Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"කළු විඥානය යනුවෙන් මා අදහස් කරනුයේ පීඩාවට පත් කරන ලද ජනතාවකගේ සංස්කෘතික සහ දේශපාලන පුනර්ජීවනයයි. මෙය දෙවන ලෝක සංග‍්‍රාමයේ සිට මුළු මහත් අප‍්‍රිකා මහද්වීපයටම විමුක්තිය ලබා ගැනීමට අදාළ විය යුතු ය. අප‍්‍රිකාව සුදු ජාතිකයන්ගේ අනභිභවනීයත්වයේ අභාවය අත්දැක තිබේ. මීට පෙරාතුව අප අත්දැක සිටියේ ප‍්‍රධාන වශයෙන්ම පංති දෙකකට අයත් ජනතාවක් පමණි. එනම් ආක‍්‍රමණකාරී සුදු ජාතිකයා සහ ආක‍්‍රමණයට ලක් වූ කළු ජාතිකයා පමණි. එහෙත් අප‍්‍රිකාවේ ඉන්නා කළු ජාතිකයෝ දැන් සුදු ජාතිකයනට සදාකාලිකවම ආක‍්‍රමණිකයන් ලෙස සිටිය නොහැකි බව මනාව දනිති.

මා මෙහිදී කළු මිශ‍්‍රණය යන්නේ ගැබ්ව පවත්නා සංස්කෘතික ගැඹුර පිළිබඳව අවධාරණය කළ යුතු ය. සුදු ජාතිකයන්ගේ අනභිභවනීයත්වයේ අවසානය පිළිගැනීම යන කරුණ පෙරළා කළු ජාතිකයන්ට මේ ප‍්‍රශ්නය අභිමුඛ කරයි. "මා කවරෙක් ද? අප කවුරුන් ද?" එහිදී අප එම පැනයට දෙන මූලික පිළිතුර මෙයයි. "ජනතාව යනු ජනතාවයි!" මෙහිදී කළු විඥානය පළ කරන අදහස මෙපරිදි ය. "වර්ණය පිළිබඳව අමතක කරන්න!”

(-දකුණු අප‍්‍රිකානු ජාතික බර්නාඞ් සිල්ස්ට‍්‍රා 1977 ජුලි මස ස්ටීව් බීකෝ සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවෙන්.)


Cry Freedom (1987) by Richard Attenborough

දකුණු අප‍්‍රිකාවේ කළු ජාතිකයන්ගේ නිදහස උදෙසා ගෙනගිය අරගලයේ කැපීපෙනුන චරිත අතර ද ඉදිරියෙන්ම සිටි බන්ටු ස්ටීව් බිකෝ ඉහත සාකච්ඡාවට සහභාගි වී ටික කලකට පසුව එනම් 1977 අගෝස්තු 18 දින එවක පැවති සුදු පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේය. එවර අත් අඩංගුවේ දී දරුණු වධ හිංසනයන්ට පාත‍්‍ර කරන ලද මේ කළු ජාතික ශිෂ්‍ය නායකයා 1977 සැප්තැම්බර් 12 දින මියගිය පුවත ලොවටම දැනගැනීමට ලැබුණි. ලංකාවේ ද එකල පුවත් පත්වල කුඩා සටහනක් ලෙස එම මරණය පිළිබඳ පුවත පළ කරනු ලැබිණි. දකුණු අප‍්‍රිකානු දේශපාලන කටයුතු පිළිබඳ පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද ඔහු කේප් පළාතේ, පෝට් එලිසබෙත්හි ස්ට‍්‍රැන්ට් වීදියේ වූ එන්ලැම් ගොඩනැගිල්ලේ පිහිටි පොලිසියේ කාමර අංක 619 තුළ දෑත් දෙපාවලට දමන ලද විලංගු පිටින්ම අති අමානුෂික වධබන්ධනයට පාත‍්‍ර කරන ලද්දේ පුරා පැය විසි දෙකක අඛණ්ඩ ප‍්‍රශ්නකිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙස මොළයට මාරාන්තික තුවාල සිදු කෙරුණු ප‍්‍රහාරයන් ගණනාවකින් පසුව සමස්ත දකුණු අප‍්‍රිකානු කළු ජනතාවම කම්පාවට ලක් කරමින් මෙලොවින් සමුගත්තේ ය.

සුදු ජාතිකයන්ගේ අසීමිත බලය යටතේ පැවති නෛතික රාමුව හා හැපෙමින් බීකොගේ මරණය වෙනුවෙන් හඬ නැඟීමට මෙන්ම කළු ජාතිකයන්ට යුක්තිය ඉටු කර දීමට ද අප‍්‍රමාණ උත්සාහයක් දැරූ සුදු ජාතික පුවත්පත් කලාවේ දී ඩොනල්ඩ් වුඩ්ස් ට ද ඒ සමඟම සිදු වූයේ සිය රට තුළ තහනමට, නිවාස අඩස්සියට ලක් වීමට හා අවසන සිය දිවි රැකගැනීම සඳහා යුරෝපයට පලායෑමට ය. එදා සුදු ජාතික රජය ස්ටීව් බිකෝ හංවඩු ගැසුවේ උග‍්‍ර කළු ජාතිවාදියකු ලෙසිනි. අනෙකාට එරෙහිව තමන් විසින් අඛණ්ඩව ගෙනයන ප‍්‍රතිපත්තිය කිසිසේත්ම ජාතිවාදී නොවන හුදෙක් සුදු ජාතීන්ගේ විමුක්තිය උදෙසාය යන අදහස වෙනුවෙන් පෙනී සිටි සුදු ආණ්ඩුව බීකෝගේ මෙන්ම නෙල්සන් මැන්ඩෙලා ඇතුළු සියලූ කළුජාතික නායකයන්ගේ විමුක්ති අරගලය 'ජාතිවාදී' එකක් ලෙස සැලකීම උත්ප‍්‍රාසජනක එමෙන්ම පිළිකුල දනවන අත්දැකීමකි.


බිකෝ සිය පුතු සමග

2013 සැප්තැම්බර් 12 දින ස්ටීව් බිකෝගේ තිස් හය වැනි අනුස්මරණ දිනය යෙදුණි. පුරා තිස් වසරක් තිස්සේ යුද සමාජයක්ව පැවති, දැන් ජාතිවාදයට සීඝ‍්‍රයෙන් යට වෙමින් යන ලංකාවට වසර තිස්හයකට පසුව වුව බීකෝ වැන්නකුගේ අදහස් යළි සිතා බැලීම ඉතා වටී. ස්ටීව් බීකෝ ලංකාවේ ඉහළින්ම ජනප‍්‍රිය වූයේ අනූව දශකය මුල හරියේ ය. ජවිපෙ 89 පරාජයට පත් කරනු ලැබීමේ වේදනාවත් ලංකාවේ ප‍්‍රබලව පැවති සරසවි ශිෂ්‍ය ව්‍යාපාරයට එල්ල වූ දැවැන්ත මර්දනයත් හමුවේ බීකෝ හා ඩොනල්ඩ් වුඩ්ස් අතර පැවති සබඳතාව අලලා රචිත "ක‍්‍රයි පී‍්‍රඩම්" නම් කෘතිය සුනිල් මාධව පේ‍්‍රමතිලක විසින් "හඬනු මැන නිදහස" යනුවෙන් ප‍්‍රකාශයට පත් කිරීම ඊට හේතුව වූවේ ය. එකල මෙන්ම අද ද ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ස්ටීව් බිකෝ සැලකෙනුයේ සුදු ජාතික ආණ්ඩුවේ මර්දනයට එරෙහිව අභීතව සටන් වැදුණ කළු ජාතික සිසු විරුවකු ලෙසට ය. එහෙත් යුද්ධයක් නොමැති පරිසරයක ඉතා සීඝ‍්‍රයෙන් සීමා මායිම් දුරස් කර ගනිමින් ඉන්නා ජනතාවකට වර්ගභේදයෙන් තොරව බීකෝගේ කළු සවිඥානකත්වය පිළිබඳ අදහස සිතා බැලීම ඉතා වැදගත් ය.

ස්ටීව් බිකෝ සටන් වැදුණේ සුද්දන්ගෙන් තොර දකුණු අප‍්‍රිකාවක් වෙනුවෙන් නොවේ. මැන්ඩෙලා මෙන්ම ඔහු ද එකහෙළා ජාතිවාදය ප‍්‍රතික්ෂේප කළ අතර සුදු ජාතිකයන් විසින් තම ජනයාට එල්ල කරන ලද ප‍්‍රහාරවලට කොන්දේසි විරහිතව සටන් කළේ ය. එහෙත් ඒ සුදු ජාතිකයන් සමූල ඝාතනය කිරීම හෝ මුළුමනින්ම සුද්දන්ගෙන් තොර දකුණු අප‍්‍රිකාවක් වෙනුවෙන් නොව ස්වකීය ජනයාට ද ජීවත්වීම සඳහා සමාන හිමිකම ලැබිය යුතු ය යන පදනමිනි. බලතල බෙදාගැනීමට කිසිදු සූදානමක් නැතිව සිටි සුදු ආණ්ඩුව බීකෝගේ ප‍්‍රයත්නය ජාතිවාදී යැයි සැලකුව ද ලොවේ ප‍්‍රගතිශීලී කඳවුර එය දුටුයේ නිදහස උදෙසා කෙරෙන විමුක්ති අරගලයක් ලෙසිනි.


බීකෝ, ඩොනල්ඩ් වුඩ්ස් සමග

බීකෝ "කළු සවිඥානත්වය" (Black Consciousness) සංකල්පයක් ලෙස ඉදිරියට ගත්තේ දීර්ඝ කාලයක් සුදු ජාතික පාලනය යටතේ කොන් කරන ලදුව සාරය අහිමි කරනු ලැබ සිටි කළු ජාතිකයන්ට තමන් මනුෂ්‍ය ප‍්‍රජාවගේ කොටසක් බව අවබෝධ කරදීමට ය. ඔහු "කළු නම් ලස්සනයි" යන සටන් පාඨය තෝරා ගත්තේ කළු කඩය, කළු බැටළුවා ආදී වශයෙන් සියලූ අයහපත් දෑ කළු පාටින් චිත‍්‍රණය කරන ලෝකයකට එරෙහිව සිය ජනයා ද උසස් යැයි පෙන්වාදීමට මෙන්ම සිය ජනයාට ද තමන් පහත් ය යන හීනමානී හැඟීමෙන් මිදීම සඳහා ශක්තිය ලබා දීමට ය. සිංහල, දමිල, මුස්ලිම් කවුරුන් වේවා වටහාගත යුත්තේ බීකෝගේ කළු සවිඥානකත්වය යන සංකල්පය යට වූ මේ වටිනා කොටසයි.

ඔහු ජාතිවාදියෙක් නොව වීරයෙක් වනුයේ එම සංකල්පයන්ට ඔහු කැවූ පුළුල් අරුත හේතුවෙනි. විශේෂයෙන්ම සිංහල ජාතිකවාදයට මුවා වී නරුම ජාතිවාදයක් පතුරන ඊනියා සිංහල උද්ඝෝෂකයන්ට බීකෝ සිය ජනතාවට දුන් පණිවුඩයේ අරුත වටහා ගත හැකි නම් ඔවුන්ට ද තම පරම සතුරා වී ඇති දෙමළා හා මුසල්මානුවා දෙස වඩා සාධාරණ ඇසකින් බැලීමට හැකිවනු ඇත. එක්සේසත් කළා යැයි උදාරම් වන රටක තවමත් දෙමළ භාෂාවෙන් කාර්යාලයකට ලැබෙන ලිපියට දෙමළ බසින් පිළිතුරු යැවීම අසීරුව පවත්නා යථාර්ථයක් තිබියදීත් දෙමළාට දෙමළ වීම නිසා අඩුවූයේ කුමක් දැයි අසන මුග්ධයන්ට දෙමළ සංස්කෘතිය යටත් කර දැමෙමින් ඔවුන්ගේ කලාපයේ ඉදිවන බෞද්ධ සිද්ධස්ථාන විසින් මවන චිත‍්‍රය මෙන්ම ඔවුන්ගේ කෝවිල් බිඳ පිළිම පැහරගෙන යාම වැනි සිද්ධි හරහා ඇති කරන රිදුම තේරෙන්නේ හෝ තේරුම් ගැනීමට වුවමනාවක් නැත. ඉදින් බීකෝගේ මරණින් වසර තිස් හයකට පසුව වුව අපට ඔහුගේ දේශපාලන අදහස් වැදගත් වනුයේ අප තවමත් වර්ගවාදයට එරෙහි වීමට අසමත්ව සිටිනා බැවිනි.


බීකෝගේ පණසුන් සිරුර


විරුවෙකුගේ මළගම

(-රාවය| හය වැනි මහලේ සිට)

නුවන් උදය වික‍්‍රමසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails