Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මනමේ බිහි වීමට පෙර පැවති ක්‍රියාකාරී ඉංග්‍රීසි වේදිකා නාට්‍ය ක්‍රමය යනු සිංහල නාට්‍ය කලාවේ සංක්‍රාන්ති සමයේ එක්තරා බීජ අවස්ථාවකි. මෙකී පරිසරය තුළ සරත්චන්ද්‍ර නාට්‍ය නිර්මාණාවේශය ලබා ගනී. ඒ බව එදිරිවීර සරත්චන්ද්‍රයන්ම "පින් ඇති සරසවි වරමක් දෙන්නේ" කෘතියෙහි මෙසේ සඳහන් කරයි. "වර්තමාන සිංහල නාට්‍ය කලාවේ මූලාරම්භය ඇති වූයේ යුනිවසිටි කොලීජියෙහි යැයි කීම නිවැරදි යැයි සිතමි." නාට්‍යකරණය පිලිබඳ අරමුණක් නොමැති සමයක ආචාර්ය ඊ. එෆ්. සී. ලුඩෝවයික් ආදීන්ගේ නාට්‍යකරණය දෙස බලා සිටීම ද සරත්චන්ද්‍රගේ නාට්‍යාගමනයට හේතු භූත වී ඇත. මෙකී ඉංග්‍රීසි නාට්‍ය ක්‍රමයේ තුළ අත්හදා බැලීම් ගණනිවකින් අනතුරුව සිංහල ගැමි නාටක වල පර්යේෂණාත්මක ප්‍රතිපලයක් ලෙස මනමේ 1956 දී බිහි වේ. එතෙක් පැවති සිංහල නාට්‍ය වංශයෙහි පෙරකී බීජාණු අවස්ථාවේ සාර්ථක බීජෝත්පත්තියක් ලෙස ද එකල මෙන්ම නූතන විචාරකයින් විසින් ද මනමේ හඳුන්වා දෙයි. එසේනම් මෙසේ බිහි වූ 'මනමේ' තුළින් "හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" යන්න සනාථ කරගත හැකි වීද යන්න විමසා බැලිය යුතුය.

අවුරුදු ගණනාවක ස්වයං පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස සරත්චන්ද්‍රයන් මනමේ කල එලි දක්වන කාල පරිච්ජේදයේ සමාජ, දේශපාලනික භාවිතාව ද විමසා බැලිය යුතුමය. මන්දයත් රටක දේශපාලන, සංස්කෘතික, ආර්ථීක පරිවර්තනය තුළ කලාව ද ප්‍රතිව්‍යුහගත වන හෙයිනි. 1956 යනු රාජ්‍ය වශයෙන් යම් පෙරළියක් සිදු කල වසරකි. S.W.R.D. බණ්ඩාරණායක ආගමනය තුළ සිංහල භාෂාව දේශීය භාෂාව කිරීමත් සංස්කෘතික අමාත්‍යංශය පිහිටු වීමත් යනාදීය මෙකී කාල සීමාවේ සිදුවන නවතම පෙරළි ය. මතුපිටින් මෙය මෙසේ වුවත් සිදු වූයේ සුදු අධිරාජ්‍යයෙන් එය ගරු කල කළු අධිරාජ්‍යයින්ට පාලන තන්ත්‍රය හුවමාරු වීමක් පමණි. මෙකල අධිරාජ්‍යවාදී රැල්ලෙන් වැසී ගිය ලාංකේය සංස්කෘතියේ හරයන් නැවත ප්‍රතිරෝපණය කිරිමට බුද්ධිමත් පරපුරකට කල විවෘත ආරාධනාව ද සරත්චන්ද්‍ර විසින් අනිවාර්යයෙන්ම 'මනමේ' තුළින් භාර ගන්නට ඇත. මන්ද යත් ජාතික ව්‍යාපාරයට 'මනමේ' තුළ කැටි වූ දායකත්වය හේතුවෙනි.

ලාංකිකයන්ට හුරු කතා පුවකත් ගැමි නාටක ආකෘතියක ගිල්වා, තමා ලැබූ පෙර අපර නාට්‍ය ගවේෂණයේ අත්හදා බැලීම් ද දේශීය ඌරුවකින් අන්තර්ගත කොට 'මනමේ' තැනීම අදටද ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අද්විතීය සන්ධිස්ථානයක් බවට පත් වී තිබේ. මෙසේ බිහි වූ මනමේ කුමනාකාරද යන්න ගත් විට අංශ කිහිපයකින් එය විමසා බැලිය හැකිය.

1. 'මනමේ' හි කලාත්මක භාවිතාව
2. 'මනමේ' හි සමාජීය දේශපාලනික භාවිතාව
3. ස්ත්‍රී - පුරුෂ සමාජ භාවය විවරණය

1. 'මනමේ'හි කලාත්මක භාවිතාව

මනමේ නිර්මාණයෙහි ලා සරත්චන්ද්‍ර ලබා තන්නා අනුභූතින් දෙකක් වේ. එනම්, 1. නාට්‍ය පිලිබඳ බලපෑ ගවේශණය. 2. සම්මත ගැහැණිය පිලිබඳව පැවති දුර්මුඛයන්. මෙම කරුණු දෙක ඇසුරින් නාට්‍ය කලාත්මක භාවිතයේදී පලමු කරුණ වෙත පමණක් අවධානය යොමු කරන්නේ දෙවැන්න ස්ත්‍රී - පුරුෂ සමාජ භාවය යටතට ගන්නා හෙයිනි. කෝලම්, කවි නාඩගම්, නූර්ති ආදි දේශීය හැඩයන් ඇතැඹුලක් ලෙස ගෙන මනමේ නාටකය තුළින් නිරූපණය කරන්නේ කලාපීය ආකෘතියයි. එනම් චූල නාට්‍ය සම්ප්‍රදායක් වූ ගැමි නාටකයට ලෝක නාට්‍ය කලාව සමපාතික වන ලෙස සරත්චන්ද්‍ර මිශ්‍ර කරයි. එකී මිශ්‍රණය සාර්ථක අත්හදා බැලීමක් වෙයි. කතා පුවත තේමා කරගත් සිංහල ගැමි නාටක ක්‍රමයේ සංගීතයට භාරතයේ අභිනයත් චීන ජපන් නෝ කබුකි ආදියෙනුත් උකහා ගත් අවශේෂ අංගයන් ද මනාව සුසංයෝගී වන්නේ සරත්චන්ද්‍රගේ කලාත්මක භාවිතාවෙහි නිපුණත්වය හේතුවෙනි. කතාව තුළ ප්‍රේක්ෂකයා රඳවා ලබා ගැනීමට සමත් වන අයුරින් චරිත මෙහෙයවීමද 'මනමේ'හි සිදු කරයි. එහිදී වැදි රජුගේ ප්‍රවිශ්ටය කදිම නිදසුනක් වෙයි. වැදි රජුගේ පරික්‍රමණය ප්‍රේක්ෂකයා ඒ තුළම රඳවා තබා ගනියි. ප්‍රතාපවත් පරික්‍රමණයෙන් අනතුරුව ත්‍රිබංග ඉරියව්වෙන් සිට ගන්නා වැදි රජු දකින ප්‍රේක්ෂකයාට ඉන් අනතුරුව සිදු වන දේ පිලිබඳව චින්තනය මෙහෙයවීමට එම අවස්ථාව සාධකයක් කොට ඉදිරිපත් කරයි.

තාලානුරූපී සංවාද භාවිතය තුළ ගීතවත් බව නාට්‍ය පුරාම දැක ගත හැකිය. "ප්‍රේමයෙන් මනරංජිත වේ" ගීතය සිංහල නාට්‍ය වංශයේ ප්‍රේමනීය ගීතයක් ලෙස ඉතිහාස ගත වන්නේ ද එහි පැවති කලාත්මක භාවිතාව හේතුවෙනි. නිර්-ප්‍රභූ ජන සමාජයට අභියෝග කෙරූ සිංහල භාෂාව ප්‍රමුඛ කොට ගත් මධ්‍යම පාන්තික ප්‍රභූ පැලැන්තියට තම විදග්ධ භාවය පෙන්වීමටද එකල මෙම ගීතය භාවිතා කෙරුණි. එනම් අදට ද එහි ඇති වචන වල සෞන්දර්ය භාවිතාව පිලිබඳව උදම් අනන්න්ගෙන් ඒ බව වටහා ගත හැකිය. ෙසෙද්ධාන්තික සිද්ධාන්තයන් ඇතුලතින් පිටතින් පෝෂණය වීම කෙසේ හෝ වේවා සරත්චන්ද්‍රයන් ශෛලිගත සම්ප්‍රදාය මනාව තම නාට්‍ය කෙරෙහි භාවිතා කල අතර එය ද මනමේහි කලාත්මක භාවිතාවට තුඩු දුන්නකි.

2. 'මනමේ' හි සමාජීය දේශපාලනික භාවිතාව

පර්යේෂණ කෘතියක් ලෙස එළි දැක්වූ 'මනමේ' දෙස විපරම් කල විචාරකයෝ විවිධාකාරී අදහස් දක්වා ඇත. මේ අදහස් සමාජීය දේශපාලනික රාමුවක ගොනු කර ගැනීමේදී නව ලිබරල්වාදී රාමුවේ එක්තැන් වූ පිරිසකුත්, මාක්ස්වාදී දෘෂ්ඨියෙන් සිය අදහස් දක්වන පිරිසකුත් හඳුනා ගත හැකිය. මේ සියල්ලේම අදහස හා මනමේ තුළ පෙන්නුම් කරන සමාජීය දේශපාලනික භාවිතාව විමසා බලමු. බැලූ බැල්මට මනමේ දේශපාලනික නාට්‍යයක් නොවේ. නොපෙන්වා දේශපාලනය පෙන්වීම තුළ දැකිය හැකි භාවිතාව මනමේ නාට්‍යයෙහි අන්තර්ගත වෙයි. කෝලම්, නාඩගම් ආදියන් හුරු වූ කතා පුවතක් ගෙන ඒ තුලින් එතෙක් පැවති විශ්වවිද්‍යාලයීය බටහිර නාට්‍ය ප්‍රේක්ෂකාගාරයෙන් රික්තකයක් ඇති කල දේශීය ප්‍රේක්ෂකාගාරයට ජාතිකත්වය පිලිබඳ උදම් ඇනිය හැකි වටපිටාවක් සකසා දෙන්නේ මනමේ විසිනි.

මෙය එකල පැවති ජාතික ව්‍යාපාර රැල්ලට සරත්චන්ද්‍ර සිය කලාත්මක භාවිතාව හරහා සහාය දැක්වීමක් ද වේ. මනමේහි චරිත තුළින් ගොඩ නැගෙන චරිත හැඩතලයන් හා එකී චරිත වල සමාජ භාවය ඔස්සේ නිරූපණය කරන්නේ තත්කාලීන සමාජ වටපිටාව (1950 දශකය) බව පුන පුනා සෑම විචාරකයෙක්ම සදහන් කරයි. මෙය චරිත ඇසුරින් විමසා බැලීම උචිත යැයි හැගෙන්නේ එහෙයිනි. ප්‍රධාන චරිතය වන මනමේ කුමරු යනු තමා උපන් කුල ගර්වයෙන් මෙන්ම තම උරුම හරුම පිලිබඳව ආඩම්බර වන පුද්ගලයෙකි. ඔහු සියලු මානව සම්පත්හි සුවය ලැබූවෙක් වෙයි. මේ තුලින් අන් අය අභිබවා සිටීමට ඔහුට හැකියාව ලැබෙයි. එයින් මනමේ කුමරු යනු වැඩවසම් සමාජයක වෙසෙන උත්තම පුරුෂයෙක් වෙයි. වැඩවසම් පාලක පැලැන්තිය තමන් සියවස් ගණනාවක් ඔස්සේ රැගෙන ආ උරුමය පිලිබඳව උදම් අනයි. මනමේ කුමරු සතු වන්නේද මෙකී ආඩම්බරයයි. එමෙන්ම එය මනමේ කුමරුගේ දුර්භාග්‍යයද වෙයි. තමා උරුම හරුම පිලිබඳව මිසක් ඉන් එහා ගිය ලෝකයක නවතාවයන් හඳුනා ගැනීමට වැඩවසම් සමාජයේ පාලක පැලැන්තියට නොහැක. මෙම සමාජ ක්‍රමය නූතන සමාජ ක්‍රමය විසින් සාර්ථකව අතික්‍රමණය කිරීමට හැකිවන්නේද ඒ නිසාවෙනි. එම තත්කාලීන සමාජ ක්‍රමයේ සෝදා පාලුව තුළ අසරණ වන පාලක පැලැන්තියක් එකල විසූ බව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 'ගම්පෙරළිය' තුලින්ද පැහැදිලි වන කරුණකි. සර්වකාලීන මානව ධර්මතාවන් වලදී පවා ඔහු සතු වන්නේ දුර්වලතාවයකි. මානවීය හැඟීම් පවා ඔවුන් සතු කුල ගර්වය හා වටිනාකම් මත දියට දමන ඊයම් බරු මෙන් හිත පතුලට කිදා බසිනවා මිස එහි ප්‍රකාශනයක් සිදු වන්නේ නැත. මනමේ කුමරු මනමේ කුමරියට ආදරය නමුත් ඔහුට එය ප්‍රකාශ කරගත නොහැකිව ලතවීමෙහි මතු වන්නේ ද ඔහු පීඩාවට පත් කරන ඔහුගේම ගර්වයයි.


මනමේ- "ප්‍රේමයෙන් මනරංජිත වේ"

නමුත් මෙකරුණ වැදි රජුට බලපාන්නේ වෙනම ආකාරයකටය. ඔහුද කුමරියට ආලය කරයි. අන් අයෙකුගේ ස්ත්‍රීයක් බව දැන දැනම කුමරිය දුටු විගසම ප්‍රකාශ කරයි. "මෑව ගන්ට අඹුවට - වේය වාසනාව මට" මේ තුළ ඇති වෙනස කුමක්ද? එනම් වැදි රජු යනු ස්වාභාවික මිනිසායි. මනමේ කුමරු බැඳ තබන සීමා ඔහුට නැත . "සොබනා රුව නරඹා කුමරුගේ මන බැඳුණී." මේ තුළ මනමේ සම්බන්ධව කියන්නට ඇත්තේ කුමක්ද? සූසැට කලාවන්ගෙන් කෙළ පැමිණිය ද පුද්ගල අභ්‍යන්තරික අවබෝධය කෙරෙහි ඔහු සතු දුර්වලතාවයයි. ගැහැණියකට ආලය කිරීමේ එකම හේතු සාධකය ලෙස රූපශ්‍රීය සලකන පිරිමින් අතරට මනමේ ද එක් වන්නේ මේ නිසාවෙනි. මනමේ කුමරියට අත්වන දුර්භාග්‍යයටද ඔහුගේ මෙම සිතුවිල්ල හේතු වේ. අලංකාර වලින් පිරි ප්‍රේමයක් තුල ඔහු සතු ප්‍රායෝගිකතාවයේ අසමත්කම මත සියල්ල කෙලවර වන්නේ එබැවිනි. වැඩවසම් ජ්‍යෙෂ්ඨ කුල පුත්‍රයෙකුගේ අනාදිමත් සිතුවිල්ලක් ලෙස මෙය දැක්විය හැකිය. මෙම කරුණෙහි ලා සුචරිත ගම්ලත්ගේ මෙම ප්‍රකාශයද කෙතරම් දුරට ගැලපෙන්නේද? "මෙලෙස මෙකී චරිත පාත්‍රයන් වඩාත් පරිපූර්ණ ලෙස ජීවත් වීම සඳහා දරන ප්‍රයත්නය පවත්නා සමාජ සම්බන්ධතා නැමැති කොටු පවුරෙහි ගැටේ."

මනමේ කුමරියගෙන් දැකගත හැකි වන්නේ වැඩවසම් කුලවමියකගේ ලක්ෂණයි. පිරිමියා කුමන හෝ වේවා ඔහු සෙවණෙහි වාසනා බල මහිමය පතා කුමන හෝ අයුරකින් වාසය කිරීමට එම විවාහ සංස්ථාව තුල කාන්තාව සැදී පැහැදී සිටියි. "කතුන් ලොව තුලා - රසඳුන් නයනාලේප කරන මේ කුමරුන් හට වන්නට පියඹ සන්තෝස වේද සිත් අසනු කුමට" යනුවෙන් ඇය කරන ප්‍රකාශය තුලින් ද මෙය පැහැදිලි කරගත හැකිය. විවාහයෙන් පසුව කෙරෙන වනාන්තර තරණය සරත්චන්ද්‍ර භාවිතයෙහි නැවුම් වූවකි. නමුත් එය සංකේතාර්ථ රැගත් සමාජ විවරණයකි. මෙය පුහුදුන් මිනිසා මුහුණ දෙන භෞතික ජීවිතයේ සංකේතාර්ථයකි. මුල්වරට ප්‍රේමයේ උද්දාමයේ මනෝ පහස විදින ඔවුන් ඉන් විචිත්‍ර වෙයි. අරණේ සිරි නැරඹීම මෙකරුණ තීව්‍ර කරයි. මේ සියල්ලෙන් අනතුරුව පිවිසෙන බරණැස් මාවත එහි ගමනාන්තයයි. යුවළගේ සියලු බලාපොරොත්තු සඵල වන්නේ එහිදීය. මේ ගමන තුල ඇති භයංකාරත්වය කිසිම විටෙක මනමේ කුමරුට දැනෙන්නේ නැත. ඔහුට එසේ නොදැනීම ද අරුමයක් නොවේ. පොළොවේ පය ගසා ජීවත් වීමේ පුරුද්දක් ඔහුට මෙන්ම ඔහු හිමි පරම්පරාවටද නොමැත. සියල්ල සිරිත් පරිදි හා දැනුම මත හුවමාරු වන ඒවා යැයි ඔහුගේ හැගීමයි. ප්‍රේමයේදී ඔහු අතිශයින්ම සාම්ප්‍රදායික වන්නේ එබැවිනි. එකී සම්ප්‍රදාය තුළ පිහිටා ඔහු ප්‍රකාශ කරන ආදරය පවා සාටෝප වලින් පිරුණු එකකි. "රුසිරු ලඳුනි ඔබෙ ප්‍රේමයෙනා - ඔද වේ මා හද පෑ සොමි රැස් කිරි සයුර මෙනා" මෙවැනි අලංකාර යෙදුම් තුළ මනමේ කුමරියගේ සංවාද ගොඩ නැගීම තුළ සරත්චන්ද්‍ර සතු වූ හැකියාව ප්‍රබලය.

මනමේ කුමරු ලැබූ අධ්‍යාපනය, පරම්පරා හිමිකම කුමරියට නොමැත. සීමා බන්ධන වලට සිරවී හැදී වැඩුනත් ඇය වැඩෙන්නේ පොළොවේ පය ගසාගෙනය. ඇය විවෘතව දකින සිතෙන දෙය ඉදිරිපත් කරන්නියක් වන්නේ එබැවිනි. "බරණැස් පුර සිරි විසිතුරු - ඉවසිලි නැත නරඹන තුරු" ඇය සාටෝප විචිත්‍ර ප්‍රේම ගායනා අතර පුහුදුන් ගැහැණියකගේ චින්තනය මෙහෙයවයි. අවසන නාට්‍යයේ ගැටුම තුළ මතුවන මනමේ වැදි රජු යුද්ධයෙහි වැදි රජු මැරීමට දරන උත්සාහයේදී ඇය මනුෂ්‍යත්වය පිලිබඳ ප්‍රශ්නයක් නගන්නේද එබැවිණි. "දිරියෙන් යුධ කල ඔබ සමගින්නේ - සෙනගින් පිහිටද නොම පතමින්නේ තනියෙන් සටනට සැරසී එමිනේ - මෙකගින් ඇයි ඔහු ගෙල සිදලන්නේ" මානූෂීය තීරණ ගැනීමෙහි ලා වැඩවසම් සමාජ ක්‍රමට තුල රජ වූ පාලක පැලැන්තියට තිබූ නොහැකියාව මෙහි කියා පායි. සරත්චන්ද්‍ර නාට්‍ය පුරාවටම වැඩවසම් සමාජයේ පැවැත්මේ ගති ස්වභාවයන් කියා පෑමට උත්සාහ ගෙන තිබේ.

3. ස්ත්‍රී - පුරුෂ සමාජ භාවය විවරණය

සරත්චන්ද්‍ර මනමේ නිර්මාණයෙහි ලා ප්‍රේරණය වන කරුණු දෙක අතරින් දෙවන කරුණ වන ස්ත්‍රිය පිලිබඳව පැවති දුර්මතය ස්ත්‍රී පුරුෂ සමාජ භාවය විවරණයෙහි ලා යොදා ගැනීම වඩාත් උචිත වේ. ඒ කරුණු සැසඳීම තුළ අවබෝධ කරගත හැකි එක් කරුණක් වන්නේ එම කාල පරිච්ජේදය තුළ ස්ත්‍රියත් ඇයගේ භූමිකාවය. ස්ථවීරවාදී බුදු දහමට අනුව ලියැවුණු සිංහල බෞද්ධ සාහිත්‍යයක් තුළ ගිහියන්ට පවා කියවන්නට ලැබෙන්නේ එකී සාහිත්‍ය ග්‍රන්ථයන්ය. කෙලෙසුන් තැවීමේ වීර්ය වැඩීමේදී ස්ත්‍රියගේ නුගුණ කීම අරුමයක් නොවේ. නමුත් එවන් ස්ත්‍රී නුගුණ ගැයූ සාහිත්‍යයක් ගිහි සදාචාරයට එකතු වීම තුළ කුරුවල් කරගන්නා මොළයකින් බලනා පුරුෂාර්ථ සමාජය විසින් ගැහැණියට ලබා දෙන්නේ පහල අගයකි. කුස ජාතකය තුළත් අන්ධ භූත ජාතකය තුළ ප්‍රබලවත්, සද්ධර්මලංකාරය, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය ස්ත්‍රී නුගුණ වර්ණනය ඉහල අයුරින් සිදු කර තිබේ. "ස්ත්‍රීහු නම් පුරුෂයින් වංචා කරන හෙයින් මායා රූපයක් වැනිය" (-සද්ධර්මරත්නාවලිය)

මේ ආකාරයට ගොඩනැගුණු චිරන්තන සාහිත්‍යයක් තුළින් ස්ත්‍රිය දෙස බැලූ සමාජය ඇය සැලකුවේ "චපල ස්ත්‍රියක" ලෙසටය. සරත්චන්ද්‍ර මනමේ තුළ සිදු කරන කාර්ය වන්නේ එහි සැබෑ තත්වය පෙන්වා දීමයි. "අනේ ඒ විපත සිදු වුණි නොදනිමි කාගෙ දොසා" මෙලෙස ලියා තබන්නේ අනාදිමත් කාලයේ පටන් 'දොස' මනමේ කුමරියගේ යැයි දන්නා සමාජයක් වෙනුවෙනි. වැඩවසම් සමාජය විසින් කාන්තාවට ස්වාධීනත්වය ලබා දී නැත. තීරණ ගන්නේ පුරුෂයා පමණි. විවාහය තුළ මෙය දරුණු ඛේදවාචකයකි. දෙමාපිය කැමැත්ත මත සිදු වන විවාහයක් හෝ ඔවුන්ට ලබා දෙන ස්වයංවරයේදී තෝරා ගන්නා වඩාත් ශක්තිමත් පුරුෂයා සමග සරණ බන්ධනයෙහි යෙදේ. ඉන් එහා ගිය විවාහ සංස්ථාවක් ගැන ඇය නොසිතන්නීය. "රාජ ගුරුන්ගේ යුත් නැණ බෙලෙනා - වෙමි මම සුවචා දූ කුමරී" ලෙස ඇය දක්වන්නේ අතිශය සාම්ප්‍රදායික ඇගේ සුවච ජීවිතයකි. මෙවන් වටපිටාවක් තුළ සිටින ඇය ගැඹුරු පීවිතයකට අනපේක්ෂිත අවස්ථාවක පත්වේ.

මනමේ කුමරු ඇයට ආලය කලත් කිසිදු අවස්ථාවක ඇය ඔහුට ආලය කල බවක් ප්‍රකාශ නොවේ. වැදි රජු විසින් මනමේ කුමර මරා දැමූ අවස්ථාවේ ඇය පවසන්නේ "මට පෙම් කල ඒ මනමේ රජිඳා " යනුවෙනි. මෙවන් වටපිටාවක ඇය තම සාධාරණ වූ චින්තනය මෙහෙයවයි. ඒ තුළ ඇගේ දුර්භාගය සකසා මධුසමය ගත කිරීමට යාමේදී ඇය තම නිදහස් ප්‍රශ්නයන් ඉදිරිපත් කරන්න යාම තුළිනි. මේ අවස්ථාව ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිලිබඳ ප්‍රශ්න කිරීමක් හෝ සාකච්ජාමය පසුබිමක් සකසන්නේද? හෙන්රික් ඉබ්සන්ගේ "ඩෝල් හවුස්" හි නෝරා පුරුෂවාදී දෘෂ්ඨිය තුළ ආධිපත්‍ය දැරීම නිසා විවාහ සංස්ථාව හැර දමා යද්දී නෝරා දොර වැසූ හඬ මුළු මහත් යුරෝපයටම ඇසුණි යැයි එකල විචාරකයෙක් සඳහන් කර තිබුණි. නෝරා තම සමාජය තුළ කතිකාවත ගොඩ නැගුවත් මනමේ කුමරියට එකී කරුණ සාක්ෂාත් කරගැනීමේ ඇති නොහැකියාව කුමක්ද? සාටෝපත් භාෂාවක අතරමං වී කර්ණරසායනයන් පිනවා ගැනීම මිස එහි සරත්චන්ද්‍ර නිහඬවම මතු කල ස්ත්‍රී භූමිකාව කිසිවෙකු විසින් මතුකර ගත්තේ නැත.

මේ තත්වය සිංහබාහු තුළද එසේම විය. සරණ වී පැමිණි සැමියාගේ මරණය සමග අසරණ වන ඇය වැදි රජුගේ ආරාධනය හමුවේ ජීවිත බලාපොරොත්තුව තබා ගනී. "වෙනු මැන මා බිසෝ" යනුවෙන් පවසද්දී සාම්ප්‍රදායික සමාජයෙහි වැන්දඹුවක ලෙස ඇගේ සිතෙහි ඇති කරන කැමැත්ත වනුයේ වනචර එකක් නොව ජීවිතාපේක්ෂාවයි. "නැත අන් සරණා - ඔබ හැර මෙමටා" යනුවෙන් ඇය පවසන්නේ ආලය නොව සරණය පිලිබඳ ගිවිස්සකි. ඇයට මනමේ කුමරුගෙන් හෝ වැදි රජුගෙන් හිමි වන්නේ ආලයක් නොව සමාජය විසින් ගැහැණියකට උරුම කරදෙන 'සරණ සංකේතයකි. ' වැදි රජු සමග හිමගිරි අරණ තරණය කිරීමේදී වැදි රජු කරන ගායනය ඇයට නුපුරුදු එකක් නොවේ. ඇය මීට පෙර එය අසා ඇත්තේ සිය සැමියාගෙනි. වෙනසකට ඇත්තේ එහි තිබූ සාටෝපවත් ප්‍රකාශන වලට වඩා මෙය යථාර්ථවාදී වීමයි. "රජ ඉසුරු නැත - නැත මිණි කිරුළු" ලෙස නැවත ඇය අසන්නේ තවත් එක් සම්ප්‍රදායක ප්‍රකාශනයක් පමණි. සමාජ තන්ත්‍රය විසින් උරුම කරදී ඇති දැනුමේ අල්ප බව ඇය පෙන්වනේ මෙතැන් සිටය. වැදි රජුගේ ගායනා වලදී පෙර ඇසූ සාටෝප වර්ණනා ඇය ප්‍රති ප්‍රකාශනයට උපයෝගී කරගන්නීය. ඇය මේ තුළ සිය අනතුර ද අත් කරගන්නීය. චාටු බස් පුරුෂෝත්තමවාදී විග්‍රහයකදී පුරුෂයාට වාසි සහගත වුවත් ගැහැණියකට එය එසේ නොවේ. "අන්ද මන්ද වූයේ මසිත මේ පුවතින" යනුවෙන් වැදි රජු පවසන්නේ එයයි. වැදි රජුගේ කෝපය හමුවේ තවත් අසරණ වන ඇයට ඇගේ අනුවණ කමද වහා වැටහේ. "වෙන්ට කමා වැදි රජුනේ" යනුවෙන් ඇය සමාව අයදින්නේද සමාජ ක්‍රමයේ ප්‍රපාතයට ඇද වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීය. වැදි රජු චපල ගැහැණියක ලෙස ඇය හංවඩු ගසන්නේද මේ අවස්ථාවේදීමය. නමුත් අවසන සිදු වන්නේ අන්ත අසරණ ලෙස ඇය පෙරකී ප්‍රපාතයට ඇද වැටීමය. වේදිකාව අඳුරු වීමත් සමග මනමේ කුමරියගේ ඉරණම අවසාන වූවත් වේදිකාවෙන් පරිබාහිර සමාජය තුල මනමේ කුමරියන්ගේ අඩුවක් නොමැත. අවසන වේදිකාවේ දිස් වන්නේ සමාජ ක්‍රමයේ අඳුරය. එහි අඳුර නැසිය යුත්තේ ද මෙම සමාජ ක්‍රමය විසින්මය.

සුබෝධා ප්‍රභාෂිණී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails