරනු ලබන වර්ණ ඔස්සේ ඇතැම් නිගමන වලට එළඹිය හැකිය.

දුමින්ද යූ. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails