Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඒක මහා පුදුම හුළඟක්. ඇත්තටම මහා නොසන්ඩාල හුළඟක්. ඇගේ කෙහෙරැළි එහා මෙහා අදිනවට වඩා වැඩක් ඒ හුළඟට තිබුණෙම නෑ. ටික වෙලාවක් ඒ දිහා බලන් උන්නු හිතට දැනෙන්නෙ මහා ඊර්ෂ්‍යාවක් කියලා තේරුණාම තමයි, තරහා යන්න කාරණාව භානුකට තේරුම් ගියෙත්. හුළඟට තියෙන අයිතියවත් තමන්ට නෑ කියලා දැනෙන කොට ප්‍රේමවන්තයෙක් කොහොම ඉවසන්න ද? ලෝකයේ බොහොමයක් ඇති නැති සියලු දේ අතර ඇති වන ප්‍රේම බාධක මේ ප්‍රේමයටත් අඩුවක් නැතුව තිබ්බා. ඒත් ඒ ප්‍රේමයත් කිසිම අඩුවක් පාඩුවක් නැතුව දළු දම දමා වැඩුණා. බාධක වැඩි වෙන්න, වැඩි වෙන්න ප්‍රේමයත් දෙගුණ තෙගුණ වෙවී වර්ධනය වුණා. එවැනි බාධක අභිමුවේ ප්‍රේමවන්තයින්ට ගණදෙවි නුවණ පහල වෙන බව දෙමව්පියන්ට මතක් වෙන්නෙ නෑ. ඒක පෙම්වතුන් ට වාසියක්. ඒගොල්ල වැට බඳින්නෙ තාමත් ඉපැරණිම සම්ප්‍රදායික ක්‍රම වලින්. වැටමාර වැට වලින් වැට පනින එක පෙම්වතුන්ට වැඩක් නෙමෙයි කියලා තේරුම් ගන්නකොට සමහර විට ඒ දෙන්නා කසාද බැඳලා ගෙවල් අරන් පදිංචි වෙලත් ඉවරයි. හැබැයි මේවා සදාකාලිකවම සමාජය තුළ ඇති වන ප්‍රශ්න. බටහිර පන්නයට බාහිර දේවල් වෙනස් කරගත්තට, අපිට තාම බෑ නිදහස කියන වචනයේ යථාර්ථයත් එක්ක ඒ හැටි පෑහෙන්න. ඒක අපිට තාම වචනයක් විතරයි. අනික දරුවන්ව නිදහස් කරනවා කියන කාරණයෙදි අන්ත පටුගාමී විදියට අපි හැසිරෙන එක තව කල්පෙකටවත් වෙනස් වෙන එකක් නෑ.. ඒක එන්නෙම දරුවන්ට තියෙන මහා ලෝබකමක් එක්ක. ඒ හින්දා අතාරින්න ලෝබයි. ඇහේ මූණෙ තියාගෙන හදන ගානට මැරෙනකම්ම ළමයි තමන් ගාව ඉන්න ඕන කියලා හිතන එක නවත්ත ගන්න හරි අමාරු ඇති. එහෙම හිතුවම දෙමව්පියො පව්. එහෙම හිතෙන්න ගන්න කොට මෙච්චර කාලයක් වැය කරලා කරපු සැලසුම් සියල්ල වතුරෙ ගියා වගෙද කියලත් භානුකට හිතෙන්න ගත්තා. ටිකෙන් ටික භානුකගෙ හිත මෙලෙක් වෙන්න ගන්නවා වගේ භානුකට දැනෙනවා. ඒ නිසා හිත තද කරන් භානුක ආයෙමත් අර නොසන්ඩාල හුළඟ ගැන කල්පනා කළා.

භානුක කොළඹ ආවෙ මාධ්‍යවේදියෙක් වෙන්න හිතාගෙන. කොළඹ කාශ්ටක පොළොවට මොකක්දෝ කැමැත්තක්, දවසක් දෙකක් යද්දි භානුකගෙ හිතේ ඇති වෙන්න ගත්තා. ඒ ඇයි කියලා හරිහැටි නොතේරුණත්, නුහුරු නුපුරුදු ගතිය මැකිලා කොළඹ රෑ අහසත්, හපුතලේ අහසත් එක වගේ පේන්න ගත්තා. තරු නැති දාට මහා ශෝකයක් වගේ දෙයක් අහසින් කඩා වැටෙන්න ගත්තත්, තරු දිලෙන රෑ අමුතු හැඩයක් ඒ අහසෙ ඇඳුණා. අර දෑකැති හඳ! ඒක හෙමින් හෙමින් කොළඹ අහසිනුත් පේන්න ගන්න කොට භානුක හිටියෙ හපුතලේ කන්ද නැග නැග. පැය කීපයක් ගෙවිලා යද්දි ඇස් බිමට හැරුණම උන්නු තැන් අමතක වෙලා තත්පර ගාණක් ගත වුණා ආයෙම කොළඹට එන්න. භානුකගෙ මුල් දවස් ටික ගෙවිලා ගියෙ එහෙම. ඒත් මොකක්දෝ කිතියක්, සොම්නසක් ඒ හැම දෙයක්ම ඇතුළෙන් ම ගලා ගෙන ගියා. 'ජනසන්නිවේදන පාඨමාලාව - 2007​' ෆයිල් කවරය උඩින් ම ලියලා තිබ්බා.

කිසිම කහටක් නැති උදේ තේ කහට උගුර දිහා බලන ගමන් අම්මගේ ඇස් වල පිරිච්ච කඳුළු බිංදු හැමදාම උදේට මතක් වෙන එක භානුකට නතර කරගන්නම බෑ. දැනට නැවතිලා ඉන්න තැන, අතක් දික් කරන්නවත් ඉඩක් නැති ජනේලෙන් එහා පැත්තෙ තියෙන වැල් රෝස පඳුරෙ ඉහිරිලා තියෙන පිනි බිංදුත් හරියට ඒ වගේමයි කියලා භානුක ඊළඟට හිතන්න පටන් ගන්නෙ ඒ දිහා අනිමිසලෝචනයෙන් ඉන්න ගමන්. වැල් රෝස පඳුරෙ මල් පිරිලා තිබුණට ඒක ගෙයි බිත්ති වලින්ම මුවා වෙලා තියෙන හින්දා කාටවත් ඒ ගැන වගක් නෑ. මල් පිපිලා, ඔහේ පරවෙලා යනවා. එච්චරයි. ආයෙමත් මල් පිපෙනවා. පිනි පිරෙනවා. දවස් ගාණක් ඉඳලා පරවෙලා යනවා. ඒක ඒ රෝස පඳුරෙත්, රෝස මල් වලත් ඉරණම. ඒත් මිදුල ඉස්සරහා තියෙන අනිත් හැම මල් ගහක්ම එන යන අයගේ අවධානය දිනා ගත්තා. ඒ හින්දම ගෙදර අයගෙ සාත්තු සප්පායම් හොඳහැටියෙන් ලබා ගත්තා. ඒත් ඒ මල් ගස් වලට වඩා මොකක්දෝ සමීප බවක් මේ හැංගිච්ච වැල් රෝස පඳුර එක්ක භානුකට තිබ්බා. හරියට තමනුත් ඒ වගේ කියනෙක භානුකට නිතර හිතෙන්න ගත්තා. භානුක දුක සැප කියන්න ගත්තෙ වැල් රෝස පඳුර ට! භානුක කවියක් කිව්වෙත්, ඇහෙන දකින අසාධාරණකම් වලට එරෙහිව ලිව්ව සටන් පාඨ කිව්වෙත් වැල් රෝස පඳුර එක්ක.

​***​**

ජනසන්නිවේදන පාඨමාලාව, මුල්ම දවසෙ කරණුමය වශයෙන් නීරස විදියට පටන් ගැණුනත්, ප්‍රායෝගික විවිධත්ව කාරණා එක්ක ඒක කිසිසේත්ම ඒකාකාරී හැඟීමක් ඇති කරන පාඨමාලාවක් නෙමෙයි. මුළු ලෝකයම බද්ධ වී ඇති විෂයයක් නිසා දවසින් දවස ඇහෙන දකින කාරණා වෙනස්. වෙනස් විතරක් නෙමෙයි, සමහර දේවල් පුදුම සහගතයි. අදහා ගන්න බැරි දේවල් එක්ක වෙනස්ම මානයකට හිත ගෙන යන එකත් ඒ විෂයයට ඇති ඇල්ම තව තවත් වැඩි කරනවා. ඒ ගැන උනන්දුව එන්න එන්නම වැඩි වෙන බවක් භානුකට දැනෙන්න වුණා. මෙච්චර කාලයක් සමාජයෙන් ලැබුණු තොරතුරු වල සත්‍යතාව සෙවීම සහ ඒවායෙහි සැබෑ තත්ත්වය පමණක් සමාජයට මුදාහැරීමේ වගකීමක් ඇති බව තේරෙන්න ගත්තා. මුළු සමාජයක වගකීම තමන් අත තැබුවාක් වැනි මහා බරක් ද හිතට ඇතුළු වුණා. මේ සියලු විෂය කාරණා අස්සෙන් හිනාවෙන ඇස් දෙකක් භානුක දැක්කා. මුල්ම දවසෙ ඉඳලා මගෑරියත්, ඒ ඇස් මගෑරලා ඉන්න බැරි විත්තිය ටික කාලෙකට පස්සෙ දැනන් හිටියෙ භානුකයි, වැල් රෝස පඳුරයි විතරමයි. ගෙදර නොගිය නිවාඩු දවසක, හදිසියෙම භානුක දැක්කා රෝස පඳුරෙ ඉඳලා බට්ටිච්චෙක් ඉගිලෙනවා. එදා ඉඳලා භානුක උදේ කෑම එකෙන් ඌට කොටහක් වෙන් කරා. ​

පංචාලි! ඒක කොච්චර ලස්සන නමක් ද? පංචාලි දියලගොඩ. ඈ නමින් පුවත්පත් වල බොහෝ ලිපි පළ වෙන්න ගත්තා. තර්කානුකූල කරුණු කාරණා සමඟ ඈ සමාජයීය ප්‍රශ්න ගැන සංවාද කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික ප්‍රසිද්ධියේම දේශපාලනික ප්‍රශ්න ගැන කතා කරන්නට ඈ පෙළඹෙමින් හිටියා. ඈ වටා එක්වෙමින් හිටිය පාඨක පිරිසත්, ඔවුනගෙන් ලැබුණු ප්‍රතිචාරත් වැඩිවෙන්න ගත්තා. භානුක හොයාගෙන ගියේ සාහිත්‍යය. ලෝක සාහිත්‍යය ගවේෂණය කරන්නට භානුක පෙළැඹුණා. එහෙත් නිතැතින්ම ඔහුට තිබුණු දේශපාලනික දැනුම පංචාලි දැනන් හිටියා. ඒ හින්දා ඔවුන්ට නිතර වාද විවාදයේ යෙදෙන්න කරුණු එමට තිබුණා. පංචාලිගේ දේශපාලන කොලම අනෙක් පසින් කවි පිටුවත්, විශ්ව සාහිත්‍යත් සංස්කරණය කරන්න එකම පුවත්පතක් ඔවුන්ට ආරාධනා කළේ වසර කීපයක් පුරා ඔවුන් ලියු දෑ තුළ ඔවුන් සැබෑවටම මිනිසුන්ගෙ හිත් ඇතුළෙ නමක් හදාගෙන උන් නිසා. ඔවුන් මිනිසුන්ට කතා කරමින් හිටියා. සමාජය දැනුවත් කරමින් හිටියා. පංචාලි, ඝෘජුවම දේශපාලන කතිකා වලට සම්බන්ධ වෙද්දි, භානුක සාහිත්‍ය මුහු කරමින් සහෘද ජනතාව ආනන්දයෙන් ප්‍රඥාවට යොමු කරමින් හිටියා. දෙවිදියකට, නැත්නම් ක්ෂේත්‍රයන් දෙකක් ඔස්සේ ඔවුන් සමාජයට මෙහෙවර කරමින් හිටියා. ඒත්, ඇත්තටම ඒ එකම ක්ෂේත්‍රයක්.

භානුක කෘතහස්ත මාධ්‍යවේදියකු වශයෙන් දවසින් දවස පාඨක පිරිස වැඩි කරගත්තා. විශ්ව සාහිත්‍යය නිරන්තරයෙන් ඇසුරු කිරීම හේතුවෙන් කිසිදු පලුද්දක් නැතිවම ඉංග්‍රීසි බස හැසිරවීමේ නිපුණතාවක් භානුකට තිබීම ඔහුගේ රාජකාරියට මහත් අත්වැලක් වුණා. බාහිර ලෝකය ඇතුළෙ,​ භානුක ශ්‍රීකාන්ත විජේසිරි වැදගත් චරිතයක් වුණා. එහෙත් වැල් රෝස පඳුර හැර, කිසිවෙකු නොදත් ඔහුගේ ලෝකය ඇතුළත ඔහු ආදරයෙන් ආතුර වී සිටියා. ඇය, අර පංචාලි!

දුප්පත් පවුලක තරුණයෙක් වෙච්ච භානුකව, ධනපති පංතියේ තරප්පු පෙළේ ඉහළ නඟින්නට බලා උන්නු පංචාලිගේ පියා පිච්චියකට මායිම් කළේ නෑ. ඒත් පංචාලි කුඩා සන්දියේ ඉඳලම නිර්ධන පංතියේ තරප්පු පෙළ බහිමින් හිටියෙ. පෙරපාසලේ ඉඳලම බොහොමයක් දේවල් අනිත් අය එක්ක බෙදා ගැනීම පංචාලි ගේ සිරිත. මධ්‍යම පංතික පියාගේ හීනය ඉනිමඟ දිගේ ඉහළට යන්න. පංචාලි මාධ්‍යවේදිනියක් වුණේ ඇගේ බලවත් ආශාවට. කැමැත්තට. මුලින් නම් ගෙදරින් යුද්ධ ප්‍රකාශ කෙරුණා එකහෙළාම. ඒත් පංචාලි දවසින් දවස ඒ හරහා නමක් හදා ගත්ත එකට ඇගේ පියා සතුටු වුණා. ධනපති පංතියේ ව්‍යාපාරික පුතෙක් බෑණා වෙනකල් ඔහු සිහින දකින්න ගත්තෙ ඇය යෞවනියක් වෙන්නත් කලින්. භානුක! භානුක ඔහුගෙ ඒ සියළු සිහින කුඩුපට්ටම් කරලා දැම්මා. පංචාලිගෙ තාත්තට අනුව, භානුක යනු මහ ගහක ඉතා කුඩාම ඉත්තක් වෙද්දි, ඔහු තමන්ගෙ දුවට හෙවණ හදන්න පුළුවන් මහ ගහක් හොයමින් හිටියා. ඒත් භානුක එක දිගටම පංචාලිට ආදරය කළා.

​***​**

දැන් මේ හැමදේම වෙනස් කරන්නේ අර නොසන්ඩාල හුළඟ! ඒක මහා පුදුම හුළඟක්. මහා නොහික්මුණු හුළඟක්. හිතක් පපුවක් නැති ගානට හුඟක් දේවල් විනාශ කරන්න ඒ හුළඟට පුළුවන්. භානුකගෙ බලාපොරොත්තු පවා! පංචාලි පවුලෙ එකම දරුවා. කොයි තාත්තෙක්ද අකමැති තමන්ගෙ එකම දූට හොඳ අනාගතයක් ලැබෙනවට. එහෙව් එකේ, පංචාලිගෙ තාත්තා, පවුලෙ තවත් සහෝදර සහෝදරියන්ගෙ බර කරට ගන්න ඉන්න තමන්ට කැමති වෙයිද! ඒ තාත්තා මොන වගේද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒත්, ඒත් තාත්තා කෙනෙක්. භානුකට තමන්ගෙ අම්මා තාත්තා මතක් වෙන්න ගත්තා. ඇස් රතු කරගෙන වැල් රෝස පඳුරෙ පිනි පිරෙන්න ගත්තා. ​"​සමාජය ඉස්සරහා මහා විශාල මිනිස්සු වුණාට, තමන්ගෙ ලෝකය ඇතුළෙ ​අපි මොන තරම් කුඩා මිනිස්සු ද ​"​, භානුක දිගටම හිතනවා. හැඟීම් කියන ඒවට පුළුවන් මිනිස්සුන්ව ලොකු කුඩා කරන්න. ඒ ඒ වෙලාවෙ හැටියට. මේ වෙලාවෙ භානුක හුඟාක්ම කුඩා මිනිහෙක් බවට පත් වෙලයි හිටියෙ. කාටවත්ම නොපෙනෙන තරම් කුඩාවට.

ඉන් පස්සෙ හැමදේම කුණාටුවක් බවට පත් වුණා. පංචාලි මහා වැස්සෙම රැඩිකල් තීරණයක් අරන් ආවා. බෑග්ගෙක අස්සෙ ඇඳුම් කෑලි කීපයක් දමාගෙන තිබ්බා. භානුක ඒ කුණාටුවෙන් මොහොතක් වෙව්ලලා ගියා. පස්සෙ කොහේදෝ තිබ්බ අමුතු ශක්තියක් එක්ක, ගණදෙවි නුවණ පහළ වෙන්න ගත්තා. උගත්කමත්, බුද්ධියත් එක ළඟින් වාඩිවෙලා ප්‍රශ්නෙ විසඳන්නයි හැදුවෙ. පොඩි කාලෙ වගෙම පංචාලිගෙ මුරණ්ඩුකම, හිතුවක්කාරකම එහෙමම තිබ්බා. භානුක තමන්ගෙ ළඟින්ම පංචාලි වාඩි කරවා ගත්තා. ඇගේ හිස අතගාමින් ඇති තරම් අඬන්න ඉඩ ඇරියා. හේත්තු වෙන්න උරිස්ස දුන්නා. අන්තිම කඳුළු බිංදුව හළන කල්ම භානුක මොනවත්ම කිව්වෙ නෑ.

පවතින ආණ්ඩුව සහ මැතිඇමතිවරු විවේචනය කරමින් ඔවුනගේ අකටයුතුකම් සමාජ සංවාදයට ලක් කිරීම හේතුවෙන් පංචාලි ඒ වන විටත් රාජ්‍ය උදහසට ලක් වී සිටියා. ඈ ට නිදහසේ ගමනක් බිමනක් යාමටවත් සුදුසු පරිසරයක් තිබුණ්නෑ. පංචාලිගෙ පෙම්වතා වශයෙන් භානුකට ද කීප වතාවක්ම තර්ජන එල්ල වුණා. ඒත්, පංචාලි දිගින් දිගටම ලිව්වා. ආණ්ඩුවෙත්, මැතිඇමතිවරුන්ගෙත් අකටයුතුකම් සමාජයට හෙළිදරව් කරමින් ලිව්වා. ඒවායෙ ප්‍රතිඵල පංචාලිට විතරක් නෙමේ භානුකටත් ලැබුණා. සමහර දාට කළු ඇඳන් ආව මිනිස්සු පංචාලි වෙනුවට භානුකගෙ අතපය තුවාල කරලා දැම්මා. පංචාලිගෙ තාත්තා, පංචාලිට භානුක විතරක් නෙමෙයි, රස්සාවත් නවත්තන්න බල කළා. තාත්තට ඕන වුණේ පංචාලිව කසාද බන්දලා පිටරටකට යවන්න. වෙන ක්‍රමයක් ඇත්තටම ඒ වෙද්දි පංචාලිට ඉතුරු වෙලා තිබ්බෙ නෑ, ජීවිතේ බේරගන්න. ඒත් භානුකගෙ නම කොයිම වෙලාවකවත් එතැනදි තාත්තගෙන් කියැවුණ්නෑ. ඒ වෙනුවට, තාත්තාට ආදේශක නම් කීපයක්ම තිබ්බා. ඒත්, භානුක හැම කරදරයක් එක්කම, හැම අවදානමක් එක්කම පංචාලි ගාවටම වෙලා උන්නු හින්දා ඔහුගෙ හිත අස්සෙ පුංචි අනුකම්පාවක් වගේ හැඟීමක් ලියලලා ආවා. ඒ, ​"​කාගෙ වුණත් දරුවෙක්​"​ කියන හැඟීමෙන්. එච්චරයි.

අනෝරා වැස්සත් අරන් ගෙට ආව පංචාලි කඳුළු හෙළලා ඉවර වුණා. අලුත් ගැහැණියක් විදියට එතැනින් නැගිටලා ​,​ භානුක මේසෙ උඩ වීදුරුවක පුරවලා තිබ්බ වතුරෙක බී ගෙන බී ගෙන ගියා. අලුත් හුස්මකින් පපුව පුරෝගත්තා. භානුක දිහා බලලා පුංචි හිනාවක් තොල් පෙති මත්තෙ ඇඳ ගත්තා. ඇඳුම් බෑග්ගෙකෙන් භානුක හුඟක් දේ තේරුම් අරන් හිටියෙ. ඒත්, දෙමව්පියන්ගෙ හිත් පාරවන එක ගැන ඒ වෙද්දි භානුක හොඳින් හිතලයි තිබ්බෙ. අනික මේ වෙලාවෙ හැටියට භානුකට පංචාලිගෙ ජීවිතේ බාර ගන්න එක නෙමෙයි, බේර ගන්න පුළුවන්ද කියන කාරණය! ඒකට හයිය තියෙන එකම කෙනා පංචාලිගෙ තාත්තා. තමන් ඇත්තටම පංචාලි ට ආදරේ නම් කරන්න ඕන ඇයව ගෙදර ගිහින් ඇරලන එක. ඇගේ සුරක්ෂිතභාවය තහවුරු කරන එක. මේ, හැඟීම් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. බුද්ධියට ඉඩ දෙන්න ඕන වෙලාව. භානුක තේරුම් කළා.

භානුකත්, පංචාලිත් යථාර්ථයට මුහුණ දෙන්න තීරණය කරගත්තා. මේ ගොරබිරම් කළුව ටිකක් පහවෙලා යනකල්, ආපහු ගෙදර යන්න පංචාලි කැමති වුණා. පංචාලිගෙ ගෙදරට හැරෙන තැනට කිට්ටු අතුරු පාරක් අස්සෙන් වෑන් එකක් ආවා. කළු පාටින් වහගත්තු අතකින් පංචාලි ට වෙඩි තියද්දි ඒ ඉස්සරහාට පැන්නෙ භානුක. භානුකගේ හදවත පසාරු කරන් එක උණ්ඩයක් විදුලි වේගයෙන් ඇදිලා ගියා. වැටෙන්න යන භානුකව අල්ල ගනිද්දි දෙවෙනි වෙඩිල්ල පංචාලිගෙ පපුව මැද්දේ හිර වෙලා තිබ්බා. දෙන්නගෙම ලේ කන්දරාව වැහි වතුරට එක්කහු වෙලා පොඩි දිය පාරක් හැදිලා ගලන් ගියා. වෑන් එකවත්, කළු අත්වත් දකින්න තිබුණ්නෑ. හුඟාක් වෙලාවකට පස්සෙ වැහි තුරල් කරලා තිබ්බා. භානුකත්, පංචාලිත් එකිනෙකාට ළං වෙලා ඒ වැස්සෙම මහ පොළොව බදන්, නිදන් හිටියා.

මොහොතින්, සියලු රූපවාහිනී නාලිකා වලත්, එෆ් එම් නාලිකා වලත්, පසු දා සියලු පුවත්පත් වලත්, උණුසුම් පුවත් තීරුව උණුසුම් වෙලා, කර වෙච්ච ගඳක් පතුරවලා තිබ්බා. කාගෙ වුමනාවට එහෙම වුණාද කියන්න කවුරුත් දැනන් හිටියෙ නැති වුණත්, ඒවයෙන් ඇත්තටම පිලිස්සෙන මිනී ගඳක් ආවා. දවස් ගානකට සෑහෙන්න ප්‍රධාන පුවත! ''භානුක පංචාලි පෙම් පුවත සහ පංචාලිගෙ තාත්තා මැරයන් ලවා ඔවුන් යන එන මඟ දී භානුකට වෙඩි තැබීමත්, ඒ අතරට පංචාලි පැමිණීමෙන් ඈටත් වෙඩි වැදී තිබීම'' බව මහජනතාව හිතා​ ​ගත්තා. සමහරු කිව්වා, ඒ මරණ සැක සහිත බව. පරීක්ෂණ කළ දිගින් දිගටම කළ යුතු බව. ​ඒත් ඒවා, ඊට පස්සෙත් ඇද හැළුණු මුරුගසන් වරුසාවෙ ගහගෙන ගියා. ​

​ඉන් පස්සෙ​,​ හැමදාමත් බිම් කළුවර ගලන් එද්දි වැල් රෝස පඳුර කඳුළු පුරෝගන්න පටන් ගන්නවා. උදේ වෙද්දි​,​ ඒ කඳුළු හංග ගෙන මූණ බිමට හරෝගන්නවා. පස්සෙ දවසක​,​ හිස් වෙච්ච කාමරේට අලුත් සගයෙක් ආවා. උදේ තේ බොන්න කලින්, කට හෝදන වතුර උගුර ජනේලෙන් එහාට විසි කරන ගමන්, අලුත් සගයා ගෙට වැහිච්ච වැල් රෝස පඳුර දැක්කා. එකම මලක්වත් ​පිපිලා නැති වැල් රෝස පඳුර කපලා දාන්න ​,​ ගෙදර අයගෙන් අහලා බලන්න ඕන කියලා ​ඒ වෙලාවෙම අලුත් සගයට හිතුණා. අනිත් හැම මල් ගහකටම වඩා වැඩියෙන් පිනි පිරෙන්නෙ වැල් රෝස පඳුරෙ කියලා, බට්ටිච්චා දැනන් හිටියා. ඒත් ඇත්තටම ඒ පිනි නෙමෙයි. කඳුළු! පුරුද්දට වගේ බට්ටිච්චා හැමදාම උදේ, ඇවිත් ගියා. ඒත් කවදාවත් ඌට කෑම ලැබුණ් නෑ. භානුක ආයෙ එන්නැති බවත්​, රෝස පඳුර ආයෙ ගැබ්බර වෙලා මල් පූදන්නැති බවත් ඌ දැනන් හිටියා. ඒත්​,​ ආදරණීය බට්ටිච්චා​!​ ඌ හැමදාම ඇවිත් වැල් රෝස පඳුරෙ දුකසැප හොයලා බැලුවා.​ ​එකම දවසක්වත් නෑවිදින් හිටියෙ නෑ. එහෙම ආව එක දවසක, ඒ වැල් රෝස පඳුර එතැන තිබුණ් නෑ. වැල් රෝස පඳුර කවුරු හරි උදුරලා, ඊට එහායින් කුණුගොඩට විසි කරලා ​තිබ්බා!

-2013 නොවැ. 18

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails