Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"ගාණ දාහයි ඊට සතපහක් අඩුවෙන් මං එන්නෑ"

සුනිලා කීවේ තරමක කෝපයෙනි.

"හරි බං සුනිලක්කේ අදට විතරක්......."

නිමල් ගේ වාක්‍යය අවසාන කිරීමට සුනිලා අවසර නොදුන්නා ය.

"මේ මල්ලි..... උඹ දන්නවා මං මේ කුණු වැඩේ කරන්නේ සල්ලි හදිස්සියකට කරන්නම දෙයක් නැති උනාම බව. උඹට දාහක් දෙන්න බැරිනම් උඹේ මහත්තයාව වෙන ඕන දීපංකරේක එක්ක පලයං"

සුනිලාගේ කටහඩ තවත් තීව්‍ර වූවා ය. ඉක්බිති ඔවුන්ගේ දෙබස වැල්ලේ වෙන කාට හෝ ඇසුනේ දැයි සැක හැර දැනගන්නට මෙන් ඈ වට පිට බැලුවාය. ඇයව රුපියල් දහසකට වඩා අඩුගණනකට නම්මවා ගැනීමට මෙදානම් නොහැකි බව නිමල්ට වැටහුණි.

"ඉඳා... ඉඳා.. උඹලටත් අපිම ඕනේ බිස්නස් සෙට් කරන්න. අපි පොඩ්ඩක් ගාණ එහෙ මෙහෙ කරන්න කිව්වම තමයි සේරම රැස්පොට්. මේක අරගෙන ඉක්මටන ඇඳුමක් දාගෙන වරෙන් ලයිට් කණුව ළඟට. මම මහත්තයාව ආටා එකේ තියලා මෙහෙට දුවගෙන ආවේ."

නිමල් වට පිට බලමින් කිසිවෙකුටත් නොපෙනෙන්නට දාහේ කොළයක් සුනිලාට දික් කළේය.

"අනේ මල්ලියේ තියේනම් මාරු වලින් දියංකෝ"

එවර ඇගේ ස්වරය ආයාචනාත්මක ය.

"ඒ පාර තවත් කැටයං. උඹලත් අනේ මන්දා.. ඉඳා... ඉක්මනට වරෙං මං යනවා"

නිමල් පන්සීයයේ නෝට්ටුවක් සහ සීයේ නෝට්ටු පහක් සුනිලා අත තබා ආපසු ගමන් කරන්නට විය. සුනිලා වටපිට බලමින් කිසිවෙකුටත් නොපෙනෙන්නට නෝට්ටු කීපය හැට්ටය අස්සේ රුවා ගෙන තම ලෑලි නිවහන වෙත කඩිමුඩියේ යන්නට වූවා ය.

***

නිලන්ත මුහුදු වෙරළේ වාඩිවී දැන් බොහෝ වේලාවක් ය. ඔහු තේරුමක් නැති රළ බිඳිම දෙස තේරුමක් නැතිව බලා සිටියි. ඔහු පාසල මඟහැර මුහුදු වෙරළේ ගතකරන පළමු දිනය මෙය නොවේ. බොහෝ විට මෙලෙස ගතකරන අවසන් දිනය ද මෙය නොවිය හැක. ඔහු අද උදෑසන නිවසින් පිටවන විටම මෙම ගමන තීරණය කර අවසන් ය. එබැවින් ඔහු බෑගයේ කොට කලිසමක් සහ කමිසයක් දමාගත්තේ පෙර දා රාත්‍රියේ ය. ඔහු අතිශය සාධාරණ සහ අතිශය අසාධාරණ හේතු නිසා අනේක වාරයක් මෙලෙස පාසල මඟහැර රස්තියාදු ගසා ඇත. ඔහු අද පාසල මඟ හැරියේ අතිශය සාධාරණ හේතුවකට යැයි ඔහුගේ සිත කියයි.

උදේ වරුවේ වෙරළේ රස්තියාදු ගසමින් සිටි ඔහුට බට්ටා මුණගැසුනි. බට්ටා කලින් පාසල් ගියේ නිලන්ත සමඟය. නමුත් බට්ටා අට වසරේදී පාසල් ගමන් නැවැත්වී ය. දැන් ඌ අන්නාසි බේසමක් හිසමත තබාගෙන ගල්කිස්ස මුහුදු වෙරළේ වෙළඳාම් කරයි. නිලන්ත බට්ටා සමඟ උදේ වරුවේ අන්නාසි විකිණුවේ ය. අව් රශ්මිය වැඩි වනවිට අන්නාසි විකිණීම එපා වූ නිලන්ත වෙනතක් බලා යන්නට සැරසෙන විට බට්ටා රුපියල් දහයක් නිලන්තට දික් කළේ ය. නිලන්ත එය ප්‍රතික්ෂේප කළේ ය.

ඔහු පොල්ගස් සෙවනට වී කොපමණ වේලාවක් මුහුද දෙස බලා සිටියා දැයි ඔහුට මතක නැත. වැල්ල යනු ඔහුගේ ජීවිතය යි. මීට කිලෝමීටර කීපයකට එපිටින් නිලන්තගේ නිවස පිහිටියේද වැල්ලේ ම ය. ඔහු ඉපදුනේද වැල්ලේ ම ය. හැදී වැඩෙන්නේද වැල්ලේ ම ය. මිතුරන් සමඟ සහ තට්ටතනිවම පාසල මඟහැර වැල්ලේ රස්තියාදු ගැසූ දින ගණන මෙතෙකැයි කියන්නට නිලන්තට මතකයක් නැත. නමුත් තට්ට තනිවම මුහුදු වෙරළේ සිටියදී සිදුවූ එක් සිදුවීමක් නම් ඔහුගේ මතකයෙක් කිසිදා මැකී නොයයි.

එකල නිලන්ත නමය වසරේ ය. ඒ දෙමාපිය රැස්වීම් දිනයයි. දෙමාපිය රැස්වීම් දිනය යනු නිලන්තට පාසල් යන දිනයක් නොවේ. එදා ඔහු මෙම වෙරළේ ම රස්තියාදු ගසමින් සිටියේ ය. ඔහුට කැනී අයියා මුණගැසුනේ ය.

"අහ්! මල්ලියා වෙලාවට අහු උනේ. මං උඹවගේ එකෙක් තමා හොය හොයා උන්නේ. මොකෝ කියන්නේ පොඩි වැඩක් තියෙනවා. උඹට රුපියල් සීයක් දෙනවා."

නමය වසරේ නිලන්තට රුපියල් සියයක් යනු අති විශාල ධනස්කන්දයකි. ඔහුට මොහොතකට කෝටිපතියෙක් වූවක් මෙන් හැඟීමක් ඇති විය.

"මොකක්ද කියපං වැඩේ?"

"මං අඳුරන සුදු මහත්තයෙක් ඉන්නවා. උඹට තියෙන්නේ ඌත් එක්ක ටික වෙලාවක් ඉන්න"

ඒ අතීතය සිහිවන වාරයක් පාසා නිලන්තගේ පස්ස පැත්ත ඇදුම් කයි. ඊට මාස කීපයකට පසු තම මවත් පියත් අතර මෙවන් දෙබසක් ඇති වූ බවද ඔහුට මතකය.

"කැනියා පහුගිය ටිකේ පේන්න නොහිටියේ ඌත් ඉතාලි පැනලය කියන්නේ. ඌට එහෙ සරුයිලු."

නිලන්තගේ මව සොයාගත් අලුත්ම ඕපාදූපය පියාගේ කන තැබීය.

"කිරිසප්පයින්ව වරත්තු සුද්දන්ට විකුණලා විකුණලා අම්මපා උන්ටත් හරියනවනේ. දෙයියෝ කියන එකාත් ඒ වගේ කාලකණ්නින්ටම තමා පිහිට වෙන්නේ"

නිලන්තගේ පියා කීවේ තරහකින් නොවේ. නමුත් වාක්‍ය අවසන් වෙත්ම උගුර කාරා තුහ්ඃ හඩින් කෙලපාරක් ගසමින් පියා නිවසින් පිටත් විය.

"අනේ අපේ මිනිහගේ කට කැඩිච්ච කතා වලට දෙවියන් වහන්සේ සමාව දෙන සේක්වා"

නිලන්තගේ මව කොඳුරන හඩ නිලන්තට ඇසුනි.

***

ගෙදර යාමට වේලාව හරි යැයි නිලන්තට සිතුනි.

"අයියේ වෙලාව කීයද?"

නිලන්ත බිම හිඳගෙන සිටමින්ම, ඔහු ඉදිරියෙන් ගමන් ගත් තරුණයෙකුගෙන් ඇසුවේ ය.

"එකයි"

නිලන්ත කම්මැලිකමින් තව විනාඩි කීපයක් වැල්ලේ හිඳගෙන ම සිටියේ ය. මොහොතකින් නැඟී සිට හොඳින් ආවරණය වුණු, හීන් කඩොල් පඳුරු අතරට මුවා වී පාසල් ඇඳුම් හැඳ ගත්තේ ය.

රේල්පාරේ අනික් පසට මාරු වීමට පෙර ඔහු දුටු දෙයින් කලබල වී අසල තිබූ කොට්ටන් ගසට මුවා විය. නිමල් අයියාගේ ත්‍රී රෝද රථය, අසල හෝටලයක් ඉදිරිපිට නවතා ඇත. තම මවත් තවත් පිරිමියෙකුත් ත්‍රී රෝද රථයෙන් බැස හෝටලය දෙසට ඇදුනි. මොහොතකින් ත්‍රී රෝද රථය යන්නට ගියේ ය. ක්ෂණිකව දුටු දර්ශනයෙන් පසු සිහි එලවා ගැනීමට නිලන්තට තවත් විනාඩි කිහිපයක් ගත විය.

"බැල්ලි!"

නිලන්ත දත්මිටි කමින් රේල් පාරෙන් අනෙක් පසට පැන්නේ ය.

* * * * *

නිලන්ත බිම හිඳගෙන ගෙදර ලෑලි බිත්තියට හේත්තු වී මුහුද දෙස හිස් බැල්මකින් බලා සිටියි. මීට මොහොතකට පෙර තිබූ කෝපය තුනී වී ගොස් ය. තමා පැය දෙකක් පමණ මෙසේ සිටින්නට ඇතැයි නිලන්තට සිතුනි. ඔහුගේ මව ඔහු අසලට පැමිණි බවවත් ඔහුට දැනුනේ නැත.

"උඹ කෑවද?"

"තාම නෑ"

නිලන්ත මුහුද දෙස බලාගෙන ම පිළිතුරු දුන්නේ ය.

"උඹට ඕනෙ පොත් ගත්ත ද?"

"නෑ... හවසට ගන්නවා"

"උඹ, මං ලියලා ගිය ලියුං කෑල්ල දැක්කා ද?"


"ඔව්"

"උඹ ඊයේ ජල්ලි ඇල්ලුව විදිහට මං හිතුවා අද නොකාම පොත් ගන්න යයි කියලා. උඹෙත් බොරු බයිලා විතරයි."

"කොහෙන්ද සල්ලි?"


මවගේ කතාව නෑසුනාක් මෙන් සුනිල් පෙරලා ඇසුවේ ය.

"ආ..... මේ..... ප්‍රේමක්කගෙන් ඉල්ල ගත්තා"

කියූ සුනිලා වරදක් කළ එකියක මෙන් ගේ තුලට යාමට සැරසුණා ය.

"තාත්තා අදවත් එයිද දන්නෑ....."

නිලන්ත ඇසුවේ මුහුදේ ඈත් ක්ෂිතිජයේ තිතක් මෙන් පෙනෙනා බෝට්ටුවක් දෙස බලාගෙන ම ය.

"අදවත් ආවොත් හොඳයි.. ඉඳපං මං බිත්තරයක් බැදලා දෙන්න උඹට"

සුනිලා ගේ තුළට වූවා ය.

නිලන්ත අතේ ගුලිකරගෙන සිටි, සුනිලා විසින් අකුරු අමුණමින් ලියා ඔහුගේ මේසය මත තබා ගිය සටහන නැවත දිග හැර කියවන්නට විය....

මම බඩු ගෙන්න කඩෙ ගිය පරක්කු උනොත් බත් බෙදන ලුනු ටිකක් ඉහන් කපන් අතන සල්ලි ටිකක් ඇති උබෙ පොත් ගනින්
-අම්ම


පූසා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails