Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පාත්‍ර වර්ගයා- චන්ද්‍ර උත්තමයා, මැණිකා, පාල, ගුණයා, භූමි, රත්නයා, සියාතු, අඟහරු, නෙප්චූන්, සූර්යා

සංගීත හඬ මතුවේ. එය මදක් අඩුවේ. සංගීත හඬ අතරින් චන්ද්‍ර උත්තමයා කථා කරයි.

චන්ද්‍ර උත්තමයා- මාගේ මිත්‍රවරුනි, මට වැටහෙනවා මේ මිහිපිට ඔහෙලට තියෙන සියලු දුක් දොම්නස්, තුන්සිය හැටපස් දවසෙ මහපොළව එක්කලා හැප්පෙන ඔහෙලගෙ දුක තේරෙන්නෙ ඒ පොළවෙම ඒ දුකත් එක්කලා උපන් කෙනෙකුට විතරයි. මිත්‍රවරුණි කල්ප ගානක් පුරා පවතින ඔය ප්‍රශ්නවලට කවදාවත්ම මේ මිහිපිට පිළිතුරක් පිළිසරණක් නෑ.

මැණිකා- නෑ, එහෙමනම් අපි කොහොමද ඉස්සරහට ජීවත්වෙන්නේ.

චන්ද්‍ර උත්තමයා- මිත්‍රවරුනි ඉදිරි තත්වය බොහොම භයානකයි. දැනට තියෙන තත්වයේ බියමුසුකම ඔබලට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේනෑනේ. දේශපාල-න, ආර්ථීක, සමාජ, සංස්කෘතික, අධ්‍යාපන හැම ක්ෂේත්‍රයක්ම දවසින් දවස බල්ලට යනවා. (දුකින්) මටත් දරාගන්න බෑ. මටත් විඳදරාගන්න බෑ මේ ඛේදනීය ස්වභාවය. ඔව් මිත්‍රවරුනි, ඔබ සූදානම් විය යුතුයි. මේ අභාග්‍යසම්පන්න තුච්ඡ ක්‍රමයෙන් මිදෙන්න. ඔබ පෙළගැසිය යුතුයි.

ගුණයා- (හඬින්) අපි සූදානම්, අපි සූදානම් ඕනම දේකට අපි සූදානම්.

චන්ද්‍ර උත්තමයා- කරන්න තියෙන්නෙ මෙච්චරයි.

පාල- මොකක්ද?

චන්ද්‍ර උත්තමයා- හඳට යන එක.

මැණිකා- මොනවා හඳට යන්න, හඳට යන්න.

චන්ද්‍ර උත්තමයා- ඔව් හඳ නොහොත් චන්ද්‍රයා වෙත සංක්‍රමණය වෙන එක.

ගුණයා- මොනවද ඔහේ මේ කියන්නෙ, ඕවා මේ කපේට කරන්න පුළුවන් දේවල්ද?

චන්ද්‍ර උත්තමයා- කරන්න බැරි දෙයක් අපි කවදාවත් කියලත් නෑ, කියන්නෙත් නෑ, මිත්‍රවරුනි. අපි ඉන්නෙ විසි එක් වැනි ශතවර්ෂේ, අද මොනවද සිද්ධ නොවෙන්නෙ, මේ තාක්ෂණික යුගයෙ මොනවද සිද්ධ නොවෙන්නෙ, මිත්‍රවරුනි, පසුබට වෙන්න එපා. (දැඩිව) හිතට දිරිය ගන්න, සූදානම් වෙන්න හඳවෙත පියමං කරන්න.

මැණිකා- එතකොට අපේ ගේ දොර, ඉඩ කඩම්, හරකාබාන, ඥාතින්...

චන්ද්‍ර උත්තමයා- (බාධා) ඔය හැම දෙයක්ම එහෙ අරගෙන යන්න බෑ. (දයාවෙන්) ටිකක් තේරුම් ගන්න. අපිට කැප කිරීම් කරන්න වෙනවා. ඉතිහාසයේ මිනිස්සු ජීවිත පරදුවට තබා කරපු කැපකිරීම් හින්දා තමයි අද අපි මෙහෙම ජීවත් වෙන්නෙ. මේවා ඔහෙලා හිතට...

පාල- (බාධා) හරි හරි උත්තමයා අපි කොහොමද මේ ගමනට සූදානම් වෙන්නෙ.

චන්ද්‍ර උත්තමයා- (සන්සුන්ව) මිත්‍රවරුණි, මේකට විශාල ධනස්කන්දයක් අවශ්‍යයි. ඔබ හැමදෙනෙක්ම දන්නවා මේ හැම දේකම කේන්ද්‍රය වන්නේ ඉකොනොමි එක. ඒ කියන්නේ ආර්ථීකය, ධනය, සල්ලි, ඉතිං අපි මුලින්ම මේ සඳහා ධනය රැස් කරන්න ඕන. පුළුවන්තරම් ධනය රැස් කරන්න ඕන. බල්ලො මරලා හරි කමක් නෑ මිත්‍රවරුනි ධනය රැස් කරන්න ඕන. එහෙම නොකර මේ ක්‍රමයෙන් ගොඩඒමක් නෑ.

ගුණයා- ඔබතුමාට හොඳාකාරවම විශ්වාසද හඳට ගිහිල්ලා අපිට අපේ ප්‍රශ්න වලට විසදුම හොයා ගන්න පුළුවන්වෙයි කියල...

චන්ද්‍ර උත්තමයා- මොකද බැරි. (අවධාරණයෙන්) ටිකක් බුද්ධිමත්ව හිතන්න! මේ වගේ ජනාකීර්ණ සංකීර්ණ පරිසරයක් එහෙ නෑ. ඉඩකඩම්, වතුපිටි පිළිබඳ කිසිම ප්‍රශ්නයක් එහෙනෑ. එහේ බොහොම නිදහස් දිව්‍ය ලෝකය වගේ. අපි බලාපොරොත්තු වෙනවා ජීවත් වෙන්න අවශ්‍යය වාසස්ථානයෙ ඉඳන් හුස්ම ගන්න අවශ්‍යය ඔක්සිජන් දක්වා හැම දෙයක්ම නූතන තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන්න. මිත්‍රවරුණි, මේ තාක්ෂණයේ මහිමයෙන් කළ නොහැක්කේ මොනවද? හිතට දිරිය ගන්න කළ නොහැක්කක් නැත.

පිරිස- (මහ හඬින්) ජයවේවා! ජයවේවා! අපි එකතු වෙනවා මේ චන්ද්‍ර ව්‍යාපාරය සමග ජයවේවා! ජයවේවා!

පාල- එතකොට කවද්ද මේ ගමන අපි පිටත් වෙන්නේ.

චන්ද්‍ර උත්තමයා- මිත්‍රවරුනි, කලබල වෙන්න එපා. මං කලින් කිව්වනේ අවශ්‍යය ප්‍රාග්ධනය රැස්කරන්න ඕන මේකට. ඒකියන්නෙ සල්ලි. ඒකට විධිමත් පිළිවෙලක් තියෙනවා.

මැණිකා- මොකක්ද උත්තමයා ඒ පිළිවෙල ?

චන්ද්‍ර උත්තමයා- අහගන්න හොඳින් අහගන්න. මුලින්ම ඔය කෙත්වතු වගා කිරිල්ල සම්පූර්ණයෙන්ම අත්හිටුවන්න ඕනි.

ගුණයා- අත්හිටුවන්න. මොනවා එහෙම කරාම...

චන්ද්‍ර උත්තමයා- (බාධා) බය වෙන්න කිසිම දෙයක් නෑ. අද ජාත්‍යන්තර වෙළඳෙපලේ ගොඩ මඩ ඉඩම්වලට තියෙන්නෙ හොඳ ඉල්ලුමක්. අපි එක යායට කෙත් වතු ටික මුදල් කරගමු. ඊට පස්සෙ ඒ මුදල් ජාත්‍යන්තර බැංකුවල තැම්පත් කරමු. ඒකේ පොලි මුදලෙන් පුළුවන් ඔබලට බොහොම විවේකි විදියට හඳට ගිහිල්ලා සුඛෝපභෝගිව ජීවත් වෙන්න.

පාල- අපූරූ අපූරූ අදහස. මසුරං වටින අදහස.

පිරිස- මසුරං වටින අදහස...

චන්ද්‍ර උත්තමයා- මිත්‍රවරුණි, මේ සඳහා අවශ්‍ය කරන සියලු මාර්ගෝපදේශක, සැලසුම්, විධික්‍රම හා න්‍යායවල් තමුන්නාන්සෙලාට අපි නොමිලයේ ලබා දෙනවා. මේ අවස්ථාව තමයි ඔබේ ජීවිතේ තීරණය කරන අවසාන අවස්ථාව. ඔබේ දිවියට පැතුමට හිස ඔසවන්න පුළුවන් අවසාන අවස්ථාව. ඔබලා ඉතිහාසයේ ඉදලා මේ කටුක පොළවත් එක්ක හැප්පිලා දහඩිය වගුරලා නොවිඳිනා දුක් වින්දා. අන්න ඒ කටුක ව්‍යසනයෙන් අපි මිදෙන්න ඕන. ඔව්, අත්මිදෙන්න ඕන. අපේ අනාගත දරු පරම්පරාවට පැහැදිලි සුඛිත සමාජයක් හදලා දෙන්න ඕන. ඉතිං බුද්ධිමත්ව හිතන්න. ඉඩ දෙන්න එපා හැඟීම්වලට ඔබේ තීරණය අවංකව නිර්භයව සෘජුව අරගන්න. ඔව් මේ චන්ද්‍ර බලවේගය වටා පෙළ ගැහෙන්න. අපි වටේ පෙළ ගැහෙන්න.

පිරිස- ජයවේවා! ජයවේවා! චන්ද්‍ර බලවේගයට ජයවේවා!

චන්ද්‍ර උත්තමයා- මිත්‍රවරුනි, මිත්‍රවරුනි, ඔව් දැඩිව නිර්භීතව පෙළගැහෙන්න. අපි තනමු අළුත් හඳක්.

පිරිස- ජයවේවා! ජයවේවා! චන්ද්‍ර බලවේගයට ජයවේවා! ජයවේවා! චන්ද්‍ර බලවේගයට ජයවේවා!

සංගීතය සමග ඝෝෂා හඬ වැඩිවී ක්‍රමයෙන් අඩුවී යයි.

භූමි- මිත්‍රවරුනි ! සහෝදරවරුනි! මදකට නවතින්න. මදකට නවතින්න

පිරිස- ජයවේවා! ජයවේවා චන්ද්‍ර බලවේගයට ජයවේවා!

භූමි- මිත්‍රවරුනි, සහෝදරවරුනි ඔබලට මගේ හඬ ඇහෙන්නැද්ද මම භූමි.

පාල- අපිට වෙන කිසිම හඬක් අවශ්‍යය නෑ. අපි ප්‍රියකරන්නේ එක හඬයි. අපි කන් යොමුකරන්නේ ඒ හඬට විතරයි.

භූමි- සහෝදරවරුනි, ඔබලා...

මැණිකා- (බාධා) අපි කෙරෙහි ඊර්ෂ්‍යා සහගතව අපෙ ගමනට බාධා කරන්න...

භූමි- (බාධා) ඔබ දන්නවා ඔබේ ශ්‍රමය සුරාගෙන කාලා ඔබේ ජීවිත අදුරු තත්වයට ඇදදැම්මේ...

ගුණයා- (බාධා) කවුද කියලා අපි දන්නවා. අන්න ඒ හින්ද තමයි ඒ වලෙන් අපි ගොඩ එන්න මේ උත්සහා.

භූමි- ඔබේ ශ්‍රමයට ලැබිය යුතු අවම වැටුපවත් නොගෙවා අතිරික්ත වටිනාකම් වලින් මහල් මන්දිර ගොඩනගපු පිරිස සමගයි ඔබලා නැවතත්...

පාල- චන්ද බලවේගය එදා සිටම බලවත්. ඔවුන් පරම්පරාවයෙන්ම ධනවත්. අපේ සුළු ශ්‍රමය ඔවුන්ට ඕනේනෑ. ඔවුන් එදා ඉදලම අපි වගේ ජනතා සේවයට කැපවෙලා ඉන්නෙ අපිට පිහිට වෙන්න කරුණාකරලා මෙතනින් ඉවත් වෙන්න. නැතිනම්.

ගුණයා- හ්ම්, පලයන් අපේ ගමන අවුරන් නැතුව අහකට පලයන්.

පිරිස- ජයවේවා! ජයවේවා! චන්ද බලවේගයට ජයවේවා.

හඬ අඩු වී යයි. සංගීතය සමග පැල්කවි හඬ ඉස්මතුවේ.

මැණිකා- මේ තරම් සුන්දර කාලයක් මගේ ජීවිතේ කවදාවත් උදාවෙලා නෑ.

පාල- ඔව්, මේ තරම් සල්ලි ගානක් අවුරුදු සියකටවත් අපේ සම්ප්‍රදායික අස්වැන්නෙන් ලබාගන්න ලැබෙන්නෑ.

ගුණයා- සහතික ඇත්ත සහතික ඇත්ත. අපිට පුළුවන් දැං හොඳ කල දසාවකට මුලපුරන්න. ඔව්, හරියටම තව සතියයි.

මැණිකා- ඒත් මට විශාල දුකකුත් ඇතිවනවා. මේ භූමිය අතහැරලා, අපේ ඥාතිත් ඔක්කොම අතහැරලා වෙන්වෙලා යන එකට.

ගුණයා- අපි මේ ඔක්කොම කරන්නේ කවුරු වෙනුවෙන්ද? ඉස්සෙල්ලම අපි හඳට යමු. ඊට පස්සෙ අපේ ඥාතින්, හිතවතුන්, මිත්‍රයින්වත් එහාට ගෙන්න ගමු. නුවණ ඇත්තා තමයි මුලින්ම දුකින් මිදෙන්නෙ.

මැණිකා- මේ පාපකාරි අණුවන අදහස් නොතිබෙන්න අපි හැමෝටම එකට හඳට යන්න තිබුණා. ඔව්, ඒ අතින් අපි පිං කරලා තියෙනවා.

පාල- දෙයියම්පා මේ මේ නපුරු තත්වයන්ගෙන් ගැලවෙන්න ලැබීම කොයිතරම් පිං පලදීමක්ද? තව්තිසා දිව්‍යලෝකෙ වගේ අපිට හඳේදි හැම සැපසම්පතක්ම බුක්තිවින්දැකි.

සංගීතය ඉස්මතුවේ.

මැණිකා- අම්මපා හරිම ඉස්තරම්නෙ. මහා විශාල යානාවක්. වෙන රටක් රජ්ජෙකට හීනෙකින්වත් අහස්යානයකින් යන්න නොහිතපු අපට මේක ඉහේමලක් පිපුන වගේ.

ගුණයා- මමත් කොළඹට කෝච්චියෙන් ඇවිත් තියෙන්න දෙපාරයි. එහෙව් අපිට අභ්‍යවකාශ යානයකින් හඳට යන්න ලැබිච්ච එක අම්මා මුත්ත කාලේ ලැබෙන දෙයක්ද?

පාල- මං හිතන්නේ අපිත් එක්කලා මහ සෙනඟක් හඳට යන්න වගේ.

ගුණයා- ඔව්, මටත් පේන්නේ ඒ වගේ තමයි.

මැණිකා- හඳේ ඉඩමදි වෙයිද දන්නෑ (සිනාසේ)

ගූණයා- අපායට ගියත් ඉස්සර වෙන්න ඕන කියලා කථාවක් තියෙනවනෙ. අපි ඉක්මන් කරලා හොඳම කොටසක් අල්ලගන්න ඕන හඳේ. ඔක්කොම ඕනකරන බඩුබාහිරාදිය අරං ආවනේද?

පාල- නැතුව මං හේනට අරගෙන යන ටෝච් එකත් අරගෙන ආවා. කවුද දන්නෙ හඳේ පොළවෙත් සත්තු සර්පයො හිටියොත් එහෙම. මොකෝ අපි කලින් ගොඩ බැහැපු දීපංකරයක් යැයි.

ගුණයා- මං බුලත් විටකුත් ඔතාගත්තා.

මැණිකා- මං කරාබුනැටි දෙකකුත් උන්ඩිකරගත්තා. යානෙ ගැස්සිල්ලට වමනයක් එහෙම ආවොත්.

පාල- මාත් ලබු කැටයකට වතුර එකකුයි, බීඩි දෙකකුයි කොයිකටත් කියලා අරගත්තා.

මැණිකා- ඉඩම් විකුණලා අරගත්තු සල්ලි මඩිස්සලේ අරගත්ත නේද?

පාල- අපොයි ඔව්. ආ මේ තියෙන්නෙ! (මවිතයෙන්) ඈ, කෝ ඒක. මේ මගේ ඉනේ ගහගෙන හිටියෙ. අනේ දෙයියනේ...

ගුණයා- (බාධා) මොකද? මොකද?

පාල- මගෙ සල්ලි මඩිස්සලේට මොකද වුණේ ?

මැණිකා- ඇයි දාලා ආවද? අයිය! බණ්ඩාර දෙයියනේ දැං ආයෙත් කියලා...

ගුණයා- හරි, හරි, බයවෙන්න දෙයක් නෑ.

පාල- මොකද යකෝ බයවෙන්න දෙයක් නෑ කියන්න. දැං ඔක්කොම බලාපොරොත්තු සුන්නද්දූලි.

ගුණයා- යකුනේ බයවෙන්න එපා, මේ තියෙන්නෙ. ඇයි ඒක මට දුන්න පරිස්සම් කරලා අමුඩෙ අස්සෙ ගහගන්න කියලා.

පාල- අප්පේ දැනුයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ.

ගුණයා- (එකවිට) අන්න චන්ද්‍ර නායක උත්තමයා කථා කරන්න පටං අරං. අපි යමු ඒ පැත්තට.

චන්ද්‍ර උත්තමයා- ඔබ සැමගේ බලවත් කැපකිරීම් පරිත්‍යාගයන් අපි අගය කරනවා. මේ දැං අපි මෙහෙන් චුත වෙලා වෙනත් භාග්‍යය සම්පන්න භූමියකට යනවා. ඒ වැඩි ඈතකට නෙමෙයි. ඈත අතීතයේ ඉඳලා අපි දැකලා තියෙන අපිට සමීප හුරුපුරුදු හඳට. අපි එහෙ ගිහිල්ලා මිහිපිට තියෙන සියලුම ප්‍රශ්න අමතක කරල ඒවයින් මිදිලා සුඛිත, මුදිත, ධර්මිෂ්ඨ දිවියක් ගෙවනවා. (අත්පොලසන් හඬ) ඔව්, තව ස්වල්ප වෙලාවයි තියෙන්නෙ මේ අති නවීන මූන් ත්‍රී තවුසන්ඩ් යානය පිටත් වෙන්න. ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රානුකූලව රාහු කාලය පන්නලා නැකැත් බලලා, සුභ මුහුර්තයක, සුභ වෙලාවක තමයි අපි මේ ගමන පිටත් වෙන්නෙ. (අත්පොලසන් හඬ) ඕ මේ යානෙ ඇංජිම ඔන්න දැං පණ ගැන්නුවා.

(ඇන්ජිම පණගන්වන හඬ) ඔබ හැමෝටම දැන් ඒකට ගොඩවෙන්න පුළුවන්. ඔව්, දැන් හැමෝම එක පෙළට මේ යානයට නගින්න. හා හා හා මිත්‍රවරුනි, ප්‍රයිවට් බස්වල සීට් අල්ලන්න පොරකනවා වගේ කලබලවෙන්න එපා. ඔබ හැමෝන්ටම මේ යානයේ ආසනයක් වෙන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි යානය ගමන් කරන අතරවාරයේ ආහාර පාන ඇතුළු සියළු සත්කාරයන් ලැබෙනවා. කලබල නොවී සුදුසු ආසනයක වාඩිවී ආරක්ෂක පටි තදවෙන්න බැඳගන්න.

සියාතු- (තමාට) හරියට කඹේකින් කණුවකට තියලා බඳිනවා වගේනේ. රජ කාලේ දඬුවමුත් මෙහෙමයි. මොකටද අපිව මෙහෙම තදකරලා බඳින්නේ.

චන්ද්‍ර උත්තමයා- ඔව් තව තත්පර කිහිපයකින් අපි අපේ ඓතිහාසික චාරිකාව පිටත්වෙනවා. එසේනම් ඔබ සැමට සියලු රත්නත්‍රයේ පිහිට ආශිර්වාදය ලැබෙන්න ඕන.

පිරිස- සාදු සාදු සාදු...

යානයේ දොර වැසෙන හඬ, කවුන්ට් ඩවුන් හඬ යානය ගමන් කරන හඬ, සංගීතය.

පාල- මං හිතන්නේ අපි දැං සෑහෙන දුරක් ඇවිල්ලා

මැණිකා- ඔව් මං හිතන්නෙ හැතැක්ම සීයක්.

පාල- මොන පිස්සුද දැන් දසලක්සෙ පන්නලා ඇති.

ගුණයා- මට මහ දුකකුත් ඇතිවෙනවා.

පාල- ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්නේ හ්ම්... (විරාමය) යානේ හැමෝටම නින්ද ගිහිල්ලා. සෑහෙන මහන්සි ඇතිනෙ. මේ ගමනට කොළඹට ආපු ටිකටත් හරිම මහන්සියි.

ගුණයා- මං මේ බැලුවෙ මේ බුලත් කෙළ පාර ගහන්න, මේ වීදුරුවක් අරින්න බැරිද කියලා.

මැණිකා- ඔහේගෙ ඔය පුරුද්ද හඳට යනකොටවත් අත්හරින්න බැරිවුනානේ.

පාල- ආරේ ගුණ නෑරේ, කියන්නෙ ඕක තමයි. අපිලා වීදුරුව ඇරලා බලමුද? මට ලොකු කුහුලක් ආවා උඩ ඉඳන් පහළ බලන්න. හේනේ පොල් රුප්පාවකට නැග්ගම මුළු වැව් තාවුල්ලයි චෛත්‍යයි පේන්නෙ අන්න ඒවගේද දන් නෑනේ.

ගුණයා- ඔව්, ඔව්, මේ බුලත් කෙල ටික මට ගිලෙන්නත් එනවා.

මැණිකා- හා හා එහෙමනම් අපි හිමිහිට ඇරලා බලමු. කොහොමද මේක අරින්නෙ. ඕක ඔබමු බලන්න. ආ අහ් කලු ගලක් වගේනේ හ්ම්, හරි, හරි, ආහ්...

වීදුරුව අරින හඬ හා කෙලගහන හඬ.

ගුණයා- අයිය බණ්ඩාර දෙයියන්නේ?

මැණිකා- ඇයි මොකද? මොකද?

ගුණයා- මුළු පළාතම කට්ට කරුවලයි. මොනවත් පහළ පේන්නෑනේ.

පාල- ඒයි. මට නම් සැකයි. මේකේ කිසිම ගැස්සිල්ලක් නෑනේ. අපි එක තැන වගේ ඔව්, ඔව්.

ගුණයා- මේක ලංගම බස් එකක් වගේ නෙවෙයි. අළුත්ම යානයක් ඇඟට තේරෙන්නේ නෑ ගමන් කරනවා.

මැණිකා- ඒත් මට මහා විශාල අවිශ්වාසයක් එක පාරටම හිතට ආවා. ඔව්, බලන්න අර ඈත පන්දම් එළි වගේ තියෙන ලයිට් වෙනස් වෙන්න නෑනේ. බරකරත්තයක් යනකොට වුණත් පරිසරය වෙනස් වෙනවා.

පාල- ඇත්තම තමයි. ඔව්, ඇත්තමයි. (හඬින්) ඒයි, ඒයි නැගිටපල්ලා. නැගිටපල්ලා. යානේ යන්නේ නෑ. අපි එතනමයි.

රත්නයා- මොකද? මොකද? මෙච්චර ඉක්මනට හඳටත් ආවාද. හරි, හරි, හරි එහෙනම් බහින්නයි තියෙන්නේ.

සියාතු- යකුනේ මේ යානය ගමන් කරන්නෑ. බලාපල්ලා ඔය ජනේල කවුලු ඇරල බලපල්ලා.

පිරිස- මොනවා! මොනවා!

බඩු පෙරළෙන වීදුරු අරින කලබල හඬ.

රත්නයා- ගලේ බණ්ඩාර දෙයියනේ ඇත්තම නේන්නං මේ මොකද අපිට වුණේ?

ගුණයා- දැං අපි මොකද කරන්නේ. කාගෙන්ද මේවගක් අහන්නේ. අහල පහලක දන්න කිසිම කෙනෙක් නෑ. ඉක්මනට මේ බඩකඩිත්තු යානෙන් බැහැගමු.

බහින අඩි හඬ.

රත්නයා- මේ නන්නාදුනන දීපංකරයෙ මට නං හරිම බයක් දැනෙනවා. මේ කොහෙද අපි ඉන්නෙ.

පාල- හා හා කලබල වෙන්න එපා. කලබලවෙන්න එපා.

මැණිකා- හැමදාම අපිට අවසානයේ අහන්න වෙන්නේ ඔය වචනෙම තමයි.

පාල- ඔව්, ඔව්, කලබලවෙලා කොරොස් කටේවත් අතදාගන්න බෑ. පොඩ්ඩක් අපි විපරම් කරමු. මං නං කියන්නේ අපි දැං ඉන්නෙ හඳේ. ඔව්, ඔහෙලට දැනෙන් නැද්ද නිකං පාවෙනවා පාවෙනවා වගේ ගතියක්.

ගුණයා- ඔව්, මට නම් ඒවගේ දැනෙනවා.

රත්නයා- ඔව්, ඇත්තම තමයි. ඔව්, මිත්‍රවරුණි. ඔව්, මිත්‍රවරුණි, අපි දැන් ගමනාන්තයට ඇවිල්ලා. ඔව්, අපි හඳට පියමං කරලා හුරේ ජයවේවා! ජයවේවා!

පිරිස- ජයවේවා! ජයවේවා! ඔව් අපිම හඳට ආවා.

පාල- ඒත් මිත්‍රවරුණි, මේ බලන්න. පොඩ්ඩක් බුද්ධියෙන් හිතන්න. අපි පොළවෙ ඉඳන් බලනකොට අපිට ආකාසෙ හඳ පේනවා නම්, අපි හඳට ගියම අපිට පොළව පේන්න ඕන.

ගුණයා- ඔව්, ඔව්, අර පේන්නේ අපූරුවට අර.

පාල- හොඳට බලාපල්ලා. ඒයි ටෝච්එක වත් ගහලා බලාපල්ලා. මේ පේන්නේ අපි දැකලා පුරුදු හඳමනෙ. අර ඉන්නෙ හාවා.

පිරිස කලබල වන හඬ.

ගුණයා- ආහ් ඇත්තම නේන්නම් ඔව් ඇත්තමයි

මැණිකා- අනේ මොකද මේ අපිට වුණේ?

දුක් මුසු සංගීතයක් මතුවේ.

පාල- අනේ මගේ කෙත්වතු, කුඹුරු යායවල්.

ගුණයා- මගේ හේන් යායයි, ගොඩ ඉඩම් ටිකයි.

මැණිකා- (හඬමින්)අනේ මොකද අපිට වුනෙ?

අඟහරු- කලබලවෙන්න එපා. දුක්වෙන්න එපා... ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ. සියලුම ආශාවන්වල අවසානය දුකක්. මමත් ඔහෙලා වගේම මේ පොළවත් එක්ක හැප්පිලා ඒ දුක හොඳට හඳුනනවා. අපිට විජය, පණ්ඩුකාභයලගෙ ඉදන් පැවත එන ඉතිහාසයක් තියෙනවා. දුටුගැමුණු, විජයබාහු, පරාක්‍රමබාහු වගේ රජවරු ඉතිහාසය ස්වයංපෝෂිත කරල තියෙනවා. අපිට තියෙන්නෙ අන්න ඒ දහම අනුව අපේ වැඩ කටයුතු කරගෙන යන්න.

මැණිකා- අපිට තිබුණ හැම ඉඩමක්ම විකුණල අපි ජාත්‍යන්තර බැංකුවෙ...

අඟහරු- (බාධා) මට තේරෙනවා, මේ ලෝකෙ දෙයියො, බුදුන් කියලා වර්ගයක් ඉන්නවා. ගුණ ධර්ම කියලා දෙයක් තියෙනවා.

ගුණයා- අපිට දැං තියෙන එකම පිහිට එච්චරයි බුදු මහත්තයෝ.

අඟහරු- මට තේරෙනවා. මට දැනෙනවා, ඔහේලගේ දුකින් මගේ හදවත කැකෑරුම් වෙනවා. දෙදරුම් කනවා. ඔබේ ඉඩකඩම් වතුපිටි ගේදොර සියල්ල අහිමි වුණා. ඔව්, මට තේරෙනවා. අපි පසුබට විය යුතු නෑ, හිත කණගාටු කරගත යුතු නෑ. අපි ඔබලා සදහා ඔබ හැමගේ විමුක්තිය සඳහා නව වැඩ පිළිවෙලක් දැනටමත් දියත් කරලයි තියෙන්නේ.

ගුණයා- ඒ මොකක්ද?

අඟහරු- මේකට කිසිම බලපෑමක් අපි කරන්නෙ නෑ. තමන්ගෙ හිතට එකඟනම් විශ්වාසනම් පමණක් අපේ ව්‍යාපාරය සමග සම්බන්ධ වෙන්න පුළුවන්.

පාල- මොකක්ද? මොකක්ද? අනේ උත්තමයො කියන්න මොකක්ද ඔබලගෙ ව්‍යාපාරය.

අඟහරු- මට මල්ලියෙ එහෙමත් නැතිනම්, පුතේ නැතිනම් අයියේ කිව්වනම් හොඳටම ඇති. අපි ගාව කුල පංති භේද ධූරාවලි නෑ. ඒ හින්දා තමයි අපේ අරමුණු මේතරම් කඩිනමින් ක්‍රියාත්මක කරන්න හැකිවෙලා තියෙන්නෙ. අපේ ඉලක්කය තමයි ඔබ සියලු දෙනා අඟහරු ග්‍රහයා වෙත අරගෙන යන්න.

මැණිකා- අඟහරු වෙත. ඉතිං ඒකේ මිනිස්සුන්ට ඉන්න පුළුවන්ද?

අඟහරු- ඔය වැඩිමහල්ලො දැනගන්න ඕන, විශ්වයේ පෘතුවිය හැරුණම මිනිස් ජීවයට සුදුසු එකම ග්‍රහ ලෝකය අඟහරු. ෆාත් ෆයින්ඩර් සිට ස්පිරිට් දක්වා නවීන යානාවලින් කළ පර්යේෂණවලින් ඒ බව තහවුරු වුණා.

ගුණයා- එතකොට හඳ?

අඟහරු- හඳේ කීයටවත් මිනිස්සුන්ට ඉන්න බෑ. එහි වායුගෝලයක් නෑ. අඩුම වශයෙන් ජල බිංදුවක්වත් නෑ. මිනිස් ජීවයට සුදුසු කිසිම පසුබිමක් නෑ.

පාල- තව ඩිංගෙන් අපි විශාල උගුලකනෙ වැටෙන්නෙ!

අඟහරු- ඔබ සැම ඔය සඳහා ගමනෙන් බේරුනේ පූර්ව කුසල කර්මයක් නිසා. පෙර ආත්මයේ සිදුකරන ලද මහා පුණ්‍යකර්මයක් පටිසන්දීම නිසා.

පිරිස- සාදු! සාදු! සාදු!

අඟහරු- එහෙනම් අමේමේ, තාත්තේ, මාමේ, ඔබ සිහි නුවණින් බුද්ධියෙන් කටයුතු කරන්න. ඔබේ හිතට එකඟනම් ඔබේ ගුණ ධර්මයට සදාචාරයට පක්ෂනම් ඔබට අපේ අඟහරු ව්‍යාපෘතිය සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ සැම සියලු තිසරණ සරණයි.

පිරිස- සාදු! සාදු! සාදු!

සංගීතය මතුවේ.

මැණිකා- එදා ඉඳලා අද වෙනකල් වලවල් කීයක අපි වැටුනද? රෑ වැටුන වලේ දවල්, දවල් වැටුන වලේ රෑ, ආයෙත් දවල්, ආයෙත් රෑ. මට නං දැං හොඳටම තෙහෙට්ටුයි. ඔව්, අපි හොඳ සිහිනුවණින් මේ පාර තීරණය ගන්න ඕන ඔව්.

භූමි- ඔව් සහතික ඇත්ත. ඔබට ඔබේ ඥාණය පැහැදිලිව තියෙන හැඩයි.

ගුණයා- ඔබ කවුද?

භූමි- ඇයි අඳුරන්න බැරිද?

පාල- අපිට කවුරුවත් හඳුනගන්න අවශ්‍ය නෑ. අපි නියම තැන අඳුර ගත්තා. කරුණාකරලා මෙතනින්යනවද?

භූමි- මං අවේ...

ගුණයා- (බාධා) මේ මල්ලි කරුණාකරලා...

භූමි- (බාධා) එහෙම කථා කරන්න එපා.

මැණිකා- ඔහේට මොනවද අපෙන් ඕන.

භූමි- කිසිම දෙයක් එපා. මෙන්න මේ ටික මතක තියාගන්න. ගෝත්‍රික, වැඩවසම්, ධනවාදි මේ හැම ආකෘතිය ඇතුළෙම සිද්ධවුනේ එක දෙයයි. ඔබේ ශ්‍රමය සුරාගෙන කනවා. මේ ක්‍රම ඇතුලේ ඔබලට යම් වරප්‍රසාද හිමිකම් අත්වෙන්න පුලුවන්. ඒත් අවසානේ හපයක් වගේ ඔබේ සාරය උරාගෙන එලියට විසිවෙනවා. නමුත් ඔබ වැටී ඇති අගාධයට හේතුව ආර්ථීකය සාධකය හා පංතියම පමණක් නොවේ. අන්න ඒක නිසා ඔබ ඉතා සවිඥාණික වෙන්න ඕනි, වර්ථමාන සමාජ සන්දර්භය ඇතුලේ ඔබේ භූමිකාවට බලපාන සෙසු බලයන් හා තත්වයන් සම්බන්ධව, ඇත්ත ඒක නිසා...

ගුණයා- මොනවද මේ මිනිහා කියන්නේ?

පාල- කවුද මේ?

ගුණයා- මේ අපිට බර බණ කථා වැඩක් නෑ. කරුණාකරලා මෙතනින් තොලොංචි වෙලා යනවා.

සංගීතය.

අඟහරු- ඔව්, අම්මේ තාත්තේ ඔබේ වටිනා මුදලින් ඔබ දහඩිය වගුරවා ඉතිරි කරගත් අන්තිම මුදලින් අපි අඟහරු කරා පිය නගන්න සුදුසු තත්වයක යානයක කොටසක් ඉදිකර අවසන්. ඒත්, මෙහි ඉදිරි කොටස ඇන්ජිම ආදි ප්‍රධාන දේවල් නිම කිරීම අවශ්‍යයි. අන්න ඒ සඳහා ඔබ වැඩි වැඩියෙන් පරිත්‍යාගශීලි...

මැණිකා- (බාධා) එතකොට අපේ ගමන සිද්ධවෙන්නේ කවද්ද?

අඟහරු- නුදුරු අනාගතයේදී.

ගුණයා- මං අහන්නේ දිනයක් වෙලාවක් කාලයක්

අඟහරු- ටිකක් හිතන්න! තැන්පත්ව හිතන්න! ඔහෙලට තේරෙනවා මේ යානයේ වැඩකටයුතු තවම...

පාල- අපි අපේ හැම ශ්‍රම මුදල් සම්පතක්ම ඔහෙලට පරිත්‍යාග කළා.

අඟහරු- අපි දන්නවා ඒක. ඔහෙල විතරක් නෙවි. මේ හැමෝම තමන්ගේ වටිනා කියන සම්පත් සියල්ල පරිත්‍යාග කරලයි ඉන්නෙ. අපි ඔහෙලව බලෙන් සම්බන්ධ කරගත්තෙ නෑ. කරුණාකරලා අපිව ගැලපෙන්නෙ නැත්නම් මෙතනින්...

පාල- (බාධා) මල්ලි ඔහොම කථා කරන්න එපා!

අඟහරු- එහෙනම් කොහොමද කථා කරන්න ඕන? කොහොමද කථාකරන්න ඕන? කියනවා කොහොමද කථා කරන්න ඕන.

මැණිකා- හරි, හරි, හරි, මහත්තයො හරි අපිට තේරෙනවා.

අඟහරු- තේරෙනවා. හ්ම්, හොඳට තේරුම් ගන්නවා.

පාල- ඔව් මහත්තයො.

ගුණයා- කමක් නෑ කමක් නෑ මැණිකා, පාල, සියාතු, රත්න ඔව් අපි දන් දුන්නා කියලා හිත හදාගමු. මහා දානයක් දුන්නා කියලා හිත හදාගමු. ලබන ආත්මයටත් අපිට මේ හැම දුකකින් ගැලවෙන්න ලැබේවි.

මැණිකා- හ්ම් කොහෙද දැං අපි යන්නෙ...?

පාල- ඔව්, කොහෙද දැං අපි යන්නෙ...?

ගුණයා- කොහෙට හරි යමු.

පාල- කොහේටද ?

සංගීතය මතුවී අඩුවී යයි.

නෙප්චූන්- ඩියර්, මිස්ටර්, මැඩම් එන්න අපිත් එක්ක ජොයින් වෙන්න. අපි එක්ක සෙට් වෙන්න. ඔව් අපිත් එක්ක එකතු වෙන්න. අපි නෙප්චූන්වලට යනවා. අපි නෙප්චුන්වලට යනවා. එන්න අපිත් එක්ක සෙට්වෙලා බලන්න. ඕනම අයෙකුට අපිත් එක්කලා එකතු වෙන්න පුලුවන් වයස් භේදයක් නෑ.

සංගීතය මතුවී අඩුවී යයි.

සූර්ය- ප්‍රිය සුහද ආදරණීය හිතවතිය අපිත් එක්ක පෙළගැහෙන්න. අනේ අහිංසක ලස්සන, සිරියාවන්ත මුහුණු එන්න. දරුවෝ අපිත් එක්ක සහයෝග වෙමු. බයවෙන්න කිසිම දෙයක් නෑ. අපි යනවා සුර්යා ගාවට ඒ කියන්නේ මුළුවිශ්වයටම ආලෝකය දෙන සූර්යා ගාවට. එහෙ තමයි නියම සාරය තියෙන්නේ.

සංගීතය මතුවී අඩුවී යයි.

පාල- ඔව්, අපි යන්නේ කා ගාවටද?

ගුණයා- ඒක තමයි කා පස්සෙද...?

(අවසන් සංගීතය.)

[-උගෙ හිස ඉවරයි- 2006 (රේඩියෝ නාට්‍ය)]

මාලක දේවප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails