Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



Where have all the flowers gone, long time passing?
Where have all the flowers gone, long time ago?
Where have all the flowers gone?
Young girls have picked them everyone.
Oh, when will they ever learn?
Oh, when will they ever learn?

සුනිලා ගයයි. යුද්ධය, මරණය සහ පරාජය හැර අන් කිසිවක් ගැහැණුන්ට හෝ මිනිසුන්ට හිමි නො කරන බව කියන Pete Seeger ගේ ඒ ජනප්‍රිය ගීතය කාලය විසින් වියපත් නො කරන ලද සිය අනුරාගී වූ ද උන්මාදනීය වූ ද ස්වරයෙන් ඇය ගයයි. “කවදද ඔවුන් මෙය ඉගෙන ගන්නේ?“ ඇය සිය ප්‍රබල ස්වරයෙන් විමසයි. ඒ හඬට පෙම් නොබැඳි අයෙකු මේ දූපතේ වෙත් දැයි සිතීම අසීරු ය. ‘සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්' සහ ‘උදුම්බරා හිනැහෙනවා' ගැයූ ඒ අති දුර්ලභ කටහඬ ඉන් පසු යළිත් ඇසෙන්නේ වෙනත් ස්වර පරාසයක-වෙනත් විෂය කෙෂ්ත්‍රයකිනි.

සිය ද්විතීයික අධ්‍යාපනයෙන් පසු වේදිකාව සහ සිනමාව ඇසුරු කරන සුනිලා 70 දශකයේ අග භාගය වන තෙක්ම විවිධ සිවිල් ක්‍රියාකාරී කණ්ඩායම් සහ වෘත්තීය සමිති ඇසුරින් සමාජ සටනේ පන්නරය ලබන්නී, ජනවාර්ගික ගැටළුවට දේශපාලනික විසඳුමක් ඉල්ලා බල කළ සිවිල් කණ්ඩායම්වල මූලික සාමාජිකාවක වූවාය.

1952 ඉපදෙන සුනිලා 1987 රට හැර යන්නේ සිය සමාජ ක්‍රියාකාරකම් හේතුවෙන් එන ජීවිත තර්ජනවල ප්‍රතිඵලයක් ලෙසිනි. සිය බාල දියණිය ඉපදී මාස කිහිපයකින් දිවයිනට යළි පැමිණෙන ඇය නැවත සිය සමාජ ජීවිතය අරඹා ලංකාවේ ගෙවූ පසුගිය වසර තිහ තුළ මානව හිමිකම් වෙනුවෙන් කළ සටන උතුරේ අවතැන් වූ සාමාන්‍ය වැසියන්, කාන්තා අයිතීන්, ලිංගික සේවිකාවන්, HIV/AIDS නිසා පීඩා විඳින්නන්, සමකාමීන් ඇතුළු සියල්ලන්ගේ ලිංගික සහ ජ්‍රජනන අයිතීන් වෙනුවෙන් කැප කෙරුණි. ඇය ඒ සියල්ල වෙනුවෙන් සිය මව් රට තුළ අන්තවාදීන්ගේ ද ජාතිවාදීන්ගේ ද ගර්හාවට මෙන්ම එබඳු කටයුතුවල යෙදෙන සියල්ලන්ට ම උරුම වන විවිධ චෝදනාවලටද පාත්‍ර වූවාය. ඒ අතරම ලංකාවේ පමණක් නොව ආසියානු කලාපයේ ම මානව හා ස්ත්‍රී ක්‍රියාකාරිනියක ලෙස අන්තර්ජාතිකව හඳුනා ගැනෙන ඇය 1998 දී එක්සත් ජාතීන්ගේ ඇසියානු පැසිෆික් කලාපයීය මානව හිමිකම් ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවාය.



ගැටුම් නිරාකරණයේ ඉතා සරල වූ ක්‍රම භාවිත කරමින් කිරීම විවිධ ජන කණ්ඩායම්වලට අයත් වූ කාන්තාවන් අතර වූ පරතරය අවම කොට ඔවුන් එකමුතු කිරීම ට හැකිවීම ඈ සතු වූ සුවිශේෂී හැකියාවක් විය. පසුගිය වසර කිහිපය ඇය යෙදවූයේ ජාතික හා කලාපයීය මට්ටමින් කාන්තාව, සාමය ගොඩනැංවීම, ගැටුම් නිරාකණය වැනි කෙෂ්ත්‍රවල පහුණුකිරීම් සහ ඉගැන්වීමේ කටයුතුවලටය.

ඇය සිය ජීවිතයේ විශාලතම අභියෝගය ලෙස සැලකුවේ තනි මවක ලෙස සිය දරුවන් හය දෙනා උස්මහත් කිරීම සහ සමාජ ක්‍රියාකාරී කටයුතු යන දෙකම එකවර කිරීම යි. සිය දෙමාපියන්ගේ සහ මිතුරන්ගේ සහයෝගය නොලැබිණි නම් එය සාර්ථක නොවන්නට තිබුණ බව ඇය බොහෝ වර කියුවාය.

ඇය බොහෝ සිහින දුටුවාය. ඒ බොහෝ සිහින ස්වාර්ථය ඉක්මවා ගිය, මහා මිනිස් කැළක් වෙනුවෙන් උපන් ආදරයකින් බිහිවූ ඒවා විය. ඒවා හුදු සිහින පමණක් බවට පත් නොවන පිණිස නො නවත්වා වැඩ කළාය. ඇයට පිළිකාවක් ඇති බව හඳුනා ගැනුනේ වසරකට පෙර ය. බොහෝ විට ඈ වැනි ගැහැණුන් සහ මිනිසුන් ලෝකයෙන් නික්ම යන්නේ අනුන්ගේ වෛරයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් සිත් තලාගෙනය. තමන්ට කෙතරම් මිනිසුන් පිරිසක් ආදරය කරන්නේ ද යන්න දැක ගැනිමට එබන්දන්ගේ ජීවිතය ඔවුන්ට ඉඩ තබන්නේ කලාතුරකිනි. ඒ ජීවිත එතරම්ම කටුක ය. දුෂ්කරය. බොහෝ දෙනෙකු එබඳු පටු මාවත්වලට නො පිවිසෙන්නේ එබැවිනි. එහෙත් සුනිලා පිළිකාව හා සටන් කරද්දී ලොව පුරා ඇය හා එක්ව වැඩ කළ සගයින් මිතුරන් මෙන් ම කිසිදා ඇය නොදුටු එහෙත් ඇයට ආදරය කළ දහස් ගණනක් ඇයට ධෛර්යය දුන්හ. ජීවත්ව උන් සුනිලා සිය හුස්ම අත්හරින්නට පෙර ඒ ආදරය අත්වින්දේයයි අපි විශ්වාස කරමු.

අද උදෑසන ඇය ගැන කතා බහ කළ විට කුමාරි කුමාරගමගේ සහෝදරිය සිය කඳුළු පිරි කටහඬින් ඇයව එකම එක වාක්‍යයකින් මෙසේ හැඳින්වූවාය.

"එයා අම්ම කෙනෙක්. හැමෝට ම..හැම ළමයෙකුටම, ආදරය ඕනෙ කරපු හැම දරුවෙකුට ම, කවුරුවත් නොදැනම, එයා ගොඩ දෙනෙකුට අම්ම කෙනෙක් වුණා."

ඇත්ත ය. සාමාන්‍ය ලෝකයේ මිනිස් සබඳතාවල තිබෙන දුර්වලතා ඉක්මවා යා හැකි තරම් විසල් හදවතක් ඈ සතු විය.

ඒ සුනිලා දැන් නික්ම ගොසිනි. යෞවනයේ පටන් වසර හැට එකක් වූ ජීවිතයේ ඊයේ හවස දක්වා ම අන්තිම තත්පරය තෙක්ම, ඇය එකදු මොහොතකටවත් සටන අත් නොහල සටන්කාරිනියක වූවාය. ඇගේ ජීවිතය සුව පහසු එකක් නොවූයේ ඇගේ ම තීරණවලිනි. ඇගේ ජීවිතය හුදු ගෘහණියකගේ භූමිකාවෙන් ගව් සිය දහස් ගණනක් දුර ය. එයින් කියා දෙන පාඩම් බොහෝ ය. සුනිලා, පියසීලී, ගම්ලත් වැනි තවත් එබඳු මහා වෘක්ෂයන් කිසිදා ජාතිවාදී හෝ පෞද්ගලික ලාභයේ කුණාටු අභියස ඉදිරී වැටුණේ නැත. ඔවුන් ගේ පිය සටහන් අප ඉදිරිපස උත්තුංග ලෙස කෙටී තිබේ. ඒ මාවත පැහැදිලි ය. එතරම්ම පටු ය. දුෂ්කර ය. සියල්ලට වඩා මනුෂ්‍යත්වයෙන් ද දියුණු මානව සබඳතාවලින් ද පිරිපුන් ය.
ඇය යෞවනයේ දී ගැයූ දෙයම ඇගේ ජීවිතය විය.

ආදරයේ
ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක් දා....

හඳුනා ගත්තොත් ඔබ මා.....


ආදරණීය සුනිලා, සහෝදරත්වයෙන් සිප වැළඳ ගන්නවා මිස සමු නො ගනිමු. ඔබ මේ විසල් විශ්වයේ ම කොටසක් වනු හැර වෙන කොහේ යන්නද?



නද්යා භාෂිණී අමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails