Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


[ඉන්දියානු ලේඛිකා අම්රිතා ප්‍රීතම් විසින් රචිත ''Stench of Kerosene'' නම් කෙටි කතාවෙ හි පරිවර්තනය කි.]

පිටතින් ඇසුණේ වෙළඹකගේ හේෂාරවයකි. ගුලරි එය හැඳින ගත්තාය. වෙළඹ එවා තිබුණේ ගුලරි ගේ දෙමාපියන් විසිනි. වහ වහා පිටතට දිව ආ ඕ වෙළඹගේ ගෙල මතින් සිය හිස තබා ගත්තී, දෙමාපියන් වෙත යාමට විවර වූ ද්වාරය එය බැව් හොඳින් දැන සිටි බැවිනි.

ඇගේ සැමියාගේ ගම පිහිටා තිබුණේ උස් තැනි බිමෙකය. ඉන් පහළට දිවෙන මාවත් වඩාත් වංගු සහිත වූ අතර කඳු පාමුල තෙක් දැඩි බෑවුම් සහිතව ප්‍රපාතාකාරයෙන් විහිදී තිබිණි. එහි සිට මයිල කිහිපයක් ඔබ්බෙන් වූ චම්බාවෙහි ගුලරිගේ දෙමාපියෝ විසූහ. කඳු මුදුනේ සිට බලන්නෙකුට ඈතින් පිහිටි චම්බාව එක එල්ලේ බලාගත හැකිය. ගුලරි මාපියන් පිලිබඳ සාංකාවෙන් පසුවන හැම මොහොතකම මානක් ද කැටුව කඳු මුදුනට එන්නට පුරුදුව සිටියාය. එවිට සූර්ය රශ්මි කදම්භයෙන් නැහැවී දිදුලන චම්බාව දකින ඕ හද පුරා මැවෙන භක්ත්‍යාදරයෙන් කුල්මත් වූවාය.

සෑම වසරකටම වරක් පාහේ අස්වනු නෙළන සමයේ දී, සිය දෙමාපියන් වෙත යාමටත් ඔවුන් හා දින කිහිපයක් එක්ව ගත කිරීමටත් ගුලරි වරම් ලද්දීය. ගුලරී කැඳවාගෙන එනු පිණිස කෙනෙකු චම්බාවෙහි සිට ලකර්මන්දාවට යැවීම ඇගේ මාපියෝ සිරිතක් කොට ගෙන සිටියහ. එකල විවාහ වී පිටගම් ගොස් සිටි ඇගේ මිතුරියෝ ද අස්වනු මංගල්‍ය සඳහා සිය ගම් පියස වෙත ආහ. වාර්ෂික මිතුරු හමුව දුක් සුසුම් හා ප්‍රීතිය රැගත් සිදුවීම් වලින් පිරීතිරි යන්නට මග බලමින් හුන්නේය. ඔවුහු එක්ව ගමන් බිමන් ගියහ. ලඟ ලඟම එන අස්වනු මංගල්‍යය සඳහා අලුත් ඇඳුම් සූදානම් කලහ. දුපට්ටාවන් ට සායම් පෙවීම, කැඳ දැමීම සහ දිස්නය සඳහා තලාතු මිනිරන් ඉසීම කළහ. වීදුරු වළලුත් රිදී කරාබුත් මිල දී ගත්හ.

අස්වනු මංගල්‍යය උදාවන තෙක් ගුලරී ඇඟිලි ගනිමින් හුන්නාය. මෙතෙක් කල්ගුවන සිසාරා පැතිරී හුන් මෝසම් වළාකුළු සියල්ල සරත් සුළඟ විසින් පලවා හැරපැහැදිලි අහසක් මතු කරද්දි ගුලරීට ඒ පිළිබඳ හිතන්නට තිබූ කාලය මඳ විය. ඕ ගවයන්ට තණ කැවීම් කළාය. ගෙදර දොර කටයුතු කළාය. නැන්දා මාමාවෙනුවෙන් අහර පිලියෙල කලාය. ගමෙන් කෙනෙකු ඈ කැටුව යන්නටඑන්නට පෙර සියල්ල කඩිනමින් අහවර කොට නොඉවසිල්ලෙන් බලා හුන්නාය. දැන් යළිත් වරක් එම මොහොත උදාවී ඇත. ඕ උතුරායන ප්‍රමෝදයෙන් යුතුව වෙළඹ සුරතල් කළාය. ගුලරී කැඳවා ගෙන යාමට පැමිණි මෙහෙකරුවා වූ නාතුට අචාර කළ ගුලරී එළඹෙන දින යෙදී ඇති ගමනට ලහි ලහියේ සුදානම් වූවාය. ඒ පිළිබඳ ගුලරී තුල වූ ප්‍රබෝධය වචනයෙන් කීමට ඈට අවැසි නොවූයේ ඇගේ මුහුණ ඈ තුල හද තුල වූ සියළු හැඟුම් වල කැඩපතක් බඳු වූ බැවිනි. මානක් හුකාවෙන් දුම් උගුරක් ඇද මොහොතකට දෙනෙත පියා ගත්තේය. ඒ දුම්කොල වලින් නැගුණු අප්‍රසන්න බවෙන් හෝ ගුලරීට මුහුණ දීමට ඔහු තුල වූ අපහසුතාවයෙන් විය හැකිය.

''ඔයා සැණකෙළියට එනව නේද....එක දවසකට හරි?'' ගුලරී බැගෑපත් වූවාය. පිලිතුරු නොදුන් මානක් උරමින් සිටි මැටි පයිප්පය පසෙකින් තැබුවේය.

'' ඇයි කතා කරන්නෙ නැත්තෙ?'' ගුලරී නෝක්කාඩුවෙන් ඇසුවාය.

''මම ඔයාට දෙයක් කියන්නද?''

''මම දන්නව ඔයා මොකද්ද කියන්න යන්නෙ කියල - අම්ම තාත්ත බලන්න යන්නෙ අවුරුද්දටම එක සැරයයි කියලනේ... මීට කලින් කවදාවත් මම ඔයාව නවත්තල තියෙනවද ගුලරී?''

''එහෙනම්, මේ වතාවෙ මාව නවත්තන්න ඔයාට තියෙන වුවමනාව මොකද්ද?'' ගුලරී පෙරලා ඇසුවාය.

'' මේකයි......'' මානක් වචන ගිල ගත්තේය.

'' ඔයාගේ අම්මගෙ අකමැත්තක් නැත්නම් ඔයා එපා කියන්නෙ ඇයි?'' ඕ ළදැරියක සේ මුරණ්ඩු වූවාය.

''අම්මා......'' ඉන් එහා කියන්නට වදනකුදු මුවට නොආයෙන් මානක් කිසිවක් නොකියා නිහඩ විණි.

බලාපොරොත්තු සහගත දිගු රාත්‍රියකින් පසු එළඹ් උදෑසන අරුණ නැගෙන්නට ටත් පෙර ගුලරී සූදානම් වූවාය. ඈට දරුවන් නොවීය. එබැවින් දරුවන් තබා යාමේ හෝ කැටුව යාමේ ගැටළුව ඈට නොවීය. ගුලරී මානක්ගේ දෙමාපියන් වෙත ගොස් වැඳ ඔවුන්ගෙන් සමුගත්තාය. ඔවුහූ ඈ හිස මත අත් තබා ආශීර්වාද කළහ. නාතු සෑදලය දමා ගමන සඳහා අසු සූදානම් කළේය.

''මගක් දුරට මම එන්නම්'' මානක් කීය.

තුටින් ඉපිල ගිය ගුලරී මානක්ගේ බටනලාව ගෙන දුපට්ටාව තුල සඟවා ගත්තාය.

ඛජියාර් ග්‍රාමය පසුකරත්ම චම්බාව දෙසට දිවෙන මාර්ගය වඩාත් බෑවුම් සහිත විය. මෙතෙක් වේලා දුපට්ටාව තුල සඟවා ගෙන සිටි බටනළාව පිටතට ගත් ගුලරී එය මානක් අත තැබුවාය.

''මේක පිඹ්නවද?''

එහෙත් මානක් සිතිවිලි ගොන්නක අතරමංව හුන්නේය. එබැවින් කිසිත් නෑසිනි.

"අනේ, ඇයි මේක පිඹින්නැත්තෙ?'' ගුලරී බොරු තරහක් මවා ගත්තාය.

දුක් මුසු බැල්මක් ඔහු වෙතින් පල විණි. බටනළාව දෙතොලතර තැබූ මානක් නුහුරු වැලපිල්ලක් බඳු තනුවක් ගුවනට මුසු කළේය.

''ගුලරී යන්නෙපා...මම ආයෙත් කියන්නෙ මේ වතාවෙ විතරක් නොගිහින් ඉන්න බැරිද?'' බට නළාව ගුලරී අත තබමින් මානක් කියා සිටියේය. ඉන් එහා යමක් කීමට ඔහුට නොහැකි විණි. මුව ගොළු වී වචන පැටලිණි.

''ඒත් ඇයි?'' ඕ පෙරලා ඇසුවාය. ''සැණකෙළිය දවසට එන්න, අපිට ආපහු එකටම එන්න පුළුවන්, මම පොරොන්දු වෙනවා.''

මානක් කිසිවක් නොදෙඩුවේය.

ඔවුහු මග අසල නැවතුනහ. නාතු ඔවුන් දෙදෙනාට තනිවන්නට ඉඩ දී වෙළඹ ද රැගෙන අඩි කිහිපයක් ඉදිරියට ගොස් නැවතුනේය. එම මොහොතේ මීට සත්වසරක ට පෙර මෙවැනිම දිනයක නිදිගත් මතකයන් මානක් තුල අවදිවන්නටවිණි. එබැවින් නාතු පිලිබද නොපහන් බවක් මානක් තුල ඇති වන්නට වූයේය. මෙවැනි ම දිනක මානක් සිය මිතුරන් හා චම්බාවෙහි සැණකෙළියට යමින්උන්නේය . මානක්ට ප්‍රථම වරට ගුලරී මුණගැහුනේ එහි දීය. එහිදී ඔවුහු එකිනෙකා ගේ හදවත් හුවමාරු කර ගත්හ. ඉඩ ලද සෑම මොහොතකම ගුලරී හා මානක් හුදෙකලාව හමු වන්නට වූහ.

''ඔයා හරියට කිරි වැදුණු ගොයමක් වගේ ගුලරී'' ඇගේ අත ගනිමින් මානක් පැවසූ අයුරු ඔහුට සිහිපත් විණි.

''හරක් ඇදෙන්නෙ කිරි වැදුණු ගොයමට තමයි...... ඒත් මිනිස්සු කැමති වී සහල් කරල බත් කන්න. ඔයා මට කැමතිනම් ඇයි අපේ තාත්තව මුණගැහෙන්නෙ නැත්තෙ?'' ඕ මානක් වෙතින් සියත මුදා ගනිමින් පැවසුවාය.

විවාහෝත්සවයට පලමුව දෑවැද්ද තීන්දු කිරීම මානක් ගේ නෑදෑයන් අතර සිරිතක් වශයෙන් කෙරිණ. දෑවැදි පිණිස කොපමණ වටිනාකමක් ගුලරී ගේ පියා විසින් නියම කරාවිදැයි මානක් පසුවූයේ බියෙනි. එහෙත් ගුලරීගේ පියා කලක් නගරයේ ජීවත් වූ පුද්ගලයකු වූ අතර මුදල් හදල් හා වත් පොහොසත් කම් වලින් ඔහුට හිඟයක් නොතිබිණි. ගුලරීට හැම අතින්ම යහපත් ස්වාමියකු ලැබෙන්නේ නම් දෑවැදි නො ඉල්ලන බවට ඔහු දිවුරා තිබිණි. ''මානක්'', ඔහු තීරණය කළේය. සියලු අවශ්‍යතා පූරණය කිරීමෙන් අනතුරුව මානක් හා ගුලරී එකම කැදැල්ලකට වූහ.

"මොනව ගැනද අප්පෙ ඔයතරමට හීන දකින්නෙ?'' ඕ විහිළු කලාය.

මානක් කිසිත් නොදෙඩීය. ඈතින් ඇසුණේ වෙළඹගේ නො ඉවසිලිමත් හේෂාරවයයි. එසැනින් ගුලරී යන්නට නැගීසිට්යාය.

''මෙතන ඉඳල හැතැප්ම දෙකක් විතර එහායින් තියෙනවයි කියන කැළේ ඔයා දන්නවද ? මිනිස්සු කියනව ඒ කැලේ මැද්දෙන් යන ඕනෙම කෙනෙක් බීරි වෙනව කියල....හරියටම ඔයත් දැං ඒ කැලෙ මැද්දෙන් ගිහින් ආවා වගේ.... මං කියන කිසිම දෙයක් ඇහෙන්නෙ නැති හැටි...'' ගුලරී කීවාය.

''ඔයා හරි ගුලරී....ඔයා කියන කිසිම දෙයක් මට ඇහෙන්නෙ නැහැ තමා.'' මානක් හීල්ලුවේය.

ඔවුහු මොහොතකට එකිනෙකා දෙස බලා ගත් වනම හුන්නෝය. එහෙත් මානක් ට හෝ ගුලරීට එකිනෙකාගේ හැඟුම් තේරුම් ගත නොහැකි විය.

''මම දැන් යන්න ඕනෙ...ඔයා ආපහු ගියොත් හොඳයි දැන්.... ගෙදර ඉඳලා සෑහෙන දුරක් ආව නේ'' මානක් අමතා ඕ මුදු ලෙස කීවාය.

''පයින්ම ආවනෙ ගොඩක් දුර... දැන් අස්සයගෙ පිටට නැග්ගොත් හොඳයි නේද?'' මානක් පිලිතුරු දුන්නේය.

''ආ, ඔයාගේ බට නළාව''

''තියාගන්න''

''සැණකෙලිය දවසෙ ඇවිත් මේක පිඹිනව නේද?'' දෙතොල මත රැඳුනු මුදු මද හසින් යුතුව ඕ නැවතත් විමසා සිටියාය. ඇගේ දෙනෙත සූර්ය කාන්තියෙන් බැබලිණි. මානක් ඉවත බලා ගත්තේය. සොවින් දෙවුර හැකුළු ගුලරී චම්බාව වෙත පිටත්ව ගියාය.

මානක් ආපසු හැරුණි.

නිවසට ගොඩ වැදුනු මානක් කිසිදු උද්යෝගකින් තොරව ඇඳමතට ඇද වැටුණේය.

''මෙච්චර වෙලා කොයි දීපංකරේක හිටියද .... චම්බාවටම ගියාද ඇරලන්න'' මව ගෝරනාඩු කළාය.

''ගොඩක් දුර නෙමෙයි...කන්ද උඩට විතරයි'' මානක් ගේ හඩ බර වී තිබිණ.

''නාකි ගෑනියෙක් වගෙ බෑඟිරි තලන්නෙ මොකද.... මිනිහෙක් වෙයන්'' මව බැන වැදුනාය.

''අම්මත් ගෑනියෙක් නේද....නිකමටවත් තෙතමනයක් නැද්ද ඔය හිතේ හැබෑටම''යයි පෙරළා අසන්නට මානක් ට සිතුනද ඔහු නිහඬ විය.

මානක් සහ ගුලරී විවාපත් ව සත් වසරක් ගෙවී ගියද ඔවුනට දරුවන් නොවීය. අට වෙනි වසරටත් එයම සිදුවනු දැකීමට අකමැති වූ මානක්ගේ මව ඒ සඳහා රහසිගතව උපායක් යෙදුවාය. එනම්, මේ වසරේ සැණකෙලිය සඳහා ගුලරී නිවසින් පිටව ගිය කල මානක් වෙනුවෙන් දෙවන බිරියක කැඳවා ගෙන ඒමය. ඇය ඒ සඳහා රුපියල් පන්සීයක මුදලක් ගෙවා ඇති බව මානක් ද දැනසිටියේය. මවටත් සිරිතටත් ගරු කල මානක්ගෙ සිරුර අලුතින් කැඳවාගෙන ආ ගැහැණිය වෙනුවෙන් ප්‍රතිචාර දක්වුවද හදවත ඔහු තුලම මියැදී තිබිණ.

එක් උදෑසනක මානක් මැටි පයිප්පයෙන් දුම් උරමින් සිටිනා අතරතුර ඔහුගේ පැරණි මිතුරකු මානක් පසු කර යමින් හුන්නේය.

''ඒයි, භවානි කොහෙ යන ගමන්ද මේ උදේ පාන්දරින්ම ?''

භවානි නතර විය. මිටිකර බඳින ලද කුඩා පොට්ටනියක් ඔහුගේ උරහිසේ විය.

''මෙ ලඟට ගිහිල්ල එන්න කියල...''

'' කොහෙහරි විශේෂ ගමනක් යනව වෙන්න ඕනෑ'' මානක් කීය. ''මොකද කියන්නෙ....දුමක් උරනවද?'' ඔහු නැවතත් භවානි දෙස බලමින් විමසා සිටියේය.

මානක්ගේ අතින් මැටි පයිප්පය ගත් භවානි ඔහු අසලින් ඇන තියාගත්තේය.

''මම චම්බාවට යනව..සැණකෙළියට'' අවසානයේ භවානි කීවේය. භවානිගේ වදන් ඉඳිකටු තුඩක් සේ මානක් ගේ හදවත සිදුරු කළේය.

''සැණකෙළිය අද ද ?''

''හැම අවුරුද්දෙම වගේ...එකම දවසෙ තමයි'' භවානි පිලිතුරු දුන්නේය. ''ඇයි, අමතකද, මීට අවුරුදු හතකට කලියෙනුත් මේ වගේම දවසක සැණකෙළික උන්න'' ඉන් එහාට කිසිත් නොකීමට භවානි වග බලා ගත්තේය.

භවානි ගේ සෝපහාස වදන් සියල්ල මානක් තුළ කැළඹුමක් ඇති කලේය. එකෙණෙහිම මැටි පයිප්පය පසෙකින් තැබූ භවානි පොට්ටනිය ද අතින් ගෙන නැගීසිටියේය. ඔහුගේ බටනළාව පොට්ටනියෙන් පහලට එල්ලෙමින් තිබිණි. භවානි ඈත නොපෙනී යන තුරුම මානක්ගේ දෙනෙත රැඳී තිබුනේ ඒ වෙතය.

පසු දා උදෑසන කුඹුරෙහි වැඩ කරමින් හුන් මානක් සැණකෙලිය නිමවී ආපසු එන භවානි දැක ඕනෑකමින් ඔහුව මඟ හරින්නට මෙන් ඉවත බලාගත්තේය. භවානි සමග සැණකෙලිය පිලිබඳ වදනක් හෝ කතා කරන්නට මානක් ට අවශ්‍ය නොවිණි. එහෙත් අනෙක් පසින් පැමිණි භවානි මානක් ඉදිරියෙන් හිඳගත්තේය. ඔහුගේ මුහුණ සොවින් අළු පැහැ ගැන් වී තිබිණ.

''ගුලරී ජීවතුන් අතර නැහැ'' භවානි බිඳුණු හඬින් කීවේය.

''මො ක ......ක්??''

''ඒකි ගිණි තියාගෙන...භූම්තෙල් වක්කරගෙන.. උඹේ දෙවෙනි කසාදෙ ගැන අහල...''

මානක් වේදනාවෙන් ගල් ගැසිණි. ඔහු ට කල හැකි වූයේ නිසලව නෙත් හයාගෙන තමා ගේ ජීවිතය දැවී පිළිස්සී යන අයුරු විඳගැනීම පමණකි.

කාලය වේගයෙන් ඉගිල ගියේය. මානක් නවතා දමා තිබුණු ගොවිතැන් කටයුතු නැවත ආරම්භ කළේය. කන්නට යමක් ලද විටෙක එය අනුභව කළේය. එහෙත් ඔහු ඇවිදින මළමිනියක් වැනි විය. මුහුණ හැඟුමින් තොර විය. දෙනෙත තුල හිස් බව විය.

''මම මෙයාගේ ගෑනි නෙමෙයි....හරියට පිට එකියක් වගේ'' මානක් දෙවනුව කැඳවා ගෙන ආ බිරිඳ නොහොඳ නෝක්කාඩු කියන්නට වූවාය.

එහෙත් ඉක්මනින්ම ඕ ගැබ්බර වූවාය. තම අළුත් ලේලිය කෙරෙහි බොහෝ සෙයින් සතුටට පත්වූ මානක් ගේ මව වහ වහා මානක් වෙත දිව ගොස් පුවත සැල කර සිටියාය. එහෙත් කිසිත් නොවැටහුණු කලෙක මෙන් ඔහුගේ දෙනෙත හිස් බවින් මිරිකී තිබිණි.

දරුවා ලැබීමෙන් පසු, කාලයත් සමග සියල්ල වෙනස් වෙනු ඇතැයි කියමින් මානක් ගේ මව තම ලේලිය අස් වැසුවාය. එබැවින් සියල්ල විඳදරා ගන්නා ලෙස ඕ තම ලේලියගෙන් අයැද සිටියාය.

ඕ පුතකු බිහිකළාය. මානක් ගේ මව උතුරා යන ප්‍රීතියෙන් ප්‍රමුදිතව උන්නාය. බිළිඳා නහවා පිරිසිඳු කල මානක්ගේ මව බිළිඳා රෙදි කඩකින් ඔතා ඔහු ගේ උකුල මත තැබුවාය. ඔහු තම උකුල මත හිඳින දරුවා දෙස මොහොතක් නිසොල්මන්ව බලා හුන්නේය. කිසිත් අවබෝධනුවූවාක් මෙන් නොනවත්වාම බලා හුන්නේය. සුපුරුදු හිස් බවම හැරෙන්නට වෙනත් කිසිදු හැඟීමක් එහි සටහන්ව නොතිබිණි. සැණෙකින්, හිස් බවින් වැසී තිබුණු දෙනෙත් එකවරම භීතියෙන් විසල් විණි. මුව විවර විණි.

''මූව අහකට ගනිල්ලා... මූව අහකට ගනිල්ලා... මූ ලඟ භූමි තෙල් ගඳයි''

මානක් උමතුවෙන් මෙන් කැගෑවේය.



අම්රිතා ප්‍රීතම්

අම්රිතා ප්‍රීතම්, 1919 දී ඉන්දියාවේ ගුජ්රන්වාලා හිදී උපත ලැබුවාය. ඇය වත්මන් ඉන්දීය සමාජය තුල ඉතා සුප්‍රකට පන්ජාබි ලේඛිකාවකි. කිවිඳියකි. කුසලතා පූර්ණ නිර්මාණ සඳහා ඇය කිහිපවරක්ම සම්මානයට පාත්‍ර වූවාය. ඉන්දියාව දෙකඩ වූ වකවානුවෙහි මිනිසුන් අත්විඳි සියළු දුක්ඛ දෝමනස්සයන් ද, විඳි අපමණ හිරිහැර ද ඇගේ නිර්මාණකරණයේ ආත්මය විය. හුදෙකලාවෙන් පීඩිත මිනිස් හදවත් වල රාවය ඕ නොපැකිළව ඇගේ නිර්මාණ හරහා ලොවට හෙලිකළාය. ඇය මිය යන විට නවකතා 14 ක්ද, කෙටිකතා සංග්‍රහ 15 ක්ද , ගද්‍ය රචනා වෙළුම් 23 ක් ද ප්‍රකාශයට පත් කොට තිබිණ. ''පින්ජර්'', ''ඒක් තී සාරා'', ''කහානියොන්කි ආන්ගන් මේ'', ''උන්චාස් දින්'', ''අදාලත්'' වැනි නව කතාද, ''සෆර්'', ''පන්ජාබි කවිතාවලි'', ''ආවාස්'' වැනි ජනප්‍රිය කාව්‍ය සංග්‍රයන්ද, ''ලාල් ධාගේ කා රිෂ්තා'', ''යේ කහානියා ජෝ කහානියා නහි හෙ'', ''චිරාගෝ කී රාත්'' වැනි කෙටි කතා සංග්‍රහද ඒ අතර වේ.

අම්රිතා ප්‍රීතම්
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails