Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දි මේට්‍රික්ස් (The Matrix) නරඹා නොමැති අයෙකු ලේඛකයාගේ සම කාලීන සමාජය තුල සිටීදැයි සැකසහිත නමුත් පාඨකයා එය නරඹා නොමැති නම් එය අනිවාර්යෙන් ම නැරඹිය යුතු සිනමා පටයක් ලෙස නිර්දේශ කරමි. මෙය, දි මේට්‍රික්ස් (The Matrix), මේට්‍රික්ස් රීලෝඩඩ් (Matrix Reloaded) සහ මේට්‍රික්ස් රෙවලූශන්ස් (Matrix Revolutions) නම් තුන් ඈදුතු සිනමා කෘතීන්ගේ පළමු වැන්නයි. අවාසනාවට ලේඛකයා හට පළමු වතාවට මේට්‍රික්ස් නැරඹීමට සිදුවන්නේ නීති විරෝධී ලෙස පිටපත් කොටගත් සංයුක්ත තැටියකිනි. හැකි පළමු අවස්ථාවේම ලේඛකයා තුන් ඈදුතු නිමැවුමේම ප්‍රකෘති පිටපත් මිලදී ගනු ලබන්නේ නිර්මාපකයන්ගෙන් හදවතින්ම නිහඬවම සමාව අයදිමිනි.

දි මේට්‍රික්ස් සිනමා කලාවේ තාක්ෂණික මග සලකුණක් සේ සැලකන අතර ප්‍රථම වතාවට මන්ද ක්‍රාන්ති (slow motion) වෙඩි උණ්ඩ වැනි දෘශ්‍ය මායා ප්‍රේක්ශකයා හට විඳගැනීමට අවස්ථාව ලැබුනේ ඒ තුලිනි. කෙසේ නමුදු මෙම නවමු දෘශ්‍ය විස්කම් හේතුකොටගෙන සිනමා පටය බොහෝ ජනප්‍රිය වූවත් එම ජනප්‍රියවාදී මතුපිටින් ඔබ්බට එය කියවීම බහුතරයකට මග හැරී ගොස් ඇති බව ලේඛකයාගේ මතයයි.

දි මේට්‍රික්ස් කියවිය යුත්තේ ඇයි?

ලේඛකයාගේ අදහස නම් මේට්‍රික්ස් තුන් ඈඳුත්ත තරම් සංවාද මතු කිරීමට සමත් සිනමා පට ඇත්නම් ඒ ඉතා ස්වල්පයක් බවයි. දීර්ඝ කාලයක් මිනිසා පීඩාවට පත්කල සහ මේ වන විටද සැලකිය යුතු ආකාරයේ සතුටුදායක පිළිතුරක් නිර්මාණය කිරීමට මිනිසා අපොහොසත් වූ ප්‍රශ්න ගණනාවකට, පියවරක් ඉදිරියට ගොස් පිළිතුරු නිර්මාණය කිරීමට නිර්මාපකයින් උත්සාහ දරා ඇත. උදාහරණ ලෙස 'මම කුමක්ද?' ('මම කවුද? ' යන ප්‍රශ්නයට වඩා වැදගත් වන්නේ 'මම කුමක්ද? ' යන්න බව ලේඛකයාගේ මතයයි. මන්ද 'මම කවුද?' යන්න සමාජ- දේශපාලනික රාමුවක හා තලයක සිට නගන ප්‍රශ්නයක් වන අතර එම තලය ද ඉවත් කල විට 'මම කුමක්ද?' යන්න මතුවන බැවිනි), 'මරණින් මතු යමක් තිබේද?' , 'අපගේ පැවැත්මට හේතුව කුමක්ද?' ආදී ප්‍රශ්න ගත හැක. මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ විවිධ සංස්කෘතීන් තුල විවිධ පදනම් වල සිට නිර්මාණය කරන ලද එකිනෙකට වෙනස් දැනුම් පද්ධතීන් සමග මේට්‍රික්ස් දක්වන සංගත භාවයයි. සියලු ප්‍රේක්ෂකයන්ට නිරපේක්ෂව, වියුක්තව මෙම නිර්මාණය පවතින අතර සියලු ප්‍රේක්ෂකයන්ට තම විශ්වාසට බඳුන් වූ සංකල්ප තම පෞද්ගලික යතාර්ථය තුලින් මේට්‍රික්ස් සමග සංගතවනු දැකිය හැකි වීම සුවිශේෂී කරුණකි. මේට්‍රික්ස් විවිධ දැනුම් පද්ධතීන්ට සාපේක්ෂව කියවීමට දරණ උත්සාහයක් ලෙස මෙම ලිපිය සැලකිය හැක.



මේට්‍රික්ස් මූලික කථා වස්තුව සංෂිප්තව

කලකට පෙර නැරඹූ හෝ නරඹා නොමැති පාඨකයා ගේ පහසුව පිණිස මූලික කථාව හැකි තරම් සංෂිප්තව ඉදිරිපත් කරනු ලැබේ.

කලකට පෙර මිනිසා කෘතිම බුද්ධිය සහිත සිලිකන් යන්ත්‍ර නිපදවීමෙන් පසු මිනිසා එම යන්ත්‍ර වලට සලකන ආකාරය පිලිබඳ යන්ත්‍ර සමාජය තුල කලකිරීමක් ඇති වන අතර එහි උච්ච අවස්ථාවේ යන්ත්‍ර විසින් කැරැල්ලක් ඇති කරයි. එයට මිනිසාට මුහුණ දීමට අපහසු වෙන අතර යුධ උපක්‍රමයක් ලෙස යන්ත්‍ර බල ශක්තිය ලබා ගන්නා හිරු එළිය වැලැක්වීමට න්‍යෂ්ටික බලය යොදා අහස කළු වළාවකින් වසා දැමීමට ද, බුද්ධිය නොමැති යන්ත්‍ර ආධාරයෙන් ජීවිතය පවත්වා ගැනීමට ද මිනිසා අදහස් කරයි. කෙසේ නමුත් ඒ වන විටත් ජයග්‍රහණයේ මුවවිට සිටින යන්ත්‍ර තමා සතු අවසාන විදුලි ප්‍රමාණය භාවිතා කරමින් යුද්ධය ජය ගන්නා අතර විකල්ප බල ශක්ති ප්‍රභවයක් ලෙස මිනිස් මොළයේ නියුරෝන අතර හුවමාරු වන විදුලිය භාවිතා කිරීමට තීරණය කරයි. මින් පසුව යන්ත්‍ර විසින් මිනිසුන් වගා කරන අතර මිනිසා පාලනය කොට තබා ගනීමට මේට්‍රික්ස් නම් සංකීර්ණ පරිඝනක වැඩසටහන ආධාර කරගනු ලබයි. වගා කරන ලද මිනිසුන්ගේ මොළ, තන්තු හරහා මේට්‍රික්ස් නැමැති අතථ්‍ය ලොවට සම්බන්ධ කොට ඇත. තමා සාමාන්‍ය ලොවක් තුල සාමාන්‍ය දිවියක් ගතකරන බව ඔවුන්ට හැඟුනත් ඔවුන් සිටින්නේ සිහිනයක වන අතර, ඔවුන්ගේ සිරුරු දැවැන්ත විදුලි බලාගාරයක විදුලි ජනක කෝෂ ලෙස ක්‍රියා කරයි.

මෙහි එන මෝෆියස් නම් චරිතය වරක් ප්‍රකාශ කරන පරිදි,

"ඔබ කිසි විටක අවදි වී නැත්නම්, ඔබ දකින්නේ සිහිනයක් බව ඔබ දැන ගන්නේ කෙලෙසද?"

පාඨකයා මෙහෙදී අවබෝධ කරගත යුතු වන්නේ ඔබ වටා ඇති ලෝකය ගැන ඔබට ඇති සියළු සංවේදන, අවසාන විග්‍රහයේදී ඔබගේ මොළයේ නියුරෝන අතර හුවමාරු වන සංඥා පමණක් බවයි (බටහිර විද්‍යාත්මක දැනුම් පද්ධතීන්ට අනුව). ඔබ රතු පැහැති ඇපල් ගෙඩියක් දෙස බලන විට ඔබගේ මොළයේ ඇතිවන සියළු සංඥා, කෘත්‍රිමව නැවත මොළයේ නිර්මාණය කල හැකි නම්, රතු ඇපල් ගෙඩියක් දෙස බලා සිටින බවක් ඔබට හැඟෙනු ඇත.

මේට්‍රික්ස් සැබෑ ලොවට අනුරූප අතථ්‍ය ලොවක් වන අතර මේට්‍රික්ස් තුල දරුවෙකුගේ උපත සිදු වන විට සැබෑ ලොවේදී වගා කරන ලද මිනිස් දරුවෙක්ගේ මොළයට තන්තු සම්බන්ධ කොට එම දරුවා මේට්‍රික්ස් තුලට ඇතුල් කරනු ලබයි. එවිට මේට්‍රික්ස් තුල පහල වන දරුවාගේ ප්‍රතිබිම්බය අවශිෂ්ඨ ස්වීය පිලිඹිඹුව (residual self-image) ලෙස හඳුන්වනු ලැබේ.එලෙසම මේට්‍රික්ස් තුල යමෙක් මරණයට පත් වූ විට සැබෑ ලොවේ සිරුරේ මොළයට සම්බන්ධ කොට ඇති තන්තු හරහා අධි විද්‍යුතයක් එවා නියුරෝන සියල්ල පුළුස්සා දැමීමෙන් සැබෑ ලොවේදී ද එම පුද්ගලයා මරණයට පත් කරනු ලබයි.

කෙසේ නමුදු යුද්ධයෙන් දිවි ගලවා ගත් ඉතා සුළු පිරිසක් කලින් සැලසුම් කොටගෙන සිටි පරිදි බුද්ධිමත් නොවන යන්ත්‍ර ආධාරයෙන් පෘථිවි ගර්භයේ සායොන් (Zion) නැමැති අවසාන මිනිස් නගරයේ ජීවත් වන අතර සම්පත් හෝ ශක්තිය නැතත් බුද්ධිමත් යන්ත්‍ර වලට එරෙහිව සටන කෙසේ හෝ ගෙන යෑමට වෙර දරයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මේට්‍රික්ස් තුලට අනවසරයෙන් ඇතුල් වන්නන් බිහි වන අතර ඔවුන් හැකි තරම් මිනිසුන් මේට්‍රික්ස් වෙතින් මුදා ගැනීමට උත්සාහ කරයි. එහෙත් මිලියන ගණනක් ජනයා තම යතාර්ථය ලෙස පිළිගෙන ඇති මායාව, මායාවක් බව පෙන්වීම පහසු කාර්යයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම අනවසර ඇතුල් වන්නන් ගැන ඉව වැටෙන යන්ත්‍ර එය මැඩපැවැත්වීමට මේට්‍රික්ස් තුල ඒජන්තයන් (Agents) නම් ප්‍රබල භූතාර්ථ/ වැඩසටහන් බිහි කරයි. ඔවුන් පෙනුමෙන් මිනිසුන් හා සම වුවත්, කාය ශක්තිය හා අනෙකුත් හැකියාවන්ගෙන් මිනිසා අභිභවා යන අතර අනවසර ඇතුල් වන්නෙක් ගැන ඉව වැටුන විට ඔවුන් වහාම ක්‍රියාත්මක වී එම පුද්ගලයා අල්වා මරා දමයි. ඒ අතරම යන්ත්‍ර අවසන් මිනිස් ජනාවාසය ඇති ස්ථානය සොයා විනාශ කිරීමට උත්සාහ කරමින් සිටී.

කෙසේ නමුදු මෙම යුද්ධය අවසන් කොට මිනිස් ජාතිය ගලවා ගැනීමට හැකි කෙනෙකු මේට්‍රික්ස් තුල උපදින බවට මේට්‍රික්ස් තුලම තිබෙන, අනාවැකි කීමට සමත් ඔරකල් නැමැති තවත් වැඩසටහනක් පවසන අතර මෝෆියස් එම ගැලවුම්කරුවා සොයා ගැනීමට සමත් වන බවත් පවසයි. මිනිසාගේ ගැලවුම්කරු කථා නායකයා වන නියෝ බව මෝෆියස් විශ්වාස කරන අතර අවසානයේදී (තුන් වන සිනමා පටය) මෝෆියස්ගේ විශ්වාසය නිවැරදි බව තහවුරු කරමින් නියෝ සියළු මිනිසුන් මේට්‍රික්ස් තුලින් නිදහස් කර ගැනීමටත් යන්ත්‍ර හා මිනිසා අතර පැවති යුද්ධය අවසන් කිරීමටත් සමත් වේ.



මේට්‍රික්ස් ථේරවාදී බෞද්ධ, හින්දු හා ජෛන පදනමක සිට කියවීම

කර්මය, පුනරුත්පත්තිය, ප්‍රඥප්ති, පරමත්ථ, රූප කලාප, සය වන ඉන්ද්‍රිය, දිබ්බ චක්ඛු (දිවැස්), දිබ්බ සෝත, ඉද්ධි විධ (ඉර්ධි බල), පර චිත්ත විජානනය, නිර්වාණය, බුදු කෙනෙකු බිහි වීම, ඊශ්වර, මහා බ්‍රහ්මන්, ප්‍රේත, කුම්භාන්ඩ, සමාධි, විදර්ශනා, ජවන සිත්, කුසල්, අකුසල්, භවංග සිත් වැනි සංකල්ප රැසක් මේට්‍රික්ස් තුල දැකිය හැකි අතර යම් යම් විසංවාදයන් ඇතිමුත් සැලකිය යුතු ආකාරයකින් මේට්‍රික්ස් මෙම පදනම් සමග සංගත වේ.

මේට්‍රික්ස් යනු ප්‍රඥප්තියකි. බුදු දහමේ හා හින්දු දහමේ මූලික සංකල්පයක් වන ප්‍රඥප්ති යන්නෙහි අර්ථය සැබෑ ලෙස පවතින බවට පංචේන්ද්‍රියන්ට ගෝචර වන එහෙත් නොපවතින ප්‍රපංචයන්ය (පවතී හෝ නොපවතී යන්නෙහි අර්ථය කුමක්ද යන්න වසර ගණන් තර්ක කල හැකි අතර, මෙම කොටසේ දී ලේඛකයාගේ අරමුණ ඉහත සඳහන් දැනුම් පද්ධතීන්ට සාපේක්ෂව සංවාදය ගෙන යෑම බව කරුණාවෙන් සලකන්න). බෞද්ධ දැනුම් පද්ධතිය තුල මෙය පැහැදිලි කොට ඇති උදාහරණය වන්නේ ගිණි පෙනෙල්ලක් කැරකවීමේදී පෙනෙන ගිණි වළල්ලය. ගිණි වළල්ල පවතින ප්‍රපංචයක් ලෙස නිරීක්ෂකයාට ගෝචර වන නමුත් එහි සැබෑවටම ඇත්තේ චලනය වන ගිණි පෙනෙල්ලකි. එනම් ගිණි වළල්ල යනු ප්‍රඥප්තියකි. මීලඟට ගිණි පෙනෙල්ල දෙස ද බැලූ කල එය වියලි පොල් කොල වල එකතුවක් බව පෙනේ. එම පොල් කොළ වෙන් කොට තැබූ කල එහි ගිනි පෙනෙල්ලක් නැති අතර ඇත්තේ පොල් කොල ගොඩකි. එනම් ගිණි පෙනෙල්ල ද ප්‍රඥප්තියකි. එසේ වෙන් කරන ලද පොල් කොලයක් දෙස පරීක්ෂාවෙන් බැලූ කල පෙනෙන්නේ එය ද ඉතා සිහින් පොල් පත් ඉරු විශාල ප්‍රමාණයක් එකට සම්භන්ධ වී නිමවී ඇති බවයි. ඒවා වෙන් කොට වෙන වෙනම තැබූ කල පොල් කොලයක් නැත. එනම් පොල් කොලය ද ප්‍රඥප්තියකි. මෙසේ බෙදා වෙන් කරමින් බොහෝ දුර යන විට අවසානයේ තව දුරටත් බෙදා වෙන් කල නොහැකි ප්‍රපංචයක් හසුවන අතර (මෙය හසු වන්නේ මනස නැමැති සය වන ඉන්ද්‍රියටයි) එය 'රූප කලාපයක්' ලෙස හඳුන්වනු ලැබේ. මෙලොව පංචේන්ද්‍රියන්ට ගෝචර වන සියළු වස්තු ප්‍රඥප්ති වන අතර ඕනෑම වස්තුවක් විවිධ රූප කලාප අසංඛ්‍ය ගණනක එකතුවකින් සෑදී ඇති බව බෞද්ධ හා හින්දු දැනුම් පද්ධතීන් වල පෙන්වා දේ.

මේට්‍රික්ස් තුල ද රූප කලාප යන්නට සමාන සංකල්පයක් දැකිය හැකි අතර මේට්‍රික්ස් තුල රූපකලාපයක් යනු පරිඝණක කේතකරණයේ මූලධාතූන් වූ 0 හෝ 1 වන අතර ඕනෑම වස්තුවක් 1 සහ 0 දහස් ගනණක එකතුවකින් සෑදී ඇත.

(මෙහි පැහැදිලි කිරීම මෙයට වඩා ඉතා සංකීර්ණ වන අතර බහුතරයක් පාඨකයාගේ පහසුව උදෙසා මෙසේ පැහැදිලි කොට ඇති බව සැලකිය යුතුය. උදාහරණයක් ලෙස මේට්‍රික්ස් නිර්මාණය කරන විට යන්ත්‍ර 1 සහ 0 යන බූලියානු සංකල්පයට වඩා බොහෝ දියුණු වී ඇති අතර සංකීර්ණ සංකේත මාලාවක් භාවිත කොට මේට්‍රික්ස් ගොඩනගා ඇත.)

මේට්‍රික්ස් තුලට ප්‍රථම වතාවට සම්බන්ධ කරණ ලද සියළු මිනිසුන්ට අදාලව ගිණුම් නිර්මාණය කොට ඇති අතර ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියාවන් අනුව (මේට්‍රික්ස් තුලදී සියලු ක්‍රියාකාරකම් මනෝ මූලික වේ) මෙම ගිණුම් තුලට විවිධ අගයන් එකතු වන අතර ඉන් සමහරක් එම පුද්ගලයාගේ එම ජීවිත කාලයේදීම සිදුවන සමහර සිදුවීම් සහ පහළ වන සිතුවිලි වලට බලපායි. ඉන් පසු මේට්‍රික්ස් තුල මිනිස් හැකියා තුලනය හා අනෙකුත් හේතු රාශියක් උදෙසා එම පුද්ගලයාගේ මරණයෙන් පසු එම ගිණුම, නැවත අලුතෙන් සම්බන්ධ කරන දරුවෙකුට පවරණු ලබයි මෙම ගිණුම අනුව දරුවාගේ සහජ හැකියාවන්, දරුවාට සිදුවන යම් යම් දෑ සහ පහළ වන යම් සිතිවිලි පාලනය කරනු ලබන අතර එම දරුවාගේ ක්‍රියා පටිපාටීන් වලින් නැවත ගිණුමට යම් යම් දෑ එකතු වේ. එම පුද්ගලයාගේ ජීවිතය අවසානයේ එම ගිණුම තවත් අළුත උපන් දරුවෙකුට පවරයි (මෙම ගිණුම මේට්‍රික්ස් ඇතුලේ දිවි ගෙවන කිසිවෙකුගේ පංචේන්ද්‍රියට ගෝචර නොවන බව සිහි තබා ගත යුතුය).

මෙය ඉහත සඳහන් ඉන්දීය දැනුම් පද්ධතීන්ගේ කර්ම යන සංකල්පය සමග බෙහෙවින් සංගත වේ. එම ගිණුම කර්ම ගිණුම ලෙස නම් කල හැක. එම ගිණුමේ බලපෑමෙන් පහළ වන සිතිවිලි බුදු දහමේ එන ජවන සිත් වලට සමවේ. මේට්‍රික්ස් හි පුනරුත්පත්ති සංකල්පය ජෛන දැනුම් ප්ද්ධතීන් හා හින්දු ආගමේ භගවත් ගීතාවේ එන සංකල්ප සමග වඩා සංගතවන බව ලේඛකයාගේ මතයයි. භගවත් ගීතාවේ එන පරිදි ආත්මය ශරීර නිර්මාණය කරමින් විවිධ කූඩු වලට මාරු වේ.

"එම්බා ආත්මය තා ගින්නකින් දැවිය නොහැක, කඩුවකින් කැපිය නොහැක, කුරුල්ලෙක් කූඩුවක් හැර කූඩුවක් තනන්නා සේ තාත් ශරීරයෙන් ශරීරයට යයි." -භගවත් ගීතාව

මේට්‍රික්ස් හීදී ආත්මය යනු මේට්‍රික්ස් තුල ඇති කර්ම ගිණුම ලෙස සැලකිය හැකි අතර එය එක් ශරීරයක අභාවයෙන් පසු නව ශරීරයක් අත් පත් කරගන්නා අතර එම ක්‍රියාවලිය නොකඩවා පවත්වාගෙන යමින් නොනවතින ගමනක යෙදේ.

(පහත කොටසේ කිසිම අවස්ථාවක ක්‍රමය යන්නෙන් අදහස් කරන්නේ සමාජ ක්‍රමය නොවන බව සලකන්න.)

බුදු කෙනෙකු යනු ක්‍රමය තුලින්ම බිහි වන, එහෙත් ක්‍රමය අභාවයට පත්කිරීමට පත් කිරීමට වෙර දරණ ප්‍රපංචයකි. එයට හේතුව බුදුවරයෙකු හට ක්‍රමය තුල ඇති, කර්ම, සංසාර චක්‍ර වැනි පංචේන්ද්‍රියට ගෝචර නොවන යාන්ත්‍රණ ගෝචර වීමයි. සියළු සත්වයා බුද්ධ මාර්ගය තෝරා ගතහොත්, වෙනත් අයුරකින් කිවහොත් සියළු සත්වයා නිර්වාණය අවබෝධ කර ගතහොත් ඉන් පසු මෙම සත්වයන් චක්‍රයක උපදින, කර්ම රැස් වෙන ක්‍රමයක් නොපවතී. මේ අනුව බුදු කෙනෙකු යන්න ක්‍රමයේ දෘෂ්ටිකෝණයෙන් බලන කල අනියමයකි (anomaly).

මේට්‍රික්ස් හි නියෝද අනියමයකි. නියෝ සතුව ඇති කර්ම ගිණුම කාලාන්තරයක් මුළුල්ලේ තුලනය නොකරණ ලද සමීකරණ විශාල ගණනක සංධ්වනියකි (a harmony of unbalanced equations). තුලනය නොකරන සමීකරණ ඇති වීමට මූලය පහත පරිදි පැහැදිලි කල හැක. ආත්මාර්ථකාමීත්වය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදිය ක්‍රමය පවත්වා ගැනීමට ආධාර වේ. යමෙකු තම පණට වඩා පර පණ උතුම් කොට සැලකීම ක්‍රමයෙහි තුලනය බිඳ දමයි. යමෙක් මේට්‍රික්ස් තුල තම පණ තවත් කෙනෙකු වෙනුවෙන් පූජා කල අවස්ථාවකදී එම සිතුවිලි වලින් ඔහුගේ කර්ම ගිණුම වෙනස් වේ. එම කර්ම ගිණුම මීලඟට හිමි වන පුද්ගලයාත් ගිණුමේ බලපෑමෙන් පරාර්ථකාමී වේ. එම පුද්ගලයාත් ගිණුමට එකතු කරන්නේ ක්‍රමය බලාපොරොත්තු වන දේ නොවේ. මෙය දිගින් දිගටම යන අතර අවසානයේ නියෝ වැනි අනියමයක් බිහිවේ. මෙය බුදු වීමට පෙරුම් පිරීමට බොහෝ සමාන බව පාඨකයාට අවබෝධවනු ඇත. ආත්ම ගණනාවක් තුල තම කර්ම වෙනස් කරමින් පැමිණ අවසානයේ බුද්ධත්වය ලැබීම මේ සමග සංගත වේ (විසංවාදයන් ඇතත් මූලික අදහස් සංගත භාවයක් දක්වයි).

කෙසේ නමුත්, ක්‍රමයෙහිම පැවැත්මට තර්ජනයක් වන ප්‍රපංචයක්, ක්‍රමය විසින්ම නිපදවෙන්නේ කෙසේද යන්නත්, එය වැලැක්වීමට යාන්ත්‍රණයක් ක්‍රමය තුල නොමැතිද යන ගැටළුවත් පාඨකයාට මතු වීමට ඉඩ ඇති අතර එයට ඇති සවිස්තරාත්මක පිළිතුර ඉතා සංකීර්ණ හා දිගු වන නියාවෙන් දැනට කෙටි හා සරල පිළිතුරකට යෑමට අදහස් කෙරේ. කෙටි පිළිතුර නම් ක්‍රමයට එය වැළැක්විය නොහැකි නමුත්, ක්‍රමය එයට සූදානම් බවයි.

ඇත්ත ඇති සැටියෙන් දැකීම, එනම් ප්‍රඥප්ති, ප්‍රඥප්ති ලෙසත් රූපකලාප වල එකතුවක් බවත් දැකීමට ගෞතම බුදුන්ට හැකි ලෙසම පළමු සිනමා පටය කෙලවර නියෝටත් මේට්‍රික්ස් එය ගොඩනගා ඇති මූල ධාතු වල එකතුවක් ලෙස ගෝචර වේ. බුදුන් හෝ රහතන් වහන්සේ කෙනෙකුගේ ලොව තුල ගැහැණියක් හෝ පුටුවක් නැති අතර ඇත්තේ විවිධ හැඩයන්ට සැකසුන රූප කලාප එකතුවකි. මෙයට සමගාමී ලෙස මේට්‍රික්ස් තුලදී නියෝගේ ලොව තුලත් ගැහැණියක් හෝ පුටුවක් නැති අතර ඇත්තේ විවිධ ස්වරූපයෙන් සම්බන්ධ වූ පරිඝනක කේත අක්ෂර රාශියකි.

අවසාන වශයෙන් ජෛන, හින්දු හා බෞද්ධ පමණක් නොව ඒ සමකාලීන ඉන්දීය දැනුම් පද්ධතීන් බහුතරයකම දැනුම නිර්මාණය කරන මෙවලම වී ඇත්තේ සය වන ඉන්ද්‍රිය සේ සැලකෙන මනසයි. එම මෙවලම දියුණු කිරීමෙන් අනෙකුත් ඉන්ද්‍රියන්ට ගෝචර නොවන සියුම් දෑ එයට ගෝචර කර ගත හැකි බවත්, විවිධ හැකියා රාශියක් (දිබ්බ චක්ඛු, පර චිත්ත විජානන, ඉද්ධි විධ) ලබා ගත හැකි බවත් විශ්වාස කෙරේ.

මෙයට සමගාමී ලෙස, මනස දියුණු කර ගැනීමෙන් මේට්‍රික්ස් තුල විස්කම් රාශියක් කල හැකි වේ. මේට්‍රික්ස් තුල ප්‍රෙක්ෂකයා අත්විඳින විස්මය දනවන සටන් ජවනිකා, ඉතා දීර්ඝ පිමි පැනීමට ඇති හැකියාව හා නියෝ අවසානයේ ලබා ගන්නා පියාසර කිරීමේ හැකියාව වැනි සියල්ල මනස දියුණු කිරීමේ ප්‍රතිඵල වේ. තවත් සංකල්ප රාශියක් ගැන සාකච්ඡා කල හැකි මුත් ලිපිය අනවශ්‍ය ලෙස දීර්ඝ වීම වළක්වනු පිණිස මෙමෙ කොටස මෙයින් අවසන් කෙරේ.

මේට්‍රික්ස් කතෝලික හා ඉස්ලාමීය පදනමක සිට කියවීම

සියල්ලට පළමුව සඳහන් කල යුතු කාරණව වන්නේ කතෝලික හා ඉස්ලාම් යන දැනුම් පද්ධතීන් ද්විත්වයෙහිම එන ලෝක නිර්මාපක හා පාලක දෙවියන් වහන්සේ එකම ප්‍රපංචයක් බවයි. ජේසු තුමා කතෝලික පද්ධතිය තුල දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස සැලකෙන අතර නැවත වතාවත් ජේසු තුමා මිහි මතට පැමිණෙන බවත් එවිට සියළු මිනිස් වර්ගයා නිදහස ලබන බවත් විශ්වාස කෙරේ (කෙටි විග්‍රහයක් පමණක් බව සලකන්න). ඉස්ලාම් පද්ධතීන් තුල දෙවියන් වහන්සේගේ පුත්‍රයා පළමු වතාවට ලොවට පැමිණෙන්නේ රජ කෙනෙක් ලෙස බව විශ්වාස කරන අතර ජේසු තුමා දිලින්දෙකු ලෙස උපත ලද නිසා දෙවියන්ගේ පුතුන් නොව නබිවරයෙකු ලෙස පමණක් සලකනු ලැබේ. තවත් වෙනස් කම් ඇතත් මූල ධාතුව වන දෙවියන් වහන්සේ එකම ප්‍රපංචයකි.

මේට්‍රික්ස් හි දි ආකිටෙක්ට් (The Architect) නැමැති ප්‍රපංචය මේට්‍රික්ස් තුල සිටින්නන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන විට සර්ව බලධාරී දෙවියන් වහන්සේ ලෙස සැලකිය හැක. ද ආකිටෙක්ට් යනු පරිඝනක ක්‍රමලේඛනය කිරීමේ (computer programming) හැකියාව ඇති සුපිරි වැඩසටහනක් වන අතර, මේට්‍රික්ස් නැමැති ලෝකයම නිර්මාණය කොට තිබෙන්නේ එම ප්‍රපංචය විසිනි.

ඉස්ලාම් හා කතෝලික දැනුම් පද්ධතීන්ගේ එන දෙවියන් වහන්සේ ලෝක නිර්මාණයේදී හා පවත්වාගෙන යෑමේදී මුහුණ දී ඇති හා මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ යම් අදහසක් දි ආකිටෙක්ට් විෂ්ලේශණයෙන් ලබා ගත හැක.

මේට්‍රික්ස් යනු අධි සංකීර්ණ පද්ධතියකි. ට්‍රිලියන ගණනක් අන්තර් ක්‍රියා සහිත එවන් ගතික පද්ධතියක් නිර්මාණය කිරීමත් එහි තුලනය පවත්වාගෙන යෑමත් සරල කටයුත්තක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. දි ආර්කිටෙක්ට් පවසන පරිදි මේට්‍රික්ස් විවිධ වෙනස් කම් සිදුකරමින් සය වතාවක් නිපදවා ඇති අතර එම සියළු අවස්ථාවල පද්ධතිය පවත්වා ගැනීමට දි ආර්කිටෙක්ට් අපොහොසත් වී ඇත. උදාහරණයක් ලෙස, පළමු වතාවට ලෝකය (මේට්‍රික්ස්) නිර්මාණය කිරීමේ දී එය දුකෙන් තොර ලොවක් ලෙස නිර්මාණය කොට ඇති අතර එහිදී මේට්‍රික්ස් තුල දිවි ගෙවන්නන් එය තම යතාර්ථය ලෙස පිළිගැනීම දැඩි සේ ප්‍රතික්ෂේප කිරීමට පෙලඹීම හේතුවෙන් එම පද්ධතිය පවත්වාගෙන යාමට ආකිටෙක්ට් අපොහොසත් වී ඇත. මීලඟට නිර්මිත ලෝකය තුලට පීඩාව, කුරිරු බව, හිංසනය ආදිය දි ආර්කිටෙක්ට් (දෙවියන් වහන්සේ) විසින්ම ඇතුල් කරනු ලබන්නේ පද්ධතිය පවත්වා ගැනීමට එය අත්‍යාවශ්‍ය බැවිනි.



වෙනත් ආකාරයකින් ප්‍රකාශ කල හැක්කේ යක්ෂයා ද අවසාන විග්‍රහයේදී දෙවියන් වහන්සේගේ නිර්මාණයක් බවයි. මෙය පද්ධතියේ සංකීර්ණත්වය පිළිබඳ ඌන අවබෝධයෙන් යුතුව මතු කරන "දෙවියන් සර්වබලධාරී නම් ලොවෙන් දුක තුරන් නොකරන්නේ මන්ද?" හෝ "යක්ෂයා දෙවියන්ගේම නිර්මාණයක් වන්නේ කෙසේද?" වැනි ප්‍රශ්ණ වලට දී ඇති සාර්ථක පිළිතුරක් බව ලේඛකයාගේ අදහසයි.

මෙයින් මඳක් ඔබ්බට ගමන් කලහොත් නැවත බෞද්ධ දැනුම් පද්ධතිය මුණ ගැසෙන නමුත් ඒ පිළිබඳ කෙටි අදහසක් පමණක් පළ කරනු ලබන්නේ මෙය වෙනත් දැනුම් පද්ධතියකට අයත් කොටසක් බැවිනි. ගෞතම බුදුන් ලෝක නිර්මාපක මහා බ්‍රහ්ම (මහා බ්‍රහ්මන්) නැමැති ප්‍රපංචය හට පෙන්වා දෙන්නේ මහා බ්‍රහ්ම ද තවත් ප්‍රපංචයක නිර්මාණයක් බවයි (පටිච්ඡ සමුප්පාදයට අනුව). ලෝකය මහා බ්‍රහ්ම හේතුකොටගෙන ඇති වූ ඵලයක් සේම, මහා බ්‍රහ්ම ද වෙනත් හේතුවක් නිසා ඇතිවූ ඵලයක් බව මෙහිදී අදහස් කෙරේ. මෙයට සමගාමීව දි ආකිටෙක්ට් විසින් මේට්‍රික්ස් නිර්මාණය කරනු ලැබුවත් දි ආකිටෙක්ට් යනු සිලිකන් යන්ත්‍ර විසින් නිර්මාණය කරන ලද ප්‍රපංචයකි.

කුරාණයේ ලෝක අවසානය ගැන කියවෙන කරුණු වලදී ඇස් අටක් හා අවයව රාශියක් ඇති, යකඩින් තැනුනු ඩද් ජල්වරුන් නැමැති සතුන්ගේ පහළ වීමක් ගැන කියවෙන අතර එම සතුන් මිනිස් සංහතියේ අවසානයට හේතු වන බව දැක්වේ. මෙය ලේඛකයා හට මේට්‍රික්ස් හි එන මිනිස් නාශක යුධ රොබෝවන් සිහියට නංවයි.

මේට්‍රික්ස් සමාජ- දේශපාලන ව්‍යුහාත්මක පදනමක සිට කියවීම

මෙය ඉතා ගැඹුරු අංශ වලට විහිදීයා හැකි කොටසක් නමුත් මෙම ලිපියේදී බහුතරයක් පාඨකයාගේ මධ්‍යක සීමාවකට පමණක් සංවාදය ගෙන යෑමට බලාපොරොත්තු වේ. මාක්ස්වාදයට අනුව ධනවාදී ක්‍රමය තුල පාලන පංතිය, නිර්ධන පංතිය සූරාකන අතර නිර්ධන පංතිය එම සරල සත්‍ය දැකීම වැළැක්වීමට කටයතු කරයි. ධනවාදී ක්‍රමය තුල ඇති බහුතරයක් අංග, නිර්ධන පංතිය තමා වැටී ඇති අර්ධ යාන්ත්‍රික, අර්ධ වහල් තත්වය දැකීමෙන් වික්ෂේප (distract) කිරීම සඳහා නිපද වී ඇත. අනෙක් අතට නිර්ධන පංතිය ක්‍රමය මත කෙතරම් අසරණ ලෙස යැපෙනවාද යත් තමා සූරාකන එම ක්‍රමයම ආරක්ෂා කිරීමට පවා අවසන පෙලඹේ.

ද මේට්‍රික්ස් හි යන්ත්‍ර විසින් මිනිසා සූරාකන අතර මිනිසා එම සරල සත්‍ය දැකීම වළක්වනු වස් මේට්‍රික්ස් නම් අථත්‍ය ලොව නිර්මාණය කොට තිබේ.

මෝෆියස් හා නියෝ අතර ඇතිවන පහත සංවාදයන්ට අවධානය යොමු කරන්න.

මෝෆියස්: මේට්‍රික්ස් සෑම තැනම ඇත. එය අප වට කොට ඇත. මේ අවස්ථාවේ, මෙම කාමරය තුලම පවා. ඔබට එය පෙනේවි ජනේලයෙන් එළිය බලන විට නැත්නම් රූපවාහිනිය දල්වන විට. ඔබට එය දැනේවි රැකියාවට යන විට, පල්ලියට යන විට, ඔබේ බදු මුදල් ගෙවන විට. මේට්‍රික්ස් යනු සත්‍යය වසන් කිරීමට ඔබේ ඇස් ඉදිරිපිට ඇද ඇති කඩතුරාවයි.

නියෝ: කවර සත්‍යය ද?

මෝෆියස්: ඔබ වහලෙක් බව. අනෙකුත් සියළු දෙනා මෙන්ම විලංගු දැමූ සිපිරි ගෙයක ඉපදී ඇති බව.

මෝෆියස් පසු අවස්ථාවක නියෝට ප්‍රකාශ කරන පරිදි-

"මේට්‍රික්ස් යනු ක්‍රමයකි. එම ක්‍රමය අපගේ සතුරායි. ක්‍රමය තුල සිට අවට බලන ඔබට පෙනෙන්නේ මොනවාද? ව්‍යාපාරිකයන්, ගුරුවරුන්, නීතීඥයින්, පෙදරේරුවන්. අප නිදහස් කර ගැනීමට යත්න දරන මිනිස් කොට්ඨාශ. එහෙත් අප ඔවුන් නිදහස් කර ගන්නා තුරු ඔවුන් ක්‍රමයේම කොටස් වේ. එනයින් ඔවුන් අපගේ සතුරන් වේ. ඔබ තේරුම් ගත යුතුයි බහුතරයක් මිනිසුන් සත්‍ය දැකීමට සූදානම් නැති වග. එමෙන්ම එම බහුතරය කෙතරම් අසරණ ලෙස ක්‍රමය මත යැපෙන්නේද යත් ඔවුන් එය ආරක්ෂා කරගැනීමට සටන් වැදීමට පවා පෙලඹෙනු ඇති බව"



එලෙසම ධනවාදී ක්‍රමයේ එන 'ඉතා කාර්යක්ෂම සමාජය' යන සංකල්පය ද මෙහිදී දැකිය හැකිය. මෙහිදී මිනිසාගේ එකම වටිනාකම වන්නේ ක්‍රමය තුලට පොම්ප කරන මිනිස් ශ්‍රමයයි. එලෙසම මේට්‍රික්ස් තුල එය ක්‍රමය තුලට එක් එක් මිනිසා පොම්ප කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණය වේ. අවසාන විග්‍රහයේදී මිනිසා යනු විද්‍යුත් කෝෂයක් හැර අන් කිසිවක් නොවේ.

සමාප්තිය

ඉහත සඳහන් ඕනෑම උප කොටසක් පමණක් පදනම් කොටගෙන ලිපි පෙලක් වුවද රචනා කිරීමට තරම් කරුණු මතු කල හැකි බව ලේඛකයාගේ මතයයි. එවන් කියවීමක් පසෙක දැමූවද, සිනමා පටයන්ගේ එන මූලික කථා පුවත නිවැරදිව වටහා ගැනීම අරමුණු කොටගෙන පමණක් වුවද ලිපි පෙලක් රචනා කල හැකි අතර මෙම ලිපියේදී තෝරාගත් කරුණු කිහිපයක් පමණක් හැකි තරම් සංෂිප්තව සංවාදයට බඳුන් කිරීමට උත්සාහ කොට ඇත.

අවසාන වශයෙන් සඳහන් කල යුත්තේ මෙය දි මේට්‍රික්ස් පිලිබඳ ලේඛකයාගේ කියවීම බවයි. පාඨකයා හට මෙයට වඩා සම්පූර්ණයෙන් වෙනස් කියවීමක් තිබීමට බොහෝ ඉඩ කඩ ඇති අතර, එයම මෙම නිර්මාණයේ ඇති විශිෂ්ඨත්වය පිළිබඳ දෙස් තියයි.

රන්දික විජේසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails