Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"නිරුවත සහ සිනමාව" බඳු මාතෘකාවක් සාකච්ඡා කිරීමේදී නිරවද්‍ය නිගමන කරා එළඹීමට ඉවහල් වියහැකි යැයි අප සලකන ප්‍රශ්ණ සමූහයක් ඉදිරිපත් කිරීමට අප සූදානම් වෙමු.

"සිනමාව" නිර්මාණාත්මක කලා ශිල්ප මාධ්‍යයන්ගෙන් එකකි. එහි ජීවිතය ඊටම ආවේණික වූ ඇතැම් කලාත්මක නිර්මාණ විදීන්ගෙන් හා සංදර්භයන්ගෙන් නිශ්චය වෙයි. පැරණි මුණිවරුන් කලා කෘතියක මෙම ආවේණික ජීවිතය හැදින්වූයේ "නාට්‍ය ධර්මතාව" නමිනි. "නිරුවත" හුදෙකලාව ගත්විට ස්වභාවධර්මයේ අතිශයින්ම ලෞකික වූ සෞන්දර්යාත්මක වස්තුවකි. ඊට අනුබද්ධ ජීවන සංකල්ප බොහෝමයක් "ලෝක ධර්ම"තාවයන්ට සම්බන්ධ වෙයි.

සිනමාව හෝ වෙනත් කලා මාධ්‍යයක "නාට්‍ය ධර්ම" හෙවත් "කලා ධර්ම" සහ ලෞකික ජීවිතයේ "ලෝක ධර්ම" අතර පවතින සම්බන්ධතාවය කුමක් ද?

නිරුවත හෝ නග්නතාවය සොබාදහමේ සෞන්දර්යාත්මක අංගයකි. හුදෙකලාව ගත් විට එහි හොඳක් හෝ නරකක් නොමැත. නිරුවත ප්‍රදර්ශනය කිරීම හෝ එය දෙස බැලීම එදිනෙදා ජීවිතයේ හොඳ නරක ආකල්ප වලට ආශ්‍රිත චර්යාධර්මයන්ගෙන් පැන නඟින්නේ "උචිතානුචිත"තාවයන්ට සම්බන්ධවය. ජීවිතයේ ඉතාම ස්වභාවික පැවැත්මක්, හොඳ වන්නේ නරක වන්නේ ඒවා යෙදෙන ස්ථානය අවස්ථාව වැනි කාරණා අනුවය. කලාවේ ද මෙබඳු සදාචාර යැයි හැඳින්විය හැකි ස්වභාවයක් පවතියි. බෝහෝ පැරණි කලා විචාරකයෝ (රසාස්වාදියෝ) කලා කෘතීන් උත්තම හෝ අධම තත්ත්වයට වර්ග කරන ලද්දේ "ඖචිතවාදය" මිණුම් දණ්ඩක් කොට ගැනීමෙනි. නිරුවත වැනි සාධකයක් පමණක් නොව ඉතා සරල උපමාරූපකයක් වේවා, ඉතා ගැඹුරු බුදු බණක් වේවා උචිත ලෙස සමස්ථ කලා ජීවිතයේ අභ්‍යන්තර ජීවිතයට ගැලපී නැත්නම් එම කලා කෘතිය "ඖචිතයෙන්" අධම වෙයි.

මේ අනුව කිසියම් සිනමා කෘතියක් අධම ගනයේ කෘතියක් වන්නේ නිරුවත ඇතුලත් වීම නිසාද? නොවේ නම් එය අධම වන්නේ ඖචිත සිද්ධාන්තයන් තම නිර්මාණාත්මක ක්‍රියාදාමයේදී මැනවින් පරිහරණය කිරීමට අසමත් වී ඇති නිසා ද?

කලා කෘතියකට ජීවිත දෙකක් ඇත. යථා ලෝකය පිළිබඳ තම සිත්හි හට ගන්නා වූ විවිධාකාර හැඟීම්, කලා ඉතිහාසය විසින් නිෂ්පාදනය කොට ඇත්තා වූ ශිල්පී විධීන් වහල් කොට ගෙන කලාකාරයා තම පරිකල්පන ශක්තියෙන් ප්‍රතිභාවයෙන් ප්‍රතිනිර්මාණය කරයි. මෙම නිර්මාණය මින් පසු එය පරිහරණය කරන ප්‍රේක්ෂකයා හෝ සහෘදයාගේ භාවලීලාවන්ගෙන් ද සමස්ථ වෙමින් අලුත් ජීවිතයක් අරඹයි. මෙහිදී කලාකරු නොසිතූ විරූ අර්ථයන් ප්‍රේක්ෂකයාට දකින්නට පුලුවන. කලාකරුට එතරම් වැදගත් නොවූ අංග ප්‍රේක්ෂකයාට මහ මෙරක් සේ අවධානය වන්නට ද පුලුවන. පාරේ යන කාන්තාවක් දකින කෙනෙකුගේ ඇගේ ඇඳුමේ මෝස්තරයෙන් රස විඳිනවා විය හැක. තව කෙනෙකු එම ඇඳුම විනිවිද දැකිය හැකි රසවතෙකු විය හැක. තවත් එකෙකු එම ඇඳුම ද කාය භාව ලීලාවන්ද සමස්ථයක් වශයෙන් ගෙන සුන්දරතාවයක් දකින්නට පුළුවන. ඇඳුම ද ඇඳුමේ මෝස්තරය ද එය සිරුරෙහි දැවටී ඇති ආකාරය ද කාන්තා සිරුර ද යන සියල්ල එතැන විය. එහෙත් විවිධ අය කාන්තාව සහ ඇඳුම දුටුයේ විවිධ ආකාරයට ය.



මේ අනුව, කලා කෘතියක් පරිහරණය කරන්නන් කලා කෘතියක් තුළට ආරෝපණය කරන්නා වූ ආකල්පයන්ට වගකීමේ සම්පූර්ණ බර කලාකරුවා පිට පැටවීම සාධාරණ ද?

ලොව ඉතාම ශ්‍රේෂඨ කලා කෘතීන් වශයෙන් හැඳින්වෙන නිරුවත් ස්ත්‍රීන්ගේ චිත්‍ර අපි දකිමු. මෙවැනි රූ ඇඳීමට පුරුදු වෙන ශිෂ්‍යයන් ඉදිරියේ නග්න කාන්තාවෝ වාඩිගෙන සිටිති. පුරුෂයන්ගේ සත්වයන්ගේ මෙන්ම ස්ත්‍රීන්ගේ ද රූපයක් සාර්ථකව චිත්‍රගත කිරීමට ඔවුන්ගේ හෙලු මස් පිඬු ආශ්‍රිත ශරීරය නග්නව දැකීම අත්‍යාවශ්‍ය වෙයි. සීගිරියේ අර්ධ නග්න ස්ත්‍රී රූප ද එසේ ඇන්දා විය හැක.

මෙම චිත්‍ර කලාත්මක වශයෙන් උසස් නම්, ඒවා ඇඳීමේදී භාවිතා කළ උපක්‍රම "අශෝභන" නම්, එම අශෝභනත්වය නිසා චිත්‍රයේ කලාත්මකභාවය ද අශෝභන යැයි අපට නිගමනය කළ හැක්කේ ද? ගෙම්බන් කපා ශල්‍ය වෛද්‍ය විද්‍යාව පුහුණුවන වෛද්‍යවරයෙකු "අවිහිංසාවාදය" අනුව "පාපියෙකු" ලෙස හැඳින්වීම හරි ද?

ඉතාම හුදෙකලා කලාකරුවා පවා සමාජයෙන් පෝෂණය වෙයි. එහෙයින්, සමාජ ධර්ම වලට ගරු කරන්නැයි ඔහුට බල කිරීමට සමාජයට අයිතියක් තිබේ. "නිරුවත" පිළිබඳ ප්‍රශ්නය සමාජ සංස්කෘතියේ සභ්‍ය අසභ්‍යතාවය ආශ්‍රිත ප්‍රශ්නයකි. එහෙයින් සභ්‍ය අසභ්‍ය කරුණු ගැන කලාකරුවන්ට කියාදීමට පෙර හෙළ සභ්‍යත්වය පිළිබඳ විද්‍යානූකූල විමර්ශනයක් කිරීමට අපි උනන්දු විය යුතු නොවේ ද?

විද්‍යාත්මක සාධක අනුව පස්වන සියවස ආශ්‍රිත කාලයේ හෙළ කුලීන වනිතාවන්ගේ වරප්‍රසාදයක් වූයේ පියයුරු විවෘතව තබාගෙන විවෘතව සමාජයේ හැසිරීමයි. පහත් කුලවල වනිතාවන් පියයුරු වැසිය යුතු විය. මහනුවර යුගය වන විට කුලීන කාන්තාවන් පමණක් උඩුකය වසා ගැනීමේ වරප්‍රසාදය ලද්දහ. පහත් කුලවල දැරියක තන වසා ගැනීමේ අවස්ථාව ලද්දේ දරුවකු ප්‍රසූත කිරීමෙන් කිරි එරෙන විට පමණකි. පහත් කුලවල පිරිමින්ට හිසේ හෝ කරේ රෙදි කඩක් දවටා ගැනීම කළ හැකි වූයේ උසස් කුලයක කෙනෙකු අවට නොමැති අවස්ථාවක පමණෙකි. මෝක්ෂය පමණක් නොව ඉන්දීය සංස්කෘතියේ පිළිගත් පරමාර්ථ වශයෙන් අර්ථය සහ කාමය ද නිරොගීව හා ස්වභාවිකය අගය කලහ. පූජනීය ස්ථානයන්හිදීම (කජුරාවෝ වැනි) කාම සූත්‍රයේ විවිධාකාර ඉරියව් ඉතාම තාත්වික ලෙස නිරූපණය කළහ. ජනතාව ද කුහක බවින් තොරව පවුල් පිටින් පැමිණ ස්වභාවික ජීවිත සෞන්දර්යයෙන් උපරිම තෘප්තියක් ලැබිය හැකි මාර්ග ඔස්සේ මෝක්ෂය සංකේතවත් කළ ධර්ම ගර්භයට දෙවනුව ඇතුල් වූහ.



හෙළ සභ්‍යත්වය නිරුවත පිළිබඳව දැක්වූ ආකල්පය කුමක්දැයි විද්‍යානුකූලව වටහා නොගෙන, කලා කාරයාට උපදෙස් දීමට යාම කොතරම් බුද්ධිගෝචර වන්නේ ද?

බුදුන් වහන්සේ ද අතැම් ශ්‍රාවකයින්ගේ මානසික තත්ත්වය අනුව භාවනාවට අරමුණු කර ගැනීම සඳහා කැපවූ නිමිත්තක් වශයෙන් මියගිය යෞවන ස්ත්‍රීන්ගේ නග්න කය සුදුසු යැයි අනුමත නොකලේද? මෙයින් පෙනෙන්නේ හුදෙක් හරි වැරදි වන්නේ නිරුවත පෙන්වීමම පමණක් නොවේ නේද? එය වැරදි වන්නේ පරමාර්ථය වැරදිනම් පමණක් නොවේද? යමක් පරිහරණය කරන්නේ වැරදි පරමාර්ථයකින් නම්, නිරුවත තබා ගහක් ගලක් පාවිච්චි කලත් එය වැරදිම නොවන්නේ ද? උචිත ලෙස උදාර කලාත්මක පරමාර්ථයකින් භාවිතාවට ගන්නේ නම් "රමණ අවස්ථාව" වුවද ගැබ් කොට ගත් කලා කෘතියක් උත්තම නිර්මාණයක් නොවන්නේ ද?

ලොව ශ්‍රේෂ්ඨ කලාකාරයින් කිසිවෙකුත් කලාව වාණිජ මාධ්‍යයක් කොට නොගත්හ. ඇතැම් ශ්‍රේෂ්ඨයින්ට අහම්බයෙන් වාණිජ සාධනය ඉෂ්ඨ වූවා පමණකි. නමුත් "නිරුවත" ජීවිතාංගයක් වශයෙන් නිර්මාණයේදී වහල් කොට ගත්තා වූ හැම කලාකාරයාම වාණිජ පරමාර්ථයෙන්ම එසේ කළ යැයි කිව හැකි ද? තවත් අතකින් වාණිජත්වය ඉහ වහා ගිය සමාජයක එම වාණිජත්වයෙන් කිළිටි නොවී සිටිය යුතු යැයි කලාකාරයාට පමණක් තහංචි පැනවිය හැකි ද? "හෙළුව" නොපෙන්වන කලාකාරයින් කී දහසක් ජීවිතාංග කීයක් වාණිජ පරමාර්ථයෙන් කලාවේදී පරිහරණය කරන්නේ ද?

දොස් තැබිය යුත්තේ විනාශ කළ යුත්තේ වාණිජත්වයට ගොදුරු වුනු කලාකාරයා ද, නොවේ නම් වාණිජත්වය පදනම් කරගත් සමාජ අර්ථ ක්‍රමය ද?

සයිමන් නවගත්තේගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails