Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



'මියුසික් වීඩියෝ කිව්වම ඒක සංගීත රූප සම්මාන උළෙල කියන්න පුළුවන්. සංගීත රූප සහ සම්මාන දෙන උළෙලක් නිසා අද සංගීතය කියන්නෙ මොකක්ද කියන ප‍්‍රශ්නය මට තියෙනවා. මට වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනවා, අධික රුධිර පීඩනය නිසා වැඩිය කේන්ති ගන්න එපා කියලා. ඒ හින්දා මං ඉල්ලීමක් කරන්න කැමතියි මේ සම්මාන උළෙල ලබන වසරෙත් පවත්වන්නේ මේ ආකාරයෙන් නම් මට ආරාධනා කරන්න එපා කියලා..’

(සෝමරත්න දිසානායක - ටී.වී දෙරණ 2012 මියුසික් වීඩියෝ සම්මාන උළෙලේදී කළ ප‍්‍රකාශය)

‘සෝමෙ- හංගන්න බැරි දේවල් දෙකක් තියෙනවානෙ. එකක් කැස්ස. අනික?

නිරෝ- ආදරය..

සෝමෙ- ඒක ඉතිං හංගන්න බෑනේ..?

නිරෝ- මං කැමතියි ඒක හංගන්න බැරිකමට. සෝමෙ අයියා ආසම දේවල් තමයි මං ලෑස්ති කළේ..?

සෝමෙ- කොහොමද දන්නෙ නෑ දැනගත්තේ? ඔයාට මාව තේරෙනවා නේද?

නිරෝ- මට ඔබව දැනෙනවා..’


(හිරු ටී.වී Niro and the Star වැඩසටහනකදී සෝමරත්න දිසානායක සහ නිරෝෂා පෙරේරා)

රටේ පුද්ගලික රූපවාහිනී නාලිකා දෙකක වැඩසටහන් දෙකක් සමග බැඳුණු, සිනමාවක් නැතැයි ඇතැමුන් හඬ නඟද්දී සිනමාවේ අයිතිකාරයෙකු ලෙස පෙනී සිටින්නට හැකියාව ලැබී ඇති සෝමරත්න දිසානායක නම් ආචාර්යවරයාගේ ඉහත ප‍්‍රකාශයන් හා අවස්ථාවක් දෙක ඉතාමත් වැදගත්ය. ඒ ඔහුගේ නවතම සිනමා පටය වන ‘සිරි පැරකුම්’ ගැන යමක් සටහන් කිරීම සඳහාය. සෝමෙට එක් පුද්ගලික රූපවාහිනී නාලිකාවට පැමිණ ’මියුසික් වීඩියෝ ’යන්නෙහි ‘වීඩියෝ’ මුළුමනින්ම අතහැර සංගීතයේ ගුණාත්මක භාවය ගැන ප‍්‍රශ්න කරමින් චණ්ඩි පාට් දැමිය හැකි තරමටම තවත් පුද්ගලික රූපවාහිනී නාලිකාවක සීනි බෝල වැඩසටහනක ‘බොළඳ බව’ මුළුමනින්ම අතහැර නිවේදිකාව සමග හුරතල් විය හැකිය. ඇයට සාරි ගෙන යා හැකිය. කෝපි සාදා දිය හැකිය. තවත් බොහෝ දේ කිව හැකිය. කළ හැකිය. නාලිකා දෙකෙහිම ප‍්‍රාග්ධන හිමිකාරිත්වය පෙනී සිටින්නේ ස්වකීය ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කර ගැනීමට යන වග සහමුලින්ම අමතක කළ හැකිය. ඒ අයුරින්ම මේ යුගයේ සෝමෙලාද ඇතුළත්ව ඊනියා සත් ගුණවත් ලාංකිකයාගේ සැබෑ ස්වරූපය හා සමාජ සබඳතා ‘සිරි පැරකුම්’ තුළින් මැනවින් පිළිඹිබු වන බැව් මගේ හැඟීමයි.

චිත‍්‍රපටයේ නම ‘සිරි පැරකුම්’ වුවද , එහි පැරකුම් කුමාරයෙකු නිරූපණය වුවද චිත‍්‍රපටය තුළ ආඛ්‍යානය ගොඩනැගීමේදී ඔහුගේ භූමිකාව දුරස්ථ කර ඇති බව පෙනෙයි. ඒ වෙනුවට කතාව ගලාගෙන යාම සිදුවන්නේ ප‍්‍රධාන භූමිකා දෙකක් හරහාය. පළමුවැන්න නම් සංඝයාගේ භූමිකාවයි. දෙවැන්න රෙදි නැන්දාගේ භූමිකාවයි. සංඝයා රජ පරපුරත් , පවත්නා වැඩවසම් සමාජ ක‍්‍රමයත් ආරක්ෂා කිරීමටත් එය ඉදිරියට ගෙනයාමටත් මිනිස් ඝාතන සිදුකිරීම හා ඊට උල්පන්දම්දීම ඇතුළු කැත වැඩ ප‍්‍රසිද්ධියේ සිදුකරයි. රෙදි නැන්දා රජ රහස් ආරක්ෂා කිරීම සඳහා මුලදී බලහත්කාරයෙන්ද පසුව කැමත්තෙන්ද ගොළුවෙයි. වෙනත් ලෙසකින් කිවහොත් රෙදි නැන්දාගේ භූමිකාව ලාංකේය තත්කාලීන දේශපාලනයේ ‘හෙජමොනික ස්වරූපය’ ට කදිම නිදසුනකි. ඒ අනුව චීවරය හා සුරය යනු පශ්චාත් යුද ලාංකේය සමාජයේ රාජ්‍ය දෘෂ්ටිවාදයේ සංකේත දෙකකි. ඒ අරුතින් සෝමෙගේ මැදිහත්වීම විප්ලවීය වෙයි. හෙතෙම තමාවද කපා කොටා ශරීරය පේ‍්‍රක්ෂකයාට නිරාවරණය කරමින් කටුක ඇත්තක් හෙළිකරයි. බොහෝ දෙනකුට මග හැරී යන්නේ ‘සිරි පැරකුම්’ තුළින් නොකියන ඇත්තයි. රූප රාමු අතර නොකියවෙන කතාවයි. බලය ගමන් කරන්නේ තුවක්කු භටය තුළින් යයි මා ඕ සේතුං කියන විටත් , මේ යුගයේ බලය ගමන් කරන්නේ ස්ත‍්‍රී යෝනි මාර්ගය තුළින් යයි අප විශ්වාස කරන විටත් , මේ මොහොතේ ලාංකේය සුවිශේෂත්වය නම් හුදී ජනයා ගොළු කිරීමේ සුරය පැළඳවීමට හා තමාට රිසි මොහොතේ එය ගලවා දැමීමේ අයිතිය හා හැකියාව ඇත්තේ රජුටය. එසේත් නැතිනම් රාජ පුරුෂයෙකුටය. ‘සිරි පැරකුම්’ වලට අදාළව නම් පතිරාජ සෙනෙවියාටය. අප ප‍්‍රශ්න නොකොට සෙලියුලොයිඞ් රූප වලට ආශක්ත වන තරමටම එකී යථාර්ථය අපගේ සම් , මස් ලේ නහර කිඳා බැස තිබේ.



යුරෝපයේදී මධ්‍යතන යුගයෙන් පසු රාජ්‍යයෙන් ආගම(පල්ලිය) වෙන් කෙරුණි.(මුළුමනින්ම නොවේ.) වෙනත් ලෙසකින් කිවහොත් ගැටුම් කලකෝලාහල තොග ගණනාවකට පසුව ආගම පුද්ගලික කාරණයක් හා දේශපාලනයෙන් සාපේක්ෂ ස්වාධීනත්වයක් අත්පත් කරගත යුතු බව සමාජීය පිළිගැනීම විය. මේ අනුව රාජ්‍ය හා ආගම අතර පෙර පැවති සම්බන්ධය වෙනුවට නව සම්බන්ධයක් හෙවත් නූතන රාජ්‍යයට අනුරූපව ආගමේ හැඩය වෙනස්වීමක් සිදුවිය. එහෙත් ලංකාවේ එහෙව් සමාජ සංසිද්ධියක් සිදුනොවුණි. දෙවනපෑතිස් රජ යුගයේ මහින්දාගමනය සිදුවීමෙන් පසු එනම් මහාවංශ කතුවරයා පවසන පරිදි මිහිදු මාහිමි වැඩමවීමෙන් සිව් වන දිනයේදී මහ මෙව්නාවේ මහා විහාර සීමාව ලකුණු කෙරෙයි. මඟුල් ඇතාගේ රන් නගුලක් බැඳ කරන ලද්දේ යයි කියනු ලබන එකී ක‍්‍රියාදාමයේදී මහා විහාර සීමාවට රජ මාළිගයත් ඇතුළත් කරන්නැයි රජු විසින් ඉල්ලීමක් කරනු ලබයි. ඒ අනුව එසේ කළ බව මහාවංශ කතුවරයා උජාරුවෙන් පෙන්වාදෙයි. වෙනත් අයුරකින් උපුටා දැක්වුවහොත් භික්ෂුවගේ කෝටියක් සංවර ශීලයට රාජ්‍ය පාලනය බද්ධවීම ඒ අයුරින් සිදුවිය. එතැන් සිට අද දක්වාම ලංකාවේ පාලනය හා බුද්ධාගම ගසට පොත්ත මෙන් බැ`දී පවතියි. මේ හේතුවෙන් ආගමේ නාමයෙන් දේශපාලනය කිරීමටත් , දේශපාලනයේ නාමයෙන් ඕනෑම ජඩ, පාහර වැඩක් කිරීමටත් වත්මන් භික්ෂුවට හැකියාව හා රාජ්‍ය ආරක්ෂාව ලැබී ඇත.

එසේම රාජ්‍ය අනුග‍්‍රහය නිසාම ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් ලාංකිකයා දොහොත් මුදුන් තබා කියවන සිද්ධාර්ථ කුමාරයාගේ අභිමානවත් කතා පුවත ‘ ශ‍්‍රී සිද්ධාර්ථ ගෞතම’ නම් රූපාවලියක් මගින් නපුංසකයෙකුගේ කතා පුවතක් බවට කිච කර දැමීම පිළිබඳ සමාජයෙන් විරෝධයක් එල්ල නොවෙයි. සංඝයා වහන්සේලා ලාංකේය ඉතිහාසය පුරාම ආගමට මුවාවී කරන අසික්කිත වැඩ බුදුන් අනුදැන වදාළ ධර්මයට හා විනයට කෙතරම් පටහැණි වුවද ‘සිරි පැරකුම්’ මගින් එය අපූර්වත්වයෙන් යුතුව නිරූපණය කරයි. එවිට පිටපත් 35 ක් වෙනුවට, අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත්වීමේ හා නීතිමය ක‍්‍රියාදාමය කුමක් වුවත් පිටපත් 55 ක් ප‍්‍රදර්ශනය කිරීමට ඉඩ ප‍්‍රස්ථාව සැලසීමට තරම් සර්වබලධාරියා මැදිහත්වී අතදෙයි.

‘සිරි පැරකුම් ’ චිත‍්‍රපටයට පාදක කරගෙන ඇත්තේ දෙවන පරාක‍්‍රම බාහුගේ ළමා කාලයේ සිට ඔහු රාජාභිෂේක ලැබීම දක්වා වන කතා ප‍්‍රවෘත්තියකි.3 වන විජයබාහුගේ පුතෙකු වන දෙවන පරාක‍්‍රම බාහු ගේ ළමා කාලය මෙන්ම ඔහුගේ පියා වන 3 වන විජයබාහුගේ මූලාරම්භය ගැනද තොරතුරු ඓතිහාසික මූලාශ‍්‍රවල දැක්වෙන්නේ මඳ වශයෙනි. චිත‍්‍රපටයට අනුව පැරකුම් කුමරුට රජ කම නොදී එය රජුගේ වෙනත් විවාහයක දරුවෙකු වන වත්හිමි කුමාරයාට ලබාදෙන්නට අග බිසව විසින් කුමන්ත‍්‍රණය කිරීම නිසා කුමරුගේ ආරක්ෂාව වෙනුවෙන් පතිරාජ නම් සෙනෙවියකු විසින් එකී කුමාරයා රජ වාසලේ රෙදි නැන්දා අත ගම්මානයකට පිටත් කර යවයි. ඉන්පසු ගම් ප‍්‍රධානියෙකුගේ නිවසේ හෙතමෙ ඇතිදැඩි වෙයි. රෙදි නැන්දාට රජ වාසල තහනම් කිරීමෙන් ඇගේ රැකියාව අහිමි කරවන අතර කතා කිරීමේ අයිතිය නැති කරමින් සුරයක් පළන්දයි. කුමාරයා තරුණ වියට එළඹෙද්දී හැදුණු වැඩුණු නිවසේම බාල තරුණියක සමග පෙමින් බැඳෙන අතර ගොවිතැන් බතක් කරගෙන සිටිද්දී මඟුල් ඇතා පැමිණ දණ නැමීමෙන් හදිසියේම සිංහාසනාරූඪ වීමේ භාග්‍යය ලැබෙයි. මීට සමාන්තරව රජ මාළිගය පැත්තේ ද සිදුවීම් කිහිපයක් වෙයි. විජයබාහු රජුගේ අග මෙහෙසිය කරන ලද කුමන්ත‍්‍රණයේ ප‍්‍රතිඵලයක් ලෙස ඇය පමණක් ඉතිරිවී අන්ත:පුරයේ සියලුම ස්ත‍්‍රීන් ගල් පර්වතයෙන් බිමට පැන සියදිවි නසා ගනියි. වෙනත් ලෙසකින් කිවහොත් අග මෙහෙසිය විසින් ඔවුන් සියලු දෙනා ඝාතනය කරනු ලබති. පුරෝහිතටද අහම්බයකින් පතිරාජ සෙනෙවියාගේ තල්ලුවකින් ජීවිතක්ෂයට පත්වීමට සිදුවෙයි. විජයබාහු රජු ද ජීවිතක්ෂයට පත්වීමෙන් පසු වත්හිමි කුමාරයා රජු බවට පත්වෙයි. එහෙත් සිංහල බෞද්ධ නොවීම නිසා සංඝරක්ඛිත හිමියන් ප‍්‍රමුඛ මහා සංඝයාගේ ආශිර්වාදය ඔහුටවත්, ඔහුගේ මෑණියන්ටවත් නොලැබෙයි. මේ හේතුවෙන් මහා සංඝයාගේ අනුදැනුම මත කරන පිරිත් සජ්ජායනාවක් මැද්දේ රජු මරාදැමීමත් ඉන් අනතුරුව දෙවන පැරකුම් රාජාභිෂේක කිරීමත් සිදුවෙයි. ඓතිහාසික මූලාශ‍්‍ර වලට අනුව මෙම බොහෝ කරුණු කාරණා වැරදිය.

ගැමි තරුණියකගේ කැමැත්ත ගෙන ගම ගෙදරක තරුණයෙකු ලෙස හැදී වැඞීම සිහිගන්වන්නේ කොත්මලේ ප‍්‍රදේශයේ අප‍්‍රකටව විසූ බව කියන දුටුගැමුණු ටයි. මෙහි මංගල හස්ති රාජයා ‘කණ්ඩුල’ වීමත් අහම්බයක් නොවන්නේ ඒ නිසාය. චෝල, කේරළ, හා පාණ්ඩ්‍ය දේශ කුමාරිකාවන් අන්ත:පුරයට කැන්දීම හා ඇතැම්විට අග මෙහෙසිය බවට පත්කර ගැනීම පිළිබඳ ඓතිහාසික මූලාශ‍්‍රවල කරුණු දැක්වෙන්නේ 1 වන විජයබාහු ට අදාළව මිස දෙවන පැරකුම්ගේ පියා වන 3 වන විජයබාහුට අදාළව නොවේ. ලංකාවේ රජ කතා බොහොමයක් එක සමානවීම නිසාත්, රජ වරුන් රජකම් කරනවාට වැඩියෙන් කාලයක් ගත කර ඇත්තේ හැංගී සිටීම නිසාත් ගමෙන් ගමට ඇති රජ මහා විහාර සංඛ්‍යාව වැඩි නිසාත් එය එසේ වන්නට ඇතැයි උපකල්පනය කිරීම නිවැරදි විය හැකිය. අනෙක් අතට එය එසේ ද නොවිය හැකිය. එවිට චිත‍්‍රපටයේ මූලාරම්භයේම තිරයේ දිස්වන පරිදි ‘මෙය ඓතිහාසික වාර්තා ගත කරුණු නොව හුදු මන:කල්පිත චරිත නිරූපණයක් සහිත සිනමා නිර්මාණයක් ’ බව අඟවන වැකියට මුවා වී අධ්‍යක්ෂවරයාට අත පිසදා ගත හැකිය. ‘චිත‍්‍රපටයක තියෙන්නේ ඇත්ත නෙවෙයි. ඒක නිර්මාණයක්. රූපයෙන් ගොතන කතාවක්’ යයි ඉතිහාසය විකෘති කරන ලදැයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දැක්විය හැකිය. එහෙත් ගැටලුව වන්නේ එය නොවේ. එය සෑම චිත‍්‍රපටයක් සම්බන්ධයෙන්ම අදාළ නොවීමයි. නිදසුනක් ලෙස ‘චිත‍්‍රපටයක් යනු සත්‍යයක් නොව ප‍්‍රබන්ධයක්’ යන්න සෝමෙලාට අදාළ වන විට එය සංජීව පුෂ්පකුමාරට අදාළ නොවෙයි. ඔහුගේ ‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටය හුදු නිර්මාණයක් ලෙස භාර ගැනීමට බලධාරීන් අකමැතිය. එකී චිත‍්‍රපටයේ පමණක් ‘අසීමිත සත්‍යයක්’ අන්තර්ගත වේ යැයි බියට පත්වන ඔවුහු වහ වහා ඊට තහංචි පනවති.

‘සිරි පැරකුම්’ චිත‍්‍රපටයේ නීතිය හා පිළිවෙළට පිටින් මිනිස් ඝාතන සිදුකරන විට, බොරු කියන විට, කුමන්ත‍්‍රණ කරන විට, සිංහල-බෞද්ධ නොවන අයට වෛරීය භාෂාවෙන් අමතන විට, රහසේ සිරි යහන් ගැබට ගෙන්වා මත් පැන් පොවන විට සදාචාරයට සංස්කෘතියට අවැඩක් වන බව හෝ දරුවන් නොමග යාවි හෝ යයි කිසිවෙකුත් බියට පත් වන බවක් නොපෙනෙයි. එහෙත් ‘අක්ෂරය’ තුළ මහේස්ත‍්‍රාත්වරියක මුරකරුවෙකු සමග ලිංගිකව එක්වීම ,නීතියේ හා පිළිවෙළ බිඳ වැටීම, මව හා දරුවා එකම ටබ් එකක ස්නානය කිරීම පමණක් සදාචාරයට , සංස්කෘතියට මරු පහරක් ලෙස පිළිගනියි. ඒ නිසාම ‘සිරි පැරකුම්’ රාජ අනුග‍්‍රයෙන් නීතියට හා පිළිවෙළට පිටින් සිනමා ශාලා අරක්ගන්නා විට ‘අක්ෂරය’ කළ හඳගමට එය කිසිදාක ප‍්‍රදර්ශනය කිරීමට නොහැකි වන අතර ‘විදූ’දක්වා පල්ලම් බැසීමට සිදුවෙයි. මේ අතර සංජීව පුෂ්පකුමාර පමණක් නොව ඔහුගේ ‘ඉගිල්ලෙන මාළුවෝ ’ චිත‍්‍රපටයට කිසිදු සම්බන්ධයක් නැති ගාමිණී වියන්ගොඩට පවා දේශද්‍රෝහීන් බවට පත්වෙන්නට සිදුවෙයි.

ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සිනමාශාලාවේ පැවති නිලේන්ද්‍ර දේශප‍්‍රියගේ ‘තණ්හා රතී රඟා ’ නම් චිත‍්‍රපටයේ මාධ්‍ය දර්ශනය දා වේදිකාවට නැගුණු එහි සම නිෂ්පාදකයින්ගෙන් කෙනකු වන සුනිල් ටී. ප‍්‍රනාන්දු මහතා මෙසේ කීවේය.

‘මට රේණුකා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. චිත‍්‍රපට වෙළඳ පොළ ගැන ඇයට හොඳ දැනීමක් තියෙනවා. ඒ හින්දා මේ චිත‍්‍රපටය කොහොම හරි ලාභ උපයන තැනට එයා තල්ලු කරාවි..’



ඒ රේණුකා නම් ‘තණ්හා රතී රඟා ’ චිත‍්‍රපටයේ විධායක නිෂ්පාදිකා රේණුකා බාලසූරියයි. ‘සිරි පැරකුම් ’ චිත‍්‍රපටයේ නිෂ්පාදිකාවයි. ‘සිරි පැරකුම් ’ අධ්‍යක්ෂවරයාගේ ආදරණීය දෙවෙනි බිරිඳයි. සුනිල් ටී. පවසන පරිදිම රේණුකා - සෝමෙ යුවළට චිත‍්‍රපට කලාව කෙසේ වෙතත් ‘වෙළඳ පොළ’ ගැන මනා වැටහීමක් ඇති බව නම් සැබෑය. මේ මොහොතේ ඉල්ලුමට සරිලන සැපයුම ලහි ලහියේ ලබාදීමට ඔවුන්ට ඇති හැකියාව ගැන කිසිවෙකුටත් විවාදයක් තිබිය නොහැකිය. යුද සැමරුම් සිනමාව නිමාවූ වග සනිටුහන් කරනු ලැබූවේ දොස්තර කපිල සූරියආරච්චිගේ ‘ප‍්‍රති රූ’ තුළිනි. එහෙත් ඓතිහාසික කතා රැගත් ‘වෙසක් නාට්‍යය සිනමාව’ තවදුරටත් මාර්කට් කළ හැකි බව ‘කුස පබා', 'විජය - කුවේණි', 'ශ‍්‍රී සිද්ධාර්ථ ගෞතම' ආදිය පසක් කරනු ලබයි. ඒ නිසාම දොස්තරට යුද්ධයෙන් පසු යුද සැමරුම් මානසිකත්වය රොමැන්තිකකරණය කිරීමේ කටයුත්ත නිසි ලෙස කර ගැනීමට නොහැකි වුවද රේණුකා එය මැනවින් අවබෝධ කරගෙන සිටියි. ඒ නිසාම තුවක්කු හෝ නවීන මල්ටි බැරල් සංදර්ශන වෙනුවට චීවරය හා සුරය මේ මොහොතේ රාජ්‍ය දෘෂ්ටිවාදය තහවුරු කරනු පිණිස කෙතරම් කාර්ය භාර්යයක් ඉටුකරන්නේද යන්න ඉවෙන් මෙන් දනියි.

සම්භාව්‍ය මාක්ස්වාදී අදහසට අනුව රාජ්‍ය දෘෂ්ටිවාදී උපකරණ ලෙස පොලීසිය , බන්ධනාගාර ක‍්‍රියාත්මක වන විට පශ්චාත් මාක්ස්වාදී ග‍්‍රාම්ස්චියානු මතවාදයට අනුව ආගම, පවුල විසින් මුලදී ආරක්ෂක අංශ විසින් සිදුකළ මර්දනය මැනවින් ඉටුකරයි. කැමැත්තෙන් යටත්වීම හෙවත් හෙජමොනික තත්ත්වයක් මෙහිලා දක්නට ලැබෙයි. සංඝරත්නය හා රාජ්‍ය පාලන තන්ත‍්‍රය එකිනෙක මත අතපිහිතවීම දෙවන පෑතිස් යුගයේ සිට දක්නට ලැබුණද පශ්චාත් යුද ශ‍්‍රී ලංකාව තුළ එහි කාර්ය භාර්යය වෙනස් මුහුණුවරක් ගෙන තිබේ. එනම් යුද සමය තුළ යුද්ධයට ආශිර්වාද කිරීමේ කාර්යය මැනවින් ඉටු කළ සංඝරත්නය යුද්ධයෙන් පසුව ‘පසමිතුරුතාවයකින් ’ තොරව දේශපාලනයක් පැවතිය නොහැකි නිසාත්, පාලන තන්ත‍්‍රය මෙහෙයවිය නොහැකි නිසාත් රාජ්‍යයට සතුරෙකු නිර්මාණය කරදීමේ වගකීම භාරගෙන තිබේ. ඒ නිසාම පෙරදී එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදියා සිටි තැනට අද වන විට ‘මුස්ලිම් ජාතිකයා’ ආදේශ කරදීමේ භාරදූර කාර්යය බොදුබල සේනා, රාවණා බලය, සිහළ රාවය වැනි සංඝයා පෙරටු කරගත් සංවිධාන විසින් නොපිරිහෙළා ඉටුකරමින් සිටිති. ඒ නිසාම පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමි මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වලට පහරදෙන විට, ජාතීන් අතර භේද භින්නතා ඇති වන ස්වරූපයේ වෛරීය භාෂාවකින් කතා කරන විට, ‘සිරි පැරකුම්’ චිත‍්‍රපටය තුළ සංඝරක්ඛිත හිමි මනුෂ්‍ය ඝාතනයන්ට උඩගෙඩිදෙයි. වෛරය වපුරයි. අන්‍ය ජාතිකයින් , අන්‍යාගමිකයන් පහත් කොට සලකයි. ඇත්ත සමාජ වටපිටාව තුළ කතා කිරීමේ නිදහස, ජීවත්වීමේ අයිතිය , ඉඩකඩම්වල අයිතිය (කොළඹ - උතුර) පැහැර ගනිමින් සිටිද්දී සකල ජනමාධ්‍යය හා කතා කළ යුතු පිරිස් වලට මුඛ වාඩම් දමා තිබේ. එය මූලාරම්භයේදී තුවක්කුවේ හෝ අසිපතේ බලයෙන් විය හැකිය. ඊළඟ අදියරේදී කැමැත්තෙන්ම සමාජයක් ලෙස ‘නිහඬවීම ’ තෝරාගෙන තිබේ. එය ‘සිරි පැරකුම්’ හි රෙදි නැන්දා මුලදී අසිපතේ බලයෙන් බිය ගන්වා බලහත්කාරයෙන් , මර්දනයෙන් සුරය පැළඳූ පසු කැමැත්තෙන් එය දරාගෙන සිටින්නාක් මෙනි. දෙවන අදියරේදී නිහඬවීම කැමැත්තෙන් භාරගෙන ඇත.

කතා කිරීම ‘දේශද්‍රෝහී’ වීමට හේතුවක් බැවින් ‘ගොළුවීම’ දේශපේ‍්‍රමී ලක්ෂණයක් ලෙස සමාජගත කෙරී තිබේ. නිදසුනක් ලෙස ‘ඉගිල්ලෙන මාළුවෝ’ සමග ප‍්‍රංශ චිත‍්‍රපට උළෙල අත්හිටුවන විට විමුක්ති ජයසුන්දර සිනමා උළෙලෙන් ‘සුළඟ එනු පිණිස’ සංවිධායකයින් විසින්ම ප‍්‍රදර්ශනය නොකිරීමට තීරණය කිරීම වැනිය.

මේ අර්ථයෙන් විටෙකදී චිත‍්‍රපටය හා සමාජ ජීවිතය අතර සීමාව බොඳව යන නිසාම එය ‘චිත‍්‍රපටයක්’ ලෙස නිර්මාණාත්මක කිරීම, එය කළුවර කාමරයක දකින ෆැන්ටසියක් කිරීමට අධ්‍යක්ෂවරයා උනන්දුවක් දක්වා නැත. රට රැකුණේ රණ විරුවන් නිසා යයි පෙළපාලි ගිය උදවියම ‘අම්බරුවනේ රට රැකුනේ තොපි හින්දා’ කියන විට කාටවත් හිනා නොයන්නේ මිනිස් ජීවත වලට වඩා ගවයන්ගේ ජීවිත වටිනාකමින් වැඩි බව ඇතැම් සංඝයා වහන්සේලාම පසක් කර දී ඇති නිසාය. අනෙක් අතට චිත‍්‍රපටය තුළ යුද්ධය යනු අළුමිනියම් කැබලි වනන බාලාංශය පංතියේ සටන් ජවනිකාවක් කර ඇත්තේ ත් යුද්ධය මේ මොහොතේ වටිනාකමින් අඩු නිසාය. 3 ඞී තාක්ෂණය මෙතරම් ජනප‍්‍රිය යුගයක පවා ග‍්‍රැපික් නිර්මාණයකින් හෝ තාක්ෂණික දුර්වලතා වසා නොදමන්නේ නොහැකියාව හෝ නොදැනුම නිසා නොව තවත් රුපියල් 1000 ක් වත් ඉතිරි කරගත යුතු නිසාමය. වනයේ කුළු හරක් යයි පේ‍්‍රක්ෂකයා ගොනාට අන්දමින් කීකරු මී හරක් පැටව් දක්කන විටත්, එක විධානයකින් හරක් ටික සී සෑම සඳහා කුඹුරට බසින විටත්, බලා සිටීමෙන් පමණක් ලද දැනුමෙන් තත්පර කීපයක් තුළ කුමරාට උදැල්ලක් තනා නිම කිරීමට හැකිවීමත් කාටවත් ප‍්‍රශ්නයක් නොවෙන්නේ මහ පාර ඊටත් වඩා විහිළු සපයන නිසාය. කළුන්දෑව ගමේ හාමුදුරුවෝ සිංහල භාෂාව ගැන ජාතිය ගැන ආඩම්බර කතා කියමින් වැලි පිල්ලෑවේ ‘හෙළ දිව ’ යනුවෙන් ලියද්දී ‘ල’ යන්න ලෙස වරදවා ලිවීමද ප‍්‍රශන්යක් නොවන්නේ ඒ නිසාය. රාජ ආභරණ, සළු පිළි, උපකරණ, ඇළුමිනියම් හා ලී , සෘජු ෆෝම් කැබලි විසින් පෙන්වන්නේ ඉතිහාසයේ බංකොළොත්කම පමණක් නොව රේණුකා - සෝමෙ යුවළගේ ව්‍යාපාරික ඥානය විසින් අයවැය පිරිමසා ගැනීම සඳහා යෙදූ උප්පර වැට්ටියමය.

‘දැවැන්ත නිෂ්පාදනයක්’ ලෙස සෑම මොහොතකම සංඛ්‍යාත්මකව ඉලක්කම් ගණනාවක් ඉදිරිපත් කළද පාළුවට ගිය රජ මාළිගය, ගමේ ගොඩෙන් අහුලාගත් අන්ත:පුරය පවා පෙන්වා දෙන්නේ නිර්මාණයට නිර්මාණාත්මක භාවය ඔසවා තැබීමට වියදම් නොකිරීමේ මසුරු කම විනා අන් යමක් නොවේ. එහෙත් දින 17 ක් වැනි කෙටි කාලයක් තුළ කෝටි පහ හමාරක ආදායමක් ලැබීමටත්, ආදායම් වාර්තා බිඳ දමමින් තාමත් පිම්මේ දිවීමටත් හේතුවී ඇත්තේ කුමක්ද ? මේ මොහොතේ ලාංකිකයාගේ ඇත්ත ජීවිතයේ දෙබිඩි පරස්පර විරෝධී භාවිතයන් අදහස් ලෝකය තුළ මෙන්ම ව්‍යවහාරික ජීවිතය තුළද පැසවන යථාර්ථය චිත‍්‍රපටය වීමයි. කෙටියෙන්ම කිවහොත් චිත‍්‍රපටය හා ඇත්ත ජීවිතය අතර පරතරය මැකී යාමයි. රාජාභරණ පැළඳ සිටින්නෝද,එසේ පැළඳ සිටින්නන්ට එකී රාජාභාරණ ලබා දුන්නවුන්ද, උන්ගෙන් බැට කන හුදී ජනයාද අපමය.

අපට ටෙලි නාට්‍යයවල මත්පැන් බොන දර්ශනවලදී කොටු කොටු බැලීමට හෝ රජයේ අවවාද දැකිය හැකිය. රාජ මන්දිරයේ නිදහසේ මත් පැන් බීමට හැකි අතර රජ බිසව රහසින් පුරෝහිතයන්ට මත් පැන් පොවන දර්ශන වලදී කොටු දැකිය නොහැකිය. ආගමික සහජීවනය පිළිබ`ද ධර්ම දේශනා පවත්වන අතරේ මුස්ලිම් පල්ලිවලට පහරදිය හැකිවේ. විශාඛා විද්‍යලයේ දැරියන්ගේ පා ගමනේදී නට නටා යාමෙන් සිසුවියන්ගේ විනය පිරිහීම ගැන කතා කරමින් ධර්ම පා ගමන් යමින් රජයට බදුගෙවන බලපත‍්‍ර ලාභී මස් කඩවලට පහරදිය හැකිය. පිරිත් සජ්ජායනා අතරේ මිනිසුන් ඝාතනය කළ හැකිය. මිනිසුන් මරණ විට පිරිත් නූල් ගැට ගසමින් , බෝධි පූජා තබා ආශිර්වාද කළ හැකිවා සේම හරකුන් මරන විට ඊට විරෝධය පා සියදිවි නසාගත හැකිය. ආර්ථික ප‍්‍රශ්න හමුවේ මිනිසුන් සියදිවි නසාගන්නා විට මෝඩයින් වන අතර පෙළඹවීම හමුවේ හරකුන් වෙනුවෙන් සියදිවි නසා ගන්නා විට ‘ආත්ම පූජාවක් ’ සේම සිදුකළ තැනැත්තාට වීරයෙකු විය හැකිය. සිදුවීම වීඩියෝ ගත කළ මාධ්‍යවේදියා නරුමයෙකු වන අතර අසල බලා සිටි සියලුම දෙනාට උක්කුං බබාලා විය හැකිය. චීවරයක් දරාගෙන බීමත්ව රිය පදවා මිනිසුන් යට කළ හැකි අතර නඩු වාර්තාද සමගින් ඒ පිළිබඳ ප‍්‍රශ්නයක් ඇසූ විට එය අන්‍යාගමික කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් බව පෙන්වා දිය හැකිය. ගුරුවරියක දණ ගැස්වීමේ වරදට මන්ත‍්‍රීවරයෙකු ඉල්ලා අස්වෙන අතරේම ඊළඟ මොහොතේ නාම යෝජනා දී යළි ඡන්දයෙන් තේරී පත්විය හැකිය. සමෘද්ධි නිලධාරීන් හිතු මනාපෙට ගැස් බැඳිය හැකි අතරම සුළු මොහොතකින් තමා ම ගස් බැඳගත්තේ යයි කිවහැකිය. මිනිසුන් මහ දවාලේ වෙඩි තබා ඝාතනය කිරීමට හැකි අතර පසුව ‘මට මතක නෑ’ යයි අමතක කළ හැකිය. ලෝකයේ ප‍්‍රමුඛ චිත‍්‍රපට උළෙලවල් ලැයිස්තුවේ මුල් පෙළ 10 ටවත් නැති නිව්යෝර්ක් සිටි චිත‍්‍රපට උළෙලේ හොඳම නළුවා සම්මානය ලබන විට උපහාර උළෙලවල්, ත්‍යාග ඇගයීම් ප‍්‍රශංසා කෙලවරක් නැති වන විට ප‍්‍රමුඛ චිත‍්‍රපට උළෙලවල් කිහිපයකින් ඇගයීමට ලක්වුණු චිත‍්‍රපටකරුවා ද්‍රෝහියෙක් කළ හැකිය. අමෙරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව තානාපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරන අතරම අමෙරිකාවේ සම්මානයක් දිනූ රංගන ශිල්පියෙකුට නිවසක් හිමිකරදීමටත් ඔහුත් සමග ඡායාරූපයකට පෙනී සිටීමටත් හැකිය. මහා පරිමාණ යකඩ වංචාවකට අධිකරණයෙන් වරෙන්තු ලැබූ සැකකරුවෙකු වන අතරම කිසිදාක නොදුටු චිත‍්‍රපටයක් තහනම් කරන ලෙස ඉල්ලා පොලිස් ආරක්ෂාව මැද ප‍්‍රංශ තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ හැකිය. දෙරණට ඇවිත් චණ්ඩි පාට් දැමිය හැකි අතර හිරු ටී.වී එකේ නාඹර කෙල්ලන් සමග පෙම් බස් දෙඩිය හැකිය. සිනමාවේ උන්නතිය වෙනුවෙන් පෙනී සිටින අතරම හොර පාරෙන් චිත‍්‍රපට පෝළිමෙන් පැන්නීමටත් , සිනමාකරුවන්ට කෙනෙහිළි කම් කොට තමන්ගේ ගොඩවැඩිකර ගැනීම සඳහා වැඩි සිනමා ශාලා ප‍්‍රමාණයක් ඩැහැගත හැකිය. නැව් නොඑන වරායවල් , ගුවන් යානා නැති ගුවන් තොටුපළවල් , ක‍්‍රීඩකයින් නැති හරක් ලගින ජාත්‍යන්තර ක‍්‍රීඩා පිටි දකින අතරේම උගතුන්ට රූපවාහිනී කැමරා ඉදිරිපිට ‘ආඩම්බරයි හසන්ත ’ කියා කට පුරා කිව හැකිය. බැංකුවල මුදල් ගසා කෑ හැකි අතර රටට හෙළිදරව් වූ පසු සභාපතිවරයා පමණක් නොව බිරිඳ ද රැකියාවෙන් දොට්ට දමා ගෙදර යවා සුදනා විය හැකිය. ‘මං රාජ කුමාරයෙක් නෙවෙයි ගමේ කොල්ලෙක් ’ කියා ගම විකුණා කෑ හැකි අතරම හීනමානයක් ඇතිවුණු මොහොතකදී පමණක් ජැක්සන් වැනි ඉතිහාසඥයින් ලවා ශාක්‍ය වංශික රජවරුන්ට ඇති සම්බන්ධයත්, බුදුන්ට ඇති නෑ කමත් කියවා ගත හැකිය. ඉතිං ‘සිරි පැරකුම්’ යනු මෙලෙස සිංහයන් සමග දඩයමේ යන ගමන් හාවුන් සමග සෙල්ලම් කිරීමේ වික‍්‍රමයම විනා අන් යමක් නොවේ.

[Images- cinema.lk]

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails