Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජාතිවාදී චින්තනය පෝෂණය කිරීමේ ඊනියා චිත්‍රපට රැල්ල විසින් ලාංකේය සිනමාව ආක්‍රමණය කොට, සිංහල-බෞද්ධ සිනමාවක් බවට විතැන් කරමින් සිටින අවදියක 'දෙමළා පරාපය කිරීමේ ඉතිහාසගත යුධ ජයග්‍රහණය'"ත්" ප්‍රතිනිර්මාණය කර එකී ව්‍යාපෘතිය පරිපාකයට ගෙන යෑමට ගත් උත්සාහය (තාවකාලිකව!) නවතා දමා ඒ වෙනුවට තරමක වෙනස් මාදිලියක චිත්‍රපට අත්දැකීමක් සමග ජයන්ත චන්ද්‍රසිරි යළිත් කරළියට පැමිණ සිටී. ඒ ඔහුගේ නවතම සිනමා අත්දැකීම වූ 'සමනල සංධ්වනිය' සමඟය.

'සමනල සංධ්වනිය' සුවිශේෂී සිනමා නිර්මාණයක් මෙන්ම සිංහල සිනමාවේ නොමැකෙන සටහනක් ද වනු ඇති බවට කල්තියා ඉඟි පළ කොට තිබුණේ වී නමුත්,...?

කලා නිර්මාණයක් බිහිවනුයේ කිසියම් වූ සංවේදී අනුභූතියක් පාදක කොටගෙන නිර්මාණකරුවා තුළ ගොඩනැගෙන්නා වූ පරිකල්පනමය චින්තන ධාරාව නිර්මාණශීලීව පිටතට පැමිණීමක් ලෙසිනි. එබැවින් යම් කලා කෘතියක් විශ්ලේෂණයේ දී නිර්මාණකරුවාට විෂය වූ අනුභූතිය ද අතිශය වැදගත් සංධිස්ථානයක් හොබවනු ලබන බව පැහැදිලිය. නිර්මාණයේ සමස්ත ජීව ගුණය රඳන කේන්ද්‍රය මෙන්ම එහි රඳා පැවැත්ම තීරණය කරන ඊට ශක්තිය සපයන මූලය ද එයයි. ප්‍රබල වූද විරල වූද නිර්මාණාත්මක පරිකල්පනයෙන් මැඩිය හැකි වූද අනුභූතියක් ලබන කලාකරුවා වාසනා ගුණයෙන් යුක්තය. අනුභූතිය කෙතරම් ප්‍රබල වුවද එය නිසි පරිදි ගොනු කරගැනීමට අසමත් නම් හෝ ප්‍රකාශනය ප්‍රබලතාවෙන් යුතුව ඉදිරිපත් කළ නොහැකි නම් නිර්මාණකරු තරමටම නිර්මාණය ද අසාර්ථකය. එහි විරුද්ධාන්තයෙන් වුවත් බලන කල නිර්මාණකරුවා කෙතරම් පළපුරුදු දක්ෂකම් ඇත්තෙකු වුවත් ඔහු සපයා ගත් අනුභූතිය ව්‍යාජයක් නම් ඊට අත්වන්නේ ද සමාන ඵලයක් ම ය.

දෙවැනුව කී වර්ගයට ඇතුලත් කළ හැකි අලුත්ම නිදසුන 'සමනල සංධ්වනිය' බව අපගේ අදහසයි.

සමනල සංධ්වනියේ කතාව ඉඳුරාම ව්‍යාජයක් බව වටහා ගන්නට වැඩි වේලාවක් අවශ්‍ය නොවේ. එය කෘත්‍රිමව නිර්මාණය කරන ලද අඩුලුහුඬුකම් සහ අතුරුසිදුරු ගොන්නකින් පිරි කතා වස්තුවකි. මේ නිසා සිනමාකරුවාගේ අසාර්ථකභාවය මතුවී ඇත්තේ තිර පිටපතේ සිටම බව කීමට සිදුවෙයි.

කතාව ඇරඹෙන්නේ 1992 පෙබරවාරියේ කිසියම් දවසකින් බව සිනමාකරු කියයි. එවිට එය SMS යුගයට පෙර බව යළිත් කිව යුතු නොවේ. එය තේමාව අනවශ්‍ය තරම් සරල කිරීමක් බඳුය. 92 යනු SMS හෝ දැනට භාවිත සන්නිවේදන මාධ්‍යයන්ගෙන් හතරෙන් පංගුවක් වත් ලංකාවේ ප්‍රචලිතව තිබූ යුගයක් 'නොවන' බව තේරුම් නොගන්නෝ කවරහුද?


[TicketsLk]


[Cinema.Lk]

වාදීශ (සූර්යා දයාරුවන්) නම් සංගීතලෝලී නව යොවුනෙකුට 'අහම්බෙන්' හමුවන ලිපියක් ඔස්සේ කතාව විකාශනය වේ. ඒ අහම්බය ද කෘත්‍රිම වූවකි. ඊට වඩා හාත්පසින් වෙනස් නිර්මාණශීීලී, විශ්වසනීය ගැළපීමක් ඒ සඳහා පහසුවෙන් ආදේශ කළ හැකිව තිබුණේ වී නමුත් නිර්මාණකරු විසින් එය නොසැලකිල්ලෙන් යුතුව පැහැර හරිනු ලැබ ඇත.

ජයතිස්ස සහ රොසලින් කතාවේ එන ජයතිස්සගේ දේශනාවක් සිහිගන්වන හරබර බරපතල පෙම් හසුනක් වූ එය පුණ්‍යා (යශෝධා විමලධර්ම) විසින් ඇගෙන් ප්‍රේමය ඉල්ලා සිටින රේවත නම් තරුණයෙකු වෙත ලියනු ලබන්නකි. ලිපින කවරය සොයාගත නොහැකි වන වාදීශ එම ලිපියේ ඇතුළත් විස්තර ඔස්සේ පුණ්‍යා සොයාගොස් ඇයට ලිපිය දීමට තීරණය කරයි. එය වූකලී මෙම කතා වස්තුවට ඉතා අභව්‍ය මුහුණුවරක් සැපයීමකි. එම ලිපිය නැවත පුණ්‍යාටම දීමෙන් ඇතිවන ප්‍රතිඵලය ලිපිය අදාළ තැනැත්තාට නොලැබුණු බව ඈ දැනගැනීම පමණකි. සමස්ත නිර්මාණයටම පාදක වී ඇත්තේ වාදීශ මෙම ලිපිය පුණ්‍යා වෙත දීමට අපොහොසත් වීම හා බැඳෙන සිද්ධි දාමයකි. ඒ නිසාම වසර 21කට පසුවත් ඔහු ඒ නිසා උපන් ස්වයං වරදකාරී හැඟීමකින් පීඩා විඳින්නෙකු බව දක්වන්නේ වාදීශ දැඩි මත් ලෝලියෙකු ලෙස නිරූපණය කිරීමෙනි. එය කොතරම් දුරට තාර්කික ද යන්න නැවත නැවතත් සිතා බැලිය යුතුව තිබූ බව පෙනේ.

වසර 21කට පසු වාදීශ වික්‍රමනායක (උද්දික ප්‍රේමරත්න) පෙනී සිටින්නේ ජනප්‍රිය ගායන තරුවක් ලෙසය. රූමත් බිරිඳක් සහ දරුවෙකු ද සමඟ සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන ඔහු අතීත මතකයෙන් පීඩා විඳීම නිසා හැර මත් ලෝලියෙකුව පවුල් ජීවිතයේ වගකීම් පැහැර හැරීමට තරම් වෙනත් කිසිදු සාධාරණ හේතුවක් සිනමාකරු නොදක්වයි. අනෙක් බරපතල කරුණ නම් ඒ සා මානසික පීඩනයකින් පෙළෙන වාදීශ ඉන් මිදීමට ගෙවුණු වසර 21ටම කිසියම් හෝ උත්සාහයක් දැරූ බවක් වත් පෙනෙන්නට නොතිබීමයි.

වරක් වාදීශට පුණ්‍යා හමුවීම වැළැක්වීමට යොදා ගන්නේ ඉතා බාල වර්ගයේ ව්‍යාජ උපක්‍රමයකි. එය බන්දු-ටෙනිසන් මොඩලයේ බොළඳ විකට ජවනිකාවක් පහසුවෙන් සිහිගන්වනවා පමණක් නොව සමස්ත කතාවේම යථානුරූපවත් ගලා යෑමට ද කරගත් බලවත් හානියක් බව පෙනේ. කොමඩි මැරයන් දෙදෙනාගේ ඕලාරික විහිළු කුඩා දරුවෙකු පවා හිනැස්වීමට අපොහොසත් විකාරයක් බවට පත්වන්නේ චිත්‍රපටය ඒ තාක් රැක සිටි යම් බඳු හෝ ජීව ගුණයක් ඇත්නම් එය ද සහමුලින් විනාශ කර දමමිනි. සංකීර්ණ අවස්ථා නිරූපණයක ඡායාවක් හෝ දක්නට නොමැති එහි මැරයන් දෙදෙනා වාදීශ ලුහුබඳින දර්ශනය සඳහා චිත්‍රපටයේ අන් කිසි තැනක දක්නට නොලැබෙන ආකාරයේ සංචලන කැමරා රූප රාමු පෙළක් භාවිතා කර තිබුණේ කවර හේතුවක් නිසාද යන්න ද අපැහැදිලිය.

වාදීශ පුණ්‍යා නැවතී සිටින නේවාසිකාගාරය සොයා ගිය අවස්ථාවේ අනපේක්ෂිත අතෝරයකට මුහුණ පෑමට ද ඔහුට සිදුවේ. එම අවස්ථාවේ බෝඩිමේ හිමිකරුගේ නිවසට උදව් ඉල්ලා දිව යන තරුණිය (දමිතා අබේරත්න) ඔවුන්ගේ යට ඇඳුම් එහි තිබෙනු දැක සිහිසුන් වී ඇද වැටීම ද ඉහත කී ආකාරයේ අධි නිරූපණයක් සහිත සිද්ධියකි. එවැනි බොළඳ විහිළු සපයන චිත්‍රපට ඕනෑවටත් වඩා බිහිවන නිසා සමනල සංධ්වනිය වැනි චිත්‍රපටයකිනුත් එවැනි දෑ බලාපොරොත්තු වීමට තරම් ප්‍රේක්ෂකයන් පහළ මට්ටමක වැටී ඇතැයි කිසිසේත් සිතිය නොහැකිය.

චිත්‍රපටයේ සිද්ධි ගලපා ගැනීමේ දුර්වල බවට හේතුව ලෙස දැක්විය හැක්කේ මුලින් කී පරිදි මෙහි ඇති ආයාසයෙන් ගොතන ලද ව්‍යාජ කතා වස්තුවක් වීමත් එහි ව්‍යාජ භාවය හෙළි කෙරෙන කඩතොළු නිසා සිනමාකරුවාට ස්වකීය අනුභූතිය හසුරුවා ගැනීම අසීරු වී තිබීමත් නිසා බව පෙනෙන්නට ඇත. අනුභූතියේ ඇති ව්‍යාජ බව නිසාම නිර්මාණකරුවාට දිගින් දිගටම එය පවත්වා ගැනීමට ද විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවෙයි. ජයන්ත චන්ද්‍රසිරිගේ සිනමාව පිළිබඳ අත්දැකීම් සහ දැනීමටත් වඩා ප්‍රබල ලෙස නිර්මාණයේ දුබලතා වරින් වර එළියට පැනීම වැළැක්විය නොහැකි වී ඇත්තේ එබැවිනි.

කතාව 1992ට ගෙන යාම තුළම නිර්මාණකරු එක්තරා අභියෝගයකට මුහුණ දෙන්නේ කාලයට අනුරූපවත්ව රූප රාමුවෙන් රූප රාමුවට කලා අධ්‍යක්ෂණයේ ලා විශේෂ සැලකිල්ලක් දැක්වීමට සිදුවන බැවිනි. ඒ අභියෝගය බොහෝ දුරට සිනමාකරු ජයගෙන ඇතත්, 1992 වැනි කාලයකත් නුවරඑළිය තදාසන්න ප්‍රදේශයක මාර්ග සංවර්ධනය ප්‍රේක්ෂක විශ්වාසය පහසුවෙන් බිඳවන සුලුය.

වසර විසිඑකකට පසු කුමාරි උද්‍යානයේ දී වාදීශ පුන්‍යා දකින මොහොත අතිශය සංවේදී අයුරකින් ගොනු කර ගැනීමට තිබූ අවස්ථාව ද අහිමි වී ඇත්තේ ඩැනීගේ (විල්සන් ගුණරත්න) මුවට නංවා ඇති අමනෝඥ දෙබස් වැළක් හේතුවෙනි. වාදීශගේ සහයක ලෙස කටයුතු කරන ඔහු වාදීශගේ සංගීත සංදර්ශනය පැවැත්වෙන දින පුණ්‍යා පැමිණෙනු දැක ඈ අමතනු ලබන්නේ තැනටත්, චරිතයටත් නොගැලපෙන අවිනීත විසිල් කිරීමකිනි. වාදීශගේ සොහොයුරාගේ (පුබුදු චතුරංග) ඇතැම් දෙබස් කිසිදු සංස්කරණයක් නොකළ ඉතා බොළඳ සහ නොගැඹුරු ඒවා බව පෙනෙයි. නිදසුනක් ලෙස, ඔහුගේ පෙම් හසුන අදාළ තරුණියට බාර දීමට වාදීශ ප්‍රතික්ශේෂ කළ විට ඔහු තෙපළන දෙබස් එකී අවස්ථාවට අර්ථයක් නොසපයන සුලුය. ප්‍රේක්ෂකයා සිනහ ගැන්වීමට මිස චරිතයට හෝ කතාවේ ගලා යාමට එවැනි දෙබස් කිසිදු රුකුලක් නොදෙන බව කිව හැකිය.


[Secretary Defence graced the "Samanala Sandhawaniya" launch : Defence.Lk]

චිත්‍රපටයේ තේමාවත් සමඟ සහසම්බන්ධයෙන් යුතුව මනාව ගැලපී ඇත්තේ සංගීත නිර්මාණය පමණක් යැයි හැෙඟ්. අංගරචනය තුළින් ද නිර්මාණය වෙත යම් සාධාරණයක් ඉටු වී ඇති නමුත් කැමරාකරණය, සංස්කරණය හෝ ආලෝකකරණය වැනි විෂයන්ගෙන් වැඩි කලඑළියක් නිර්මාණයට ලැබී නොමැති බව පෙනේ.

මලීනා හෝ රීඩර් වැනි සුවිශිෂ්ට සිනමා නිර්මාණයන්ට පාදක වූ අන්දමේ සංවේදී කතා පුවතකට පහසුවෙන් සමීප කළ හැකිව තිබූණද සමනල සංධ්වනියේ අනුභූතිය නිර්මාණකරුට අවංක නොවීමේ ගැටලුව හේතුවෙන් බලාපොරොත්තු වූ තරමට තේමාව ප්‍රබලව ගොනුකර ගැනීමට ඔහු අසමත් වෙයි.

ප්‍රේක්ෂයකයන්ගේ දෘෂ්ටිකෝණයෙන් බලන කල සමනල සංධ්වනියේ කතාව ශෝකාන්තයක් නොවීම පිළිබඳ ගැටලුවක් ඇති නොවෙතත් සමස්තය විසින් මතු කරන උපරි භාවයක් කතාව අවසන නොදැනීම නම් අවාසනාවකි.

දමිත් වැලිකල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails