Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කොරවක් පාද ඇති කැහැටු මිනිසා කොරවක් ගමනින් ගිනිගත් තාරපාර පැන, තීක්ෂණ විලාසයෙන් සිය ගොදුර ලුහුබැන්දේ ය. ඔහු ගේ ගොදුර බවට පත් ව සිටියේ ඔහු මෙන් ම මැදි විය පසු කර සිටියකු වුවත්, ඔහුට සහමුලින් ම ප්‍රතිවිරුද්ධ රූප සෝබාවක් පෑවෙකි. ගොදුර ලුහුබඳින්නා දිරාපත් කැහැට්ටකු වන විට ගොදුර බවට පත් වූ මිනිසා පැහැපත්, පිළිවෙල සහ පිරිපුන් රූ සොබාවෙන් යුතුවූවකු විය.

ඇත්තට ම නම් ගොදුර බවට පත් පුද්ගලයා සම්බන්ධයෙන් වූ ඛේදය වූයේ ඔහු තමා ගොදුරක් බවට පත් ව ඇතැයි යන්න පිළිබඳ හාංකවිසියක් නො දැන සිටීම යි. ඒ වෙනුවට ඔහු ද ගොදුරක් ලුහුබඳින්නකු වී සිටියේ ය.

ඔහු ගේ ලුහුබැඳීමේ ක්‍රමවේදය කොරවක් පාද ඇත්තාට වඩා සහමුලින් ම වෙසන් විය. ඔහු, ලුහුබැඳීම අටවා තැබූ හා පසුපසින් යමින් එය අධීක්ෂණය කරන්නා පමණක් වූ අතර, ඇත්තට ම ලුහුබැඳීමේ නිරත වී සිටියේ ඔහුට පේනමානයෙන් හොර බළල් වෙසින් කුරුමාණම් අල්ලමින් සිටි කාකි සූට් දෙකකි.

කොරවක් පාද ඇත්තා හදිසියේ ම සිය ගොදුර වෙත කඩා පැන්නේ ය. ශෝභාමත් සිරුර ජනාකීර්ණ පදික වේදිකාවේ පතබෑවුණු අතර, සිතාගත නො හැකි වේගයකින් සහ ජවයකින් පිහි පාරවල් තුනක් - හතරක් - පහක් වටකුරු සිරුරේ පපු පෙදෙස කපාගෙන කිඳාබැස්සේ ය. සීනි අමාරුවෙන් ද, අධි රුධිර පීඩනයෙන් ද, අක්මා ප්‍රදාහයෙන් ද පරිපීඩිත පොලීකාරයා ලේ විලක් මැද පදික වේදිකාවේ දපා සිටින විට කොරවක් පාද සහිත ලොතරැයිකාරයා පිහි කොටය කුණු ඇලට විසි කොට සරම කැහැපොට ගසමින් කොරවක් ගමනින් ම ලහි ලහියේ ජවනිකාවෙන් පලාගියේ ය.

ඇය තුළ කිසිදු පැහැදීමක් ඇති නො කළ, ඒ වෙනුවට තැතිගැන්මක් හා අසරණකමක සේයාවක් ඇති කළ ත්‍රී වීල් ගමන නැවතුණේ මුහුද අද්දර විසල් භූමියක ඉදිවුණු හුදෙකලා කබානා කුටි ගොන්නක් අසලිණි.

ජනාකීර්ණ පදික වේදිකාවක මහ දවාලේ දුටු පිහි ඇනුමක් නිසා ඇගේ හිතත්, ගතත් හොඳට ම තේන්තු වී තිබිණි. එ තැන් පටන් තමන් යන්නේ කොහේද යන්ත තබා, ඉන්නේ කොතැනද යන්න ගැන පවා ඇයට නිච්චියක් නිනව්වක් තිබුණේ නැත. හොඳ වැදගත් මහත්මයකුට මහ දවාලේ පාතාලේ මිනී මරුවකු විසින් දෙනෝ දාහක් ඉදිරියේ පිහියෙන් ඇන මරා දැමීමේ ක්ෂණික දර්ශන පෙළ ඇගේ සිත් කැමරාවේ නො මැකෙන ලෙස සටහන් වී තිබිණි. එය දුටු ඇය, අගනුවර නොසන්ඩාල ජීවිතය ගැන බෙහෙවින් බියපත් වූ අතර, හද්දා පිටිසරින් පැමිණ දැන් අග නගරයේ අතරමං ව සිටින සිය සැමියා ගැන සිතින් නො සෑහෙන ලෙස කරදර වූවා ය. නිතර දෙවේලේ තමන්ගෙන් සාප ලබන සැමියා වැටී සිටින්නේ කෙබඳු රකුසු කටකටදැ යි සිතත් ම ඇගේ සිත මොහොතකට 'හොස්' ගා දැවී ගියේ ය.

තරුණ දැන්වීම්කාරයා රියැදුරාට මුදල් ගෙවා සියල්ල නිමා කරන තුරුත් ඇය සිහි මඳ එකියක සේ රථය තුළ ම ලැග උන්නා ය. ඔහු ගේ විධානයට අනුව බිමට බසින්නට සිදු වූ කල ය, ඇය යළිත් පියවි ලෝකයට ඇදවැටුණේ. හදිසියේ සිහිසන් ලැබූ සේ අවට පිරික්සා බැලූ ඇය කලබල වූවා ය.

''අනේ...... කොහෙද මේ?'' ඇයට වචන අමතක ව තිබිණි. එහෙත් ඒ වන විටත් ඔහු විසින් ඇය කුණු මාළු කෑල්ලක් මෙන් රියෙන් බිමට ඇදගනු ලැබ සිටියා ය. සරදම් 'පුටු පුටුවක්' නඟමින් ත්‍රී රෝද රිය ක්ෂණයකින් ජවනිකාවෙන් ඈතට පලාගියේ ය. එය ගේට්ටුවෙන් පිටවන විටත් කැහැටු රියදුරා ගේ විපරම් සහගත අවඥා බැල්ම ඇගේ මුහුණේ හැපිණි.

ඇගේ දිව ගිලී, උගුර වියැලී තිබිණි. තමා ක්ලාන්ත වන්නට එන්නේ ය යි ඇය බිය වූවා ය. පාතාලේ මිනීමරුවා ගේ පිහි පහර නිසා වැදගත් මහත්මයකු ගේ පපුවෙන් ඉහළට විදි ලේ දහර මතක් වීමෙන් ඇයට ඔක්කාරය වැළැඳිණි.

කුටියේ දොර විවර කළ තරුණ දැන්වීම්කාරයා, පණ යන්නට ඔන්න මෙන්න මෙන් වැනෙමින් සිටි ඇය එ තුළට ඇදගත්තේ ය.

''අනේ මට බෑ'' තාමත් ඇගේ වචන පෙළගැස්ම අසාර්ථක විය. කටහඬ සහ සිතිවිලි අතර ඒකාබද්ධාවක් නො වීම විසින් ඇය බියපත් කරනු ලැබිණි.

''හරි හරි දැන් කලබල නැතුව ඉන්ඩකො''

දොර 'දඩස්' හඬින් වැසී ගිය පසු ඔහු ඇගේ ගුරුකමින් හික්මවන ලද සළුපිලි මත තර්ජනාත්මක හස්තය තැබී ය. ඒ අතේ දැඩි බවත්, මුදු මෙළෙකත් සිය ආත්මය සී සීකඩ විසුරුවාලන්නට තරම් බව ඇයට ම තේරුම් ගිය බැවින්, සිරුරේ කොතැනක ම හෝ ඉතිරි ව තිබෙන අන්තිම ධෛර්යය බිඳුවත් සූරා එක්තැන් කරගත යුතුය යි ඇයට ක්ලාන්තය මැදින් ම කල්පනා විය.

තීක්ෂණ දැල් එලන්නකු වූ තරුණ දැන්වීම්කරුවා බලහත්කාරය අත්හැර ඇගේ අසරණ භාවයට ආමන්ත්‍රණය කිරීමට තීරණය කළේ ය. ඔහු ගේ මුදු, උණුසුම් පිරිමැදුම විසින් ඇය වික්ෂිප්ත කර දමනු ලැබිණි. ඔහු සිය එක ම ගැලවුම්කරුවා බවත්, ඔහු ගේ ගෙල බදාගෙන හඬන්නට තමන්ට වුවමනා බවත්, ඒ අතර තමන්ට සිදු වී ඇති සියලු නස්පැත්තීන් - මේ දැන් සිදු වී ඇති නස්පැත්තිය පවා (ඒ නස්පැත්තිය කා වෙතින් කෙසේ ආවක්දැ යි ඇයට ඒ මොහොතේ අමතක ව තිබිණි) - ඔහුට කිවයුතු බවත් ඇයට එක් වර ම සිතුනත්, නැවතත් වහා පියවි ලොවට ඒමට ඇය වෑයම් කළා ය.

''මාව කොහෙද මේ ගෙනාවෙ?''

''හරි දැං කලබල නැතුව පොඩ්ඩක් ඉන්ඩ. බලන්ඩ ඔයා හොඳට ම සීතල වෙලා''

''මං ආවෙ මගෙ මිනිහ හොයන්ඩ''

''හරි හරි. පොඩ්ඩක් ඉන්ඩ මං කියනකං''


ඔහු ඇය උරින් ගෙන විදුලි පංකාව යට යහනේ සීරුවට සතපවා, කොට්ට හරිගස්සා, ඇයට සුව පහසුව සැදී ය. ඇය දෑතින් මුහුණ වසාගෙන හඬන්නට වූවා ය.

''අනේ මගෙ මනුස්සය'' ඇය මිනීමැරුමේ දර්ශන පෙළ නැවතත් දකිමින් සිටි අතර තරුණ දැන්වීම්කාරයා ඇයට පවන් සලමින්, ඇගේ හිස අතගාමින් සිටියේ ය.

රැවුල්කාරයා, සිහිනෙන් පළායන්නකු මෙන් ඒ ලෑලි ගැසූ අන්ධකාර මුඩුක්කු කෑල්ලට රිංගාගත්තේ ය. ඉලක්කය කරා ලුහුබඳින මිසයිල බඳු කාකි සූට්කාරයෝ දෙ දෙන ද ඔහු පසුපසින් එහි ඇතුළු වූහ. අඳුරු කාමරයේ එහා මුල්ලේ ඇඳකැයි තේරුම් ගත හැකි අටල්ලක දැවුණු රුක්අත්තන කඳන් දෙකක් බඳු කළු පැහැ රූ දෙකක් උග්‍ර චලනයක් හා කාස හති හඬක් සහිත ව උන්හ.

මේ අනපේක්ෂිත හදිසි කඩාවැදීමෙන්, එකට සන්ධි වී තිබූ දා ගිය දර කොට දෙක එක් ක්ෂණයකින් විසන්ධි විය. කලවැලක් බඳු දත් බොල්ලෑ ගැහැනියක (ඇය ගැහැනියක බව කියාපෑවේ පොරෝනාවෙන් නිරාවරණය වූ තල් ගැට දෙකක් බඳු තන ගැට දෙක විසිනි) හා කැහැටු පිරිමි රුවක් දෙ පසට විසි විණි. ගැහැනිය යහනේ ම මුල්ලකට ගුලි වෙමින් පොරෝනාවෙන් ආවරණය සෙවූ අතර, මිනිසා බිම ඇදවැටී යළි නැගී සිට රහසඟ පමණක් සස්පෙන්ඩරයකින් මුවා කළේ වෙනත් මුවාවක් නොවූ බැවිනි.

තේජෝබල පරාක්‍රමයෙන් යුතු කාකි බලධාරීහු එක් විට ම අනාඥාවක් නිකුත් කළ හ.

''දුවපිය පරය මෙතනිං''

ගැහැනියත්, මිනිසාත්, රැවුල්කාරයාත් අන්දුන්කුන්දුන් ව ඒ මේ අත බැලූ හ.

''තොට කිව්වෙ....... පළ මෙතනිං''

දා ගිය පොල් කඳක් බඳු මිනිසා විකාර රූපී රහස් පෙදෙස කුඩා සස්පෙන්ඩරයකින් මුවාකරගෙන කාකි සූට් දෙකක් හා අපිළිවෙල රැවුලක් අතරින් රිංගා පලා ගියේ ය.

''තමා දන්නවද චෝදනාව......? වේස ගෑනු එක්ක වේස මඩංවල අනාචාරයේ හැසිරීම'' තර්ජනාත්මක ලෙස නීති පොත කියා දෙනු ලැබුවේ තවමත් ශිෂ්ඨ ඇඳුමින් සිටි රැවුල්කාරයාට ය.

උමං කටක් බඳු මුඩුක්කු කෑල්ලේ දොරට එපිටින් පදික වේදිකාව මත ලේ විලක් වටා කාක හඬින් කෑ දෙන මිනිස් කටහඬවල් ඔවුන් ගේ අවධානයට එතෙකුත් හසුව නොතිබිණි.

ගිනි මද්දහන තාර පාරවල් මත නලියමින් තිබිණි. රැවුල්කාරයා සිටියේ වලේ ය. අහළ පහළ තිබූ බාර් හත අටෙන් ම ඒ වන විට ඔහුට යා හැකි ව තිබුණේ වලට පමණි. අනෙක් හැම බාර් එකකට ම ඔහු ඉලක්කම් තුනේ ඉහළ ම අඩියේ ගණන්වලින් ණය වී සිටියේ ය. ඔහුට කිසි ම බාර් එකක බාර්කරුවන් විසින් පැනවූ ණය සීමවක් තිබුණේ නැත. එහෙත් ඔහුට ඔහු ගේ ම ණය සීමාවක් තිබිණි. ඔහු සිය ස්වයං ණය සීමාව ඉක්මවා අනවශ්‍ය දුරක් නො ගියා සේ ම, කිසි දා කිසි ම බාර් එකකට හිතා මතා පොලු තැබුවේ ද නැත. ඔහු අතින් පොල්ලක් වැටී තිබුණේ එක ම එක ණයකට ය. ඒ පොලීකාරයා ගේ ඉලක්කම් පහේ මැද තැනක හිර ව තිබූ ණයට ය. ඔහුට සති ගණනාවකින් ගෙදර යන්නට බැරි කෙරුවේ ද ඒ ණය යි. පොලීකාරයාට දීමට තිබූ ණය යි.

අණ්ඩක් බකල ගැසූ කිලිටි මේසය මත ලාබ මත්පැන් බාගයක්, සෝඩා බෝතලයක් සහ කඩල පිඟානක් විය. ඔහු සිටියේ ගොඩ ඒ ගත නො හැකි කල්පනාවලියක පැටලීගෙන ය. ඇත්තට ම ඔහු කිසිවක් ම කල්පනා කළේ නැත. නොකළෙත් නැත. සිය ජීවිතය එතැනින් එහාට තල්ලු කරගත නො හැකිවාක් බඳු හැඟීමක් ඔහු තුළ කැකෑරිණි.

ලොතරැයිකාරයා සිය කොරවක් ගමනින් ම වලට රිංගුවේ ඒ මොහොතේ ය. ජංගම දුරකතන සමාගමක ලුමිනස් දිදුලුම සහිත අලුත් ම අලෙවි ප්‍රවර්ධන බැනියමකින් සහ කැහැපට ගැසූ හපුටු සරමකින් සැරසී සිටි ඔහු, කෙලින් ම කවුන්ටරය වෙත ගොස් සරමේ උණ්ඩි කරගෙන සිටි දහයේ නෝට්ටු හා කාසි කිහිපයක් දී කාලේ බෝතලයක් ගෙන ඉනේ සඟවාගන්නා අයුරු රැවුල්කාරයා බලා සිටියේ ය.
ලොතරැයිකාරයා යන්නට සැරසිණි.

''ඒයි ලොක්කා''

රැවුල්කාරයා නාට්‍යාකාර ව අතක් වනා කෑගෑවේ ය. ලොතරැයිකාරයා හැරී බැලුවේ ය.

''මෙහෙ එනව මෙහෙ එනව.....! ඉඳගන්නව......!!''

ලොතරැයිකාරයා වරදක් කර හසුවූ එකකු මෙන් වටපිට බලා කිසිවකු ගේ විශේෂ අවධානයක් නැති බව දැක රැවුල්කාරයා වෙත ගියේ ය. රැවුල්කාරයා ඔහුට අතින් සිය ඉදිරිපස අසුන පෑවේ ය.

ලොතරැයිකාරයා හැමදාමත් මෙන් මොහොතකට බයාදු ව ඇඹරුණේ ය. වතාවන් ගණනාවක දී ම ලොතරැයිකාරයා රැවුල්කාරයාගෙන් මේ ආරාධනාව ලබා ඔහු ගේ මේසයේ වාඩි වී තිබිණි. එහෙත් හැමදාමත් ඒ ආරාධනය ලබන ලොතරැයිකාරයා මොහොතක් ඇඹරෙන්ණේ ය.

''ඉඳගන්නව අයිසෙ ඉඳගන්නව''

ඒ වන විටත් පදමක සිටි රැවුල්කාරයා කීවේ ය.

''ආ ගන්නව.....! කිව්වහම ගන්නව.....!! ආ කඩල ඇටේකුත් කනව''

ඔහු ලොතරැයිකාරයා වෙත මේසයේ වූ සබ්බ සකලමනාව ම තල්ලු කරමින් කීය. ඉන්පසු ඔහු අඩක් අවසන් සිය වීදුරුව දෙස බලාගෙන යටි තොලත් ඇදකරගෙන කල්පනා කළේ ය. පුටු ඇන්දෙන් පහළට එල්ලී තිබූ අතත්, බීමතට දෝ දෑසේ තිබූ තෙතමනයත් ලොතරැයිකාරයා තුළ වේදනාවක් ඇතිකළේ ය. ඔහු මේ නගරයේ මහ වීදි, හරස් වීදි, පටු මං, මුඩුක්කු හැම තැනක ම ඕනෑ තරම් මහත්තුරු දැන සිටිය ද රැවුල්කාරයා ගැන ඔහුට ඒ හැමෝම ගැන නැති විශේෂ හැඟීමක් විය.

ලොතරැයිකාරයා අමුවෙන් ම වඩියක් කටේ හලාගත්තේ ය. කොරවක් ඇඟිලිවලින් පිඟානේ කෙළවර පහුරු ගා කඩල ඇට දෙකක් සීරුවට ගරාගත්තේ ය. ඊ ළඟට ඔහු රැවුල්කාරයා දෙස බලා ඉන්නට පටන්ගත්තේ ය.

හදිසියේ පියවි ලොවට ඇද වැටුණු රැවුල්කාරයා වහා සිය වඩිය කටට හලාගෙන කඩල අහුරක් ඩැහැගත්තේ ය. නැවතත් වීදුරුව පුරවාගත් ඔහු බෝතලය ලොතරැයිකාරයාට තල්ලු කළේ ය.

''තව ගන්නව - තව ගන්නවා!''

අදිමදි කළ ලොතරැයිකාරයා තවත් වඩියක් අමුවෙන් ම පානය කළේ ය. තවත් සෑහෙන වේලාවක් නිශ්ශබ්ද ව ගත වූ අතර, ලොතරැයිකාරයා ඒ අතර තුන්වැනි වඩිය ද අවසන් කළේ ය. ඔහු සිටියේ රැවුල්කාරයා ගැන තැවෙමින් ය. ඒ නිසා ම වෙරි මත අවශ්‍ය මානසිකත්වයක ය. බාර් එක ද පාළුවට ගොස් තිබිණි.

රැවුල්කාරයා කිසිවක් කීවේ නැත. ලොතරැයිකාරයාට ඔහු සතුටු කිරීමට අවශ්‍ය විය. ඔහු කවදත් කියන්නට කැමැති මලයා ගේ විස්තරය කියන්නට උත්සාහ කළේ ය.

''ඌ මිනීමරුව - මායි ඌයි එකට ගමෙං පැනල ආවෙ මෙච්චරක්කිතර කාලෙ....... ''

රැවුල්කාරයා ඔහු ගේ වේදනා දැහැනෙන් මිදවීමට ඒ කතාව අසමත් විය. ලොතරැයිකාරයා කතාව අතහැර දමා යළිත් ඔහු දෙස බලාගෙන සිටියේ සෝ බරව ය.

රැවුල්කාරයා සතුටු කිරීමේ වුවමනාව ඔහු වෙතින් පහ වූයේ නැත. ඔහු නැවතත් වඩියක් කටේ හලාගෙන පුටුව පස්සට දමා නැගී සිටියේ ය. දෑතින් මේසය අල්ලාගෙන කුදු ගැහුණු ඔහු අමුතු ම නැටුමක් නැටුවේ ය.

''කොලහල වෙන්නෙත්
ගහබැන ගන්නෙත්
ආලේ හින්දා නේ - අම්මප
ගෑනුන් හින්දා නේ''

ඔහු පස්ස පද්දමින් තමා ආදි කාලයේ රඟ පෑ බව කියන ටීටර් නැටුමක් පෑවේ ය. රැවුල්කාරයා මැස්සකු පන්නන්නට මෙන් අතක් ගසා දමා දෑස පියාගත්තේ ය. සිය දෙ වන තැත ද ව්‍යවර්ථ වූ බව තේරුම් ගත් ලොතරුයිකාරයා යළිත් පුටුවේ ඈඳිගත්තේ ය.

''අර ගිනිපොලිය වෙන්ඩෑ?''

ටික වෙලාවකට පසු ලොතරැයිකාරයා මේසය හරහා එබෙමින් හෙමින් ඇසුවේ ය.

''දවස් ගාණකිං ගෙදර ගියෙත් නෑ නේද?'' වැඩි ආස්සරයක් - කතා බහක් නැත ද රැවුල්කාරයා ගැන හැම දෙයක් ම පාහේ ලොතරැයිකාරයා දැන සිටියේ ය.

රැවුල්කාරයා කිසිත් නො කියා දෑස් පියාගෙන සිටියේ ය. ලොතරැයිකාරයා ගේ හදවතේ ගැඹුරු ම තැනක රිදුමක් ඇති වී ඇසට තෙතමනයක් ඉණුවේ ය.

''හොඳයිකො. මං බලාගන්නංකො!''

පහත් හඬින් කී ලොතරැයිකාරයා නැගිට යන්නට හැරුණේ ය. යන අතර ද ඔහු මොන මොනවා දෝ මිමිණුවේ ය.

''හොඳයිකො. මං බලාගන්නංකො. මලය මිනීමරුව. ඌ ජීවිතේටම හිරේ. උගෙ ගෑනු දෙන්නම මගෙ කරපිට වැටිච්චි. ඒකයි මාත් හෙමිජ්ජ වගේ හිටියෙ. උංට දැං අමාරුවක් නෑ මං නැතුවට. මාත් මිනීමරුව තමයි හිරේ නොතැප්පට''

රැවුල්කාරයා යන්නට හිතාගෙන හිටියේ වෙන ම ගමනකි.

ඒ ගමනේ පෙරනිමිති ඔහු ඕනෑවටත් වඩා පළ කළ කාලයක් විය.

එහෙත් ඔහු අද වන විට ඇවිත් ඉන්නේ වෙන ම ගමනකි.

දැවැන්ත සාහිත්‍යකාරයෙක් ඔහු ගේ ආත්මයෙන් යාන්තමට ඔළුව එළියට දමා සදහට ම සැඟවගත්තේ ය. විදග්ධ නාට්‍යකාරයා ද තිරය අස්සෙන් යාන්තමට ඇස් ගෙඩි එළියට දමා ප්‍රේක්ෂකාගාරය දෙස බලා යළි නො එන්නට ම ඔහු ගේ ආත්මය පතුලට වැදගත්තේ ය. පෙරළිකාර සිනමාකාරයාට මෙ ලොව එළිය යන්තමින්වත් නො වැදුණු අතර, හෙතෙම සැලෝලයිඩ් මායාවක් මෙන්, ඔහු තුළ ම නූපන් දරුවකු ව මිහිදන් වී ගියේ ය.

ඒ නිසාවෙන් දැන් ඉතින් ඔහු ඇවිත් ඉන්නේ වෙන ම ගමනකි. මහ බරපතල බවක් කියාපානා, නීරස, අණ්ඩුවේ දෙපාර්තමේන්තුවක නිකම් ම නිකම් ලියන්නකු ගේ තැනින් ඔහු ගේ ගමන අවසන් වී තිබේ. දෙපාර්තමේන්තුවේ නමේ බරපතලකමට ම හරියන දහ නමවැනි සියවසේ යටත් විජිත සම්ප්‍රදායයේ දැවැන්ත ගොඩනැගිල්ලක එම කාර්යාලය පිහිටා තිබිණි. දෙපාර්තමේන්තුවේ නම බරපතල වුවත් එය යටින් ඈඟුල් කෑ හුඹහක් වූවා සේ ම, නඩත්තු කළ නො හැකි ඒ දෑවැන්ත ගොඩනැගිල්ලේ කාර්යාලය ද ලාබ තීන්ත ලාටු ඉලීමෙන් පමණක් රැකගත් පිට ඔපය හැරෙන්නට ඇතුළතින් දිරකඩ වූ හපුටු ගඳ ගහන අන්ධකාර ගුහාවක් විය.

මේ සියල්ල ගැන හිතද්දී ඔහුට දැනුණේ තමන් ගැන ම ආත්මානුකම්පාවකි.

සරසවි ජීවිතයේ ජීවයෙන් පිරි කලා ව්‍යාපාරයෙන් ඔහුට ඉතිරි වූ එක ම වස්තුව, අද ඔහුගේ ම නිවසේ මෙහෙකාරිය ද, කුස්සි අම්මා ද, රෙදි සෝදන මැෂිම ද මොන්ටිසෝරි පාලිකාව ද වී සිටින්නී ය. එදා ඔහු ගේ කලාවට වහ වැටී පස්සෙන් ආ ඇය අහලකවත්, අද කලාවක් ගෑවිලාවත් නැති බව ඔහුට වරෙක සිතිනි. එහෙත් නිස්කාංසුවේ කල්පනා කරන විට ඔහු තුළ පැනනඟින, ඔහු ම භ්‍රාන්ත කරවන ගැටලුව වූයේ කලාව ගෑවුණු තැන් පවා සේදී ගොස් ඇත්තේ ඇගේ ද, නැතිනම් තමන්ගේම ද යන්න යි.

රැවුල්කාරයා මනා කොට පිළියෙල කරන ලද පිරිසුදු, පැහැදුල් අවන්හලකට ගියේ දිගු කාලයකට පසුව ය. මේ ඊයේ පෙරේදා ඔහුට මහ මග දී හමු වූ නැව්කාරයා සමඟ ය, ඒ.

රැවුල්කාරයාට දැන් ඔහු ගේ පරණ යාළු මිත්‍රාදීන් ගැන එහෙමකට මතකයක් නැත. ඔහු ඒ මතක කොටස ඔහු වුවමනාවෙන් ම මකා දමා තිබිණි. අහම්බෙන්වත් කිසිවකු මග තොටක දුටුවොත් ඔහු කළේ ක්ෂණයකින් එ තැනින් මාරු වී සැඟවීම ය.

ඒත් නැව්කාරයා තරුණ කොල්ලන්ගේ මෝස්තරයට අනුව ජැංඩියට හැඳ පැළැඳ පත වාහනයකින් බැස ගිනි ගහන මද්දහනක ඔහු අබිමුව පාර හරස් කරගෙන සිටගන්නා විට රැවුල්කාරයාට ඔහු ගැන හාංකවිසියක මතකක් තිබුණේ නැත.

''උඹ අහවලා නේද? දැං කොහෙද? මොනවද කරනනෙ? පරණ වැඩ කොහොමද? තාම එහෙම්මම ද? උඹල බැන්දද? දරුවො කීයද? උංගෙ ඉස්කෝල මොනවද???

නැව්කාරයා ප්‍රශ්න වැලක් ජප මාලයක් සේ එක සීරුවට අමුණන්නට විය. රැවුල්කාරයාට කල්පනා කරන්නට සිදු වූයේ තමන් ඉදිරියේ ප්‍රාදූර්භූත වූ මේ මිනිසා කවුද යන්න නොවේ. තමා කවුද යන්න යි. ඇත්තට ම මොහොතකට ඔහුට තමා කවුද, කරන්නේ මොනවාද? ඉන්නේ කොහේද? යන්නේ කොහාටද? ආදී සියල්ල අමතක වී ගියේ ය. ඒ නිසා අනෙකා කවුද යන්න නොව තමා කවුදැ යි සිතා ගැනීමට ඔහුට කාලය අවශ්‍ය විය.
ඒ කාලය ගතවන විට ඊ ළඟ හමුවට තැනක් වේලාවක් යොදාගෙන ඔහු ගේ කාර්යාල දුරකතන අංකයත් බලෙන් ලබාගෙන නැව්කාරයා පළාගොස් හමාර ය. ඔහු තවත් වේලාවක් පාර මැද්දෑවේ ම හිටගෙන තමා කවුදැ යි කල්පනා කරමින් සිට, යන්නට ගිය ඉබාගාත ගමන ගියේ ය.

කෙසේ වෙතත් දැන් ඔහු නැව්කාරයාත් සමඟ උත්කර්ශවත් බීම හලක ශෝභාමාන මේස ගොන්නක් මැද වැජඹෙයි.

නැව්කාරයා තමා ගැන විස්තරය කියාගෙන ගියේ ය.

ඔහු විශ්ව විද්‍යාලයේ සිටියත් කිසි කල එළියක් තිබූ එකෙක් නොවී ය. උපාධියවත් හරි හැටි කරගන්නට නැතුව ඇත. නැවක නැඟී ලෝකෙ වටේ මුහුදු උඩින් යාමේ සිහින චාරිකාවනම් ඔහු අත්පත්කරගෙන සිටියේ ය. දැන් ඔහු යහමින් අත මිට මුදල් ගැවසෙන, මාස ගණනාවක් එක දිගට මුහුදේ රාජකාරියේත්, මාස ගණනාක් එක දිගට ගොඩබිම නිවාඩුවේත් ගතකරන වෘත්තීය නැව්කාරයෙක් වී සිටියේ ය. ඔහු නො පිහිනූ මුහුදක් හෝ ගොඩ නො බට වරායක් නොවීය. නො බීපු බීම ජාති හා නිදි නො වැදුණු ගැහැණු ජාති සොයාගැනීමට බැරි තරම් විය. ඔහු ගේ කතාව සිහිනෙන් මෙන් අසා සිටි රැවුල්කාරයාට හිතුණේ එහෙමය.

''හරි දැං උඹ උඹේ විස්තරේ කියපං. උඩරට මැණිකෙ කොහොමද?''

පිරිසුදු රතු විල්ලුද මේසය මතට රට බීම සහ පළතුරු යුෂත්, වර්ග කිහිපයක මසවුළුත් ගෙන්වාගත් පසු නැව්කාරයා විමසී ය. තමා හාත්පස මැවුණු විසිතුර විසින් රැවුල්කාරයාට නව පණක් කවා තිබිණි. ඒ නිසා ඔහු කතා කරන්නට ආශා විය.

''ඒකි දැං ගුරුවරියක්'' ඔහු කීවේ ය. ''මගෙ නං කල්පනාවෙ හැටියට ගුරුවරියො තරං මෝඩ ජාතියක් ලෝකෙ වෙන කොහෙවත් නෑ'' ඔහු සැහැල්ලුවෙන් සිතැඟි එළි කරන්නට පටන්ගෙන තිබිණි.

බීම හල පුරා සැහැල්ලු සංගීතයක් සිහින් සරින් පාවිණි. එක් අන්තයක වැදගත් මහත්වරුන් ගේ සූදු ක්‍රීඩාවක් ජයට ම කෙරීගෙන ගියේ ය.

රැවුල්කාරයාත්, නැව්කාරයාත් සිටි මේසයට එහා පැත්තෙන් ජේත්තුකාර තරුණයෝ දෙ දෙනකු ගේ සංලාපයක් විය. ඊට බාධා කරමින් තරුණ දැන්වීම්කාරයා ගේ අල්ලක් තරම් විශාල ජංගම දුරකතනය විකට නාදයක් නැඟී ය. මිතුරාට අතින් සන් කරමින් ඔහු දුරකතනයට පිළිතුරු බැන්දේ ය.

''නෑ තාම බැරිවුණා. මට පේන්නෙ මිනිහ ටිකක් මගෑරල. මේ දවස්වල මමත් ටිකක් බිසී. දන්නවනෙ. මාව විශ්වාස කරන්ඩ. මං ෂුවර් එකට ම කරනව''

ඔහු ජංගම දුරකතනය විසන්දි කළේ ය. ඉදිරිපස මිතුරා ප්‍රශ්නාර්ථයක් සහිත ව බලා සිටියේ ය.

''මෝඩ ගුරුවරියක්. උඩරට මැණිකෙ කෙනෙක් ද කොහෙද. මිනිහ දවස් ගාණකින් ගෙදර ගිහින් නෑ. බීලයි පඩි කැපිලයි රටට ණය වෙලා ගෙදරිනුත් මාරු වෙලා. වැරදිලා දවසක් මගෙ ඔෆිස් ෆෝන් එකට කතා කෙරුව. මං අගක් මුලක් දන්නෑ. ඒත් ඇන්දුව. උඹ දන්නවනෙ. මගෙ රස්සාව ම අන්දන එකනෙ. ගෑනිට ඕනැ කොහොම හරි මිනිහ ගෙදර ගෙන්නගන්ඩ. වෙන ගෑනියෙකුට මාට්ටු වෙලා ද කියලත් ඒකිට සැකයි. මං කිව්ව මිනිහ මගෙත් එක්ක එක තැන වැඩ කරන්නෙ, මේ දවස්වල ඔෆිස් එකෙත් ප්‍රශ්න. ණය ප්‍රශ්නෙත් මං දන්නව. කලබල නොකර ඉන්ඩ මං හොයල දෙන්නං කියල''

''ඉතිං උඹ මිනිහ දන්නවද?''

''මොන බම්බුවද බං මං දන්නෙ? මං රෙද්ද පෙන්නුව විතරයි. මේ මෝඩි කපල මහල ඇඳගෙනත් ඉවරයි. වොයිස් එකනං මරු. ෆිගර් එක හෙට අනිද්දට බලාගමු''


රැවුල්කාරයාත් නැව්කාරයාත් අල්ලපු මේසයේ හෘදයාංගම කතා බහක පැටලී සිටියහ. රැවුල්කාරයා කාලාන්තරයකට පසු පහන් සිතින් පසු වූ හෙයින් ම සිය සිතැඟි නිදහසේ හෙළිකරමින් සිටියේ ය. ඔහු නැවතත් සම වයස් කොලු කෙල්ලන් වට කරගෙන සිය විස්මිත දැනුම වමාරන විශ්ව විද්‍යාල තරුණයා ම විය. හෙමිංවේ ගේ කලකෝලහාල බහුල වීර චාරිකාවක් බඳු ජීවන පුවතුත්, බ්‍රෙෂ්ට් ගේ තදාත්ම්‍ය විගඨන රීතිය ඇතුළත් දරදඬු දේශපාලනමය නාට්‍ය භාවිතාවත්, ඇතුළු බොහෝ දෑ රැවුල්කාරයා නැව්කාරයාට නැවත වතාවක් කියාදුන්නේ ය.

මහ රාත්තිරියේ ඔවුන් ඒ සොඳුරු බීමහලෙන් සමුගන්නා විට රැවුල්කාරයා ගේ දෑසේ යළිත් තෙතමනයක් මතු වී තිබිණි.

''මිනිස්සුන්ට මීට වැඩිය වෙනස් විදියකට ජීවත් වෙන්ඩ පුළුවංකමක් තියෙන්ඩ ඕනැ අප්පා'' ඔහු අවසාන වශයෙන් කීවේ නැව්කාරයාට ම නොව පැහැදුල් ආලින්දයේ දී ඔවුන් සිසාරා හමා ගිය සැහැල්ලු පවන් රොදකට ය.

හොල්මන් බහුල ව ගැවසෙන, හපුටු ගඳ ගහන අඳුරු කාර්යාලයේ මේසයක් මත එදා ඔහුට හොඳ හැටි නින්ද ගියේ ය.

සිය බිරිය සුදෝ සුදු මඟුල් ඔසරියෙන් සැරසී සිටිනු ද, පොලීකාරයා ඔහු සොයා විත් සමාව අයදිනු ද, තමා නැවක නැඟී තල්මසුන් සොයා දඩයමේ යනු ද, ස්පාඤ්ඤ ගොන්පොර පිටියක දී තමන්ට හෙමිංවේ හමු වී උණුසුම් සමාචාර පවත්වනු ද ඔහු කඩින් කඩ සිහිනෙන් දුටුවේ ය.

[මරණයේ සෙවණැල්ල යට නිදා සිටි පූස් පැටියා | 2013]

සිතුවම : Antoine de Villiers

සනත් බාලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails