Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ග‍්‍රාම නිළධරයා එන තෙක් ඔවුහූ බෝක්කුව අසල පඳුර තුළ සැඟවී සිටියහ. ගොම්මන් කළුවර වැටී ඇති නිසා ඔවුන් පඳුර තුළ ආයුධ සන්නද්ධව සැඟවී සිටින බව කිසිවෙකුට පෙනුනේ නැත. ඇරත් බෝක්කුව අසලින් මේ වෙලාවට ගම්මුන් යන්නේ කලාතුරකිණි. නොනිළ ඇදිරි නීතිය, අවිනිශ්චිතතාව නිසා හිරු බැස ගිය පසු යමෙකු නිවසින් එළියට ගියේ ඉතා හදිසි අවශ්‍යතාවක දී පමණි. මේ නිසා සැඟවී සිටි මිනිසුන් තිදෙනා විමසිලිමත් වූයේ ආරක්ෂක අංශ කෙරෙහි පමණි.

”කෝ.... මූ තවමත් නෑනේ...” මිනිසුන් තිදෙනා අතරින් නායකයා යැයි සිතිය හැකි තැනැත්තා පැවසූවේ නොඉවසිල්ලෙනි.ඔහුගේ අතේ මෙරට නිපදවන ලද තුවක්කුවකි. ”ගල්කටස්” යනුවෙන් හඳුන්වන මෙම ආයුධය තනා ඇත්තේ අඟල් අටක් දිග යකඩ පයිප්ප බටයක් අග කෙළවර පාස්සා එයට ලී මිටක් සවි කිරීමෙනි.

”දවල් පාරට ගියපාර තවමත් ආවේ නැහැ. මට හිතෙන්නේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමට තමයි ග‍්‍රාමයා ගියේ.” නායකයා දෙස බලා මෙලෙස පැවසූවේ කෙට්ටු හීන්දෑරි තරුණයෙකි. ඔහුගේ අතේ උල් පිහියකි.

”කමක් නෑ. කොහේ ගියත් බෝක්කුව උඩින් යන්න එපැයි.” නායකයා පැවසූවේ ස්ථිර හඬකිණි.

”ග‍්‍රාමසේවක මහත්තයා නම් අහිංසකයා.” මෙතෙක් නිහඩව සිටි තෙවැන්නා කීය. ඔහු ඇඳ සිටියේ කොට කලිමකි. ඔහුගේ අත කිසිදු ආයුධයක් නොවීය.

”තිලක්, මිනිහෙක් අහිංසකයෙක්ද, රකුසෙක්ද කියන එක අපට අදාල නැහැ. අපට අවශ්‍ය මිනිහාගේ දේශපාලන දර්ශනය. ඒක ප‍්‍රතිගාමි නම්, දේශ ද්‍රෝහි නම් එතනින් එහාට කථාවක් නැහැ. මෙච්චර අධ්‍යාපන පන්ති කරලත් තමුසේ තාම ගතානුගතික විදිහටනේ හිතන්නේ. මා හිතුවේ දැන් තමුසේ හොඳ දේශපාලන දර්ශනයක් මේ වෙනකොට ලබාගෙන ඇති කියලා.”

නායකයා කීවේ හිසේ පැලදි තොප්පිය වමතින් ගනිමින්ය. දකුණු අතේ වූ ආයුධය ඔහු රෙදි තොප්පියෙන් පිරිමැදීය.

නායකයාගේ වදන් නිසා තිලක් තුළ ඇතිවූයේ ලජ්ජා සහගත බවකි. ඔහුට දේශපාලනයේ ”අ” යනු ”ආ” යනු ඉගැන්වූයේ රණබාහු සහෝදරයාය. උපාධිය සමත්ව සිටියද රැකියාවක් නොමැතිව පීඩනයෙන් කාලය ගතකළ ඔහුට යම් බලාපොරොත්තුවක සේයාවක් ඇති කරන ලද්දේ රණබාහු සහෝදරයා විසිනි. මාක්ස්වාදය, විප්ලවය, පන්ති සටන ඔහු ඉගෙන ගත්තේ මනා උනන්දුවකිනි.

”තිලක් සහෝදරයාට හොඳ බුද්ධියකුත් කරුණු වටහා ගැනීමේ ශක්තියකුත් තියෙනවා.” රණබාහු සහෝදරයා වරක් එසේ කීවේ තවත් පක්ෂයේ සන්නද්ධ නායකයෙකු සමගය. එය ඇසුණු තිලක්ගේ සිතට දැණුනේ සියුම් උද්දාමයකි. එහෙත් රණබාහු සහෝදරයා දැන් කිව් වදන් නිසා තිලක්ගේ සිත මදක් පෑරිණි.

”අපි පක්ෂය වෙනුවෙන් කැප වෙච්චි විප්ලවවාදීන්. පක්ෂයේ නියෝග ඉටු කරන්න අපි බැඳිලා ඉන්නවා. ජීවිතය පූජා කරලා හරි අපි මේ සටන දිනන්න ඕන.” රණබාහු සහෝදරයා කීවේ ස්ථිර හඩකිනි.

මෙම සටන ජයග‍්‍රහණය කළ හැක්කේ කෙළෙසකද යන්න පිළිබඳව තිලක් කල්පනා කොට තිබේ. මෙය ජයග‍්‍රහණය කරන්නේ බෝල්ෂේවික්වරුන් මෙන් හිම මාළිගාවට පහර දීමෙන් ද, නැතහොත් ක‍්‍රැස්ත්‍රෝ මෙන් මොන්කාඩා බැරුක්කයට පහර දීමෙන්ද? ඔහු ඉතිහාසය හාරා අවුස්සා බැලුවේය.

නිර්ධන පංතියේ විමුක්තිය වෙනුවෙන් ඔහුද කැප කිරීම් කොට තිබේ. උද්ඝෝෂණ, වර්ජන වලදී තිලක් දැවැන්ත කාරයභාරයක් ඉටු කළේය. එහෙත් යට බිම් ගතව දේශපාලනය කිරීමත් සමගම ඔහුට පැවරුණේ රහසිගතව කෙරෙන වැඩ කොටසකි.

පොලීසිය හෝ හමුදාව මගින් අත් අඩංගුවට ගන්නා කැරලිකරුවන් මරාදමා තිබූ අයුරු ඔහු සියසින්ම දිටීය. නිරුවත් කොට හිසට වෙඩි තබා මරා දමන ලද කමල්චන්ද්‍ර ඇතුළු පිරිසකගේ මෘත ශරීර දැකීමෙන් ඔහු තුළ ඇති වූයේ දැඩි ආවේගයකි. කමල්චන්ද්‍ර ගුරුවරයෙකු ද විය. ඔහු දේශපාලන රැස්වීම් වලදී ඉතා හොඳ කථිකයෙකි. ඒ හැර කමල්චන්ද්‍ර කිසිදු ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක නිරත නොවීය. එහෙත් ඔහු ජීවිතයෙන් වන්දි ගෙවා ඇත. ඔහු සමග මරා දමා තිබූ අනෙකුත් තිදෙනා ඔහු හැඳිනගත්තේ නැත.

කමල්චන්ද්‍රගේ මරණයත් සමග ඔහු වඩාත් කල්පනාකාරීව වැඩ කළේය. රාත‍්‍රිය ගත කිරීමට නිවසට නොගිය ඔහු නිදා ගත්තේ කැළෑ රොදකය. නැතහොත් විශ්වාසවන්ත පාක්ෂිකයෙකුගේ නිවසකය.

පෝස්ටර් ගැසීම සඳහා රණබාහු සහෝදරයා නියම කළේ තිලක්ටය. අතින් අඳින ලද ”මවුබිම නැතිනම් මරණය, ”ද්‍රෝහියන්ට දඬුවම් දෙනු” වැනි පෝස්ටර් ඔහු බිත්තිවල ඇලවූයේ රාත‍්‍රී කාලයේදීය. පාප්ප බාල්දිය හා පෝස්ටර් මිටිය අතින් ගත් ලක්සිරි සමගින් ඔහු විදුහල් තාප්පයේ පෝස්ටර් අලවන විට හමුදා රියක් පැමිණියේ අනපේක්ෂිත මොහොතකය.

”දුවමු, ආමි එකෙන්...” තිලක් ලක්සිරිට කීවේ පෝස්ටර් මිටිය කිහිලිගන්නා ගමන්ය. එහෙත් ඔවුන් පාප්ප බාල්දිය අතහැර දැමූහ. ලක්සිරි සමඟ කඩපේලිය අසලට දිවගිය ඔහු බාබර් සාප්පුව අසල වූ, විශාල කාණුවට බැස පලා ගියේ හමුදාවෙන් වෙඩි තැබුවහොත් එය මඟ හරිනු සදහාය.

එහෙත් හමුදා භටයෝ ඔවුන්ට වෙඩි නොතැබුහ. කුණු කාණුව දිගේ බඩගා ගිය ඔවුන් මතු වූයේ ඇලකිනි. කාණුවට නොදෙවෙනි කසල හා දුර්ගන්ධයෙන් යුක්ත වූ අපිරිසිදු ජලය පිරි ඇලේ ඔවුන් කරවටක් ගිලී සිටියේ පැයක පමණ කාලයක් ගෙවා දමමිනි. මෙසේ නිසොල්මනේ සිටියේ හමුදාව මඟ හැරීම පිණිසය.

උසස්පෙළ පාසල් සිසුවෙකු වූ ලක්සිරිගේ මුහුණේ බියක සේයාවකුදු නැත. මොහු දැඩි සිත් ඇත්තෙකු යැයි තිලක් තීරණය කළේ ඒ දිනයේදී ය. එය සනාථ කරනු වස් ලක්සිරි බොහෝ ප‍්‍රහාර වලට සම්බන්ධ විය. අවසන් ප‍්‍රහාරයේ දී රණබාහු සහෝදරයාගේ නියෝගය මත ලක්සිරි ග‍්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිට උල් පිහියකින් ඇන ග‍්‍රාමෝදය සභාපතිවරයාට පිහියෙන් අනින විට ලක්සිරිගේ දෙනෙත් වල තිබූ ගිනිපුපුරු තිලක්ට අමතක කරනු නොහැකි විය. පාසල් සිසුවෙකු මෙතරම් දරුණු වූයේ කෙසේද? ලක්සිරි මෙලෙස පරිවර්ථනයට ලක් වූයේ සමාජ අසාධාරණයන් නිසා නොවේ දැයි තිලක් කල්පනා කළේය.

එහෙත් ලක්සිරි මුවහත් කරනු ලැබුවේ සංවිධානය මඟින් බව තිලක්ට වැටහිණි.

”ග‍්‍රාමයාගේ වැඩ අද ඉවරයි.” ලක්සිරි පැවසුවේ මුවහත් පිහිය ප‍්‍රවේශමෙන් අතගාමිනි. රණබාහු සහෝදරයා හිස වනා එය අනුමත කළේ තිලක් දෙසද බලමිනි. ඔවුනට පිළිතුරු නොදුන් තිලක් අඳුරු බොරළු පාර දෙස බලා සිටියේය. යම් අයෙක් සෙමින්, සෙමින් ඉදිරියට පා නගයි. ඔවුහු වහාම වෙස්මුහුණු පැළඳ ගත්හ.

ඉදිරියට පැමිණෙන්නා තරුණයෙකි. ඔහු ජයසුන්දර ග‍්‍රාම නිළධාරියා නොවන බව දුර තියා වුවද කිව හැකිය. අවුරුදු පනහ පැන සිටි ජයසුන්දර රාළහාමි ඇවිදින්නේ මහළු ගොන් මාල්ලෙකු සේය. ඇවිදින විට ඔහුගේ කය නැමේ. ජාතික ඇඳුම ඇඳ බුලත්විට හපන ඔහු මයිල බාගයක් දුර සිට වුවද හඳුනාගැනිම අසීරු නොවේ.

තරුණයා බෝක්කුව උඩින් ඇවිදගෙන ගියේ ජෝතිපාලගේ ගීයක් මුමුණමිණි. ඔහුට නොපෙනෙන සේ තිදෙනා පඳුරු තුළ සැඟවී ගත්හ. ජයසුන්දර රාළහාමි ප‍්‍රමාද මන්ද? රණබාහු සහෝදරයා නොසන්සුන් විය. ලක්සිරි පමණක් මුවින් කිසිවක් නොකියා උල් පිහියේ මුවාත පිරික්සමින් සිටියි.

”ග‍්‍රාමයාට කවුරු හරි ඔත්තුවක් දුන්නා වත්ද?” මෙවර රණබාහු සහෝදරයා ඇසුවේ තිලක් දෙස හොරහැහින් බලමිණි. එය තිලක් දුටුවේ නම් ඔහුගේ හද පෑරෙනු නිසැකය.

”මූ අද ආවේ නැත්නම් හෙට ගෙදරට ගිහිල්ලා හරි වැඩක් දෙමු.” ලක්සිරි කීවේ දත්කුරු කමිනි.

ජයසුන්දර ඝාතන නියෝගය තිලක්ට ප‍්‍රහේලිකාවකි. ඔහු යූ. ඇන්. පී. කාරයෙක් බව සැබෑය. ඔහු පමණක් නොව ඔහුගේ පරපුරේ සියළු දෙනා පරම්පරාගත යූ. ඇන්. පී. කාරයෝය. එහෙත් ඔහුට දේශපාලන උණ තිබුණේ නැත. ඉතා සාධාරණව රාජකාරි කළ ජයසුන්දර රාළහාමි ගමේ කොයි කවුරුත් සමඟ හිත හොඳින් සිටියේය.

සාමාන්‍ය පෙළ විභාගයට ලියන්නට හැඳුනුම්පත ලබා ගැනීමට පෝර්මය පුරවා දුන්නේ ජයසුන්දර රාළහාමිය. අකුරු ශාස්ත‍්‍රය නොදත් තිලක්ගේ පියා, තම පුතා වන තිලක්ගේ පෝර්මය පුරවන ජයසුන්දර රාළහාමි දෙස බලා සිටියේ ගෞරවයෙන් හා කෘතගුණ සැලකිල්ලෙන් යුතුවය.

”දැන් භාරකාරයා හැටියට අබිලිං මෙතන අත්සනක් දාන්න.” ජයසුන්දර රාළහාමි පියාට පෝර්මය දුන් විට, අත්සන් කිරීමට නොදත් පියා මහපට ඇඟිලි සලකුණ නියමිත ස්ථානයේ තබා තම යුතුකම ඉටු කළේය.

” ඕං අයිඩෙන්ටිකාඞ් වැඬේ හරි. දැන් තියෙන්නේ හොඳින් පාඩම් කරලා විභාගේ පාස් වෙන එකයි.” ජයසුන්දර රාළහාමි පැවසුවේ හිතවත් වැඩිහිටියෙකුගේ විලාසයෙනි.

සාමාන්‍ය පෙළ පමණක් නොව උසස් පෙළ හා උපාධියද සමත් වූ තිලක් හට රැකියාවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පොලිස් වාර්තා ලබා ගැනීමටද ග‍්‍රාම නිළධාරියා උපකාර කළේ කිසිදු ඊර්ෂ්‍යාවක් හිතේ නොදරමිණි. ”මොහු ඉතා අවංක කාර්යශූර අයෙකු බව සහතික කරමි” යැයි ජයසුන්දර රාළහාමි තිලක්ට චරිත සහතිකයක් නිකුත් කරමින් මුද්‍රා තැබීය. එහෙත් සම්මුඛ පරීක්ෂණ වලට විනා රැකියාවකට ඔහුට අවස්ථාව නොලැබුණි.

රණබාහු සහෝදරයාගේ නියෝග ප‍්‍රශ්න නොකොට ඉටු කළ තිලක් ඔහු සමග මතවාදීව ගැටුණේ සහල් ගබඩාවට ගිනි තැබීමට තැත් කළ අවස්ථාවේදීය. රණබාහු සහෝදරයා සහල් ගබඩාවට ගිනි තැබිය යුතු යැයි තර්ක කළේය. එහෙත් එයට එකඟ වීමට තිලක්ට නොහැකි විය.

”රණබාහු සහෝදරයා, ගොවීන්ගේ වී මිළට ගන්නේ මේ ගබඩාවයි. මෙතන රැස් කරන වී සමූපාකාරයෙන් අරගෙන යනවා. අපි මේක විනාශ කළොත් ගොවීන්ට වී ටික විකුණා ගන්න විදිහක් නැති වෙනවා. එතකොට වෙන්නේ මුදලාලිලා අඩු මිළට ගොවීන්ගේ වී ගන්න එකයි.”

රණබාහු සහෝදරයා තිලක් දෙස හෙළුවේ අභියෝගාත්මක බැල්මකි. ”තිලක් සහෝදරයා ප‍්‍රශ්න විශ්ලේශණය කරන්නේ මතු පිටින් විතරයි. සහෝදරයා ඔය කියන්නේ මතු පිටින් පෙනෙන සත්‍යය. වී ගබඩාව කියන්නේ ගොවීන්ගේ සටන් ශක්තිය හීන කරන මෙවලමක්. අපි එ්ක විනාශ කරන්න ඕනෑ. එතකොට ගොවීන් විප්ලවකාරී බලවේගයක් බවට පත් වෙනවා....”

රණබාහු සහෝදරයා කෙටි දේශනය අවසන් කළේ ජයග‍්‍රාහි හඬකිණි. ඉන් පසුව තිලක් කිසිවක් කීවේ නැත. එදින රාත‍්‍රියේ ඔවුහු වී ගබඩාවට ගියහ. විශාල පිට්ටු බම්බු වැනි කොන්කි‍්‍රට් ගබඩාවල දොරවල් නාරස්සනයකින් කඩා දැමූ ඔවුහු වි පිරවූ ගෝනි වලට පෙට්රෝල් වත්කොට ගිනි තැබූහ.

”මුරකාරයා පේන්නවත් නැහැ..” තිලක් වටපිට බලා පැවසීය. ඉන්පසු ඔවුහු කාර්යාලය දෙසට ගියෝය. කුඩා කාර්යාලය ද ගිනි දෙවියාට පිදීමට ඔවුන්ට ගතවූයේ සුළු කාලයකි. වී තොග ගබඩාව දුම් දමමින් ගිනි ගනිද්දී ඔවුහූ පළා ගියහ. පසු දින ගබඩාවේ ඉතිරි වී තිබුණේ යෝධ කොන්ක‍්‍රීට් සැකිල්ල පමණි. ගින්න නිසා පිට්ටු බම්බු වැනි සුදු කොන්ක‍්‍රීට් ආවරණ කළු පැහැ ගැන්වී තිබුණි. කාර්යාලය තිබුණු තැන ඇත්තේ අඟුරු ගොඩකි.

ඉන් සතියකට පසු ඔහු ගෙදර ගියේ සුළු වේලාවක් සඳහාය. තිලක් දුටු ඔහුගේ පියා ඔහු දෙස බැලූවේ බිය මුසු දෙනෙතිනි.

”පුතේ පෙරේදා පොලීසියෙන් මෙහෙ ආවා. උඹ ගැන අහගෙන..” පියා කීවේ බියපත් හඬෙකිණි.

”පුතේ... ආපහු මෙහෙ එන්න එපා, උඹව අල්ලගෙන යයි. රන්බණ්ඩාගේ පුතාවත් පොලීසියට ගෙනිච්චලු” මව පැවසුවේ අඬන්නාක් මෙනි.

තිලක් කිසිවක් නොකියා දෙමාපියන් දෙස බලා පිටත්ව ගියේ කඩිනමිනි. ගම්මුන් මුලිච්චි නොවීම සඳහා ඔහු බඩවැටි අස්සෙන් සමන්මලීගේ නිවසට ගියේය. එහෙත් සමන්මලී නිවසේ නොවූවාය. ඇයගේ නිවසද වසා දමා තිබුණි.

”අද උදේ සමන්මලීවයි, අයියවයි හමුදාවෙන් ගෙනිච්චා,” අසල්වැසි කොළුවෙකු වූ මද්දු කීවේය. දෙපා කොර වී ඇති මද්දු ඇවිදින්නේ සැරයැටියක ආධාරයෙනි.

ලැබෙන ආරංචි අනුව මෙහි සිටීම සුදුසු නැත. තිලක් ප‍්‍රධාන මාර්ග මඟ හැර රක්ෂිත ස්ථානයක් බලා ගියේය. කුඩා වන රොදක ඇති ගල් තලාව ඔවුන්ගේ රක්ෂිත ස්ථානය විය. පොලීසියෙන් හෝ හමුදාවෙන් එන විට ගල් තලාව උඩ සිටින සඟයෙකුගේ සංඥවෙන් ඔවුන්ට ගංගාව දෙසට පැන යාමට හැකි වේ. ගංගාව අසල පාලම තරණය කොට ඔවුන්ට නගරයට අවතීර්ණ විය හැක. නගරයේ සැරිසරන දහසක් මිනිසුන් අතර මොහොතක දී ඔවුන්ට අතුරුදහන් වීමට ගත වන්නේ විනාඩි ගණනකි.

”තිලක් සහෝදරයා, මොනවද ආරංචි?” ඔහු දුටු රණබාහු සහෝදරයා ඇසිය.

”සමන්මලීවයි අයියවයි අරගෙන ගිහිල්ලා. මෙලහකටත් මරලා දාන්න ඇති...” තිලක් පැවසුවේ කලකිරීම හා කෝපය මිශ‍්‍ර වූ හඬකිනි.

”ප‍්‍රතිගාමින්ගේ මුර බල්ලෝ” රණබාහු සහෝදරයා කීවේ කෝපය හා පිළිකුල දනවන හඬකිනි. ”මුන්ගේ පවුල්වල එවුනුත් මරලා දාන්න ඕනේ.”

රණබාහු සහෝදරයා ඇතැම් විට ක‍්‍රියා කරනුයේ වෛරයෙන් හා අගතියෙන් බව තිලක් වටහා ගත්තේය. විප්ලවවාදියෙකුට මිනිසුන්ට වෛර කළ හැක්කේ කෙසේද? ඔහු මොහොතක් සිතුවේය. මාක්ස් වාදය හැදෑරිමෙන් පසු ඔහුට විප්ලවවාදියෙකු විමට නොමද ආශාවක් ඇති විය. කැස්ත්‍රෝ, චේ වැනි විප්ලවවාදියෙකු වී මිනිස්සුන්ට විමුක්තිය උදාකර දෙන්නට ඔහුට බලවත් ආශාවක් තිබුණි. එහෙත් දැන් ඔවුන් කරන ක‍්‍රියා ජනතාවට හිතකරව බලපාන්නේදැයි, තිලක් හෘද සාක්‍ෂ්‍යයෙන් විමසිය. එහෙත් සුදුසු පිළිතුරක් නොලැබුණි.

”තන්ත‍්‍රී සහෝදරයා එළිය කන්දට ගෙනිහිල්ලා.” ජාවිගොඩ තිලක්ට පැවසුවේ සංවේගයෙනි.

එළියකන්ද හෙවත් කේ පොයින්ට්, එළියකන්ද වදකාගාරයට ගිය අයෙකු පණ පිටින් පැමිණියේ කලාතුරකිනි.

”තන්ත‍්‍රී අපිව පාවා දෙයිද?” ජාවිගොඩ තිලක්ගෙන් රහසින් මෙන් ඇසිය. තන්ත‍්‍රී විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකි. දිගින් දිගටම විශ්ව විද්‍යාල වසා තිබූ නිසා ඔහු ව්‍යාපාරයට සම්බන්ධ විය.

”නෑ.. සහෝදරයා, තන්ත‍්‍රී අපිව පාවල දෙන්නේ නෑ. එ්ක මට විශ්වාසයි.” තිලක්ගේ පිළිතුරෙන් ජාවිගෙඩ සැනසුම් සුසුමක් හෙළීය.

”සහෝදරයා..” ජාවිගොඩ තිලක්ට මදක් ළං විය.

”අපි වී ගබඩාවට ගිනි තියපු එකට ගම්මු අපිත් එක්ක කළකිරිලා. දැන් ගම්මැද්දේ අපට සපෝට් එකට කවුරුත් නෑ. සමන්මලීවයි අයියාවයි ගෙනිච්චේ වී ගබඩාව ගිනි තිබ්බට පස්සේ, කවුරු හරි දුන්න ඔත්තුවකට.”

වී ගබඩාව ගිනි තැබීමෙන් පසු රණබාහු සහෝදරයා කී පරිදි ගොවින් ප‍්‍රතිගාමින්ට එරෙහිව අවි අතට ගනු ඇත. එහෙත් ඔර්ලෝසුවේ කටු කැරකෙන්නේ අනිත් පැත්තටය. දැන් ගොවීහු විප්ලවවාදීන් දඩයම් කරති.

රණබාහු සහෝදරයා ඔවුන් අතරට පැමිණි නිසා ඔවුන්ගේ දෙබස ඇන හිටියේය. උක්කුටිකයෙන් හිඳ ගත් රණබාහු සහෝදරයා මී ළඟට කළ යුත්තේ කුමක් දැයි විස්තර කළේය.

”සමන්මලිවත්, අයියාවත් ගෙනිච්චේ ග‍්‍රාමයාගේ කේලමකට වෙන්න ඕනෑ. දැන් තියෙන්නේ ඌව සයිලන්ස් කරන එක. මට ඔත්තුවක් ආවා හෙට දවල්ට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමක් තියෙනවා කියලා. මූ රැස්වීමට ගිහිල්ලා එනකොට බෝක්කුව ළඟදී අල්ලා ගමු.” රණබාහු සහෝදරයා කීවේ නිශ්චිත අයුරිණි.

”හෙට මාත් එක්ක තිලක් සහෝදරයයි, ලක්සිරි සහෝදරයයි යං.” ඊට එරෙහිව කිසිවෙකු කථා නොකළ නිසා යොජනාව ස්ථිර විය. පසු දින සවස් වන විට ඔවුන් සිටියේ බෝක්කුව අසල වූ පඳුරු අස්සේ සැඟවී ගෙනය.

”අන්න කවුද එනවා” ලක්සිරි කලබල විය.

ඔවුහු ඈතට ගොස් නෙත් යොමාගෙන සිටියෝය. ඈතින් එන පුද්ගලයා ඇවිදින විලාශය අනුව ඒ ජයසුන්දර රාළහාමි බව තිලක් වටහා ගත්තේය.

”හරි, හරි, ඒ එන්නේ ග‍්‍රාමයා. දැන් දෙමු වැඩේ.” රණබාහු තුවක්කුව සූදානම් කළේය. ”තිලක් සහෝදරයා තමුසේ අද වැඩේ කරනවා. පෙන්නනවා තමුසේ හොඳ විප්ලවවාදියෙක් කියලා. ව්‍යාපාරයට තියෙන පක්ෂපාතිත්වය පෙන්වන්න තියෙන හොඳ අවස්ථාවක් මේක. ගන්නවා මේ තුවක්කුව.” ඔහු තිලක් අතට තුවක්කුව දුන්නේය.

තිලක් තුවක්කුව අතට ගෙන මහළු පුද්ගලයා තමා ඉදිරියට එනතෙක් බලා සිටියේය.

‘වෙඩි තියන්නේ කොහාටද? හිසටද? නැතිනම් පිටු පා යන විට පසුපසටද?‘ තිලක් කල්පනා කළේය. ග‍්‍රාම නිළධාරි ජයසුන්දර රාළහාමි කාටවත් වැරැද්දක් නොකළ රජයේ සේවකයෙක්. හිතේ සැකේට මරන්න නියම වෙලා. සමන්මලී ගැන ඔත්තුව දුන්නේ වෙන මිනිහෙක් වෙන්න බැරිද? සමන්මලී ගැන ඔත්තුව දෙන එක ජයසුන්දර රාළහාමිට මීට කලින් කරන්න තිබුණේ නැද්ද? ඔහු තුවක්කුව අල්ලාගෙන සිතමින් උන්නේය.

දැන් නිළධාරියා හොඳටම කිට්ටුය. තිලක් තුවක්කුව තදින් ග‍්‍රහණය කළේ ඉලක්කය නොවරදවා ගැනීමටයි. දැන් ජයසුන්දර රාළහාමිගේ මුහුණ ද පෙනේ. පඳුරට මුවා වි සිටින නිසා ග‍්‍රාම නිළධාරියාට තම ඝාතකයා නොපෙනේ. දැන් හොඳම මොහොතයි. තිලක්ගේ දබර ඇඟිල්ල කොකා වෙත ගියේය. එහෙත් ඔහු කොකා ගැස්සුවේ නැත.

”රාළහාමිගේ මුහුණ බල බල මට වෙඩි තියන්න බැහැ. රාළහාමිට පිටිපස්සෙන් වෙඩි තියනව."ඔහු ග‍්‍රාම නිළධාරියාට ඉදිරියට යාමට ඉඩ හලේය. ඔහු පසු කොට ඉදිරියට යන ජයසුන්දර ග‍්‍රාම නිළධාරියාට තිලක් තුවක්කුව මෑනුවේය. එහෙත් ඔහු තවම කොකා ගැස්සුවේ නැත. ග‍්‍රාම නිළධාරියා ක‍්‍රමයෙන් ඉදිරියට ගමන් කරද්දී රණබාහු සහෝදරයා නොසන්සුන් විය.

”තියපං” රණබාහු කෙඳිරීය. තමා පසුකොට යන ග‍්‍රාම නිළධාරියා දෙස තිලක් බලා සිටියේ උපේක්ෂා සහගතවය. ඔහු තුවක්කුව පහත දැමීය.

”බැහැ සහෝදරයා, මට ඒ නාකි මිනිහා මරන්න බැහැ. අපි විප්ලවවාදින් මිසක් ඝාතකයෝ නොවෙයි. මෙන්න තුවක්කුව. මට මීට පස්සේ මේ වගේ වැඩ පවරන්න එපා.” ඔහු රණබාහු දෙසට තුවක්කුව විසි කළේය.

”තිලක් සහෝදරයා, තමුසේ හරි ළාමකයි. තමුසේ කවදාවත් විප්ලවවාදියෙක් වෙන්නේ නැහැ. දැන්වත් දුවලා ගිහිල්ලා ග‍්‍රාමයාට වෙඩි තියනවා.” රණබාහු සහෝදරයා තුවක්කුව අහුලා ගනිමින් කිවේය.

”බෑ සහෝදරයා, මම කිව්වානේ මේක මිනී මරුමක්. අපි යන මාර්ගය වැරදියි. අපි යන්නේ ජනතාව එක්ක නෙවෙයි” තිලක්ට කීමට හැකි වූයේ එපමණකි. වියුරු වැටුණු රණබාහු සහෝදරයා තුවක්කුව තිලක්ගේ මුහුණට එල්ල කළේය. ”අඩෝ පෙන්දා, ද්‍රෝහියා, පාවා දෙන්නා තෝ ග‍්‍රාමයාට වෙඩි තියනවද? නැතිනම් මේකෙන් කනවද?”

” ඕන දෙයක් කරන්න සහෝදරයා. මෙන්න මම දැන් ගියා. මට දැන් උලත් එකයි. පිලත් එකයි.” මෙසේ පවසමින් තිලක් සෙමින් ගම්මානය දෙසට යන්නට විය.

”ඒයි නැවතියං, මම උඹට අන්තිම වතාවටයි කියන්නේ.....” රණබාහු ඉදිරියට යන මිනිසාට තුවක්කුව එල්ල කළේය. මුවින් කිසිවක් නොපැවසූ තිලක් ඉදිරියටම ගියේය. රණබාහුගේ ඉවසීමේ සීමාවේ රතු ඉර පැන්නේය. ඔහු තිලක් දෙසට වෙඩි තැබීය. වෙඩි හඬ සමඟ තිලක් බිම ඇද වැටුණේය.

රුවන් එම්. ජයතුංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails