Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



[1994 දී සිය ප්‍රථම නවකථාව වන Funny Boy ලියන ශ්‍යාම් සෙල්වදොරෙයි එම නවකථාව වෙනුවෙන් ප්‍රථම නවකථාව සඳහා වන Smithbook සම්මානය ද හොඳම සමකාමී නවකතාව වෙනුවෙන් Lambda සාහිත්‍ය සම්මානය ද ලබාගත්තේය. 1998 දී සිය දෙවන නවකතාව වන Cinnamon Gardens ලියන ඔහු 2004 දී Story- Wallah: Short Fiction from South Asian Writers යනුවෙන් සල්මන් රෂ්ඩි, මොනිකා අලි, හනීෆ් කුරේෂි සහ තවත් ලේඛකයින් ගේ නිර්මාණ ඇතුළත් ග්‍රන්ථයක් සංස්කරණය කළේය. 2005 දී ඔහු ලියූ Swimming in the Monsoon Sea ළමා හා යොවුන් අංශයෙන් Lambda සාහිත්‍ය සම්මානය දිනා ගන්නා ලදි. ඔහුගේ Funny Boy සුගතපාල ද සිල්වා විසින් 'අමුතු ඉළන්දාරියා' නමින් සිංහලයට නගා ඇත. ඔහුගේ Swimming in the Monsoon Sea ජේ. පී. වන්නිආරච්චි විසින් 'මෝසම් මුහුදේ පිහිනීම' නමින් පරිවර්තනය කොට ඇත. 2013 අප්‍රේල් මස දී ඔහු සිය සිව්වැනි නවකතාව වන The Hungry Ghosts එළිදැක්වූ අතර එය ශ්‍රී ලංකාවේ දී එළිදැක්වූයේ පසුගිය අගෝස්තු මස තුන් වැනිදා ය.

1965 වසරේ කොළඹ දී ඉපදෙන ශ්‍යාම් සෙල්වදොරෙයි 1983 ජුලි වාර්ගික ගැටුම් හේතුවෙන් සිය පවුල ද සමග කැනඩාවට සංක්‍රමණය වන්නේ 1984 දි ය. කැනඩාවේ යෝක් විශ්වවිද්‍යාලයෙන් සිය උපාධියෙහි කොටසක් ලෙස නිර්මාණාත්මක සහ වෘත්තීය ලේඛනය හැදෑරූ ඔහු බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන දැනට ටොරන්ටෝ හි ජීවත් වෙයි. සිය මව් රට වන ශ්‍රී ලංකාව සමග ළඟ සබඳතාවක් ඇති ඔහු මේ දිනවල 'Write to Reconcile' නමින් තරුණ තරුණියන් සඳහා සංවිධානය කෙරෙන නිර්මාණාත්මක ලේඛන පාඨමාලාවක ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.

මේ, පසුගිය දිනෙක ශ්‍යාම් සෙල්වදොරෙයි සමග බූන්දිය කළ සංවාදයක පරිවර්තනයකි.]

මිනිසුන් තම ජීවිතය තුළ ජීවතය ගෙවා ගැනීමට විවිධ දේවල් කරනවා. විවිධ දේවල් තෝරා ගන්නවා. ඔබව ගත්තොත්, ඇයි ඔබ නවකතාකරුවෙක් වුනේ?

ඒක හොඳ ප්‍රශ්නයක්. එක අතකින් බැලුවම මම ඒකට උත්තරයක් දන්නෙ නෑ. මම හිතන්නෙ ඒක මා තුළින් ස්වභාවිකව එන දෙයක්. මම යොවුන් වියේ ඉන්න කොට මම හිතුවා මට රංගකලාවට පිවිසෙන්න ඕනෙ කියලා. ඒ නිසා මම එය හැදෑරුවා. ඊට පස්සෙ මම තේරුම් ගත්තා මට ඕනෙ ලේඛකයෙක් වෙන්නයි කියලා. ලේඛකයෙකුගෙ ජීවන රටාව මට හොඳින් ම ගැලපෙනවා. මම තනියෙන් ඉන්නයි වැඩියෙන් ප්‍රියකරන්නෙ. මම හුදෙකලාවට කැමතියි. මම හිතන්නෙ ඇයි මට ලේඛකයෙක් වෙන්න ඕනෙ වුනේ කියන එකට වඩා ඇයි මම දිගට ම ලේඛන කාර්යයයේ යෙදෙන්නේ කියන එකයි ප්‍රශ්නය. පිළිතුර තමයි කලා මාධ්‍යය කියන්නෙ ඉතාම අපූරු දෙයක්. එය නිමක් නැති ගැඹුරක් සහිත දෙයක්. ඒ වගේමයි භාෂාව- එය හරිම ගුප්ත යි. මම දන්නෙ නෑ ඒ ඇයි එහෙම නැත්නම් ඒ මොකක්ද කියලා. නමුත් ඒක එහෙමයි.

The Hungry Ghosts ඔබේ කලින් නවකතාවලට වඩා සංකීර්ණයි. ඔබ කියන පරිදි එහි විවිධ ස්ථරයන් තිබෙනවා. ඇයි ඔබට එය එතරම්ම ම සංකීර්ණ කරන්න අවශ්‍ය වුනේ?

ඔබ වයසින් මුහුකුරා යන තරමට, ලේඛකයෙකු ලෙස ලියමින් පුහුණුව ලබන තරමට ඔබට අවශ්‍ය වෙනවා විවිධ ස්ථරයන් නියෝජනය කරමින් වඩා සංකීර්ණ සහ විචිත්‍ර වූ දේවල් ලියන්න. ඒ වගේම මම හිතන විදිහට මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වෙන්න වෙන්න ඔබට ජීවිතයේ විවිධ වූ ස්ථරයන් හමු වෙනවා- හිමි වෙනවා.

ශිවාන් තමයි The Hungry Ghosts හි ප්‍රධාන චරිතය. අපි දකිනවා ඔහු විවිධ දේ පසුපස හඹායනවා. ආදරය, අනුරාගය, ලිංගිකත්වය වැනි විවිධ දේ පසුපස... ඒත් ඔහු නො සතුටින්. ඔහු දවසක සතුට හොයාගනීවිද?

ඇත්තටම.... මම ඒක දන්නෙ නෑ. පොතේ අවසානයට එද්දි ඔහු පැහැදිළිවම ඉන්නෙ සතුට කරා යන මාර්ගයේ. මොකද කතාවෙ අවසානය වෙද්දි ඔහු පිළිගන්නවා තමන්ගේ ජීවිතය තුළ තමන් කළ දේවල්. මම දකිනවා ඔහු ඒවා ගැන වගකීම ගන්නවා. ඔහු අන්තිමට ඉගෙනගන්නවා බැඳීම කියන දෙය අත්හරින්න. වඩා වැදගත් වෙන්නෙ ඔහු මේ බැඳීම් අත්හැර සංතෘප්තිය සොයා ගැනීම යි. ඒ තුළ ඔහු ‘පරිපූර්ණ' ජීවිතයක් ගත කරාවි.



The Hungry Ghosts හි කතාවට අනුව ඇඟවෙනවා කෙනෙකුට තම ඉතිහාසය මඟ හැර යා නොහැකි බව සහ එය තමන් පසුපස හඹා එන බව. එය කිසියම් ආකාරයක් ජීවන දර්ශනයක් ලෙස ඔබ දෙන්න උත්සහ කරන පණිවුඩයක් ද?

ඔව්. මම හිතන්නෙ ඔබට ඔබේ කර්මයෙන් පැන යන්න බෑ. මෙතනදි කර්මය කියන එකෙන් මම අදහස් කරන්නෙ ඔබේ පෙර ජීවිත කාලයෙන් ඔබ අරන් එන දෙයක් වැනි යමක් නෙවෙයි. මම අදහස් කරන්නේ ඔබේ පවුල් පසුබිම, ඔබට සිදුවූ දේවල්, ඔබේ ජාන, ඔබ ජානමය වශයෙන් උරුම කරගත් දේ - ඔබට මෙයින් පැන යන්න බෑ. කරන්න පුලුවන් දේ තමයි එය පිළිඅරගෙන ඒ සමඟ ගනුදෙනු කිරීම- ඒ හැර ඔබට එය මග හැර පළා යන්න බෑ. එය ඔබ පසුපස හඹා එනවා. මම හිතන්නේ ඔබට පරිපූර්ණව ජීවත් වීමට අවශ්‍ය නම් ඔබ ඔබේ අත්දැකීම් සහ අතීතය වර්තමානයට ගෙන ආ යුතුයි. ශිවාන්ව ගත්තොත් ඔහු උත්සාහ කරනවා වෙන රටකට පළායන්න. ඔහු සංක්‍රමණය වෙන්නෙ උතුරු ඇමරිකාවට. එහි හැමදේම අලුත්. ඔහුගෙ ඒකායන අරමුණ තමයි එහෙ ඇවිත් හැමදේම අලුතින් පටන් ගැනීම.

නමුත් ඔහුට බැරිවුනා?

ඔව්. ඔබට එය කරන්න බෑ. විශේෂයෙන්ම පැරණි ලෝකයට අයත් මිනිසෙකු ලෙස ඔබට කොහොමටවත් බෑ අලුත් ලෝකෙක නැවුම් ජීවිතයක් ආරම්භ කරන්න.

ශිවාන් වගේම - හැමදෙනාම, ජීවිත කාලය පුරාම සතුට වෙනුවෙන් විවිධ දේවල් පසුපස හඹායනවා. මිනිහෙකුට සතුටු වෙන්න අවශ්‍ය මොනවද? ඔබ ජීවිතය අර්ථ දක්වන්නෙ කොහොමද?

ජීවිතයෙ අර්ථය... ? මම හිතන්නෙ ජීවිතයෙ අර්ථය ‘මේ මොහොත' තුළ ජීවත් වීමයි. මමත් දේවල් පසුපස හඹා යෑම්වලින් සම්පූර්ණයෙන් නිදහස් වෙලා නෑ. ඔව්... මමත් මනුෂ්‍යයෙක්. නමුත් අඩුතරමින් මට පුලුවන් මාව පාලනය කරගන්න.. නවත්ත ගන්න. කොහොම වුනත් මම විශ්වාස කරන විදිහට වඩා වැදගත් වෙන්නේ ලෝකය කෙරෙහි දයාවකින් යුක්තව ජීවත් වීමයි.

ඔබේ පොත් තුළ සමකාමී සම්බන්ධතා වගේම ගැහැණු - පිරිමි සබඳතාත් ගැඹුරින් විග්‍රහ කෙරෙනවා. විශේෂයෙන්ම ඔබේ Cinnamon Gardens කෘතිය ගත්තොත් එහි අඹු සැමි සම්බන්ධතා , ස්ත්‍රී පුරුෂ ප්‍රේමය ආදිය වඩාත් විශ්ලේෂණාත්මකව කතා බහට ලක් කරනවා. The Hungry Ghosts හි එන සමකාමී සබඳතාවල ස්වභාවය ඉතා පහසුවෙන් බිඳෙන සුලුයි. සෑම විටම අහිමි වීමේ බියකින් පෙලෙනවා. මේ සමකාමී සහ ස්ත්‍රීපුරුෂ යන සබඳතා දෙක පිළිබඳව ඔබේ නිරීක්ෂණය කුමක්ද?

මම හිතන්නේ මේ පොතේ එන සබඳතා ඉතාම බිඳෙන සුලුයි. මොකද ශිවාන් ඔහුගෙ සහකරු වන මයිකල් සමග තම අතීතය බෙදාගෙන නෑ. ඒ වගේම ඔහු ජීවිතයෙන් ඉල්ලන්නේ ඒ මොහොත තුළ ලබා ගන්න බැරි දෙයක්. නමුත් මම හිතන විදිහට... සම්බන්ධකම් කියන්නෙම බිඳෙන සුලු දෙයක්. අපි අඳුනගත යුතුයි ඒවායේ තිබෙන මේ බිඳෙනසුලු ස්වභාවය. අනෙක් පුද්ගලයා කියන්නෙ ඔබට අයිති යමක් නෙවෙයි. පල්ලියට ගිහින් විවාහ පොරොන්දු දුන් පමණින් ඔහු හෝ ඇය ඔබට අයිති වෙන්නෙ නෑ. අපි පටන් ගන්න ඕනේ එතැනින්. මිනිස්සු ආදරය කරනවා , මිනිස්සු මැරෙනවා. බොහෝ දේවල් වෙනවා. අනෙක් පුද්ගලයා කියන්නෙත් තමන්ටම කියා අභිමතයන් හා සිතැඟි සහිත සම්පූර්ණ මනුෂ්‍යයෙක් ලෙස වටහා ගෙන එතැනින් තමයි පටන් ගත යුතු වෙන්නේ.

ඔබ ජීවත් වෙන්නෙ ලංකාව , ඉරානය සහ වෙනත් එවැනි ඕනෑම රටකට වඩා ලිංගික නිදහසට ගරු කරන රටක. ලේඛකයෙක් සහ සමාජ ගැටුම් කෙරෙහි මැදිහත්වන්නෙකු ලෙස අප වැනි රටවල්වලට දිනෙක එම තත්ත්වය කරා ළඟා වීමට ඔබ යෝජනා කරන ප්‍රවේශය කුමක්ද?

දැනුවත් කිරීම තමයි කළ යුතු ප්‍රධාන ම දෙය. දැනුවත්බව මිනිසුන්ගේ දෘෂ්ටි කෝණය වෙනස් කරනවා. අපි දැනුවත්කිරීම් වැඩිකරන තරමට මිනිසුන් වැඩි වැඩියෙන් තමන් කාරණා දෙස බලන ආකාරය වෙනස් කරගන්නවා. අන්තර්ජාලය කියන්නෙ මේ සඳහා භාවිත කළ හැකි හොඳ මෙවලමක්. මේ ගැහැණු සහ පිරිමි සමකාමීත්වය පිළිබඳ දැනුවත් බව ගැන කතා කළොත් ලංකාව අද තියෙන්නෙ ‘Funny Boy’ ප්‍රකාශයට පත් කළ කාලයට වඩා ඉතාම හොඳ තැනක. ‘Funny Boy’ ප්‍රකාශයට පත්කරද්දි මට හිතන්නවත් පුලුවන් කමක් තිබුණෙ නෑ අවුරුදු ගාණකට පස්සෙ දවසක සමකාමී සංගමයක් විසින් මගේ පොතක් එළි දැක්වන අවස්ථාවක් ගැන. බලන්න.. එතන ප්‍රගතියක් තියෙනවා ... වෙනසක් ඇති වෙලා තියෙනවා. දැනුවත් කිරීමක් තියෙනවා. නමුත් තව තවත් දැනුවත් කිරීම් අවශ්‍යයි. ඒ වගේම අපි මේ ගැන කතා බහ කළ යුතුයි, සහ- ඒ දැනුවත් කිරීම් සහ කතා බහ වඩා ලාංකේය සන්දර්භයක් තුළ කළ යුතුයි. ඒක ඉතාම වැදගත්.

ඔබේ බොහෝ නවකතාවලට පදනම් වෙන්නෙ 1983 ජුලි කලබල කාලය. නමුත් The Hungry Ghosts ඇතුලු ඒ සියල්ලෙන් කතා කරන්නෙ කුරුඳුවත්තේ ජීවත් වුන , යම් ආකාරයකින් පලා යාමට සහ ගැළවීමට හැකියාව තිබුණු ප්‍රභූ පැළැන්තියක් නියෝජනය කළ දෙමළ ජන කොටසක් ගැන. ඔබ කිසියම් දවසක කල්පනා කර තිබෙනවද මෙම වර්ගවාදයෙන් සැබවින්ම බැට කෑ, දුගී, අසරණ දෙමළ මිනිසුන් ගැන සහ ඒ සිද්ධිය විසින් සදහටම වෙනස් කරන ලද ඒ මිනිසුන්ගේ ඉරණම ගැන ලියන්න?

නැහැ. මම ස්වභාවයෙන්ම එවැන්නක් කළ හැකි ලේඛකයෙකු නොවෙයි. මට ලියන්න පුලුවන් මම දන්න දේ ගැන විතරයි. මගේ වටපිටාව මගේ සමාජ පරිසරය ට සම්බන්ධ දේවල් ගැන විතරයි මට ලියන්න හැකි. ඇත්තම කියනව නම් එවැනි හැකියාවක් තිබෙන ටෝල්ස්ටෝයි වැනි ලේඛකයින්ට මම ඊර්ෂ්‍යා කරනවා. මට එය කළ නොහැකියි.

ඔබ ඒ ජීවිතය විඳ නැති නිසා?

මට ඒ හැකියාව නෑ. මොකද ඒක හැකියාවක්. ටෝල්ස්ටෝයි , ඩිකන්ස් වැනි ලේඛකයින්ට පුලුවන් විවිධ පන්තිවලට අයත් විවිධාකාරයෙන් වර්ණිත චරිත ඉතා පුළුල් ලේඛනමය කැන්වසයන් මත සිතුවම් කරන්න. නමුත් මා හෝ ජේන් ඔස්ටින් වැනි අයට පුලුවන් අප දන්නා පසුබිම හෝ ලෝකය ගැන ලියන්න විතරයි. ඒ ලේඛන විධි දෙකක්. මට අනුව නම් ලිවීම කියන්නෙම බැරෑරුම් කාර්යයක්. මට කරන්න ශක්තියක් නෑ කියල මම දන්න දෙයක් කරන්න උත්සාහ ගැනීම තේරුමක් නැති දෙයක් කියලයි මට හිතෙන්නෙ. මම හිතන්නෙ මට කරන්න පුලුවන් දේ තමයි මගේ චරිත ගොඩ නැංවීම් තුළ ඒ අයගේ හඬ ට ඉඩ නිර්මාණය කිරීම. මම ඒ ගැන උනන්දුයි.



ඔබ යම් ප්‍රමාණයකට හෝ එය කර තිබෙනවාද?

ඔව්. නමුත් ඒ හඬට ඊට වඩා වැඩි ඉඩක් දිය යුතු බවයි මට හැඟෙන්නෙ.

Funny Boy සිට මේ දක්වා ඔබේ ලේඛන කාර්යයන් බැලුවොත් ඔබේ සාහිත්‍යමය අධ්‍යාපනික පසුබිම ඔබට බලපා ඇති බවයි පෙනෙන්නට තිබෙන්නෙ.

ඇත්තටම ඒ සඳහා අධ්‍යාපන පසුබිමටත් වඩා බලපෑවේ කියවීම යි. මම කියවන දේවල් මට බලපානවා සහ එය මාව වෙනස් කරනවා.

ඔබ කැමති ම හෝ ඔබට බලපාන ලේඛකයෙක් ඉන්නවද?

කැමතිම ලේඛකයෙක් කියලා කෙනෙක් නෑ. නමුත් හැම පොතකින්ම යම් බලපෑමක් සිද්ධ වෙනවා. ජුම්පා ලහිරි ගේ The Namesake සහ ඇන්ඩ්‍රියා ලෙවී ගේ මුල් කාලීන කෘතීන්වලින් වුන බලපෑම ඉතාම ඉහළයි. නමුත් බෞද්ධ කතා තමයි මට හුඟක්ම බලපෑවේ. ඒවා මගේ කලාත්මක කාර්යයන් හි ප්‍රධාන අංගයක් වුනා වගේ ම The Hungry Ghosts හි ව්‍යුහය සකස් වුනේත් එයින්.

පසුගිය අගෝස්තු 03 වැනිදා කොළඹ දී පැවති ඔබේ පොත් එළිදැක්වීමේ දී ඔබ කිව්වා ඔබ උතුරේ පශ්චාත් යුධ තත්ත්වය හා සම්බන්ධ වී කටයුතු කරන බව. ඔබ ලංකාව හැර යන්නේ 1984 දි. එදායින් පසු මේ දක්වා ගෙවුණු වසර 30 කාලය පිරී තිබුණේ කටුක යුද්ධයකින්. 1983 වර්ගවාදයෙන් පීඩා විඳි අයෙක් ලෙස සහ ඉන් පසුව වඩා සංවර්ධිත සහ සාමකාමී රටක වැඩුණු අයෙකු ලෙස, නො එසේ නම් බාහිර සිට බලන කෙනෙක් ලෙස ඔබ මේ ප්‍රශ්නය දකින්නෙ කොහොමද?

මම සම්පූර්ණයෙන් ම පිටස්තරයෙක් නෙවෙයි. මම නිතරම ලංකාවට එනවා යනවා. මට මෙහේ ඉතාම සමීපයි. මම හිතන්නෙ පහුගිය අවුරුදු 30 පුරාම අපි එකිනෙකාට කළ දේවල් ඉතාම දරුණුයි. එක ජනවර්ගයකට විතරක් තනියෙන් කියන්න බෑ තමන් විතරයි පීඩා වින්දේ කියලා. එතැනිනුයි අපි පටන් ගන්න ඕනෙ. අපි ඔක්කොම, දෙමළ- සිංහල හැම දෙනාම මේකට පංගුකාරයො වුනා කියන උපකල්පනයෙන් තමයි පටන් ගන්න ඕනෙ. 'මම යි පීඩිතයා' , 'මම යි පීඩිතයා' කියමින් ඉන්නවට වඩා අපි එතනින් ඇරඹුවොත් ඒක වඩා සංවේදී ආරම්භයක් වෙනවා සංහිඳියාව, සමාදානය ඇති කරන්න.

පශ්චාත් යුධ වාතාවරණය සිත් කලකිරවන සුලුයි. එය ඉතාම නරක තත්ත්වයක්. යුද්ධය අවසන් වූ වහාම විශිෂ්ට අවස්ථාවක් තිබුණා. නමුත් එය ගිලිහුණා. දැන් එය නැවත ගන්න බෑ. සංහිඳියාව - සමාදානය දෙසට සැබෑ වුවමනාවකින් පියවර තැබීම අඩු වන තරමට මේ තත්ත්වය කණගාටුදායක වෙනවා. ඒ අතර බොදු බල සේනා වැනි අන්තවාදයන්ගේ හිස එසවීම ඉතාම බියජනකයි. මොකද අපි හැමෝම දන්නවා අන්තවාදයට කළ හැකි දෙය. අපි හැමෝම දන්නවා එය මුළු රටටම කොයි තරම් හානි කරනවද කියලා. එය හානි කරන්නේ එක ජන කොටසකට විතරක් නෙවෙයි. එය ඉදිරියට යා හැකි මගක් නෙවෙයි. කොහොත්ම ඉදිරියට යා හැකි මගක් නෙවෙයි. හරිම අප්‍රසන්න තත්ත්වයක්. නමුත් ඔබ හැමෝම වගේ මටත් අත්හරින්න බෑ. අපට කළ හැකි දෙය අප කළ යුතුයි. ඒ නිසයි මම සංහිඳියාව වෙනුවෙන් ලිවීම ව්‍යාපෘතියට (Write to Reconcile Project) සම්බන්ධ වෙන්නෙ. අන්තවාදී හඬවල් පමණක් ඉස්මතු වීම වැලැක්වීම සඳහා ක්‍රියා කළ යුතුයි. නමුත් එය දිනෙන් දින අපහසු වෙනවා. පරිසරය වඩා අසහනකාරී බවට පත්වෙමිනුයි තිබෙන්නේ.



මොකක්ද වඩා වැදගත්? සාධාරණය ද? සංහිඳියාව ද?

මීට පෙර කවුරුවත් මගෙන් එහෙම දෙයක් අහලා නෑ. සාධාරණය... එය අමුතු වචනයක්. මොකක්ද ඒකෙන් අදහස් කරන්නෙ? සාධාරණය කා වෙනුවෙන්ද?

පීඩා විඳින්නන් වෙනුවෙන්. මම තව පැහැදිලි කරන්නද?

නැහැ. මම හිතන්නෙ මට ඔබව පැහැදිලියි.

මම ඇත්තටම දන්නෙ නෑ සාධාරණය කියා යමක් තියෙන්න හැකිද කියලා- විශේෂයෙන්ම අපි යුද්ධයේ අවසාන වසර කිහිපය ගැන කතා කරනවා නම්. මම දන්නෙ නෑ සාධාරණයක් තිබිය හැකිද කියලා. හේතුව තමයි, යුද්ධයක් කියන්නේ ස්වභාවයෙන්ම මඩ ගොහොරුවක්. කවුරු මොනවා කළාද? කවුරු අපහසුතාවයට පත් වුනාද? එය තෝරා බේරා ගැනීම අපහසු වෙන්න පුලුවන්. මම වඩාත් උනන්දු වෙන්නෙ ඉතිරි වූවන් ගැන, ගැලවුණු අය ගැන. ඔවුන්ට දේවල් දෙකක් ලැබිය යුතුයි. එකක් තමයි තමන්ගෙ අතුරුදහන් වූ ආදරණීයයන්ට සිද්ධ වුනේ මොකක්ද කියන ප්‍රශ්නයට පිළිතුරු. එය ඉතාම වැදගත්. දෙවැන්න, ඔවුන්ට රටේ අනෙක් අය සමග පළමු පුරවැසියන් ලෙස යහපත් ජීවිතයක් ගොඩ නගා ගැනීමට අවස්ථාව ලැබිය යුතුයි. එය හඳුන්වන්නේ සාධාරණත්වය කියා ද සංහිඳියාව ද කියා දැයි මා දන්නෙ නෑ. සාධාරණය යනු පළිගැනීම ලෙස වරදවා නොගත යුතුයි. ඔබ ඩෙරීඩා ගේ 'La Pardon' කියවා තිබෙනවාද? එය ඉතාම හොඳ ලියවිල්ලක්. එහි කියවෙන්නේ මේ සාමය සඳහා පත්කර ඇති කමිටු සහ කොමිසම් ඇත්තටම පිහිටුවන්නෙ සැබෑ සමාදානයක් උදෙසා නෙවෙයි වෙනත් අරමුණු සහිතව කියන එක. එනිසා ඒවායින් 'සමාව දීම' වැනි කාරණා ඉස්මතු කරගන්න උත්සාහ කිරීම කළ නොහැකි දෙයක් බව. මට මෙතනදි ඒක සාරාංශ කරන්න බෑ. මොකද ඒක ඩෙරීඩා ගේ වියමනක් නෙ. නමුත් එය කියවිය හැකි නම් ඉතාම වටිනවා.

ඌරන් ට පියාසර කළ හැකි බව අපට කීවෙ ඔබ. මම විශ්වාස කරන විදිහට ඒ ඌරන්ට සියලු දෙනා අයත්. සමකාමීන් විතරක් නෙවෙයි- සුළුතරය යයි සැළකෙන සියලු දෙනා. නමුත් තවමත් අපි අතර ඉන්න ඇතැම් ඌරන්ට පියාඹන්න පියාපත් නෑ... ඇතැමුන්ට අහසක් නෑ... ඔබ තවමත් විශ්වාස කරනවද ඒ ඌරන්ටත් පියාඹන්න පුලුවන් කියලා?

යම් දවසක... ඔව්!

බූන්දි වැ.දෙ.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails