Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



චීන ජාතිකයෝ එකම ගසේ එක පැත්තක අතු රෝස කුසුමෙන් බර කරන්නටත්, අනෙක් පැත්තේ අතු පෙයාර්ස්වලින් බර කරන්නටත් ඉගෙන ගත්හ. චීනුන් ගසට කරන්නට උගත් දේ අපට මිනිසුන්ට කරන්නට නොහැකිද? (ෆෙඩ්රික් නීට්ෂේ/ මිනිස් වගාව ගැන.)

ඉහත කියමන මා උපුටා ගත්තේ එරික් ඉලයප්ආරච්චිගේ 'කලාව සහ කතිකාව' (2012) කෘතියෙනි. නීට්ෂේ මිනිස් වගාව ගැන කියමන විශිෂ්ට සාහිත්‍ය කෘතියක් ගැන විශිෂ්ට රූපකායකි. ඇත්තෙන්ම සාහිත්‍ය කෘතියක් චීනුන් හදාගත් අර ගස මෙන් ලස්සනත්- ඵලයත් දෙකම ඇති ගසක් විය යුතුය. ලියනගේ අමරකීර්තිගේ අලුත් 'කුරුලු හදවත'ද රූපකාර්ථයෙන් එවැනි චීන ගසකි. සිංහල නවකතාවකි. මේ හදිසි රචනය එම ගසේ පල කිහිපයක් කඩා ගැනීමට ගසන පොලු පහර කිහිපයකි. ඇත්තෙන්ම සාහිත්‍ය විචාරය නම් එවැන්නකි. එවැනි කෘතියක පල කඩාගන්නට පොලු ගසන විට අර චීන ගසටත් අදාළ රෝසමල් ලස්සන හැලීයෑම වළකන්නේ කොහොමද?

ගුවන්ගත පරපුරක කුරුලු කතාව

නවකතාව ආරම්භවන්නේ අසූව දශකයේ මුල් භාගයේ කුරුණෑගල වැල්ලව, බුදනාපිටියේ කුඹල්ගමක සංදර්භයේය. කුරුලු හදවත් කතා නායක දිනසිරි කුඹල් කොල්ලෙකි. තමන් සිතා සිටි අයුරින්ම රජයේ විභාගය අසමත් වෙයි. අසමත් කොල්ලන්ට තමන් සමත්කම් ඇති කොල්ලන් බව පෙන්වීමට තිබුණු හොඳම අවස්ථාව වන හමුදාවට බැඳීම ඔහුගේත් අදහස වෙයි. හමුදාවට බැඳීමට අයදුම් කිරීම සඳහා දිග ලියුම් කවරයක් සහ මුද්දරයක් තැපැල් කන්තෝරුවෙන් මිලදී ගත් දිනසිරිට තැපැල් නෝනාගෙන් ඉතිරි සිල්ලර සල්ලි වෙනුවට තැපැල්පතක් ලැබේ. දිනසිරිගේ ඉරණම ඒ තැපැල්පතයි. ඒ ප්‍රේමකීර්ති ද අල්විස්, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, බණ්ඩාර කේ. විජේතුංග, කුසුම් පීරිස්, ජයන්ත පීරිස්, සුමනා නෙල්ලම්පිටිය වැනි ජනප්‍රිය නිවේදක නිවේදිකාවන් ගුවන අරා සිටි කාලයයි. වළං හදන අඩු කුලේ 'කුඹල්' දිනසිරිත් අර අහම්බෙන් අතට ආ පෝස්ට්කාඩ් එක මාර්ගයෙන් ප්‍රථමවරට එම නිවේදක කටහඬින් තම නම ගුවනේ පාකරවා ගනියි. ඉතා කෙටි කාලයකින් තැපැල්පත් යැවීම පිස්සුවක් වෙයි. එහෙත් දිනසිරි ගුවන්විදුලියට තැපැල්පත් ලියන්නේ තමන්ගේ සැබෑ නමින් හෝ ගමින් නොවේ. ප්‍රේමකීර්ති වැනි නිවේදකයනුත් ඉඳහිට කරන්නා සේ ඔහු තම ගමත් නමත් මඳක් වෙනස් කරයි. එහෙත් ලිපිනය එයමය. දිනසිරි කුරුලුගංගොඩ නමින් නම වෙනස් කර ලියනා දිනසිරි වළංගංගොඩ කුරුලුගංගොඩ කරයි. බුදනාපිටිය, වැල්ලව ලිපිනය රකී. වළංගංගොඩ, කුරුලුගංගොඩ කළ දිනසිරි කුරුලුගංගොඩ නම් තරුණයා ගුවන්ගත විප්ලවකරුවකු වෙමින් තම ගමේ හීන කුල නම වෙනස් කළ ආඩම්බරයෙන් පසුවෙයි. මේ අතර ඔහු වයලීනයක් අතින්ගත් අසල්වැසි උස් කුල සුන්දර තරුණියක සමග අප්‍රකාශිත පෙමක පැටලෙයි. තැපැල්පත් පිස්සුවේ අවසානය දිනසිරිට වාසනාව ගෙනෙයි. දිනසිරි කුරුලුගංගොඩගේ ගුවන් ජනප්‍රියතාව නිසා අලුතින් පටන් ගන්නා මියුරු එෆ්එම් නැමැති ගුවන්විදුලි නාලිකාවක නිෂ්පාදක කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ඔහුට රස්සාවක් ලැබේ. එතැන් පටන් ඔහු තම විප්ලවීය ගං-කාර්යය දෙගුණ තෙගුණ කරමින් කුරුලුගංගොඩ නම් වූ වළංගංගොඩ ගම ගැන නැති උත්කර්ෂයක් මවමින් අති-ජනප්‍රිය වැඩසටහන් නිෂ්පාදකයෙක්, නිවේදකයෙක් වෙයි. මෙතැනදී තීරණාත්මක ලෙස ඔහුගේ නමින් දිනසිරි කෑල්ල හැලී ගමේ නම දෙකට කැඩී ඔහුට ආදේශ වෙයි. දැන් ඔහු කුරුලු ගංගොඩය. ඔෆිස් එකට කුරුලු අයියාය. (මෙය නවකතාවේ තේමාන්තය කුළුගන්වන වැදගත් අවස්ථාවකි.) වළංගංගොඩ කුරුලුගංගොඩ දක්වා උත්කර්ෂයටත් මුලාවටත් නැංවීමේ විප්ලවීය සංස්කෘතික කාර්යය නිසා දිනසිරි එෆ්එම් නිවේදකයේ කිචි බිචි වචන වේගය තරම් ඉක්මනින් ධනවතෙක් වෙයි. ඉන්පසු ගුවන්විදුලියේ අධ්‍යක්ෂගේ බලකිරීම ඔස්සේ බහුජාතික සමාගම් සමග ගිවිසුම්වල පැටලී රූපවාහිනී ප්‍රචාරක දැන්වීම්වල පවා ගම විකුණන ජනප්‍රිය වෙළඳ නළුවෙක් දක්වා 'දියුණු' වෙයි. සරසවි කෙල්ලන්ගේ පවා සිහින වීරයා බවට 'කුරුලු අයියා' පත්වෙයි.

මේ වන විට කුරුලු සිතින් පෙම් කළ වයලීන රන්දිමා ඇගේ සංගීත ගුරුවරයා සමග විවාහ වී සිටින අතර කුරුලු පේරාදෙණිය සරසවියේ ඉගෙන ගන්නා තම නැගණිය වන මධුවන්තිගේ සරසවි මිතුරියක වන භාග්‍යා සමග පෙමින් බැඳී විවාහවීමේ සිහිනය ළඟ සිටියි. මේ දිනවල ඔහු දියවන්නාව අසල ඉඩමක් මිලදී ගෙන 'ද නෙස්ට්' නමින් නිවසක් තනන්නේ පවුලේ සියල්ලන්ම පුදුම කරන්නටය. (භාග්‍යා නුවර උඩරට මැණිකේ පරම්පරාවේ කෙනෙකි. සරසවි සිසුවියකි. කුරුලූ ඈ විවාහ කරගැනීමට සිහින දැකීම යනු ඔහුගේ කුලය සහ විභාග අසමත්කම නමැති අවිරෝධිතයන් වසාගැනීමට අවිඥානයෙන් මතුවන ලාලසාවෝ වෙති. දියවන්නාවේ 'ද නෙස්ට්' නමින් කැදැල්ලක් තැනීම ධෛර්යමත් කුරුලු කොල්ලෙකුගේ ජයග්‍රහණයකි. මේවා තේමාත්මකය සමග තදින් වෙලී සිටින ප්‍රබන්ධමය අවස්ථාය.) කෙසේවෙතත් සිය මිතුරන්ම තමා මත පැටවූ දියවන්නා ඔයේ ඔරුවක මඟුල කෑමේ සිහිනය හැබෑ කිරීටම ඔරු පැදීමේ පුහුණුවකදී කුරුලුගේ හදවත පණ ගැසීම නවතී. කුරුල්ලන්ට පිහිනන්නට බැරි බව ඇත්තෙන්ම ඔහු දන්නේ නැත. කුරුලු මියයයි. මෙය මිනීමැරුමක්ද යන්න පාඨක සිතෙහි හොල්මන් කිරීමත් සාධාරණය. නවකතාවේ අවසාන පරිච්ඡේද කිහිපයේදී (කුරුලු ඇත්තටම මියයෑමටත් පෙර) කුරුලු පණ පිටින් මියයයි. එනම් කුරුලු තැනූ කුරුලුගංගොඩ කුරුලුගේ (දිනසිරිගේ) කටහඬ ඇති වෙනත් නිවේදකයෙක් ලවා යළි වළංගංගොඩ කරයි. කුරුලු හැංගූ වළං සංස්කෘතිය සොයා ගත් විට එය ඉතා හොඳ වෙළඳෙපොළක් වෙයි. ජාතිකවාදීන් අතට යන ගමේ සිරියාව වනන්නට පොඩි කුරුලු නිවේදකයෝ පැටව් ගසන්නට වෙති. කුරුලු හංගා ප්‍රසිද්ධ කළ කුරුලු ගංගොඩේ ඇත්ත වළං මාකට් වෙන්නට පටන් ගනියි. වළං හැදීමේ රස්සාවෙන් ඉවත් වී වෙනත් රැකියාවල නියුතු වූ අය පවා වළං රස්සාව මාධ්‍යයේ මාකට්වීමේ ව්‍යාප්තිය සමග යළි වළං රස්සාවට බසිති. කුරුලුගේ කැරැල්ල ප්‍රතිකැරැල්ලක් වී ගම කණපිට ගසයි. දැන් කුරුලු ඇත්තටම මියගිය පසු පොඩි කුරුලු ව්‍යාපෘති ජාතිකවාදීන්ගේ කොටු පවුරු තුළ යහමින් පියාඹයි. අසූ ගණන්වල කතාව දෙදාස් ගණන්වල ඓතිහාසික විපරිණාමය තුළ නතර කර අමරකීර්ති කුරුලු හදවත නවත්වයි.

සාහිත්‍යයික අත්තටු සිඳ දමමින් කුරුලු හදවතේ දිනසිරි පාර්ශ්වික කතාව පමණි මෙහි සාරාංශ කළේ.

ඇත්තෙන්ම මෙය දිනසිරිගේ ගුවන්විදුලි කතාවක් හෝ කුල ප්‍රශ්නය තේමා කරගත් කතාන්දරයක් නොවේ. මෙය දශක තුනක හතරක පරම්පරා පුරුක්වල සාමූහික මතක පිළිබඳ කතාවකි. අසූ ගණන්වල කුඹල්ගමක කොල්ලෙකුගෙන් පටන් ගන්නා කතාව අවසාන වන විට දෙදාස් ගණන්වල සීමාන්තික ජාතිවාදී මාර්කැට්ටුවේ ඒජන්තයන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් පිරුණු සමාජයක් දක්වා මතකය නවකතාවට එකතුවෙයි. එදා ප්‍රේමකීර්තිගේ හඬට පෙම් කරමින් සින්දු ඉල්ලූ කොලු කුරුල්ලෝ, රටක නිදහස සොයා තුවක්කු අතට ගත් තරුණයෝ අද නලින් ද සිල්වාගේ ජාතිකාභිමානී සෝබන සින්දුවට නටන කොල්ලන් දක්වා සමාජය විතැන්වීමේ දශක ගණනක සාමූහික මතකය අමරකීර්ති අල්ලන්නට උත්සාහ කරයි. 88/89 ජවිපෙ කැරැල්ල, දෙමළ සිංහල යුද්ධය, යටි මඩි ගැසූ කුල ප්‍රශ්නය රෙද්ද ලිහෙන තැන්වලින් ලිස්සා වැටීම වැනි කාරණා අඩු වැඩි වශයෙන් මෙහි මතකයන් වෙයි. අමරකීර්ති මේ නවකතාව ගොතන විට ඔහු අවිවාදයෙන්ම ප්‍රතිනිර්මාණය කරන්නේ ලංකාවේ පුරවැසියන් අත්දකින දේවල්ය. අපි එයට සාමූහික මතකය කියමු. අත්දුටු දේ යළි ඇවිස්සීම විශිෂ්ට සාහිත්‍යයික ව්‍යායාමයක් වන්නේ සාමූහික මතකය (Collective Memory) අවුස්සමින් මේ මොහොතේ ප්‍රජාවගේ සාමූහික අවිඥානවත්භාවයට දේශපාලනික සවිඥානිකභාවය කාන්දු කරන්නට සාහිත්‍ය කෘතියට හැකියාව ලැබෙන විටය. ඒ ගැන කතා කරන්නට පෙර සාමූහික මතක ඇවිස්සීමේ තවත් අවදානමක් ගැනද කිව යුතුය. ඇතැම් නවකතා නිර්මාණය කරන විට සමාජයේ සිටින පුද්ගලයන්ගේ, සංසිද්ධීන්ගේ ලක්ෂණ ඒවාට කාන්දුවන්නට පුළුවන. සාමූහික මතක ඇවිස්සීම යනුම එම චරිත සිද්ධි නැවත කියවීමයි. අමරකීර්ති කුරුලු හදවතේදී එම කාර්යය කරන විට ඇතැම් පාඨකයන්ට එවැනි චරිත සිද්ධි හමුවීම අහම්බයක් නොවේ. ප්‍රේමකීර්තිද අල්විස්ට වෙඩි තැබීමේ අනුවේදනීය චිත්‍රණය එළිපිට කාරණයකි. එහෙත් ඇතැම් පාඨකයකුට කුරුලු ගංගොඩ රූපවාහිනී වෙළඳ දැන්වීම්වල බහුජාතික සමාගම්කාරයන් වෙනුවෙන් ගොවි රජ්ජුරු කෙනෙකු වනවිට සමාජයේ සිටින එවැනිම චරිතයක් බිහිවන්නට පුළුවන. එහෙත් සාහිත්‍ය කෘතියක් යනු එවැනි චරිතවලට මඩ ගැසීමක් හෝ එම චරිත දෙස හොරෙන් එබෙන යතුරු හිලක් නොවන බව දන්නා පාඨකයන් අතින් එම ප්‍රබන්ධමය චරිත කියවීමට ලක්විය යුතුය.

කුරුලු හදවතේ තේමාත්මක පණ

මෙහිදී නවකතාවේ තේමාත්මක මැදිහත්වීම නමැති කාරණය මම කතිකාමය මැදිහත්වීම සමග යා කරමි. අප ගතකරමින් සිටින මේ මොහොතේ අර්බුදය ගැන ගැඹුරින් සිතීම සහ අලුත් මාන හඹායෑම සාහිත්‍ය කෘතියක කතිකාමය මැදිහත්වීමේදී වැදගත් වෙයි. මේ නවකතාවේ තේමාත්මක මාන කිහිපයක් කෙටියෙන් සාරාංශ කරමු.

දිනසිරිගේ පෝස්ට්කාඩ් විප්ලවය- මෙය කුලය නමැති සමාජ බෙදීම ගැන සෑහෙන තරම් දිගු සාකච්ඡාවකි. දිනසිරි වළං හැදීම නමැති අඩු කුල වැඩේ නිසා පීඩනයට පත්වෙන සැටි උත්කර්ෂණය වන්නේ පෝස්ට්කාඩ් එකක ඔහුගේ නමත් ගමත් වෙනස්වීමෙනි. එහෙත් මුත්තු අත්තා වැනි චරිත එම සමාජ ක්‍රමය ඒ විදිහටම ප්‍රතිනිෂ්පාදනය කිරීමට හැඩගැසුණු ඒවාය.

කෙසේ හෝ දිනසිරි නමැති තරුණයා කුරුලු වීමේ නැතිනම් ධනවතෙකු දක්වා චලනය වන්නේ දිනසිරිගේ පෝස්ට්කාඩ් වාසනාවක් නිසාම නොවේ. එය ගෝලීය ප්‍රාග්ධනයේ උප්පරවැට්ටි ව්‍යාපෘතියක් වන්නට බැරිද? නවකතාවේ එක් තේමාත්මක මානයක් මගින් ඉඟි කරන්නේ දිනසිරිගේ සමාජ චල්‍යතාවේ පවතින මේ සංදිග්ධතාවයි. නවකතාව අවසානයට යනවිට එය ජාතිකවාදය මගින් හසුරුවන හැටි විස්තර කෙරෙයි. බහුජාතික සමාගම් සමග අත්වැල් අල්ලාගෙන ගම- අපේ සංස්කෘතිය වගා කරන මුවාවෙන් මාර්කට් කරන ජාතිකවාදී ව්‍යාපෘතීන් අවසාන වශයෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සේවය කරන්නේ මේ පවතින අසම සමාජ ව්‍යුහය ප්‍රතිනිෂ්පාදනය කරන දැනුවත් ව්‍යාපෘතීන්වලටමය. එවිට ජාතිකවාදය යනුද සමාජ ක්‍රමයක හෙජමොනිය රැකගැනීමට උදව් වෙන උපකරණයක්දැ'යි කුරුලු හදවත ඇසුරින් මම සිතමි. අනිත් අතට දිනසිරිගේ ප්‍රථම ප්‍රේමයද කුල ප්‍රශ්නය හෙවත් සමාජයේ ගැඹුරු ව්‍යුහමය ප්‍රශ්නයක එක් පැතිකඩක් චිත්‍රණය කරන්නකි. කුඹල් දිනසිරි ගොවිගම රන්දිමාට කරන ආලය ගොලු හදවතක දෝංකාරයක් හෙවත් අප්‍රකාශිත ප්‍රේම අන්දරයක් වන්නට මේ පසුබිම තීරණාත්මක බලපෑමක් කරයි. ඇත්තෙන්ම දිනසිරිගේ මේ ප්‍රේම කතාව කරුණාසේන ජයලත්ගේ ගොලු හදවත සමග දක්වන්නේ අන්තර්පඨිතමය සම්බන්ධයකි. එහෙත් දිනසිරිගේ හදවත ගොලු හදවතක් නොව කුරුලු හදවතකි. එනම් ඉගිළ යා හැකි හදවතකි. දිනසිරි ගුවනින් ගී ඉල්ලීම්වල සිට කරන්නේ මෙවැනි ඉගිල්ලීම්ය. එනම් දශක තුනක පමණ කාලයක අපේ සාමූහික මතක මේ ඉගිල්ලීමයි. එහි අවසානයටද අප දැන් පැමිණ ඇත. එනම් ජාතිකවාදයේ කිචිබිචිය ළඟ නතරවීමයි.

'කුරුල්ලන්' යනු තරුණයන් ගැන හොඳ රූපකයකි. මෙවැනි ජාතිකවාදී ව්‍යාපෘතිවල ගොදුරු වන්නෝද එවැනි කුරුලු තරුණයෝය. ඇත්තෙන්ම අපේ යුගයේ දේශපාලනයද එයයි. මේ තේමාව තුළ 88/89 විප්ලවය ගැන නවකතාවේ ප්‍රවේශයද හලා දැමිය හැක්කක් නොවේ. දිනසිරි සහ සරත් සංසන්දනාත්මකව කියවන එක තැනකදී නවකතාවේ තේමාත්මකය අලුත් එළියක් එයි. දිනසිරි අවුරුදු ගණනක් තැපැල්පත්වල තම නම ලියන විට විප්ලවයට අසුව හිරේ ගිය සරත් නමැති සමකාලීන මිතුරු සරත් කර ඇත්තේ තමා නිසා මියගිය සහෝදරයන්ගේ නම් එකතු කිරීමය.

''මාත් ඉස්සර දිනේ වගේම තමයි. කාගෙ හරි මැරුණ කෙනෙක්ගෙ නමක් ගමක් දැක්කොත් ලිව්වා... තව නමක් හොයල ලියන්ඩ තව දවසක් හිටියොත් ඇති කියල තමයි උන්නෙ...''

''මාත් එහෙම තමයි ඉස්සර. හෙටත් පෝස්කාඩ් එකක් ලියන්ඩ තිබ්බොත් ඇති කියල තමයි හිතන් උන්නෙ.''

''ඒ වුණාට මං ලිව්වෙ මගෙ නමමයි- සරත් අනුන්ගේ නම්. ඒකයි වෙනස.''
(232-233 පිටු)


මේ අපේ ඉතිහාසයේ එකම පරම්පරාවක ව්‍යාපෘතීන් දෙකක් ගැන යථාර්ථයයි. දිනන්නේ තමන්ගේ නම ලියන දිනසිරිලා. අනුන්ගේ නම් එකතු කිරීම හැරෙන්නට වෙනත් විකල්ප විකල්ප සරත්ලාට නැතිවන විට දිනන දිනසිරිලා ජාතිකවාදියෝ වෙති. එවිට එහි ප්‍රතිඵලය අප ගතකරමින් සිටින මේ මොහොතයි.

ව්‍යුහ සංරචනය

අවසාන වශයෙන් අමරකීර්තිගේ ප්‍රබන්ධ කතාමය ව්‍යුහ සංරචනය ගැන යමක් කිව යුතුය. මගේ මතයට අනුව අමරකීර්තිගේ ප්‍රබන්ධ කතාවලියේ තීරණාත්මක වෙනසක් අර මිහිරි සීනු නාදයේ සිට ඇසෙන්නට වෙයි. එනම් ප්‍රබන්ධ කතාවේ තේමාත්මකය ඉස්මත්තට පැමිණීමයි. ඒ තුළ අමරකීර්තිගේ ප්‍රබන්ධ ආඛ්‍යානයේ පෘෂ්ඨීය වියමන ඇතුළු අනෙකුත් ව්‍යුහීය අංග සරල කරන්නට ඔහු උත්සාහ ගෙන තිබේ. (ව්‍යුහීය අංග යනු ප්‍රබන්ධයේ අනෙකුත් රචනාමය තාක්ෂණික කාරණාය.) කුරුලු හදවත එහි තීරණාත්මක මොහොතකි. නවකතාවේ භාෂාව සරල කුරුලු බසකි.

අමරකීර්ති මේ නවකතාවේ භාෂාත්මක සාහිත්‍යයික සෙල්ලම් දමන්නේ සාමාන්‍ය පාඨකයාටද අල්ලන සෙල්ලම් කළ හැකි මට්ටමකිනි. සාහිත්‍ය පඨිතයක් අප මුලින් කියූ චීන ගසක් වන්නේ භාෂාත්මක අමුද්‍රව්‍ය අරපිරිමැස්මෙන් හා සටකපටකමින් යුතුව සංයෝජනය කරමින් සාහිත්‍යයික ලාලසාව වඩවනා, වර්ණයත්, අසමාන නිමවුමත් විය යුතුය. හෘදයත් බුද්ධියත් එකවිට කලම්බන පඨිතමය අවකාශයක් නිර්මාණය කළ විටය. කොටින්ම කියන දෙය හදවතට වදින්නේ කියන ආකාරය මගින් පාඨකයා හොල්ලන විටය. මුලින්ම මෙය කළහැක්කේ ප්‍රබන්ධ කතාවේ පෘෂ්ඨීය වියමනටය. පෘෂ්ඨීය වියමන යනු ප්‍රබන්ධයේ වාග්මය මතුපිටටයැ'යි සරලව සිතමු. එවිට අමරකීර්තිගේ කුරුලු හදවත පාඨකයා ආකර්ෂණය කරගන්නා සරල මෙන්ම රූපකාත්මක බසකි. පෘෂ්ඨීය වියමන මෙසේ විය යුතුයැ'යි ඒකමිතියක් නැත. උදාහරණයක් ලෙස මංජුල වෙඩිවර්ධනගේ ‘මගේ ආදරණීය යක්ෂණී‘ පෘෂ්ඨීය වියමන සහ අර්ථකාරක ගුණයෙන්ද සෑහෙන සංදිග්ධතා පෙන්වන්නකි. එහෙත් එය විශිෂ්ට නවකතාවකි. අමරකීර්තිගේ නවකතාව ඉක්මනින් කියවා සෙමෙන් යළි කියවිය යුතු නවකතාවක් වන අතර වෙඩිවර්ධනගේ නවකතාව මුලසිටම සෙමෙන් කියවිය යුත්තකි. නිශ්ශංක විජේමාන්නගේ 'තාරා මගේ දෙව්දුව' ව්‍යුහ සංරචනය අතින් මේ නවකතා දෙකට මැද තැනක පිහිටයි. එහෙත් මේ නවකතා තුනම අඩු වැඩි වශයෙන් එකම තේමාත්මක මාන වෙත ඉලක්කයට වෙඩි තබයි. සිංහල ප්‍රබන්ධ කතාවේ ව්‍යුහ සංරචනයේ මේ විවිධත්ව විසිතුරුබව එකම වසරක කලවං වීම සිංහල නවකතාවේ විශිෂ්ටත්වය ගැන බලාපොරොත්තු ලියලන්නකි. මේ රචනයේ අවසාන වශයෙන් මා කියන්නේ රෝසමල් ලස්සනට පෙයාර්ස් ඵලද එකවිට හැදෙන ගසක් නිර්මාණය කළ චීනුන් මෙන් සාහිත්‍යකරුවා තම ප්‍රබන්ධය නිර්මාණාත්මක ව්‍යුහ සංරචනයෙන්ද තේමාත්මක මැදිහත්වීමද අන්තර් සම්බන්ධයෙන් පාඨකයා හොල්ලන්නට අවුස්සන්න්ට කලම්බන්නට සමත් විය යුතුය. ටක්කෙටම කුරුලු හදවත එවැනි ගසකි. නීට්ෂියානු අර්ථයෙන් අර චීන ගස් රූපකමය මිනිස් වගාව ගැන සිතන්නට මෙවැනි සාහිත්‍ය කෘති නොනින්දෙන් කියවන පාඨකයන් අත වගා කළ යුතුය.

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails