Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"ඇතැම් පාරම්පරික ලියැවිලි අනූව කුල ක්‍රමයේ සම්භවය සිදු වූයේ දේවත්වයෙහි සිටි අපේ මීමුත්තන් ගේ ප්‍රාග්මය දුෂ්ටත්වය නිසාය. කල්ප ගණනාවකට පෙර අරාජික ප්‍රීති ප්‍රමෝදයෙන් කෙළිදෙළන් ප්‍රීතිය ම ආහාරය කොට කල් ගත කළ මොවූහු, තම සිත් තුළැ, ගිනි පුපුරු මෙන් සැඟවී තිබූ දැඩි ආශා පාලනය කරගැනීමට අසමත් වූ හ. ලෝභය, අනුරතිය, ද්වේෂය, මෝහය හා අමර්ෂය ඔවුන් මැඬගෙන බලවත් ව නැගී සිටියේ ය. මේ නයින්, අවුල් වියවුල් හා අන්‍යෝන්‍ය ඝාතක කලකෝලාහල උද්ගත විය...."
(ලොකෝත්පත්තිය පිළිබඳ සිංහලයන් අතර ප්‍රචලිත මන:කල්පිතය. සිංහල සමාජ සංවිධානය: මහනුවර යුගය. පීරිස්, රැල්ෆ්. පරි: කේ.ඒ.ඩී. පෙරේරා. විසිදුනු. 2005 තෙ.මු. 183 පිට.)

දිනසිරි කියල වලං හදන, වලංගංගොඩ කියල ගමක ඉන්න තරුණයෙක්, පත්තරේ නම දාල නම වෙනස් කරන්නෙ නැතුව, වෙනස්ම උපක්‍රමයකින් ගමේ නම වෙනස් කරනව. එයා දිනසිරි කුරුලුගංගොඩ කියල නම වෙනස් කරපු පෝස්ට් කාඩ් යවනව ගුවන් විදුලියට. ඒ ප්‍රෙමකීර්ති අල්විස් එහෙම ගුවන් විදුලියෙ හිටපු කාලෙ. ඒ කියන්නෙ මේක අසූවෙ කතාවක්. සෑහෙන ඉස්සර සිදුවෙච්ච සිදුවීම් වටා ලියවුන කතාවක්. දිනසිරි ඒ ලෙවල් කලේ විද්‍යාව විෂයන්වලින්. විභාගෙ ෆේල් වෙන දිනසිරි තමන්ගේ පාරම්පරික රැකියාව වුනු වලං හැදීමටම යොමු වෙනව. ඒ වැඩ කරන ගමන් රේඩියෝ එක අහන දිනසිරි තමන්ගෙ නම රේඩියෝවෙ යනවද කියල අහගෙන ඉන්නව. දිනසිරි කුරුලුගංගොඩ කියල කියවෙන එක එයා ලබපු ලොකුම සතුට.

මේ අත්දැකීම් හා රේඩියෝ වැඩසටහන් ගැන එයාට තියෙන මතක දැනුම එක්ක පස්සේ දිනසිරි එෆ්.එම්. නාලිකාවක වැඩට ගන්නව. පස්සෙ ලංකාවෙ නම ගිය නිවේදකයෙක් වගේම තව බොහෝ දෙනෙක් එයාව ආදර්ශයට අරගන්නව. දිනසිරිගෙ වචන ජාතිවාදීන් සිය අදහස් වපුරන්න යොදාගන්න අතරෙ දිනසිරි දන්නෙවත් නැතිව එයාව අලෙවි වෙනව. කොහොමහරි දිනසිරි ගම ගැන කරන වැඩසටහන් එයා ධනවත් මිනිහෙක් කරනව. බහුජාතික සමාගම් එයාව සිය ප්‍රචාරක දැන්වීම්වලටයොදා ගන්නව. ඒ අතරෙ එයාගෙ ඉස්කෝලෙ කාලෙ හිටිය, සරත් කියල යා‍ලුවෙක්. එයාගෙ යාලුවෙක් හිටිය ලලිත් කියල. ලලිත් දිනසිරිව පක්ෂෙට බඳෝගන්න හැදුවත් බැරිවෙනව. පස්සෙ ලලිත් ජේ.වී.පී. කැරැල්ලෙදි මැරිල යනව. සරත් දිනසිරි කුරුලුගංගොඩගෙ නංගිව බඳින්න දානව. එයාත් විප්ලවේ කාලෙ හිරේ ඉඳල ආපු පේරාදෙණි කැම්පස් ‍එකේම කොල්ලෙක්. දිනසිරිට යාලුවෙන්නෙ භාග්‍යා කියල එයාගෙ නංගි මධුවන්තිගෙ යාලුවෙක්. එයා උඩරට ගොවිගම කෙනෙක්. ඒත් එයාගෙ හදවත අරගෙන හිටියෙ පොඩි කාලෙ ඉඳලම සිතාරයක් අතින් ගත්තු ‍ගොවිගම කෙල්ලක්. එයාගෙ නම රන්දිකා. රන්දිකා එයාගෙම සංගීත ගුරුවරය බඳිනව. කුලය හරස්වෙලා භාග්‍යා බඳිනවට උඩරට එයාලගේ අම්මල විරුද්ධ වෙනව. ඒත් භාග්‍යා කැමති නිසා මගුල සිද්ද වුනත් මේ අතර සිදුවන අහඹු සිදුවීමක් නවකතාවේ උච්චතම අවස්ථාව නිර්මානය කරනවා. ඒ තමයි කුරුලු වගේ තවත් නිවේදකයො හා ගම අගය කරන ජාතිවාදය අවුස්සන තවත් අය හතුපිටින් සමාජයේ බිහිවීම. අනික කුරුලු වගේ කටහඬ තියෙන කෙනෙක් කුරුලු අමාරුවෙන් හදපු කුරුලුගංගොඩ ආපහු වලංගංගොඩක් කරනව. මිනිස්සු පෝලිමට වලං හදන හැටි බලන්න එන්න පටන් ගන්නව. වලං හදන් නැතුව හිටපු අයත් අලුත් බිස්නස් එකට මිනිස්සුන්ට පේන්න වලං හදන්න පටන් ගන්නව. කුරුලුගංගොඩ වෙනස් වෙලා ආපහු වලංගංගොඩ වෙනවා. මේ අතරෙ වෙඩිං එකට රියසල් කරන කුරුලු ඔරුව පෙරලිලා මරණයට පත්වෙනවා. එයා පැන්න ද වැටුන ද කියන එක දෙගිඩියාවක් උනත් එයා මවපු ජාතිය දේශයේ නව සුවඳ වගේ වචන තියෙන අදහස් තියෙන අය එයාම හදපු ව්‍යාපෘති දිගටම අරගෙන යනව.

මේ තමයි ලියනගේ අමරකීර්ති ලියා පල කල අලුත්ම නවකතාවෙ කතාවෙ සාරාංශය. කතුවරයාම කියන විදියට ඔහුගේ කතාවල අසම්බන්ධ දිගුවක් මේ කෘතිය. එහෙත් එහි විශේෂත්වය තමාගේම පරම්පරාව සමීපව වටහා ගැනීම. මෙය පාඨකයාට පොත කියවීමට එක් දිශානතියක් පෙන්වීමක් වෙනව. එසේම සමාජය හා සාහිත්‍ය අතර සුහද ගනුදෙනුවක් ගැන කරන ඉඟියක්.

“මගේම පරම්පරාව සමීපව වටහා ගැනීම පිණිස මා ලියන ප්‍රබන්ධ මාලාවක අසම්බන්ධ දිගුවක් සේ සැලකිය හැකි මේ නවකතාව....“ සාරාංශයෙත් සාරාංශ කිරීමක් කිව්වොත් තවත් නිවැරදියි. මේ නවකතාව ලංකාවෙ කුල ක්‍රමයේ සමාජ බලපෑමත්, 89 කැරැල්ලත්, විවෘත ආර්ථිකය හා බැඳුනු සියල්ල මුදල් මත තීරණය වන සමාජ වටපිටාවක් ලංකාව තුල බිහිවීමත් මත පදනම්ව ලියවෙන කතා පුවතක්. මෙම සාකච්ඡාවේදී අපගේ අවධානයට වඩාත්ම යොමුවන්නේ කතාවේ සිදුවීම් හරහා පෙන්වන, පුද්ගල පැවැත්මෙහි හා අනෙකා නිරූපණය කිරීමෙහිලා කුල ක්‍රමය ලංකා සමාජය තුල සිදු කරන බලපෑම විමසීමට.

අශිෂ්ට ව්‍යවහාරය යොදාගැනීමේ උපක්‍රමය

කතුවරයා මේ සඳහා භාවිත කරන්නෙ කටවහරේ ව්‍යාකරණය. එය බොහෝදෙනා පහත්, වැඩකට නැති, සිංහල මරන හඩු බාසාවක් විදියට පහල දාපු එකක්. අදටත් කතාකරන විදියට ලියන එක ගැන තියෙන්නෙ හොඳ ආකල්පයක් නෙමේ. ඒත් මේ කතාව කියන්න ඒ වගේ ව්‍යාකරණයක් භාවිත කරපු එකේ වෙනම කියවීමක් අපට තියෙනව. එත් කතුවරයා හැම වචනයකම "ණ,ළ,ෂ,ශ" වගේ අකුරු හරියටම පිළිගත්තු සම්ප්‍රදාය අනුවම භාවිත කරල තියෙනව. හරියට ඉහළ කුලවල අය වැඩවසම් කාලෙ වගේමත් අදටත් ස්වපෞර්ශය විදාලන අයුරු පෙන්වා දීමට දරන ප්‍රයත්නයක් මෙන්.

රං 'කුඹල්ලු'

බෝල බොල මැටි ලස්සනට රවුම් කරල ගෙනත් තමන්ගෙ ගෙදර හදල පැටව් ඒකට දාල වහල පියාඹන ලස්සන කහ ඉරි තියෙන මැස්සෙක් රංකුඹල. ඒත් ඒ සතත් පහත් කුලයකට අයිති වැඩ කරන සතෙක් ලංකාවෙ නම්. මැටි වැඩ ගැන අද තියෙන තත්වය කුල වශයෙන් බෙදන්න බැරිවුනත් වාසගමට මැටි හරි, හකුරු හරි, රොඩී හරි, බෙර හරි තිබුනොත් තාමත් ටිකක් හිත රිදෙන දේවල් වෙනව. උඩරට පහතරට වගේ බේද ඉවරවීගෙන ගියත් ලංකාවෙ කුල ප්‍රශ්නය තාම ඉවර නෑ. වඩාත් ප්‍රබලව නොවුනත් තවමත් ඒ තත්වයන් අපේ වටපිටාවන්ගෙන් දුරස් වී නැති බව කුරුලු හදවත නවකතාව හරහා ඉදිරිපත් වෙනව.

ප්‍රභාකරන් වගේ ‍කෙනෙක් වුනත් කුලය නිසා මානසික අසහනයට මෙන්ම සංවිධානයක් ලෙස පරාද වෙන්නට, අවසාන අවස්ථාවේ මතු වුන ගැටළුවලට, යම් ලෙස කුල ප්‍රශ්නය බලපාල තිබුන. ඉතිං එහෙම බලවත්, හිත රිදෙන දෙයක් ගැන කතා කරන එක ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි. ඒත් අමරකීර්ති තමන්ගෙ කුරුලු හදවත කතාව පුරාම සියුම් ලෙස මේ ගැටලුව විනිවිද යනව. ඉන් මතු කරන සංවේදනා මගින් පාඨකයාව මෙවැනි ගැටළු දෙසට විවෘත කරන්නෙ සහෘදයෙකු ලෙස සානුකම්පිත කරවමින්. ඒ නිසා කෘතියේ සමස්තය සමාජය කියවීමට දොරටුවක් විවර කරනවා. පොදුවේ මිනිසුන් ලෙස එකම වර්ගයක් වුවත් එහි ඒ ඒ අයට තමන්ගේ උපත සිදුවන ස්ථානය හා පරපුර නිසාම හිමිවන හා අහිමිවන දේවල් ගොඩාක් තියෙනවා. විශේශයෙන් උස් පහත් කම් රාශියක් අපිම අපි වෙනස් මිනිස්සු කියල පෙන්නන්න ගොඩනගා ගන්නව. ඒව අධිකාරීමය ස්වභාවයකින් ඊට පහල මිනිසුන් මත වැටීමෙන් වන පීඩනය සුළුපටු එකක් නෙවෙයි.

කුරුලු හදවත කරන ඉඟිය නිකංම නිකං පොත කියල ඉවර කරන්න පාඨකයාට ඉඩ දෙන්නෙ නෑ. තම තමන්ට තියෙන අත්දැකීම් වපසරිය තුල පොතෙහි ඡායාව වැටෙන්න පටන් ගන්නව. අපේ පන්තියේ, අපේ ගම කෙලවරේ, එහෙම නැත්තං අපිටම විඳින්න වුන දේවල්, අපේම නෑදෑයෙක් කුලය නිසා බඳින්නෙ නැතිව නාකි වුන හැටි, ඉස්කෝලෙ ගුරුවරු ළමයි ඉස්සරහ පාච්චල් වුන හැටි වගේ නොයෙක් විදියට ඒ ඒ පාඨකයාට අත්දැකීම් මතක් කරවනව. ඒ වගේ පෙළඹීමක් කරන්න කෘතියක් කරන බලපෑම අතිශය වැදගත්.

හැමවෙලාවෙම උස්පහත් කම් හදාගන්න මිනිසුන් මේ තරම් වෑයම් කරන්නෙ මොකද කියල හිතන්න මෙහි අන්තර්ගතය අපව පොළඹවනවා. දිනසිරි විද්‍යාව කරන කොට කලා කාරයො තමයි පහත් කුලේ අය වුනේ. තාමත් බස්නායක නිලමෙ කං ගන්න පද්දන්ට, රොඩියන්ට, නවන්දන්නවුන්ට, ගොවිගමවුන්ට බැහැ. පුලුවන් වලව්කාරයන්ට විතරයි. කොච්චර දැන උගත් කං තිබුනත් මල්වත්තෙ නායකකම ගන්න සියම් නිකායෙ උනත් පහතරටවුන්ට බෑ. එහෙ උපසම්පදාව ගන්න අඩුජාතියේ උන්ට බෑ. බුදුහාමුදුරුවො කියපු සතර පාරාජිකාත් ඛුද්දානුඛුද්දක ශික්ශා විදියට අයින් වෙලා තියෙන මේ යුගයේ කොහොද කාලෙක රජෙක් කියපු හින්ද කියල සියම් නිකායෙ උන් අඩු කුලේ අය තමන් ගාවට ගන්නෙ නෑ. මේ කවුරුවත් නිකමටවත් දන්නෙ නෑ එහෙම පිරිසිදු උපතක් අපි කාටවත් නැති විත්තිය. අපේ ජාතිය පටන් ගන්නෙම තිරිසන් සතෙක් තාත්ත කෙනෙක් වෙච්ච, අයියයි නංගි කසාද බැඳපු කතාවකින්. අපේ නෑකං රොඩී කුලෙන් වලව්වට සම්බන්දකං තියෙන ඒවා. දුටු ගැමුණුට ආදරේ කරන කවුරුත් සාලියට ආදරේ කලා නං මේ වෙනකොට සාලිය වෙනුවෙන් සෑයක් නම්කරල. ඒ ලංකාවෙ මිනිස්සුන්ගෙ හිත්වලින් කුහක ගතියක් ඉවත් කළ නිසා. ඇත්තටම නාකියෙක් එක්ක යුද්ද කල ගැමුණුට වඩා මුලු සමාජ ක්‍රමයත් එක්කම කළ ලොකුම යුද්ධයක් විප්ලවයක් සාලිය කලා. එහෙම නිහඬවම විප්ලවයක් කල චරිතයක් තමයි වලංගංගොඩ දිනසිරි කුරුලුගංගොඩ කියල අමරකීර්ති කුරුලු හදවත නවකතාවෙන් ඉදිරිපත් කරන්නෙ.

දිනසිරි උසස් පෙල ෆේල් නිසා වලං හදන්න පටන් ගන්නව. ඒ එක්කම පටන් ගන්න අනික් වැඩේ තමයි ගුවන් විදුලි සේවා වලට ඉවක් බවක් නැතිව පෝස්ට් කාඩ් යවන එක. හැබැයි තමන්ගෙ ගමත්, තමන්ගෙ වාසගමත් වෙනස් කරල යවන මේ කාඩ් කෙළිය නවකතාවෙ ඊලඟට වන හැමදේම සදහා බලපානව. මේ තමයි දිනසිරි තමන්ගෙ ගම වුනු වළංගංගොඩ කුරුලුගංගොඩක් කරන්න මුලින්ම යවපු පෝස්ට් කාඩ් එක:

"‘නිරංජලා රතු නැන්දා, මධුවන්ති නංගි, අම්මා, තාත්තා, සමග ‘පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ‘ ගීතය ඉල්ලන්නේ
දිනිසිරි කුරුලු ගංගොඩ
කුරුලුගංගොඩ
බුදනා පිටිය
වැල්ලව.“


මේ විදයට තමන්ගෙ අනන්‍යතාව නැති කරගන්න දුක් විඳින මහන්සි වෙන අය ගැන ඇත්තටම අපි සානුකම්පිතද? ඉතිහාසය දිහාව බලපුවම තේරෙන්නෙ මැටි අනපු බඩහැලුන්ටත් මෙහෙ කරන්න ඊට පහළ අය ඉදල තිබුන. වලව් ඇත්තන්ට විතරක් නෙමේ. මහනුවර යුගයේ රෙදි ඇපිල්ලීම ගැන මහාචාර්ය රැල්ෆ් පීරිස් කරන සඳහන එය ස්ථිර කරනව.

"කුඹල් ජනයාට (බලහැල කුලයට) හා ඊට උසස් වූ කුලවල අයට රදා කුලයේ අය රෙදි ඇපිල්ලූ අතර කුඹල් ජනයාට වඩා පහත් කුලයේ අයට රෙදි අපුල්ලන ලද්දේ ‘පලී‘ නමැති අන් විශේෂ කුලයක අය විසිනි."
(සිංහල සමාජ සංවිධානය: මහනුවර යුගය. රැල්ෆ් පීරිස්. 2005. 188 පිටුව)

මේ විදියට එකිනෙකා උස් පහත් කර ගැනීම සදහා කුලය වගේම වෙනත් දේවල් එදත් අදත් භාවිත වුනා. රැකියාව, දැනුම, ඉඩකඩම්, ඉගෙනගත් පාසල වගේ දාහකුත් දේවල් මේ අතරෙ තියෙනව. සකසු කුමාරතුඟුවන්ගේ සුබස සඟරාවේ ලංකා සමාජයේ මේ වගේ තියෙන වැරදි අදහස් දැඩිව විවේචනය කලා. ලංකාවේ කුලවාදය ගැන සුබස සඟරාවේ දිගින් දිගටම ලිපි පලවුනා. ඔවුන්ට අනූව සිංහලයන් අතර ඇත්තේ එක කුලයක්. එනම් ‘හෙළ‘ කුලය. එයින් ඔබ්බට ඇති හැම කුලයක්ම සුබසුවන්ගේ දැඩි විවේචනයට ලක් වුනා. මේ එහි ආ එක සටහනක් ඔබේ දැනගැනීම සඳහා:

"මා ද උන් ගේ ජඩ කුලයට - අර කුලයේ නම නඟා, මේ කුලයේ නම හෙළා, හෙළයන් බෙදා දැයට හතුරු කම් කරන ජඩ බඩ-වඩු කුදු වසල කුලයට - අයත් හ යි සිතවු ද? දනිවු ජඩයෙනි, මා හෙළ කුලයට අයත් බව. මා පමණක් නොවැ, හැම හැබෑ හෙළයන් මැ හෙළ කුලයට අයත් බව දනිවු, හොඳින් මැ දනිවු. ....කුලය අකුලට යැවූ හ බුදුහු. බුදු පුතුම්හ යි බැහැවෙන, බඩ-ගැති දෑ-දොරොහුවෝ (ජාති-ද්‍රෝහීහු) සිවුරේ බලයෙන් කුලය නැවැතැ ද නඟා දැය වනසන්නට බලති. ගිහි හෙළයන් එක් වූ තැනැ ඌ කුලයක් ගැනැ සඳහන් මතකු දු නො කෙරෙති. මහ මහණ හොර කුහුවන් එක් වූ තැනැ යැ කො තෙකුත් මේ බෙදුම පෑදෙනුයේ. ඉතින් මේ මහණුන් දැයට පිළිලයක් සේ සැලැකීම වරදෙක් ද? පිළිලය ගසෙහි මැ රසය උරා බොයි, තෙමේ වැඩෙයි, ගස කස කෙරෙයි, කෙළවරැ එය මරයි. හොඳ නො වැ? ගසට සිත් පිත් නැති බැවින් පිළිලයට විට දෙයි. හෙළයෝ ගස් මෙන් සිත් පිත් නැත්තෝ ද? ලෙඩ වැලැඳුණු විටැ හරවන්නට දන්නා හෙළයෝ පිළිලයක් හට-ගත් විටැ කපා-හරින්නට නො දනිත් ද? සැරසෙවු, හෙළ කොල්ලනි, හෙළ දැය පහළ හෙළන්නට සැරැසෙන කහළ ගහළයන් ගසා-ලන්නට."
(කුලඅකුල- අමරසිරි ගුණවඩු දොණු සවිමනුන් විසිනි. සුබස. සකසු: කුමාරතුංග මුනිදාස. 1941.11.03. කලබ.23-24380)

ලංකාවේ ආගමික පසුබිම තුළ කුලය යන්න පටලවාගෙන තිබෙන ආකාරය නිරූපනය වන අවස්ථාවක් තමයි දිනසිරි කුරුලුගංගොඩ නමින් රේඩියෝ නාලිකාවකට යවපු පිළිතුරකට ලැබුන තෑග්ග ගන්න තැපැල් කන්තෝරුවට ගිය අවස්ථාව. කුරුලුගංගොඩ කියල නමක් තියෙන දිනසිරි කියල කෙනෙක් නෑ කියල ඒක ඔප්පු කරන්න දිවුරුම් පෙත්සමක් ගේන්න කියනව තැපැල් නෝන. ඒ වෙලාවෙ ඒක ගන්න හාමුදුරුවො ළඟට ගියොත් කියන ඒව දිනසිරිම හිතන විදිය, සමස්තයම නොවුනත්, භික්ෂු සමාජයෙ බහුතරයකගෙ දෘශ්ටිවාදය එයින් ප්‍රකාශ කරනව. මේ ලොකුහාමුදුරුවො කියවි කියල දිනසිරිට හිතුන හැටි:

"මට ආරංචි උනා ඔය දිනසිරි කුරුලුගංගොඩ කියල සින්දු ඉල්ලන හාදය ඔය ළමය කියලා. ඒ උනාට නිකමටවත් පන්සල පැත්තෙ එන එකක්යැ. තමුන්ට කර්ම ශක්තිය අනූව දෙමව්පියන්ගෙන් ලැබුණ නම පාවිච්චි කරන්ඩ ලැජ්ජා අය- පෙර කළ පව් පින් අනූව තමන්ට ලැබුණ ජාති ජන්මෙ ගැන ලැජ්ජ වෙන අය - කරන්ඩ ඕනෙ ඊ ළඟ භවයකදි තමන් කැමති ජාති ජන්මයක් ලබන්න පින් කරන එක. දැනට තමන්ට ලැබිල තියෙන ජාති ජන්මෙ ගැන උඩඟු වෙන අය නවතින්නෙ පහළ කුලේකම ඉපදිලා තමයි."(45)

සියල්ල කර්මයට බාරදී නිහඬවීමට සිදුවීම මොන තරම් අභාග්‍යයක්ද? ඉන් වාසි ගන්නෝ කවුරුද? පාලක හා ප්‍රභූ පැලැන්ති රැකෙන්නේ මෙවැනි සංකල්ප නිසා නොවේද? වළංගංගොඩ ඒ විදියටම තියාගන්න ගොවිගම මිනිස්සු කැමති බව වළංගංගොඩ හඳුන්වා දෙන කතුවරයා:

“වළං ගෙනියන්ඩ, මල් පෝච්චි ගෙනියන්ඩ චන්ද්‍රෙස්කර ඉස්කෝලෙ මහත්තයලගෙ ගෙදර අය ‘ගංගොඩ‘ පැත්තෙ ආවත් ඒ අය ගංගොඩේ අය නැති තැන ගංගොඩට කියන්නෙ වළංගංගොඩ.“(29) යන්නෙන් ප්‍රකාශ කරනව. එත් ඉස්කෝලෙ හාමිනේගෙ දුව රන්දිමා දිනසිරිගෙ සිතේ රැදෙන්නෙ වෙනත්ම විදියට. සියලු මිනිස්සුන්ගේ පොදු මනෝභාවයන් සඳහා සීමා මායිම් නොමැති බව එයින් පෙනී යනව. රන්දිමා; දිනසිරි මනසේ රජ කල යුවතිය:

“සුදු ගවුමත්, වයලීනයත් නැතිව කහ පාට හා නිල් පාට දික් ඉරි ගවුමකින් සැරසුණ රන්දිමා දැක්කම ඔහුගෙ අත්වල මැටි වේලුණා. එදා තමයි වයලීන් කේස් එකේ දමා වසා දමා තිබූ ඇගේ ලස්සන නිදහසේ කෙළි සෙල්ලම් කරන්න පටන් අරන් ඉන්නව ඔහු දැක්කෙ. ඒ දික් ඉරි ගවුම නිසා ඈ සෑහෙන්න උසයි වගෙත් පෙනුණා. කොහොමත් ඇය දහයෙ පන්තියෙදිත් හතේ පන්තියෙ කෙල්ලෙකුගෙ පෙනුම. හිරු එළිය ඒ සිනිඳු ගවුම අස්සෙන් රිංගුවම ඇය වයලීනකාරියක් නොව ලස්සන කෙල්ලක් බවට පත් කරන සරාගී රුවක් මැවුණා. ඇගේ දෙකලාවල මායිම් හීනි කළු ඉරකින් ඇද පෙන්නුවා වගේ පෙනුණා.“(30 පිටුව)

කුරුලු ගංගොඩ: සාමූහික මතක පරිච්ඡේදය:

මෙම පරිච්ඡේදය සාමූහික මතකයක් ලෙස දැක්වුවද නවකතාවේ කථකයාගේ අදහස් ගැබ් කිරීමට දරන ප්‍රයත්නයක් විදියට පෙනෙනවා. කුල ක්‍රමය ලංකා සමාජයේ ගම්වල, මිනිස්සුන්ගෙ හිත් තුල පැලපදියම් වෙලා තියෙන හැටි කියවුනත් නවකතාවක එන පැහැදිලි කිරීම් කතාවෙ කතාමය ගතිය ඈත් කරනව. එහි පිටු දෙක තුනේ ගමට නම හැදුන හැටිත් ඊට ඉහලින් සිටින ගොවිගම මිනිස්සු ඒ ගම ගැන හිතපු හැටිත් කතාවෙ නොවන කෙනෙක් ඉඳල කරන විස්තරයක් තමයි එන්නෙ. ඒ විස්තරය හොඳ වුනත් නවකතාවක කතුවරයා කරන මැදිහත් වීම අගය කරන්න පුලුවන් න්‍යායාත්මක දෙයක් නෙවෙයි. නිදසුනක් විදියට,

"වළංගංගොඩ කියන නම මේ ගමේ අයම දාපු නමක් වෙන්ඩ බෑ. මොකද ඒ ගමේ පදිංචි වෙලා ඉන්නෙ වළං නෙමේනෙ. මිනිස්සුනෙ. කවුරු හරි ඒ අයව වළං බවට ඌණනය කරන පිරිසක් වෙන්ඩ ඕනෙ මේ නම දාන්න ඇත්තෙ. රන්දිමාලගෙ ගෙදර අය උනත් එයාලට අවශ්‍ය වෙලාවට මේ ගමට කියන්නෙ බඩහැල ගංගොඩ. නමුත් දිනසිරිලගෙ ගෙදර අය කියන්නෙ ‘ගංගොඩ‘ නැත්තං ‘අපේ ගංගොඩ‘. ‘වළං‘ හැලෙනවා." (36)

මිනිස්සු ද්‍රව්‍ය බවට ඌනණය කිරීම වැඩවසම් ක්‍රමයේත් කාර්මික යුගයේත් ධනවාදී සමාජ ක්‍රමයක අදත් හෙටත් දකින්න පුලුවන් දෙයක්. ඒ බව කතුවරයා කියන්නෙ හරියට ඒ ගැන මොකවත් මේක කියවන අය දන්නෙම නැති ගානට. මෙවැනි දෘෂ්ටිවාදීමය කියවීමක් ධනවාදී සමාජ ක්‍රමයක ඇනිමල්ස් ෆාම් වටපිටාවක අවශ්‍ය බව වඩාත් ඇත්ත. අමරකීර්ති කතුවරයාගේ අවටවක පුත්තු නවකතාව පිළිබඳ දෘෂ්ටිවාදීමය කියවීමක යෙදෙන දීප්ති, ත්‍රිමාන සඟරාවට ලියන ලිපියේ පළවෙනි පරිච්චේදයේ පහත උපුටා ගැනීම අදවන විට ලාංකේය සමාජයේ සාහිත්‍ය විචාරයේ අවැසි බව දිසාව ද පෙන්වා දෙනවා. වර්තමාන නවකතා විචාරය හා රසවිඳීමේ වෙනස් දිශාමානයක් පෙන්වාලමින් කරන ප්‍රකාශය සටහන් කිරීම ඔහුගේ යහපත් ප්‍රවේශයන්ට පමණක් කරන ගරු කිරීමක් වෙයි.

"ලංකාවේ නිල සාහිත්‍ය විචාරයට අනූව මාර්ටින් වික්‍රමසිංහගේ ‘ගම් පෙරළිය‘ ප්‍රථම යථාර්ථවාදී නවකතාවයි. එතැන් සිට අද දක්වා සාහිත්‍ය විචාර යැයි පළ වන පොත් පත්, පත්‍රිකා, පුවත් පත් විචාර තුළ වග විභාග වන්නේ කෘතිය මගින් යථාර්ථය නිරූපණය වන ප්‍රමාණය යි. එහි අඩුපාඩු හා ශේෂයන් ප්‍රමාණය යි. අවසාන ධනවාදී ක්‍රමයක් තුළ තවදුරටත් සාහිත්‍ය විචාරයෙන් ඇති පලක් නැත. මෙවැනි සමාජ රටාවක් තුළ සෞන්දර්ය විනිශ්චයන්ගෙන් ඇති සප්‍රයෝජනයක් ද නැත. ඒ වෙනුවට අප සාහිත්‍ය විචාරය ඉක්මවා කෘතිය විසින් ඉදිරිපත් කරන ‘දෘෂ්ටිවාදය‘ (Ideology) විශ්ලේෂණය කළ යුතුය."
(ත්‍රිමාන. මාර්තු 2010. 5 කලාපය. පන්ති අරගලයේ කැඩපත; අකටවක පුත්තු. දීප්ති. 45 පිටුව)

එසේම මෙම පරිච්ඡේදය පුරාම අපට ඒ ඒ චරිත දිහා බලන්න ඕන විදියත් කියල දෙනව කියල මට හිතෙන්නෙ. වළංගංගොඩ ළඟම හිටිය ඉස්කෝලෙ ගෙදර සිරිමලී මැණිකෙයි එයාගෙ දුව රන්දිමයි දෙන්න ගැන විස්තර කරන කතුවරයා ‘වළංගංගොඩ‘ වළංගංගොඩක්ම කර තැබීමේ කාර්යේ වගකීම බාරගත් චරිතයක් ලෙස සිරිමලී මැණිකෙ පෙන්වා දෙනවා. ඒත් ඒ චරිතය නවකතාවේ සාරය සම්බන්ධයෙන් එතරම් වැදගත් කමක් පෙන්වන්නෙ නෑ. ඒකෙ තීරණාත්මක ගනුදෙනුවක නිරත වෙන්නෙ රන්දිමා තමයි. ඒත් ඒ කුලය මත නොව පොදු මනුෂ්‍යයෙකු සතු සංකීර්ණතා සහිතව.

නවකතාවෙ ආරම්භයේදි එන එක චරිතයක් නිසා දිනසිරිගෙ ව්‍යායමය වැනි දේ කරන තවත් අය අපට හමුවෙනව. ඒ එක්කෙනෙක් තමයි රතු නැන්ද. එයා දිනසිරිගෙ මාම එක්ක ආව බිරිඳ. පස්සෙ මාම අතෑරල හොරෙන් පැනල යනව. ඒත් දිනසිරිගෙ ගමනට උදව් කල කෙනා එයා. ඒ වගේම වළං හැදිල්ල පෝච්චි හැදිල්ලක් ලෙස හුවමාරු වුනේ රතු නැන්දගෙ පැමිනීම නිසා.

"වළං හදනව කියන්නෙ මොකටද? පෝච්චි හදනව කියන්ඩ." රතු නැන්ද ආපු දවස්වලම මධුවන්තිට කිව්ව. ඒක ඇත්ත. දිනසිරිත් එකඟයි..... ඊට පස්සෙ කවුරුත් ටික ටික පුරුදු වුණා ‘මල් පෝච්චි‘ හදනව කියන්න. ඒක පුංචි කැරැල්ලක් වගේ වැඩක්. රතු නැන්ද තමයි දිනසිරි තුළ තමන් කවුද කියන විඥානය මුලින්ම මුල් ඇද්දුවෙ.“(12)

කතාව අහපු දිනසිරි ඉස්කෝලෙ තමන්ගෙම ජාතියේ යාලුවෙක් වුනු සරත්ට කියන්නෙත් අපි වලං නොහදන බවත් පෝච්චි හදන බවත්. මේ හැම එහෙකින්ම තමන්ගෙ පහත් බව යටපත් කිරීමට දරන විවිද උත්සහයන් පිලිබිඹු වෙනව.

"අපිත් එහෙම තමා. වැඩිපුර පෝච්චි තමා කරන්නෙ." දිනසිරි කිව්වෙ වළං යන වචනෙ භාවිත නොකරන්න හිතාගෙන මිසක් ඇත්තට නෙමේ. සරත් කිව්වෙත් බොරු. එයාලගෙ ගෙදරත් වැඩිපුර හදන්නෙ වළන්.“(72)

වළංගංගොඩ- කුරුලුගංගොඩ වීමත්, වලං හැදීම- පෝච්චි හැදීමක් වීමත් ලංකා සමාජයේ තමන්ගේ නොවන අය ඉදිරිපිට තමන් නොවන තමන් පෙන්වා දීම මෙන්ම තමන්ට තමන් අහිමිවීම පිළිබඳ ඛේදවාචකය පෙනවා දෙන්නක්. එසේ වීමට හේතුව කුලය ගැන තියෙන පිළිගැනීමේ කැමැත්ත අඩුවක් නැතුව දිගින් දිගටම පෝෂණය වීමයි.

මුත්තු අත්ත

නවකතාවේ රසවත් බව වැඩි කිරීමටත් නොහොබිනා විහිළු කිරීමටත් යොදා ගත්තු චරිතෙ තමයි මුත්තු අත්ත. එයා කියන ඒව නිකංම නිකං අහක දාන්න පුලුවන් ඒව නොවන නිසාත් නවකතාවේ අවසානය දක්වා ඔහු හරහා ඉතා වැදගත් සිදුවීම් ඉදිරිපත් වෙන නිසාත් මුත්තු අත්ත ගැන යමක් කියන්නම වෙනව. ජේංට, දිනසිරිගෙ අම්මට තේ ගේන්න කියන මුත්තු අත්තගෙ ප්‍රකාශය මෙයට එක් නිදසුනක්.

"අයෙ ලිප මොලවන්ඩ දෙයක් නෑ. ඔය ඉතුරු වෙලා තියෙන වතුර ටිකක් තේ ගොට්ටට හලං වරෙං. එළ හුජ්ජ වගේ උනත් කමක් නෑ. හැබැයි ඉතිං තෝ එහෙම හුජ්ජ කරගෙන එනව නෙමේ."(56)

ඊට පස්සෙ මුත්තු අත්ත ඉදිරිපත් කරන කරන කරුණු පෙන්වාදෙන්නෙ බඩහැල මිනිස්සු පැවත එන්නෙ නම්බුකාර පරම්පරාවකින් බවත් ඊට ලැජ්ජා වී නං ගං වෙනස් කරගැනීම නොකලයුත්තක් බව පෙන්වා දෙමින්.

-මහෝෂධ පන්ඩිතයොත් අපේ ජාතියෙ
-අපි පැවත එන්නෙ ඝටීකාර බ්‍රාහ්මනයාගෙන් බව
-නුවර පෙරහැර පටන් ගන්නෙ කුඹල් පෙරහැරෙන්

එහෙත් මේ ගෞරවය ඔවුන්ගේ සමාජ පසුබිම වෙනස් කර නොමැති බැවින් දිනසිරි වන් ඊලඟ පරම්පාරාවෙ අයත් එයින් පීඩාවට පත් නොවන්නේද?

යුද්ධකාලෙ රැකියාවක් නැති කොල්ලො කුරුට්ටන්ට රැකියා ප්‍රශ්ණයක් තිබුනෙ නෑ. දිනසිරිත් ඉස්කෝලෙ ඉවර උන ගමන්ම වගේ හමුදාවට බැඳෙන්න දාල තිබුනත් ලිවුම ගින්නට දාල නිකං හිටිය. ඒකට දිනසිරිගෙ තාත්තට කේන්ති ගිහින් හිටියෙ. පැන්සොන් තියෙන රස්සාවක් හන්ද. ඒත් දිනසිරිගෙ අම්ම දිනසිරිව බේරුවෙ එයාට යුද්දෙට යන ළමයි ගැන තියෙන්නෙ වෙනමම අදහසක් හන්ද. ජේන් දකින විදයට ඒ යන කොල්ලො මැරෙන්න බොරුවට. ඇත්තටම ඒක එහෙමද? කුල බේදයක් නැතිව යුද්දෙට ගිය කොල්ලොන්ට වෙඩි වැදුන. වෙඩි උණ්ඩ එක එකාගෙ කුලය ගැන හෙව්වෙ නෑ. වැදුනද මැරුනා. ඒ කරල බේර ගත්තු රටෙත් ඒ තරම් නිදහසක් නෑ කියල තමයි අපිට දැනෙන්නෙ. රට වෙන කාගෙද? අපි හැමෝම වෙන රටක ඉන්නව වගේ. ඒත් දිනසිරිගෙ කාලෙ ඒ කියන්නෙ 82 නවකතාවකින් ඒ අදහස හොයල වැඩක් නෑ. ඒ වුනත් 82 මිනිස් දුවක් වුන ජේන් කියන කතාවෙ ඒ තරම් බොරුවකුත් නෑ. මැරුණ කොල්ලො කරල තියෙන්නෙ බොරු වැඩක්ද? ඒ ගොල්ලො මැරිල ගත්තු නිදහස? ඒ නිදහස අද පාවිච්චි වෙන හැටි? මේ හැම ප්‍රශ්නයක්ම අපිට නැගෙන්නෙ ජේන්ගෙ මේ ප්‍රකාශය හරහා.

"මම යි කොල්ලට කිව්වෙ හමුදාවට යන්න හදිසි වෙන්න එපා කියල. පොඩි මල්ලිට වෙච්ච දේ මතකනෙ. පවුලෙ හැම එකාම බොරුවට මැරෙන්ඩ ඕනවැ."(86)

කුලමල පරදවා ජාතිවාදය හා මුදල් වටිනාකම් ඉස්මතු වීම

දිනසිරිගෙ නංගි මධුවන්ති බඳින්න ඉන්න පෙම්වතා සරත්. සරත්ගෙ චරිතය ගම්පෙරළියෙ තිස්සගෙ චරිතෙ තරම් නොවුනත් දිනසිරිගෙ යම් යම් පැවැත්මවල් විවේචනය වන්නෙ සරත්ගෙ චරිතය හරහා. ඔහු 89 කලබලවලදි හිරේ ගිය පේරාදෙණි විශ්වවිද්‍යාලෙ සිසුවෙක්. සරත්ගෙ යාලුව ලලිත් සරත්වත් පක්ෂේ වැඩට හවුල් කරගන්න හැදුවත් ඒක බැරිවෙනව. දිනසිරිට තිබුනෙ වෙනම අරමුණක්. නිවේදකයෙක් වෙන්න. පස්සෙ එයාගෙ ගේ දියවන්නාව ගාව හදල කාටත් හොරෙන් වැඩ ඉවර කර ගන්න. භාග්‍යා ඉලංගරත්නව බඳින්න. මේ වගේ දේවල් නිසා පක්ෂෙට නොබැඳුනත් සරත් කියන යම් යම් කාරණා පසක් කරන්න ඔහු උත්සහ කලා. දිනසිරිගෙ ගුවන්විදුලි වැඩසටහන් ගැන සරත් ලව්වා කතුවරයා නගන පැනය දැනට ජේ.වී.පී. එකෙනුත් ජාතිවාදීන්ගෙනුත් අපට අහන්න තියෙන ප්‍රශ්ණ වැලම තමයි.

"දිනේලගෙ වැඩසටහන්වලින් ගම, සිංහලකම, ජාතිය, දේශය, අරව මෙව්ව පුදුම විදියට උත්කර්ෂයට නංවලා ඉතාම ගතානුගතික චින්තනයක් තමයි පතුවන්නෙ. ජාතිවාදියො පාවිච්චි කරන්නෙත් ඔය වචනමයි."

"හොඳයි. අපේ දේවල් අගය කරන එක හොඳ නැද්ද?" දිනසිරි ඇහුවෙ තරහෙන් නෙමේ.

"හොඳයි. මොකද නැත්තෙ. අගේ කරන්නෙ අපේ ඇත්තම දේවල්ද? අගේ කරන දේවල් ඔක්කොම අපේද? අපි කතා නොකරන හොඳ දේවල් කොච්චර තියෙනවද? අපි හොඳයි කියන දේවල් ඔක්කොම තියෙන්නෙ ගමේද? නැත්නම් අතිතෙද? ඔය වගේ ප්‍රශ්ණ තියෙනවා. මං මේ කියන්නෙ දිනේල ගැන විතරක් නෙමේ. අපිම කරපු දේශපාලනෙත් ඒ වගේ. මං අවුරුදු ගානක් හිරේ ගියෙ 'සුජාත ගම, පිරිසිදු ගම, ජාතිය,දේශය, මව් රට' අරව මේව කියල හඳුන්නපු මොකක්ද දෙයක් රකින්න. ඇත්තටම එහෙම දෙයක් තිබුණද? තිබුණ නම් ඒක රැක්ක පමණින් මනුෂ්‍ය ප්‍රශ්න විසඳෙනවද ඔය මොකවත් හිතුවෙ නෑ."(283)


පසුව සරත්, දිනසිරිට එවන ලිපියත් මේ අදහස්වලම දිගුවක් ලෙස ජාතිවාදය හා ධනවාදයේ අමානුෂික ව්‍යාප්තියේ ස්වභාවය විස්තර කරනව. ඒ වෙනකොට ඒකියන්නෙ 90 දශකය වනවිට ලංකාව තුළත් කුලයට වඩා මුදලේ බලය ඉස්මතු වෙලා තිබුනෙ. ඒත් කුලය ඉංදියාවෙ තරම් නොවුනත් අදටත් ලංකාවෙ මැති ඇමැතිවරු, ජනපතිවරු බහුතරයක් ඉහල යැයි සම්මත කුලයේ අය. මේ ලිපියේ එන කරුණු පාඨකයාට නූතන සමාජයේ සංස්කෘතික අර්බුදයක් ගැන ඉඟි කරනව. එය තේරුම් ගන්න කියල ඉල්ලා සිටිනව.

"අපේ ගම අපේ සංස්කෘතිය දැනටමත් විශිෂ්ටයි, අපි තමයි හොඳම මිනිස්සු කියල මේ තරම් ළාමක විදිය හිතන ජනතාවකට අපේ රටේ කිසිම වැදගත් වෙනසක් කරන්න බෑ. අපි හොඳම ජාතිය කියලා හිතාගෙන ඉඳලා විනාශ වෙලා ගිය ජාතියක් හැටියට අපි ඉතිහාසයෙන් අතුගෑවිලා යයිද? මට නං ඒ බය තියෙනවා. ඒකත් ජාතිවාදී බයක් ද මංදා. නැත්නම් වෙනස් වෙන්න බැරි ජාතියක් වඳවෙලා ගියාම මොකද කියල පැත්තකට වෙන්න පුලුවන්නෙ. මට එහෙම පැත්තකට වෙන්න බෑ." (297)

දිනසිරිගෙ උත්සහය අන්තිමේදී ඔහු ජීවත්ව සිටියදීම අපතේ යනව. කුරුලුගංගොඩ කුඹල් ගමක් කියල එයා නැති වෙලාවක එයාම වැඩකරපු එෆ්.එම්. නාලිකාවෙ එයාගෙම හඬින් ප්‍රචාරය වෙනව. මිනිස්සු, ඉස්කෝලෙ ළමයි පෝලිමේ ගම බලන්න එනව. දිනසිරි පෝස්ට් කාඩ් දහස් ගානක් ලියල ප්‍රසිද්ද කරපු, වෙනස් කරපු කුරුලුගංගොඩ ආපහු වලංගංගොඩ වෙනව. තමන්ගෙ කුලයේ සංචාරකමය වටිනාකම ගෞරවය අභිමානය පරදවා මුදල්මය වටිනාකමකට හුවමාරු වෙනව. පස්සෙ දිනසිරි මැරුණ දවසෙ වලංගංගොඩ කියන නම උඩින් සුදුපාට කොළයක් අලවල විතරක් එකම වතාවකට කුරුලුගංගොඩ වෙනව. මේක එක අතකින් ලෙනින් මාක්ස් ආදීන් කල සමාජවාදී විප්ලවය වගේ වෙනව. ඒ හැම එකක්ම පරයා මුදල් හා එක එකා පරයා නැගී සිටීමට, ඉහලින් සිටීමට මානවයා සතු ස්වභාවික ආශාවන් මගින් විප්ලවයන් දියවෙලා යනව. ගෝත්‍රික අදහස් ඉස්මතු වෙනව. අමාරුවෙන් ගොඩනගපු හරාත්මක හා ගුණාත්මක දේවල් බුද්ධිමය සංවාදවල කිහිපදෙනෙකු සන්තර්පණය කරන බෝඩ් ලෑලි බවට පත්වෙනව. ඉතිහාසයේ දේවල් නැවත නැවත සිද්ද වෙනව.

පස්සෙ මියුරු එෆ්.එම්. එකේ කුරුලු නැතිව කුරුලුගෙ වැඩසටහන් යනව. ඒ කුරුලුගෙම කටහඬ තියෙන වෙනත් කොල්ලෙක් මගින්. මිනිහ බහුජාතික සමාගම්වලටත් කුරුලු වගේම සහභාගී වෙනවා. දිනසිරිගෙ අලුත් ගෙදර අයිති වෙන්නෙත් සරත්ට. මේ සියල්ලෙන් ලෝකය ගැන තව තවත් සිතන සරත්ට ඇතිවෙන හැඟිම සමස්ත කෘතියේ තාර්කික සියල්ල යටපත් කොට මහගම සේකරගේ ප්‍රබුද්ධ කෘතියේ අවසානයට අපව ගෙනෙනවා.

"...සංගීතකාරිය සහ තැපැල්පත්කාරයා යන දෙදෙනාගේම රූ පසුබිමින් සිරිමලීගේ මුහුණ ලොකුවට සරත්ගේ විඥානය මත චිත්‍රණය උනා. සංසාරය වැනි අඩවියක තමා ගමන් කරමින් සිටින බව ඔහුට දැනුණා. කවදාවත් නොදැනුණ ගැඹුරු අභ්‍යන්තරික සාමයක් වැනි දෙයක්. සංවේදනාවක්." (366)

කුරුලුගේ මරණය - කුරුලු ගංගොඩ නැවත වලංගංගොඩ වීම

-තාගෝර්ගේ බලපෑම

මේ නවකතාවේ අවසානය සිහි කරන්නේ රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ගෝරා නවකතාව සිහිපත් කරමින්. ඒ දිනසිරිගෙ මළගේ කටයුතු ඉවරවුනාම එතැනට එන සිරිමලීගේ හා දිනසිරිගෙ මවගෙ ජේන් හා එක පියාගේ දරුවන් බව දැනගන්නව. මේකත් ගෝරා නවකතාවේ පිරිසිදු බමුණු දහමේ නිර්මලත්වය සොයා යන ගෝරා අවසන තමාගේ උපත දැනගැනීමෙන් වන අවස්ථාව හා යම් ගැලපීමක් කරන්න පුළුවන්. එහිදී තරම් සියුම්ව හා ගැඹුරට නොවුනත් පාරිශුද්ධ කියල ගන්න දෙයක් ඉතිහාසය තුල හෝ එයින් නිර්මිත වර්තමාන පැවැත්මන් තුල නොමැති බවට කරන ඉඟිය එක සමානයි.

දිනසිරිගෙ ප්‍රයත්නය ඇස් අබිමුවම අපතේ යෑම දිනසිරිට දරන්න බැරි වුනා. එයින් වුන කලකිරීම සුළුපටු දෙයක් නොවෙයි. මෙතැනදි මතක් කර දෙන්න වටින දෙයක් මහාචාර්ය රැල්ෆ් පීරිස් නඩුවාර්තාවක් ගැන සිය කෘතියේ දක්වනව. ඒ කුලය නිසා සිදුකල මිනී මැරුමක්:

"පදු මිනිසකු විසින් හකුරු කුලයේ තරුණියක දූෂණය කිරීම පිළිබඳ සිද්ධියක් 1817 දී වාර්තා වී ඇත. ගෙල වැළ ලාගෙන මිය යන ලෙසට ඇය ගේ ම සොහොයුරෙකු ඒ තරුණියට අවවාද කළ නමුත් ඕ එය නොපිළිගත්තා ය. ඉක්බිතිව, පවුලේ තැනැත්තෙක්, ඇය ගේ සියළු ම ඥාතීන් ගේ අනුමැතිය ඇතිව, පිහියෙන් ඇන ඇය මරා දැම්මේ ය. ඔවුනට විරුද්ධ ව පවරන ලද නඩුවේ දී තම ක්‍රියාවට හේතු වශයෙන් ඔවූහු මෙසේ කියා සිටිය හ. : ‘අපේ පවුලට වූ නව නින්දාව මකාදැමීමට අපි කටයුතු කළේ රටේ සිරිත අනූවයි. ඇය මරා දාන තෙක් අනික් අය අපට සැලකුවේ පදු කුලයේ මිනිස්සු හැටියටයි. හකුරු කුලයට අයත් කිසි ම කෙනෙක් අප සමඟ එකට කෑම බීම ගත්තෙ නැහැ. ඔවුන් ගේ සමාගමට අපව වැද්ද ගත්තේ නැහැ. ඒ කැළල දැන් අහවරයි. ඒ නිසා ඒ අය ආයෙත් අපි ව කුලයට ගනීවි.'"
(සිංහල සමාජ සංවිධානය: මහනුවර යුගය. රැල්ෆ් පීරිස්. 2005. 192 පිටුව)

මෙතරම් නොවුනත් කුරුලු මෙන්ම සිය කුලය වසන් කිරීමට යත්න දරන එයින් මානසික පීඩාවට පත් කෙරෙන මනුෂ්‍යත්වයට නිගා දෙන සිදුවීම් කනින් කොනින් අසන්නට දකින්නට ලැබීම මිනිසුන් ලෙස ඉතාම ඛේදවාචකයක්.

සමන් පෙරමුණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails