Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



(විචාරයක් නොවේ. නිදහස් අදහස් දැක්වීමකි.) රාජිත දිසානායක වේදිකාවට ගෙන ආ නවතම නාට්‍ය නිර්මාණය වන "ආදර වස්තුව" මංගල දර්ශනයත් සමඟ දින තුනක් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ රංගගත කරද්දි දෙවන හා තුන්වන දවස් වල මා නාට්‍යය නරඹන්නට ගියා.

දැනට ලංකාවේ වාසය නොකරන මගේ වාර්ෂික නිවාඩුව සමඟ "ආදර වස්තුව" රංගගත කරන දිනයන් සම්පාතවීම ගැන මා සතුටට පත් වන්නේ ඉතා විශිෂ්ට රංග කාර්යයක් නැරඹීමේ සාක්ෂි කරුවකු වීමට මා ලද අවස්ථාව හේතුවෙන්. වෙනදා රාජිතගේ නාට්‍යවල භූමිකා නිරූපණය කරන ජයනිලා, ධර්මප්‍රියලා, ගිහාන්ලා ටිකට් කඩමින් ආසන පනවමින් ප්‍රේක්ෂකාගාරයේ රැදී සිටීමෙන් ලයනල් වෙන්ඩ්ට් රඟහලට ඇතුළු වෙද්දීම ඇති වුණේ පහන් හැඟීමක්.

"ආදර වස්තුව" රංගගත වූ පැය එකහමාරක කාලය ගෙවී යනු මට දැනුණේ නැහැ. නාට්‍යය නරඹා හමාර වූ පසු මා වේදිකාවට ගොඩ වුණේ බොහෝ දුරට පරිසමාප්ත නාට්‍යයක් අපිට දායාද කළ රාජිතටත් උසස් රංගනයක යෙදුණු ශ්‍යාම් ප්‍රනාන්දු හා ගිහාන් චිකේරාටත් සුබ පතන්නටයි.

ශ්‍යාම් රඟපෑවේ උපදේශක තනතුරක් ලබාගෙන සිය ජීවිතයේ සුඛිත මුදිත ඉමක් ස්පර්ශ කරන විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ භූමිකාවයි. ආචාර්යවරයෙකු ලෙස විශ්වවිද්‍යාලයේ කටයුතු කරමින් ශිෂ්‍යාවන් ප්‍රේම දැලේ දමාගැනීමේ සමතෙකු වූ මොහු කිසිදු නිශ්චිත වගකීමකින් තොර ආණ්ඩුවේ උපදේශන රාජකාරියට හා ඒ ආශ්‍රිත අනෙකුත් භාවිතයන්ට කොතරම් ඇම්බැහි වී සිටින්නේද යත් සිය දියණියගේ පාසල් විවිධ ප්‍රසංගය නරඹන්නට යන්නටවත් විරාමයක් ලබන්නේ නැහැ. ඔහුම පවසන පරිදි මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම යුතුකම මගහැරී තිබෙන අතර මෙවර සේම ඒ හැම වතාවකදීම ඔහු දියණියගේ ගායනයට සවන් දෙන්නේ බිරිඳගේ දුරකථනය මගිනුයි.

වේදිකාවේදී මට ධම්ම දිසානායක මුණ ගැසුණේ බොහෝ කලකට පස්සේ. අනූවේ දශකයේ අග භාගයේදී මා ලියූ "ඝාතනයට පෙර" නව කතාව එළි දැක්වුණු මොහොතේ දේශනයක් කළ ධම්ම දිසානායක ඊට පසු අවස්ථා කිහිපයකදීම හමු වී තිබුණත් ඔහු එක්ස් කණ්ඩායමෙන් ඉවත් වී සරසවි ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරමින්ම වර්තමාන ආණ්ඩුවේ නිලතල ලබාගත් පසු මට ඔහුව හමු වූ පළමු අවස්ථාවයි මේ.

"මට නං නාට්‍යය හරිම බෝරින්. හරිම අමාරුවෙන් බලාගෙන හිටියේ. අන්තිම විනාඩි දහයෙ විතරයි ගන්න දෙයක් තිබුණේ. හරියට ‘ප්‍රවීනා’ බැලුවා වගෙයි." ධම්ම කියාගෙන ගියා. මා තුෂ්ණිම්භූත වුණේ මොහොතකට පෙර මා හා බුද්ධිමය සංවාදයක යෙදුණ "ආදර වස්තුව" නාට්‍යය ධම්ම දැකල තිබුණේ එහෙම්ම පිටින්ම කණපිට ගහල නිසා.

එයට හේතුව ක්ෂණයකින්ම මගේ හිතට දැනුණා පමණක් නොවෙයි මම එය එතනදීම ධම්මට කිව්වා.

"ධම්ම.... මම නම් මේ නාට්‍යය ගොඩාක් අගය කරනවා. මට තව හිතන්න ගොඩාක් දේ තියෙනවා."

"මොනවද මචං....... ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඉන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රාජිත දන්නේ මාව විතරනේ. ඒ හින්දා රාජිත ඒ කෝණෙන් තමයි සේරම දකින්නේ. ඒක වැරදියි." ධම්මගේ මල්ලෙන් බළලා එළියට පැන්නා.

"ධම්ම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. උඹට වුණ දේ මට තේරෙනවා. උඹට තමන්වම මේ ස්ටේජ් එකේදි පේන්න ගන්නැති. ඒකයි අවුල." මං කිව්වා.

"උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ... උඹ දන්නෙ නෑ අපි ආණ්ඩුව ඇතුළේ ඉඳං කොයි තරම් විවේචන කරනවද කියලා" ධම්ම කිව්වේ හරිම දුක හිතෙන විදියට. එහෙම ස්වරයකින්.

"මං නම් ඇත්තටම දන්නෙ නෑ. මං මේ රටෙත් නෙමෙයිනේ ඉන්නෙ. මං දන්නෙ උඹල විශ්වවිද්‍යාල ආචාර්යකමේ ඉදගෙන ආණ්ඩුවේ වරප්‍රසාද ගන්න බව විතරයි." මං උත්තර දෙනකොට ධම්ම වේදිකාවෙන් බැහැල ඈතට යමින් හිටියා.

"ආදර වස්තුව" ගැන පත්තරයකට ලියන්න ඕන කියලා මං හිතා ගත්තේ ඒ වෙලාවෙමයි. "මේ නාට්‍යය බලන් ඉන්න බැහැ. හරිම බෝරින්" කියල ධම්මල පතුරන ප්‍රවාදෙට උත්තරයක් විදියට.

මං හිතන්නේ ධම්මට දැනෙන්න ඇති තමන්ව වේදිකාවට නංවලා රෙදි ගලවල දානව වගෙ. ඒත් මට නම් නාට්‍යය නරඹද්දී ධම්මලව පෙනුණේ නැහැ. මට පෙනුණෙ ආණ්ඩුවේ පාලකයන්ගෙ රෙදි ගැලවෙනවා වගෙයි.

රාජිත ඒ තරම්ම සියුම් විදියට පවතින රාජ්‍ය තන්ත්‍රය ප්‍රශ්න කරනවා. මතුපිටින් දිවෙන ආදර වස්තුව පිටුපසින් තියෙන්නෙ පාලකයන්ගෙ ක්‍රෑරත්වයයි. හරිනම් “ආදර වස්තුව” තහනම් කරන්න ඕනේ. “අක්ෂරය”, “ඉගිළෙන මාළුවෝ” වගේ තිරයක් මත පතිත වූ මායා රූප වලට මෙන්ම තිරයෙන් නැගුණු හඬට බය වුණු පාලකයෝ සජීවි වේදිකාව මත තමන්ගේ රෙදි ගලවද්දි බය වෙන්නෙ නැත්තේ ඇයි? “ආදර වස්තුව” ගෙන එමින් රාජිත කරන්නේ අතුරේ යනවා වගේ භයානක වැඩක්.

හැබැයි ඒ අතින් රාජිත දිසානායක හරිම දක්ෂයි, උපායශීලීයි, සූක්ෂමයි. ඔහු දන්නවා කලාවේ අධිපතිවාදි ගහලයන්ගේ කනෙන් රිංගන්න. “බකමූණා වීදි බසියි” නාට්‍යයෙනුත් රාජිත මේ හපන්කම යම් තරමින් කළා. මෙවර වැඩේ නියමෙට අල්ලගෙන තියෙනවා.

වාරණ මණ්ඩලයේ ඉන්න අයට එක්කෝ මේ නාට්‍යය තේරෙන්නේ නැහැ. (හැබැයි දැන් ධම්මටලට පුළුවන් මේක තේරුම් කරල දෙන්න) නැත්නම් නොතේරුණා වගේ ඉන්නවා පාලකයන්ට මේක තේරෙන්නේ නැති බව දන්න නිසා.

රාජිතත් පත්තරවල සම්මුඛ සාකච්ඡාවලදී කොළේ වහල ගහනවා. ආදර සබඳතා බිඳ වැටුණාට පසු සහ දේශපාලන සබඳතා බිඳ වැටුණාට පසු මිනිසුන්ගේ හැසිරීම් නැත්නම් මේ අවස්ථා දෙකේදීම මිනිසුන්ගේ හැසිරීම් එකක්මද නැත්නම් ඊට වෙනස්ද යන කාරණය ගැන මෙම නාට්‍යයේදී තමන් වැඩි ආධානය යොමු කරන බවයි රාජිත කියන්නේ. ඇත්ත, මතුපිටින් පෙනෙන සිද්ධි මාලාව එහෙම තමයි. සීනි තවරලා හැදුව ටොෆිය ඇතුලේ තියෙන වස විෂ ගැන නොකියන්න රාජිත පරිස්සම් වෙනවා.

මේක තමයි දක්ෂකම. හඳගමල, විමුක්තිල, සංජීවල ඇන ගනිද්දී රාජිත ගොඩ යන්නේ ඔහු ඇණය ගහන්න ඕන විදියත් ආකාරයත් හොඳින් අවබෝධ කරගෙන ඉන්න නිසා කියලයි මම හිතන්නේ. ඒ හින්දා තමන්ගේ පාලනයේ තියෙන අමානුෂික ක්‍රෑර, ජඩ බව පෙන්වා දෙන “ආදර වස්තුව” නාට්‍යයට පාලකයන් මේ වසරේ හොඳම නාට්‍යයට හිමි සම්මානය දෙනව සිකුරුයි.

ඇත්තටම මේ නාට්‍යය තරම් උසස් මට්ටමේ රසවින්ඳනයකින් යුතු මුල සිට අග දක්වා ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගන්නා වෙනත් නාට්‍යයක් මේ අවුරුද්දේ රංගගත නොවූවා වෙන්න පුළුවනි. සැබෑ අර්ථයෙන්ම මේ වසරේ උසස්ම නාට්‍යය “ආදර වස්තුව” වනවාට සැකයක් නැහැ. (උදයසිරිගෙ “රඟපෑම් ඉවරයි” එක්ක ගත්තම රාජිතගෙ “ආදර වස්තුව” ගව් ගාණක් ඉදිරියෙන් තියෙන්නෙ....)

නූතන දේශපාලන විඥානයත් දේශපාලකයන්ට ගැතිකම් කරන්නවුන්ගේ හෘද සාක්ෂියත් දැඩි උත්ප්‍රාසයකින් යුතුව ප්‍රශ්න කරන රාජිත ඔවුන්ගේ ආත්මාර්ථකාමී අධිපතිවාදී උද්දච්ච වෘතය වේදිකාව මත දිග හැර දමනවා. (ඉතිං තහනම් නොකර කොහොමද?)

ඔහු ඒ සඳහා චරිත හතරක් යොදා ගන්නවා. ශ්‍යාම් ප්‍රනාන්දු උපරි රංගනයක යෙදෙන නවීන් නම් වූ විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ චරිතය මෙහි මූලිකයි. ඇත්තෙන්ම ශ්‍යාම් නොවන්නට “ආදර වස්තුව” වේදිකා ගතකළ නොහැකි තරම්. ඒ තරමටම ඔහු මේ චරිතය තුළ ජීවත් වෙනවා. ප්‍රතිනිර්මාණය කරනවා.

නවීන්ගෙ ශිෂ්‍යාවක පමණක් නොව අනියම් පෙම්වතියක වූ, මාධවී නැමැති මාධ්‍යකාරියක ලෙස වෙස් වලාගත් ඔත්තුකාරිය මගින් මේ විශ්වවිද්‍යාල ආචාර්යවරයාව නිරුවත් කිරීම රාජිත ආරම්භ කරන්නේ නාට්‍යයයේ මුල් පෙළේදීමයි. ඇය ප්‍රශ්න කරන වාරයක් පාසා නවීන්ගෙ හෘද සාක්ෂිය අප ඉදිරියේ නිරාවරණය වන්නේ මේ විශ්වවිද්‍යාල ආචාර්යවරයා කොතරම් නිහීන, පුස් හා හිස් චරිතයක්ද කියා විධාරණය කරමිනුයි.

මේ සැබවින්ම අද දවසේ බොහෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හෘද සාක්ෂියයි. දශක ගණනාවකට පෙර විශ්වවිද්‍යාල වල සිටි අතිමහත් ඥානසම්භාරයකට හිමිකම් කියූ විද්වත්, ප්‍රතාපවත් සරසවි ඇඳුරා අද දක්නට නැහැ. ටියුෂන් කරමින් එන්ජීඕ වලට කඹුරමින් පවතින ආණ්ඩුවට කඩේ යමින් මතු නොව පක්කලිකම් කරමින් දිවි ගෙවන විශ්වවිද්‍යාල ආචාර්යවරයා සිය සිසුවියන් ලිංගික දඩයමේ යෙදෙනු ද සුලබව දකින්නට පුළුවන්.

සරසවි සිසු අරගල අරබයාද ඔවුන් තුළ ඇත්තේ දෙබෙඩි පිළිවෙතක්. වෛරී ස්වරූපයක්. සියලුම ශිෂ්‍ය සටන් සාධාරණ ඒවා නොවූවද අනුමත කළ හැකි ඒවා නොවූවද ශිෂ්‍යයන්ගේ අභිලාෂ තේරුම් ගන්නට විශ්වවිද්‍යාල ආචාර්යවරයා සූදානම් නැහැ. ඔහු වැටුප් ගන්නේ ආණ්ඩුවෙන් නිසාදෝ ඔහු සේවය කරන්නේද ආණ්ඩුවටමයි. කත් අදින්නෙත් දේශපාලයන්ට හා ඔවුන්ගේ ඇම්බැට්ටයන්ටමයි. රාජිත මේ තත්ත්වය අගේට ප්‍රශ්න කරනවා.

මාධවීගේ චරිතය රඟන නදීෂානී පේලිආරච්චිගේ රංගනය “ආදර වස්තුව” පෙළ හා ඒකාත්මික වන්නේ නැහැ. ඇයගේ රංගන පරාසය නාට්‍යයේ පෙළට පිටතින් එල්ලා තැබූ ලෙසෙනුයි හැඟෙන්නේ. ඇය නාට්‍යයේ පෙළ හා බද්ධ වනවා වගේම ඉන් ද්වනිත වන අර්ථ හා අනුරූප විය යුතුයි. ජයනි සේනානායක, මාධනී මල්වත්ත වැනි රංග භූමිය සිය ආධිපත්‍යයට හසුකර ගන්නා රංග ශිල්පිණියකගේ මට්ටමට නිදීෂානි තවම පත් වී නොසිටීම රාජිතට අවාසියක් වෙනවා.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ලෙස රඟන නලින් ලුසේනාගෙන් අපට දැක ගත හැක්කේ ඊටත් වඩා දුර්වල රංගනයක්. අධානග්‍රාහී, හිතුවක්කාර, දෙබෙඩි විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයාගේ චරිතය අපෙන් දුරස් වන්නේ නලින් හුදු රූකඩයක් ලෙස විටින් විට වේදිකාවට පැමිණ පිටත්ව යන නිසා බවයි මට හැඟෙන්නේ. ජගත් මනුවර්ණ වැනි අද දවසේ වේදිකාව අතික්‍රමණය කරන තරුණ රංගනවේදියෙකු මේ චරිතය නිරූපණය කරා නම් මීට වඩා බෙහෙවින් ප්‍රේක්ෂයා හා බද්ධවන රංගනයක් ඉදිරිපත් කරනු නිරනුමානයි.

ශ්‍යාම් ප්‍රනාන්දු හැරුණු කොට “ආදර වස්තුව” නාට්‍යයට පණ පිහිටුවන අනෙක් රංගන ශිල්පියා වන්නේ ගිහාන් චිකේරායි. විද්‍යුත් නාලිකා හිමිකරුවෙකු වන ආණ්ඩුව වෙනස් කිරීමේ ව්‍යාපෘතියකට අත ගසා සිටින ලුම්පන් ධනපති ව්‍යාපාරිකයකුගේ චරිතයට පණ පොවන ගිහාන් චිකේරා ඉතා සූක්ෂම රංගනයක නියැලෙන බව ඔහුට ගෞරවයක් ලෙස සටහන් කළ යුතුයි. වේදිකා රංගභූමියේ සිව්කොණ සිය ආධිපත්‍යයට නතු කර ගනිමින් වඩාත් සරල එහෙත් ගාම්භීර රංගනයක යෙදීමට ඔහු දක්වන ශක්‍යතාව “ආදර වස්තුව”ට ආලෝකයක්.

ආදර සම්බන්ධතා හමාර වූ පසු පෙම්වතුන් හා පෙම්වතියන් එකි නෙකාට වෛර කරන ප්‍රතිවිරුද්ධ අන්තයන්හි සිටින සටන්කාමීන් වනවා සේම දේශපාලන පක්ෂයකින් බිඳී ගිය පසු එරෙහිව අවි ඔසවා ගැනීමද අද සමාජයේ දකින්නට හැකි සුලබ කරුණක්. මෙහිදී මිනිසුන් කටයුතු කරන ස්වභාවය පිළිබඳ පූර්ණ නිගමන දිය නොහැකියි.

මේ ගැන දෘශ්‍යමාන තලයේ කතා කරන රාජිත “ආදර වස්තුව” නාට්‍යය මගින් ඊට වඩා බෙහෙවින් ගැඹුරු දේශපාලන යටි පෙළක් සොයා යනවා. කුණු වී ඕජස් ගලන මේ සමාජ දේහය තුළ දේශපාලනය යනු භයංකාර, රුදුරු, මිනීමරු සංසිද්ධියක් බව රාජිත දිසානායක අපට සිහපත් කොට දෙනවා. විශේෂයෙන් පවත්නා පාලන තන්ත්‍රය බුද්ධිමතුන්, විද්වතුන්, කලාකරුවන්, මාධ්‍ය හිමිකරුවන් යනාදි සියලු බලවේග සිය ග්‍රහණයට හසුකර ගනිමින් ඉතා වේගවත් එහෙත් සමාජ විරෝධී ගමනක යෙදෙන බව අපට ඉඟි කරනවා. මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරයා හුදු සංකේතයක් පමණයි. එක් හෝ වෙනත් ආකාරයකට සියලුම කඩේ යන්නන්ට අත්වන්නේ මේ ඉරණමයි.

“ආදර වස්තුව” නාට්‍යය අගය කරන අතරම එහා මා දකින දුර්වලතා කිහිපයක්ද සටහන් කළ යුතුයි.

මේසය මත මාධවී අසලම බීම බෝතලයක් තබා තිබියදී ඇයට ශිතකරණයෙන් බීම බෝතලයක් ගෙන පානය කරන්නැයි නවීන් ආරාධනා කිරීම උචිත නැහැ. එය පිටපතේ වූ දුර්වලතාවක් ලෙසයි මා වටහා ගන්නේ.

එසේම ඇමතිවරයා හමුවීමට පහළට යන නවීන් මෙන්ම සුරේෂ්ද ඇමැතිවරයාගේ කාමරයේදී හෝ ඒ වටපිටාවේදී හමු නොවූ බව අර්ථ ගැන්වීම අතිශයින් අභව්‍යයයි. දෙවතාවකට වේදිකාවෙන් පිටව ගොස් දෙවතාවකදී වේදිකාවට සම්ප්‍රාප්ත වන මේ චරිත ද්වය ඇමතිවරයා නැමැති බල අධිකාරය අභිමුඛ වූයේ නම් ඔවුන් දෙදෙනා මුණ නොගැසෙන්නට කිසිදු හේතුවක් නැහැ.

එසේම වේදිකා පසුතල නිර්මාණයේදීද මීට වඩා නව තාක්ෂණය උපයෝගී කොට ගතයුතු යැයි මා සිතනවා. උදාහරණයක් ලෙස මාධවීට සැඟවෙන්නට පොත් රාක්කය ඈත් මෑත් කරන ආකාරයේ කිසියම් කෘත්‍රිම බවක් හැඟෙනවා. ඊට වඩා වෙනත් උපක්‍රමයක් යොදා ගත්තා නම් සුදුසුයි.

“ආදර වස්තුව” යනු එහි අධ්‍යක්ෂවරයා මාධ්‍යවලට පවසන ආකාරයේ සරල සාමාන්‍යකරණය වූ ආදර හා දේශපාලන සම්බන්ධතා වලින් එහා ගියා ගැඹුරක් හා යටි පෙළක් සහිත ප්‍රතිභාපූර්ණ නිර්මාණයක් ලෙස හඳුන්වා දීමට මා කැමතියි. රාජිත මේ බව සඟවන්නේ නාට්‍යය වාරණය කරාවියැයි යන බිය නිසා විය යුතුයි. ඇත්ත, අද දවසේ ලාංකික කලාවේ යථාර්ථය එයයි.

ආණ්ඩුවට කඩේ යන තනතුරු වරප්‍රදාන ලබන විද්වතුන්, කලාකරුවන් වැනි අන්තේවාසිකයන් වාරණයට විරුද්ධ වන්නේ නැහැ. ඔවුන් තම තමන්ගේ සංතුෂ්ටිය වෙනුවෙන් අනෙකා පාවා දී යෙහෙන් වැජඹෙනවා.

මේ ඔත්තුව ඔවුන්ටයි. මෙන්න උඹලා කඩේ යන්නට පෙර උඹලාගේ රැහේ හිටපු එකෙක් උඹලාගේ රෙදි ගලවලා.

(ඡායාරූපය life.dailymirror.lk වෙබ් අඩවියෙනි.)

හෙන්රි වර්ණකුලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails