Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



'ගෝලීය පාර්ලිමේන්තුව', 'විශ්වීය පුරවැසියා' වැනි සංකල්ප බටහිර සහ යුරෝපීය ශාස්ත්‍රීය සංවාද තුල වර්තමානයේදී නිරන්තරයෙන් කතා බහට ලක්වෙන මාතෘකා වේ. සමහර අවස්ථාවලදී එය ශාස්ත්‍රීය සංවාද තලයෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික දේශපාලන තලයේ ද ක්‍රියාත්මක වනු දැකිය හැකිය. ඒ සඳහා සැලකිය යුතු මුල්‍යමය දායකත්වයක් මෙන්ම පිළිගත් 'බුද්ධිමතුන්'ගේ ශ්‍රම දායකත්වයද ලබා දෙනු නිරීක්ෂණය කල හැකිය. පසුගියදා ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර 'දර්ශීය ගෝලීය පාර්ලිමේන්තුවක' සැසි වාරයක් දේශපාලන නායකයින්, විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් සහ ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර මෙම සටහන ඒ පිලිබඳ දේශපාලනික විචාරයකි.

ගෝලීයකරණ සංකල්පයත් සමඟ හුදෙක් තනි තනි රටවල් සම්බන්ධයෙන් සාකච්ඡා කරනවාට වඩා සමස්ත ලෝකයම 'විශ්ව ගම්මානයක්' ලෙස සලකා කටයුතු කිරීමේ ප්‍රවණතාවය පසුගිය දශකයකට අසන්න කාලය තුල සුලභව දක්නට ලැබුණු කරුණක් විය. තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමඟම ලෝකයේ එක් අන්තයක සිදුවන්නේ කුමක්ද යන්න අනෙක් අන්තයේ සිටින්නවුන්ට එසැනින් දැන ගැනීමේ හැකියාව උදාවිය. ඒ ඔස්සේ භූගෝලීය ඉතා දුරස්ව වෙසෙන මිනිසුන්ට එකිනෙකාගේ සමාජ- සංස්කෘතික ජීවන රටාවන් පිලිබඳ සමීප අවබෝධයක් ඇති කරගැනීමේ ඉඩ ප්‍රස්තාවන් විවර විය. මෙවැනි තත්වයක් තුල ජාත්‍යන්තර සහයෝගිතාවයන් ගොඩනගා ගැනීම හරහා ලෝකයේ බහුතරයක් 'සංවර්ධනය වෙමින් පවතින' යැයි හඳුනා ගැනෙන රටවල වෙසෙන මිනිසුන්ගේ ආර්ථීක, සමාජීය සහ දේශපාලනික ගැටළු වලට තිරසාර විසඳුම් ලඟා කර ගැනීමට හැකි වෙතැයි සුභවාදී අපේක්ෂාවන් ජනිත විය. නමුත් වර්තමානයේදී ඒවා කොතෙක් දුරට සාක්ෂාත් වී තිබේද?

අනෙක් අතට 1980 දශකයේ සිට දේශගුණ විපර්යාසයන් සහ මනුෂ්‍ය වර්ගයා විෂයෙහි ඉන් ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිලිබඳ ලෝකය පුරා, විශේෂයෙන් 'සංවර්ධිත' රටවල බරපතල සංවාදයක් පවති. වර්තමානයේදීත් එම සංවාදය විවිධ තලයන් ඔස්සේ සිදුවෙමින් පවතිනු දැකිය හැකිය. එම සංවාදයන්හි මතුවන මුලික කාරණයක් වන්නේ හරිතාගාර ආචරණය නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ එහි ප්‍රතිඵලයක් ලෙස මුහුදු මට්ටම ඉහල යාම, ඕසෝන් ස්ථරය හානි වීම වැනි ගැටළු විශ්වීය ගැටළු ලෙස හඳුනා ගත යුතු අතර ඒවාට විසඳුම් සෙවිය යුත්තේද විශ්වීය මට්ටමෙන්ය යන්නය. එනිසාම, ජාතික සීමාවන්ගෙන් ඔබ්බට ගිය විශ්වීය පුරවැසියන් ලෙස අප කටයුතු කල යුතු අතර ඒ සඳහා ජාත්‍යන්තර ආයතන සහ ව්‍යුහයන් ප්‍රතිෂ්ඨාපනය කර ඒවා බලාත්මක කලයුතු යයිද එවැනි සංවාද තලයන්හි නිතර අවධාරණය කෙරෙන තවත් කරුණකි.


දර්ශීය ගෝලීය ගෝලීය පාර්ලිමේන්තුව- කැන්බරා

ගෝලීය පාර්ලිමේන්තුව සහ විශ්වීය පුරවැසියා පිලිබඳ සංකල්ප මතු වන්නේ මෙවැනි පසුබිමකය. ඕස්ට්‍රේලියාව තුළ 'ගෝලීය පාර්ලිමේන්තුව' සංකල්පය ප්‍රවර්ධනය කරන ප්‍රධානතම දේශපාලන චරිතය වන්නේ ඕස්ට්‍රේලියානු ග්‍රීන් පක්ෂයේ (Australian Green Party) හිටපු නායකයා වන සෙනෙට් සභිකයෙකුද වූ බොබ් බ්‍රවුන්ය. 2011 වර්ෂයේ ජුනි මසදී කැන්බරා නුවර Nation Press Club හි දේශනයක් කරමින් ඔහු පවසා සිටියේ 'එක් පුද්ගලයෙක්, එක් වටිනාකමක්, එක් මනාපයක්' (One person, one value, one vote) යන තේමාව මුලික කරගෙන ගෝලීය පාර්ලිමේන්තුවක් එසේත් නැත්නම් එක්සත් ජාතීන්ගේ ගෝලීය ජන සභාවක් (United Nations Global Peoplezs Assembly) ස්ථාපිත කලයුතු අතර ඒ හරහා න්‍යෂ්ටික අවි ප්‍රවර්ධනය, මුල්‍ය පාලනය, පරිසර පද්ධති විනාශ වීම වැනි ජාත්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමුකර කඩිනම් පියවර ගත යුතු බවයි. තවදුරටත් ඔහු මතු කරන්නේ ලෝකයේ සමස්ත වත්කම් වලින් 85% ක් පමණ පරිහරණය කරන්නේ 10% ක් පමණ වන ධනවත් පිරිස වන අතර හමුදා මෙහෙයුම් වෙනුවෙන් වැය කරන වියදම් වලින් දහයෙන් පංගුවක් පමණක් වැය කර සාගත වලින් පීඩා විඳින සහ අධ්‍යාපන මට්ටම් වලින් පහල සිටින ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවිය හැකි බවය.

'විශ්වීය පුරවැසියා' (World citizen) පිලිබඳ සංකල්පය සහ එහි වැදගත්කම පිළිබඳව ඉතා දැඩිව මතු කරන මෑත කාලීන චින්තිකාවකි, මාර්තා නස්බෝම්. ජාතික සීමාවන් අතික්‍රමණය කරමින් විශ්වීයව සිතන; සියළු ආකාරයේ පහත් කොට සැලකීම් හෙලා දකින; සහනුකම්පිත පරිකල්පනයෙන් (Empathetic Imagination) හෙබි විශ්වීය මට්ටමින් සිතන පුරවැසියෙකු බිහි කිරීමේ වැදගත්කම ඉස්මතු කරන ඇය, ඒ සඳහා අධ්‍යාපනයට ඇති හැකියාව ද අවධාරණය කරනු ලබයි. ඝානා ජාතික දාර්ශනිකයෙකු වන ඇන්තනි ඇපියා (Anthony Appiah) උපුටා දක්වමින් ඇය මතු කරන්නේ සෑම මනුෂ්‍යයෙකුටම අපගේ අසල්වැසි පුරවැසියන් ලෙස සැලකිය යුතු අතර අප හමුවේ පවතින බරපතල ගැටළු අපට විසඳා ගත හැකි වන්නේ ඒවා සමස්ත මනුෂ්‍ය ප්‍රජාවටම බලපාන ගැටළු ලෙස සිතීමෙන් පමණක් මිස ඒවා එක් රටකට හෝ එක් කලාපයකට පමණක් සීමාවූ ගැටළු ලෙස සිතීමෙන් නොවන බවයි.

සංකල්පයක් විදිහට ගත්කල 'ගෝලීය පාර්ලිමේන්තුව' සහ 'විශ්වීය පුරවැසියා' යන සංකල්පයන් ඉතා වැදගත් බව අවිවාදිතය. කුමන රටකට, ජාතියකට, හෝ වර්ණයකට අයත් වුවද සෑම මනුෂ්‍යයෙකුටම එක හා සමාන අයිතිවාසිකම් උරුම බව පිළිගැනීම සහ එය ලබාදීම වෙනුවෙන් දේශපාලනිකව ක්‍රියාත්මක වීම ඉතාමත් රැඩිකල් දේශපාලනික පියවරකි. සැබවින්ම, පංති විරහිත සමාජ ක්‍රමයක් එසේත් නැත්නම් කොමියුනිස්ට් සමාජ ක්‍රමයක මුලිකම අදහස එයයි. නමුත් ගැටළුව වන්නේ එවැනි තත්වයක් ලඟා කර ගැනීමට පවතින බාධක මොනවාද යන්නයි. දැනට පවතින ජාත්‍යන්තර ආයතන සහ ව්‍යුහයන් අතුරින් ප්‍රධානතම සහ වැදගත්ම ව්‍යුහය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. දෙවන ලෝක යුද්ධයේ විනාශයෙන් පසු ඒ වෙනුවෙන් ප්‍රතිකර්ම යෙදීමටත් නැවත එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කිරීමේ මුලික අරමුණ විය.


සෝමාලියාව- කුසගින්නේ දේශපාලනය.
AP Photo/Rebecca Blackwell


වර්තමානය වනවිට ලෝකයේ රටවල් 193 ක් එහි සාමාජිකත්වය දරණ අතර එ.ජා. සංවර්ධන වැඩ සටහන (UNDP), එ.ජා. පරිසර වැඩසටහන (UNEP), එ.ජා. මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස් (UNHCR) , එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF), යුනෙස්කෝ (UNESCO) යනාදී ලෙස සෑම විෂය ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදී වෙන වෙනම අංශයන් ක්‍රියාත්මක වේ. එසේ තිබියදීත් ගෝලීය පාර්ලිමේන්තුවක් අපට අවශ්‍ය වන්නේ ඇයි? නිසැකවම පිළිතුර වන්නේ ඉහත කී ව්‍යුහයන් ගෝලීය අර්බුදවලට විසඳුම් ගෙන ඒමට අසමත් වී ඇති බවය. සැබවින්ම එය සත්‍යයකි. යුධ ගැටුම් නිසා ලක්ෂ සංඛ්‍යාත මට්ටමින් මිනිසුන් මරණයට පත් වීමට හෝ බොහෝ රටවල සිදු කෙරී ඇති සහ තවමත් සිදු කෙරෙමින් පවතින යුධ අපරාධයන් සහ මානව හිමිකම් උල්ලංඝනය වීම්වලට හෝ ආර්ථීක විෂමතාවයන් නිසා ලෝකයේ නන් දෙස ලක්ෂ සංඛ්‍යාත ගණනින් මිනිසුන් මිය යාමට හෝ අසහනයට පත්වීමට හෝ විසඳුම් දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙතෙක් සමත් වී නොමැත. යම් යම් කාරණාවලදී කිසියම් සාර්ථකත්වයක් පෙන්නුම් කලද සමස්තයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලීය ප්‍රශ්න විසඳීමේදී අසාර්ථක බව පැහැදිලිය.

මීළඟට මතුවන කාරණය වන්නේ එකසත් ජාතීන්ගේ සංවිධානයේ එම අසාර්ථකත්වය පසුපස ඇති මුලික හේතූන් කුමක්ද යන්නයි. මා සිතන ආකාරයට එයට ප්‍රධානතම හේතුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ න්‍යාය පත්‍රය හසුරුවන්නේ ඇමරිකා එක්සත් ජනපදය (ඇ.එ.ජ.) ඇතුළු ලොව බලවත්ම රාජ්‍ය කිහිපය මගින් වීමය. අනෙක් අතට එම රාජ්‍යයන්ගේ අරමුණු සහ අභිලාෂයන් ගොඩ නැගෙන්නේ සහ හැසිරවෙන්නේ ධනේශ්වර සමාජ අවශ්‍යතා අනුවය. පසුගිය දශකයේදී ඇ.එ.ජ. විසින් ඉරාකය සහ ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කිරීමේ සිදුවීම් එය තේරුම් ගැනීමට ප්‍රමාණවත් වේ. වර්තමානයේදී ඛනිජ තෙල් සහ ඒ ආශ්‍රිත සම්පත් වලට ඉහල ආර්ථීක වටිනාකමක් මෙන්ම දේශපාලනික වටිනාකමක්ද පවතී. ලෝකයේ ඛනිජ තෙල් පරිභෝජනයෙන් ප්‍රථම ස්ථානයේ පසුවන්නේ ඇ.එ.ජ. වන අතර කැනඩාව, සවුදි අරාබියාව, මෙක්සිකෝව සහ වෙනිසියුලාව ඔවුන්ගේ ප්‍රධාන තෙල් සැපයුම්කරුවන් වේ. ධනේශ්වර ක්‍රමය තුල පැවැත්ම රඳා පවතින්නේ පවතින තරගකාරීත්වය තුල කොතෙක් දුරට සාර්ථක විය හැකිද යන්න මතය.

එය තනි තනි පුද්ගලයින්ට මෙන්ම රාජ්‍යයන්ටද එකසේ අදාලය. ආර්ථීක ප්‍රතිලාභ සහ භූ දේශපාලනික ප්‍රතිලාභ උදෙසා බලවත් රාජ්‍යයන් අතර පවතින තරගකාරීත්වයේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ යුධ ගැටුම්ය. චීනය, ජර්මනිය, රුසියාව වැනි අනෙකුත් ලෝක බලවතුන් සමඟ පවතින තරගයේදී උපක්‍රමික සම්පතක් වන ඛනිජ තෙල් වල ආධිපත්‍ය නතුකර ගැනීම ඇ.එ.ජ.ට ඉතා වැදගත් වන අතර ඉරාක ආක්‍රමණයේ මුලික අරමුණ එයයි. ඉරාකය විසින් ජෛව රසායනික අවි නිපදවමින් සිටී යන්න සැබවින්ම තම ආක්‍රමණය සුජාත කර ගැනීම උදෙසා ලෝකයා ඉදිරියේ තැබූ හේතුවක් බව මේ වනතෙක්ම එවැනි ජෛව රසායනික අවි කිසිවක් ඉරාකයෙන් සොයා ගත නොහැකි වීමෙන්ම ඔප්පු වේ. අනෙක් අතට ඉරාකය විසින් සැබවින්ම එවැනි ජෛව රසායනික අවි නිෂ්පාදනය කළා යයි මදකට උපකල්පනය කලත් එය හේතුවක් කරගෙන ඉරාකය ආක්‍රමණය කිරීමට ඇ.එ.ජ.ට ඇති අයිතිය කුමක්ද? එවැනි අයිතියක් ලබා දුන්නේ කවුරුන් විසින්ද? සමස්ත ලෝකයම කිහිප වාරයක් විනාශ කිරීමට සමත් ජෛව රසායනික අවි මෙන්ම න්‍යෂ්ටික අවිද සතු ඔවුන්ට අන් රටක් විසින් එවැනි අවි නිපදවනවානම් එයට එරෙහි වීමට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? වර්තමානයේදී අප විසින් සැබවින්ම මතු කල යුත්තේ මෙවැනි ප්‍රශ්නය. ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කිරීම පිටුපස ඇති මුලිකම කාරණය උපක්‍රමික සම්පත් වලට වඩා කලාපයේ භූ දේශපාලනික ආධිපත්‍ය තහවුරු කර ගැනීමය. ඇෆ්ඝනිස්තානය එක් පසෙකින් ඇ.එ.ජ.යේ ප්‍රධානතම තරඟකරුවන් වන රුසියාව සහ චීනයට යාබදව පිහිටා ඇති අතර අනෙක් පසින් පකිස්ථානයට සහ ඉරානයට යාබදව පිහිටා ඇත.


වෝල් වීදිය- අනූ නමයක්ම වෝල් වීදියට වැටීම.

ලිපියෙහි ප්‍රස්තුතයට අදාල වැදගත්ම කාරණය වන්නේ මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැසිරීම කුමක්ද යන්නයි. ඇ.එ.ජ. විසින් ඉරාකය ආක්‍රමණය කිරීමට පෙර ඒ සඳහා යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් විය. එම යෝජනාව පරාජයට පත් වුවත් ඇ.එ.ජ. තම සිතැඟි පරිදී ඉරාකය ආක්‍රමණය කළේය. ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ ජාත්‍යන්තර ප්‍රජාවට නොහැකි විය. ලෝක ප්‍රජාවගේ අවධානයට එතරම් යොමු නොවූ තවත් සිදුවීමක් නම්, 2009 වර්ෂයේදී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී සිවිල් වැසියන් ඝාතනය වීම් සහ තුවාල ලැබීම් හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වූ අසාර්ථක බවයි. මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ලංකාව පිලිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ (දරුස්මාන් කමිටුවේ) සාමාජිකයෙකු වූ ස්ටීවන් රැට්නර් (Stephen Ratner) මහතාගෙන් මා පුද්ගලිකවම විමසූ කල ඔහුගේ පිළිතුර වූයේ එම කාලවකවානුවේදී ඇ.එ.ජ.යේ බලහුවමාරුවක් (බුෂ් පරිපාලනයෙන් ඔබාමා පරිපාලනය වෙත) සිදුවෙමින් පැවති අතර ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගාසා තීරයේ ගැටුම් උග්‍ර වෙමින් පැවතුනි. මේ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය ලංකාව වෙතින් ගිලිහුණු බව ඔහුගේ අදහස විය. එමෙන්ම, වර්තමානය වන විටත් ලංකාව තුළ සිදුවෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝනය වීම් වලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොහැකි වී තිබෙන්නේ බලවත් රටවල් අතර ඇති තරගය තුල භූ දේශපාලනික සාධක මත විශේෂයෙන් චීනය සහ රුසියාව ලංකාණ්ඩුවට සහයෝගය දක්වන නිසාය. මෙවැනි උදාහරණ තව බොහෝය. එබැවින්, ගෝලීය පාර්ලිමේන්තුව වැනි නව ව්‍යුහයන් වෙත යාමට පෙර පවතින ව්‍යුහයන් අසාර්ථක වීමට බලපා ඇති හේතු මොනවද? සහ නව ව්‍යුහයන් තුලදී එවැනි කරුණු මග හරවා ගන්නේ කෙසේද යන්න මුලින්ම සලකා බැලිය යුතුය.

අනෙක් අතට බොබ් බ්‍රවුන් මහතා මතුකරන පරිදී ලෝකයේ වත්කම් වලින් 85% ක් පමණ 10% ක් පමණ වන ධනවත් පිරිස පරිභෝජනය කරන්නේ ඇයි? එසේත් නැත්නම්, ලෝක ජනගහනයෙන් 90% ක් පමණ පිරිසකට වත්කම් වලින් 15% ක් පමණක් භුක්ති විඳීමට සිදුවී තිබෙන්නේ ඇයි? ලෝක ආහාර ඉල්ලුම මෙන් දෙගුණයකට ආසන්න සැපයුමක් තිබියදීත් මිලියන ගණනින් මිනිසුන් කුසට අහරක් නොමැතිව මිය යන්නෙත් මන්ද පෝෂණයෙන් පෙලෙන්නෙත් ඇයි? මේ ප්‍රශ්නාවලිය තව බොහෝ දිගුය. මේවාට විවිධාකරයේ පිළිතුරු විවිධ පුද්ගලයින් විසින් ලබා දෙනු දැකිය හැකිය. සමහරෙකුට අනුව එය හුදෙක් එලෙස දුක් විඳින මිනිසුන් විසින් උපතින්ම උරුම කරගත් දෙයක් වන අතර තම ජීවන තත්වය නඟා සිටුවා ගැනීම ඔවුන්ගේ පුද්ගලික වගකීමකි. තවත් අයෙකුට අනුව, එම තත්වයට මුලිකවම වගකිව යුත්තේ එකී රාජ්‍යයන් සහ දේශපාලන නායකයින්ය. එකී රාජ්‍යයන්හි දේශපාලන නායකයින් සහ ජනතාව, ඔවුන්ට උරුම වී ඇති අවාසනාවන්ත තත්වයන්ට යම් දුරකට වගකිව යුතු මුත් එයට ප්‍රධානතම හේතුව පවතින ධනේශ්වර සමාජ ආර්ථීක රටාව බව මගේ අදහසයි. මන්ද, ධනේශ්වර ක්‍රමයේ පැවැත්මට එම ආර්ථීක ධ්‍රැවීකරණය අත්‍යවශ්‍යය. ධනේශ්වර ක්‍රමයේ පදනම වන අතිරික්ත වටිනාකම ගොඩ නැගෙන්නේ මෙම ආර්ථීක ධ්‍රැවීකරණය ඔස්සේය. තම නිෂ්පාදනවල මිල ඉහල අගයක තබා ගැනීමට ඇ.එ.ජ. වැනි 'සංවර්ධිත' රටවල ආහාර තොග පිටින් විනාශ කෙරෙන්නේ සමහර අප්‍රිකානු රටවල ළමුන් ඇතුළු මිනිසුන් ලක්ෂ ගණනින් මියයන අතරතුරය. අවම පහසුකම්වත් නොමැතිව බංග්ලාදේශය වැනි රටවල ඇඟලුම් කර්මාන්තශාලා කඩා වැටී දහස් ගණනින් මිනිසුන් මිය යන්නේ ලෝක වෙළඳපොළෙහි තරඟකාරීත්වය වෙනුවෙන් ලාභ ශ්‍රමය උදෙසා බහු ජාතික සමාගම් විසින් 'සංවර්ධනය වෙමින් පවතින' රටවල කෙරෙන ආර්ථීක ආයෝජනවල ප්‍රතිඵල ලෙසය. මෙවැනි උදාහරණ තව ඕනෑතරම් ඉදිරිපත් කළ හැකිය. එබැවින්, ආර්ථීක අසමානතාවයන් නඩත්තු කිරීම ධනේශ්වර ක්‍රමයේ නෛසර්ගික ලක්ෂණයක් වන අතර එහි පැවැත්මට එය අත්‍යවශ්‍ය වේ.


සිරියාව- මරණයේ තිත්ත රසායනය.

ගෝලීය පාර්ලිමේන්තුවට අදාලව මුලිකවම සාකච්ඡා වෙන කාරණයක් වන්නේ දේශගුණ විපර්යාසයන් සහ පරිසර විනාශයයි. පරිසර විනාශයට මුලිකම හේතුව වන්නේ මිනිසුන්ගේ අධිපරිභෝජන ජීවන රටාවයි. එනම්, වෙළඳපොල විසින් මිනිසුන්ගේ අවශ්‍යතාවයන් අනවරත ලෙස ගොඩනගන අතර එහි ප්‍රතිඵලයක් ලෙස තම ජීවන පැවැත්මට සරිලන මට්ටමට වඩා භාණ්ඩ හා සම්පත් පරිභෝජනයට මිනිසුන් පෙළඹේ. මෙයද ධනේශ්වර ක්‍රමයට ආවේණික මෙන්ම අත්‍යවශ්‍යය අංගයකි. මන්ද, වෙළඳපොල තුල තරගකාරීව රැදී සිටීමට නම් හැකිතාක් ලාභය වර්ධනය කර ගැනීම අනිවාර්ය වේ. ලාභය උපරිම වන්නේ පරිභෝජනය උපරිම වන තරමටය. සම්පත් වැඩි වැඩියෙන් පරිභෝජනය කිරීම පරිසර දූෂණයට මෙන්ම එම සම්පත් ක්ෂය වීමටද සෘජුවම බලපානු ලැබේ. එමනිසා, පරිසර සංරක්ෂණයට හෝ දේශගුණික විපර්යාස නිසා සිදුවිය හැකි හානිකර තත්වයන් අවම කිරීමට නම් මිනිසුන්ගේ වත්මන් අධිපරිභෝජන රටාවන් වෙනස් කිරීම එසේ නැත්නම් සරළ පරිභෝජන රටාවකට හුරුවීම අත්‍යවශ්‍ය කරුණකි. නමුත් එය ධනේශ්වර ක්‍රමය තුල කිසිදිනෙක අපේක්ෂා කල නොහැක්කේ එසේ වීම ධනේශ්වර ක්‍රමයේ පැවැත්මට සෘජු ලෙසම තර්ජනයක් වන නිසාය.

මේ අනුව, අවසන් වශයෙන් සඳහන් කල යුත්තේ 'ගෝලීය පාර්ලිමේන්තුව' හෝ 'විශ්වීය පුරවැසියා' වැනි අදහස්, සංකල්ප ලෙස වැදගත් වුවත් පවතින ධනේශ්වර දේශපාලන ක්‍රමය තුල ඒවා යථාර්තයක් බවට පත් කිරීම ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා තරම්වත් ලෙහෙසි නොමැති බවයි. එය යථාර්තයක් බවට පත්කළ හැක්කේ පවතින ආර්ථීක, සමාජීය සහ දේශපාලනික විෂමතාවලට එරෙහිව සිදු කරන දේශපාලන අරගලයකින් පමණි. එවැනි අරගලයකින් තොරව සිදු කෙරෙන වැඩමුළු, සාකච්ඡා, සංවාද යනු කාලය සහ ශ්‍රමය නාස්ති කිරීමක් පමණක් වන අතර එමඟින් මිනිසුන් සැබෑ ප්‍රශ්ණයට අභිමුඛ වනවා වෙනුවට වෙනත් දිශානතීන් කරා යොමු කෙරේ. මෙවැනි ලිබරල් ක්‍රියාමාර්ගයන් හරහා මිනිසුන් තුළ, විශේෂයෙන්ම තරුණ තරුණියන් තුල පවතින රැඩිකල් දේශපාලනික ශක්‍යතාවයන් මොට කෙරෙන අතර එය පෙරලා ධනේශ්වර දේශපාලන ක්‍රමය ශක්තිමත් කිරීමට හේතුවන බවද සඳහන් කළ යුතුය.

ස්ලෝවේනියානු දාර්ශනික ස්ලෙවෝයි ශිෂෙක් (Slavoj Zizek) විසින් ප්‍රකාශ කර ඇති දේශපාලනික විහිළුවක් ඉදිරිපත් කිරීම මෙහිදී වැදගත් වේ යැයි සිතමි.

ජර්මන් කම්කරුවෙකුට සයිබීරියාවේදී රැකියාවක් ලැබුණි. ඔහුට අදාල ලියුම පාලකයින් විසින් විවෘත කර කියවන බව දන්නා බැවින් ඔහුගේ මිතුරන්ට ඔහු මෙසේ පැවසුවේය. "අපි සංකේතයක් යොදා ගමු; සාමාන්‍ය නිල් පාටින් ලියපු ලියුමක් මගෙන් ලැබුනොත් ඒකේ ලියලා තියෙන දේවල් ඇත්ත. රතු පාටින් ලියලා තිබුණොත් ඒ කියන්නේ බොරු."

මාසයකට පසුව ඔහුගේ මිතුරන්ට නිල් පාටින් ලියැවුණ පළමු ලියුම ලැබිණ.

"මෙහෙ සියල්ල පුදුමාකාරයි. ගබඩා පිරිලා, ආහාර සුලබයි, නවාතැන් විශාලයි වගේම මනාව උණුසුම්, චිත්‍රපට ශාලාවල බටහිර චිත්‍රපට ප්‍රදර්ශනය වෙනවා, ආදර සම්බන්ධතා ඇති කරගැනීමට ආශාවෙන් ඉන්න ගැහැණු ළමුන් බොහෝය. නැති එකම දෙය රතු තීන්ත පමණි."

එබැවින් වර්තමානයේදී බුද්ධිමතුන් විසින් කලයුතු වැදගත්ම කාර්යය වන්නේ නිවැරදි ප්‍රශ්න වර නැගීමයි.

උපුල් වික්‍රමසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails