Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දීපාවලී හඳ ගැන
පිච්චමල් මදහස ගැන
මිසෙක ලියැවෙද
සිහළ කවියක්
දෙමළ දෙවියකු පිළිබඳ;
හදේ ගැඹුරක නවාතැන් ගෙන
සියුම් රිදවුම් කැඳවන
තවම හීනෙන් ඇවිත් ඉඳහිට
මතක සැමරුම් පෙරළන,
වසන්තයටත් කළින් නික්මුණු
වසත් සඳවත පිළිබඳ...

* * *
උමයඟන වන්නට
වරම් නො ලදිම් එදවස...
නමුදු මතකය උණුහුම
හුරුපුරුදු ඒ හදවත...
'සිවා' නම් වූ නිහඬ හිතවත,
ඉදින් මේ කව නුඹට ය...

දෙවැනි වසරේ කෙළවර
ගමේ ගිය නුඹ නොපැමිණ
ගෙවූ පහුගිය දොළොස් වසරම
කල්පයක් විය තනි මට...
සිවා, නුඹටත් එහෙම ද..?

කහ පැහැති මල් අදත් ඉහිරෙන
ලිය මඬුළු යට ඇහැරෙන,
ඒ පැරණි සිහිනයකට
ගොඩවෙමි තවම ඉඳහිට;
නුඹේ අතකින් ඇදගෙන...
මහ වැලිය සහ පාළම
පුස්තකාලය, කැන්ටිම
හන්තාන කඳුවැටියම
තවම වෙනසක් නැති හැඩ..!
සිවා, නුඹටත් මතක ද..?

'හිල්ඩා' එකට මා යන
පාරේ කොණක තනියම
රැක සිටිය‘යුරු එදවස,
කන් දෙකත් රතු කරගෙන...
"අපිටත් නැද්ද මුරුක්කු..?"
අහන්නත් පෙර දික්කළ
යාපනේ සිනහවක දැවටූ
මුරුක්කු පාර්සලයම...

රහ නැත ද ඒ තරමට
සිවා, මේ කව නුඹට ය...

"දෙවියෙක් වුණත් දෙමළෙක්..."
කියා දකුණේ නෑයෙක්
මූණටම කී දවසෙත්
සිනහව නොවී අඩුවක්;
"මිනිස්සුනෙ අපි ඔක්කොම..."
කියූ සුන්දර පපුවක්..!

අවසන් නොකළ කවියක්
මගහැරුණු හද ගැස්මක්
නිදන්ගත, තනි හිතකින්
බලා හිඳිනෙමි තවමත්...
සිංහල අකුරු අතරට
පුරවා දෙමළ වචනත්
ලියා යන්නට මේ කව
ඇවිත් යනවද ආයෙත්..?

හීතලයි මේ තනිකම්,
දරාගන්නද තනි මං..?
සිවා, නුඹ දන්නවනං..!

සෞම්‍ය සඳරුවන් ලියනගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails