Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"පුතා මාමෙක් තරම් ලොකු වුනහමත් අම්මා පුතාගේ අම්මාද?"

කතන්දර පොත් කියවලා ඉවරවෙලා, පිරිත් කියලා ඉවරවෙලා නිදාගන්න කලින් ඉතුරුවුන වෙලාවේ පුතා මගෙන් ඇහුවා. අර්ජුන නම් කියන්නේ මේකට "දවසේ පැනය" කියලා. දවසේ පැනයේ බරපතල කම අනුව පුතාගේ නිදාගැනිල්ල තව පැය එකහමාරක් වුනත් එහාට යන්න පුළුවන්. සමහරදාට එකට ඈඳුණු ප්‍රශ්න විසිපහක් තිහක් තියෙනවා.ඒත් ඒ පුංචි හිතට ඇතිවෙන ගැටළුවලට තේරෙන තරමින් පිළිතුරු දෙන්න මම හැමදාම උත්සාහ කරනවා.

"අම්මා හැමදාම පුතාගේ අම්මානේ පැටියෝ" මම කිව්වා.

"හැමදාම කියන්නේ මැරෙනකම්ද අම්මා?" ඊළඟ ප්‍රශ්නය. අවුරුදු හතරක ළමයෙකුට "හැමදාම" කියලා දෙන්නේ කොහොමද?

"හැමදාම කියන්නේ හැම දවසේම කියන එක පුතා. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියන එක."


******

මේ දවස්වල පුතාගේ හැම කතාවකම මරණය ගැන සඳහනක් තියෙනවා. ඒත් ඒ ප්‍රශ්න අහන්නේ කුතුහලයෙන් මිසක් බයෙන් නෙමෙයි. මේක පටන් ගත්තේ ගෝල්ඩි මැරුණ දවසේ ඉඳන්. ගෝල්ඩි පුතාගේ මාළුවා. සුරතලෙක් ඉල්ලලා කරපු ඇවටිල්ලෙන් බේරෙන්න බැරි වුණ තැන අර්ජුන පුතාට රත්තරන් මාලුවෙක් ගෙනත් දුන්නා. නඩත්තුව අවම සතෙක් ගේන්න කියලා මම ඉල්ලලා හිටියේ ඒ නඩත්තුවත් මගේ වැඩ කන්දරාවටම එකතු වෙන බව දන්නා නිසා. ගෝල්ඩිට නම දැම්මෙත් පුතාමයි. රවුම් වීදුරු බඳුනේ වටේට වටේට ගෝල්ඩි පීනනවා පුතා බලාගෙන හිටියේ ආසාවෙන්. දවසට සිය සැරයක් ඌට කෑම දෙන්න අහන නිසා මම කෑම බෝතලයත් උසකින් අරන් තිබ්බා පුතාට ගන්න බැරිවෙන්න. ඒත් මොනම හේතුවක් නිසා හරි ගෝල්ඩි දවසක් මැරිලා හිටියා. මුලින්ම ඒ බව මම දැක්කා නම් පුතාට නොපෙනෙන්න ඒ වගේ වෙන මාලුවෙක් ගෙනත් දාන්න තිබ්බා. ඒත් උදේ නැගිට්ට ගමන් ගෝල්ඩි බලන්න දුවගෙන ගිය පුතා ඒ පයින්ම මාව හොයාගෙන ආවා.

"අම්මා.. ගෝල්ඩි වතුරේ උඩ දොයියගෙන ඉන්නවා.!"

පුතා කියද්දීම මම දැනගත්තා ගෝල්ඩි නො එන ගමනක් ගිහින් කියලා. ඌ ආයෙත් කවදාවත් පීනන්නේ නැති බව, ඌට පණ නැති බව පුතාට පැහැදිලි කරලා දෙන්න ලේසි වුනේ නැහැ. ඒත් මම හිතූ විදිහට පුතා අඬා වැටුණේත් නැහැ. තාත්තා එක්ක එකතු වෙලා මිදුලේ වලක් කපලා ගෝල්ඩිව වැලලුවා බොහොම සන්සුන් විදිහට.

"පුතාට ආයෙත් මාලුවෙක් එපා අම්මා."

පුතා භූමදානය ඉවරවෙලා මට ඇවිත් කිව්වා. කඳුළු නැති වුනත්, ඒ පුංචි ඇස් වල පිරිලා තිබුන දුක දැකලා මගේ හිත කීරි ගැහිලා ගියා. මේකට සුදුසුම පිළියම තව සුරතලෙක් ගෙනත් දෙන එකද, ගෙනත් නොදෙන එකද හිතාගන්න බැරිව මම ලතවුනා. ජීවිතේ පලවෙනි සැරේට මරණය මුණගැහීම! තමන්ගේ වාරය එනතෙක්‌ අපි කී වාරයක් මරණය මුණගැහෙනවාද? දුකේ ප්‍රභේද අත්දකිනවාද? මේ පුංචි හිත් කොයි තරම් කාලයක් අපිට මේ වගේ දුක් වලින් වහන් කරන්න පුලුවන්ද?

මට මුලින්ම මරණය දැනුනේ සීයා මැරුණ දවසේ. මට එතකොට අවුරුදු හයයි. "අන්න සීයා මැරිලා!" ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා සුපුරුදු විදිහට අහල පහල ළමා ලපටි කල්ලිය මැද්දේ නට නටා හිටිය මට අක්කා අඬගහලා කිව්වේ රහසින් වගේ. සීයා! උසයි, කලුයි,සැරයි! මට ඒතරම් හැඟීමක් තිබුණේ නැහැ සීයා ගැන. අපි සීයා බලන්න ගියේත් නිවාඩු කාලවලට විතරයි. ඒ ගිය වෙලාවටත් සීයා අපිව ලඟට අරගෙන සුරතල් කළේ නැහැ. අනික ඒ දවස්වල අපි තාත්තාගේ රැකියාවට පිටරටක පදිංචියට ගිය අලුත. මාස හත අටකින් නොදැකපු අයගේ පැවැත්මක් නැහැ පොඩි ළමයින්ගේ හිත් වල. සීයා මැරුණ එකට වඩා මට දුක හිතුනේ අම්මා අඬ අඬා උන්නු එකට. ඊළඟට අම්මා ලංකාවට ගිය අතරේ අම්මා නැතිව සති දෙකක් ඉන්න වුනු එකට. ඒ දවස්වල ඉව්වෙත් අපිට කැව්වේත් තාත්තා. කීප දවසක් බත රොස් වෙන්න ඇති. ඒ දවස්වල ඒ ගැන නොදැන හිටියත් අදත් බතක් රොස් වෙන සුවඳත් එක්ක එදා අම්මා නැතිව දැනුන පාළුව, මරණය ගැන මුලින් ඇතිවුන සිතිවිල්ල මට දැනෙනවා. පුතාටත් මේ සිද්ධිය ඒ වගේ මතක තියේවිද? මීට වඩා හොඳ විදිහට මරණය ගැන පොඩි ළමයෙකුට කියලා දෙන්න විදිහක් තියෙනවද?

*****

"මම අම්මාට චිත්‍රයක් ඇන්දා!"

මම උන්නු තැනට දුවගෙන ඇවිත් මගේ පුටුවේ වතට නගින ගමන් පුතා කිව්වා.

"මොකක්ද දන්නවද මේ?"

මේ වගේ බලි කුරුටු දුසිම් ගණනක් දැකලා තියෙන නිසා මට දැන් සැකේට කියන්න පුළුවන් ඒ චිත්‍රවල තියෙන දේවල්.

"මාලුවෙක්!" මම හිනාවෙලා කිව්වා

"හරි!!" පුතා හිනා වුණා. "මේ අම්මා මාළුවා, මේ තාත්තා මාළුවා, මේ පුතා මාළුවා..."

"මේ වටේ තියෙන්නේ..." පුතා මගේ උරේට උඩින් එබිලා පැහැදිලි කරනවා.." මේ වටේ තියෙන්නේ.. හැමදාම!"

"ඒ කියන්නේ මොකක්ද පැටියෝ?"

"ඇයි අම්මා කිව්වේ හැමදාම අම්මා මගේ අම්මා කියලා.. මේ තියෙන්නේ හැමදාම... ඒ කියන්නේ මේ පුතා මාළුවාට හැමදාම අම්මයි තාත්තයි ඉන්නවා කියන එක. ගෝල්ඩි වගේ පස් යට දාන්න වුනත් ඒක වෙනස් වෙන්නේ නැහැ කියන එක!"

පුතා ලොකු හපන්කමක් කරපු ගානට මට පැහැදිලි කරලා දුන්නා. හිනාවෙන්නද අඬන්නද හිතාගන්න බැරිව මම පුතාව තුරුළු කරගත්තා.

මලිති විජේසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails