Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රේණුකාට රක්ෂාව ලැබුණේ කිසිදු පෙරනිමිත්තකින් තොරවය. ඇය හෝ ඇගේ මව මතක ඇති කාලයක සුබ සිහිනයක් දුටුවේ නැත. එදා උදයේත් කබ පිසිමින් දොරකඩට බට වහාම නෙත ගැටුණේ අකුණු වැදීමෙන් අතු හැලී ගිය දීගජන්තු පොල්කඳමය. එහෙත් බස්නාහිරින් හිරු නැගී ආවා සේ උදේ හතහමාර වන විට ග්‍රාමසේවක මහත්තයා දොරකඩ පෙනී සිටියේය.

”හා....නේ.......... රාළහාමිනේ!” අම්මා කුඩා කල ඇගේ කටට හුරුව තිබූ වචනයෙන්ම ගෞරවාචාර දක්වමින් උළුවස්ස ළඟ කඳ නවන විට මළ කෑ ජනෙල්කූරු අතරින් රේණුකා ග්‍රාමසේවකගේ හිනා කට දුටුවාය.

මේ මනුස්සයාට ගෙයක් ගානේ යන්න ධෛර්යය ලැබුණේ කොහොමදැයි සිතමින් දොරකඩට පැමිණි රේණුකා දෙස අම්මාගේ පාත්වුණු උරහිසට උඩින් බැලූ ග්‍රාමසේවක මහත්තයා ”ඔන්න අපට කරන්ඩ පුළුවන් දේ අපි කළා. ලබන සුමානේ ඉඳන් රස්සාවට යන්ඩ ලෑස්ති වෙන්ඩ!” යයි කිවේය.

”ගාමන්ට් එකේ රස්සාව දෙන්නෙ මුද්දරකාඩ් තියෙන අයට විතරයි.”

”ගාමන්ට් එකේ?”

”ඔව් ලබන සුමානේ විවෘත කරනව”

”කොහෙද?”

”ඇයි අර හෙණගහපු කන්දෙ”

”හෙණගහපු කන්දෙ ගාමන්ට් එකක්?”

”ඔව්. ඇයි? පුදුමද?”

”පුදුම නේන්නම්. කන්දෙ කොයි පැත්තෙද?”


රේණුකා මිදුලට බැස ග්‍රාමසේවක සමග එකපෙළට හිටගෙන අතේ දුරින් පේන හෙණ ගහපු කන්ද දෙස විමසිල්ලෙන් බැලුවාය. ඒ බැල්මට ගාමන්ට් එකක් නොව තනි ජංගියක් කන්දේ වනා තිබුණත් එය පෙනෙන්නට ඕනෑය. එහෙත් රේණුකාගේ ඇස් දැක්කේ උසට උසේ හිටගෙන ඉන්නා අකුණු වැදුණු පොල්කඳම පමණය.

”මෙතෙන්ට පේන්නෙ නෑ. කන්දෙ එහා පැත්තෙ. ආ මේ පෝම් එක පුරවලා හවසට ගෙදරට එවන්ඩ අම්ම අතේ”

ග්‍රාමසේවකගේ පයිල් කවරයෙන් එළියට ආ ඉල්ලුම්පත්‍රය රේණුකා අතට යත්ම ”හොඳමයි රාළහාමි” යි පිළිතුරු දුන්නේ අම්මාය.

ගමේ මිනිස්සු ඒ පැත්ත බලා මේ පැත්ත බලන විට ප්‍රාදූර්භූතව නැගී සිටියාවූ ”මොඩර්න් ගාමන්ට්” විවෘත කෙරුණේ සිරි සිරි පොදවැස්සේය. කන්ද කපා තැනූ අලුත් පාර දිගේ සෙරෙප්පු ගලවාගෙන, ඇඟිලිකරු අස්සෙන් මතුවී එන චිරිමඩ මත සීරුවෙන් ගොස් වැඩ පටන්ගත් රේණුකාලාට මේ සිදුවූයේ කුමක්දැයි වටහා ගන්නටවත් කාලයක් නොලැබිණි.

මාසයක් එක සීරුවට වැඩකරන්නට ‘ඕඩර්’ ලැබී තිබේ. උදේ හයේ සිට හැන්දෑවේ හය වනතුරු වැඩ ලැබේ. කැන්ටිම කෑල්ලට තවම වහල ගහලා නැත. වහල ගසා සිමෙන්ති දැමූ වහාම තේ එකත් කෑම පාර්සලයත් මැෂිම ළඟටම එවනු ලැබේ. එතෙක් හන්දියට කැඳවාගෙන ගොස් හෝටලයෙන් කෑම අරන්දෙයි. මෙය සති දෙකක් වැනි කෙටි කාලයකට පමණක් අනුගමනය කෙරෙන අතිශයින් ම තාවකාලික සැලැස්මකි.
කිව්ව වෙලාවට විවෘත කළ යුතු නිසා තවම පටන් ගෙන ඇත්තේ ‘ෆිනිෂින් සෙක්ෂන්’ පමණි. රේණුකාලාට පැවරී ඇති රාජකාරිය වන්නේ වෙනත් ‘ගාමන්ට් එකකින්’ මසා එවා ඇති කළු කමිසවලට රතු බොත්තම් ඇල්ලීමය. වාඩිවීමට කකුල් තුනේ ස්ටූලයත්, අත් ඉදිකටුවත් කළු නූල් පන්දුත්, ප්ලාස්ටික් ටින්වල පිරවූ හිල් හතරේ රතු බොත්තනුත් සපයා දී ඇත.

ලොකු මේසයක් වටා ස්ටූල් තබාගෙන වාඩිවී සිටින රේණුකා සහ යෙහෙළියෝ මුහුණු පහත් කරගෙන කළු කමිසවල බොත්තම් අල්ලති. බොත්තම් ඇල්ලූ සහ නොඇල්ලූ කළු කමිස මේසය මත කඳුගැසී ඇත. සෑම කෙල්ලකම ඉදිරියෙන් නිල් පැහැ ප්ලාස්ටික් බඳුනක් වේ. එක් බොත්තමක් කමිසයට සවි වූ පසු අතක් දිගු වී ප්ලාස්ටික් භාජනයට බසී. සිහින් දර දර හඬක් බඳුනේ නැගෙයි. රතු බොත්තමක් සහිතව කෙල්ලගේ අත ආපසු කමිසය වෙත එයි. ඒ වන විට කමිසයේ දාරය බිඳගෙන ආ ඉදිකටුව හෙණගහපු කන්දේ මැරුණු පොල්ගස මෙන් උඩට මතුවී සිටී. බොත්තම් හිල් හතරෙන් එකක් ඉදිකටු මුහුණත මතින් පහළට බසී. ඉදිකටුව ඉල්පී අවුත් බොත්තමේ තවත් සිදුරක් මැදින් ආපසු යට යයි.

පැය දෙකක් පමණ එක දිගට කරබාගෙන වැඩකරන රේණුකා දෑස පියාගෙන මුහුණ වහලය වෙත හරවා බෙල්ල හැකි තරම් පිටුපසට නවයි. දෙතුන්වරක් එසේ ව්‍යායාමයේ යෙදෙන ඈ වැඩෙහි යෙදී සිටි අනෙක් යෙහෙළියන් දෙස බලයි. ඔවුහු කරබාගෙන වැඩෙහි යෙදී සිටිති. පාතට හැරුණු මුහුණුවල නාස්කොන් ඇහිබැම සහ හිස් මුදුන රේණුකාට පෙනෙයි. ඔවුන්ගේ අත් වසා සිටින කළු කමිස මත රතු බොත්තම් කැපී පෙනෙයි. ඈ දෑස් ඔසවා, හිස කරකවා වට පිට බලයි. ශාලාවේ එක් පැත්තක පමණක් සුදු බිත්තියේ ඇස් මට්ටමට ඉහළින් කුඩා හුළං කපොලු ඇයට පෙනෙයි. ඒ හුළං කපොලුවලින් එපිට කැකෑරෙන අව්වත් හිස් අහසත් ඇය දකී.

කැන්ටිම දමන්නට ගොඩනැගිලි හදන්නේ රේණුකා වැඩ කරන කෑල්ලෙන් එහා හුළං කවුළු ඇති පැත්තේය. ඒ පැත්තේම යාර කිහිපයක් ඈතින් වැසිකිලි පේළියකි. මුත්‍රා කරන්නට එහි යන විට රේණුකාට වැසිකිලි පේළියට පහළ බෑවුමත් එහි කෙළවර තැනින් තැන රතු පස්ගොඩවල් දැමූ වගුරත් පෙනේ. වගුරට ඔබ්බෙන් තවත් බූ ගෑ කන්දකි. ඒ කන්දෙන් එහා අහසය.

දැණ රේණුකාගේ රක්ෂාවේ වයස සතියකි. ඈ ප්ලාස්ටික් බඳුන ඔඩොක්කුවට ගෙන එතුළට අතක් දමා අවුස්සා බලන්නට වූවාට. ඇය එසේ කළේ හිල් හතරේ රතු බොත්තම හැර වෙනත් පාටක එකම එක බොත්තමක්වත් එහි තිබෙන්නට බැරි නැතැයි යන සිතුවිල්ල ඈ තුළ පහළ වූ බැවිනි. එහෙත් එහි වූයේ දහස් ගණනක් රතු බොත්තම් පමණි. දින දහයක් යන විට ඇයට ඇගේ යෙහෙළියන්ගේ මුහුණු ද රතු බොත්තම් සේ පෙනෙන්නට විය.

රේණුකා අඳුරේම ඇඳෙහි වැතිර කල්පනා කරමින් සිටි අවස්ථාවක ඇගේ අම්මා චිමිනි ලාම්පුව අතින් ගෙන ඇගේ ඇඳ වෙත ගියේ රස්සාවට පස්සේ තම දියණිය කතාබහකින් තොර වූයේ මන්දැයි සිත තුළ පවතින සැකය විසින් මෙහෙයවනු ලැබීමෙනි.

අම්මා චිමිනි ලාම්පුව ඔසවා එහි එළිය ඇඳට වැටෙන්නට සැලැස්වූවාය. එසවුණු ලාම්පුවේ එළිය වැටුණු අම්මාගේ මුහුණ දුටු රේණුකා කලබල වී කෙලින් වූවාය.

”අම්මගේ මූණ රතු බොත්තමක් වගේ. ඔය ඇස්, කට, බොත්තම් හිල් වගෙයි.”

අම්මා දියණිය කෙරෙහි මහත් බියකින් බිරන්තට්ටුවී බලා සිටියදී රේණුකා සිනාසී මවගේ කලවා බදාගත්තාය.

දහවල් කෑම විවේකය ලැබෙන තුරු රේණුකා බලා සිටියේ නොඉවසිල්ලෙනි. වෑන් රථයට නැගී සැතපුම් භාගයක් දුරින් පිහිටි හන්දියේ හෝටලය වෙත් යන ගමන ඇයට මහත් සහනයක් අත්කර දුන්නේය. වෑන් රථයේ කවුළුවෙන් පිටත බලා සිටින් ඇය හන්දිය තෙක් ඇති ගෙවල් ගණින්නට පටන් ගත්තාය. ඉන් පසු ඒවායේ මිදුල්වල ඇති මල් පඳුරු ගැන්නාය. රෝස පඳුරු වෙනමත්, දුඹුරු පැහැ ක්‍රෝටන් ගස් වෙනමත් ගැන්නාය. දිනක් රෝස පඳුරු ගැණ බැලූ ඇය ඊළඟ දවසේ ගැන්නේ බෝගන්විලා පඳුරුය. තෙවන දිනයේ එක පාටක ක්‍රෝටන් ද සිවූවන දිනයේ වෙනත් පාටක ක්‍රෝටන් ද ආදී වශයෙන් දවසින් දවස එක් එක් වර්ගය ගැණ බැලුවාය. මල් පඳුරු ගැණ අවසන් කළ ඈ ගෙවල්වල ඇති ජනෙල් ගණන ගණන් කරන්නට පටන් ගත්තාය.

කැන්ටිම ඉදි විය. වටේට කෙටි බිත්ති නැගී කපරාරු විය. දිනක් එහි වහල මතින් දුම් නැගෙන්නට පටන් ගත්තේය. හෙට සිය වාහනයේ නැගී ගේ දොර ගස්කොලන් ගනිමින් හන්දියට යන එන ගමනද නවතින බව රේණුකාට අවබෝධ වූයෙන්, ගැස්මක් හටගත්තේය. දෑතේ ඇඟිලිවලින් පටනගත් ගැස්ම අත්දඬු දිගේ ගොස් සරුවාංගයටම බෝ විය.

ගැහෙන අත්වලින් ප්ලාස්ටික් බඳුන ඔසවා, දෙපා පළල් කිරීමෙන් බූරු ඇඳක් සේ බොකු ගසාගත් සාය මත බොත්තම් හලාගත් රේණුකා ඒවා එකින් එක ගණින්නට පටන් ගත්තාය. බොත්තම් වලින් අඩක් ගණන් කළ ඈ එම උත්සාහය අතහැර හිස ඔසවා අවට බලන්නට විය. එවිට යෙහෙළියන්ගේ මුහුණ පෙනෙන්නට පටන් ගත්තේය. පෙරදී හුළං කවුළුවලින් එපිට දුටු හිස් අහසද දැන් ඒ රතු බොත්තම් වලින් ආවරණය වී තිබේ.

පසළොස්වක පෝය දවසේ තරමක් වේලාසනින් ගෙදර යන්නට රේණුකාලාට ඉඩ ලැබිණ. ගෙදර ආ රේණුකා ගෙය දොරකඩ වාඩි වී හෙණගහපු කන්ද දෙස බලා සිටන්නට වූයේ ”ගාමන්ට් එකේ වහලවත් මෙතනට පෙනෙන්නෙ නැත්තෙ ඇයිදැ”යි සිතමිනි. කන්දට ඔබ්බෙන් අහස රත්පැහැ ගැනී තිබිණ. හෙණගහපු පොල්ගහේ කඳ දිගේ රූටා වැටුණු විශාල රතු බොත්තමක් ගස මුල තියෙනු රේණුකා දුටුවාය. හෙමිහිට ගස මුලින් ඉවත්වූ රතු බොත්තම කන්ද දිගේ පහළට පෙරළි ගොස් නොපෙනී යන තුරු ඈ එසේම බලා සිටියාය.

[අන්තිම කැමැත්ත]

ජයතිලක කම්මැල්ලවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails