Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



[එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දණගැස්වීමට සමත් වූ කම්කරු අරගලය- 1953 අගෝස්තු හර්තාලයට මේ වනවිට වසර 60 ක් සපිරෙයි. කම්කරු ජිවිත 09ක් බිලිගත් මේ අරගලයට වසර 43 ක් සපිරෙන විට ඒ පිලිබදව සිය මතකය අවදි කරමින්, හර්තාලයේ ක්‍රියාකාරී සටන්කාමී කම්කරුවෙකු වූ රෙජිනෝල්ඩ් මෙන්ඩිස් සහෝදරයා 1996 අගෝස්තු "හිරු" සගරාවට ලියු සටහනකි මේ. ඔහු වයස දහ අට පිරෙද්දී ලංකා සමසමාජ පක්‍ෂය තුළින් කම්කරු පංති ව්‍යාපාරයට සම්බන්ධ විය. පසුව කම්කරු සමිති දොළහකින් යුත් 'පිටකොටුව ලෝකල් සභාවේ' ප්‍රධාන ලේකම් විය. රෙජී සහෝදරයා කම්කරු සටන් ගණනාවකටම නායකත්වය දුන්නේය. 1955 ඔක්තෝම්බර් 19 වෙනිදා සිංහල-දෙමළ රාජ්‍ය භාෂා කිරීමේ යෝජනාවට මහජන සහයෝගය පළ කිරීමට කොළඹ නගර ශාලාවේදී පැවති රැස්වීමේදී ලංකා සමසමාජ පක්ෂයේ නායකයෙකු වූ කොල්වින් ආර් ද සිල්වා මහතාට ජාතිවාදී චීවරධාරියෙකු විසින් එල්ල කල අත් බෝම්බ ප්‍රහාරයකින් ඔහු ගලවා ගැනීමට ගත් උත්සාහයේ දී රෙජි සහෝදරයාට සිය වම් අත මැණික් කටුව අසලින් අහිමිවිය. 2000 ජනවාරි 19 වෙනිදා අවසන් සුසුම් හෙළන තෙක්ම රෙජිනෝල්ඩ් මෙන්ඩිස් සහෝදරයා සමාජවාදය පිලිබදව අපේක්ෂා සහගතව ඒ වෙනුවෙන් සටන් කළේය.]

1942 කාලයේ ජාතික සංගමය බිඳ වැටෙන්නට ගිය මොහොතේ එයට පණදෙන ලද්දේ ලද්දේ ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන වැනි තරුණ පිරිස් විසිනි. ඩී. එස්. සේනානායකගේ මරණින් පසු 1952 මැතිවරණ සමයේ ඩඩ්ලි සේනානායක නැවත බලයට පත් වීමට ජනතාව හමුවේ දහසක් බොරු පොරොන්දු දෙන්නට පටන්ගෙන තිබිණි. යු.එන්.පී.ය තිබෙන තාක් කල් හාල් සේරුව ශත 25 ට දෙන්නෙමැයි ද පාසල් ළමුන්ට දිවා ආහාර ද, සෞඛ්‍ය පහසුකම්, මහාමාර්ග ගමනාගමන ආදී නොයෙකුත් ක්ෂේත්‍රයන්හි වැඩි දියුණුව පිලිබදව ද පොරොන්දු ලබාදුනි.

නමුත් ධනපති පාලකයන් දුන් පොරොන්දු අනුව අතිවිශාල බහුතරයකින් පාලන බලයට පත් වුවද, වසරක් ඉක්මවෙන්නට ප්‍රථම ආණ්ඩුව සීනි මිල ශත 15 කින් ඉහළ දැමිය. ක්‍රම ක්‍රමයෙන් හාල් සලාකය කැපීය. එක සේරුවක් කපා එක සේරුවක් ශත 75 කරනු ලැබිණි. පාසල් දිවා ආහාරය කපා හැර, මුද්දර ගාස්තු ආදී සෑම පාරිභෝගික භාණ්ඩයකම මිල ඉහල දැමිය. ජනතාව දිනා තිබු සහනාධාරයන් පවා ආණ්ඩුව විසින් කප්පාදු කරන්නට පටන් ගැනිණි.

මාස කිහිපයක් ඇතුලත රට තුළ ආර්ථිකමය වශයෙන් අර්බුදයක් ඇතිවෙන බව අපේ පක්‍ෂය වූ සමසමාජ පක්‍ෂය පෙර දැක තිබුණි. එහිදී ජනතාවට එල්ලවිය හැකි පීඩනයට එරෙහිව එක්සත් ක්‍රියාමාර්ගයකට ගොනු වෙන්නට යු.එන්.පී. විරෝධී සියලු බලවේගයන්ට අපි කතා කළෙමු. පළමු වතාවේ දී කොමියුනිස්ට් පක්ෂයත්, පිලිප්ගේ කණ්ඩායමත් එක් නොවීය. නමුත් අපි "හර්තාල් කොමිටියක්" ගොඩනැගීමු. ලෙස්ලි ගුණවර්ධන, සේනක බිබිලේ, රතු විජේසිංහ , ජී.සී. පෙරේරා සහ මා (රෙජිනෝල්ඩ් මෙන්ඩිස්) එම කොමිටියේ සාමාජිකයන් වශයෙන් පත් කෙරිණි. නැවත නැවතත් අපි යු.එන්.පී. විරෝධී සියලු බලවේගයන්ට එක්සත් ක්‍රියා මාර්ගයක් සඳහා ආරාධනා කළෙමු. බණ්ඩාරනායක සහ තොන්ඩමන් හැර අනෙක් සියලු දෙනාම අප සමග යම් යම් ප්‍රමාණයන්ට එකඟ වුහ. පෙඩරල් පක්‍ෂය උතුරේදී සහයෝගය දීමේ එකඟතාවයට එළඹිණි. ඊ.ඒ. ගුණසිංහගේ කම්කරු සංගමය ද ඔවුන්ට බලය ඇති තැන් වලදී සහයෝගය දීමට එකඟවිය. මේ බලපෑම කරනු ලැබුයේ ගුණසිංහගේ දෙවැනියා ව සිටි දේවේන්ද්‍රසිංහ විසිනි. ගුණසිංහගේ උවමනාව වුයේ යු.එන්.පී.යට රිංගා ගැනීමයි. "හර්තාලයක් කරන්න පුලුවන් තරමට රට මෝරල ද, පැහිලද කියල බලන්න මට හය මාසයක කාලයක් අවශ්‍යයි" යැයි බණ්ඩාරනායක කීය. නමුත් ඔහුට රට වටේ යාමට දුන්නේ නම් අපේ රටේ ඉතිහාසය තුල "හර්තාල්" යන වචනයවත් සටහන් නොවීමට ඉඩ තිබිණ.

ජනතාව දැනුවත් කරමින් රට පුරා පවත්වනු ලැබූ රැස්වීම් මාලාවේ අවසන් රැළිය පැවැත්වුනේ ගෝල්ෆේස් පිටියේදීය. බණ්ඩාරනායකට මේ රැස්වීමේ මුලාසනය ලැබුනේ සැමී නැමැති කම්කරුවාගේ නොහික්මුණු ක්‍රියාවක් හේතුවෙනි. කම්කරුවන් විශාල පිරිසක් සමග පාර්ලිමේන්තුවට ඇතුල් වූ සැමී, බණ්ඩාරනායක පාර්ලිමේන්තු භුමියේ සිටිනු දැක බලෙන්ම ඔහුව රැස්වීම් භූමියට කැදවාගෙන ආ අතර කිසිම විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නට ඔහුට හැකි නොවිය. මේ ගැන කිසිවක් නොදැන සිටි එන්.එම්. මුලාසනය බණ්ඩාරනායකට පිරිනැමීය.

සිරිල් ද සොයිසා බස් කොම්පැණි කම්කරුවන් වර්ජනයට එක්වේ යැයි අපි බලාපොරොත්තු නොවෙමු. නමුත් ඔව්හු අගෝස්තු 11 වෙනිදා රාත්‍රී 12 සිට බස් ප්‍රවාහනය නවතා දැමුහ. සිරිල් ද සොයිසා උග්‍ර යු.එන්.පී. කාරයෙකි. නමුත් කම්කරුවන්ගේ තීන්දුව සම්බන්ධයෙන් ඔහුට කළහැකි දෙයක් නොවුයෙන් හේ නිහඬව සිටියේය. එහෙත් බස් කොම්පැනිකාරයින් කීපදෙනෙකුට අයත් බස්රථ ප්‍රවාහනයට යොදවා තිබුණි. මේ බස් පදවාගෙන විත් තිබුනේ ඒ ඒ ගම්වල මැරයන් විසිනි. ඔවුන් හමුවන්නට මමත් යු.ඩබ්ලිව්. සුමතිපාලත් ගියෙමු . පිටකොටුවේ "පුසා පියදාස" නමින් අපට හිතවත් ගණන්කාරයෙක් විය. ඔහුගේ පිරිසත් අපට හිතවත් තවත් 50 ක පමණ පිරිසක් ද අප හා එක්විය. බස් රැගෙන ආ මැරයන්ට මිනිත්තු පහක් ඇතුලත බස් රැගෙන පිටවන ලෙස අපි කීමු. ඒ සමගම මැරයෙක් පුසා පියදාසට පහරදුන් අතර අප සමග සිටි පිරිස ගල්වලින් සහ පොලු වලින් බස්වලට ගහන්න පටන්ගත්හ.


[DailyNews]

හැම තැනකම ආරංචි ලබාගැනීම සඳහා අපට රහස් දුරකථනයක් තිබිණ. එය බාරව සිටියේ ඔස්මන්ඩ් ජයරත්නය. තවත් මධ්‍යස්ථානය හතරක් තිබිණි. සෑම ප්‍රදේශයකින්ම නිරන්තරව සිද්ධීන් වාර්තාවිණි. පේරාදෙණිය විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් මහනුවරට යන තෙක් පෙළපාලි යන අතරේ දී පොලිසිය කදුළු ගෑස් ගසා තිබිණ. නමුත් ශිෂ්‍යයෝ පොලිසියට ප්‍රතිප්‍රහාර එල්ල කර පන්නා දැමීමට සමත් වූ බව වාර්තා විය. පෙඩරල් පක්‍ෂය උතුරේ රැස්වීමක් පවත්වා, කළු කොඩි දමා, පෙළපාලි ගොස් තිබිණි.

පිටකොටුවේදී පොලිසිය සමඟ මුහුණට මුහුණලා සටන් ඇතිවිය. වරාය, ගෑස් කොම්පැනිය, චාමස් ධාන්‍යාගාරය වැනි තැන්වල හමුදාව රැකවල් ලා ගෙන සිටියහ. 10.30 වන විට පොලිසිය සමඟ සටන් ඇවිලිණි. ඒ වනවිට 'පිටකොටුවේ ලෝකල්' එකෙන් වෘත්තීය සමිති දොළහක් නඩත්තු කරමින් තිබිණ. පිටකොටුවේ සිටියේ අප සුළු පිරිසකි. නොයෙකුත් තැන්වලට අනෙකුත් සියලු දෙනාම යොදවා තිබුණි. නමුත් ගම්වල සිටි තරුණ කොටස් දහවල් වනවිට පිටකොටුවට එන්න පටන් ගත්හ. ඒ අය අප හා එකතුවූ නිසා අපට සටන් කරන්නට පහසුවිය. මල්වත්ත හන්දියට එනතෙක්ම පොලිසිය අපට පහර දීගෙන ආ අතර අපි හරස් පාරවලින් විත් පොලිසියට පහර දුනිමු. කෙසේ වුවද අවසානයේදී පොලිස් බැරැක්කවලට යන තෙක්ම ඔවුනට එළව එළවා පහර දෙන්නට අප සමත් වීමු. සවස 1.30 වනතුරුම සටන් පැවතිනි. අපේ සහෝදරයෙකුට ඩඩ්ලිගේ ආණ්ඩුවේ පොලිසිය විසින් වෙඩි තබා මරා දැමුණේ මෙම සටනේදීය. මුළු රටේම අපේ සහෝදරවරු 09 දෙනෙක් මරා දමා තිබිණි. මොරටුව, එගොඩඋයන, කොරලවැල්ල ආදී ප්‍රදේශවල විශාල වශයෙන් දැඩිව සටන් ඇතිවිය. මෙහිදී වැඩියෙන් දායකවුයේ කාන්තාවන්ය. මොවුන් දුම්රිය රියදුරා ඇතුළු අය අත් අඩංගුවට ගෙන එන්ජිම ගළවා පානදුරේට යැවිය. ආණ්ඩුව කොතරම් අර්බුදයට ලක්වුණේ ද කිවහොත් කැබිනට් මණ්ඩලය රැස්වුයේ කොළඹ වරායේ නවතා තිබුණු "නිව් ෆවුන්ලන්ඩ්" නැමැති බ්‍රිතාන්‍ය යුධ නැවකය. ඩඩ්ලි සේනානායක ද අගමැති කමින් ඉල්ලා අස්විය.

හර්තාලය තුළින් අඩ වශයෙන් ජයග්‍රහණයකුත් අඩ වශයෙන් පරාජයකුත් ලබාදෙමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් විසින් ජනතාවගෙන් උදුරාගත් අයිතීන් ලබාගන්නට හැකි වුවද මහජනතාවත් දේශපාලන පක්ෂත් බලාපොරොත්තු වූ දේ ලබාගැනීමට සටන අසමත්විය. සටන පෙරට රැගෙන යන්නට හැකියාව තිබුණ ද අපේ පක්ෂ නායකයන්ට ඒ සඳහා උවමනාවක් නොතිබිණ. ඔවුන්ට උවමනා වී තිබුනේ විරෝධය පෑමක් පමණි. රාජ්‍ය බලය ලබා ගැනීමක් කරා යන්නට ඔවුන් කිසිසේත්ම උත්සුක නොවීය. බොහෝ විට තොන්ඩමන් ගේ කොංග්‍රසයේ සහයෝගය අපට ලැබුනේ නම් මෙය මීට වඩා තීරණාත්මක වන්නට ඉඩ තිබුණි. කෙසේ නමුත් "53 හර්තාලය" අනාගත ධනපති විරෝධී දේශපාලන අරගල සඳහා ජනතාවට අත්දැකීමක් වූ බවට සැක නැත. "කවදාවත් පෙරලන්න බැහැ"යි කියූ අධිරාජ්‍ය ගැති ධනපති ආණ්ඩු මහජන නැගිටීම් වලින් බිම හෙළිමට හැකි බව හර්තාලය මගින් පෙන්නුම් කළේය.

අද වනවිට හර්තාලය ඇති වී 43 වසරක් ඉක්ම ගොස් තිබේ. එදා සටන්කාමී ලෙස හර්තාලයට නායකත්වය දුන් සෑම නායකයෙක්ම අවස්ථාවාදී ලෙසින් ජනතා සටන් වලින් ඈත්ව සිටිති. මාක්ස්වාදී මග අතහැර සිය පෞද්ගලික සුඛවිහරණය සඳහා කටයුතු කරති. බර්නාඩ් ලා, බැටී ලා වැනි මිනිසුන්ගේ පරමාර්ථය වී ඇත්තේ මෙවැනි ධනපති සභාගවල රැඳී හිඳ සිය පැවැත්ම හදා ගැනීම පමණක්ම යැයි මට සිතේ.

මින් මතුවට ලංකාවේ දේශපාලන භුමිය තුළ සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂයන් කවර හෝ ගුණාත්මක දේශපාලනයක නිරත වනු ඇතැයි මම නොසිතමි. ඒ සඳහා වූ අවසාන හැකියාව ද මිය ගොසිනි. මෑතකදී ඇතිවූ විදුලි බල වර්ජනය හමුවේ මොවුන් පොදු පෙරමුණු සභාගයට දැක්වූ නින්දිත සහාය මේ බව වඩ වඩාත් තහවුරු කරන්නාවූ එක් කරුණක් පමණි. එදා දවසේ සටන්කාමී නායකත්වයක් පෙන්නුම් කළ සමසමාජ හා කොමියුනිස්ට් නායකයන් මේ සා මර්ධනකාරී, කම්කරු විරෝධී, ධනපති ආණ්ඩුවක් සමග සභාග දේශපාලනයේ ඇලිගැලී සිටීමම හර්තාලයට 43 වසරක් සපිරෙන මේ මොහොතේ අපට අත් විදින්නට සිදු වීම ඉතිහාසයේ සරදමකයි මට සිතේ.

("හිරු" සඟරාව- 1996 අගෝස්තු කලාපය)

රෙජිනෝල්ඩ් මෙන්ඩිස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails