Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඊජිප්තු වීදි මත ලේ පැල්ලම් වියැකී යන්නටත් මත්තෙන්, ඉකුත් සතියේ සිරියානු පොළොව මත සිදු වූ ම්ලේච්ඡ ජන සංහාරය, මුළු මහත් ලෝකයම කම්පනයට පත් කළේය. අන්තර්ජාතික මාධ්‍ය අවකාශය, පණ අදින ළදරුවන්ගේ සහ ගොඩ ගැසුණු මළමිනී පෙන්වන ඡායාරූප සහ වීඩියෝ වලින් වැසී ගියේය. මුල් පැයේදීම ඇමරිකානු සහ ඇමරිකානු ගැති මාධ්‍ය, චෝදනාත්මක ලෙස, සිරියානු හමුදාව ජනතාවට එරෙහිව රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළ බවට සෘජුවම වාර්තා කළ අතර සිරියාවට එරෙහි එක්සත් ජනපද හමුදා මැදිහත්වීමක් ඉල්ලීමේ සුපුරුදු හඬ තැලීම දසතින් නැගෙන්නට විය. එහෙත්, අතළොස්සක් විකල්ප මාධ්‍ය සිදුවීම වටහා ගැනීම සඳහා වෙනත් පර්යාලෝකයන් යෝජනා කරමින් සිටිති. බිල් වෑන් ඕකන් විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලියන ලද මෙම ලිපිය, මෙකී ප්‍රහාරය සිරියානු හමුදාව විසින් නොව ඇමරිකානු ආධාර ලබන කැරලිකාර කණ්ඩායම් විසින් කරන ලද්දක් විය හැකි බවට යෝජනා කරයි.

රසායනික අවි පිළිබඳ සිරියාවට එරෙහි ප්‍රහාර ඉල්ලමින් නැගෙන ඝෝෂාව

සිරියාවේ දමස්කස් ආශ්‍රිත රසායනික අවි ප්‍රහාරය පිළිබඳ වාර්තා, බටහිර බලවතුන් සහ ඔවුන්ගේ මිත්‍ර රාජ්‍යයන් විසින්, සිරියාව තුළ සෘජු හමුදා මැදිහත්වීමක් සඳහා වන ව්‍යාජ හේතුවක් නිර්මාණය කර ගැනීමට යොදා ගනු ලබමින් සිටිති. යෝධ මාධ්‍ය ආවරණයක් සමග අතිනත ගත් මෙකී රාජ්‍යයන්ගේ තරවටු කිරීම මගින්, ප්‍රහාරයේ ස්වභාවය පිළිබඳ කිසිදු ස්වාධීන තහවුරු වීමක් හෝ එය අසාද් රෙජීමය සමග සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳ ලේශ මාත්‍ර සාක්ෂියක් හෝ ලැබීමටත් පෙර සිටම, සිරියානු ජනපති බෂාර් අල්-අසාද්ට අධි චෝදනා එල්ල කෙරෙමින් පවතී.

2011 දී ලිබියාවේ රෙජීම වෙනස ඇති කිරීමේදී කළාක් මෙන්ම, සිරියාවේ අතීත පීඩකයා වන ප්‍රංශය, මෙවරද මේ චෝදනා නැගීමේ ව්‍යාපෘතියේ පෙරමුණ ගෙන තිබෙයි. ප්‍රංශ විදෙස් ඇමතිවරයා සිරියානු ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ මෙසේයි; "අපට මේ පිළිබඳ අන්තර්ජාතික ප්‍රජාවගෙන් ප්‍රතිචාර දැක්වීමක් අවශ්‍යයි... (මිලිටරි) ප්‍රතිචාරයක්...!"


බෂාර් අල්-අසාද්

එලෙසින්ම, සිරියානු භූමිය තුළ සිටින අල්-ඛයිඩා අනුබද්ධ කණ්ඩායම් වලට කඳවුරු, ආයුධ සහ උපක්‍රමික සහාය ලබා දෙන, තුර්කි ඉස්ලාමික ආණ්ඩුව ද හමුදාමය ප්‍රතිචාර දැක්වීමක් සඳහා බල කරමින් සිටියි. තුර්කි විදෙස් ඇමතිවරයා සිරියාව 'රතු කට්ට' පන්නවා ක්‍රියා කරන බව පවසයි. 'රතු කටු' වාක්‍ය ඛණ්ඩය මගින් තුර්කි ඇමතිවරයා යළි වර නගන්නේ, මින් ඉහත රසායනික අවි භාවිතා කළහොත් හමුදා ක්‍රියාමාර්ග ගන්නා බවට සිරියානු රජයට කළ තර්ජනයේදී එක්සත් ජනපද ජනපති ඔබාමා යොදා ගත් වචනයි.

එපමණක් නොව, සිරියානු ගෝලාන් කඳුකරය අත්පත්කරගෙන සිටින ඊශ්‍රායලය, -නොඉවසිලිමත් ලෙස- ඉක්මන් සෘජු මිලිටරි ප්‍රහාරයක් දියත් නොකරන්නේ මන්දෑයි බටහිර බලවතුන්ට දොස් නගමින් සිටියි. ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඉරානය සමග අභිමුඛ වීමට පූර්ව සූදානමක් වශයෙන්, සිරියාවට එරෙහි ආක්‍රමණයක් අවශ්‍ය බවට තර්ක කරයි. "සිරියාව ඉරානයේ පරීක්ෂණ භූමිය වෙලා තියෙන්නේ, ඉරානය ඉතාම අවධානයෙන් බලන් ඉන්නවා මේ සිදුවීමට ලෝකය ප්‍රතිචාර දක්වයිද- ඒ කොහොමද කියලා." ඔහු කියයි.

සිරියානු රජයේ කිසිදු මැදිහත්වීමක් හෝ පරිචාරණයක් රහිතව, රසායනික ප්‍රහාරය සිදු වූවායැයි චෝදිත භූමියට ප්‍රවේශ වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්ෂකයන්ට ඉඩ දිය යුතු බවට ඉල්ලීමක් කිරීමෙන් පමණක් සෑහීමකට පත් වීමට, මේ දක්වාම ඔබාමා පරිපාලනය පරිස්සම් වී තිබේ. එක්සත් ජනපදයේ මෙකී ඉල්ලීම ප්‍රතිරාවය කරන බටහිර රාජ්‍යයන් හෝ මාධ්‍යවලට, භූමියේ පාලනය ඇත්තේ එක්සත් ජනපද සහාය ලබන අල්-ඛයිඩා සම්බන්ධතා ද සහිත සන්නද්ධ අතුරු හමුදා අතය යන්න උදාසීන ලෙස නොසලකා හැරිය හැකි කාරණයක් පමණි.

එක්සත් ජනපදයට සම්බන්ධ අනෙකුත් කොටස් ද යුද ප්‍රකාශ කිරීම සඳහා මෙය අවස්ථාවක් කොට ගත යුතු බව අවධාරණය කරති. ඇරිසෝනාවේ සෙනට් සභික ජෝන් මැකේන්, සිරියාව 'රතු කට්ට' පන්නවා සිටියදීත් තවමත් ක්‍රියාත්මක නොවීම ගැන, ඔබාමාට තදින් පහර දෙමින් කියා ඇත්තේ මින් ඉදිරියට අමරිකානු ජනාධිපතිවරයෙකුගේ වචන කිසිවෙකු හෝ ගණන් නොගනු ඇති බවයි. එක්සත් ජනපද ප්‍රහාරයකින් සිරියානු ගුවන් බලය දින කිහිපයක් ඇතුළත විනාශ කළ හැකි බවට තර්ක කරන මැකේන්, 'පියාසැරි විරහිත කලාපයක්' සහ ඊනියා කැරලිකරුවන් 'නිසි ලෙස ආයුධ සන්නද්ධ කිරීමක්' ගැනත් උපදේශාත්මකව කතා කරයි.





හුස්මක් කටක් නොගෙන විකාශනය කෙරෙන ඇමරිකානු රූපවාහිනී වාර්තාකරණය මගින් හමුදා මැදිහත්වීමක් පිළිබඳ ඉල්ලීම් වර්ධනය කෙරෙමින් පවතියි. ඒ සමගින්, 'කැරලිකරුවන්' විසින් ජාලගත කරන ලද, මිනීඇඳුමින් ආවරණිත දේහයන් සහ ප්‍රතිකාර ගන්නා ජනතාවගේ වීඩියෝ දහස් ගණනක් ද එකී තත්ත්වය වර්ධනය කිරීමට දායක වෙයි. රූපවාහිනී නිවේදකයන් "සංවේදී දර්ශන" (disturbing images) පිළිබඳ ගරුගම්භීර ලෙස ප්‍රේක්ෂකයන් දැනුවත් කරති. එහෙත්, ඉකුත් සතියේ ඊජිප්තුවේ නිරායුධ උද්ඝෝෂකයින් දෙදහස් ගණනක් අමු අමුවේ මරා දමමින් කළ ම්ලේච්ඡ සංහාරය පිළිබඳ, මෙකී මාධ්‍ය දැක්වූයේ අන්තිම අඩු උනන්දුවකි. ඇතැමුන් කිසිදු උනන්දුවක් දැක්වුවේ ම නැත.

ජන සංහාරයන් ආවරණය කෙරෙන මේ කුඩුකේඩු ක්‍රමවේදය මගින් පිළිබිඹු වන්නේ, කයිරෝවේ ලේ-පිපාසිත මිලිටරි ජුන්ටාවට දිගටම ආධාර දෙමින් සහාය පළ කරන අතරම සිරියානු ආණ්ඩුවට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කරන එක්සත් ජනපද ආණ්ඩුවේ නිරුවත් ප්‍රතිපත්තියයි.

මෙබඳු දෙබිඩි වාර්තාකරණයන් සහ බරහිර බලධාරීන්ගේ ගිගිරීම් හැර සිරියානු රජය විසින් එබඳු ප්‍රහාරයක් කළාදැයි බරපතල ලෙස සලකා බැලීමක් සිදුව තිබේද? හරියටම, චෝදිත රසායනික අවි ප්‍රහාරය එල්ල වන්නේ, අසාද් ආණ්ඩුව විසින් එක්සත් ජාතීන්ගේ රසායනික අවි නිරීක්ෂණ කණ්ඩායමට එහි කටයුතු අරඹන්නැයි ආරාධනා කරනු ලැබූ මුල්ම දිනයේය. දමස්කසයෙන් සැතපුම් දහයක් දුර ස්ථානයකදී, ග්‍රහලෝකය මත දශක ගණනාවකින් සිදු වූ විශාලතම රසායනික අවි ප්‍රහාරය එල්ල කිරීම සඳහා, එබඳු මොහොතක් යොදා ගත්තාය යන්න සිදු විය හැක්කක්ද? බටහිර-ආධාර ලබන සන්නද්ධ කැරලිකාර කණ්ඩායම් වලට එරෙහිව අනවරත යුද ක්‍රියාවලියක නිරත වෙමින් නොසැලී ඉදිරියට යන මොහොතක, දමස්කස් රෙජීමය එබඳු අවි සේවනය කරන්නේ කවර හේතුවකටද? ඔවුන් එබඳු ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ නම්, ප්‍රහාරයෙන් පසු එකී ප්‍රදේශය අත් පත් කර ගැනීම සඳහා අසාද් හමුදා ඉදිරියට නොපැමිණ, එය 'කැරලිකරුවන්' අතම තබා ගනිමින් ඔවුන්ට සිදුවීම වාර්තාකරමින් ගොදුරු වූවන්ගේ පින්තූර අන්තර්ජාලයට මුදා හරින්නට ඉඩ සලසා පසෙකට වී සිටියේ මන්ද? රසායනික අවි ප්‍රහාරයේදී යොදා ගත්තාය කියන රොකට් විදිනයේ ඡායාරූප ලෙස ඉදිරිපත් කරන බොහොමයක් ඒවා, ප්‍රකටව පෙනෙන පරිදි නිවසක සාදන ලද ඒවා වන අතර, ඒවා ඉරානය සහ රුසියාව සිරියානු හමුදාවට සැපයූ එබඳු අවි සමග කිසිම විදිහක සමානත්වයක් නොපෙන්වයි.

මෙබඳු ප්‍රහාරයකින් අසාද් රෙජීමයට හිමි කොට ගත හැකි කිසිවක් නැති- අහිමි වන බොහෝ දේ පමණක් ඇති තත්ත්වයක් තුළ, මෙය නිදහස් සිරියානු හමුදාව සිදු කළ ප්‍රහාරයක්ය සිතනවාට වඩා, එය සිරියානු හමුදාවේ ජයග්‍රහණ හමුවේ බලාපොරොත්තු සුන් වූ ද, ඊසානදිග සිරියාවේ දමනය කළ නොහැකි කුර්දි සටන්කරුවන්ගේ ප්‍රතිරෝධය දරා ගත නොහැකි වූ ද, පක්ෂග්‍රාහී බව සහ ක්‍රෑරකම් හේතුවෙන් වැඩෙමින් පවතින මහජන විරෝධයට ලක් වෙමින් සිටින්නා වූ ද, බටහිර අනුග්‍රහය ලබන අල්-ඛයිඩා අනුබද්ධ අල් නුස්රා පෙරමුණ විසින් කරන ලද්දක්යැයි සිතීමට කරුණු ඇත.


"Big event of grave concern..!"- Obama. [23.08.2013]

විවාද රහිතවම, මෙකී 'කැරලිකාර' කණ්ඩායම් එබඳු ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සමත්කම් දක්වන්නෝය. ඔවුහු මින් ඉහතදී තමන්ට රසායනික අවි සඳහා ප්‍රවේශ මාර්ග ඇති බවට පාරට්ටු කිරීම් කොට ඇති අතර ඉකුත් මැයි මාසයේ අත් අත්ඩංගුවට පත් ඇතෑම් 'කැරලිකරුවන්' සතුව ස්නායු නාශක සාරින් වායුව* තිබූ බවට ද තුර්කි මාධ්‍ය වාර්තා කොට තිබේ. අල් නුස්රා සහ අනෙකුත් අල්-ඛයිඩා අනුබද්ධ, මිනීමරු ප්‍රතිගාමී 'කැරලිකරුවන්'ට අසාද් රෙජීමයට වරද පටවා එක්සත් ජනපද-නේටෝ මැදිහත්වීමක් අවුස්සා ගැනීමේ අරමුණෙන් එබඳු සමූහ ඝාතනයක් කිරීමට කිසිදු පසුතැවිල්ලකින් හෝ වරදකාරී හෘද සාක්ෂියක් ඇත්තේ ද නැත.

බටහිර සහාය ලබන කැරලිකාර කණ්ඩායම් විසින් සාරින් වායුව භාවිතා කොට ඇති බවට ශක්තිමත් සහ ප්‍රත්‍යක්ෂ සාක්ෂි ඇති බව, සිරියාව පිළිබඳ විමසීම පිණිස එක්සත් ජාතීන් පත් කළ ස්වාධීන කොමිසමේ මුල් පෙළේ සාමාජික Carla Del Ponte විසින් ඉකුත් මැයි මාසයේදී වාර්තා කරන ලද අතර, වොෂිංටනය සහ එහි යුරෝපියානු මිත්‍රරාජ්‍යයෝ එකී හෙළිදරවු කිරීම් සත පහකට ගණන් ගත්තේ නැත. මෙකී බලවේග විසින් අවුස්සා පෝෂණය කෙරෙන, රෙජීම වෙනසක් සඳහා කෙරෙන සාවද්‍ය යුද්ධයකදී, එබඳු අපරාධ "අත්‍යාවශ්‍ය" බව ඔවුන් සිතනවා වන්නට පුළුවන.

(* සාරින් [saarin] යනු පොස්ෆරස් අඩංගු සංශ්ලේෂි කාබනික සංයෝගයකි. දෙවන ලෝක මහා යුද සමයේදී ජර්මනියේ මුල්වටර නිපදවන ලදී.)

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අගෝස්තු 23 වන දා පළ කෙරුණු Growing calls for attack on Syria follow chemical weapons claims යන ලිපියේ පරිවර්තනයකි.

බිල් වෑන් ඕකන්
පරිවර්තනය - මේනක බණ්ඩාර සමන්කුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails