Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දැනට මා විදේශ රටක ජීවත් වන නිසා ඉතා සුව පහසු ලෙස තෝරා බේරා ගෙන නවතම චිත්‍රපට නැරඹීමේ අවස්ථාව උදා වෙනවා. මෙහි "ධනා සිනෙප්ලෙක්ස්" නැමැති චිත්‍රපට ශාලා විස්සක් පමණ තිබෙන සිනමා සංකීර්ණයේ ඇත්තේ ඉතා සුව පහසු ආසනයි. හොඳින් වායු සමනය කොට ඇති මෙහි පවතින්නේ පිටත ආලෝකයට නිරාවරණය නොවන, පාලනය කළ හැකි මඳ ආලෝක තත්ත්වයක්. පිටත මහ මග හෝ පරිසරයේ වෙනත් ශබ්ද යන්තමින්වත් ශාලාව තුළදී ඇසෙන්නේ නැහැ. එපමණක් නොව විටින් විට ශාලාව තුළට ඇතුළු වන ප්‍රේක්ෂකයන් නිසා විවර වන දොරවල් වලින් පිටත ඇති ආලෝකය තිරය මත පතිත වන්නේ ද නැහැ. ආසන පිහිටා තිබෙන්නේ ආනතියකින් යුතු බිමක නිසා ඉදිරිපෙළ අසුන්ගන්නා අයගේ හිස් ගෙඩි වලින් තිරය ආවරණය වන්නේත් නැහැ.

චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භයේදී පමණක් නොව විවේක කාල වලදී පවා වෙනත් චිත්‍රපටවල පූර්ව ප්‍රචාරක පට හෝ වෙළඳ දැන්වීම් ගොන්නක් මගින් ප්‍රේක්ෂක මනසට විඩා ගෙන දෙන්නෙත් නැහැ. ප්‍රේක්ෂකයන් කී දෙනෙක් සිටියත් හරියටම නියම වෙලාවට ප්‍රක්ෂේපන යන්ත්‍ර ක්‍රියාත්මක වෙනවා.

මේ සිනමා සංකීර්ණයේදී මෑතදී එකම දිනක මා නැරඹූ චිත්‍රපට දෙකම ඉන්දීය නිෂ්පාදනයි. එකිනෙකට වෙනස් තේමාවන් ඔස්සේ ප්‍රේක්ෂකයා අමතන මේ චිත්‍රපට දෙකේ සමානතා කිහිපයක් තිබෙනවා.

සුජිත් සිර්කා අධ්‍යක්ෂණය කළ "මැඩ්රාස් කැෆේ" චිත්‍රපටය නිෂ්පාදනය කොට ඇත්තේ එහි ප්‍රධාන චරිතය රඟන ජෝන් ඒබ්‍රහම්. රෝහිත් ෂෙට්ටිගේ අධ්‍යක්ෂණයක් වන "චෙන්නායි එක්ස්ප්‍රස්" නිෂ්පාදනය කරන්නේ ෂාරුක් ඛාන්ගේ බිරිඳ වන ගෞරී සහ කිහිප දෙනෙක්. ෂාරුක් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා.

චිත්‍රපට දෙකේම අන්තර්ගතයේ ශ්‍රී ලංකාව ගැන සඳහන් වෙනවා පමණක් නොව ශ්‍රී ලංකාවට අදාළ සිද්ධීන්ද නිරූපණය වෙනවා.
"මැඩ්රාස් කැෆේ" චිත්‍රපටයට තේමාව වන්නේ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි කොටි සංවිධානය මඟින් ඝාතනය කිරීම හා ඊට පාදක වූ සිද්ධි සමුදායයි. රජිව් ගාන්ධි ඝාතනයට ලක් වන්නේ තමිල්නාඩුවේ චෙන්නායි අසල ශ්‍රී පෙරුම්බුදුර් හිදී. ඔහුගේ ඝාතන සැලසුම් සකස් වන්නේ "මැඩ්රාස් කැෆේ" නම් අවන් හලේදී. මෙහි ප්‍රධාන චරිතය වන මේජර් වික්‍රම් සිං ඉන්දීය හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙක් ලෙස ඉන්දියානු රහස් ඔත්තු සේවය (රෝ) මගින් ලංකාවේ උතුරු ප්‍රදේශයේ රාජකාරි සඳහා එවනු ලබනවා.



"චෙන්නායි එක්ස්ප්‍රස්" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන රාහුල්, මුම්බායි සිට රාමේෂ්වරම් දක්වා ගමනේ යෙදෙන්නේ දුම්රියේදී අහම්බෙන් මුණ ගැසුණු දකුණු ඉන්දියානු තරුණියක ඈ මුහුණ දී සිටින අවදානම් තත්ත්වයෙන් බේරා ගැනීමට රාමේෂ්වරම් දක්වා යන ගමනේදී සිදුවන විකට අබග්ග තේමා කර ගනිමිනුයි. රාමේෂ්වරම් යනු ශ්‍රී ලංකාවේ මන්නාරමට කිලෝ මීටර පනහක් පමණ ආසන්නයේ පිහිටි නගරයක්. වරක් රාහුල් වැරදීමකින් ගොඩ වදින්නේ ශ්‍රී ලාංකික හොර බඩු ජාවාරම්කාරයන්ට අයත් බෝට්ටුවකටයි. තමන්ව අත්අඩංගුවට ගන්නා ඉන්දීය පොලීසිය ඉදිරියේ තමන් ශ්‍රී ලාංකික හොරබඩු ජාවාරමේ සාමාජිකයෙකු නොව ඉන්දියානුවකු බව ඔප්පු කර පෙන්වීමට රාහුල්ට බොහෝ වෙහෙස දරන්න සිදු වෙනවා.

චිත්‍රපට දෙකේම දැවැන්ත ජවනිකා රූගත කොට ඇත්තේ හෙලිකොප්ටර් ආධාරයෙන්. ඊට අමතරව ඉතා දක්ෂ කැමරා අධ්‍යක්ෂණයන් මේ චිත්‍රපට දෙකේම දකින්නට පුළුවනි.

එහෙත් "මැඩ්රාස් කැෆේ" යනු කලාත්මක, උසස් රසවින්දනයකින් යුතු ප්‍රබල තේමාවක් රැගත් සමාජ දේශපාලන ක්‍රියාදාම චිත්‍රපටයක් වෙද්දී "චෙන්නායි එක්ස්ප්‍රස්" යනු සීනි බෝල චරිත අඩංගු අභව්‍ය, මනෝරාජික, ත්‍රිල් චිත්‍රපටයක් වෙනවා.

එහෙයින් මේ චිත්‍රපට දෙක අහසට පොළොව මෙන් දුරස්ථයි. මෝඩ විකට එහෙත් අවසානයේදී වීරයෙකු සේ සිය පෙම්වතිය ජය ගන්නා චරිතය ෂාරුක් ඛාන් රඟද්දී ජෝන් ඒබ්‍රහම් පණ පොවන්නේ හිටපු රාජ්‍ය නායකයා ඝාතනය වන බව දැන දැනත් ඔහුව බේරා ගැනීමේ මෙහෙයුම සාක්ෂාත් කොට ගැනීමට නොහැකි වීමේ අපේෂ්කාභංගත්වයට පත්වන හමුදා බුද්ධි අංශයේ නිලධාරියාගේ චරිතයටයි.

ෂාරුක් ඛාන්, දීපිකා පඩුකෝන්, නිකිතින් ධීර් වැන්නවුන්ගේ මනෝරාජික රංගනයන් රැගත් "චෙන්නායි එක්ස්ප්‍රස්" වෙනත් බොලිවුඩ් චිත්‍රපට මෙන් එක දිගට විඩාවකින් තොරව නැරඹීමේ හැකියාව ඇති ජනප්‍රිය ලක්ෂණ අඩංගු මසාලා චිත්‍රපටයකින් එහාගිය චිත්‍රපටයක් නොවන බැවින් ඒ ගැන තව දුරටත් ලිවීම නිෂ්ඵලයි.

එහෙත් "මැඩ්රාස් කැෆේ" චිත්‍රපටය පිළිබඳ වෙනත් මානයකින් කතිකාවක් ගොඩ නැගිය යුතු යැයි මා කල්පනා කරනවා.

ශ්‍රී ලංකාවේ උතුරේ පැවති විමුක්ති කොටි සංවිධානයේ අරගලය පිළිබඳ කිසියම් ආකාරයක සරල විග්‍රහයක යෙදෙන නමුදු මෙම චිත්‍රපටය මගින් උතුරේ පැවති තත්ත්වය යම් මට්ටමක සාධාරණ රූපරාමු මාලාවක් මගින් නිරූපණය කොට ඇති බව කිවයුතුයි.





එල්ටීටීඊ සංවිධානය බිහිවීමේ මූල බීජ ලුහුකොට දක්වා ඇත්තේ සිංහල යුධ හමුදාවෙන් දෙමළ ජනතාව පෙළූ තාඩන පීඩන ඝාතන නිසා බව හඟවමිනුයි. චිත්‍රපටය ආරම්භ වන්නේ එවන් රූපරාමු පෙළකින්. එහෙත් උතුරේ අරගලයට හේතු පාදක වූයේ ඊට වඩා ගැඹුරින් සලකා බැලිය යුතු සමාජ දේශපාලන ක්‍රියාවලියක කූටප්‍රාප්තියයි. කෙසේ වතුදු ඉන්දීය සාමසාධක හමුදාව ශ්‍රී ලංකාවේ උතුර සිය ග්‍රහණයට ගන්නා උත්සාහයේදී එල්ටීඑෆ් සංවිධානය (කොටි සංවිධානය නම් කොට ඇත්තේ මෙසේයි) හා එහි නියමුවා වන අන්නා බාස්කරන් (වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ චරිතය) හැසිරෙන ආකාරය මැනවින් නිරූපණය කොට තිබෙනවා.

එසේම ‘රෝ’ සංවිධානය සිය බුද්ධි අංශ නිලධාරියා ලවා එල්ටීඑෆ් සංවිධානයේ දෙවන පෙළ නායකයා සිය ග්‍රහණයට හසුකොට ගැනීමට ගන්නා උත්සාහය මැනවින් නිරූපිතයි.

වික්‍රම් සිංට නිරන්තරයෙන් උතුරේදී හමුවන විටෙක නොනිල වශයෙන් උදව් කරන බ්‍රිතාන්‍යයේ වෙසෙන යුධ මාධ්‍යවේදිනියක ලෙස රඟන ජයා (නාගීස් ෆක්රි) ගේ චරිතය ද ප්‍රධාන චරිතය හා සමාන්තරව එහෙත් මූලික තේමාවට හානියක් නොවන පරිදි ඉස්මතු කිරීමට අධ්‍යක්ෂවරයා ගෙන ඇති තැත ප්‍රශංසනීයයි. ජයා නිරන්තරයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන අතර වික්‍රම් සිං හින්දි භාෂාවෙන්ම පිළිතුරු දීම ද විශේෂ කරුණක්.

අප සාමාන්‍යයෙන් දැක පුරුදු බොලිවුඩ් චිත්‍රපටවල කතා නායකයා අහම්බෙන් තමන්ට සමීප වන සුන්දර තරුණිය හා යම් මට්ටමකින් හෝ පෙමින් වෙළීම සුලබ තත්ත්වයක්. දුටු පමණින්ම ඇය හා ප්‍රේමයෙන් වෙළීමයි දක්නට ලැබෙන්නේ. එහෙත් "මැඩ්රාස් කැෆේ" චිත්‍රපට අධ්‍යක්ෂවරයා ඊට ඉඩ තබන්නේ නැහැ. ඔහු රොමෑන්ටික් හැඟීම් උද්දීපනය වීමට ඉඩ නොතබා සිය මූලික ප්‍රවාදය වෙත ප්‍රේක්ෂකයා බැඳ තබා ගැනීමට සමත් වෙනවා.





ඇත්තෙන්ම "මැඩ්රාස් කැෆේ" නරඹන ප්‍රේක්ෂකයාගේ දෙනෙත් පුළුල් තිරයේ ප්‍රක්ෂේපනය වෙතටත්, සිරුර සුව පහසු ආසනය වෙතටත් අලවා බැඳ තබා ගන්නා බව කිව යුතුයි. එනයින් සලකන කල "මැඩ්රාස් කැෆේ" යනු අතපසු නොකොට නැරඹිය යුතු චිත්‍රපටයක්. අප කවුරුත් අසා කියවා ඇති රජිව් ගාන්ධි ඝාතනය කිසියම් අපූර්ත්වයකින් හා කුතුහලය දනවන ආකාරයට යළිදු වතාවක් තිරයේ ප්‍රතිනිර්මාණය වන්නේ ඉතා සූක්ෂම කැමරා කෝණ හා සංස්කරණ රීතියක් උපයෝගී කොට ගනිමිනුයි.

මා මෙම චිතපටයේ දකින ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ ප්‍රධාන චරිතය වන වික්‍රම් සිං තමන්ට හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනයෙන් වළක්වා ගැනීමට නොහැකිවීමේ වේදනාවෙන් මත් පැනට ඇබ්බැහි වී තමන්ගේ සිතුවිලි දේවස්ථානයක පූජාප්‍රසාදිවරයකුට වමාරන ආකාරයට තිරනාටකය සකස්වීමයි. එසේ නොකොට වෙනත් නිර්මාණශීලී අයුරකින් අතීතාවර්ජන රූප පෙළට ප්‍රවේශ වූවා නම් "මැඩ්රාස් කැෆේ" චිත්‍රපටයේ වටිනාකම තවත් ඉහළ යන්නට ඉඩ තිබුණා.

කෙසේ වතුදු "මැඩ්රාස් කැෆේ" නරඹා ආපසු එන විට මට සිතුණේ ලාංකික දේශපාලන දේහයේ සුවිශේෂී අත්දැකීම් සිනමා නිර්මාණයකට පාදක කොට ගන්නට තරම් අපේ රටේ සිනමාකරුවන් උත්සුක නොවූයේ මන්ද කියායි. බණ්ඩාරනායක, ප්‍රේමදාස, විජේවීර, ප්‍රභාකරන් ඝාතන පමණක් නොව 71 කැරැල්ල , 88–89 ධවල භීෂණය, 83 කළු ජූලිය වැනි සිද්ධීන් සිනමා නිර්මාණවලට කොතරම් වස්තු බීජ සපයාවිද?

හෙන්රි වර්ණකුලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails