Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තිලක් ජයරත්න විරචිත කඩුල්ල තිර පිටපත පරිශීලනයේදී හැඟවෙන්නාවූ සංඥාර්ථය වනුයේ එය 'එත්නොග්‍රාෆ්' හෙවත් 'මානව වංශ ලේඛණයක්' වන සමානත්වයයි. පූර්ව හා පශ්චාත් යටත් විජිත ලාංකීය සමාජීය තලය පිළිබඳ 'හරස්කැපුමක්' එහි ස්පර්ශ කෙරේ. කුරුතේරිස්ලාගේ සම්භවය, සංසරණය හා සංවර්ධනය යන ත්‍රිත්ව ප්‍රවේශ ඔස්සේ තියුණු දාර්ශනික විග්‍රහයක් කතා ප්‍රවෘත්තිය තුළ අන්තර් ප්‍රබන්ධ වේ. වැඩවසම් මූලයන් තුළ මහාරුක්ෂයක් ලෙස ලාංකීය 'බුර්ෂුවා ධනපති පන්තියේ' මතුවීම ශ්‍රව්‍ය හා රූපාත්මකව ගොඩනගා ඇත.

ලාංකීය ධනපති පන්තිය ගොඩනැගෙනුයේ බ්‍රිතාන්‍යයින් විසින් අවධානයට ලක්නොකළ රබර්, මිනිරන්, අරක්කු රේන්ද යන ත්‍රිත්ව ව්‍යාපාරවල හිමිකාරීත්වය දේශීය පන්තිය ලබාගනිමිනි. මෙම කෘතියේ කතානායක කුරුතේරිස්ගේ නැගීම සිදුවනුයේ ද එලෙස මිනිරන් පතලක හිමිකාරීත්වයෙනි. පූර්ව හා පශ්චාත් නිදහස්කාලීන ජන විඥානික ආශාව කේන්ද්‍රගත වනුයේ ඉහළ මධ්‍යම පන්තියට සමතික්‍රමණය වීමටයි. ඔවුන් අනුකරණය කළේ මෙරට පාලනය කළ විදේශිකයන්ගේ පිළිබිඹුවයි. 'සල්ලි උපද්දවන එක අපි සුද්දාගෙන් දැන ගත්තු එක. ඉතිං ඒ ක්‍රම හොඳට දැනගන්න නම් සුද්දා ගැනත් දැනගන්න ඕනෙ' ලෙස කුරුතේරිස් බ්‍රිතාන්‍යයන් සිය අනෙකා කර ගැනීමට උත්සාහ දරන්නේ මෙම නොනිත් ආශාව නිසාය. සල්ලි උපැද්දවීම සඳහා වැඩවසම් සංස්කෘතික ප්‍රවාහය තුළ මිනිසුන් තමන් සතු සියළු ඉඩකඩම්, ගේ දොර, වස්තු උකසට තබමින්, ජීවිත පරදුවට තබමින්, පරාජය හා ජයග්‍රහණය අතර අවිශ්වාසයකින් කෙලින්නා වූ සූදුවක් ලෙස සක්‍රිය විය. මිනිරන් පතල් කැණීම් සංස්කෘතිය තුළ හමුවන මිලේච්ඡත්වය, මිනීමැරීම, හොරකම, කුලල්කාගැනීම, සුරාකෑම ආදී තත්වයන් පඨිතයේ විද්‍යාමාන කෙරේ. කුරුතේරිස්ට මිනිරන් හමුවන්නේ ඔහු වංචනිකව පැහරගත් කංකානම්ගේ මිනිරන් පතල තුළය. ඔහු පවුම් විසිපහක් සොරකම් කරමින් පතලේ ක්‍රියාකාරීත්වය බිඳ වට්ටනුයේ සූක්ෂම අයුරිනි. එමෙන්ම ගිරිගෝරිස්ව මරා දමන අතර පොඩිහාමිනේව බලහත්කාරයෙන් පැහැර ගනී. තමාගේ අභිප්‍රාය මුදුන්පත් කර ගැනීම සඳහා එරෙහිවන සියළු බාධක සූක්ෂමව යටපත්කර දමමින්, සිය ඒකායන අශාව සඳහා බුර්ෂුවා පන්තිය ක්‍රියාකාරී වූ අයුරු මෙහිදී විමසුම් වන අතර වර්තමානය තුළ සක්‍රියව සිටිනා කුරුතේරිස්ලාගේ මුණුපුරන්ද පවත්වාගෙන යනුයේ එම යාන්ත්‍රණයේම දිගුව බව පසක්කර ගැනීමට පදනමක් ගොඩනගයි.


කඩුල්ල

සමකාලීන වැඩවසම් සංස්කෘතිය තුළ වූ ස්ත්‍රී පුරුෂ සබඳකම් සම්බන්ධව තියුණු කපාලයක් ද පඨිතයේදී හමු වේ. කංකානම්ගේ පුතු මැනුවෙල් සිය නිවසේ වැඩපල කර දෙන සේවිකාවක වූ මැසියා හා සිය දියණියන් දෙදෙනා සමගම ලිංගික සබඳතා පවත්වනු ලබයි. ජුන්ඩා සහ කුරුතේරිස් ආදි සෙසු චරිත තුළින්ද ඉස්මතුවන්නේ එම ලක්ෂණය. මිනිරන්වලින් පොහොසත්ව ඉහළ මධ්‍යම පන්තියට පිළිබට කුරුතේරිස් ද මැසියා හා සිය දියණිය සමග රහසේ සබඳකම් පවත්වයි. මැසියාගේ දියණියට දාව කුරුතේරිස්ට නිවුන් දියණියක්ද ලැබේ. ඔහු කංකානම්ගේ දියණිය වන පොඩි හාමිනේ සමග නීත්‍යාණුකූල පවුලක් ගෙනයන අතර එයින්ද දරුවන් දෙදෙනෙකු ලබයි. මෙම සියළු සබඳතා නඩත්තුවන්නේ රහසිගතවය. පූර්ව ධනවාදී ක්‍රමය පරයා පශ්චාත් ධනවාදී යුගය දක්වාම මෙම මාදිලිය බුර්ෂුවා පන්තිය නඩත්තු කරන බව වර්තමානය දෙස බැලීමෙන් ද පැහැදිලි වේ.

තමන්ට ලාභ උත්පාදනය කළ හැකි ඕනෑම මාර්ගයක් වෙත කිසිදු සදාචාරයකින් තොරව බද්ධවීමට බුර්ෂුවා ධනපතීන් පසුබට නොවේ. විටෙක සතුරා මිතුරා වන අතර මිතුරා සතුරා වේ. මිනීමැරීම, පළිගැනීම්, මර්ධනය කිරීම්වලින් ග්‍රහණය වූ වපසරියක් සර්වකාලීනව හමු වේ. මැනුවෙල් හෙවත් තම මස්සිනා මරාදැමූ කරන්නගොඩ අප්පුහාමි තම පාර්ශවකරු ලෙස කුරුතේරිස් පසුව සාදරයෙන් පිළිගනී. තමන්ට පක්ෂපාතිව වැඩ කිරීම තුළ ඔහුට තිබු සියළු මිනීමැරුම් චෝදනා වලින් නිදහස් වී යාමේ අවකාශය කුරුතේරිස් ලබා දෙයි. වංචා, දූෂණ, අපචාර, මිනීමැරුම් කර ඒවායින් නිදහස් වීමේ මාර්ගය වන්නේ පක්ෂපාතීත්වය බව හඳුනාගැනීමට මෙය අපූර්ව නිමිත්තකි. කුරුතේරිස්ලාගේ පුත්තු, ඔහුගේ මුණුපුරන්ද, මී මුණුපුරන්ද අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් යන්නේ එම යාන්ත්‍රණයයි.


තිලක් ජයරත්න

බුර්ෂුවා ධනපතීන් රටපුරා තැබෑරුම් ඇතිකර ඒවායේ හිමිකාරීත්වය ලබාගනිමින් ඒ සඳහා පොර බදිමින් තම ගිණුම් වෙත සල්ලි පොම්පකරගත් ප්‍රධාන වෙළඳාමක් වූයේ අරක්කු රේන්ද කර්මාන්තයයි. අසීමිත ලෙස මුදල් උත්පාදනය අවසානයේ සියළු කුරුතේරිස්ලාට සුචරිතවාදී වීමේ අවකාශය හිමිවේ. ඔවුන්ගේ පුතුන් සිංහල බෞද්ධකම, සාරධර්ම ගැන කතා කරයි. අමද්‍යප සංගම්වල නිලතල දරයි. ධර්මපාල සමග සිංහල බෞද්ධ මතවාදය, ශිෂ්ටත්වය ගොඩනැගීමට අත්වැල් බැඳගනී. ක්‍රමයෙන් ඔවුන් මත්බීම ඉවතලා රට බීම ව්‍යාපාරය වෙත යොමුවන අතර සල්ලි පොලියට දීමේ වාණිජ ආයතන හෙවත් බැංකු ආරම්භයට මුලපුරයි. පරවැඩකිරීමෙන් උත්පාදනය කළ මුදල් අතිරික්තයෙන් අනාත මඩම්, පාසැල්, ආරෝග්‍යශාලා ආදී කිරීමේ යටිමනස තුළ වන අභිප්‍රාය වනුයේ කීර්තිය, නම්බුනාම, ජනප්‍රියත්වය අත්කර ගැනීමේ අභිප්‍රායයි. ප්‍රභූවරු, බුද්ධිමතුන්, උගතුන් ලෙස සමාජමය වශයෙන් වැජඹීමේ නොතිත් ආශාවන් සඳහා තම නම අගට හා මුලට ගරු නාම ඈඳාගැනීමට පොරබඳි. වර්තමාන බුර්ෂුවා මුණුපුරන්ද තම නම්වලට මුලින් ආචාර්ය, දේශමාන්‍ය, දේශබන්ධු, දේශශක්ති, කලා කීර්ති ආදී නාමයන් එල්ලා ගැනීම හඹායන්නේ කළු පැල්ලම් බහුල ඉතිහාසය තුළ තමන්ට ඇති අනන්‍යතා ප්‍රශ්නය හා නිසයි.


කඩුල්ල

කුරුතේරිස් යනු දකුණු ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ 'කොච්චි' ජාතිකයෙකි. 'කොචින්' නගරයේ සිට මෙරටට කම්කරු සේවාවන් සැපයීම සඳහා බි්‍රතාන්‍ය යුගයේදී මෙරට ස්ථානගත වූවන් කොච්චි ලෙස ලාංකීය ජනයා අතර ව්‍යවහාර විය. කුරුතේරිස් නැමැති කොච්චියාගේ පියා වෙරළබඩ ස්ත්‍රියක් සමග වූ ලිංගික සම්බන්ධයෙන් කුරුතේරිස් උපත ලැබීය. කුරුතේරිස්ගේ මව මිය යනු ලබන්නේ දෙවන දරුවා ප්‍රසුතියේදි දරුගැබ සමගය. අම්මෙක් අප්පෙක් හෙවත් හරිහැටි ජාතකයක් නොමැති ප්‍රශ්නය හා කුරුතේරිස්ගේ ඉතිහාසයේ ඇති අඳුරු අරාජිකත්වය නිසා ඔහු දැඩි මානසික පීඩාවකින් යුක්තවේ. ඔහු අකුරු ලිවීමේ හා කියවීමේ සාක්ෂරතාවයෙන්ද විනිර්මුක්තය. කුරුතේරිස්ලා තම සියළු අනන්‍යතා ප්‍රශ්න විසඳාගන්නා ප්‍රධානම ක්‍රමයක් වනුයේ තම දූ පුතුන් බි්‍රතාන්‍යයේ උසස් සරසවි වන 'කේම්බ්‍රිජ් ' , 'ඔක්ස්ෆර්ඩ්' යවා ඉංග්‍රීසි මාධ්‍යය අධ්‍යාපනය ලබාදීමය. 'ක්ලැරිස්' වන කුරුතේරිස්ලාගේත්, 'ග්‍රෙගරීස්' වන ගිරිගෝරිස්ලාගේත්, 'ජේසන්' වන ජයසේනලාගේත්, 'ස්ටීවන්' වන සේතන්ලාගේත්, 'ඇන්ටන්' වන අන්තෝනිලාගේත්, 'පර්සි' වන පියසේනලාගේත් ,'ඇන්ගෲ' වන අන්දරේලාගේත් ජීවිතයේ විනිවිඳිය හැකි යථාර්තය මෙයය. ඔවුන් සිය අනන්‍යතා ගැටළු සංස්කෘතික මූලයන් ඈඳාගැනීම තුළ තවදුරටත් සම්පූර්ණ කරගනී. ශිෂ්ටාචාරීය නටබුන් හිමි අනුරාධපුර වැනි ප්‍රදේශයන්හි වංශවත් පවුලක දුවක් විවාහ කර ගැනීමට කුරුතේරිස් පුතු වන 'රිචර්ඩ්' ගේ උත්සාහය මෙම තත්ව සංතෘප්ත කර ගැනීමට වෑයමකි. භෞතික වශයෙන් මිල මුදල්, වලව්, වාහන, වස්තුව සන්තක වුවද අනන්‍යතා ගැටළුව බුර්ෂුවා ධනපතීන්ට එදා සිට අදටත්, මතු අනාගතයටත් විශාල පීඩනයක් ඇති කරන සාධකයකි. ක්‍රිස්තියානියට ගිය කුරුතේරිස්ලා සිය පුතුන්ට නැවත සිංහල බෞද්ධ වීමේ අවකාශය ලබාදෙන්නේ එබැවිනි. සිංහල බෞද්ධකම යනු එදා සිට අනාගතය දක්වාම මෙරට බලය ලබාගැනීමේ හා බලය පරිහරණයේ ප්‍රධානතම මාදිලිය හා ආයුධයයි.

වර්තමානය වනවිට බලවත්වූ කුරුතේරිස්ලාගේ මුණුපුරන් රබර්, මිනිරන්, අරක්කු රේන්ද බැහැර කොට වෙනත් ආදේශක ව්‍යාපාර සමග සහසම්බන්ධ වී සිටින අයුරු විද්‍යාමානයි. එක්පසකින් මෙරට වටිනා ඉඩම්, මුහුදු වෙරළ, රක්ෂිතයන්, නටබුන් භූමි, ගොඩනැගිලි මිලට ගැනීම අනෙක් පසින් ජනමාධ්‍ය ආයතනයන්හි කොටස් හිමිකරගැනීම, තවත් පසෙකින් රටපුරා සංචාරක කළාප හෝටල් ඉදිකිරීම, සංවර්ධන ව්‍යාපෘති කරන මුවාවෙන් විශාල පාරිතෝෂිත, අල්ලස් හා කොමිස් මුදල් ලබාගැනීමේ හා ස්වකීය මාධ්‍යය ප්‍රචාරක ආයතන ආරම්භකිරීමට ඔවුන් සක්‍රියය. බි්‍රතාන්‍යයන්ට ගැතිකම්කරමින් ගොඩනැගුණු දේශීය බුර්ෂුවා කුරුතේරිස් මුණුපුරන්, මී මුණුපුරන් සිය බල පරාසය ගොඩ නගමින් නැගී එන්නේ ඉහත ප්‍රවාහ වලිනි. ඔවුන් තම ප්‍රතිරූපයන්ද ප්‍රචාරණය හරහා ගොඩනංවා ගනුලබන්නේ තම පරම අරමුණට යාමටය. බහුතර කුරුතේරිස් පාරම්පරිකයන්ට වර්තමානයේ ද්විත්ව පුරවැසිකම් පවතීි. මේ නිසා සල්ලි පොම්ප කිරිම ඉතා කාර්යක්ෂමව සිදුවේ. මෙසේ උත්පාදක මුදල් ස්විස් හෝ යුරෝපීය හෝ ඇමරිකානු බැංකු වෙත ගලායයි. කුරුතේරිස්ලා වටේ සිටි 'අප්පුහාමිලා' 'කංකානම්ලා', 'පනික්කියාලා', 'විදානේලා', 'ජුන්ඩයියලා' ඉතිරිවන කටු භුක්ති විඳිමින් කුරුතේරිස්ලාගේ සකලවිධ ක්‍රියාකාරීත්වයන් සාධාරණීයකරණය කරනු ලබයි. මෙම ගැත්තන්ගේ ඉලක්කයන් දෝලනය වන්නේ තම දරුවා සිංහල බෞද්ධ පාසැලකට දමා ගැනීම, සංස්ථාවක හෝ මණ්ඩලයක සභාපතිකමක් හෝ ඒ හා සමාන තනතුරක් හිමිකර ගැනීම, කෝටිගණනක ප්‍රාග්ධනයක් යොදවා චිත්‍රපටියක් කිරීම, වාහන තීරබදු බලපත්‍ර ලබා ගැනීම ආදී වරප්‍රසාදිත තත්වයන් වෙතය.


කඩුල්ල

පූර්ව ධනවාදයේ සිට ධනවාදයේ තුන්වන කාර්තුව දක්වා එකලෙස අඛණ්ඩව සක්‍රියවන කුරුතේරිස් භූමිකාව විනිවිඳීමට තිලක් ජයරත්න කඩුල්ල තිරනාටක පඨිතය තුළ අන්තර් වියමනක් ගොඩනගනු ලබයි. එය සමකාලීන සමාජය පිළිබඳ කැඩපතකි. 'කඩුල්ල පැනපු අය ගැනත්' , 'කඩුල්ල පැනීමට සිටින අය ගැනත්', 'කඩුල්ල පනීවි යැයි සිතෙන අය ගැනත්' ප්‍රබල හැඟවුමක් එහි උත්පාදිතය. ලාංකීය ඇසිදිසි කලා භූමිකාව තුළ තිර රචකයෙක් වශයෙන් තිලක් ජයරත්න සතු තියුණු සමාජ හා දේශපාලනික දෘෂ්ටිය සමස්ත කෘතිය තුළ අපට ප්‍රතිමුඛවේ. සබන් ආදී වෙළඳ භාණ්ඩ විකිණීම සඳහා ප්‍රවාහයවූ ටෙලි නාට්‍යය ශානරය කොට්ට උරයක්මෙන් කණපිට හරවා ජන මනස් දැනුමෙන් සන්නද්ද කළ හැකි භාවිතාවකට රැගෙන යාම සඳහා ඔහු සිය දේශපාලනික භාවිතාව ආරෝපණය කරලීය. ඒ සඳහා ඉතිහාසය, දර්ශනය, මානව විද්‍යාව, අනුවර්ථනය කරගනිමින් සිය ආඛ්‍යානය වියන ලදි. තිලක් ජයරත්න විසින් රචිත 'නන්නාඳුනන පුත්තු', 'දණ්ඩේ ලූ ගිනි', 'වනස්පති', 'කම්පිතවිල්' තිරපඨිතයන් පිරික්සීමේදීද මෙම ගතිකත්වය විෂධ කර ගත හැකියි. වේදිකාව, ගුවන් විදුලිය, ටෙලි නාට්‍යය ආදී බහු පරාස වැඩබිම් තුළ ඔහු නිර්මාණ සක්‍රියත්වය විහිද වූ නිර්මාණකරුවෙකි. සිය තිර පිටපත්, කවි, නවලිකා, ශාස්ත්‍රිය රචනා පරිශීලනයේදී ඔහු කායිකව මියගියද නිරන්තරයෙන් සජීවීව අපට සම්මුඛවේ. තිලක් ජයරත්න සිය මරණ මොහොත දක්වාම ස්වකීය දේශපාලනික ආස්ථානයේ නොසැලී සිටීය. අවසන් හුස්ම හෙලන මොහොතේදි පවා ඔහු ළඟ සිටි සරත් කැල්ලපත මිතුරාට පවසා තිබූ 'අප මේ සිස්ටම් එකට එරෙහිව නඩුවක්වත් දැමිය යුතු' යන වදන තුළද ඒබව සනාතවේ. තිලක් මියදීමට මසකට පෙර ආචාර්ය ධර්මසේන පතිරාජ 'ඇනා එවරෙට්ගේ නිව් මීඩියා තියරීස් ඇන්ඩ් ප්‍රැක්ටිස්' කෘතිය ඔහුවෙත යවනු ලැබීය. තිලක් සැනකින් පැවසූයේ 'මට ජීවිතයේ හමුවූ මොඩර්න්ම මිනිහා පතී බවයි.' එම කියමන සත්‍යයෙන්ම තිලක් ජයරත්නටත් අතිශයින්ම අදාලය. තිලක් ජයරත්න යනු සමකාලිනව අපට මුණගැසුන මොඩර්න් මිනිසෙකි. මීට වසරකට පෙර එනම් සැප්තැම්බර් හත්වනදින අප අතරින් සමුගත්තේ තිලක් ජයරත්න නම් නූතනත්ව දැනුම් කෝෂයයි.

(කඩුල්ල ටෙලි නාට්‍යයේ සියළු ඡායාරූප jacksonanthony.com වෙබ් අඩවියෙනි.)

මාලක දේවප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails