Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පොදු ජන අර්ථයෙන් මාර්ටින් වික්‍රමසිංහ හා ගොඩනැගෙන රූපය වනුයේ ලාංකීය යථාර්ථවාදී නවකථාකරුවා, මහා ගත්කරුවා යන අර්ථ. එහෙත් ඉතා සියුම් අයුරින් වික්‍රමසිංහ විනිවිඳින විට ඔහු තුළ මහා දාර්ශනිකයෙක් සිටින බව පෙනී යනවා. ඒ බව හෙළිකරන ප්‍රධාන කෘතියක් 1967 දී ඔහු ලියා පල කළ ''භව කර්ම විකාශය''. මානව වර්ගයාගේ පරිණාමය, දිවිපැවැත්ම හා බෞද්ධාගමික චින්තනයේ මිත්‍යාමතික අර්ථ ගැන්වීම් වලට එරෙහිව තුළනාත්මකව විග්‍රහයක් එහි හඳුනා ගත හැකියි.

ලාංකීය පසුතලය තුළ හමුවන සකලවිධ නිර්මාණකරුවන් බහුතරයකගේ දිටිය හැකි ගැටළුව වනුයේ ඔවුන් සිය කෘතීන්හී ඉදිරිපත් කරන අදහස් පුද්ගලාත්මකව ප්‍රතිමුඛ නොකිරීමයි. කීර්තිධර නිර්මාණකරුවන් යැයි අප හඳුනා ගත් බහුතරයක් ඔවුන්ගේ පශ්චාත් කාල වපසරිය තුළ දැඩි විඥානමතවාදි ප්‍රවාහයකට හසුව ඇති බව පේනවා. කලෙක කාලෝ වූ අය වර්තමානයේ අරික්කාලෝ සිට අවුන්සෝ දක්වා විතැන්ව ඇති බව පේනවා. සමකාලීන ජනමාධ්‍ය මගින් ප්‍රකාශිත සිය අදහස් පඨිත විමසුමෙන් මෙය මනාව තහවුරු වෙනවා. මේ අතර වික්‍රමසිංහ වැන්නන් සුවිශේෂව කැපී පෙනෙනුයේ සිය අදීන චින්තනය එක ලෙසම ස්ථානගතව තිබීමයි. විද්‍යාව, දර්ශනය, සාහිත්‍ය ආදී නොයෙක් ග්‍රන්ථයන් පරිශීලනයෙන් ශීක්ෂිතයෙකු වූ ඔහු මිනිස් දිවිය පරිණාමවාදයෙන් ගොඩනැගුන යන මතයේ එල්බ ගෙන සිටියා. මහා වානරයෙකුගෙන් උද්භේද වූ මනුෂ්‍යයා පහළම මිලේච්ඡත්වයෙන් පටන් ගෙන අවස්ථා රාශියක් පසු කොට බුද්ධියෙන්, විඥාණයෙන්, ශිෂ්ඨත්වයෙන් විකාශනය වූ බව සිය අදහසයි. අවුරුදු අනූ අට දහසක්ම මිනිසා පෘථිවියේ ජීවත් වූයේ මිලේච්ඡයෙකු ලෙස වන අතර භාෂාව නිපදවීමෙන් පසු සිය සිතුම් පැතුම් කථාබස් ලේඛණාරූඩ කිරීම පටන්ගත් තැන් සිට සිය දියුණුව ඇරඹුණා. සැමවිටම මිනිසා සම්බන්ධව ජීවවිද්‍යාත්මක එළඹූමකින් විග්‍රහයක නියුතු වික්‍රමසිංහ මනුෂ්‍යයා යනු සත්ව සන්තතියෙහි අවසාන විකාශනයේ ඵලයක් බව දක්වනවා. කොඳු ඇටය සහිත සතුන්ගේ පරම්පරාවේ ආදී මූල ප්‍රාණියා මත්ස්‍ය වර්ගයේ සතෙකු බවට ග්‍රන්ථ රැසක තොරතුරු ඇසුරින් තහවුරු කරන ඔහු තිරිසන් බවෙන් මිදුනු ආදිම මානවයන්ගේ සිට මානව පරපුරේ ඇතැම් සිතීමේ ධර්මතා වර්ථමාන මිනිසාගේ භවාංග සිතෙහිද ඇතැයි යන මතය දක්වා සිටිනවා.

වික්‍රමසිංහ බුද්ධ දර්ශනය තුළ ඉදිරිපත් වන්නා වූ පුනරුත්පත්තිය හා පුනර්භවය යන සංකල්ප සම්බන්ධව වඩාත් විද්‍යාත්මක අර්ථ දැක්වීමක නියුතු වෙනවා. ඔහු සත්වයෙකුගේ පුනරුත්පත්තිය සම්පූර්ණයෙන්ම බැහැර කරනවා. ''රී බර්ත්'', ''රී ඉන්කනේෂන්'' යන නම් වලින් දැක්වෙන එය මිලේච්ඡයන්ගේ ප්‍රාණාත්මවාදය නොහොත් ප්‍රේතවාදය හෙවත් ''ඇනිම්සම්'' ඇසුරින් උපන්නක් බවට මානව විද්‍යා සාක්ෂි ගෙනහැර දක්වනවා. ආදී කාලීන මිනිසුන් ගස්, ගල්, ඇල, දොළ ආදියෙහි ප්‍රාණාත්ම ඇති බව සිතුවා. ගංඟාවක් ගලා බසින්නේ එහි ප්‍රාණාත්මයක් ඇති බැවින් හා මිනිසෙකු මරණයට පත්වන්නේ ප්‍රාණාත්මය පිටවූ බව යන හැගීමක් විශ්වාස කළා. අව්වේ ඇවිදින මිනිසා ඔහුගේ සෙවනැල්ල දකියි. රාත්‍රියේදී සිහින දකියි. මේවා ඔහු තුළ ප්‍රාණාත්මයක් ඇතැයි සමර්ථනය කරන සාධක වූ බවයි වික්‍රමසිංහ දක්වන්නේ. එමෙන්ම මනුෂ්‍යයකු මැරී ගැරඩියෙකු, තලගොයෙකුව, සාවෙකුව උපදී යන සංකල්ප හා බෞද්ධ දර්ශනය පටහැනි බව ඔහු දක්වනවා. මිනිසෙකුගේ චිත්ත පරම්පරාව ගැරඩියෙකුගේ සාවෙකුගේ චිත්තපරම්පරාවට හැරිය නොහැකි බවට කරුණු විග්‍රහකරන වික්‍රමසිංහ එය බෞද්ධ කර්මවාදයට විරුද්ධ යැයි පවසනවා.

වික්‍රමසිංහ දක්වන්නේ ''භවයන්'' යනු මනුෂ්‍යයෙකු මෙලොව දී දවසක් පාසා කරන කියන දෑ හඳුන්වන සංකල්පයක් බවයි. බෞද්ධ දර්ශනයේ උදාහරණ විදහාපාමින් ඔහු ඔප්පුකරන්නේ ආත්මයක් හා පුද්ගලයෙක් නැතැයි ඉදුරා කියූ බුදුන්ගේ ධර්මය අනුව ආත්මයකගේ පුනරුප්පත්තියක් සිදුවිය නොහැකිය, පුද්ගලයෙකුගේ පුනරුප්පත්තියක් සිදුවිය නොහැකිය හා ලෝකය එකම භව සන්තතියක් ලෙසයි. එය හේතුඵලවාදය අනුව ඇති වෙමින් පවතින ''භවන මාත්‍රා'' ප්‍රවාහයක් වන අතර කෙමෙන් වැඩෙන භවන මාත්‍රා ප්‍රවාහයක්ද වෙනවා. කිරුළපනේ ජයතිස්ස තිහව විසූ පියතිස්සගේ පුනරුප්පත්තියක් වීම වැනි කතා කිසිසේත්ම යථාර්තයක් විය නොහැකි බව මෙහිදී විග්‍රහ කරනවා. භවය මිස භවයෙන් භවයට සත්වයෙක් නැහැ. භවය නැති කිරීම නිවන ලබා ගැනීම ලෙසයි වික්‍රමසිංහ දක්වන්නේ. වික්‍රමසිංහ එය මෙලොවදීම ලැබිය හැකි ඵලයක් ලෙසට සිය භවකර්ම විකාශය කෘතියේ ඔප්පු කරනවා. නිවන වූකලී භවයත් කර්මයත් දුකත් කෙලවර කිරීම මිස විඥාණයාගේ සම්පූර්ණ අභාවයක් නොවන බව බෞද්ධාගමික දර්ශනය හරහා කරුණු දක්වනවා. ''මමත්වය'' නසා භවසන්තතිය නැසීමෙන් නිවන නැමැති පරම සැපත ජීවිත කාලය තුළදී ලබා ගත හැකි බවට බුදුන් දෙසා වදාල බව දක්වන ඔහු ජාති, කුල, පන්ති, පවුල්, නෑයන්, මිතුරන්, භාෂා භේද අනුව සිතන යුගය අවසන්ව යන බව කියනවා. සියලු මිනිසුන් සහෝදරයන් මෙන් සලකමින් සියලු දෙනා කෙරෙහි මෛත්‍රිය පතුරවන්නට අනුබල දෙන සාමූහික විඥාණයක් නොහොත් වෙනස් වන විශ්ව ඥාණයක් අනාගතයෙහි ප්‍රාදුර්භූත වෙතියි සිතන්නට පරිණාමවාදය මෙන්ම කර්මවාදය ද අනුබල දෙන බව වික්‍රමසිංහ තර්ක කරනවා.

සිය කෘතිය තුළ මිනිසා සම්බන්ධ ඉතා දාර්ශනික විග්‍රහයකට පිවිසෙන ඔහු මිනිසා යනු ''මනසින් උසස්'' යන නිරුක්තියෙන් බිදී ආබව ප්‍රතික්ෂේප කරනවා. ඉතාම පහත් ගල්වැද්දා මනසින් ළංවන්නේ බුද්ධිමතෙකුට නොව චිම්පන්සියෙකුටයි. ඔහු මිනිසා තුළ ප්‍රේමය දයාව වැනි සංකල්ප පහළ වීම සම්බන්ධ ගෙන එන අදහස ද දාර්ශනිකයි. දඩයම් යුගයෙන් පසු එඩේර යුගයේදී බිරියන් එකෙකු හෝ දෙතුන් දෙනෙකු සමඟ එකතැන වසන්නට පුරුදුවූ මිනිසාගේ බිරියන් රෝගයෙන් මිරිකෙමින් පීඩා විඳින කල සැමියාගේ සිත උණු වුණා. සිය හදෙහි අනුකම්පාව නැමැති සංකල්පය ඉන් අනතුරුව ඉපදුනු අතර දරුවන් පීඩා විඳින කළ ඔහු තුළ දයාව ඇති වුණා. ඔහුගේ අනුකම්පාව පුත්‍ර ස්නේහයයි. බිරිය නිසා උපන් අනුකම්පාව ඇල්මයි. අනතුරුව ඔහු ශිෂ්ටයෙකු වූ පසු ඒ ඇල්ම ප්‍රේමය දක්වා සංකල්පගත වූ බව වික්‍රමසිංහ තර්ක කොට අරුත් ගන්වනවා.

ජනකානු විද්‍යාව පිළිබඳව විදාත්මක නැඹුරුවක එල්බ සිටින මාර්ටින් වික්‍රමසිංහ එය ධර්ම විද්‍යාව යන අන්වර්ථ පදයෙන් ද දක්වනවා. ඉංග්‍රීසියෙන් ''සයන්ස් ඔන් හිරේසිටි'' නම්වන කර්ම වාදය, කර්මානු වාදය ලෙස නම් කිරීම සදොස් බව දක්වනවා. ඔහු කියා සිටිනුයේ ජනකානු මව්පිය පරම්පරාවෙන් පරම්පරාවට ඇවිත් සම්මිශ්‍රණය වෙමින් යන සහජ ධර්ම වාහකයෝ බවයි. ස්ත්‍රියක ගැබ් ගන්නා විට අනාගත මානසික ලක්ෂණ ද තීරණය වෙයි. පියාගේ හා මවගේ ශුක්‍රාණු හා ඩිම්බානු වර්ණාංග විසිතුන බැගින් එහිදි සක්‍රීය වෙනවා. ගැබ් ගන්නා ගැහැනියක සිතන සිතුම් හා කරන ක්‍රියා අනුව දරුවෙකුගේ අංග ලක්ෂණ වෙනස් නොවන බවයි වික්‍රමසිංහ විද්‍යාත්මක කරුණු ඇසුරින් පහදන්නේ. දරුවෙකුගේ විකලාංග, ඇතැම් මානසික කුසලතා, උමතු බව, ප්‍රචණ්ඩ බව, විකෘති කාමය, අන්ද බව, ගොලු බවට හේතුව කර්මය යැයි බෞද්ධයෝ දැක්වූවත් වික්‍රමසිංහ පහදන්නේ එය සාවද්‍යයක් බවයි. එම තත්වය මවුපිය පරපුරෙන් පරපුරට ලබන ජනකානු නිසා හටගන්නක් බව තාර්කිකව ඔප්පු කරනවා.

සමාජය තුළ පවතින විඥානවාදී හා මිත්‍යාමතික සංකල්පයන් සම්පූර්ණයෙන් බැහැර කරන ඔහු මැරෙන මිනිසෙකුගේ ආත්මය මිනිසෙකුව, දෙවියෙකුව, තිරිසනෙකුව උපදී යන හින්දු භක්තික අදහසට විරුද්ධ වෙනවා. මළවුන්ගේ ආත්ම පින්ඩනයක් ස්ත්‍රියකගේ ගැබට පිවිසීමෙන් ගැබ්ගනී යන අදහස ඔහුට අනුව කෙකනියන් මේඝ ගර්ජනයෙන් ගැබ් ගනියි, මිනිසෙකු සිතන්නේ හදවතින්, ඊරි යකාගේ දිෂ්ටියට හසුවන ගෑනු ලෙඩ වෙයි, කතරගම දෙවියන්ට යාතිකා කිරීමෙන් ලෙඩ සුව වෙයි ආදීය විඥාණවාදී මතවලම දිගුවක්. ඔහු සමාජය සම්බන්ධව භෞතිකවාදී එළඹුමක පිහිටා සිටිමින් කියනුයේ මන්ත්‍ර බලයෙන්, දේවබලයෙන් සුවවන රෝග ''හිස්ටරික'' තත්වයන් බවයි. සිග්මන් ෆොයිඩ් වැනි මනෝවිශ්ලේෂකයින් සම්බන්ධ අධ්‍යනයක් ඇති ඔහු ගැහැනියක ගැබ් හෙලීම හෙවත් ගබ්සාව, කුකුලු බිත්තර අනුභවය පවක් ලෙස අර්ථ දක්වන්නේ බුදු දහමට පටහැනිව බව විග්‍රහ කරනවා. බුදුන් සත්ව ඝාතනයට ඉදුරා පටහැනි වූයේ සමකාලීන බමුණු ක්‍රමයේ බිලිපූජා වලට විරුද්ධ වෙමින් වන අතර බුදුන් කිසි විටකත් මස් කෑමට විරුද්ධව බණ දෙසා නැති බව භවකර්ම විකාශය කෘතිය තුළ කරුණු ගෙන හැර දක්වනවා.

වික්‍රමසිංහ 1967 තරම් ඈතක ලියා පලකළ මෙවැනි දාර්ශනික විග්‍රහයක් මාර්ටින් වික්‍රමසිංහ වර්ථමානයේ ජීවත් වෙමින් සමාජ සන්ධර්භය තුළ දැක්වූයේ නම් ඔහුට අනිවාර්්‍යයෙන්ම එල්ල වනුයේ බහුජාතික හෝ රාජ්‍ය නොවන සංවිධාන හෝ බටහිර ගැති කල්ලිවාද හෝ ක්‍රිස්තියානි හෝ මුස්ලිම් ප්‍රාග්ධනය ලබා පිවිතුරු බුදුදහම විනාශ කිරීමට රචනා කරන ලද දේශද්‍රෝහි ව්‍යාපෘතියක හංවඩුවයි. ලොව සත්‍ය වන්නේ මිත්‍යාව නොව විද්‍යාවයි. වික්‍රමසිංහ සිය මතවාදය තුළ නියෝජනය කරන්නේ විද්‍යාත්මක චින්තනය බව තේරුම් ගැනීමට මෙම කෘතිය පදනමක් සකසනවා. අද රැඩිකල් වාදී හංවඩුව ගසා ගත් වියතුන් හා නිර්මාණ කරුවන් බහුතරයකගේ හිස් අභ්‍යන්තරයට එබී බැලූ විට විනිවිදිය හැක්කේ ඔවුන් වැඩවසම්, විඥාණවාදී, මිත්‍යාමතික චින්තනයෙන් පිරී ඇති බවයි. සිය කෘති වල ඉදිරිපත් කරන්නාවූ ප්‍රකාශයන් හා නිර්මාණ කරුගේ ජීවිතය අතර සම්බන්ධය ඉතාම ඈත බවයි. කතුවරයාගේ මරණය හෙවත් ''ඕතර් ඊස් ඩෙඩ්'' ආදී නූතනවාදී සංකල්පයන්ට මුවා වෙමින් විලි වසාගැනීමෙ ශක්‍යතාවය ඔවුන්ට හිමිව තිබෙනවා. නමුත් වික්‍රමසිංහ සිය සාහිත්‍ය නිර්මාණකරනයේ ප්‍රකාශනයන්ට සමගාමී අයුරින් විඥාණවාදය මිත්‍යාව බැහැරකොට භෞතිකවාදී අස්ථානයක මුදුන්පත්ව සිටින බව හඳුනා ගැනීමට භවකර්ම විකාශය කෘතිය ''තීසිසයක්'' වෙනවා. වික්‍රමසිංහ තුළ දිටිය හැකි අනෙක් සුවිශේෂම කරුණ වනුයේ සිය ජීවිත කාලය තුළ තම නමට ඉහළින් කිසිවිටෙක ආචාර්ය නැමැති උපාධිනාමය භාවිතා නොකිරීමයි. මාර්ටින් වික්‍රමසිංහට අවස්ථා තුනක දී ගුරු උපාධි සම්මාන ලැබී ඇති බව පේනවා. 1960 දී විද්‍යෝදය විශ්වවිදාලයෙන් ගුරු ආචාර්ය උපාධියකුත්, 1964 විදාලංකාර සරසවියෙන් හා 1970 පේරාදෙනිය සරසවියෙන් ''ඩිලීට්'' උපාධියත්. නමුත් කිසිවිටෙක වික්‍රමසිංහ මේවා තම නමට ඉදිරියෙන් භාවිතා නොකලේ ඔහු තුළ වූ හික්මුණ ශාස්ත්‍රීය ශික්ෂාව නිසයි. ''මම සිංහල පාලි, සංස්කෘත, ඉංග්‍රීසි යන බස් නොදනිමි. අභිධර්මය නොදනිමි. දර්ශනය නොදනිමි. මම පණ්ඩිතයෙකු නොවෙමි. කිසිම විශ්ව විදාලයකින් ඉගෙන ගෙන උපාධි නොලැබුවෙක්මි. පර්යේෂණාත්මක නිබන්ධන ලියා විශ්ව විදාලයක මහ ඇදුරු ඇතුළු පණ්ඩිත පරිෂදයකින් පශ්චාද් උපාධි නොලැබුවෙක්මි. භාවිතාවෙන් ලත් ප්‍රඥාවක් මට නැත. සාහිත්‍යය කලා හා විදාත්මක දර්ශනය මගේ භාවිතාවට අරමුණු කර ගැනීමෙන් ලැබූ අන්තර් ඥාණයක් මට ඇතැයි මම සිතමි. එයත් මාගේ බොරුමානය නිසා උපන් හැඟීමක් විය හැකිය.'' යන සිය වදන් ඉඟි කරන්නේ වික්‍රමසිංහගේ ශික්ෂිතත්වයයි.

සමාජීය විද්‍යවන් යනු සමකාලීනව විවිධ අර්ථ නිරූපනයන්ගෙන් විතැන් වීම් වලට නිරතුරුව බඳුන් වන විෂයක්. රචිත හෝ භාෂිත පඨීතයකට අර්ථය එන්නේ අනාගතයෙන්. එහි එකතු කිරීම් හා බැහැර කිරීම් බහුලයි. බුදු දහම හෝ කිතු දහම හෝ හින්දු දහම හෝ මුස්ලිම් දහම හෝ ලොව කිසිම ආගමක් විද්‍යාත්මක දර්ශනයක් නොවෙයි. මෙකී ආගම්වල දාර්ශනික ලක්ෂණ තිබිය හැකියි. එය මතුකළ හැක්කේ විද්‍යාත්මක අර්ථ ගැන්වීමක් තුළයි. වික්‍රමසිංහ ''භව කර්ම විකාශය'' භෞතිකවාද ප්‍රවේශයක් තුළ බුද්ධ දර්ශනය ස්ථාන ගතකරයි. බුදුන් අතීතයේ වදාල වචන වලට අර්ථය එන්නේ අනාගතයෙනුයි. මෙලෙස ''ගංගොඩවිල සෝම'' සිට ''මාවරලියේ භද්දිය'' හිමි දක්වා නානාවිධ පුද්ගල අර්ථගැන්වීම් අපට හමුවනවා. නමුත් ගැටළුව වන්නේ එම අර්ථ හුදු පාඨිතය නැතහොත් වියමනෙන් මිදී සිය පටු එකතු කිරීම් හා බැහැර කිරීම් මාදිලි වල ස්ථාන ගත කිරීමයි. බහුතර අර්ථ ගැන්වීම් ස්ථානගතව ඇත්තේ විඥානවාදී, මිත්‍යාමතික ප්‍රවාහයකටයි. වර්ථමානයේ ජනමාධ්‍ය ඒ සඳහා අවකාශය පුරණය කරයි. බුද්ධ දාසලා, ධර්ම දාසලා, සංඝ දාසලා, ධර්ම රත්නලා, ධර්ම සේකරලා, ධර්මවර්ධනලා, ධර්මසිංහලා, ධර්ම පාලලා දොර සහ මඩ සහ ලාව වැනි මණ්ඩප වල සිට කරනුයේ විද්‍යාව මිත්‍යාව දෙසට බල ගන්වන යන්ත්‍රණයයි. එහි අවසාන ඉලක්කය වන්නේ විඥාණවාදී දේශපාලනික ප්‍රවාහය රජ කරවීමයි. නමුත් වික්‍රමසිංහ වැන්නන්ගේ භාවිතාවන් මේ අතර කැපී පෙනෙනුයේ ඔහුගේ රචනයන් මිත්‍යාව, විඥාණවාදය බැහැර කර භෞතිකවාදී මුහුණුවරක් ගෙන තිබීමයි.

මාලක දේවප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails