Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කවියෙක් වෙන්න හිතුණෙ ඇයි?

දැඩි තදබදයක සහ හුදෙකලාවක ජීවත් වෙන්න අපට බලකරන මේ ක්‍රමය ඇතුළෙ ජීවත් වෙද්දි නිර්මාණය වෙන රස්තියාදුව ඕනම කෙනෙක්ට පොදුවෙ අත්විඳින්න සිද්ධ වෙන දෙයක්. සමහරු ඒ රස්තියාදුව ඉවර කරගන්න නොයෙක් දේ කරනවා. ඉතින් මටත් ඕන වුණා ඒ තදබදය සහ හුදෙකලාව ඇතුළෙ නිර්මාණය වුණු රස්තියාදුව සටහන් කරන්න. ඒ සඳහා සුදුසු මාධ්‍යයක් විදියට මට මුණගැහෙන්නෙ 'කවිය' සහ 'කෙටි චිත්‍රපටි' දෙක. ඉතින් ඒ හරහා මම අර රස්තියාදුව සටහන් කරන්න පටන් ගන්නවා. එහෙම සටහන් වුණු අත්දැකීම් ටිකක් තමයි 'හැටේවත්තේ මග්දලේනා' විදියට එළි දකින්නෙ. මෙතනදි මට අවශ්‍ය වුණේ නැහැ කවියෙක් වෙන්න හෝ වෙනයම් ආකාරයක නිර්මාණකරුවෙක් විදියට නමක් හදාගන්න. අර තදබදය, රස්තියාදුව සහ හුදෙකලාව විසින් මා තුළ නිර්මාණය කරල තිබුණු පීඩනයෙන් නිදහස් වීම විතරයි මට වැදගත් වුණේ. මුලින්ම ඒ පීඩනය අන්තර්ජාලය ඇතුළෙ මම මුදාහරිනවා, කවි විදියට. ඒත් ඒ කවි වැඩිපුරම ගැලපෙන්නෙ අන්තර්ජාලයට නෙමෙයි, මුද්‍රිත මාධ්‍යයකට කියල මට හිතුණු නිසා, 'හැටේ වත්තේ මග්දලේනා' නමින් පොතක් එළියට එනවා.

මාතෘකා තෝරාගැනීමේදී භාවිතා කළ ක්‍රමවේදයක් තියෙනවද?

විශේෂ ක්‍රමවේදයක් පාවිච්චි කළේ නැහැ. මේ පොතේ එන හැම නිර්මාණයකම වගේ වස්තුබීජය මගේ ජීවිතයට සම්බන්ධයි. කොහෙන් හරි ඒ හැම කවියක්ම මගේ ජීවිතයට ගැටගැහුණු අත්දැකීමක්. හැබැයි පොතේ ඉඩකඩ එක්කත් සටනක් කරන්න සිද්ධ වුණු නිසා මට සිද්ධ වුණා ඒ අත්දැකීම් අතරින් තෝරා ගත්ත කීපයකට විතරක් 'හැටේවත්තේ මග්දලේනා' ඇතුළෙ අවස්ථාව ලබා දෙන්න. එතනදි වඩාත් ප්‍රබලව මට දැනුණු දේවල් වලට වැඩි ප්‍රමුඛත්වයක් දෙන්න සිද්ධ වුණා. මට කියන්න ඕන වුණු දේ කොයි තරම් සාර්ථකව සංනිවේදනය කරනවද කියන කාරණය සහ එකකට එකක් වෙනස් තේමාවන් වීම කියන කාරණා ගැන සලකලා බැලුවා මිසක් වෙන විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කළේ නෑ.

කවි කියවන පිරිස සීමිත වුණත් කවි පොත් බහුලව එළිදැක්වෙනවා. ඒ කා වෙනුවෙන්ද?

ඇත්තටම මේ වගේ මොහොතක කවි පොතක් මුද්‍රණය කිරීම කියන්නෙම සියදිවි හානි කරගැනීමක් වගේ දෙයක්. ලියපු කවි පොත් ටිකත් බෑග් එකක එල්ලගෙන තෙල් බෙහෙත් වෙළඳාමේ යන වෙළෙන්දෙක් වගේ පොත් කඩවල් ගාණෙ යද්දි නිතරම තේරුම් යන ඇත්තක් ඒක. කවි පොත් බහුලව එළිදැක්වීම වගේම කවිය ඇසුරු කරන පිරිස රටේ ජනගහනයට සාපේක්ෂව බොහොම පුංචි ප්‍රතිශතයක් වීම කියන කාරණාත් එක්ක අරගෙන බලද්දි ඔබ ඔය කියන කාරණයෙ යම් ඇත්තක් නැතුවත් නෙමෙයි. ඒත් එහෙම තත්වයක වුණත් ලිවීම නතර කරන්න සාහිත්‍යකරුවාට අයිතියක් නැහැ. ඔහු අනාගතයට වගකිව යුතුයි, වර්තමානය සටහන් කර තැබීම පිළිබඳව. ඒ වගකීමෙන් සහ යුතුකමෙන් මිදෙන්න බැහැ සාහිත්‍යකරුවාට. වර්තමානය කොයි තරම් කටුක වුණත් අත් නොහැරිය යුතු වගකීමක් ඒක.

ඔබ අහපු ප්‍රශ්නෙට අදාළව තව පැත්තක් තියෙනවා. ඒ තමයි එහෙම බිහිවෙන හැම කවි පොතක්ම සාර්ථක 'කවි' පොතක්ද කියන කාරණය. මම මහා කවියෙක් නො වුණත්, මට එහෙම දෙයක් දැනෙනවා. අනික, කවි ලියන්න කලින් කරන්න ඕන වැදගත්ම දෙයක් තමයි, කවි කියවන්න ඕන. ඉතින් කවි නොකියවන සමාජයක කොහොමද 'කවි' පොත් බහුලව එළිදැක්වෙන්නෙ. ඒ නිසා කවිපොත් බහුලව එළිදැක්වෙනවා කියන කාරණය පිළිගන්න මම ඒ තරම් කැමැත්තක් නැහැ. ඒත් ඔබ එහෙම කියනවනම් ඒ ඔබේ අදහස. ඔබට නිදහස තියෙනවා එහෙම අදහසක් දරන්න.

කියවීමෙන් ලද දේ සහ අත්දැකීම් සංකලනය කරන්නෙ කොයි විදියටද?

අත්දැකීම කියන දේ කවියට විතරක් නෙවෙයි, ඕනම කලා මාධ්‍යයකට පොදුවේ වැදගත් වෙන දෙයක්. ජීවිතයේ පහුකරගෙන යන කාලවකවානු, මුණගැහෙන මිනිස්සු - ගැහැණු, සිදුවීම්... මේ හැම දෙයක් විසින්ම අපට අත්දැකීම් ඉතුරු කරනවා.

'හැටේ වත්තේ මග්දලේනා' කවි පොතේ තියෙන්නෙත් ඒ විදියෙ අත්දැකීම් පොකුරක්. කාලයක් තිස්සෙ අහපු- දැකපු, විඳපු සහ විඳවපු ඒ සමහර අත්දැකීම් පුද්ගලිකව මගේ ජීවිතයට සම්බන්ධයි. කෙළින්ම සම්බන්ධ නොවුණත් මේ පොතේ එන හැම කවියකම තියෙන්නෙ මගේ ජීවිතේට කොහෙන් හරි කොණකින් ගැටගැහුණු අත්දැකීමක්. කවි ලියනවට වඩා මට වැදගත් වුණේ සහ ඕන වුණේ අන්න ඒ අත්දැකීම් සටහන් කරල තියන්නයි.

කියවීමෙන් ලද දේවල් කියල ඔබ අදහස් කරන්නෙ පුවත්පත් වගේ ජනමාධ්‍ය ඇසුරෙන් සහ පත පොතින් ලැබෙන තොරතුරු සහ අත්දැකීම් ගැන නම්, මට ඒකට දෙන්න තියෙන්නෙ මේ විදියෙ උත්තරයක්. නිර්මාණයක් කරද්දි මම විශ්වාස කරන විදියට, ඒ නිර්මාණය ඒක කරන කෙනාට දැනෙන්න ඕන. ආරම්භයේ ඉඳල අවසාන වෙනකල්ම ඒ දේ නොදැනුණොත් මට මගේ ඒ නිර්මාණය ඇතුළෙ සෑහීමකට පත් වෙන්න බැහැ. ඉතිං අත්දැකීම් ලැබෙන මාධ්‍යය මොකක් වුණත් මටනම් වඩාත් වැදගත් වෙන්නෙ ඒ අත්දැකීම මට කොයි තරම් දැනෙනවද සහ ඒ ඇසුරෙන් කරන නිර්මාණයකට කොයිතරම් අවංක වෙන්න මට පුලුවන්ද කියන කාරණය විතරයි. ඉතින් ඔබ කියපු විදියෙ සංකලනයක් මේ නිර්මාණවල තියෙනවනම්, ඒක හිතල මතල කරපු දෙයක් නෙමෙයි. මම කළේ මට අවංක වෙන්න පුලුවන් උපරිමය දක්වා මේ හැම නිර්මාණයකටම අවංක වීම විතරයි.

කවියෙක් කොයිතරම් අධ්‍යයනයක නිරත විය යුතුද? ඔබ ඒ විදියෙ අධ්‍යයනයක ඉන්නවද?

කවිය හෝ වෙනත් ඕනම නිර්මාණ ක්ෂේත්‍රයක නියැළෙන කෙනෙකුට අධ්‍යයනය සහ අභ්‍යාසය කියන කාරණා දෙක මගහැරල යන්න පුලුවන් කමක් නැහැ. කවුරු වුණත් තමුන් වැඩකරන ක්ෂේත්‍රය ඇතුළෙ නිතරම හොඳ අධ්‍යයනයක, කියවීමක ඉන්න එක අනිවාර්ය දෙයක් සාර්ථක නිර්මාණයක් බිහි කිරීමේදී.

හැබැයි මෙහෙම කාරණයකුත් මම දකිනවා. ඒ අධ්‍යයනය පොතපතට විතරක්ම සීමා වුණු දෙයක් නොවී, එතනින් එහා පුළුල් - ගැඹුරු අධ්‍යයනයක් වෙන තරමට ඒ ඇසුරින් කරන නිර්මාණ වඩාත් සාර්ථක වෙයි. අපට කලින් පරම්පරාවල සහ, මම නියෝජනය කරන පරම්පරාවේත් සමහර වෙලාවට අපට මුණගැහෙනවා ඒ විදියෙ පතපොතට විතරක් සීමා වුණු අධ්‍යයනයන් තියෙන චරිත. එයාල එක්ක වැඩ කරද්දි සමහර වෙලාවට හිතෙනවා, එයාල කොයි තරම් පරණ වෙලාද කියලත්. මම විශ්වාස කරන විදියට මේ ගමන ඒ විදියට යන්න පුලුවන් එකක් නෙමෙයි. පොතපතින් ලැබෙන දැනුම වගේම සමාජය එක්ක ගැටිලා - හැපිලා, රස්තියාදු ගහලා ලබන්න පුලුවන් දැනුමත් අති විශාලයි. ඒ රස්තියාදුව 'කවිය' කියන කලාපය ඇතුළෙ කවදාවත් අවතක්සේරු කරන්න බැහැ.

පුද්ගලිකව මමත් නිරන්තර අධ්‍යයනයක ඉන්නවා. එදිනෙදා යනඑන, කරන කියන දේවල් ඇතුළෙම මගේ ඒ අධ්‍යයනයත් සිද්ධ වෙනවා. හැබැයි ඒක පොතපතට විතරක් සීමාවුණා නම්, අද මේ විදියට ඔබත් එක්ක කතා කරන්න 'හැටේවත්තේ මග්දලේනා' නමින් පොතක් ලියවෙන්නෙ නැහැ.



ඔබ විසින් යම්කිසි ශෛලියක් අනුගමනය කරනවද?

ලිවීමේදී එකම ශෛලියකට අනුගත වෙලා, එකම රටාවකට හුරු වෙලා ලියන පුරුද්දක් මට නැහැ. ගොඩක් වෙලාවට මගේ ලේඛන ශෛලිය තීරණය කරන්නෙ අදාල නිර්මාණය විසින්මයි. ඒ නිර්මාණයට වඩාත් සුදුසු ශෛලිය අදාළ නිර්මාණය විසින්ම ඉල්ලනවා. ඉතින් මම කරන්නෙ ඒ ඉල්ලා සිටින ශෛලිය ඇතුළෙ නිර්මාණය ගොඩනැගීම මිසක්, මට අවශ්‍ය ශෛලියකට බලෙන් කතා තේමාවක් එබ්බවීම නෙමෙයි. මම හිතන්නෙ නැහැ එහෙම ශෛලියක් අනුගමනය කරන එක නිදහස් කවියෙකුට ඒ තරම් ගුණදායක දෙයක් බව. ඊට හේතුව තමයි, එහෙම කරද්දි තමුන්ටත් නොදැනීම තමුන්ට කියන්න අවශ්‍ය දේ යටපත් වෙලා, ලේඛන ශෛලිය විතරක් ඉස්මතු වෙන්න තියෙන අවදානම. අපි නිකමට හිතමු සේකරගෙ ප්‍රබුද්ධ වගේ නිර්මාණයක් සිව්පැදි ආකෘතියෙන් ලියන්න ගියා නම් මොකක් වෙයිද? එහෙමත් නැත්නම්, කේයස්ගෙ සුදෝසුදු වගේ නිර්මාණයක් නිදහස් ආරට ලිව්වනම්..? මම හිතන විදියට සුප් කඩේකට මිනිස්සු එන්නෙ සුප් බොන්න මිසක්, බාජනවල ලස්සන බලන්න නෙමෙයි. සුදුසු බාජනයක සුප් එක පිළිගැන්වීම කෝකියාගෙ වගකීම.

කවි පොතක් කළාට පස්සෙ 'පොරක්' කියල හිතනවද?

ඕනම කලාමාධ්‍යයක් ඇතුළෙ නිර්මාණ ශිල්පියෙකුට දෙයාකාරයකින් තමුන්ගෙ මෙහෙවර ඉටු කරන්න පුලුවනි. අදාළ මාධ්‍යය ඇතුළෙ සෞන්දර්යාත්මකව මිනිස්සුන්ගෙ හිත් සුවපත් කිරීම, වින්දනයක් ලබා දීම එක මෙහෙවරක්. විකල්ප ඉතිහාසයක් සටහන් කරන්න දායක වීමයි අනිත් මෙහෙවර. මට වඩාත් වැදගත් වුණේ අන්න ඒ දෙවෙනි කාරණය. ඒ වෙනුවෙනුයි 'හැටේ වත්තේ මග්දලේනා' බිහිවෙන්නෙ. නිල ඉතිහාසයට පිටින් යන විකල්ප ඉතිහාසයක් සටහන් කරද්දි වඩාත් ප්‍රබල මෙවලමක් තමයි 'කවිය' කියන්නෙ. අනිත් කලා මාධ්‍යයන්ට සාපේක්ෂව කවියෙන් ඇති කරන්න පුලුවන් බලපෑම සහ පෙළඹවීම ප්‍රබලයි. සුවිශේෂයි. ඒකෙ ප්‍රතිඵල ලැබෙන්නෙ ගොඩක් වෙලාවට, වර්තමානයෙදි නොවෙන්න පුලුවන්. ඒත් ඒකෙන් කියවෙන්නෙ නැහැ කවියෙ බලපෑම අඩු බව. මේ මොහොතෙ සිද්ධ වෙන, අත්දකින සහ පහුකරගෙන සිදුවීම්වල වැදගත්කම සමහරවිට අපට දැනෙන්නෙ අඩුවෙන් වෙන්න පුලුවන්. ඒත් මම විශ්වාස කරනවා, ඒ සිදුවීම්වලට අනාගතේ යම් සුවිශේෂී වටිනාකමක් ලැබෙන බව. කවිය සහ අනිත් හැම කලා මාධ්‍යයකින්ම අද ඉටුකරන මෙහෙයට වටිනාකමක් ලැබෙන්නෙ අන්න ඒ මොහොතට අදාළවයි. 'පොරක්' හෝ 'මහා කවියෙක්' කියන ලේබල් එකකට වඩා මට ඕන වුණේ 'මේ මොහොත සටහන් කර තැබීම' කියන මෙහෙවරට මට පුලුවන් තරමින් දායක වෙන්නයි.මම විශ්වාස කරනවා ඒක මගේ යුතුකම සහ වගකීම, නිර්මාණකරුවෙක් විදියට.

කාලයක් ෆේස්බුක් එකේ කවි ලියපු කෙනෙක් විදියට, ඒ මාධ්‍යය සහ වර්තමානයේ එය භාවිත කරන ෆේස්බුක් කවීන් ගැන ඔබේ අදහස කුමක්ද?

මම නියෝජනය කරන පරම්පරාව සහ එයින් මෙපිට, ඒ කියන්නෙ 80 දශකයේ මැද සහ එයින් පසුව ඉපදෙන පරම්පරාව ගොඩක් ඉක්මණින්, ගොඩක් දේවල්වලට නිරාවරණය වුණු සහ ගොඩක් ඉක්මණින් වෙනස්වීම් වලට ලක්වුණු, ඒ වගේම බලහත්කාරයෙන් හිරිවට්ටනු ලැබූ පරම්පරාවක්. 71, 89 කාලවකවානුවලින් පස්සෙ ඉපදෙන ඒ පරම්පරාව තරුණ වයසට එන්නෙ ලොකු හිස්කමක් සහ හිරිවැටීමක් එක්ක. ඉතින් එහෙම පරපුරකට අයිති කෙනෙක් විදියට මටත් ඒ හිස්කමට සහ, ඇහුම්කන් නොදීමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ වටපිටාවක දැනෙන කාලකන්ණිකමට විසඳුමක් හොයාගෙන තමයි ගොඩක් අය ෆේස්බුක්, ට්විටර් වගේ සෝෂල් නෙට්වර්ක් වල ගිණුම් හදාගන්නෙ. මිනිස්සු ඉන්නෙ ලොකු 'ට්‍රැෆික්' එකක හිරවෙලා. ඒ තදබදය ඇතුළෙ අනෙකාව දැනෙන්නෙ නැති වීමේ අවුල ස්වාභාවිකයි. මේ වෙද්දි ඒ හිස්කම වැහෙන්නෙ ගොඩක් වෙලාවට අර සමාජ ජාලවල පිහිටෙන්.

මමත් මුලින්ම අර කියපු අවුලට, හිස්කමට බෙහෙත් හොයාගෙන ෆේස්බුක් පාවිච්චි කරපු කෙනෙක්. ඒත් ටික කාලයක් යද්දි මට මුණගැහෙනවා ඒ නෙට්වර්ක් එක ඇතුළෙත් වෙනම රහක් තියෙන කලාපයක්. ඒකෙදි මට මුණගැහෙනවා කවියො, කෙටිකතාකරුවො, දාර්ශනිකයො වගේ ගොඩක් අය. සමහර ප්‍රවීණයො සහ ප්‍රවීණයො වෙන්න හදන සමහරු තවම පිළිගන්න අදිමදි කළත් 'ෆේස්බුක් කවි' කියන දේ මේ වෙද්දි වෙනම සාහිත්‍යාංගයක් විදියට ලොකු වර්ධනයක් ලබාගෙන තියෙනවා, ගොඩක් පුංචි කාලයකදි.

කලින් පරම්පරාවල නිර්මාණකරුවන්ට තිබුණු විදියෙ බාධකවලට මේ වගේ මාධ්‍යයක් ඇතුළෙ මුහුණ දෙන්න වෙන්නෙ ගොඩක් අඩුවෙන්. ඉස්සර කවියක්, කෙටිකතාවක් පත්තරේක පළවෙනවා කියන්නෙ ගොඩක් අහම්බෙන් ලැබෙන අවස්ථාවක්. ඒත් දැන් මේ වගේ මාධ්‍ය හරහා ඕනම කෙනෙකුට තමුන්ගෙ ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේ අවස්ථාව සහ නිදහස තියෙනවා. ඒක හොඳ දෙයක්. අනිත් කාරණය තමයි, මේ මාධ්‍ය ඇතුළෙ ලැබෙන ක්ෂණික ප්‍රතිචාර. නිර්මාණයක් දාල ඊළඟ මොහොතෙ ඉඳන් ඒ නිර්මාණයට ප්‍රතිචාර ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිර්මාණවල ගුණාත්මක භාවය ගැන ප්‍රශ්න තියෙන්න පුළුවනි. ඒත් වැඩියෙන්ම වැදගත් වෙන්නෙ මිනිස්සුන්ට නිර්මාණ කරන්න එයින් ලැබෙන පෙළඹවීමයි.

කවියෙක්, සාහිත්‍යකරුවෙක් විදියට සිස්ටම් එක තුළ පැවැත්ම තහවුරු කරගන්නෙ කොහොමද? එයට ඇති අපහසුතා මොනවාද?

කවියෙක් හෝ වෙනත් ඕනම මාධ්‍යයක් එක්ක වැඩකරද්දි පවතින සිස්ටම් එක තුළ පැවැත්ම තහවුරු කරගන්න නම් අනිවාර්යයෙන්ම ඒ සිස්ටම් එකට අනුගත වෙන්න සිද්ධ වෙනවා. උඩුගං බලා පීනන ගමන් පැවැත්ම තහවුරු කරගැනීම කියන්නෙ ගොඩක් දුෂ්කර වැඩක්. ඒත් එහෙම සිස්ටම් එකට අනුගත වුණාට පස්සෙ කවියෙක්ට හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක නිරත වුණු කෙනෙක්ට ඒ තුළ තමුන්ගෙ සමාජ වගකීම හරියට ඉටු කරන්න පුලුවන් වෙනවද කියන කාරණය ගැන මට ගැටළුවක් තියෙනවා. මම හිතන්නෙ එතනින් එහාට අවංක නිර්මාණයක් බිහි කිරීම කියන කාරණය වෙනුවට සිද්ධ වෙන්නෙ ආත්ම වංචාවක්. ඉතිං එහෙම තත්ත්වයක් තුළ කවියෙක් විදියට පැවැත්මක් තහවුරු කරගැනීමේ දැඩි වුවමනාවක් මට නැහැ. මම කවි ලියනවා. ඒත් ඒ හරහා මගේ ප්‍රකාශනය සමාජගත කිරීම හැර වෙන අරමුණු මට නැහැ. එහෙම යටි අරමුණු එක්ක මම හිතන්නෙ නැහැ සාර්ථක නිර්මාණයක් කරන්න පුලුවන් කියලා. සිස්ටම් එකට අනුගත වෙලා, ඒ සිස්ටම් එක විසින් කරනු ලබන පාලනයට සහ වාරණයට යටත් ව නිර්මාණයක් කරල ආත්ම වංචනිකයෙක් වෙනවට වැඩිය, ඒ ක්‍රමය ප්‍රශ්න කිරීම ඇතුළෙ මට මගේ නිර්මාණ ගැන තෘප්තිමත් වෙන්න පුලුවන්. මම දුවන්නෙ මගේ සිග්නල් වලට විතරයි. අනිත් අයගෙ ට්‍රැෆික් ලයිට් මම අදාළ කරගන්නෙ නැහැ නිර්මාණයක් කරද්දි. තව කෙනෙක් නවතින තැනක නවතින්න මට ඕන නැහැ. ඒ වගේම අනිත් අය පහුකරගෙන යන තැනක වුණත් මම නවතිනවා මට ඒ තැන ගැන දැනෙනවනම්. මම විශ්වාස කරනවා ඒක තමයි මගේ පැවැත්ම.

කවියෙක් විදියට මේ පවතින සමාජය ගැන හිතන්නෙ කොයි වගේ දෙයක් ද? එහි නිර්මාණ ශිල්පියෙකුට පැවැත්ම සඳහා ආත්ම වංචාවක යෙදෙන්න සිද්ධ වෙනවද?

මේ මොහොත වෙද්දි අපට අපේ ජීවිත ගතකරන්න සිද්ධ වෙලා තියෙන්නෙ දැඩි තදබදයක සහ හුදෙකලාවක. හරියටම කියනවනම්, ගොඩක් කාර්යබහුල වෙලාවක හන්දියක ට්‍රැෆික් එකකට අහුවෙනව වගේ දෙයක්. හැමෝම බලාහිඳින්නො බවට පත් කරලා මේ ක්‍රමය. මිනිස්සුන්ට හිමි වටිනාකම් දවසින් දවසම දිය වෙවී යද්දි, හැමෝම ලොකු පද්ධතියක පුංචි පුංචි කෑලි විතරක් වෙලා. අනෙකාව දැනෙන්නෙ නෑ. ඇහෙන්නෙ නෑ. අපි කරන්න ඕන දේ සහ ඒ දේ කරන්න ඕන විදිය තීරණය කිරීමේ අයිතිය තියෙන්නෙ අපිට නෙමෙයි. මේ සිස්ටම් එකයි ඒ දේවල් තීරණය කරන්නෙ. අපට තියෙන්නෙ ඒ තීරණය කරපු ආකාරයට ඒ දේ කිරීමයි. ප්‍රශ්නකිරීමකට හරි උඩුගංබලා පිහිනීමකට හරි ඉඩක් තියල නැති තරම්.

බස් එකක යන ගමන් මුණගැහෙන අය ගැන කරන්න පුලුවන් පුංචිම පුංචි නිරීක්ෂණයකින් වුණත් අපට පුලුවනි මේ දේ වටහාගන්න. බස් එකේ යන මිනිස්සු දහදෙනෙක්ව නිරීක්ෂණය කළොත් ඔබට දකින්න පුලුවනි ඒ අයගෙන් කී දෙනෙක් තනියම කතා කිරීමට ඇබ්බැහි වෙලාද කියලා. මම දන්නෙ නෑ ඒකෙ විද්‍යාත්මක පසුබිම හෝ ඒක රෝගයක්ද? නැද්ද? කියන දේ ගැන. ඒත් හොඳට බලන්න ඒ කතා කරන අය දිහා. එයාල තනියම දෙයක් කියනවා. එක්කො කාට හරි දෙයක් පැහැදිළි කරනවා. එහෙමත් නැත්නම් කාට හරි බනිනවා. හිනාවෙනවා. ඇයි මේ..? මට දැනෙන විදියට මේක අර තදබදයේ අතුරුඵලයක්. අපි හැමෝම කැමතියි අපට කවුරු හරි ඇහුම්කන් දෙනවා නම්. ඕනම කෙනෙක්ට කියන්න දෙයක් තියෙනවා. ඒත් ඒක අහන්න තව අනෙකාට වෙලාවක් නැති වෙද්දි අපි තනියම කතා කරන්න පටන් ගන්නවා. කතාකිරීමේ, හිතීමේ නිදහස විතරක් නෙමෙයි, ජීවත් වීමේ නිදහස පවා ක්‍රමය විසින් තීරණය කරන මේ මොහොත ඇතුළෙ මට මුණගැහෙන දේවල්, සිදුවීම් සහ පුද්ගලයො ගැන මගේ කියවීමක් තියෙනවා. ඒක දේශපාලනිකයි.

පවතින ක්‍රමය ප්‍රශ්න කරමින් අනිත් පැත්තට පීනන එක ලේසි වැඩක් නෙමෙයි. ගොඩක් කටුක දෙයක්. ඉතිං එහෙම තත්වයක පැවැත්ම වෙනුවෙන් ආත්ම වංචාවක යෙදෙන්න නිර්මාණ ශිල්පියෙකුට සිද්ධ වෙනවනම් ඒකත් අතිශයින්ම ස්වාභාවිකයි. කාලයක් පවතින ක්‍රමය ප්‍රශ්න කරපු, ඒ නිසාම අපේ පරම්පරාවල වීරයො බවට පත්වුණු දැවැන්ත චරිත කීයක් පහුගිය කාලෙ අපේ ඇස් ඉස්සරහම දියවෙලා ගියාද? ප්‍රවීණයො තමුන්ගෙ පැවැත්ම පිණිස ඒ විදියෙ ආත්ම වංචාවල යෙදෙද්දි අපේ සහ අපෙන් පස්සෙ බිහිවුණු පරම්පරාව මුහුණ දෙන ගැටලුවක් තමයි 'පරමාදර්ශ' හිඟ වීම. අද පරමාදර්ශී චරිතයක් හෙට වෙද්දි ආත්ම වංචනිකයෙක් බවට පත්වීම හරිම සුලබ දෙයක් වෙලා. ඒත් පුලුවන් තරම් කල් එහෙම නොවී සිටීමයි වැදගත්.

සෞම්‍යට කවියෙක් වීමේ සුදුසුකම් තිබෙනවද?

කවියෙක් වෙන්න සපුරන්න ඕන සුදුසුකම් මොනවද කියලා ඉදිරිපත් කරන්න පුලුවන් නම් ඔබටම පුලුවනි ඒ හරහා මාව විනිශ්චය කරගන්න. සමහරවිට මේ වෙද්දිත් ඔබ එහෙම විනිශ්චයක් කරලා ඇති. මොකද එහෙම නැත්නම් ඔබ මාත් එක්ක මෙහෙම කතා කරන්න පෙළඹෙන්නෙ නැහැ නෙ.

මම විශ්වාස කරන විදියට, කවියෙකුට තිබිය යුතු මූලික සුදුසුකමක් තමයි සංවේදී බව. අනිත් අය පහුකරගෙන යන දෙයක් දිහා නතර වෙලා බලන්න බැරි නම් ඔහුට බැරි වෙයි කවදාවත් කවියෙක් වෙන්න. ඒ වගේම නිරන්තර අභ්‍යාස කිරීමත් වැදගත්. මම කවියෙක්ද? නැද්ද? කියන්න මම දන්නෙ නැහැ. ඒක තීරණය කරන්න මට අයිතියක් තියෙනව කියලත් මම හිතන්නෙ නැහැ. ඒක පාඨකයා විසින් තීරණය කළ යුතු දෙයක්. ඒත් මගේ පරම්පරාවේ කවියෙකුට තියෙන්න පුලුවන් එක සුදුසුකමක් නම් මට තියෙන බව මම විශ්වාස කරනවා. ඒ තමයි, මේ වගේ කාලයක, මේ වගේ රටක ඇස් -කන් ඇතුව ඉපදීම.

කසුන් සමරකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails